පොහොට්ටුව සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ කළගෙඩිහේනේදී කුණු බිත්තර ගැසීමෙන් මිස අනුරාධපුරයෙන් නොවේ.
ලංකාවේ කෘෂිකාර්මික සංස්කෘතියේ පාදම වූ කාගම කටියාව මෙන්ම මහවැලි එච් කලාපය වැනි යෝධ ගොවි ජනපද ව්‍යාපර පිහිටි අනුරාධපුරය රාජපක්‍ෂලා තම පළමු රැස්වීම පිණිස තෝරා ගැනීම ගැඹුරෙන් කියවිය යුත්තකි. එහි අර්ථය රටට බත සපයන ගොවි ජනතාවගේ අඳෝනා යටපත් කොට සිය තක්කඩි රටාවට බලය තහවුරු කිරීමය. අනුරාධපුර පමණක් නොව ලංකාවම ලතෝනි පිටියකි.
රාජපක්‍ෂලා ගියේ වියළි කලාපයේ ගොවීන්ගේ ශක්තිය කෙරෙහි විශ්වාසය තබලා නොවේ. පොහොර සහ අලි ගැටුමෙන් කුපිතව රාජපක්‍ෂ සනුහරයට උදේ හවා සාප කරන වියලි කලාපයේ ජනතාව බිය ගැන්වීමටය.
“අපට පාර පුරුදුයි” “පාද යාත්‍රා පුරුදුයි” වහසි බස් දෙඩූ මහින්දගේ වහසි කතාවල සැඟවී ඇත්තේ උඹලා මොකා එක්ක පාරට බැස්සත් අපි බලා ගන්නම් වැනි තර්ජනයකි.
තමන් ඇවිදින්නේත් දෙතුන් දෙනෙකුගේ වාරුවෙන් බව ඔහුටම මතක නැත්තේ මහින්ද කය මනස දෙකම දුර්වල මහල්ලෙකු නිසාය. අනෙක මහින්ද හුස්ම තද කර කෑ ගසා සිහිපත් කළ පාර පාද යාත්‍ර වලින් විපක්‍ෂයක් ශක්තිමත් කරනු මිස, පිරිහුණ ආණ්ඩුවක් කෙලින් කළ නොහැකි බව හෝ නොතේරෙන තරමට ඔහු දුර්වලය.
මහින්ද පමණක් නොව රාජපක්‍ෂ සනුහරයම සිටින්නේ අගමුල පටලා ගෙනය. කැපුවත් අපි පොහොට්ටුවට කී සමෘධිලාභි රජරට වැඩිහිටි කාන්තාවකගෙන් කොහොමද රැස්වීමට ගියාද කියා ඇසූ විට ඇය කීවේ කුමක්ද? අපට වෙච්ච ටික හොඳටම ඇති කියාය. එහෙත් ඇයගේ ආවේගය ශක්තිමත් කිරීමට බෙදී බිඳි ගිය විපක්‍ෂයට හයියක් නැත. ප්‍රශ්නය ඇත්තේ එතැනය.
නීතිය මමයි කී වර්තමාන විධායක ජනාධිපතිගේ අඹගමු ගිය තිරුවාගේ කතා රටට පුරුදුය. ඔහුගේ පොහොර නැතත් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා කීම සීනි නැතිව තේ බොන්නම් ජාතියේ තකතීරු ප්‍රකාශයකි.
සත්තකින්ම අනුරාධපුර පොහොට්ටු රැස්වීම මුට්ටිය දමා බැලීමට වැඩි යමක් නැත. මුට්ටිය දමා බලන්නේ හොරුන් තක්කඩින් මිස මහත්තුරුන් බුද්ධිමතුන් නම් නොවේ.
අනුරාධපුරයේදී මහින්ද හැසිරුණේ රට කිරියෙන් පැනියෙන් ඉතිරෙන ආකාරයෙනි. හේතුව වසංගතය දුප්පත්කම ඉහවහ ගිය රටේ ජනතාවගෙන් අඩක් පාරට බැස්සත් විපක්‍ෂයේ කල්ලි කා කොටා ගැනීමේ වාසිය ඔහුට තේරෙන නිසාය. විසිරුණ වර්තමාන විපක්‍ෂයට නොතේරෙන්නේද ඒ ටිකමය.
සිරිසේන කැරළි ගසද්දී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරිට මහින්ද කීවේ බය නැතිව වැඩේ කරගෙන යන්න කියාය. ඒ ඇයි ? මහින්ද කියන්නේ රනිල්ලා සජිත්ලා අනුර කුමාරලාට හැරෙන්නත් බැරි ශක්ති ප්‍රභවයක් නිසාය.
මහින්ද අතීතයේ තම වාසියට වරින් වර රනිල් සජිත් පාඨලී මන්ම, අනුර කුමාරලාද හැසිරවීමට සමත්වූ චරිතයකි. යම් දවසක දයාසිරි ශ්‍රීලනිපයේ හිමිකම ඇමතිකමකට මහින්ද විකුණනවා නිසැකය.
මේ ලිපියේම “මහින්ද රාජපක්‍ෂ යනු කය මනස දෙකම දුර්වල මහල්ලෙකු” බව සඳහන් කළාට, දේශපාලනයෙන් පරිනත මහින්ද තම ශක්තියට විසිරී යන්න දෙන්නේ නැත.
ඊට සාපේක්‍ෂව සජබේ තිදෙනෙකු ජනාධිපතිකමට උනුන් කොනිත්තා ගනිති. ජවිපෙය පවිත්‍ර ඡන්ද එකතු කරති.
අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර
මෙහිදී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර කාලෝචිත පූර්වාදර්ශයකි. ප්‍රින්ස් යනු තම නායක පිලිප් හමුවේ හෝ සිය මතවාද පාවා නොදුන් චරිතයකි. ඔහු පත්‍ර කලාවේදියෙකු මෙන්ම නීතිඥයෙකුවූ බව ගෞරවයෙන් සටහන් කළ යුතුවේ.
1956දී ජයග්‍රාහී මහජන එක්සත් පෙරමුණේ සම ලේකම් වරයෙකු මෙන්ම, පිලිප් ගුණවර්ධනගේ ලේකම් පදවියද දැරූ හෙතෙම 1960 මාර්තුවේදී පිලිප්ගේ මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් හබරාදුව මන්ත්‍රී ලෙස තේරී පත්විය.
එහෙත් 1960 ජූලියේදී පරාජය වූ ප්‍රින්ස් 1965දී ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස හබරාදුව ජය ගත්තේය. 1970 ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ 1971 කැරැල්ලට සුබ පතා ශ්‍රීලනිපයෙන් වෙන්ව, පාර්ලිමේන්තුවේ ස්වාධීනව පෙනී සිටියේය.
තුනෙන් දෙකේ මැතිනියගේ ආණ්ඩුවේ අසාර්ථකවීමට එරෙහිව කොන්දේසි රහිතව පෙනී සිටි හෙතෙම ජේ.ආර්. සමග එකම වේදිකාවේ සත්‍යග්‍රහ ව්‍යාපාර දිරිමත් කළේය.
එජාපයට එක්ව හබරාදුව ආසනයට තරග කරන ලෙස කළ යෝජනාව ප්‍රින්ස් ප්‍රතික්‍ෂේප කළේ “පවතින ආණ්ඩුවට මම විරුද්ධ වුණේ හෘදය සාක්‍ෂිකයට එකඟව. ඒ හෘදය සාක්‍ෂිය එජාපයට එකතු වන තරමට ලාමක නැත. ඒ මගේ දේශපාලනය.” යනුවෙන් බරසාර විග්‍රහයක් කරමිනි.
වර්තමානයේ එකම වම ලෙස කියා ගන්නා අනුර කුමාරලා ජවිපෙ වෙනුවෙන් උපන් රටත් අහිමි කරගත් ප්‍රින්ස් ගුණසේකරව තේරුම් ගැනීමට තරම් මුහුකුරා ගිය දැනුමක් නැත.
අද රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට යම් දේශපාලඥයෙකු ජනතාවාදීව සිතයි නම් ඔහු හෝ ඇය හැදෑරිය යුත්තේ ප්‍රින්ස් ගුණසේකර වැනි පූර්වාදර්ශයන්ය.
මේ දිනවල එම්.ඒ. සුහරන්දින් එවැනි ආරම්භයකට කැප වී සිටියි.
රටට මෙහෙම වෙන්නේ කුවේනිගේ සාපය නිසා බවට විශ්වාසයක් පවතී. 1971 කැරැල්ලෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ විවිධ නම් වලින් පෙනී සිටිමින් සිදු කළ දේශපාලනය අදටත් රටේ ප්‍රගමනයට හූනියමකි. සමාජ ජාලාහී දැක්වෙන කුමාර ගුණරත්නම් ගැන අනුර කුමාර වරින් වර කළ එකිනෙකට ගැටෙන ප්‍රකාශ නිරීක්‍ෂණය කළ මගේ මිතුරෙකු කීවේ මට මේකා ගැන දුකයි කියාය.
ඒ ප්‍රකාශය අනුරගේ ධී ශක්තියෙන් ඔහුගේ දේශපාලනය වෙන් කොට දැකීමකි. 1971 මහ නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ප්‍රින්ස්ට සාපේක්‍ෂව අනුර කුමාරට, ලාල් කාන්තට ඓතිහාසිකව හිමිවී ඇත්තේ ඕජස් ගලන දේශපාලන මළ කුණක් කර තබා ගෙන යාමේ වගකීමකි. 1924 ජූලි 17 වෙනි දින කතළුවේදි උපන් ප්‍රින්ස් ගුණසේකර 2018 දෙසැම්බර් මස 29 දින බ්‍රිතාන්‍යයේදී මිය ගියේය.
අනුරලා ලාල් කාන්තලා මහහැර රටේ වෙනසක් අපේක්‍ෂා කරන සමහරු පාඨලී චම්පික ගැන විමසති.
56 සටනට නායකත්වය දෙන ලෙස කළ ආරාධනය ඩඩ්ලි ප්‍රතික්‍ෂේප කළේ තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටීම සහ එජාපයට එරෙහිව දේශපාලනය නො කිරීම යන හේතු මතය.
1924දී ලංකාවට පෙඩරල් ක්‍රමය උචිත බව කී බණ්ඩාරනායක දෙවරක් නොසිතා 56 නායකත්වය ඩැහැ ගත්තේය.
සුචරිතයෙන් පටන් ගත් ප්‍රේමදාස කම්කරු පක්‍ෂය, පුරවැසි පෙරමුණ ආදි ව්‍යාපාර පසු කොට, එජාපයේ සිටියදී පවා ඩඩ්ලිට වින කටින්නට ගොස් වුඩ්ලන්ඩ්හිදී සෙරෙප්පු පූජවකින් බුහුමන් ලැබීය. ඩඩ්ලිගේ අභාවයට පසුව පාලලාගේ දාසලාගේ යුගයකට නියතපාලලා මෙහෙයවූ ප්‍රේමදාස ගැන ජේ.ආර්. මැනවින් දැන සිටියේය.
එක් දවසක ගාල්ලේ පැවති ඉතා සාර්ථක එජාප රැළියක් අවසානයේ කොළඹ ඒමට සූදානම්වූ ජේ.ආර්. ප්‍රේමදාසට තම මෝටර් රියට නංවා ගත්තේය. ජේ.ආර්.ටත් පෙර ප්‍රේමදාස දොඩමළුවිය.
“හරි සාර්ථකයි. මම හිතුවේ නැහැ මෙච්චර සෙනඟක් ඒවි කියලා.
“සමහරු නොහිතන දේ රටේ සිද්ධ වෙනවා. තමුන් අද තීරණයක් ගන්න ඕනැ මාත් එක්ක වැඩ කරනවාද නැද්ද කියලා. දෙදෙනා කොළඹ එන තෙක් ඉන්පසුව කිසිදු කතාබහක් සිදු නොවීය. එපමණකි.
නායකත්වයෙන් පරිපූර්ණ ජේ.ආර්. කිසි විටෙක ප්‍රේමදාසට බාධා කළේ නැත. එපමණක් නොවේ. ජේ.ආර්., ගාමිණි ලලිත් දෙදෙනාටද නිදහසේ වැඩෙන්නට ඉඩ හැරියේය. ජේ.ආර්. එජාපයට අවංක වුණාට ප්‍රේමදාස එජාපය විනාස කළේය. ගාමිණි ලලිත්ලා සිටි එජාපයට සොත්ති උපාලිලා කැඳවන ලද්දේ ප්‍රේමදාස විසිනි.
ජාති ආගම් වාද අවුළුවා බලයට පත් බණ්ඩාරනායක මැරුම් කෑවේ භික්‍ෂුවක අතිනි. ප්‍රේමදාස ඝාතනය කළේ ඔහු විසින් ආයුධ සහ මුදල් දී පෝෂණය කළ ප්‍රභාකරන් විසිනි. නායකත්වය සෙල්ලමක් නොවේ. බණ්ඩාරනායක මැතිනිය අවස්ථා දෙකකදී ඇන්.ඇම්. සහ කොල්වින් සිය කැබිනට් මණ්ඩලය තුළ මෙහෙයවන ලද්දේ විභාග පාස් වෙලා නොවේ.
ජේ.ආර්.ට ඇඳක මැරෙන්නැති බවට විජය කුමාරතුංග කළ ප්‍රකාශයට ජේ.ආර්. දුන් පිළිතුර කුමක්ද? මම නම් මැරෙන්නේ ඇඳක. හැබයි අපේ මරණ වරෙන්තු ලියන මහත්තුරු පරෙස්සම් වුණොත් හොඳයි යන්නය.
ප්‍රේමදාස ඇවෑමෙන් ජනාධිපතිවූ විජේතුංග කීවේ තමන්ට බලය ලැබුණේ නීතියෙන් මිස ඡන්දයෙන් නොවන බවය. එසේම තමා එජාපයේ භාරකරු මිස නායකයා නොවන බවත් කීය. බලෙන් නායකයන් වූ කිසිවෙකු ඇඳක මැරිලා නැත. විජේතුංගට අනුව අදට රටට අවශ්‍ය භාරකාරයන් මිස නායකයන් නොවේ.
බුද්ධි අංශ වාර්තා අනුව, ජේ.ආර්.මරමු පෝස්ටරය ජවිපෙ වැඩක් නොවේ. පාරේ මිනි කඳු ගොඩ ගැසූ ජේ.ආර්.ගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති මියෑදුණේ මහ පාරේය. බලය පසුපස හඹා යාමේ පල විපාක එහෙමය.
සජිත් පාඨලී දෙදෙනාත් එකම පක්‍ෂයක සිට කා කොටා ගැනීම දෛවයේ සරදමකි.
ප්‍රේමදාස මට්ටු කිරීමට ජේ.ආර්.ට හැකි වුණාට, සජිත් වැනි රූකඩයක් පාලනය කිරීමට රනිල්ට බැරිවිය. ඒ රනිල්ට 2005න් පසුව කිසි විටෙක විධායක ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අවස්ථාව හෝ හිමි නොවීමත් ජේ.ආර්. ප්‍රේමදාස මට්ටු කළා මෙන් සජිත් වැනි රූකඩයක් හසුරුවා ගැනීමට නොහැකිවීමත් විජේතුංග ආපසු ගාමිණි එජාපයට කැඳවීමත් පසුව විපක්‍ෂ නායක කමට රනිල් සිටියදී ගාමිණි පත් කර ගැනීමත් උපන් නායකත්වයක් රනිල්ට නොමැති බවට සාක්‍ෂි වෙති.
ගාමිණි ලලිත් නම් බුද්ධිමතුන් දෙදෙනා විනාස කිරීමට ප්‍රේමදාසට උදව් කළ රනිල් සරසවියක් ලෙස සිතන්නෝත් සිටිති.
“පුළුවන් නම් කියා මහින්ද අනුරාධපුරයේදී අභියෝග කළේ සජිත් රනිල්ට නොවේ. සමගියක් නැතිව විසිරි ගිය විපක්‍ෂයටය. අදටත් සජබේ මන්ත්‍රී බහුතරයකට කණ්ඩායම් නායකයෙකු හෝ නැත. රනිල්ට සජිත්ව සේම සජිත්ට පාඨලීවත් හසුරුවා ගැනීමට නොහැකිවීමත් අදටත් රටේ විසිරී පවත්නා එජාප මානසිකත්වය වෙනත් කිසිදු දේශපාලන ධාරාවකට උරා ගැනීමට නොහැකිවීමත් තේරුම් ගත යුත්තේ එජාප සජබ ක්‍රියාකිරීන්ය.
ජනතා විමුක්ති පෙරමුණ ගමට යාමට සාපේක්‍ෂව ශිෂ්‍ය නේවාසිකාගාරයක් අයිවෝර් ජෙනිංස් යනුවෙන් නම් කිරිමට එරෙහිව අරගලය සිහිපත් වේ.
ඒ කාලයේ පේරාදෙණියේ විද්‍යා පීඨයේත් පශු වෛද්‍ය පීඨයේත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් ශිල්ප උගත්හ. ඔවුන්ගේ පියා 88-89 භීෂණය අතර ගෙදරදීම වෙඩි තබා ඝාතනය කළේ හඳුනා නොගත් තුවක්කු කරුවන්ය. හේතුව ව්‍යාපාරයේ අණ පරිදි පොලිස් සේවයෙන් ඉල්ලා අස් නොවීමය. (පේරාදෙණිය සරසවිය සහ සර් අයිවෝ ජෙනින්ස් 196 පිට සිතක මතක චන්ද්‍රසිරි සෙනෙවිරත්න සරසවි ප්‍රකාශනයකි.)
ගමට යාමට සැලසුම් කරන ජවිපෙ පෙර වැරදි උනුන් පසුපස එන්නේ කරත්ත රෝදය වාගේය.
විසිරී පිරිහුණ ලාංකේය දේශපාලනයට අලුත් එළියක්
මෙසේ විසිරී පිරිහුණ ලාංකේය දේශපාලනයට ද්‍රවිඪ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුහන්දිරන් ගිය සතියේ කොළඹදී නව එළියක් දැක්වීය.
සුහන්දිරන් යනු සුන්දරලිංගම්ලා උස්සා ගෙන ගොස් ගෝල්පේස් පිට්ටනියට විසි කළ උතුරු දකුණු විසංවාදයේ වර්තමාන නියෝජිතයෙකි. ඒ අවබෝධය සමග සුහන්දිරන්ගේ මැදිහත්වීම පක්‍ෂ මානසිකත්වයෙන් මිදුණ නිර්පාක්‍ෂික දිශානතියට රට යොමු කෙරෙන අත්පොත් තැබීමකි.
සාකච්ඡාව අවසානයේ එළි දැක්වූ ප්‍රකාශනයට අත්සන් කරන්නේ සජිත් සමග කබීර්, හර්ෂ එරාන් ද සම්බන්ධන් සමග සුහන්දිරන් සහ ශානක්‍යලා ආදි පුද්ගලයන් මිස පක්‍ෂ නොවේ. ඊට කරු ජයසුරිය කැඳවීමත් සුවිශේෂ වේ.
සුහන්දිරන් ඇති කළ මේ ජවය, අනුරාධපුර අභියෝගයට බරසාර පිළිතුරකි.
'සාධාරණ සමාජයක් ව්‍යාපාරය' ආරම්භයේ කරු ජයසුරියලා, වාසුලා පොන්ස්කාලා පැමිණියේද පක්‍ෂ නියෝජනයක් නොව හුදෙක් පුද්ගලයන් හැටියටය.
සුහන්දිරන් මූල්වූ ප්‍රකාශයට අනුර කුමාරලා හෝ පාටලී චම්පික අත්සන් නො කළේ සඟවා ගත් වර්ගවාදි කුහමකම හෝ මෝඩ උද්ධච්ඡකම නිසා විය හැකිය.
අනුරාධපුර රැස්වීමත් ඊට සජිත් දැක්වූ ප්‍රතිචාරයත් බල අරගලයේ ද්වන්ධ සටන මිස රටේ යථාර්ථය ප්‍රදර්ශනය නොවේ. රටේ ප්‍රශ්නය වසා ආණ්ඩුව කරන අභියෝගය පිළිගැනීම තකතීරු වැඩකි. රට බෙදි ඡන්දයෙන් අන්ධව හැසිරීම රාජපක්‍ෂලාගේ උවමනාවට රට තල්ලු කළ යුතු නැත.
පොදු විපක්‍ෂය නිවේදනයේ රටේ පවත්නා ප්‍රශ්න ඉස්මතු කර දක්වයි.
රාජපක්‍ෂලා සහ සජිත් අලියා සහ අන්ධයා වාගේය. පොදු විපක්‍ෂයේ දැක්ම යථාර්ථය නොවේද?
2015 පෙරළියට පුරෝගාමිවූ මාදුළුවාවේ හාමුදුරුවෝ ජනාධිපතිකම තබා මන්ත්‍රීකමක් හෝ අපේක්‍ෂා කළේ නැත. රටේ ජනතාව ඒ නිරාමිෂ කැපවීම විශ්වාස කළහ.
සුහන්දිරන්ට ලංකාවේ ජනාධිපති සිහිනයක් තිබිය නොහැකිය. එහෙත් ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භයේ ඡන්දයෙන් පත්වූ ප්‍රථම ලාංකික නියෝජිතයා සර් පොන්නම්බලම් රාමනාදන් අමතක කළ යුතු නොවේ. ඒ සහෝදරත්වය 56 පෙරළිය තෙක් රටට ශක්තියක්ව පැවතිණ.
ඉතිහාසය යනු එකම ඉර නැවත උදාවීමකි. අවශ්‍ය වන්නේ පක්‍ෂය ස්වාර්ථය යටපත් කළ ප්‍රින්ස් ගුණසේකර මෙන් හතුරා සමග වුව පොදු සටන් සඳහා එකතුවූ මිනිසුන්ය. සුහන්දිරන් ඊට අත්පොත් තබා ඇත.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි)
සබැඳි පුවත් :
සුමන්තිරන් කැඳවූ සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ නිවේදනයක් - තිස්ස විතාරණත් අත්සන් කරයි