ඡායා : Thilina Kaluthotage Photography

 

පුළුල් බහුජන නැගිටීමක් ඇති වී ඇති මේ මොහොතේ ගාලුමුවදොර ගෝඨා ගෝ ගම පමණක් නොව එය අද වන විට මුලු දිවයින පුරාම පැතිර යන අරගලයක් බවට පත්වී ඇත.

මෙම සටන සැබෑ ජයග්‍රහණය තුළින් අවසන් කර ගැනීම අරගලයේ ආරම්භයට වඩා අපහසු විය හැකි බව අප වටහා ගෙන තිබිය යුතුය.

මේ වන විටත් මෙම අරගලය ලබා ඇති ජයග්‍රහණයන්ගෙන් උද්දාමයට පත්වීම තුළ එහි භාරදූර බව අමතක නොකර ඉදිරියේ ඇති බාධක ජය ගැනීමට ක්‍රම වේදයන් සකස් කරගත යුතුය. ඉදිරිය සහ විසඳුම් තවත් සංකීර්ණ බව අපි සිහි තබා ගත යුතු වෙමු.

Anti government protest in Sri Lanka 2022

# අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලා අස්වීම හෝ මාරු කිරීම අරගලය නිසාම සිදුවූ විශාල ජයග්‍රහණයකි.

# තරුණ නැගිටීමක් ලෙස ආරම්භ වූ මෙම අරගලය අද වන විට විවිධ ක්ෂේත්‍රයන් තුළ එමෙන්ම සියලුම ජන කණ්ඩායම් සහ පැතුරුණු ජන අරගලයක් ආකාරයෙන් දිවයින පුරාම මතුව තිබීම තවත් ජයග්‍රහණයකි.

# පක්ෂ පාට බේද අතහැර සියල්ලන් අරගලයට එක්ව සිටීම ද ජයග්‍රහණයකි.

# රටතුල මුල්බැස තිබූ පසුගාමී සංස්කෘතියට අභියෝග කිරීම ද ජයග්‍රහණයකි.

# ජනවර්ග බේදභින්න කිරීමට එරෙහිව හඬක් මතුව තිබීම ද ජයග්‍රහණයකි.

නමුත් මේ සෑම ජයග්‍රහණයක්ම තිබියදීත් අරගලකරුවන් සහ අරගලකාරියන්ගේ එසේ නැත්නම් රටේ ජනතාවගේ ප්‍රාර්ථනයන් ඉටුවේද යන්න විමසමින් විමසිලිමත්ව තම ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කරගැනීම ද අද කළ යුතුව ඇත.


මේ සැබෑ ප්‍රශ්න මඟහරවා නොගත යුතු මොහොතකි.


බොහෝ ප්‍රශ්න පිළිබඳව අරගලය තුළ සාකච්ඡා වෙයි. සමහර කරුණු ඉබේ විසඳෙනු ඇතැයි අප සිතනු ඇත. සමහර කරුණු පිළිබඳව අපි කතා නොකරන්නේ එම ප්‍රශ්න තුළ ඇති ගැඹුර දෙසට හැරෙන්නේ නැතිවය. ඒ එතුලින් අනවශ්‍ය බේද අරගලය මතු වේය යක බිය හේතුවෙනි.

නමුත් සමහර ප්‍රශ්න අපට මග හැර යා හැකි නමුත් සමහර මගහැර යා නොහැකි ප්‍රශ්න බව මගේ වැටහීමයි.

 

අද ලංකාව මෙවැනි කණගාටුදායක තැනක පවතින්නේ නිදහසින් පසු ලංකාවෙහි පාලකයන් එසේ මඟ නොහැරිය යුතු ප්‍රශ්න හිතා මතා නොසලකා හරිමින් මග හැරීම හේතුවෙන් බව මගේ වැටහීමයි. ඉන් ප්‍රධානතම ප්‍රශ්නය ලෙස මා දකින්නේ නිදහස ලැබූ ලංකාවේ අප ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් දිම නොසලකා හැර හිතා මතා මග හැරිමයි.

 

නිදහස් ලංකාව තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් අප ලබාගත් ප්‍රමාණයේ සිට දිනෙන් දින කප්පාදු කිරීමට භාජනය වූ බව මගේ වැටහීමයි. එනිසා එම ප්‍රශ්න වල අතුරු ඵල වශයෙන් එකතු වන ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රශ්න දිනෙන් දින උග්‍ර වෙමින් විත් අද වන විට ලංකාව මෙතැනට ගෙනැවිත් ඇත.

ජීවිත ලක්ෂ ගණනක් බිලි ගත් ජනවාර්ගික යුද්ධයක් තිබූ රටක් එම ප්‍රශ්නය අදටත් එසේම තබාගෙන එවැන්නක් නැතුවා සේ වැඩ කරයි නම් එය යහපතක් ඇති කරන්නේ නැත.

පවතින දේශපාලන අධිකාරය රටෙහි ජනයා ජාතිවාදී මඩ ගොහොරුවට තල්ලුකර එතුල ඔවුන් මඩ තලන ආකාරය පසසමින් තමන්ගේ සිත් පරිදි රටේ සම්පත් වලින් තම මලු පුරවා ගනිමින් තමනට අවශ්‍ය ආකාරයට රට මෙහෙයවා රට විනාශය වෙත ගිය බව අපි දනිමු.

අද අපි අලුත් දේශපාලනයක් සඳහා ජන අරගලයක යෙදී සිටින්නෙමු. අප සියලුම ජන කණ්ඩායම් වල කොටස් එකට එක්වී අත්වැල් බැඳගෙන ගාලුමුවදොර සහ රටේ විවිධ තැන්වල මෙම දුර්දාන්ත දේශපාලනයට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටිමු.

මේ  අප නව දේශපාලනයක් ඇති කිරීමට අලුත් වෙනසක් ඇති කිරීමට අළුත් රටක් ඇතිකිරීමට කතා කරන මොහොතයි.

Galle face protest 16 th day

අප පැහැදිලිව වටහා ගත යුතු වන්නේ අලුත් දේශපාලනයක් ඇති කිරීමට නම් පැවතුණු දේශපාලනය පමනක් නොව එහි දී කළ වැරදි ඇති වීමට හේතු සොයා එම වැරදි ඇති නොවන ආකාරයේ අලුත් දේශපාලනයක් සහ ක්‍රමවේදයක් ඇති කළ යුතු බවයි.

දේශපාලන බලයට වෙනත් අයගේ නම් යෙදූ පලියට අලුත් දේශපාලනයක් ඇති නොවේ. එසේනම් අලුත් දේශපාලනයක් යනු අලූත් දේශපාලන ක්‍රම වේදයක් ඇති කර ගැනීමයි.

දූෂණයට එරෙහිව යාන්ත්‍රණයක් සකස් කරනවා මෙන්ම, නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට යාන්ත්‍රණයක් සකස් කරනවා මෙන්ම, ජනවාර්ගික අර්බුදය ඇතිවීමට මූලික හේතුව වන රාජ්‍ය ක්‍රමය වෙනස් කර බලය බෙදා හල සංධීය රාජ්‍ය ක්‍රමයකට ගමන් කිරීම මේ මොහොතේ සාකච්ඡා කළ යුතු ප්‍රධාන කාරණයක් බව මගේ වැටහීමයි.

 

එම විසඳුම සාකච්ඡා කිරීමට අප බිය වන්නේ නම්, එය අද කතා නොකරන්නේ නම් අප නැවත කරන්නේ එදා කළ වරද වෙනත් ආකාරයකින් නැවත කිරීමක් බව අපි අමතක නොකළ යුතුය. එසේ වුවොත් වන්නේ අප නැවතත් අපට ඇති ‍ප්‍රධාන ප්‍රශ්නයක් මගහැර ගමන් කිරීමයි.

 

එවැනි දේශපාලන ප්‍රශ්නයක් මග හැර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නැගිය නොහැකි බව මගේ වැටහීමයි. අප අද මේ අර්බුදයක් ලෙස අත් විඳින්නේ එසේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට යා යුතුව තිබූ ප්‍රධාන ප්‍රශ්න මඟ හැර යෑම හේතුවෙන් ඇති වූ අතුරු ප්‍රතිඵල වලට බව අප අමතක නොකළ යුතුය.

ජනවාර්ගික ප්‍රශ්නය සහ ජාතිවාදය දේශපාලනඥයින් සහ වෙනත් කණ්ඩායම් විසින් තමන් ගේ පටු බල තන්හාව උදෙසා සමාජයට ගෙනා බව පැහැදිලිය. නමුත් අප කැමති වූවත් නැතත් අද ඒවා සමාජය තුල මුල්බැස ඇත. ඒවා සමාජයෙන් ඉවත් කිරීම පහසු නැත. ඒවා ඉවත් කර ගැනීමට නම් අප ඒවා පිළිබඳව විවෘතව සාකච්ඡා කළ යුතුය. විවෘතව සාකච්ඡා නොකර ප්‍රශ්න සඟවා ගෙන ඉදිරියට යාම තුලින් අපට සිදුවන්නේ නැවතත් අප අද ඉන්නා තත්ත්වයට ම තවත් අවුරුදු ගණනකින් පත්වීමය.

 

එසේ නම් අප අද කළ යුතු වන්නේ මේ මොහොතේ අප එකිනෙකා මේ පිළිබඳව විවෘත සාකච්ඡාවකට, විවෘත සංවාදයකට යාමයි. එසේ නොමැතිව අද අප එක්ව අරගලයක යෙදෙන නිසා දැන් අපි තුළ කිසිම ජාතිවාදයක් නැත, ජනවාර්ගික ප්‍රශ්නයක් අපට නැත, වැනි දේ කියමින් උදම් ඇනීම නොව එම ප්‍රශ්නය අප තුල, අප සමාජය තුල තිබෙන බව වටහා ගෙන එම ප්‍රශ්නය මතු කර එහි ඇති ස්වරූපයන් පිළිබඳව විවෘතව, බිය නැතිව සාකච්ඡා කිරීමයි.

 

එ වැනි සාකච්ඡාවක් ඇරඹීමට පවා මින් පෙර ඉඩ නොතිබූ බව අප දනිමු. නමුත් අද අප එකිනෙකාට ඇහුම්කන් දෙන වාතාවරනය තුල එය ඇරඹීමට ඉඩක් සෑදී තිබේ.


දෙමළ ජනතාවගේ සහභාගිත්වය !

tamils

මෙම අරගලයේ දී දෙමළ ජනතාවගේ සහභාගිත්වය යම්කිසි ප්‍රතිශතයකින් අඩු බව අප පිළිගත යුතුය. එයට සාධාරණ හේතු තිබේ. දෙමල ජනතාව වෙසෙන ප්‍රදේශවලට දෙමළ ජනතාවට සිංහල ජාතිවාදී රාජ්‍ය විසින් පහර දෙන විට, සිංහල ජනතාව සියලු දෙනා නොවන නමුත් වැඩි දෙනකු, එයට සහය දෙමින් උදම් ඇනූ බව අප අමතක නොකළ යුතුය.

ඔවුන්ගේ ලේ, කඳුළු ගංඟා සිංහලයා නොදුටු බව අප අමතක නොකළ යුතුය. එනිසාම දෙමළ ජනයා තුළ සිංහලයන් සමග අත්වැල් බැඳ ගැනීමට පසුබෑමක් තිබීම සාධාරණ විය හැක.

එනමුත් නිදහසින් පසු ලංකාවේ දිගින් දිගටම ඔවුනට පහර දුන් සතුරා අද සිංහලයින්ටත් පහර දෙන බව එදා ඔවුන් කී ආකාරයෙන්ම අද සිදුවෙමින් පවතී. එසේනම් අප එදා කළ වැරැද්ද තේරුම්ගෙන දෙමළ ජනයා වෙත අරගලකරුවන් වන අපේ දෑත දික් කළ යුතුය. ඔවුන්ට ආරාධනා කළ යුතුය.

අප අතින් වරදක් වූ බව අප පිළිගෙන ඔවුන් ද අපත් සමග එකට එක්වී ඔවුන්ගේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න එකට විසඳාගැනීමට ආරාධනා කළ යුතුය.

නමුත් නිකම්ම ආරාධනා කළ පලියට ඔවුන් නොඑන බව පැහැදිලිය. එසේ නම් අප අතින් සිදු වූ වරද ඔවුන්ට පවසා ඒ ගැන සමාව ඉල්ලමින් අප ඔවුන් සමග එකට එක්ව ගමන් කළ යුතුය. එවිට ඔවුන් අප සමග එකතු වනු ඇතැයි මගේ විශ්වාසයයි.

 

එමෙන්ම දෙමළ ජනතාවට ද මෙහිදී කාරණයක් කිව යුතුය. එදා සිදු වූ වැරදි නිසා අද අවස්ථාවක් උදා වී ඇති මොහොතේ ඔබේ ප්‍රශ්නයත් හැම එකාගේ ප්‍රශ්නත් එකට එකතුව විසඳාගැනීමට මොහොතක් උදා වී ඇති මොහොතක, එමෙන්ම එකිනෙකාට ඇහුම්කම් දෙන්නට සියල්ලන් සූදානම් වූ විවෘත මනසක් ඇතිව සිටින මොහොතක, පැරණි කෝන්තර මොහොතකට පසෙකින් තබා ඔවුන් සමග එකට අත්වැල් බැඳ සටන් කළොත් ඔබේ ප්‍රශ්න විසඳාගැනීමේ අවස්ථාව මේ මොහොතේ උදා වී ඇතැයි මට සිතේ.

 

අඩුම තරමින් සිංහලයා අද දෙමළාගේ ප්‍රශ්නය ට ඇහුම්කන් දෙන මට්ටමකට පත් වී ඇති බව මගේ වැටහීමයි. එසේ නැත්නම් ඇහුම්කන් දීමට තත්වයන් විසින් ඔවුනට බලකර ඇති මොහොතකි මෙය.

එනිසා මා දෙමළ සහෝදර ජනයාගෙන් ඉල්ලා සිටින්නේ පැරණි කෝන්තර පැත්තකින් තබා මේ මොහොතේ අනෙකුත් කණ්ඩායම් සමග එකට අත්වැල් ගෙන ඔබේත් අපේත් හැමෝගේම පොදු සතුරාට එරෙහිව එකටඑක් වී සටන් කරමු කියායි.

බලය බෙදා හදා ගන්නා අළුත් දේශපාලනයක් වෙත ලංකාව ගෙන යා හැකි වන්නේ ඒ තුළිනි.

එක්ව සටන් කරමු! එක්ව අයිතීන් දිනා ගනිමු!


බලය නොඅල්ලා බලය සමඟ කේවල් කරන බහුජන ව්‍යාපාරයක් ! - රංජිත් හේනායක ආරච්චි(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික



සබැඳි ලිපි :


අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ? - විෂ්ණු වාසු

බඩු මිළ අඩු උනත් 'දෙමළ ජනතා සටන නිම වන්නේ නෑ'

ආක්‍රමණික කොඩියක් යට ‘දෙමළ ජනතාවට සටනට එන්න බෑ’

'දෙමළ විරෝධී යුද්ධයට රටින් ගත් ණය නිසා' අද රට අර්බුදයේ

දේශපාලන අර්බුදය විසඳීමට දෙමළ පක්ෂ 06කින් යෝජනා


නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

 
 .

Leader Whats app

 

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්