සමගි ජන බලවේගයේ වනිතා සංවිධානය එහි නායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්ක මාර්තු 05 වැනිදා

ජනාධිපති ගෝඨාභය රාජක්ෂගේ මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධයකට ගියා.

ජනාධිපතිවරයා මුණගැහිලා, ලංකාවේ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න තමයි ගිහින් තිබුණේ.

මේ විරෝධය තරුණ දේශපාලන නායිකාවක් විදියට සමගි ජන බලවේගයේත්, ලංකාවේ අනෙක් දේශපාලන පක්ෂවලත් නායක නායිකාවන්ට පාඩමක් උගන්වනවා.

ජනාධිපතිගෙ ගෙදරට යනවා කියන්නෙ ලේසි සෙල්ලමක් නෙවෙයි. බුද්ධි අංශ කලින්ම දැනගත්තොත් වැඩේ මගදිම කඩාකප්පල් කරනවා. මාර්ග බාධක ආදිය දානවා. වැඩේ රහසේ තියාගන්න ඕනෑ. අනෙක, එහෙම රහසේ වුණත් මෙවැන්නක් සංවිධානය කරද්දී ඕනෑ එක්කෙනෙක්ට බයක් දැනෙනවා. ගේ වටලන්න ගිහින් වෙඩි තිබ්බොත් වත්?

ගෝඨාගේ ගෙදර කෙසේ වෙතත් මිරිහානෙ හන්දියේ කිරිපිටි පෝළිමක්වත් තියන්න දෙන්නේ නෑ. මෑතක මිරිහාන පැත්තේ ජවිපෙන් කරපු වැඩසටහනකටත් බැනර්, කටවුට් දාන්න නොදී බාධා කළා. ඔය පැත්තේ ගෙදරක, තේ කඩේකවත් හරියට නිදහසේ ඉන්න නෑලු. සමහර පදිංචිකාරයන්ගෙ ගෙවල්වලට කඩා වැදිලා ප්‍රශ්න අහලා ආරක්ෂක අංශ කියලා වාත වෙනවාලු.


ඉතින් ගෙදර වටලන එක ටිකක් බය හිතෙන වැඩක්. අපි ඒක කියන්නේ වතාවක් අපිත් ඔයවගේ වැඩක් කරනවාදෝ කියලා හිතලා ජීවිතේට ආසාවෙන් අදහස අතෑරපු නිසා.

දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ රටට කරලා තියෙන දේවල් ගැන කොච්චර බැන්නත්, සමගි ජන බලවේගය නවීන දේශපාලන පක්ෂයක් හදන එක ගැන පණ්ඩිත කතා කියලා එජාපයෙන් කැඩිලා ඇවිත් අද කරන දුර්වල වැඩ ගැන කොච්චර අපි බැන්නත්, මේ වගේ අගය කරන්න වටින දේ අගය කරන්න ඕනෑ නිසා අපි මොහොතකට මේ විරෝධතාව ගැන කතා කරමු.

හැබැයි, මේ ගැහැණු ජනාධිපතිවරයාව හම්බවෙන්න නිවාඩු දවසේ ඔහුගේ ගෙදරට යද්දී, එතුමා තමන්ගේ ප්‍රශ්න ඔක්කොම අරන් වෙනත් කාන්තාවක් හමුවෙන්න ගිය බව තමයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

ඒ කියන්නේ ඔහු නිවාඩු පාඩුවේ අනුරාධපුර ඓතිහාසික ඥාණක්කා පුරවරයට ගිහින්. තම තමන්ගේ හෘදය සාක්ෂියේ තියෙන වැරදිකාර හැඟීම්, තමන්ගේ පාපයන් ගැන හිතේ බර ඔක්කොම තියෙද්දී පොඩි පොඩි ගිමික්ස් ටිකක් දාලා නිවන ලබන්න පුළුවන්ය කියා උගන්වන රීමික්ස් බුදුදහමට අදාල වතාවත් වෙනුවෙන් වෙන්නට ඇති.



මේ කියන සංවිධානයේ නායිකාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නිසා මේක ඇගේ වැඩක් විතරක් විදියට සමහරුන් අර්ථකතනය කරයි. ඒත්, ඇත්තටම ඔතැන ඉන්නවා ගැහැණු 200ක් විතර. සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිනියන් වන ඒ අය ලංකාවේ ඉන්න ගැහැණු. මේක සම්පූර්ණ ගැහැණුන්ගේ විරෝධයක්.



ඇත්තටම අපි හිරුණිකා මන්ත්‍රීවරිය එක්ක විරෝධය කරපු විදිය ගැන පොඩ්ඩක් කතාබහ කළා. මෙහෙම විරෝධයක් කරන එක නීතියට පටහැණිද? අනතුරක් සිදුවේවිද? වගේ මාතෘකා තමයි ඒ කතාබහේ සාකච්ඡාවට ලක් වුණේ.

එතකොට වට්ස්ඇප්වලින් හැරුණාම මේ විරෝධය ගැන පණිවුඩ හුවමාරු කර නොගැනීමත්, මාධ්‍යවලින් බුද්ධි අංශවලට මේක ලීක් වේවිද කියන බිය නිසා මාධ්‍යවලට දැනුම් නොදීමත්, සමගි ජන බලවේගයේ කාර්යාලයට ළඟට මුලින් කට්ටිය එකතුවෙලා, බස් රියකින් ගමන් කිරීමත් ආදී තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇය විස්තර කළා. ඇත්තටම ඒක සෑහෙන ගරිල්ලා ගේම් එකක්.



''රාජපක්ෂලා ලොකු නෑ කියන එක මිනිස්සුන්ට පෙන්වන්න ඕනෑ.''

කොහොම නමුත් ඒ කතා කරද්දී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය වැදගත් දෙයක් කිව්වා.

මේ ‘රාජපක්ෂලා ලොකු නෑ කියන එක මිනිස්සුන්ට පෙන්වන්න ඕනෑ.’ කියන අදහස. ඒක ඉතා වැදගත්. මෙතැනට ආපු සමහර කාන්තාවන් තමන්ගෙ සැමියන්ට හෝ පවුල්වල අයටවත් කලින් මේ ගැන කියා තිබුණේ නෑ.

ඒ වගේම ඇය කීව විදියට ඇතැම් නායකයෙක් දෙන්නෙක්ට දැනුම් දීලා ඕකේ එක අරන් තියෙනවා හැරුණාම මේ වැඩේ සම්පූර්ණයෙන්ම පාහේ සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය කියන තනි සංවිධානය ස්වාධීනව කරපු වැඩක්. පක්ෂයෙන් ප්ලාන්ට් කරපු වැඩක් නෙවෙයි.


මේ වෙද්දී අපි දන්න විදියට සමගි ජන බලවේගය ඇතුළේ වුණත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය කිසිම දේශපාලනික තියුණු බවක් නැතිව ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. අපට හරියටම හිරුණිකා මන්ත්‍රීවරියගෙන් විමසන්න බැරි වුණ නමුත්, සජිත්ගේ ඕකේ එක මෙවැනි වැඩකට ලැබුණා නම් ඒකත් පුදුමයක්.  මොකද, පාර්ලිමේන්තුවේ ටෝච් කෑල්ලක් අල්ලන එකයි, බස්වලින් සෙනඟ ඇදලා යමක් කරන එකයි හැරුණාම ටිකක් තියුණු විරෝධතාවන්ට යන්න සජිත් බයයි.


අපි සජිත්ගෙ ෆේස්බුක් පිටුවට ගිහින් බැලුවා රටේ ඩීසල් පෝලිම් තියෙන, දවසට පැය 7ක් විදුලිය කැපූ, මිනිසුන් ලොකු විරෝධයක් සහ කේන්තියක් පිට කරගැනීමේ වුවමනාවෙන් හිටපු මාර්තු 03 වැනිදා මේ විපක්ෂ නායකතුමා කරලා තියෙන්නේ මොකක්ද කියා බලන්න.

මනුස්සයා යාල සුභසාධක හා අන්නෝන්‍යාධාර සමිතියට වෝටර් ෆිල්ටර් දහයයි ටිවී එකයි දෙන්න ගිහින්.

ගම්වලට ගිහින් චුට්ටි චුට්ටි බදු බෙදුවාම මිනිස්සු සපෝට් කරයි කියලා හිතන ඔහුගේ නායකත්වය ඒ විදියට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යද්දී, සමගි ජන බලවේගයේ අනෙකුත් සංවිධාන තම තමන්ගේ මට්ටමෙන් විවිධාකාර ක්‍රියාකාරකම් කරනවා නම් ඒක පක්ෂයකට යහපත්.

අපි මෑතකදි අධ්‍යන කරලා බැලුවා ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. (පුංචි විකල්ප පක්ෂ තියෙන නමුත් ප්‍රායෝගිකව පක්ෂ දෙකයි තියෙන්නේ.) ඇයි යකෝ! උං පක්ෂ දෙකක් තියාගෙන ධාරා දෙකකින් විතරක් ඔච්චර දේවල් කරන්නෙ කොහොමද, අපි පක්ෂ හැටහුටහමාරක් තියාගෙන කිසි මගුලක් කරන්නේ නෑනේ.


ඒ රටවල පක්ෂ දෙකක් තිබුණාට ඒවායේ තරුණ සංවිධාන වෙනම ක්‍රියාත්මක වෙනවා. කාන්තා සංවිධාන වෙනම. ඒ ඒ විවිධාකාර සංවිධාන, ශාඛා තම තමන්ගේ ක්‍රියාකාරකම් කරනවා. ඉහළින් ඕඩර් එනතුරු එන්නේ නෑ.


ලංකාවේත් පක්ෂවල වෘත්තිය සමිති වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා. ඒත්, ප්‍රධාන පක්ෂයේ වනිතා සංවිධාන ආදිය බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ ඔය කාන්තා දිනයට වගේ සමුළුවක් පවත්වලා, පිරිමි නායකයාගේ කතාවක් අහන්න සලස්සලා, අපේ සංස්කෘතියට කාන්තාවන් වැදගත් කියා පොඩි බොරු රඟපෑමක් දාන්නට විතරයි.

 

සජිත්ගේ ගතානුගතික දේශපාලනය !

සජිත්ගේ දේශපාලනය හඳුන්වන්න තියෙන සරල සහ සුදුසුම වචනය තමයි ගතානුගතික කියන එක. සෑහෙන කන්සර්වේටිව්.

ඒත්, මේ වෙලාවේ රටේ මිනිස්සු ඒ ගතානුගතික අදහස් අතෑරලා සෑහෙන තියුණු, ආවේගීලී අදහස් ඉදිරිපත් කරනවා. 
 
 
ඇත්තටම අපි වගේ යූටියුබ් එකේ කෑගහන අයට පවා ඒ ජනතාවගේ තියුණු අදහස් එක්ක හැරෙන්න බෑ. අපි රාජපක්ෂ මහත්මයා, රාජපක්ෂවරුන් වගේ වචන කියද්දීත් අපේ ප්‍රේක්ෂකයන් කැමති නෑ. ඕකුන්ට මහත්තයා කියන්න එපා තරිඳු කියනවා.
 

නැත්නම් අපි  යම් දුරකට ආණ්ඩුව පැත්තේ දේශපාලනඥයෙකුගෙ කතාවක් උපුටා දැක්වුවොත්, එයාලා එක්ක සාකච්ඡාවක් කළොත්, අඩු තරමේ එයාලා මෙහෙම දෙයක් කරන්න යනවා කියලා හරි කිවොත් උංව උස්සන්න එපා කියන තියුණු පණිවිඩය ජනතාව දෙනවා. ඒවා හරිම තියුණුයි. ජනතාවට ඕනෑ රැඩිකල්, තියුණු දේශපාලනයක් බව පැහැදිලියි.

හිරුණිකා දේශපාලන නායිකාවක් විදියට මොනවගේද කියන එක අනාගතයේදී පෙනෙන්න ඕනෑ දෙයක්. ඇය අතට බලය ඇවිත්, ඇමතිකම් ආදිය ලැබෙද්දීයි ඒක තහවුරු වෙන්නේ. 
 
දැනට අපට කියන්න පුළුවන් දේ තමයි මේ වගේ තියුණු, රැඩිකල් දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඇයටත්, ඇගේ සංවිධානයටත් කරගෙන යන්න පුළුවන් නම් ඒක යහපත් විත්තිය.

ආණ්ඩුවේදී ඇය මොනා කරයිද කියා එදාට බලාගතෑකි. ඒත්, විපක්ෂයේ සිටියදී නම් ඇය තියුණු කටක් සහ ශක්තියක් එක්ක වැඩ කරන්න ලෑස්තියි.


මේ කතා කරන මොහොත ආණ්ඩුවෙන් එළියට බැස්ස පිරිසක් මේ අර්බුදවලට එකම හේතුව බැසිල් රාජපක්ෂයි, ඇමෙරිකාවයි කියලා මවා පෙන්වමින් ‘අවලස්සන ඇමෙරිකානුවෙක්’ රට කෑවා වගේ වැල් බයිලා ගහන වෙලාවක්. ගෝඨා හරි ලස්සන හැන්ඩ්සම් ඇමෙරිකානුවෙක් වගේ විමල් වීරවංශ මහත්තයා හිතනවා ඇති.



ලස්සන ඇත්තේ බලන්නාගේ දෑසෙහිය කියල අපි ඉස්කෝලෙ කාලෙ කෙල්ලො පස්සෙ යද්දී කීවා මතකයි. ඉතින්, විමල්ට ගෝඨාභය ලස්සන ඇමෙරිකානුවෙක් වෙන්න ඇති. බැසිල් අවලස්සන ඇමෙරිකානුවෙක් වෙන්න ඇති. තමන්වත් ලස්සන දේශප්‍රේමී ලාංකිකයෙක් විදියට පේනවා ඇති.

ඒත් මේ රටේ ජනතාවට ඔය ඔක්කොම එක වගේ අවලස්සන, අසාර්ථක පාලක කණ්ඩායමක් විදියට පේනවා. ඉතින් ඒකට විරෝධය පෑම වැදගත්. ඒකට දුර්වල, ගතානුගතික ක්‍රමවලින් නැතිව ප්‍රබල ක්‍රමවලින් විරෝධය පෑමත් හොඳ දෙයක්.

ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනෑ. මේ දේශපාලන පක්ෂවල විරෝධතා අන්තිමේදී බලය ලබාගැනීමේ ගමනක කොටසක්. බලය අරන් එයාලා මොනවාද කරන්නෙ කියන එක වෙනම බලන්න එපායැ.

ඇත්තටම විරෝධතා පැවැත්වීම තුළින් රටේ පුරවැසියන්ගෙ ශක්තිය තමයි මතු වෙන්න ඕනෑ. ඒ නිසා ඉස්සරහට සාමාන්‍ය ජනතාව අතරිනුත්, පක්ෂවලට නැති පුරවැසියන්ගේ සංවිධානවලිනුත් තියුණු විරෝධතා එන්න ඕනෑ..

එහෙම වුණොත් අද මේ තියෙන ජනතාවගේ කේන්තිය වැදගත්, හරවත් දේශපාලන වෙනසක් කරා තල්ලු කරන්නට හැකි වේවි.

(තරිඳු උඩුවරගෙදර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
satahan.blog

වෙඩි කා ගෙන අපි එනවා' ජනපතිගේ නිවස වටලන්න හිරුණිකා ඇතුළු කන්තාවෝ බසයකට නඟියි
 
 

ජනාධිපති මර නින්දේ අපේ ළමයි බඩගින්නේ - ජනපතිගේ නිවස ඉදිරිපිට කාන්තාවන් විරෝධතාවයේ

 
 

මගේ නිවසට හරි දරුවන්ට හරි හානියක් වුණොත් බලාගමු - විරෝධතාවයට හිරුණිකාට හැරෙන තැපැලෙන් පිලිතුරු
 
 
 

"වැඩකරන අපේ විරුවා" සිංදුව තහනම්! ගෝඨා-ගම්මන්පිල බදාගනී!!

>

 Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්