නරියෙකු සපා කෑමෙන් මියගිය පී.ඒ. රූපලතා, ජිවත්වූ පැල්පතට ආසන්න සුසානයේම මිහිදන් කෙරුවා විය හැකිය. මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පතිවරයා

බොහෝ දවසකට පසුව 'ලයන්ස් රොටරි ක්ලබ්' ලිපි ගැන දොඩමළු විය.

ඔහු මුලින්ම දෙදරු මවගේ දැනුම සමග ලංකාවේ සාක්‍ෂරතා වාර්තා පට්ට ගසන්නට විය. ඊට බාධා කරමින් ඇයට මුලින් ප්‍රතිකාර කළ බේරුවල වෛද්‍ය කාර්ය මණ්ඩලයේ වගකීම හා වෘතිය නිපුනතාව සිහිපත් කළ පසුව ඔහු නිහඬ විය. රටේ සෞඛ්‍ය සේවා විධිමත් වී නම් රූපලතා තවමත් ජීවතුන් අතරය.

ප්‍රශ්නයක් නිවැරදිව අධ්‍යයනය නො කිරිම හෙවත් ප්‍රශ්නය අල්ලා ගත යුතු තැනින් අල්ලා නොගැනීමේ ලාංකේය ඇබ්බැහිකම මගේ මිත්‍රයාටත් අදාළවේ.

බිම් අඟලක් අහිමිව, සොහොන් පිටිවල ඉටි රෙදි අටවාගෙන ජීවත් වන ජනතාවගේ ඉරණම පාලකයන් දෙන දෙයක් ලබාගෙන මැරී මැරී ජීවත්වීම සක්‍රිය ව්‍යවස්ථාවෙන් සහතික කර ඇත.

අවශ්‍යවන්නේ අනම්‍ය ජාතික ප්‍රතිපත්තියකි. තමන්ගේ වාසියට ජනතාවගේ නැතිබැරිකම කළමනාකරණය කරන බලයක් පාලකයන්ට ලබාදුන් පවත්නා ක්‍රමය රූපලතාගේ ඛේදවාචකය හරහා ගැඹුරෙන් හැදෑරිය හැකිය.

2013දී ලංකාවේ වාර්තාගත දරිද්‍රතාවය 15.4%කි. 2016දී එය 2.7කි. විශ්මය වන්නේ 2017දී දා හත් ලක්‍ෂයක්වූ සමෘධි පවුල් ප්‍රමාණය රාජපක්‍ෂලා බලයට පත්වූ 2020දී  විසි ලක්‍ෂයක් වීමය.


ලෝක ආර්ථීක හා සමාජ මූලාශ අනුව, සංවර්ධනය වෙමින් පවත්නා ලංකාවේ ඉටි කොළ කූඩාරම්වල ජීවත්වන වැසියන්ගේ ජීවන තත්වය පිළිබඳ තත්වය සරලව බැහැර කළ නොහැකිය. මෙවැනි දිළින්දන් ගැන අමෙරිකාවෙන් පවා වාර්තා නොවෙනවා නොවේ. එහෙත් ලංකාවේ 2013දී 15.4%ක්වූ දරිද්‍රතාවය 2016දී 2.7ක පැවති වටපිටාවක, 2017දී දා හත් ලක්‍ෂයක්වූ සමෘධි පවුල් ප්‍රමාණය 2020දී  විසි ලක්‍ෂයක් ලෙස දැක්වීම සුළුවෙන් බැහැර කළ නොහැකිය.



එය ඉතා නිරවුල්ව පාලකයන් රටේ නැතිබැරිකම සිය පැවැත්මට සමපාතව හැසිරවීමකි. අවසන් දිළින්දාත් දෙපයින් ඇවිද්දවීම අපහසු විය හැකිය. එහෙත් එවැනි ජාතික ඉලක්කයක් හඹා යන ජන සම්පන්න ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ.  

අධිවේගි මාර්ග පද්ධතියේ පා පැදි යතුරු පැදි ත්‍රිවිලර් ගමන් කිරීම තහනම්ය. මේ අධීවේගී මාර්ග කා සඳහාද? ඉන්ධන නැතිව විදුලිය කැපෙන විට, කර්මාන්ත ශාලා නතරවීමත් දින නියම කළ විභාග සඳහා සූදානම් වන උස් පහත් භේදයෙන් තොර රටේ දරුවන්ගේ අපහසුවත් එක සමාන නොවේ. මේවා අත්‍යාවශ්‍ය සේවා වලින් එපිටට ගිය අවස්ථාවන්ය. සා පෙළ උසස් පෙළ අසමත් වීමෙන් පාරට වැටෙන දරු දැරියන් වෙනුවෙන්  සැළැස්මත් තිබේද?

 

විසි ලක්‍ෂයක් වන පවුල් ප්‍රමාණයකට සමෘද්ධි පින්පඩි දීමනාව කිසි විටෙකත් දරිද්‍රතාවට එරෙහි ආයෝජනයක් නොවේ. නැතිබැරි පවුල් විසි ලක්‍ෂයක් යනු ඡන්ද අසූ ලක්‍ෂයක් බව දන්නා කිසිදු දේශපාලනඥයෙකු මේ ගැන කතා කරන්නේ නැත. ප්‍රශ්නය වැරදි තැනින් අල්ලා ගැනීම හෙවත් මැණික් කටුව අතහැර වැළමිටෙන් ඇදීම කියන්නේ මෙන්න මේකටය.

 

අධිවේගී මාර්ග ව්‍යාපෘති හරහා කොමිස් ගසති. සමෘධි ආධාරය හරහා ඡන්ද ගරති. බැසිල් බෙදන්නේ රටේ සල්ලි ය. සජිත්ගේ චෛත්‍ය විසි දහසේ ව්‍යෘපෘතියට නාස්ති කළේ මධ්‍යම සංස්කෘති අරමුදලේ මුදල්ය. එකී වරදට අදාළව මේ පාලකයන් සිදු කළ විමර්ශණ වාර්තාව කිසි විටෙක ප්‍රසිද්ධ කරන්නේ නැත.  

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩුවේ බෙදිල්ලට නොදෙවෙනිව, හැරෙන්නටත් බැරි යයි විපක්‍ෂ දේශපාලනයන්ට අභියෝග කරමින් මේ බෙදිල්ලට විවෘත කළ ධන උල්පත කාගේද? සීනි වංචා තෙල් වංචා ඒවාට හිලව්වන කැප කිරිම්ය. දේශපාලනඥයන් කරන මේ බෙදිල්ල නතර කර මිස, රටේ දරිද්‍රතාවය අවසන් කළ නොහැකිය.


බැසිල් සජිත් ඇතුළු දේශපාලනඥයන් ජන සවිය නමින් මහ ප්‍රේමදාස බෝ කළ හිඟන සංස්කෘතියට පොහොර දමා පවත්වා ගෙන යති.  ප්‍රේමදාස මුලින්ම කළේ සෙවන සරණ කැපකරු මාපිය ක්‍රමය නමින් පාස් පොත් බෙදිල්ලකි.  අපේ ජනශ්‍රැති අනුව, එළදෙනක් බෙදා ගත් කතාවේ වාසිය සතාගේ පසු භාගය ලැබුණ එකාටය. වර්තමාන ලංකාවේ  සමෘධිය යනු තණකොළ වේ. ගොම පොහොර කතිර තොගයකි. හරකා කවුදැයි සිතාගත යුතුවේ.


ඒ කතිර තොගය නම් ගොම පොහොරෙන් සශ්‍රීකවූ පවුල් අටුව සිදුරු කිරීමෙන් විජමුගේ පුතා කළ හෙළිදරව්ව අනුව, උදිත් ලොකු බණ්ඩාර යනු සරදියෙන් වර්ගයේ වීරයෙකි. ඒ රාජපක්‍ෂලා සතු දසක ගණන් අත නොගැසූ මුදල් සංචිත හෙළිදරව් කළ නිසාය.


වැළමිටෙන් අල්ලා කතිර ගස්වා නැවත හිඟන මුඩුක්කුවට..


Mock election in Sri Lanka, 14 June

ලංකාවේ ගැමි දරිද්‍රතා ප්‍රතිකර්මය වන සමෘධි දීමනාව රාජ්‍ය භාණ්ඩාගාරයට වැය බරකි. සමෘධි සොච්චමෙන් දින දෙකක් පවුලකට ජීවත්විය නොහැකිය. එහෙත් ඒ සඳහා වසරකට වැය වන මුදලට සමාන ඩොලර් ප්‍රමාණයක් පසුගියදා රාජපක්‍ෂ පාලනය චීනයට වන්දි ලෙස ගෙවනු ලැබීය.

යථාර්ථය විය යුත්තේ  දිළින්දන් ශක්තිමත් කොට රට ජව සම්පන්න කිරීම ය. එහෙත් බලයේ සිටින එකාත් බලය ඉල්ලන එකාත් මැණික් කටුවෙන් අල්ලා දුප්පතුන් ඔසවා ඇවිද්දවන්නේ නැත. වැළමිටෙන් අල්ලා කතිර ගස්වා නැවත හිඟන මුඩුක්කුවට තල්ලු කරති.

මේ පැහැදිලි කිරීමෙන් පසුව විශ්‍රාමික විදුහල්පතිට යොමු කළ ප්‍රශ්න මෙසේය. රටේ දේශපාලන වේදිකාවේ කියැවෙන විධායක ක්‍රමයේ ආදීනව, විනිමය අනුපාත ගැටළුව, බැඳුම්කර වංචා .....? වෙස්මිනිස්ටර් ක්‍රමය....? සෝල්බරි  සහ ජනරජ ව්‍යවස්ථා අතර වෙනස, ව්‍යවස්ථාදායක විධායක අධිකරණ අතර පැවතිය යුතු සමබරතාවය....? උතුරු නැගෙනහිර ප්‍රශ්නය.... රනිල්ගේ ප්‍රවීනත්වය..... සජිත්ගේ භාෂා චාතූර්ය..... චම්පිකගේ හරබර ප්‍රකාශනය.... මේ කිසිවක් ගැන පී.ඒ. රූපලතා හෝ ඇයගේ ඉටි රෙදි පැලේ වැටී ජීවත්වූ දරු පවුලට තේරුමක් නැත.

වර්තමාන ලංකාවේ පක්‍ෂ විපක්‍ෂ දේශපාලනය යනු ආරිච්චි බෝරිච්චි බෝල මාල මිස යථාර්ථයට ආමන්ත්‍රණය නොකරති.  


රටේ ප්‍රශ්නය රාජපක්‍ෂලා පමණක්ද?


රටේ  ප්‍රශ්නය රාජපක්‍ෂලා පමණක්ද? නැත. පාටලී චම්පිකගේ ප්‍රකාශයකින් පිළිතුරු දිය හැකිය. ඔහු ගිය සිකුරාදා කොමිසමකට සාක්කි දී එන අතර රටට මේ විනාසය සිදුවුණේ විශේෂයෙන් 2007-2015 අතර බව කීය. ඒ කියන්නේ පැනඩෝරා පත්‍රිකාවල සඳහන් නිරූපමා තිරු නඩේසන් නිර්මානය කළ රාජපක්‍ෂ පාලන කාලය ගැනය. ඒ කාලකන්නි යුගයේ පාඨලී චම්පිකත් රාජපක්‍ෂ පාලනයේ හවුල් කාරයෙකි.

මාදුළුවාවේ හාමුදුරුවන් යහ පාලනය නොගෙනාවා නම් පාඨලි චම්පික අදත් රාජපක්‍ෂ සමාගමේය. විධායකය අහෝසි කිරීම ඇතුළු යහ පාලන අවබෝධතා ගිවිසුම වෙනම තැනක අත්සන් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස රතන පාඨලීත් සිටියේය. අයියලා එහෙමය. ඔහු අදත් විධායක ක්‍රමය විශ්වාස කරන්නෙකි. ඒ අර්ථයෙන් රාජපක්‍ෂලා පල් හොරුන් නම් පාඨලී චම්පිකත් ඒ හතළිහේ සාමාජිකයෙකි.  

අද සුසිල් ප්‍රේම් ජයන්ත්ට ගම්මන්පිලට ඇති හයිය එදා පාඨලී චම්පිකට තිබුණේ නැත. දැන් ඔහු බලකායක බ්‍රිගේඩියර්ව කණ්ඩායමක් කැඳවමින් සිටියි.


වර්තමානයේ රාජපක්‍ෂලා යහ පාලන ජයග්‍රහණ හමුවේ දනින් වැටී සිටිති. ඒ ගැන රනිල් සජිත් කතා නොකරති. අනුර කුමාරලා, පාඨලීලා හොරකම් ගැනම කියවති. චෞර රාජපක්‍ෂලා ශක්තිමත් කළ සටන්වල ඉදිරියෙන්ම සිටි ජවිපෙ වර්තමානයේ හෙවත් හෙවත් යනුවෙන් තුන්වෙනි නමින් පෙනී සිටියි.  ව්‍යාපාර විසි ගණනක සාමාජිකව සිටි පසුකර බලකායකට නායකත්වය දෙන චම්පිකත් රාජපක්‍ෂට ගොට්ට ඇල්ලූ භවතෙකි.


විධායක ක්‍රමය අහෝසි කර රට අළුතෙන් ගොඩ නැගීමට කතා නොකරන කිසිවෙකු සුද්ධවන්තයන් විය නොහැකිය. රන්ජන් නිදහස් කිරීම ගැන ලාල්කාන්ත කීවේ දඬුවමක් විඳ පැමිණිය යුතු බවය. ඒ ජවිපේ ප්‍රතිපත්තිය නොවේ. විජේවීරලා ගමනායකලා ගෙදර ගියේ ජේ.ආර්.ට පින් සිද්ධ වෙන්නටය. අපි හොරුන් සමග නැත කියන අනුර කුමාරලා විප්ලවයේ නාමයෙන් කළ බැංකු මංකොල්ලකෑම් හොරකම් නොවේද? මං සුදනා කියන ඉස්සාත් අනුර කුමාරලාත් එකම පේලියේය.

රාජ්‍ය සේවය බරක් බව කියන රාජපක්‍ෂලා නව ලක්‍ෂයක්වූ රාජ්‍ය සේවය දහනව ලක්‍ෂය තේ වැඩි කළහ. දස අතේ රට ණයවී ඇති මොහොතක පඩිපතට රුපියල් දස දහස බැගින් වැඩි කළ රනිල් වික්‍රමසිංහ සමහරුන්ට ආර්ථික ඔස්තාර් කෙනෙකි. 2021දීපනස් හය දහසක් රාජ්‍ය සේවයට එක් කළ ගෝඨාභය තමන් පත් කළ පිරිසට මේස පුටු හෝ නැති බව පිළිගත්තේය.  

 

පඩි වැඩි කිරීමත් රස්සා දීමත් දේශපාලන ජොලියක් මිස සැලැස්මක් නොවේ. ආර්ථික මර්මස්ථාන විකිණීමට එරෙහිව පෙළපාලි යාමට අර රාජ්‍ය සේවකයා මෙහෙයවන්නේත් මොවුන්මය.

 

බන්දුල ගුණවර්ධන වරක් පාර්ලිමේන්තුවේදී කී පරිදි රාජ්‍ය සේවය දහනව ලක්‍ෂයකි. සමෘධිලාභින් විසි ලක්‍ෂයකි. විශ්‍රාම වැටුප් ලබන්නන් හය ලක්‍ෂ හැට දහසකි. එකතුව හතලිස් පන් ලක්‍ෂ හැට දහසකි. මේවා රාජ්‍ය අරමුදලෙන් ගෙවිය යුතුවේ. ඒ සමග බදු අඩු කෙරෙති. තීරුබදු රහිත වාහන ගෙන්වති. රට සහල් කවා ජනතා බඩගින්න නිවනවා කියති.  අයවැය කාරක සභා විවාදය ආරම්භ කරමින් රුපියලක් කැපීමට හැමදාම යොජනා කරන විපක්‍ෂයේ කිසිවෙකු මේ විනාසය නතර කිරීමට නායකත්වය දෙන්නේ නැත.  

මේ සත්‍ය රූපලතාලාට පැහැදිලි කළොත්....... ඇත්තද කියා ඔවුන් හූල්ලනවාමය. රටේ සහ දරු පැටව්න්ගේ අනාගතය සඳහා කළ යුත්තේ කුමක්දැයි අසන ගැනට ඒ මිනිසුන් මෙහෙයවිය හැකිය.

රටේ විනාසයට මුල නාස්තියයි. නාස්තිය කරන්නේ පාලකයන්ය. පඩිනඩි වරප්‍රසාද හොරකම් නතර කළ විට, රට ගොඩය. ගමේ පන්සල පෙනි පෙනී පාරේ හන්දියේ බැඳෙන බෝධි ප්‍රකාරයට සම්මාදම් දෙන අපේ මිනිසුන් උපන් රට වෙනුවෙන් යමක් කිරීමට දෙවරක් නොසිතනු ඇත. නායකත්වය අවශ්‍ය ඒ සඳහාය.

මැරෙන මොහොතේත් රූපලතා කීවේ මගේ පන හයියයි කියාය. ඒ හයිය රටට හයියක් කිරීමට මුල් වන්නේ කවුද? ජාතියේ ආගමේ යුද්ධයේ නාමයෙන් මිනිසුන් පිස්සු වට්ටා කතිර එකතු කරන දේශපාලනඥයන් ආගමටත් වඩා රට වටින බව රූපලතාලාට කියන්න කැමති නැත.

 

Lee Kuan Yew (1923-2015)

ලී ක්වාන් යූ

 

ලී ක්වාන් යූ ශක්තිමත් සිංගප්පූරුව ගොඩ නැගුවේ නවසිය පනස් ගණන්වල මුල් කාලයේ ලංකාව පැවති හැඩයටය. ඒ කියන්නේ අපේ ලංකාව නැවත අපට ලංකාවක් කළ හැකි බවය.


පිරිසිදු වාතය සහිත පවිත්‍ර පරිසරයක් තමා සිංගප්පූරුවට දායාද කළ බව එක් මැතිවරණ කතාවකදි සිහිපත් කළ ලීක්වාන් යූ, රටේ ජනතාව හුස්ම ගන්නා ඒ පිරිසිදු වාතයට බදු අය කිරීමට තමන් උත්සාහ කරනවා කීය. ඒ කියන්නේ රටක් යන දන්සලක් නොවිය යුතු බවය. 


ලංකාව දන්සලක් කළේ කවුද? 


# ඩී.එස්.සේනානායක රජයේ වියදමින් අස්වද්දා වී වපුරා ගොයම් කැපීමට ආසන්න ඉඩම් ජනපද ලෙස ජනතාවට බෙදා දුන්නේය. ඒ දුන්නේ සහන මල්ලක් නොව බිළි පිත්තක් හැටියටය. අදත් ඒ මිනිසුන් රටට බත සපයති.

# 1951දී ලංකාවේ රබර් චීන හාල් වලට හුවමාරු කළේ ලෝකයම එපා කියද්දීය.

# 53දී සමසමාජය හර්තාල් කළේ  හාල් මිල වැඩි කිරීමට එරෙහිවය.

# ජේ.ආර්. නැති කළ හාල් පොත් නැවත දෙන බව 1982 කොබ්බෑකඩුවගේ ප්‍රමුඛ ඡන්ද පොරොන්දුව විය.

# ප්‍රේමදාසට ජන සවිය හරහා ඇති කළ හිඟන මානසිකත්වය යළි රට විනාසයට ඇද දැමීය.


 ලී ක්වාන් යූ මොඩලයට ගන්නා ලංකාව එංගලන්තයත් ණය දුන් සමෘධිමත් රටකි. ලංකාවේ ඇද වැටීම ආරම්භ වුණේ 53  හර්තාල ජයග්‍රහණයෙන් පසුවය.

 
Chandrasiri Senevirathne 21
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)


 
Leader Whats app

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්