මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය අනාරක්ෂිතවීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 150 කට අධික බදු මුදලක් රජයට අහිමි වන තත්ත්වයක් උද්ගතව ඇත.



ඒ ආරක්‍ෂිත ස්ටිකරය වෙනුවට ඊට සෑම අතින්ම සමාන ව්‍යාජ ලෙස මුද්‍රණය කළ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් වෙළඳපොල තුළින් හමුවී ඇති නිසාය.

පසුගියදා සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබුණු ඔත්තුවක් අනුව මේ සම්බන්ධයෙන් වැටළීම් කිහිපයක් සිදුවූ අතර එහිදී මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අත්අඩංගුවට ගෙන තිබිණ.

එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නියෝග කර තිබුණේ සිදුවීම සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණයක් සිදුකරන ලෙසත් එහි වාර්තාව දිනක් තුළ තමන්ට ලැබෙන්න සලස්වන ලෙසත්ය. සුරාබදු දෙපාර්තමේන්තුවද සඳහන් කර සිටියේ තමන් දිගින් දිගටම වැටලීම් සිදුකරන බවය.

ඒ අතර දැනගන්නට ලැබුණේ අදාළ ව්‍යාජ ස්ටිකර් සම්බන්ධව විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද දැනුම්දී ඇති බවයි.

 

කෙසේ වුවත් විශ්වාසදායක කටයුතු ආරංචිමාර්ග පවසන්නේ, විමර්ශන සහ වැටළීම් කොතෙක් දියත් කරනු ලැබුවත් මෙකී ජාවාරම පාලනය කිරීමට එම කටයුතු කොතරම් දුරට බලපෑම් සහගත වේද යන්න සම්බන්ධයෙන් සැකසංකා ඇති බවය.

 

ඉතාම යල්පිනූ තාක්ෂණයක් !


ප්‍රධාන හේතු කිහිපයක් පෙන්වා දෙමින් එම ආරංචිමාර්ග මේ බව සඳහන් කරන අතර ඉන් එක් හේතුවක් ලෙස දක්වනුයේ මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය ඉතාම දුර්වල, ප්‍රාථමික තාක්ෂණයක් තුළ මුද්‍රණය කිරීමය. ඉතාම යල්පිනූ තාක්ෂණයක් යොදා සිදුකරන එම ස්ටිකර් ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීම එතරම් දුෂ්කර නොමැති බව ඊට අදාළ විශේෂඥ දැනුමැති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේද අදහස වී තිබේ. එසේම අදාළ ආරක්‍ෂිත ස්ටිකරය මුද්‍රණය කරනු ලබන ඉන්දියානු සමාගම මෙකී කටයුත්ත සම්බන්ධවම චෝදනා ලබා රටවල් කිහිපයක අසාදු ලේඛනගතකර ඇති සමාගමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව කිසියම් පාර්ශවයක් මේ ආරක්‍ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස  මුද්‍රණය කර වෙළඳපොළ සඳහා මත්පැන් නිකුත්කරන සමාගම් හෝ වෙනත් ජාවාරම්කාර තෙවන පාර්ශවයක් වෙත නිකුත් කරනවාද ? එසේත් නොමැති නම්,  බදු වංචා කිරීම සඳහා  අපේක්ෂා කරන කිසියම් සමාගමක් හෝ වෙනත් පාර්ශවයක් අදාළ මුද්‍රණ කටයුතු සිදුකරන සමාගම හරහා වංචනික ලෙස ස්ටිකර් තොග පිටතට ගන්නවාද යන්න වහාම සොයා බැලිය යුතු බව විශේෂඥ මතය වී ඇත.

මේ වන විට මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය මුද්‍රණය කරනු ලබන්නේ ඉන්දියාවේ සමාගම විසින් ය. ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදීය. එවකට මුදල් අමාත්‍යවරයා ලෙස විෂය භාර වූයේ මහින්ද රාජපක්ෂ ය.



කෙසේවුවත්   2016 වසරේ පමණ සිට අවස්ථා කිහිපයකදී මෙවැනි ආරක්‍ෂිත ස්ටිකරයක් නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අයත් වූ මුදල් අමාත්‍යාංශය තීන්දු කරනු ලැබුවත් ක්‍රියාවට නැංවුණේ නැත. එසේම විවිධ සමාගම් ඒ සඳහා ඉදිරිපත් වුවත් යහපාලන සමයේ මුදල් අමාත්‍යවරුන් වූ රවී කරුණානායක සහ මංගල සමරවීර එම යෝජනා වැඩිදුර අධ්‍යයනය  සඳහා සහ විශේෂඥ අදහස් ගැනීමට යොමුකර තිබිණ.

නමුත් ගෝඨාභය රාජපක්ෂ පාලනය පැමිණි විගස මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන අතර එහිදී ආරක්‍ෂිත ස්ටිකරයේ ප්‍රමිතිය, එය ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට ඇති හැකියාව, ඒ වන විට ලෝකයේ රටවල් එවැනි ආරක්‍ෂිත ස්ටිකර් හඳුන්වාදී සිදුකරගෙන යන ආකාරය වැනි කිසිඳු මූලික කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය බරින් යොමුකර නැති බව විශේෂඥ මතය වී තිබේ. මේ තුළ ඉතාම ප්‍රථමික කොන්දේසි කිහිපයක් යටතේ ස්ටිකරයක මිල සම්බන්ධව වැඩි අවධානයක් යොමුකර ඇති අතර ඒ හරහා අදාළ ටෙන්ඩරය ස්ටිකරයක් රුපියල් 5ක මිලකට නිකුත් කිරීමේ පදනම මත ඉන්දියානු සමාගම ලබාගෙන ඇත.

පසුව එය රුපියල් 3ක් බවට සංශෝධනය වී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

 

කෙසේ වුවත් මෙම ටෙන්ඩරය අදාළ සමාගම වෙත ලබාගැනීම සඳහා මෙරට දේශපාලනඥයන් සමඟ සමීප ඇසුරක් ඇති කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු අතරමැදියකු ලෙස යොමුකර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. ඒ මත්පැන් වෙළඳාම සම්බන්ධව කුප්‍රකට දේශපාලන ශරීරයක මැදිහත්වීම මත බවත් එම ආරංචිමාර්ග පවසයි. එම කටයුත්තට දේශපාලන බලය මත ව්‍යාපාර වලට ඇඟිලි ගසන රාජ කුමාරයෙකුගේද සහය ලැබී ඇති බවත් සඳහන් වෙයි.  එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මේ කටයුතු මේ ආකාරයටම සිදුකර ගන්නට සුරාබදු දෙපාර්තමේන්තුවේ එවකට ඉහළ නිලයක් දැරූ කිසිම ගුණයක් හෝ සිරියක් නැති නිලධාරියකුගේ මෙන්ම මුදල් අමාත්‍යංශයේ ද නිලධාරියකුගේ සහය ලැබී ඇත.

 

කෙසේ හෝ වේවා මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්‍ෂිත ස්ටිකරයට අදාළ මෙම ටෙන්ඩරය ඉතාම නුදුරු කාලයක අවසන්වීමට නියමිත නමුත් නැවත වතාවක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම ටෙන්ඩරය යළිත් අදාළ සමාගම වෙතම භාරදීමේ සුදානමක් ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට පෙර අදාළ ටෙන්ඩරය මෙකී සමාගමට යාමට සහ ඒ තුළ බදු වංචනිකයන්ට අවශ්‍ය ආකාරයට ආරක්‍ෂිත ස්ටිකරය ආශ්‍රිත ක්‍රමවේදය හසුරවන්නට සහය දැක්වූ  මුදල් අමාත්‍යංශ නිලධාරියා තවමත් රාජකාරියේ නිරතව සිටිමින් අවශ්‍ය සහය දැක්වීමේ ප්‍රවණතාව ප්‍රතික්ෂේප කල නොහැකි බවද එම ආරංචිමාර්ග පවසයි.

 

ඒ අනුව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන්නේ, දුෂිත දේශපාලන සහ සුදුකරපටි නිලධාරී මැදිහත්වීම මත රාජ්‍ය බදු ආදායම සුන්නද්ධුලි කරන මේ ව්‍යාජ ස්ටිකර් දවටනු ලැබූ මත්පැන් බෝතල් වෙළඳපොළ වෙත පැමිණීම වැළක්වීම වචන වලින් හෝ විමර්ශන වාර්තා වලින් වැළක්විය හැකි සරල කටයුත්තක් නොවන බවයි. ඒ මේ වන විටත් වෙළඳපොල තුළින් සොයාගෙන ඇති ව්‍යාජ ස්ටිකර් අලවනු ලැබූ මත්පැන් බෝතල් සාතිශය බහුතරයක් කුප්‍රකට දේශපාලනඥයාට සම්බන්ධ මත්පැන් ව්‍යාපාරය හරහා පැමිණ ඇති නිසා බවද එම ආරංචිමාර්ග පවසයි.

 

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙරට මත්පැන් වෙළඳපොළ තුළ ජනප්‍රියම මෙන්ම ඉහළම අලෙවියක් ඇති අරක්කු විශේෂයකට සමාන නිෂ්පාදන ආශ්‍රිතව මෙම ව්‍යාජ ස්ටිකරය වැඩිවශයෙන් යොදාගැනෙන අතර ඒ තුළ නියමිත ලෙස බදු ගෙවීම් සිදුකරන සමාගම් වලට බලවත් අසාධාරණයක් සිදුවන තත්වයක් මතුව ඇත. එය වෙළඳපොළ තරගය පවා අහිමි කරන තත්ත්වයක් පමණක් නොව, සාධාරණ ලෙස බදු ගෙවන ව්‍යාපාරිකයන් අධෛර්යමත් කරන, රාජ්‍ය ආදායම තවදුරටත් නැති බංග කරන තත්ත්වයක් බැවින් වහාම වගකිව යුතු පාර්ශව වල අවධානය යොමුකළ යුතු තත්වයක් බව ආර්ථික සහ වෙළඳපොළ විශ්ලේෂකයන්ගේද අදහස වී තිබේ.

එසේම ඔවුන් යෝජනා කර සිටින්නේ මත්පැන් බෝතල් වල ප්‍රමිතිය සහ බදු ගෙවන ලද බවට සහතික කර ගැනීමේ අරමුණින් හඳුන්වාදුන් විශේෂ ආරක්‍ෂිත ස්ටිකරයට අදාළව සමස්ථ ක්‍රමවේදයම මුළුමනින්ම ඩිජිටල්කරණයට ලක්කළ යුතුව ඇති බවය. ඒ සඳහා නවසීලන්තය , ඔස්ට්‍රේලියාව වැනි රටවල සිදුකරන ක්‍රමවේදය අධ්‍යයනය කිරීම වැදගත් බවත් ඔවුන් පවසයි.

 

ආර්ථික සහ වෙළඳපොළ විශ්ලේෂකයන් මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ, ඇල්කොහොල් ප්‍රතිශතය අඩු බියර වැනි නිෂ්පාදන සඳහාද ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි මත්පැන් ආශ්‍රිත නිෂ්පාදන වලට පනවා ඇති ආකාරයට ඉහල බදු පනවා තිබීම එතරම් දියුණු තීන්දුවක් නොවන බව රජය තේරුම් ගතයුතුව ඇති බවය.

 

පවතින ආර්ථික දුෂ්කරතාව සහ බියර වර්ග වල පවා අධික බදු හේතුවෙන් දරාගත නොහැකි මිල ඉහල යාමක් සිදුව ඇති නිසා බොහෝ දෙනෙකු නීති විරෝධී මත්පැන් වෙත යොමුවීමේ ප්‍රවණතාවක් ඇති බවත් ඔවුන් පවසයි. ඒ තුළ බදු ආදායමට වඩා වැඩි මුදලක් සෞඛ්‍ය වෙත වැය කිරීමට රජයට නුදුරේදීම සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

stack of cigarettes

මෙවැනිම තත්ත්වයක් සිගරට් සහ බීඩි වෙළඳපොල ආශ්‍රිතව මතුව ඇති බව පෙන්වාදෙන ආර්ථික සහ වෙළඳපොළ විශ්ලේෂකයන් පසුගිය සමයේ දුම් පානය කරන්නන් අතර 40 %ක් බීඩි සහ 60%ක් සිගරට් ලෙස පැවති වෙළඳපොළ පංගුව මේ වන විට 60%ක් බීඩි සහ 40%ක් සිගරට් ලෙස වෙනස්ව ඇති බවත් පවසයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සෞඛ්‍යට ඇති හානිය අතින් බීඩි වැඩි හානියක් සිදුකරනවා පමණක් නොව දැඩි ආර්ථික අවාසියක් රජයටද සිදුවෙමින් ඇති බවයි. ඒ අනුව සිගරට් පරිභෝජනය පරයා බීඩි පරිභෝජනය වැඩිවීම තුළ රුපියල් බිලියන 200ක පමණ බදු ආදායමක් රජයට අහිමිවයාමේ තත්වයක් ඇති බවත්, බීඩි හරහා කිසිඳු බදු ආදායමක් රජයට නොලැබෙන බවත් ආර්ථික සහ වෙළඳපොළ විශ්ලේෂකයන් අවධාරණය කර සිටියි.




සබැඳි පුවත් :

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ සිද්ධියේ විමර්ශන CIDයට


ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් රට පුරාම ! - රාජ්‍ය ඇමති වාර්තාවක් කැඳවයි




JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්