හැමදාම අපේ රටේ ජනතාව ආණ්ඩුවක් බිහි කිරීමේදී ඉතාම ජනප්‍රිය සටන් පාඨයට වැඩි බරක් තබමින් කටයුතු කළ බව සත්‍යයකි.



හාල් සේරුව ලබා ගැනීමටත්, පැය 24 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවාටත්, හදෙන් හරි හාල් ගෙනත් දෙනවාටත්, ධර්මිෂ්ඨ සමාජයක් හදනවා ටත්, සාමය සමෘද්ධිය දෙනවාටත්, ඒ අතර තුනයි පණහට පාන් කන්නටත්, ජාතික ආරක්ෂාවට සහ සෞභාග්‍යයටත් මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කළ අවස්ථා තිබේ. ඒ   හරහා ආණ්ඩු මාරු වූ සහ ආණ්ඩු බිහි වූ අවස්ථාත් තිබේ.

 

අපේ රටේ සෑම මැතිවරණයකදී ම පාහේ වැඩියෙන්ම අලෙවි වූ සටන් පාඨ අතර සැගවී තිබූ සටන් පාඨයක් වූයේ, "ජාතිවාදය, අන්තවාදය, ආගම්වාදය, පවුල්වාදය සහ වර්ගවාදයයි ". ඒ මත පිහිටා ගනු ලැබූ තීන්දුවල ඵල විපාක අපේ රට දශක හතකට වැඩි කාලයක් තිස්සේ අත්විඳිමින් සිටී.



ලෝකයේ මිනිස්සු දිහා බැලුවම සාමාන්‍යයෙන් තමන් ජීවිතයේ මුහුණ දෙන අත්දැකීම් පාඩම් බවට පත් කර ගනී. ඒ පාඩම් වලින් පන්නරය අරගෙන ජීවිතයේ ඉදිරි තීන්දු තීරණ ගනී.

නමුත් අවාසනාවකට, අපේ රටේ මිනිස්සු බොහෝ විට අත්දැකීම් පාඩම් කර ගන්නවා වෙනුවට අත්දැකීම් අත්වැරදීම් බවට පත් කරගනී.

ඒ විතරක් නෙවේ මුරණ්ඩු මතයකම සිටී.

වර්තමාන ආණ්ඩුව පත්ව මේ වෙනකොට කාලයක් ගෙවී ගොස් ඇති අතර, රටේ හැම මනුස්සයෙකුටම බොහෝ අත්දැකීම් ලබාගන්නට හැකියාව ලැබී තිබේ. 

එසේ තිබියදීත් අපිට වැරදුනේ කොතනද යන්න අපේ රටේ මිනිස්සුන්ට තවම තේරුම් ගන්නට නොහැකිව තිබේ.

අවුරුදු තිහක යුද්ධයක් අවසන් වුණාට පස්සේවත් අපේ රටේ මිනිස්සුන්ට හැමෝම එක වගේ මිනිස්සු කියලා හිතන්න නොහැකි විය. විවිධත්වයට ගරු කොට හැමෝම එකට එකතුව මේ රට ගොඩනගන්න ඕන කියන අවංක අදහස ක්‍රියාවට නංවන්න නොහැකි විය.

ජාති ආගම් කුල මල භේදවලින් තොරව හැමෝම ශ්‍රී ලාංකිකයෝ ලෙස සලකා වැඩ කරන්න නොහැකි විය.

එක කොටසක් සිංහල බෞද්ධ කියා අනෙක් අයව පීඩාවට පත් කරයි. තව කොටසක් දෙමළ කියලා අනෙක් අය ගැන සැකයකින් බලයි..තවත් කොටසක් මුස්ලිම් කියලා බෙදිලා වෙන් වෙයි. ජාතීන් ඇතුලෙ කුල විදියට වෙන් වෙලා එකිනෙකා භේදභින්න වන අතර ආගම් හැටියට වෙන්ව එකිනෙකා භේදභින්න වෙයි.

එක අරමුණකින්, එකට එක්ව රට ගොඩනගන අදහස මේ නිසා ඈත් ව යයි.



මේ ඇනකොටා ගැනීම් නිසා, මේ බෙදී වෙන් වීම් නිසා මේ රටේ උගත්තු රට අතහැර ගොස් ඇත. මේ රට ගොඩ නඟන්න හිටපු නායකයෝ රටට අහිමිව ඇත. මේ රට දියුණු කරන්න හිටපු වෘත්තීයවේදීන් මේ රටට අහිමිව ඇත.



මේ පටු අපේක්ෂාවන්, වුවමනාවන් නිසා අපේ රට මේ තරම් ප්‍රපාතයට ඇද වැටිලා තිබේ. ඒ බව දැක දැකත් ඊට එරෙහිව අරගල කරන්න, ඒ පටු ජාතිවාදයට එරෙහිව නැගී සිටින්න තවමත් කිසිම දේශපාලන  නායකයෙක්, පක්ෂයක් හෝ වැඩපිළිවෙළක් පේනමානෙක නැත.

මේ වැටුණු තැනින් රට ගොඩ ගන්න තියන  විකල්පය, මේ ඉන්නවා වගේම ජාතිවාදී නායකයෙක් රැගෙන ඒම නොවන බව අප අවධාරණය කළ යුතුය.

යල්පැනපු, පුස්කාපු, ගල් යුගයේ අදහස් වලින් මේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියන්න නොහැක. ඒ ඇත්ත දශක ගාණක් තිස්සේ ඔප්පුවෙලා තිබේ.

උප්පත්තියෙන් කිසිම කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඒ වටිනා පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න හැකියාව තියෙන්නෙ මහා සංඝරත්නයට ය.

අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා ජේසුස් වහන්සේ දේශනා කර ඇත. ඒ පණිවිඩය රටටම ගෙනියන්න හැකියාව ඇත්තේ ක්‍රිස්තියානි පූජකතුමන්ලට ය.

නබිනායකතුමාත් අනෙකාට ගරු කරන්න කියා ඇත. ඒ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න හැකියාව ඇත්තේ ඒ පූජකවරුන්ට ය.

හින්දු ආගමික ශාස්තෘවරුන් අවිහිංසාව ගැන කියා ඇත. ඒ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න හැකියාව ඇත්තේ හින්දු ශාස්තෘවරුන්ට ය.

 

මේ සෑම ධර්මයකින්ම කියන්නේ සෑම මනුස්සයෙක්ම එක හා සමානයි කියන එකය. ඒක මතවාදයක් කරගන්න බැරි ඇයි ? හැමෝම එක සමානනම් කිසිකෙනෙකුට විශේෂ වරප්‍රසාද තියෙන්න විදිහක් නැත.



කිසියම් නායකයෙක්, පක්ෂයක් තමන්ට විරුද්ධ මතයක් දරන සියලු දෙනා සහමුලින්ම විනාශ කළයුතුයි කියන පදනමෙන් ක්‍රියා කරනවානම් ඒ නායකයා සහ පක්ෂයට එරෙහිව රටම පෙලගැසුනේ නැත්නම් ඒ රටට අනාගතයක් නැත.

අවාසනාවට, දේශපාලනය දිහා බැලූ විට අපේ රටේ ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම ඉන්නේ පැති දෙකක නමුත්  එකම මතයක‍ය.

අපේ රටේ විරුද්ධ පක්ෂ තිබේ. හැබැයි විරුද්ධ මතයක් නැත. අපේ රටේ විකල්ප බලවේග තිබේ. හැබැයි විකල්ප වැඩපිළිවෙළක් නැත.

මේ රට ගොඩනඟන්න නම් මේ රට දාලා ගිය, රටගැන හැගීමක් ඇති, රටට ආදරේ හැම මනුස්සයෙක්ම මේ රටට අවශ්‍යය. ඒ ගියපු මිනිස්සු සිංහලද, දෙමළද, බර්ගර් මැලේ ද කියලා වෙනසක් නැත.

එක එක මිනිස්සුන්ට අනන්‍ය වෙච්ච ආගම් තිබේ. ඒ ඒ ආගම් ඒ ඒ මිනිස්සුන්ට කැමති විදිහට පෞද්ගලිකව ඇදහුවාට පිළිපැද්දා ට කාටවත් ප්‍රශ්නයක් තියෙන්න බැරිය. ඒකට ඔවුන්ට අයිතියක් තිබේ.

එහෙත් ඒක රටේ පාලනයට, සාමූහික මිනිස් ගුණ ධර්මවලට බාධාවක් කර ගන්න කිසිවෙකුට අයිතියක් නැත.



තමන්ගේ ජාතිය තමන්ගේ ආගම තමන්ගේ කුලය උසස්, අනෙක් සියලු දෙනා පහත් කියලා හිතන හැම කෙනෙක්ම මානසික උමතුවකින් පෙළෙන අය ය. විවිධ ජාතීන් විවිධ වර්ණ විවිධ ආගම් නියෝජනය කරන හැමෝම අපේ රටේ මානව සම්පතය.



මේ සරල ඇත්ත තේරුම් නොගැනීම අවාසනාවකි .

රටක් ලෙස අපේ රට, ඉතිහාසයේ බරපතලම අගාධයට මේ වෙනකොට වැටී අවසන් ය.

නිදහසෙන් පස්සෙ ලංකාවේ බිහිවුණ සෑම රජයක්ම අඩු වැඩි වශයෙන් අපේ රට පත් වෙලා තියෙන තත්ත්වය සම්බන්ධව වග කිව යුතු අතර ඒ චෝදනාවෙන් කිසිවෙකුට ගැලවිය නොහැක.

ඒ චෝදනාව ඉතාම හොදින් ගැලපෙන්නේ වත්මන් ආණ්ඩුවට ය. "අපි තමයි හොදටම කළේ කියන" වර්තමාන ආණ්ඩුවට එයනම් වඩාත් ගැලපේ.

ඉතිහාසයේ ඉඳලා මේ දක්වා හැරී බලන විට අද ලංකාව වැටී ඇති තත්ත්වය තරම් බරපතල තැනකට කිසිම කලෙක ඇද වැටිලා නැත.

ආර්ථිකයෙන්, දේශපාලනයෙන්, ජාත්‍යන්තර සබඳතා අතින්, සමාජමය අතින්, මිනිස් සබඳතා අතින්, සෑම ක්ෂේත්‍රයකින්ම අපි ඉතාම ඛේදනීය තැනකට ඇද වැටී අවසන් ය.

මේ තරම් මිථ්‍යාවෙන්, ද්වේශයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් අමානුෂික විදිහට රට පාලනය කරන කාලයක් මෑත ඉතිහාසයේ අපිට හමුවී නැත.

අපි මේ ගෙවමින් සිටින්නේ සමාජයට පිළිලයක් වෙච්ච, වැරදි කරපු චූදිතයෝ නිදහස් කරපු කාලයකි.

අපි මේ ගෙවමින් සිටින්නේ පිටකොන්දක් ඇතිව, හෘද සාක්ෂියට එකඟව,සාධාරණත්වය වෙනුවෙන් අවංකව කැප වෙච්ච පුරවැසියන්ව හිරගත කරපු කාලයක්ය.

අද වෙනකොට මේ රටේ මිනිස්සු පාරට බැහැලා මේ සාපකාරී කාලයට එරෙහිව අරගල කරන තැනට පත්වෙලා අවසන් ය.



තවදුරටත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ත්‍රස්තවාදය මිත්‍යාව තුලින් මේ රට විනාශ කරන්න එපා කියන ඉල්ලීම මේ රටේ ජනතාව මහ පාරට බැහැලා දැන් හඩනගා කියන කාලය උදාවී තිබේ.



මේ වනවිට රට පත්ව ඇත්තේ විෂම තත්ත්වයකට ය. ඒ විෂම තත්ත්වය තුළින් මිනිස්සුන්ව අවස්ථාවාදීන්ට අවශ්‍ය පරිදි සිය අරමුණු වෙනුවෙන් තල්ලු කළ හැකිය.

අවශ්‍යනම් නැවත ඔවුන්ට ජාතිවාදී ආගම්වාදී, වර්ගවාදී බලවේග නිර්මාණය කළ හැකිය.

වර්තමාන ආණ්ඩුව බිහි වන්නේද එවන් අවස්ථාවාදී තත්ත්වයක් නිර්මාණය වීම සහ නිර්මාණය කිරීම තුලින් බව අප අමතක නොකළ යුතුය. දැන් ඒ ජනතාවටත් ආණ්ඩුව පිළිබඳව තිබුණු අවසාන විශ්වාසයත් මේ වෙනකොට බිඳ වැටි අවසන් ය.

ආණ්ඩුව විසින් රැගෙන ආ මතවාදය රට ඉදිරියේම මේ වන විට බොරුවක් බවට පත්ව අසමත් වී අවසන්ය. මේ මතවාදය වෙනුවෙන් ඡන්දය දී ආණ්ඩුව බිහි කළ සාතිශය බහුතරයක් ජනතාව දැන් සිටින්නේ අපේක්ෂා භංගත්වයට පත්ව ය.



අද වෙනකොට මුළු රටම ෆේල් බවත්, ආණ්ඩුව ෆේල් බවත් ඔවුන්ව ගෙන ඒමට මුල් වූ මතවාදයත් ෆේල් බවත් සම්පූර්ණයෙන්ම ඔප්පු වී ඇත. ඇත්තටම ආණ්ඩුවක් ෆේල් වුණාට පස්සේ ඒ වෙනුවට ආණ්ඩුවක් ගේන්න පුළුවන් ය. එහෙත් රටක් ෆේල් වුණාට පසු ඒ රට පාස් එක ලේසි පහසු නැත.



අද වෙනකොට අපි මූණ දී සිටින්නේ අන්න ඒ වගේ බරපතළ තත්ත්වයකට ය.

දැන් කල්පනා කළ යුත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සකස් කොට, මේ ෆේල් වෙච්ච රට පාස් කරන්නේ කොහොමද කියලා ය.

තවදුරටත්  හුදෙකලා චරිතවලට මේ රට ගොඩනගන්න බැහැ කියන එක මුලින්ම අපි පිළිගත යුතුය.

අප තේරුම් ගත යුත්තේ අවස්ථාවාදී ජාතිවාදී මතවාදවලින් තව අගලක් හෝ මේ රට ඉදිරියට ගෙනයා නොහැකි බවය.

තමන්ගේ පංගුව පමණක් වෙනුවෙන් බලලෝභී න්‍යාය පත්‍ර දිගහරින සෑම නායකයෙකුටම මතු පරම්පරාව විසින් කරන සාපයේ, පාපයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත.

 ජනාධිපතිවරයා ෆේල් ය. ඒක ඇත්තය.

ඒ පමණක් නොවේ ඔහුව ගොඩ නගපු අන්තවාදී ජාතිවාදී මතවාදයත් ෆේල් ය.

පෞද්ගලික අරමුණු වලින් බැහැරව, රට ගැන ඉදිරි දර්ශනයක් ඇතිව හිතන සියලු දේශපාලන පක්ෂ ගන්න ඕන මතය වන්නේ ජාතිවාදය ෆේල් කියන මතය යි.

යුද්ධය වකවානුවේ රට වැටුනටත් වඩා පහළ අඩියකට රට වැටී තියෙන්නෙ තවමත් ජාතිවාදී මතවාදවල බොහෝ දෙනා ඉන්න නිසාය.

ඇත්තටම යුද්දෙ ඉවර උනාට පස්සේ ජාතිවාදීන්ගේ සද්දෙ වැඩි වීම අපි ෆේල් වෙන්න ප්‍රධානම හේතුව විය.

මේ තත්වයෙන් අත්මිදෙන්න නම්, රටේ ජනතාවත් පුරවැසියනුත් ජාතිවාදයට එරෙහි ධජය අතට ගන්න අවශ්‍ය වෙලාව එලබ තිබේ.

(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික
ලේක්හවුස් හිටපු සභාපති

 

 

ලේඛකයාගේ වෙනත් ලිපි :

'උපතින් උරුම වූ අයිතිවාසිකම් උදුරා ගැනීමට කිසිවකුට ඉඩදිය යුතු නැත' - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ (වීඩියෝ)

ක්‍රිෂාන්තගේ වීඩියෝව වැඩකරයි !- පාසල් රැසක වැසිකිලි නැතිබව ඇමති පිළිගනී

ලංකාව හැරයාම තරුණයින්ගේ වරදක් ද? - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ (වීඩියෝ)

කිලී -මංගල- සුනිල් : 'රිදී රේඛාවක් පෙන්නලා ගිහින්..' - (වීඩියෝ)

මංගල අපි හැමෝගෙමයි ‍- ක්‍රිෂාන්ත කුරේ (වීඩියෝ)

අලුත් පාලනයක් වෙනුවට අලුත් ජනතාවක් උවමනාය- ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

දඹුල්ලේ යොහාන්ගේ කතාවට පසුවදනක්! - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

මේ මල්මිට සුව විරුවන් වෙනුවෙන් ! - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ 

''පොදු සතුරාට එරෙහිව සැවොම එක්නූනොත් ඔක්කොම ඉවරයි'' 

වසංගතයෙන් පසු අලුත් පරිච්ඡේදය ආරම්භ කරමු -ක්‍රිෂාන්ත කුරේ

රටක ඉරණම තීන්දු කරන නායකයින් සහ නායකත්වය - ක්‍රිශාන්ත කුරේ 

විධායක ජනාධිපති ධූරයෙන් රට සහ ජනතාව බේරා ගනිමු. -ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

මිනිස්කම සුවදවත් කළ දයාබර චාමර!

  

 

 

 Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්