1200 x 80 DMirror

 
 

එකලොස් වනදා වන විට රට තිබුනේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජක තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුනු

තත්වයකය.

දොලොස් වනදා අග මැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිෂ්චිත තත්වය ඉදිරියේ අලුත් බලා පොරොත්තු ඇති කරන සන්සිද්දියක් ලෙස ක්‍රියා කලේය.

 අගමැති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ අලුත් කෙනෙකු නොවේ. හොදටම පරන කෙනෙකි. ඔහු මේ ධුරයට පත්වන හයවන අවස්තාව වන අතර සමහර විට එම විෂයේදී තබන නව ලෝක වාර්ථාවක් ද විය හැකිය.

ඔහුට එරෙහිව එල්ල කල හැකි බොහෝ විවේචන තිබුනද වර්තමානයේ පාර්ලිමේන්තු නියෝජිතයින් අතර සිටින දැනුමෙන් හා පල පුරුද්දෙන් ද ජාත්‍යන්තරය සමග වැඩ කිරීමටක්තිබෙන හැකියාව අනුවද ඉදිරියෙන්ම සිටින කෙනා ලෙසද සැලකිය හැකිය.

 

ඔහු රටේ ජනයාගේ අප්‍රසාදයට ලක්ව සිටින පාලක පක්ෂයක අනුග්‍රහය මත එම තන්තුරට පත්වීම ඔහුට ලැබෙන වැදගත් කම දුර්වල කරන සාධකයක් ලෙස සැලකිය හැකිය. එහෙත් දැන් තිබෙන පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ඔහු පමනක් නොව වෙනත් ඕනැම කෙනෙකුටද ( සජිත් ප්‍රේමදාසට, කරු ජයසූරියට හෝ ආණ්ඩු පක්ෂයෙන් පිටස්තර ඕනැම කෙනෙකුට) එම තනතුරට පත්විය හැක්කේ ආණඩු පක්ෂයේ අනුග්‍රහය ඇතිව පමණය.

 

විරුද්ද පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අගමැතිකම බාරගැනීමට ආරධනා කල අවස්තාවේදී ඔහු එය බාර ගනිමින් තමන් පිහිටුවන ආණ්ඩුවේ මුදල් ඇමතිකම තමන්ගේ පරන නායක රනිල් වික්‍රමසිංහට බාරදුන්නේ නම් එය ඉතාමත් වර්ණවත් දෙයක් වන්නට ඉඩ තිබුනා සේම, රනිල්ට අගමැති කම ලැබීමෙන් පසු සජබෙ ඔහුට සහාය පලකරන පිලිවෙතක් අනුගමනය කළේ නම් එය ද ඉතා වර්න වත් දෙයක් වන්නට ඉඩ තිබුනි.

මෙම දුෂ්කර අවස්තාවේදී රට වඩා වැදගත් කොට සැලකිය යුතුව තිබුනේ රනිල්ට බාරදී තිබෙන සීමිත කාර්‍යබාරය (ගෙවුම් ශේෂ අර්බුදයෙන් පීඩා විඳින මහජයාට අවශ්‍ය සහනද ලබා දෙමින් ගෙවුම් ශේෂ ප්‍රස්නය විසඳා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පදනමක් ඇති කරමින් ඉක්මනින් පවත්වන්නට අපේක්ෂා කරන මැතිවරනය තෙක් රට පාලනය කිරීමය) ඵලදායි ලෙස ඉටු කිරීමේ හැකියාව ඔහුට තිබේද යන ප්‍රස්නයයි.

එහෙත් රටේ උගත් මහජනයා වඩා වැදගත් කොට සලකන බව පෙනෙන්නේ ඔහුට තිබෙන එම හැකියාව නොව ප්‍රශ්නයට අදාල නැති අනන් මනන් දේවල්‍ ය.

ගෙවුම් ශේෂ ප්‍රස්නය විසඳනාවාටත් වඩා දුෂ්කර වනු ඇත්තේ අන් හැම ආකාරයකින් පමනක් නොව සිතුම් පැතුම් වලින්ද අරාජක වී සිටින දැන උගත් මතවාදි සමාජයෙන් එල්ල වී තිබෙන එම අභියෝගය ජයගැනීමට අගමැති රනිල් ට පුලුවන්ද යන ප්‍රස්නයයි.

එය ඔහුට පමණක් එල්ලවන අභියෝගයක් නොව මේ මොහොතේ එම තනතුරට පත්වන වෙනත් ඕනැම පුදගලයෙකුට ( සජිත්ට, කරු ජයසූරියට, සරත් ෆොන්සේකාට, අනුර කුමාර දිසානායක හෝ වෙනත් ඕනෑම කෙනෙකුට) මුහුණ දෙන්නට සිදුවන අභියෝගයක් ලෙසද සැලකිය හැකිය.

 

ලංකාවේ මේ මොහොතේ උගත් මතවාදි සමාජ මනසේ රජකරන මෙම අරාජක තත්වය තුළ වැඩියෙන්ම විය හැකි දේ රට මහා විනාශයකට තල්ලුවී යාමය. සමහර විට ලංකාවේ සමාජයට තර්කානුකූලව කරුනු සලකා බැලීමේ නුවන පහලවනු ඇත්තේ ද දැන් තිබෙන කාලකන්නි තත්වය ඉක්මවා උපරිම කාලකන්නි තත්වයකට පත් වීමෙන් පසුව විය හැකිය.


277538276 632168181514468 7844479952805513337 n 2
" ගෝටා ගෝ හෝම් " කියන ජනප්‍රිය සටන් පාඨය මෙම අර්බුද කාලයේදී ලංකාවේ සමාජ දේසපාලන මනසේ තිබෙන අවුල් සහගත හා ව්‍යවස්ථා විරෝධී  භාවයේ තරම පෙන්නුම් කිරීම සඳහා ඉදිරිපත් කල හැකි හොඳ නිදසුනකි.

78 ව්‍යවස්ථාවෙන් ආණ්ඩුක්‍රම සකස් කර තිබෙන්නේම ජනාධිපති පාලනය දෝෂාහියෝගයක් මගින් හෝ ජනාධිපතිවරණයකදී හැර අතර මැදි අවස්තාවකදී පරාජය කළ නොහැකි ආකාරයටය.

ආණ්ඩුවේ අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරි පත්වන විස්වාස භංග යෝජනාවකින් ආණ්ඩුව පරාජය වන අවස්තාවකදී පවා ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාව සිටිය දීත් එම විස්වාස භංගය ඔහු කෙරෙහි බලපාන්නේ නැත. බලපාන්නේ අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය කෙරෙහි හා දුර දිග ගිය අවස්තාවකදී ඊට අතිරේකව පාර්ලිමේන්තුව කෙරෙහිත් පමණය.

ජනාධිපති තනතුරේ සිටියදී තනතුරෙන් පහකිරීම සඳහා යොදා ගත  හැකි එකම ව්‍යවස්ථානුකූල ක්‍රමය වනුයේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරි පත් කිරීමය. ඒ සඳහා ඇතිකර තිබෙන ප්‍රතිපාදන අනුව දෝෂාභියෝගයක් ජය ගැනීම ඉතා දුෂකර වන අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියක්ද අත්‍යාවශ්‍ය ය.

 

තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෙන් ඉල්ලා සිටිය හැකි වුවත් ඉතාමත් සදාරන හේතු ඇතිව ඉතා ප්‍රභල ලෙස එම ඉල්ලීම ඉදිරිපත් වී තිබෙන  අවස්තාවකදී පවා එය බාරගැනීමට ජනාධිපති ව්‍යවස්ථානුකුලව බැඳී නැත. කැමති නම් ඔහුට තනතුරෙන් ඉල්ලා අස්විය හැකිය.

 

එහිදීත් නව ජනාධිපතිවරයා තීන්දු කරන්නේ පාර්ලිමේන්තුව විසින් හා පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තිබෙන දේශපාලන කණ්ඩායම විසිනි.

ව්‍යවස්ථාවෙන් ඇතිකර තිබෙන මෙම ප්‍රතිපාදන වලින් පරිබාහිරව ජනාධිපති ගෙදර යවන්න දරන ප්‍රචන්ඩ හෝ සාමකාමි උත්සහායක් සැලකිය හැක්කේ  ව්‍යවස්ථාවට පටහැනි " විප්ලවයක් " ලෙස ය.

ඒ සඳහා දරන අති විශාල ප්‍රභල උත්සහයකින් සමහර විට අවසානයේ ජනාධිපති පරාජය කිරීමට හැකි විය හැකි වුවත් ඒ නිසා රටට උරුමවන්නේ බැංකු ක්‍රමය බිඳ වැටුනු, රටේ ආයතන ක්‍රමය බිඳ වැටුනු, දුප්පත් කම හා සාගින්න රජයන, උපරිම මට්ටමකට අරාජකවූ කාලකන්නි රටක් නම් එම විප්ලවයේ ඇති ඵලය කුමක්ද?

මෙම තරුණ නැගිටීම ඇතිවූ ආරම්භයේ සිටම මගේ ඉල්ලීම වුයේ අරගලය ව්‍යවස්ථාපිත මාර්ගයකට යොමු කරගත යුතු බවය. මා මගේ ලේඛන වලින් හා වීඩියෝ කථා මගින් එම ඉල්ලීම කළේ නැඟිටීමේ සිටි තරුණයින්ගේ දැන ගැනීම සඳහාට වඩා කිසියම් ප්‍රමානයකට හෝ එම තරුනයින්ගේ උපදේශකයින් බවට  පත්ව සිටි උගත් වැඩිහිටියන් ගේ දැන ගැනීම සඳහා ය.

එහෙත් ඔවුන් අරගලයේ සිටි තරුණයින්ට ස්තුති පූර්වකව කීවේ ඔවුන් තෝරාගත් මාර්ගය හරි බවය. අරගලය අත නෑරම ඉදිරියට ගෙනයන ලෙස ඔවුන් එම තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේය.

ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම ව්‍යවස්ථාවට පටහැනි බව හා එය අහිංසාවාදි ලෙස වුවත් බලහත්කාරි ලෙස දිනා ගන්නට දරන උත්සහයක් ඇති කළ හැකි විනාශකාරි ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කිරීමක් කල බවක් පෙනෙන්න්ට නැත.

කොයි කාගෙන් වුවද ඉල්ලා සිටිය යුත්තේ දිය හැකි දෙයක් මිස "බෙල්ල" වැනි දිය නොහැකි දෙයක් නොවේ.

 

තරුණ නැගිටීම උච්චම තත්වයකට පත්වූ අවස්තාවේදී "ගෝථා ගෙදර පල" යන ඉල්ලීම වෙනුවට රටට අවශ්‍ය ප්‍රතිස්ංස්කරන ඉල්ලා සිටින තැනකට ගියේ නම් එම ප්‍රතිස්ංස්කරන ඉල්ලීම දිනාගත හැකිවන්නට ඉඩ තිබුනි.

 

නීතියට ඉහලින් සිටින ජනාධිපති නීතියට යටත් තත්වයකට ගැනීමට අවශ්‍ය  ව්‍යවස්ථා සංශෝධනයකට ජනාධිපති එකඟ කර ගත හැකි නම් එය සපුරා ගැනීමට පහසු නැති "ගෙදර පල" කියන සටන් පාඨයට වඩා අර්ථවත් නැද්ද?

දැන්වත් එම තරුණ පරපුර දිනාගැනීම ඉතා දුෂ්කර, දිනාගත්තත් ඒ වෙනුවෙන් නොවටිනා තරමේ වන්දියක් ගෙවන්නට සිදුවන එම සටන් පාථය අත් හැර "ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන''  ප්‍රති සංස්කරන ඉල්ලීම් මාලාවක් ඉදිරියට ගන්නේ නම් එය ප්‍රායෝගිකව දිනාගත හැකි දෙයක් බවට පත් කල හැකිය.

ඔවුන් ගේ ප්‍රබල නැගිටීම රටට යහපත් ප්‍රතිපල ඇති කල නැගිටීමක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේද එවිට ය.


වික්ටර් අයිවන් (Author of චෞර රැජින)(වික්ටර් අයිවන් )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)

Leader Whats app

  

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58