සිද්ධාර්ථ තාපසයාණෝ බුද්ධත්වය ලැබීමට හෝරා කිහිපයකට පෙර අවසන් දානය වැලඳූ පාත්‍රය ගං දිය මත තබා ප්‍රාර්ථනා කළේ ‘‘මේ පාත්‍රය උඩුගං බලා

පාවුනොත් මම අනිවාර්යයෙන් බුද්ධත්වය ලබනවා’’ යනුවෙනි. ඒ සිතුවිල්ල යථාවක් කරමින් පාත්‍රය උඩංගං බලා පාවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් කර ඇත. සරලව ම පවසන්නේ නම් මෙම සිදුවීම තුළින් ගම්‍ය කළේ වෙනසක් කළ යුතු නම් රැල්ල යන දෙසට නොයා උඩුගං බලා පිහිනිය යුතු ය යන්න ය.

2022 අප්‍රියල් 09 වන දින ගාලු මුව දොර පිටියේ ආරම්භ කළ විරෝධය ද (ආරම්භක අවධියේ) යට සඳහන් කළ ආකාරයේ උඩුගං බලා පිහිනීමකි. එසේ උඩුගං බලා පිහිනීම කෙතරම් සාර්ථක ද යත් ඒ පළමු අදියරේදී ලාංකීය වාම දේශපාලනය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ පවා එය දුටුවේ සුළඟට ගසාගෙන යන රැල්ලක් ලෙසිනි. එම පක්ෂය අරගලය සමග ගනුදෙනු කළේ ඉතා මන්දගාමී, ඇල් මැරුණු ස්වරූපයකිනි. ක්‍රම ක්‍රමයෙන් අරගලය තියුණු වෙමින් පවතින විට ජනතා විමුක්ති පෙරමුණ අරගලයට කොක්ක ගැසී ය. ඒ අප්‍රියල් 17 වන දින කළුතරින් ඇරඹි පාගමන අවසන් කරමින් අප්‍රියල් 19 වන දින අරගල භූමියට පැමිණීමෙනි.



මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතයේ දී කළ අමනෝඥම ක්‍රියාව ලෙස ඉතිහාසයට එක් කළ යුතු ගෝඨා ගෝ ගමට අමානුෂික මැර ප්‍රහාරය එල්ලවීමත් සමග ම අප්‍රියල් 19 වන දින සිට අරගලයට කොක්ක ගසා සිටි ජවිපෙ ප්‍රමාද වී හෝ අරගලය තුළ යම් බලයක් අත්පත් කරගන්නට සමත් විය. එය සිදුවිය යුතුව තිබුණේ ඊටත් පෙර බව ලියුම්කරුගේ අදහස ය. ජවිපෙ ප්‍රමාදය හේතුවෙන් ම අරගල භූමිය තුළ ඔවුන්ට හිමි විය යුතුව අගය එතරම් වටිනාකමකින් යුතු තත්ත්වයක් නොවී ය. එහි විප්ලවීය හැඩය ද එතරම් තියුණු ලෙස දක්නට නොලැබිණ. ලියුම්කරුගේ දැක්මට අනුව නම් ඒ මොහොතේ ජවිපෙ සිදු කළේ ඇපයෙන් බේරීමේ කටයුත්තකි; අනාගතයේ දී අහිමි වෙතැයි සැක සිතූ අවකාශයක් වෙනුවෙන් යම් ඉඩක් විවර කර තැබීම ය.

මඩේ හිටවූ ඉන්නක් සේ පැවති ජවිපෙ ස්ථාවරය දෙදරවන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය යි. ඔවුන් හැකිතාක් සිය තරුණ ජවය අරගලය තුළට කාන්දු කළේ ඉතා සූක්ෂම ලෙසිනි. පෙරටුගාමින්: කලාව, සාහිත්‍ය, දේශපාලනය, තරුණ ජවය යනාදි අංග සියල්ල හැකි පමණින් අරගලය තුළට එන්නත් කළේ ය. එය අරගලයේ එතෙක් පැවති නිහඬ බව සහ මන්දගාමීත්වය අභිභවමින් වෙනස් මානයකින් ඉදිරියට රැගෙන යන්නට සමත් විය. ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් මැයි නව වන දින අරලියගහ මන්දිරය අත්පත් කරගැනීම සහ එදින මහින්ද රාජපක්ෂ පලායාම දක්වා තම ගමන සාර්ථක කරගැනීමේ දී ද වැඩි බරක් දරන්නේ ද පෙරටුගාමීන් ය.

 

2022 7largeimg 2018633266

එහි කුටප්‍රපාප්තිය එළඹෙන්නේ 2022 ජුලි 09 වන දින ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීමෙනි.

 

එතැන් සිට අරගලයේ සියලු බර කරට ගෙන සිටින්නේ පෙරටුගාමින් ය යන්න බාහිරට මැනවින් ප්‍රදර්ශනය විය. ඒ වන විටත් ජවිපෙ විසින් සිදු කරනු ලැබුවේ අඩුම කුඩුම සැපයීම පමණි.


අරගලය හෑල්ලුවට ලක් කිරීම


මේ අතරවාරයේ වුව ද අරගලය අතරට විවිධ කඩාකප්පල්කාරීන් ඇතුළත් වු බව ද නොරහසකි. එහි ප්‍රධාන භූමිකාව රඟපෑවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ය. ඇය පැඟිරිවත්තේ පිහිටි ගෝඨාභය ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් (එක් වතාවක් නොව දෙවතාවක්) කළ විරෝධය අරගලය ආරම්භයට යම් උත්තේජනයක් සැපයුව ද පසුව ජනාධිපති මන්දිරය සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට සිට කළ විරෝධය හුදු රංගනයක් පමණි. තවත් සරලව පවසන්නේ නම් එය ‘‘මං පොර’’ සංකල්පය වර්ධනය කරගැනීම උදෙසා කළ ව්‍යාපෘතියකි. එය වඩ වඩාත් සනාත වන උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකි ය.



ජනාධිපති ගෝඨාභයගේ නිල නිවස එල්ල කරමින් ඍජුව ම විරෝධය දැක්වූ හිරුණිකා කිසිදු මර්දනයකට ලක් නොවි ඉතා සැහැල්ලුවෙන් අත්අඩංගුවට පත්වන අතර එසැණින් ම පොලිසිය වෙත හිරුනිකාගේ සැමියා, සජිත් ප්‍රේමදාස ඇතුළු සජබ කණ්ඩායමක් ද පැමිණෙන්නේ ය;

 

11f46921df359fb566fdc2a6c8993f89 XL

ඒ මොහොතේ ම  හිරුණිකා ඇතුළු පිරිස පොලිස් ඇප මත මුදාහරින්නේ ය. ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිට විරෝධතා දැක්වූ හිරුණිකා ඇතුළු පිරිසට නීතිය ඉතා සැහැල්ලු ලෙස ක්‍රියාත්මක කරන දිනයේ ම සමගි ජන බලවේගය නියෝජනය කරමින් පැමිණි විරෝධතාකරුවන් සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක පිරිස වෙත ආරක්ෂක අංශ කඳුළු ගැස් ප්‍රහාර එල්ල කළේ ය; එකම දිනයක, එකම මොහොතක රජයට විරුද්ධව විරෝධතා පවැත්වූ පාර්ශ්ව තුනකින් එක් පාර්ශ්වයකට එක් නීතියකුත් තවත් පාර්ශ්ව දෙකකට තවත් නිතියකුත් ක්‍රියාත්මක කළේ ය.


අරගලය තුළ කඩාකප්පලකාරයෝ  


ජනාධිපති කාර්යාලයත්, අරලියගහ මන්දිරයත් අත්පත් කරගෙන සිටි අරගලකරුවන්ගේ ගමන ජුලි 09 වන දින ජනාධිපති මන්දිරය අත්පත් කරගැනීම දක්වා රැගෙන යන්නට පෙරටුගාමින් විශාල දායකත්වයක් සැපයී ය. අරගලයේ සැබැ දේශපාලන අරමුණුවලින් යම් දුරකට හෝ වියුක්ත වන්නේ එදින සිට ය. එනම් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ ඇතැම් පිරිස් ගෝත්‍රිකයන් ලෙස හැසිරිම, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසු ඔහුගේ පෞද්ගලික නිවස ගිනි තැබිම අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත්කරගැනීම සහ පාර්ලිනේතුව ඉදිරිපිට දී ප්‍රචණ්ඩත්වය ඉස්මතු කිරීම ය. දෙවන සහ තෙවන සිදුවිම් අරගලය තුළ සිදු නොවිය යුතු ය යන්න ලියුම්කරුගේ පුද්ගලික අදහස ය.

 

රනිල්ගේ නිවස ගිනි තැබීම දේශපාලන කුමන්ත්‍රණයකි - (කරු පරණවිතාන)

රනිල් වික්‍රමසිංහ විසු ඔහුගේ පෞද්ගලික නිවසට ගිනි තැබිම



රටක ජනාධිපති කෙනෙක් යනු නිවසේ සිට කෙසෙල් කොළයක දවටාගෙන රැගෙන ආ ආහාර වේලක් ගත යුතු පුද්ගලයෙකු නොවේ. අනාගතයේ දිනක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හෝ කුමාර් ගුණරත්නම් රටේ ජනාධිපති වුව ද ඔවුන් වෙනුවෙන් වෙන් කළ ආහාර වට්ටෝරුවක් පවතී. එය අදාළ පුද්ගලයාට හිමි ආහාර වේලකි. එමෙන් ම අදාළ නිල නිවස යනු ජනාධිපතිවරයා පමණක් පරිහරණය කරන්නක් නොවේ ලෝකයේ කුමන රටක රාජ්‍ය තාන්ත්‍රිකයකු පැමිණියද ඔහුට හෝ ඇයට අවශ්‍ය සියලු පහසුකම් එම නිල නිවසේ තිබිය යුතු ය. අදාළ නිවසේ පවතින සැපපහසුකම් සියල්ල හුදු එක් පුද්ගලයකුගේ සුඛ විහරණය සඳහා පමණක් ය යන්න සිතු ඇතැම් අරගලකරුවෝ ඊට ඊර්ෂ්‍යා කළ අකාරය ද, තමන්ට අහිමි සතුටක්, විනෝදයක් අනෙකා විඳීම පිළිබඳ වු ඊර්ෂ්‍යාසහගත බව ද එහි දී කදිමට ප්‍රදර්ශනය කෙරිණ. මේ අතර එම මන්දිරය තුළ තිබි හමුවූ එක්කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වගකිව යුත්තන්ට බාරදීම බඳු යහපත් ක්‍රියාද සිදු කළ බව සඳහන් කළ යුතු ය. එහෙත් වඩ වඩාත් දක්නට ලැබුණේ ඇතැම් අයගේ ජීවිතය තුළ අතපසු වූ යමක් (Arreas Cover) ලබාගන්නට උත්සාහ දරන ආකාරය යි.



යළි එදින ම සවස සිදුවිම් වෙත යොමු වෙමු. ජනාධිපති කාර්යාලය අත්පත් කරගත් පිරිස ම නොවන වෙනත් පිරිසක් ජුලි නම වන දින සැන්දෑ යාමයේ එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුහ. මෙම විරෝධතාව පැවැත්වීම, එයට පොලිස් විශේෂකාර්ය බලකාය විසින් පහර දෙනු ලැබීම, එම සිද්ධිය රූගතකිරිමට ගිය සිරස මාධ්‍යෙව්දින් පිරිසකට පොලිස් විශේෂකාර්ය බලකාය අමාණුෂික ලෙස පහර දීම සහ එම සිදුවිම්වලින් පසු එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරු රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනිතැබීම යනාදිය සැබැවින් ම උභතෝකෝටික ය.

අරගලකරුවන් පවසන්නේ එවකට අග්‍රමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස ගිනිතැබීම සඳහා ඔවුන් සහභාගි නොවූ බවයි. නමුත් එම ස්ථානයේ විරෝධතාවක නිරත වූයේ අරගලකරුවන් නොවේ යැයි ඔවුහු පවසා නැත. කෙසේ වුව ද තම මාධ්‍ය සගයන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය පහර දීමෙන් ඉක්බිති සිරස මාධ්‍ය ජාලයද කටයුතු කළේ උම්මත්තක ලෙසිනි. අදාළ කාලය තුළ ‘‘අග්‍රමාත්‍යවරයාගේ පුද්ගලික නිවස ඉදිරිපිට දී’’ යන වදන් කිහිපය ඉතා වැඩි වාර ගනනක් ප්‍රකාශ කළේ ඉතා නින්දිත ආකාරයෙනි. නමුත් අදාළ නිවසට ගිනි තැබීමෙන් ඉක්බිති එම පුවත පෙර තරම් තියුණු ලෙස ප්‍රචාරය නොකරන්නට ද සිරස මාධය ආයතනය කටයුතු කළේ ය. ඔවුන් එසේ කටයුතු කළේ තම මාධ්‍ය සගයන්ට පහර දුන්නේ රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම ඇතුවය යන්න ගම්‍ය කෙරෙන ආකාරයෙනි. සිරස මාධ්‍යවේදීන්ට පහර දිම පිළිකුලෙන් බැහැර කරන අතර ම ඒ මොහොතේ සිරස කටයුතු කළ ආකාරය ද ඉතා පිළිකුලෙන් බැහැර කළ යුතු ය; එය සිතාමතාම කළ දෙයක් බව ඉතා පැහැදිලි ය. මන්ද ඔවුන්ගේ සිහිනය වෙනකක් වී තිබූ බැවිනි.

 

13srilanka1 facebookJumbo

අරගලකරුවෝ අගමැති කාර්යාලයට

 

මේ අතර එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලාගොස් මාලදිවයිනට ගොඩබැසීමෙන් ඉක්බිති හෙතෙම 13වන දින ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබිණ. 10, 11, 12, 13 යන දින හතර ම ඉවසීමෙන් කටයුතු කර 13වන දින ගෝඨාභය ඉල්ලා අස් නොවූයේ නම් පසු දිනයේ (14) ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගතයුතුව තිබිය දී 13 වන දින ම අරගලය තව තවත් උත්සන්න කරමින් අරගලකරුවෝ අගමැති කාර්යාලයට කඩාවැදුණහ. ඒ වන විට අරගලයේ සාමකාමිත්වය පළුදු වෙමින් පැවතිණ. එබඳු තත්ත්වයක් වෙත අරගලකරුවන් ස්වයංක්‍රීයව තල්ලු වුවා ද කිසියම් කණ්ඩායමක් විසින් තල්ලු කරනු ලැබුවා ද යන්න පිළිබඳ සැකය මතුවෙමින් තිබිය දී තවත් පිරිසක් රුපවහිනී සංස්ථාව අබියස ද විරෝධතාවක් දැක්වුහ; එම පිරිස අතුරෙන් පස් දෙනෙක් රුපවාහිනි සංස්ථාව ඇතුළට ඇතුළු වූහ.

 

Protestors tv 960x540

රටක අරගලයක් මෙහෙයවන අවස්ථාවේ දි එරට පිහිටි රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන සියතට ගැනීම වෙනත් රටවල ද සිදුවී තිබේ. එය අරගලයක ස්වරූපය යි; එසේ නම් එවැන්නක් මෙරට සිදුවීම අරුමයක් ලෙස සැලකිය නොහැකි ය. නමුත් එය සිදු කළ ආකාරය පිළිගත නොහැකි ය. මන්ද අරගලකරුවන් යැයි හඳුන්වමින් රුපවාහිනි මැදිරියේ සිට අදහස් දැක්වු එක් පුද්ගලයෙක් රාජපක්ෂ සනුහරයේ අනාගත අනුප්‍රාප්තිකයා වන නාමල් රාජපක්ෂ සමග සමීප සබඳතා පැවැත්වු පුද්ගලයෙකු බව සමාජ මාධ්‍ය මගින් අනාවරණය විය. නමුදු රජයේ ආරක්ෂක අංශ පවා එය කෙරෙහි අවධානයක් යොමු කළ බවක් දක්නට නොලැබිණ. එසේ නම් සැබැ අරගලකරුවන් නොවන පිරිසක් අරගලය තුළට කඩාවැදී ඇති බව පැහැදිලි ය. එය ස්වංක්‍රියව ම සිදු වුවා ද, එසේත් නොමැති නම් කිසියම් කණ්ඩායමක් විසින් කරවන ලද්දක් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු ය. ඒ මොහොතේ ම පාර්ලිමේන්තුව අසල ද දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. ඒ මොහොතේ යුද හමුදා සෙබළුන්ට පහර දී T 56 ගිනි අවි දෙකක් ද අතුරුදන් වූ බව ආරක්ෂක අමාත්‍යංශය විසින් පසුදින නිවේදනයක් නිකුත් කළේ ය. හමුදා සෙබළුන්ට පහර දී ඇති බව ජනතාව මාධ්‍ය තුළින් දුටුව ද T 56 ගිනි අවිය හෝ අවි දෙක පිළිබඳ ජනතාවට පිළිගත හැකි සාක්ෂි තවමත් ඉදිරිපත් කර නොමැත. සැබැවින් ම T 56 අවි අතුරුදන් වූවා ද, එසේත් නොමැති නම් එය දඩමීමා කරගනිමින් මර්දනය දියත් කිරීමට සූදානම් වුවා ද යන්න ද සැක සහිත ය.

තත්ත්වය එසේ වුව ද එදින සවස ම ගෝඨා ගෝ ගම සිටින අරගලකරුවෝ ප්‍රකාශ කර තිබුණේ ඔවුන් කිසි සේත් ම පාර්ලිමේන්තුව අසල විරෝධතාව්‍යාපාරයක් දියත් නොකළ බවයි. එමෙන් ම එම ස්ථානයේ රැඳී සිටි අරගලකරුවන්ට වහාම ගෝඨා ගෝ ගම වෙත එන්නැයි එම අරගලකරුවෝ පැවසූහ. ඔවුන් එසේ පැවසුව ද එදින එම විරෝධතාවට මූලිකත්වය සැපවූයේ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගය බව නොරහසකි. එම අවස්ථාවේ දී සුනිල් හඳුන්නෙත්ති සහ ලාල් කාන්ත යන දෙදෙනා ජනතාව අමතමින් කළ ප්‍රකාශ ඒ බව සනාත කළේ ය.

 



දැන් ගැටලුවක් ඉතිරිව පවතී; එකක් නොව කිහිපයක් ම ඉතිරිව පවතී. රුපවාහිනී සංස්ථාවට කඩාවැදුණු පිරිස සැබෑ අරගලකරුවෝ ද, එසේ නොවන්නේ නම් ඔවුන් මෙහෙයවනු ලැබූයේ කුමන බලවේගයක් විසින් ද, ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය එදින සවස් යාමයේ පාර්ලිමේන්තු වටරවුමට එක් රොක් වූයේ සැබෑ අරගලකරුවන් ලෙස ද, එසේත් නොවේ නම් සැබෑ අරගලය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ද, ජවිපෙ හෝ ජාජබ එසේ නොකළේ නම් (ඔවුන් එය මෙහෙය වූ බව පැහැදිලි ය) එය සිදුකරනු ලැබුවේ කුමන කණ්ඩායමක් විසින් ද...?

ඉහත සිදුවීමේ සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීම වගකීම රජ්‍ය ආරක්ෂක අංශය මතු නොව අරගලකාර පාර්ශවයේ ද වගකීමකි. ඒ සඳහා ඔවුන් පූර්ණ සහයෝගය ලබා දිය යුතු ය. එසේ නොවන්නේ නම් එහි වාසිය අත්පත් කරගන්නේ පාලකයෝ ය. අවසන ‘දෑත් ගැට ගසා ළිඳට දැමූ මිනිසා ළිඳ බොර කළා යැයි චෝදනා කරනවා’ යැයි පැවසීමෙන් පලක් නොමැත. මන්ද අපි එවන් අමිහිරි අතීතයක අත්දැකිම් බහුල පිරිසකි.  


රනිල් භීතිකාවේ දිග පළල

අරගලය' සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තතනන රනිල් - (ගාමිණී වියන්ගොඩ)

සටහන්කරුගේ දේශපාලන මතකයට අනුව රනිල් භීතිකාව පැන නැගෙන්නේ 2001 වසරේ සිට ය. එය මෙහෙයවීමේ ප්‍රමුඛ දේශපාලන සංවිධානය වූයේ ජනතා විමුක්ති පෙරමුණ ය. එහි පළමු ප්‍රතිපලය වූයේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ලෙස කටයුතු කරන අතර පාර්ලිමේන්තු බලය රනිල් වික්‍රමසිංහ සතුව පවතින මොහොතක චන්ද්‍රිකා කුමාරතුංග සිය විධායක බලය භාවිත කර අගමැතිවරයා සතුව පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමෙනි. ලියුම්කරුගේ මතකය නිවැරැදි නම් එම පවරා ගැනිම සිදු කළේ ද රනිල් වික්‍රමසිංහ විදෙස්ගතව සිටින මොහොතකය. එය, සිරිමාවෝ බණ්ඩාරනායක ඇන්. ඇම්. පෙරේරාගේ මුදල් ඇමතිකම පවරාගැනීමේ සිද්ධියට සමාන ය. චන්දිකා කුමාරතුංග ජනාධිපතිවරියට එසේ කරන්නැයි උපදෙස් සැපවූයේ ජනතා විමුක්ති පෙරමුණ ය. එහි පුරෝගාමියා විමලසිරි ගම්ලත් හෙවත් විමල් විරවංශ ය. ඒ සඳහා අවියක් ලෙස භාවිත කළේ රනිල් වික්‍රමසිංහ LTTE සංවිධානයට අනවශ්‍ය ලෙස නිදහස ලබා දී ඇතැයි යන්න ය. නමුදු LTTE සංවිධානය තුළ ගැටුම් ඇති කර, එම සංවිධානය දෙකඩ කර එහි වාසිය රජයේ පාර්ශ්වයට නතුකරගත හැකි වූයේ රනිල් වික්‍රමසිංගේ දුර දක්නා නුවණින් බව මේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් හෝ දේශපාලන නායකත්වයක් හෙළිදරව් නොකළේ ය. ලියුම්කරු එය දකින්නේ දේශපාලන කුහකත්වයක් ලෙසිනි. සැබැවින් ම රනිල් වික්‍රමසිංහ ඒ ආකාරයට LTTE සංවිධානය සමග කටයුතු නොකරන්නට මහින්ද රාජපක්ෂ යුද්ධය දිනාගත් ලෙස ඉතිහාසයට එක් නොවන්නට ඉඩ තිබිණ. එහෙත් කිසිවකු රනිල් වික්‍රමසිංහට ඒ ගෞරවය ලබා නොදුන්හ.

එතැනින් ඇරඹි රනිල් භීතිකාව මෙ වන විටත් නොනවතින රැල්ලක් ලෙස පවතී. එදා මෙදාතුර විවිධ බලවේග (සිහල උරුමය, ජාතික හෙළ උරුමය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ ඊනියා වාමාංශික පක්ෂ සහ අවස්ථාවාදී ආගමික බලවේග) එය පෝෂණය කළ අතර වර්තමානයේ ද එය එලෙසින් ම පවතී. වෙනසක්ව පවතින්නේ යට කී ඇතැම් පාර්ශ්ව එක් එක් අවස්ථාවල රනිල් වික්‍රමසිංහ සමග කටයුතු කළ ද මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ ඔවුන්ගෙන් වෙන්ව ගිය කණ්ඩායම වන පෙරටුගාමි සමාජවාදි පක්ෂය ද තවමත් එම භීතිකාව පතුරවමින් සිටීම ය.

රනිල් වික්‍රමසිංහ පරාජය වී නිහඩව සිටින විට නිහඩ ව්‍රතය රකින මෙම කණ්ඩායම් යළි ඔහු කරළියට පැමිණි සැණින් එකී භිතිකාව ප්‍රවර්ධනය කිරීම අරඹති. එය යම් තීව්‍රතාවක් ගන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ඔහු අගමැති ධුරයට පත්විමත් සමග ය. එතැන් සිට GO HOME GOTA නමැති සටන්පාඨයට GO HOME RANIL යන සටන් පාඨය ද එකතු විය;

B90B3FE3 46AC 46A5 9F56 A787BC16CC6D

අරලියගහ මන්දිය ඉදිරිපිට පැවති ‘ගොඨා ගෝ ගම’ ‘නෝ ඩීල් ගම’ ලෙස වෙනස් විය.ඇතැම් ස්ථානවල එය ‘රනිලා ගෝ ගම’ ලෙස සටහන් කර තිබිණ. ඔහු වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වූ මොහොතේ සිට එය දැවැන්ත රැල්ලක් ලෙස වර්ධනය විය. එහෙත් රනිල් වික්‍රමසිංහ නම් දේශපාලනඥයා එම රැලිවලට හසු නොවී උඩු ගං බලා පිහිනී ය; සැඩ පහර කෙතරම් රළු වුව ද තව තවත් උඩුගං බලා ම පිහිනී ය. අවසන හෙතෙම ජයග්‍රහණය කළේ ය. ඒ ඔහුගේ තිර අධිටන සහ ඉවසීමේ ඵලය යි.


මෙතැන් සිට...


විවිධ පාර්ශ්වවල අපහාසයට, උපහාසයට, අවමානයට ලක්වූ රනිල් වික්‍රමසිංහ අද දින (2022/07/21) සිට නිල වශයෙන් මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරිමට නියමිත ය; ඔහුට එරෙහිව ගොඩනැගුණ භීතිකාව ද (මෙය විරෝධය යැයි හැඳින්වීමට ලියුම්කරු නොපෙලඹෙන්නේ ය) අද දින සිට යළිත් වර්ධනය වීමට නියමිත ය. සබැවින් ම මේ මොහොතේ පක්ෂ විපක්ෂ සියලු දෙනා තව දුරටත් කළ යුත්තේ රනිල් භිතිකාව පෝෂණය කිරීම ද, එසේත් නොමැති නම් ඔහු සමග එක්ව කටයුතු කර මේ මොහොතේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීම ද යන්න විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කර්තව්‍යකි.

mahinda rajapaksa with ranil wickremasinghe

ලියුම්කරුගේ පුද්ගලික මතය මෙය යි. රාජපක්ෂ සනුහරය තමන්ගේ පසමිතුරෙකු ලෙස සැලකු රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා දක්වා රැගෙන ඒමට තරම් දුර්වල තත්ත්වයට ඇද වැටුණේ ජනතාව එම සනුහරය වෙත එල්ල කළ විරෝධතාව යි. එය සැබෑ අරගලකරුවන් ලැබු ජයග්‍රහණයකි; එය අවිවාදිත ය. නමුදු ඔවුන් සටන් කළේ සිටින පාලකයෙකු වෙනුවට තවත් පාලකයෙකු පත්කර ගැනීම සඳහා නොවේ. මේ අවසන්ව තිබෙන්නේ එහි පළමු අදියර ය. දෙවන පියවර ක්‍රියාත්මක කළ යුත්තේ කඩිනමින් ද මන්දගාමිව ද යන්න තිරණය කළ යුත්තේ අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරය අනුව ය. ඔහු හැකි ඉක්මනින් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාවි ද, එසේත් නොමැති නම් එළඹෙන ජනාධිපති මැතිවරණ සමය දක්වා බලයේ රැඳී සිටීවිද යන්න මේ මොහොතේ (ලිපිය ලියන මොහොත)  තීරණය කළ නොහැකි ය. නමුදු ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ජනතාවක් ලෙස අපි කළ යුත්තේ ඔහුගේ ක්‍රියා පිළිවෙත දෙස අවධානය යොමු කර සිටිමින්, ඒ අනුව ප්‍රතිචාර දැක්වීම ය. එසේ නොමැතිව රැල්ලට හසුව GO HOME RANIL යන සටන්පාඨය වර්ධනය කිරීම නොවේ. එය මේ මොහොතේ රට අරාජිකත්වයට රැගෙන යාමක් ය යන්න ලියුම්කරුගේ මතය යි. නමුදු රනිල් වික්‍රමසිංහ (ඔහුගේ පාලන කාලය තුළ) ඉතා ඉක්මනින් රටේ දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට අපොහොසත් වන්නේ යැයි සැබැවින් ම හැඟෙන්නේ නම්, දැනෙන්නේ නම් ජනතාව ලෙස අප කළ යුත්තේ ජනතාවගේ කැමැත්ත උරගා බැලීම සඳහා මහ මැතිවරණයක් පවත්වන්නැයි බල කිරීම ය; ඒ සඳහා අරගල කිරීම ය.

අදාළ මැතිවරණයේ දී දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයට ද, 2019 වසරේ ජනාධිපතිවරණයේ දී ඡන්ද 8, 219 (අටදහස් දෙසිය දහනවයක්) සහ 2020 මහ මැතිවරණයේ දී ඡන්ද 14,522 (දාහතර දහස් පන්සිය විසි දෙකක්) ලබාගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ ලියාපදිංචි ඕනෑම පක්ෂයකට මැතිවරණයට ඉදිරිපත් විය හැකි ය; එහිදී ජනතාව ඒ ඒ පක්ෂ වෙත දක්වන රුචිකත්වය මැන බැලිය හැකි ය. ඒ අනුව ඔවුන්ට රටේ ඉදිරි කටයුතු සදහා දායකත්වය සැපයිය හැකි ය. එසේ නොවන ආකාරයකින් බලය ලබාගන්නේ නම් ඒ, වෙනත් විකල්ප මාර්ගයකිනි. නමුදු එය කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදි ද යන්න ගැටලුවකි; එවන් තත්ත්වයක් සඳහා රටේ ජනතාව සුදානම් ද යන්න ද ගැටලුවකි. ඒ සදහා රටේ ජනතාව පෙළගැස්වීමේ වගකීම රඳා පවතින්නේ ඒ ඒ පක්ෂ සතුව ය. එසේ නොමැතිව රාජ්‍ය දේපොළ අත්පත් කරගැනීමෙන් හෝ රාජ්‍ය ත්‍රස්තවාදයට අතවැනීමෙන් සිදු එය කළ නොහැකි ය. මන්ද ත්‍රස්තවාද ක්‍රියා අතුරෙන් බලවත්ම ත්‍රස්තවාදය රාජ්‍ය ත්‍රස්තවාදය යි. බලයේ සිටින ඕනෑම පක්ෂයක් (සමාජවාදී, ලිබරල්වාදී, ධනවාදී හෝ වෙනත් ඕනෑම) සිය පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා වෙනත් කිසිදු මාර්ගයක් නොමැති නම් රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කිරීම වැළැක්විය නොහැකි ය. හැකි තාක් එය මගහරවා ගැනීම බලයට පැමිණිමට බලාපොරොත්තු වන දේශපාලන පක්ෂවල වගකීම ය. එහි දී ලිපිය ආරම්භයේ සටහන් කළ ආකාරයට රැල්ලට හසු නොවී උඩුගං බලා පිහිනිය යුතු ම ය. අවංකව, කැපවීමෙන් යුතුව සහ අධිෂ්ඨානශීලිව ඒ සඳහා ප්‍රවේශ වන්නේ නම් එම සටන ජයගත හැකිය යන්න ලියුම්කරුගේ අදහස ය. එසේ නොමැතිව සාමාන්‍ය ජනතාව විසින් දියත් කරන ලද අරගලයක් හයිජැක් (Hijack) කිරීම හෙවත් පැහැරගැනීමෙන් විමුක්තියක් උදාකරගත නොහැකි ය.


සංක්ෂිප්ත ඉතිහාසයක සහෝදර උරුමය- ජයසිරි අලවත්ත - Trans+National New Left  Magazineජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/07/21  


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්