1200 x 80 DMirror

 
 

(රාජ්‍ය නිලධාරියෙකුගේ චරිත කතාවක පිටුවක්....)



1997 සිදුවූ කැබිනට් සංශෝධනයෙන් නව නිවාස ඇමති ලෙස ඉන්දික ගුණවර්ධන පත්විය. මා මිත්‍ර රාජා උස්වැටකෙයියාව මා ගැන ඇමතිවරයා දැනුවත් කළ පසුව, විනය පරීක්ෂණයක් හේතුවෙන්, වැඩ තහනමකට ලක් කර සිටි මා නැවත සේවයෙහි පිහිටුවා මහනුවරට ස්ථාන මාරු කළේය.

ඒ අනුව මහනුවර කාර්යාලයේ සේවය වාර්තා කර විනාඩි 15කින් මගේ ස්ථාන මාරුව අවලංගු කළ හෙයින් වහාම ප්‍රධාන කාර්යාලයට වාර්තා කරන ලෙස දුර කතන ඇමතුමක් ලැබිණ. එය ලිඛිතව ලැබෙන තෙක් දින 19ක් නිවසේ රැඳී සිටි මම, සැප්තැම්බර් 04 වෙනි දින නැවත කොළඹට වාර්තා කළෙමි.

මේ සිද්ධිය ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු (1997-2000) ටද දැඩිව දැනුණා විය හැකිය.

සිද්ධියෙන් පසු දවසක  සභාපති ප්‍රදිනාන්දු මා කැඳවීය.

“කවුද චන්ද්‍රේ.. මේක පස්සේ ඉන්නේ. මෙහෙම ආයතන පාලනය කරන්න බෑ. සභාපතිවරයා එසේ  කියා මොහොතක් මා දෙස බලා සිටියේය. ඔහු තුළ පැවතියේ මා කෙරෙහි උපන් දයාවද නැතහොත් බල්ලන් රජවී පරිපාලනයට අභියෝග කිරීම ගැන පැවති නො සතුටද යන්න මට තේරුම් ගත නොහැකි විය. 

 
ඔහු මගෙන් යම් තොරතුරක් අපේක්‍ෂා කරන බව  වැටහිණ.  
 
මම පසුවදාම මහනුවර කාර්යාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ සටහනක් ප්‍රධානියා වෙත ඉදිරිපත් කළෙමි. ඔහු තොරතුරු අතට ගත්තා මිස කිසිවක් කීවේ නැත. 
 
තෙ දිනකට පසුව මහනුවර කාර්යාලයට විමර්ශණ නිලධාරීන් කඩා වැදිණ. නිවාස ණය නිකුත් කළ ණය ගොනු රාශියක් අස්ථානගතව ඇති බව වාර්තා විය. ඊළඟ දෙසතිය ගතවීමට පෙර පරිපාලනයට එරෙහිව දේශපාලකයන් මෙහෙයවූ එක් ක්‍ෂේත්‍ර සහායකයෙකුගේ වැඩ තහනම් කෙරිණ.

“මහනුවර දිස්ත්‍රික් මැනේජරස්ලා මුගෙන් අහන්නේ නැතිව කක්කුස්සියටවත් ගිහින් නැති පාටයි.” පසු දවසක ආයතන ප්‍රධානියා මා සමග සිනා සෙමින් කීය.

“කවුද මේවා කීවේ.” මම සිනාසෙමින් විමසීමි.
 
 
“දැන් පෙත්සම් එන්න පටන් අරන්. හොරට ණය දුන්න ෆයිල් සිය ගාණක් පුච්චලා. මේක හරි භයානකයි. ඒවා පරණ සිද්ධි. මුන් මේවා කරමින් ගහන්නේ ඔයාට නොවෙයි. මගේ පාලනයට. ඒක වැරදියි. ඔයා මේ ආයතනයට වැඩ කළ මිනිහෙක්. සානුකම්පික හේතුවකට කෙනෙකුට ස්ථාන මාරුවක් දෙන්න බැරි නම් ඒ අභියෝග කරන්නේ මට. බලමු.” 
 
 
“ඔයාට විතරයි ගහන්නේ ඇයි...? ඔහු විරාමයක් තබා යළි විමසීය.

“මම පරණ කතාවක් කියන්නම්. මේ කියන ක්‍ෂේත්‍රනිලධාරියා ජාතික සේවක සංගමයේ ලේකම්. ඒ කාලයෙත් මුන් හරිම බල සම්පන්නයි. කන්තෝරු  සංකීර්ණයේ බිම් මහලේ කඩ කාමරයක් තිබුණා. මුං මේක සුභ සාධක සංගමේ නමින් අරගෙන අත යට ගාණක් තියාගෙන මුදලාලියෙකුට කුලියට දුන්නා. මම දිස්ත්‍රික් මැනේජර්ට කීවා මේක ඇවිස්සුණොත් ලෙඩක් එයි කියලා. මැනේජර් මේ කතාව කේලමක් හැටියට මුන්ට කීවා. එහෙම නැතිව මං ඔවුන්ගේ නිවාඩුවක්වත් අනුමත කරලා නැහැ.

“ඔය කියන්නේ දැන් කෑගල්ලේ ඉන්න යාලුවනේ.” ආයතන ප්‍රධානියා එසේ කියා සිනාසිණ.

සභාපතිවරයා ගත් මේ ක්‍රියා මාර්ග හේතුවෙන්, මා පසුපස සිදුවූ දේශපාලන ලුහුබැඳීම තාවකාලිකව අවසන් විය. මේ කාලයේ විදුලිය කප්පාදුවක් නිසා බොහෝ දුෂ්කරතාවලට රටම මුහුණ පෑවේය. ආණ්ඩුව ලංකා ඔරලෝසුවේ වේලාව පවා වෙනස් කළ කාලයකි. 
 
ඒ තත්වය මත දේශපාලන හේතු මත කොළඹට අනුයුක්තව සිටි මා ඇතුළු කිහිප දෙනෙකු තාවකාලිකව මහනුවරට ස්ථාන මාරු ලබාදෙන ලෙස කළ ඉල්ලීම් අනුව, 1998 ජනවාරි 25 වෙනි දින සිට ස්ථාන මාරු ලැබිණ.

එයින්  දින කිහිපයකට පසුව, ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය එල්ල විය. ඒ නිසාදෝ සුපුරුදු ලෙස මගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට කෙරෙන බලපෑම් නතර විය.

නැවත 1998 මාර්තු 09 දින මා නැවත කොළඹට කැඳවා නිකුත් කළ ස්ථාන මාරුවට එරෙහිව මම කම්කරු කොමසාරිස්ට පැමිණීලි කළෙමි. වගඋත්තරකාර  නිවාස අධිකාරිය කැඳවා මුල් කරුණු විමසීම මහනුවරදී සිදු කළ අතර, මූලික පරික්ෂණය කොළඹ කම්කරු දෙපාර්තමේන්තුවේදී ආරම්භ වීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු සේම නීතිඥයෙකු වූ නිවාස අධිකාරියේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු නිවාස අධිකාරියට එරෙහිව කම්කරු කොමසාරිස්ට පැමිණිලි කළ හැකිද යන්න ගැන උපදෙස් ලබා ගැනීමට නීතිපතිගෙන් අපේක්ෂා කරන හෙයින් එතෙක් උක්ත පරීක්‍ෂණයට නිවාස අධිකාරිය වෙනුවෙන් නියෝජිතයෙකු සහභාගි නො කරන බව ඒක පාක්ෂිකව දන්වා තිබිණ.

ඊට ප්‍රතික්‍රියා දක්වමින් මගේ පැමිණිල්ලේ විමර්ශණ නිලධාරි එවකට නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඩී.එම්.එස්.දිසානායක මහතා තමන්ට නිවාස අමාත්‍යාංශයෙන් බලපෑම් එල්ල වන බව කම්තරු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්  තේනුවර නම් මහතෙකුට පැමිණිලි කළ 1998-10-02 දින දරන ලිපියේ පිටපතක් මටද යොමු කර තිබිණ.

මීට අමතරව මා මේ ස්ථාන මාරුව ගැන කළ පැමිණිල්ල, මානව හිමිකම් කොමිෂන් සභාව අංක HRC/807/98 සහ 1998-05-05 දින භාර ගත් නමුත් මූලික විමසුම සඳහා කිසිවෙකු කැඳවූයේ නැත.

කොමිෂන් සභාවේ ප්‍රධානියෙකුගේ බිරිද නිවාස අධිකාරියේ නීති නිලධාරිනියක වීම හේතුවෙන් නිවාස අධිකාරියට එරෙහි පැමිණිලි මෙසේ යටපත් එ දවස සාමාන්‍ය තත්වයක් විය.
 
 
මගේ පැමිණිල්ල භාරගෙන වසර 3කට පසුව, එනම් 2001-05-14- දින  යම් සහනයන් වීදැයි මානව හිමිකම් කොමිෂම ලිඛිතව මගෙන් විමසීය. පැමිණිල්ල භාරගෙන වසර 04කට පසුව මානව හිමිකම් කොමිෂම 2002-02-28 දින පරීක්ෂණය ආරම්භ කළද, වසර 20ක් ගතවූ අද තෙක් එහි තීන්දුව ප්‍රකාශ කර නැත.
 
 
 
මගේ පැමිණිල්ල විභාග කිරීම අඩාල කිරීමට, සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු ගැසූ තුරුම්පුව පාවිච්චි කරමින් 1998 මාර්තු 09 දින නිකුත් කළ ස්ථාන මාරුව අනුව ක්‍රියා නොකරන බව කළමනාකාරිත්වයට දන්වා සිටියෙමි. පවත්නා තත්වය මගේ වාසියට පෙරළී ඇති නිසා 1998 බදුල්ල කළමනාකරු මහනුවරට මාරු කර බදුල්ලේ දිස්ත්‍රික් කළමනාකරු ලෙස පත් කර යැවීමට සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු කැමැත්ත විමසුවද මම ඊට එකඟ නොවීමි.

 මා නැවත 1998 මැයි මස 14 වෙනි දින කොළඹට වාර්තා කළ අතර, මට එරෙහි විනය පරීක්ෂණයෙන් මා  නිදොස් කොට නිදහස් කළ හෙයින් හිඟ වැටුප් ගෙවීමටද නියම විය. ඉන්පසුව, 1999  දෙසැම්බර් 31 දින සිට  මා නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරු ලෙස ස්ථාන මාරු කළ ලිපිය නිකුත් විය.

 මගේ කැමැත්ත හෝ නොවිමසීම නිසා නුවරඑළියට අදාල ස්ථාන මාරු නියෝගය මම ප්‍රතික්ෂේප කෙළෙමි.

වැඩ තහනමකට ලක්ව, පරීක්ෂණයෙන් නිදහස්ව, හිඟ වැටුප් සහිතව නැවත සේවයෙහි පිහිටුවා මේ වන විට ගෙවී තිබුණේ හය මසක් පමණි. කළමනාකාරිත්වය සමග හබ නොකොට නියෝගයට අවනත වන ලෙස බොහෝ මිතුරන් පෙරැත්ත කළ හෙයින් නුවරඑළියට යාමට මම තීරණය කළෙමි.

nuwara eliya
නුවරඑළියට හැමදාම යවන ලද්දේ ආධුනිකයෙකි. එක්කෝ  Punishment කාරයෙකි. කුඩා දිස්ත්‍රික්කයක් වූ නුවරඑළියේ රාජකාරි අපහසු නැත. එකම අපහසුතාව දේශගුණික දුෂ්කරතාවයි. 1994 දේශපාලන පෙරළියට පසුව, මා යන තෙක් මේ ස්ථානයෙහි කිසිදු නිලධාරියෙකුට වසර දෙකක් සේවය කිරීමට ඉඩ ලැබුණේ නැත. එහි මටද සේවය කළ හැකි වුණේ මාස 14 කි. හේතුව දේශපාලන බලපෑම් නිසා පුත්තලමට මාරු කර යැවීය.


කෙටි කලක් තුළ මගේ අධීක්ෂණය යටතේ ණය ආපසු අය කිරිම් සහ ඉදිකිරීම් ප්‍රගතිය ඉහළ සංඛ්‍යා අගයක් දැක්වීය. නීති නිලධාරියෙකුගේ සහායද නො මැතිව ණය නො ගෙවා පැහැර හරිනන්නන්ට එරෙහිව යම් නඩු ප්‍රමාණයක් ගොනු කළෙමි.

කොළඹ පැවැති මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදී, වෘත්තිය සමිති කාරයන්ට අනුව, ආයතනය මෙහෙයවූ  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ප්‍රධානින්ට හොඳ ප්‍රගති වාර්තා සමඟ මගේ මුහුණ යළි දැකගත හැකි විය. මම සිරිත් පරිදි, ප්‍රධාන කාර්යාලයේ සහ සමස්ත ආයතනයේ පාලනය සහ දුර්වලතා ප්‍රසිද්ධියේ සමාලෝචනය  කිරීම නැවත ආරම්භ කෙළෙමි. ප්‍රේමදාස යුගයේ දී පවා අපේ හැසිරීම් මෙබඳු විය.
 
 
සාමකාමීව අවනතව කීකරුව රස්සාව කළ අපේ බොහෝ සගයන් තම නිවෙස්වල හුදෙකලාව විශ්‍රාම සුව විඳිති. මේ අරගලකාරි ජිවන රටාව නිසා, නීතිඥ වෘත්තියට ප්‍රවේශ වූ මම තවමත් කාර්යශීලිව තෘප්තිමත් කාලයක් ගත කරමි.
 
 
එක් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමකදී (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජික)  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.එම්.සී. ප්‍රදිනාන්දු නිවාස අධිකාරියේ දිස්ත්‍රික්කවල කලාප කාර්යාල ආරම්භ කළ යුතු බව නිවේදනය කළේය. ආයතන ඉතිහාසය අනුව, මේ ගෙවෙමින් තිබුණේ කිසිදු ප්‍රගතියක් වාර්තා නොකළ කාලකන්නි යුගයකි.
 
 විශාල මුදල් අර්බුදයක් විය. සේවක ප්‍රමාණ නඩත්තු කළ නොහැකි තරම්ය. මම සභාපතිවරයාගෙන් කලාප කාර්යාලවල අවශ්‍යතාවය පිළිබඳ හේතු විමසා සිටියෙමි.

“අමාත්‍යාංශ තීරණයක්.” සභාපතිවරයාගෙන් ලැබුණේ  ඍජු පිළිතුරකි.

“තීරණය කාගේ වුණත් ප්‍රායෝගික නැහැ. මේ වන විටත් නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාල නඩත්තුවට සමාන ආදායමක් අමාරුවෙන් අපි හොයා ගන්නවා. කොට්ඨාශ කාර්යාල විවෘත කර පවත්වා ගෙන යන්න අපට මුදල් නැහැ. කලාප කාර්යාල ඇති කිරිම නිසා අනවශ්‍ය ලෙස වියදම් ඉහළ යාවි. අවශ්‍යතා හඳුනා නො ගෙන ඉහළින් කියන දේවල් කිරිම නොකළ යුතු බවයි මම කියන්නේ. මේ කරුණු සටහන් කර ගන්නා ලෙසද ඉල්ලා සිටියෙමි. කිසිවෙකු ඊට පක්‍ෂව හෝ විපක්‍ෂව ප්‍රතිචාර දැක්වූයේ නැත.

එක් එක් දිස්ත්‍රික්කයක අලුතෙන් ආරම්භ කළ යුතු කොට්ඨාස කාර්යාල සංඛ්‍යාව නියම කෙරෙන චක්‍රලේඛ නිකුත් විය. මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී  නිවාස ප්‍රගතිය සමග කොට්ඨාස කාර්යාල ආරම්භ කිරීමේ ප්‍රගතිය විමසා බැලිණි. නව කාර්යාල සඳහා අවශ්‍ය ගෙවල් කුලීය සඳහා රුපියල් දහස් ගණන් සඳහා අනුමැතිය දීමට කොළඹට සිදුවිය. වැටුප් ගෙවා ගැනීමට නොහැකි ආයතනයේ පදනම තවත් දුර්වල වන්නට විය.

කලාප සංකල්පයේ යටි අරමුණ දොට්ට පනිමින්, දෙසතියක් තුළ වෘත්තිය සමිති කාරයන් රැසකට හදිසි උසස්වීම් ලැබිණි. මම කලාප කාර්යාලවලට එරෙහි  ස්ථාවරය හකුළා නොගත්තෙමි.

“තුන් මාසයක් ගතවෙලා. නුවරඑළියේ තව එකක්වත් පටන්ගෙන නැහැ?” එක් මාසික රැස්වීමකදී සභාපතිවරයා විවෘත දැනුම්දීමක්  කෙළේය.

“මම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිනවා.” නිලධාරීන් සිනා ගන්වමින් මම පිළිතුරු දුනිමි.

“දුන්න සහන කාලය අවසන්...” ඔහු බැරැරුම් මුහුණක් මවාගෙන මා දෙස බැලීය. දෙසතියකට පසුව නුවරඑළිය කාර්යාලයේ මගේ දුරකථනය නාද විය. සභාපතිතුමා දුරකථනයෙහි සිටින බව ෂෙරිනා මුතාලිබ් ලේකම්වරිය මට දැන්වූවාය. ඉන්පසුව ගලා ආවේ සභාපතිවරයාගේ කටහඬය.

“මගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නෙ” ඔහු කතාව පටන්ගත්තෙ එහෙමය.

“මම නම් දැන් ඉවසන්න පුරුදු වෙනවා.” මම සිනාසෙමින් එසේ කියා සිටියේ සුහද ලීලාවෙනි.

“මේක විහිළුවකට ගන්න එපා. චන්ද්‍රේ අමාත්‍යාංශයෙන් ඊයෙත් මේ ගැන ඇහුවා.” සභාපතිවරයා සාවධානව කතා කෙළේය.

“මට කලාප කාර්යාල නඩත්තු කරන්න තරම් ආදායමක් නුවරඑළියේ නැහැ. අනෙක මගේ දිස්ත්‍රික්කයේ කඩා වැටීමක් ගැන පැමිණිලි නැහැ.”

“නුවරඑළියේ ප්‍රගතිය යහපත්. ආදායම් තත්ත්වය දැන් හොඳයි.”සභාපතිවරයා කතා කරන්නට විය.

“ස්තුතියි. ඒක නිශ්චිතව පවත්වාගෙන යන්න මම උත්සාහ කරනවා. කලාප කාර්යාලවල අවශ්‍යතාවක් නුවරඑළියට නැහැ.”

“හැටන් කාර්යාලය සතියකින් ආරම්භ නො කළොත් මට තීරණයක් ගන්න සිද්ධ වෙනවා.”

“මා ගැන තීරණ ගන්න නිවාස අධිකාරිය කවදාවත් පමාවෙලා නැහැ. මතකනේ පැයෙන් මාව කොළඹට මාරු කළා. ඇයි පමා කරන්නෙ...” එහා කෙළවරෙන් වහා දුරකථනය විසන්ධි විය. පසුදින නිවාස අධිකාරියේ සාමාන්‍යාධිකාරි බර්ටි ජයසේකර මා ඇමැතීය. කලක් පුත්තලම දිසාපතිව සිටි පරිපාලන සේවයේ ඉහළ නිලධාරියෙකුවූ බර්ටි හන්තානේ කතාව චිත්‍රපටයටද සම්බන්ධ වූ කලාකාරයෙකි.

 “මොකක්ද බං මේ ගෝරිය. උඹෙ අතින් යන එකක් නොවෙයිනේ.”

“මම බලාගෙන ඉන්නෙ උඹලා නිදහසට කරුණු අහනකල්...”

“මේක මගේ ඉල්ලීමක්. උඹ ගැන තීරණ ගන්න කියන්නේ  මට. මාව අපහසුවට පත් කරන්න එපා.” ඔහු එසේ කීවේ දැඩි සෙනෙහසිනි. බර්ටි නිසා මගේ ස්ථාවරය ලිහිල් කිරීමට මම තීරණය කළෙමි.
 
 
 
මගේ කාර්යාල පරිශ්‍රයේ දඩාවතේ යන වල් බල්ලන් සීතලට ලගින හිස් කාමරයක් විය. හාවාඑළිය පිහිටි නුවරඑළියේ දිස්ත්‍රික් කාර්යාලය පිහිටා තිබුණේ හැටන් නගර මධ්‍යයේ සිට දුර කිලෝ මීටර් 40.8ක් දුරිනි. අර පාලු කාමරය සුද්ධ කොට, හැටන් කොට්ඨාස කාර්යාලය යනුවෙන් නාම පුවරුවක් එල්ලා මේස පුටු කිහිපයක් පිළිවෙල කෙරිණ. කාර්යාලයට  අනුයුක්ත කළ යුතු  නිලධාරින් නම් කරන ලෙස පාලන කළමනාකරුට නිකුත් කළ ලිපියේ පිටපත් කොළඹට යැවීමි.
 
 
 
කොට්ඨාස කාර්යාල ගැන කිසිවෙකු ඉන් පසුව මගෙන් ප්‍රශ්න කළේ නැත. මේ සිද්ධියෙන් මාස දෙකකට පමණ  පසුව, එම්.එම්.සී. ප්‍රදිනාන්දු නිවාස අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් විය. ඔහුගේ අනුප්‍රාප්තික නව සභාපතිවරයා පී.ඒ. ෂන්මුගලිංගම් නම් භාණ්ඩාගාරයේ සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකි.

ඊළඟට ප්‍රගති සමාලෝචන රැස්වීම ආරම්භයේ සාමාන්‍යාධිකාරි බර්ටි ජයසේකර ඇඟිල්ල දිඟුකර මා පෙන්වා නව සභාපතිවරයාට යමක් කියනු මම බලා සිටියෙමි.

“මම නුවරඑළිය දිස්ත්‍රික් කළමනාකරුට ස්තුති කරනවා ආයතනයේ සැබෑ තත්ත්වය වෙනුවෙන් පෙනී සිටීම ගැන.” ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුවූ සාමාන්‍යාධිකාරි බර්ටි ජයසේකර, ප්‍රසිද්ධියේ කළ ස්තුතිය මම අපහසුවෙන් විඳ දරා ගතිමි. හේතුව රජයේ නිලධාරීන් තමන්ට හිමි සාමාන්‍ය  බත්පතේ රස වැඩි කරගැනීමට රජයේ ආයතන පාවාදීම හෙටත් සිදුවන නිසාය.

ජ්‍යෙෂ්ඨ හොඳ මිනිස්සු ඉක්මනින් අපෙන් සමුගන්නා නියාමය අනුව අපේ හිතාදර බර්ටි ජයසේකර මෑතක ජීවිතයෙන් සමුගත්තේය. මා මිත්‍ර එම්.එම්.සී. ප්‍රදිනාන්දු තවමත් රට වෙනුවෙන් නොව එකිනෙකා වෙනුවෙන් හුස්ම ගනිමින් සිටියි.( එම්.එම්.සී. ප්‍රදිනාන්දු  අදටත් ඒ සෙල්ලම නතර කර නැත.) හේමලයා නම් චරිතාපදානයේ පරිච්ඡේදයකි.


ගෙදර යන මිනිසාගේ නිමේෂය උදාවී ඇත -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58