පක්ෂ නායකයින් දිනවීම වෙනුවට රට දිනවීම අපේ වගකීමයි.


ලෝකයේ වැඩිම බලයක් සහිත ජනාධිපති ධූරය දැන් ඇත්තේ ශ්‍රී ලංකාවේ ය. යෝජිත 21 වන  ව්‍යවස්ථා සංශෝධනය තුලින් නැවත එම බලය අඩු කිරීමට යෝජනා වී ඇත.  

ජනාධිපතිවරයා සර්වබලධාරී දෙවිවරයෙකු කරන වත්මන් ව්‍යවස්ථාව එලෙසම පවත්වා ගැනීමට පාර්ලිමේන්තුවේ කණ්ඩායම් තුනක් උත්සහ කරයි. වත්මන් පාර්ලිමේන්තු බහුතරය හිමි කණ්ඩායම, ආනාගතයේ බලය ලබාගැනීමට හැකියාව ඇතැයි සිතන ප්‍රධාන විපක්ෂ ඒ අතර තිබේ.  

මම පුද්ගලිකව බලය බෙදීම, බල කේන්ද්‍රයේ සංවරණ හා තුලන පවත්වා ගැනීම වෙනුවෙන් හැමදාම පෙනී සිටි අයෙකු වෙමි.  මම 21 වන ව්‍යවස්ථා සංශෝධනයට බල දේශපාලනය පසෙක, තබා කැමැත්ත පළ කරමි.  


යෝජිත ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා පාර්ලිමේන්තුවට බලයක් ලැබෙන්නේ නම් යහපත් ය. නමුත්, පුද්ගලික දේශපාලන එදිරිවාදිකම් නිසා, ජනාධිපතිබලය කපා දැමීමට ලැබී ඇති අවස්ථාව අතහැරීමට නොකල යුතුය.


විසි එකට පක්ෂ විමට හේතුවූ මුලික කරුණු 9ක් !



21 වන ව්‍යවස්ථා සංශෝධනයට මම පක්ෂ වන්නේ එහි ඇති මූලික වැදගත්කම් 9 ක් නිසාය.  ඒ ගැන සරළව පැහැදිලි කරමි.  

1. 20 වන සංශෝධනය මගින් අහෝසි කළ ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කිරීමත්, රාජ්‍ය නිලධාරීන් පත් කිරීමට ජනාධිපතිවරයා වෙත ඇති බලය අඩු කර මහ බැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය ද, අගවිනිසුරු, අභියාචනාධිකරණයේ සභාපති බලයට නැවත ව්‍යස්ථා සභාවට ලබාදීමට 21 න් යෝජිතය.  මම එයට පක්ෂ වෙමි. මන්ද, ජනාධිපතිවරයා යොමු කරන නම්වලට සීල් ගැනීමේ පාර්ලිමේන්තු සභා ක්‍රමය එයින් අහෝසි වන බැවිනි. සංවරණ තුලන න්‍යායට අනුව එය ප්‍රගතිශීලී වේ.  19 ට ත් වඩා ඉදිරිගාමී ද වේ.  


2. විගණණ සේවා කොමිසම නැවත පිහිටුවීමට 21 මගින් (153 අ වගන්තිය) යෝජනා කරයි.  මෙය 20 වන සංශෝධනයෙන් අහෝසි කර ඇත. මම එයට පක්ෂ වෙමි. මන්ද, විගණනය ශක්තිමත් කිරීම රාජ්‍යයේ වංචා දුෂණ අක්‍රමිකතා වැලැක්වීමේ මෙවලමක් වන බැවිනි.  අරගලකරුවන්ගේ ප්‍රමුඛ ඉල්ලීමක් වන්නේ ද එයයි. එය 19 ට ආපසු යාමකි.


3. ප්‍රසම්පාදන කොමිෂන් සභාව (156 ආ) පිහිටුවීමට මම පක්ෂ වෙමි. මන්ද, මහාපරිමාන ටෙන්ඩර් මගඩි සියල්ලටම එමගින් විනිවිද භාවයක් ලැබෙනා බැවිනි.  අන්ත දුෂිත රාජ්‍ය නිලධාරීන් මෙල්ල කිරීමට එය ශක්තිමත් මෙවලමක් වූ බව මම හොදින්ම දන්නා බැවිනි.


4. වත්මන් ඇමති මණ්ඩලය පත්වන්නේ ජනාධිපතිවරයාගේ තනි අභිමතයට ය. ඒ වෙනුවට (45 වන ව්‍යවස්ථාව) යටතේ අගමැතිවරයා ගේ උපදෙස් මත ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත්කරනවාට මම පක්ෂ වෙමි. මන්ද, ජනාධිපති බලය අගමැති හරහා එමගින් පාර්ලිමේන්තුවට ලැබෙන බැවිනි.

5. ජනාධිපතිවරයාට කැමති ලෙස ඇමති ධූර වෙනස් කිරීමට ඇති බලය, ඉවත් කිරීමට ඇති බලය අගමැතිවරයා වෙත ලැබෙනවාට  (46 ව්‍යවස්ථාව) මම පක්ෂ වෙමි.  මන්ද, ජනාධිපතිවරයාට මෙවැනි බලයක් ලැබීම පාර්ලිමේන්තුවට විධායකයේ ඇති වගවීම ශක්තිමත් කරන බැවිනි. ඉහත යෝජනා දෙකම 19 ට වඩා වැඩි බලයක් අගමැතිට ලැබීමකි.

6. වත්මන් ව්‍යවස්ථාවේ ඇත්තේ ජනාධිපතිවරයාගේ තනි පාලනයකි.  21 මගින් ජනපති - අගමැති හවුල් පාලනයක් ස්ථාපනය වන්නේය.  ජීවිත කාලය පුරාම ජනාධිපතිවරයාගේ බලය සංවරණ හා තුලනයට ලක් විය යුතු යැයි දේශනා කළ මම එයට පක්ෂ වෙමි.



7. ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුන් ලෙස පත්වීමට අවස්ථාව අහිමි කරන යෝජනාව, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කළේම බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුවට පැමිණීම වැලැක්වීමට බව අතීතය දන්නා මම නම් රහසක් නොවේ.  20 වන ව්‍යවස්ථා සංශෝධනය ආවේ ද, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබාදීම සඳහා ය. පුද්ගලයින් ඉලක්ක කර ව්‍යවස්ථාව ලිවීම නිසා අපේ රටේ ව්‍යවස්ථාව අවුල් ජාලයක් වී ඇත. 21 පරාජයට පත් වන්නේ නම්, එයට ප්‍රධාන හේතුව පුද්ගලයින් ඉලක්ක කර ව්‍යවස්ථාව ලියන්නට යාම ය.  අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා ජාතිකයක් නොවේ.  



8. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය බලය මැතිවරණ කොමිසමට ලබාගැනීමට මම මාගේ ජීවිතයේ වසර 11 ක් සටන් කර දේශනා කර ඇත. අද හෝ මැතිවරණ සමයේ මාධ්‍ය නියාමනය කිරීම අතිශයින්ම වැදගත්ය. එබැවින්, 104 ආ ව්‍යවස්ථා සංශෝධනයට එම නිසා මම පක්ෂ වෙමි.

9. කතානායකවරයා ට නව ආණ්ඩුවක් පිහිටුවන තෙක් අන්තර්වාර කාලයකට බලය ලැබීම හුදු තාක්ෂණික ව්‍යවහාරයකි.


මේ මුලික නිරීක්ෂණ හා කරුණු 9 මත මම 21 ට පක්ෂ වෙමි.  ජනාධිපතිවරයාගේ බලය මෙතරම් කප්පාදු කිරීම යහපත් ක්‍රියාවකි.


19 වන සංශෝධනයේ තිබූ නමුත්, 21 වන සංශෝධන මඟින් පරණ තත්වයට පත් නොවන කරුණු කිහිපයකි. මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන්ට මේ ගැන බල කිරීම පුරවැසි වගකීමකි.



1. ජනාධිපතිවරයාට  ඕනෑම අමාත්‍යාංශයක් දැරීමේ බලය 44 (2) ව්‍යවස්ථාව, 21 න් සංශෝධනය වී නැත. එය යහපත් නැති බව සත්‍යයකි. නමුත්, 19 සංශෝධනයේ තිබූ මේ ප්‍රතිපාදනය ව්‍යතිරේකයක් මගින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අදාල නොවූ බව ද අමතක නොකළ යුතුය. එතුමා, පරිසර, මහවැලි, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.  මේ නිසා 21 විසිකරනවා නම්, එය බේසම සමඟ දරුවා විසි කිරීමකි.

2. ජනාධිපතිවරයාට 19 න් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය ලැබුණේ වසර 4 ½ කට පසුවය. ඒ යහපාලන ආණ්ඩුවට පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට එදා තිබූ අවශ්‍යතාවය නිසාය. මේ යෝජනාව 19 ට කොතැනින් අවාදැයි දන්නේ දෙවියන් ම පමණී.  

70 වන ව්‍යවස්ථාව 21 වන සංශෝධනයෙන් වෙනස් කරන්නට යෝජනා වී නැත.  එනම්, ජනාධිපතිවරයාට වසර 2 ½ කින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකිය. පක්ෂ නායකයින්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව නොව මෙවර වත් රටට ගැලපෙන ලෙස 70 වන ව්‍යවස්ථාව නැවත ලිවීම පාර්ලිමේන්තුවේ වගකීමකි. කන්න නැති රටක 2023 මාර්තු මාසයෙන් පසුව ඡන්ද තැබීම කළ හැක්කක් නොවන බව අප වටහා ගත  යුතුව ඇත.

3. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණනයට යටත් කොට තිබූ ආයතන රැසක් 20 ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණනයෙන් ඉවත් කරන ලදී.  21 වන සංශෝධනයෙන් ද එම ආයතන 117 ක් නැවත විගණනයට යටත් කර නැත. මෙම ආයතන සියල්ලම අනිවාර්යයෙන්ම විගණනයට ඇතුලත් කර ගත යුතුය. ජනතාව එයට බලපෑම් කළ යුතුය.



21 ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලය සැලකිය යුතු ප්‍රමාණයකට කප්පාදු කර ඇත. අපගේ දේශපාලන න්‍යයපත්‍රය පසෙක තබා ඒ සත්‍යය අප පිළිගත යුතුව ඇත. දැන්වත් පක්ෂ නායකයින් රට විනාශයට ගෙන ගිය අවස්ථාවාදී දේශපාලනය අකුලා ගත යුතුව ඇත.


Naml basil MR
19 වන ව්‍යවස්ථා සංශෝධයේ කොමිෂන් සභා පිහිටුවීම, ජනාධිපති බලය අඩු කිරීම අති විශිෂ්ඨ වූ කරුණු වෙති. නමුත් එය ශුද්ධ ලියවිල්ලක් ද නොවන බව අප අමතක නොකල යුතුය. 

 
දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි ප්‍රතිපාදනය දැම්මේ මහින්ද රාජපක්ෂ ගෙදර යවන්නටය. 
 
35 ට අඩු අයෙකුට ජනාධිපතිවන්නට බැරි වගන්තිය නාමල් රාජපක්ෂ ගෙදර තියන්නට ය.
 
 ද්විත්ව පුරවැසි යෝජනාව බැසිල් රාජපක්ෂ ගෙදර තියන්නට දැමූ බව රහසක් නොවේ.


 අසමජ්ජාති කුපාඩි වැඩක් !


21 සම්මත වන්නේ නම්, අද ජනාධිපතිවරයාට ඇති බලයෙන් විශාල පංගුවක් අගමැතිවරයාට ලැබේ. නැවත කොමිෂන් සභාවලට ලැබේ. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඇති දේශපාලන විරෝධය නිසා 21 ට වල කැපීම කුපාඩි දේශපාලනයකි. අසමජ්ජාති වැඩකි.  

21 ට විරුද්ධ ආණ්ඩු පක්ෂයට ඇත්තේ නැවත තම බලය තහවුරු කර ගැනීමේ උන්මාදය යි.  විපක්ෂයට ඇත්තේ රනිල් වික්‍රමසිංහට බලය ලැබීමේ වේදනාවයි.  මේ දෙකට මැදින් ජනාධිපති බලය අඩු කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාව බිඳ වැටෙනු නොදී රැක ගැනීම අවශ්‍යය.

21 සම්මත නොවේ නම්, අපට සිදු වන්නේ ලොව බලවත්ම ජනාධිපති ධූරය සමඟ ජීවත්වන්නටය. මෙවන් බලයක්, කිසිදු පාලකයෙකුට හිමිවිය යුතු නැත.


බර වචන ගොඩක් දමා, ඒ ගැන ලියන්න අවශ්‍යතාවයක් නැත. සරළ සුද්ධ සිංහලෙන් කියමි. 21 විසින් ජනාධිපතිට අද තියෙන ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු යැයි මා හැමදාම කියූ බලය අහෝසී වී යන්නේය.  පාර්ලිමේන්තුව ශක්තිමත් වන්නේය.  ඒ නිසා මම එයට පක්ෂ වන්නෙමි.  


 
Rajithe T
(රජිත් කීර්ති තෙන්නකෝන්)
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය -විධායක අධ්‍යක්ෂ
දකුණ හා ඌව හිටපු ආණ්ඩුකාර

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Leader Whats app

  23

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්