ඔබ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී (මෙම හැඳින්වීම් ද්විත්වය ම හුදු වදන් පමණි) ජනරජයේ පාර්ලිමේන්තුවට පැමිණ වසර 45ක් වන බව අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ සැණින් ප්‍රකාශ

කළේ ය.

එදා මෙදා තුර ඔබ දේශපාලනයේ නිරත වන්නේ කෙසේ ද යන්න පිළිබඳව මෙරට ජනතාව අවධානයෙන් සිටියේ ය. ඒ අතුරෙන් බහුතරයක් ජනතාව වෙතින් ඔබට එල්ල වූයේ ගල් මිස මල් නොවේ. එසේ සිදුවූයේ හුදෙක් ඔබේ වරදින් පමණක් නොවන බව ද මෙහි දී පැවසිය යුතු ම ය.

ඇතැම් අවස්ථාවල දී ජනතාව ඔබගේ ක්‍රියාකලාප සඳහා අකමැත්ත පළ කිරීම සාධාරණ ය. ඇතැම් අවස්ථාවල දී එසේ සිදුවූයේ මෙරට පවතින ජඩමාධ්‍යකරණයේ අනුහසින් බව ද ඒ සමග ම පැවසිය යුතු ය.


එහි ආරම්භය ලෙස 2002 වසරේ ඔබ සහ LTTE සංවිධානයේ නායක වෙළුපිල්ලෙයි ප්‍රභාකරන් සමග එළඹි සාම ගිවිසුම හැඳින්විය හැකි ය. ඔබේ දේශපාලන සතුරෝ මෙන් ම අවස්ථාවාදී කුහක දේශපාලන පක්ෂ සහ සංවිධාන ද එදා එම ගිවිසුම හැඳින්වූයේ ‘‘අලි කොටි’’ ගිවිසුම යනුවෙනි.


50593736 10217784961479991 1144086898612895744 n
නමුත් පුද්ගලිකව මෙම ලියුම්කරු එම ගිවිසුම ජඩමාධ්‍ය හරහා ප්‍රකට කළ තරමේ නොවැදගත් ගිවිසුමක් නොවන බව එම වකවානුවේ ම වටහා ගත්තේ ය. එතෙක් ඔබගේ දේශපාලන පසමිතුරෙකු වූ ලියුම්කරු එම පසුමිතුරුභාවය පසෙක තබා ඔබ ගත් දූර දර්ශී තීරණය පිළිබඳ අවංකව ම සතුටු විය.

නමුත් එතැන් සිට ලාංකීය ජන ප්‍රජාවගෙන් බහුතරයක් ඔබ දුටුවේ මහා පාවා දෙන්නෙකු ලෙසිනි. ඒ සිතුවිල්ල කෙතෙරම් උත්කර්ෂයට නැංවූයේ ද යත් ඔබ දොන් ජුවන් ධර්මපාල ලෙස නාමකරණයට ලක් විය.

එතැන් සිට ඔබ ඒ සියලු අපවාද, අවලාද ඉවසා දරාගනිමින් තමන්ගේ ඉලක්කය කරා හඹා යන බව දක්නට ලැබිණ. එහෙත් එය සුළුපටු ගමනක් නොවන බව මෙම ලියුම්කරු මෙන් ම ලාංකීය දේශපාලනය කියවාගත හැකි බහුතරයක් දෙනා අවබෝධ කරගෙන සිටියහ. දේශපාලන ක්ෂේත්‍රෙයේ නියැළී සිටි නායකකාරාදින් ද එය හොදින් අවබෝධ කරගෙන සිටියේ ය.

එය ඉතා මැනවින් ප්‍රකට කෙරුණේ මෙරට සිටි දුර්දාන්ත ම පාලකයෙකු වූ මහින්ද රාජපක්ෂ වෙත එල්ල වූ මහජන විරෝධයට මුහුණ දීගත නොහැකිව පලා ගිය මොහොතේ ඔහුගේ ම සහෝදරයා වූ ද මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා වූ ද ගෝඨාභය රාජපක්ෂ විසින් මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔබ පත්කිරීම ය.

ඒ සම්බන්ධයෙන් ඔබ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු පක්ෂය කිසියම් එකඟතාවක් (සාමාන්‍ය වහරෙන් පවසනවා නම් ‘ඩීල්’ එකක්) ඇති කර නොගත්තා යැයි ලියන්නට තරම් මෙම ලියුම්කරු පසුගාමි නොවන බව ද සදහන් කළ යුතු ය.

එබඳු තත්ත්වයක් තුළ වුව ද රාජපක්ෂ සනුහරය විසින් මෙරටට අත්පත් කර දෙන ලද ව්‍යසනය යම් පමණකට හෝ සමනය කළ හැකි ශක්‍යතාවක් ඔබ සතුව පවතින බවට මෙම ලියුම්කරු විශ්වාස කළේ ය. එම විශ්වාසය පලුදු වෙමින් පවතින විට පසුගිය මස ඒ පිළිබඳව මගේ අදහස ලිපියක් මගින් ඉදිරිපත් කළේ ය. ඒ, රටවැසියා බලාපොතේතු වූ තරම් වෙනසක් කරන්නට ඔබ එතෙක් සමත් වී නොසිටි බැවිනි.



ඒ මොහොතේ එලෙස විවේචනය කළ ද තවත් සතියක් දෙකක් ඉක්ම යන විට ඔබ, එතෙක් පැවති ප්‍රමුඛ අර්බුද විසඳීම සඳහා කෙමෙන් කෙමෙන් පියවර තබන බව වටහා ගත්තේ ය. නමුත් ඒ මොහොතේ ද රටේ බහුතරයක් දෙනා ඔබ කෙරෙහි දැක්වූයේ ඍණාත්මක ආකල්පයකි. එය හුදෙක් දේශපාලන විරෝධයක් නොව ‘‘රනිල් භීතිකාවක්’’ ය යන්න ද මෙම ලියුම්කරු මීට පෙර ලිපියක සඳහන් කළේ ය; ඒ භිතිකාවේ අතීතය පිළිබඳව ද කෙටියෙන් සඳහන් කළේ ය.



එසේ කළේ ද ඔබ මෙරට අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් ඉක්බිති එදා LTTE සංවිධානය සමග ඉතා සූක්ෂ්ම ලෙස ගනුදෙනු කළ ආකාරයට ම අරගල ප්‍රජාව සමග සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සහ සහයෝගයෙන් කටයුතු කරමින් රටේ පවතින ආර්ථික සහ සමාජ ගැටලු නිරාකරණය කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. නමුත් ඔබ අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දි විසිහතර පැයක් ඉක්ම යන්නට මත්තෙන් ඔබගේ දේශපාලන දිවියේ විශාලතම කළු පැල්ලම සනිටුහන් කරගත්තේ ය.


1658456757 Military raid at Galle Face protest site L


''ඔබ අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දි විසිහතර පැයක් ඉක්ම යන්නට මත්තෙන් ඔබගේ දේශපාලන දිවියේ විශාලතම කළු පැල්ලම සනිටුහන් කරගත්තේ ය.''


ලියුම්කරු යට සඳහන් කළ පරිදි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ සනුහරය ඔවුන්ට ඡන්දය ලබා දුන් හැටනව ලක්ෂයකගේ කැමැත්තට ද පිටුපා ඔබට රට බාර දුන්නේ රටට ඇති ආදරයක් නිසා නොවන බව මෙරට දේශපාලනය කියවාගැනිමේ හැකියාව ඇති පිරිස් හොඳින් ම දනති; මෙම ලියුම්කරු ද එය නොදැන සිටිමට තරම් අඥාන නැත.

 නමුත් රාජපක්ෂ සනුහරය විසින් ඇති කරන ලද මහා ආර්ථික අර්බුදය කෙටි කලකින් නොවුණ ද යම් කාලසීමාවක දී අවම වශයෙන් හෝ සමනය කිරීමට ඔබට හැකියාවක් තිබෙන බව මෙම ලියුම්කරු විශ්වාස කළේ ය. එහෙත් දැන් සිදුවී තිබෙන්නේ කුමක් ද...?



මෙරට ජනතාව පසුගිය අප්‍රියල් නව වන දින ආරම්භ කළ අරගලයේ අවංක චේතනාවක් තිබු බව ඉඳුරා ම පිළිගත යුතු ය. ඒ සඳහා: පීඩිත, මධ්‍යම පාන්තික සහ ධනපති පංතියේ ද සහයෝගය ලැබුණු බව ද පිළිගත යුතු ය. ඒ, අන්කිසිවක් නිසා නොව මුදල් කෙතෙරම් තතිබුණ ද: කිරිපිටි පැකට්ටුවක්, ගෑස් ටැංකියක්, ඉන්ධන ප්‍රමාණයක් මිලදී ගැනීමේ නොහැකියාව පිඩිත පංතියේ සිට ධනපති පංතියේ පුද්ගලයා දක්වා වූ සැමට එක ලෙස බලපෑ බැවිනි.




එය එක් ආකාරයකින් ‘‘පවතින ක්‍රමය වෙනස් කළ යුතු ය’’ යන මනෝභාවය මිනිස් සන්තාන තුළ ගොඩනැගෙමින් තිබූ අවධියකි. අරගලය ආරම්භයේ එයට සම්බන්ධ වූයේ කිසිදු දේශපාලන භේදයකින් තොරව පෙර කී අධිෂ්ඨානයෙන් යුක්ත වූ පිරිසකි. එය සැබැවින් ම අවංක, අවිහිංසාවාදී මෙන් ම සුන්දර අරගලයකි.

නමුදු කෙමෙන් කෙමෙන් එය වෙනත් මාවතකට අවතිර්ණ වූ බව ද මෙහි දී සදහන් කළ යුතු ය. ඒ පිළිබද මෙම ලියුම්කරු මීට පෙර ද සටහන් කර ඇත.

949026 1308288 sri lanka protest akhbar

ආදරය මුසු අරගලය මෙයෙවු ප්‍රජාවට ලියුම්කරුගේ ප්‍රණාමය හිමි වන අතර ම අතරමගදි ඒ සුන්දර අරගලය පැහැරගෙන, එය වෙනත් මාවතක් කරා රැගෙන යන්නට යත්න දැරු පිරිස වෙත විරෝධය ද පළ කරන්නට මෙම ලියුම්කරු පසුබට නොවන්නේ ය.


මේ සියලු තත්ත්ව තුළ ඔබ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් ඉක්බිති මාධ්‍ය හමුවේ කියා සිටියේ අරගලකරුවන්ට පහසුකම් සපයන බවයි. ඒ ඔබේ දේශපාලන උපාය මාර්ගයක් බව ඔබගේ දේශපාලනය කියවාගත හැකි ඕනෑම පුද්ගලයෙකුට අවබෝධ කරගත හැකි ය. කෙසේ වෙතත් එය එසේ ම සිදුවූයේ නැත.

ඔබ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් ඉක්බිති ද ඉතා සියුම් ආකාරයෙන් අරගල භූමියේ සිටි කැපි පෙනෙ චරිත වෙත මර්දනය දියත් කරන්නට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේ ය. ඔබ ඒ සම්බන්ධයෙන් මුනිවත රැක්කේ ය. ඒ, එබඳු මර්දනකාරිත්වයකින් අරගලය දිය කර හැරිය නොහැකි බව ඔබ දන්නා බැවිනි; අරගලය පවතින්නේ නම් ඔබගේ ගමන් මාර්ගය එළි පෙහෙළි වන බව ඔබ දන්නා බැවිනි.

 එහි කුටප්‍රාප්තිය එළඹෙන්නේ ජුලි නව වන දින පැවති ජනතා පෙළගැසීමෙනි; එහි ඵලයක් ලෙස රාජපක්ෂ සනුහරයේ දෙවනියා ලෙස සැලකිය හැකි ගෝඨාභය රාජපක්ෂ සිය තනතුර ද හැර දමා රටින් පලා යාමෙනි. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ අවංක අරගල ප්‍රජාව වෙත ය.  

අරගල ප්‍රජාවගේ ක්‍රියාකාරිත්වයේ උච්චතම අවස්ථාව වූයේ ඔබේ සිහිනය සැබැ කරමින් ඔබ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අටවනි ජනාධිපතිවරයා බවට පත්වීම ය. එය අරගල ප්‍රජාවගේ හෝ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත මත නොවීම වෙනම කරුණකි. නමුදු ඔබ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්තෙන් මෙරට අටවෙනි ජනාධිපතිවරයා බවට පත්විය.

එසේ වුව ද රටේ ඇතැම් පිරිසක් ඔබ ජනාධිපතිවරයා ලෙස පිළිගන්නට අකමැති විය; ඒ අතර අරගල ප්‍රජාව ද විය.



එසේ වන්නේ සැබැවින් ම ඔබ කෙරෙහි ඇති විරෝධතාවක් හේතුවෙන් නොව මෙරට ජඩමාධ්‍ය හරහා කාලයක් තිස්සේ ඔබ කෙරෙහි දැක්වු විරෝධාකල්පයේ පිළිබිඹුවක් ලෙසිනි. එසේ නම් ඔබ කළ යුතුව තිබුණේ කුමක් ද...? ඔබගේ සූක්ෂම දේශපාලන න්‍යාය භාවිත කරමින් අවංක අරගල ප්‍රජාව දිනාගැනීම ය; ඔවුන් ඉල්ලා සිටින, ඔබට ලබා දිය හැකි සෑම වෙනසක් ම කරන බවට ඔවුන් තුළ විශ්වාසයක් ඇති කිරීම ය.



 නමුත් සිදු වුයේ කුමක් ද...? කාලයක් තිස්සේ ගොදුරකට ඉව ඇල්ලු කිඹුලෙකු සේ ගොදුර ඩැහැගැනීම ය. එම සිදුවීමෙන් පසු මෙම ලියුම්කරු මෙන් ම ඔබ කෙරෙහි විශ්වාසය තබා සිටි බොහෝ පිරිස් අන්ත අසරණ වුහ; ඔබ තරමට ම අවලාද, අපහාසවලට ගොදුරු වූහ. කම් නැත... එය දේශපාලනයේ දී උරුම කරුමයකි. නමුදු ඔබට වගකීමක් පැවරි ඇත. අවම වශයෙන් මේ මොහොතේ හෝ ඔබ එම වගකීම ඉටු කළ යුතු ය.

ලියුම්කරු මෙම ලිපිය ලියන මොහොත වන විට එම ම්ලේච්ඡ මෙහෙයුම දියත් කර විසිහතර පැයක් ඉක්ම ගොස් තිබේ. නමුදු රටේ නායකයා, සේනාධිනායකයා වන ඔබ ඒ සම්බන්ධයෙකන් එක වචනයක් හෝ ප්‍රකාශ කර නොමැත. ඊයේ ඔබට බරපතළ රාජකාරි බහුල දිනයක් බව සැබැවි. එම කටයුතු අවසානයේ හෝ ඔබ මේ සම්බන්ධයෙන් රටේ ජනතාව ඇමතිය යුතුව තිබිණි. නමුදු මේ වන තුරු ඔබ ඒ සම්බන්ධයෙන් වදනකදු පවසා නොමැත.

එයින් ගම්‍ය වන්නේ කුමක් ද...? අදාළ ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කර ඇත්තේ ඔබගේ අවශ්‍යතාව මත බව නොවේ ද...? එසේ නොවේ නම් එවැන්නක් සිදු කරේ කවුද? එහි අරමුණ කුමක් ද...?

ඔබ ජනතාවගේ ඡන්දයෙන් පත්වු ජනාධිපතිවරයෙක් නොවුණ ද ජනතාවට වගකිව යුතු ය; ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු ය; කටයුතු කළ යුතු ය. නමුත් මෙම සිදුවිම්වලින් ගම්‍ය වන්නේ කුමක් ද...? මැයි නව වන දින මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ සනුහරය දියත් කළ ම්ලේච්ඡ ප්‍රහාරය නිල වශයෙන් දියත් කළ බව නොවේ ද...? මහින්ද රාජපක්ෂ ඔහුගේ බත්බැළයන් යොදවා කළ ප්‍රහාරය රාජ්‍ය මර්දන හස්තය යොදවා දියත් කිරීම නොවන්නේ ද...?

TOPSHOT SRI LANKA ECONOMY UNREST PROTEST 0 1653737060368 1653737089390

මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදන දෙකක පරස්පර විරෝධි කරුණු දෙකක් මතු කර ඇත. ඉන් එක් නිවේදනයකින් කියැවෙන්නේ අරගල ප්‍රජාව 22වන දින සවස දෙකට නිල වශයෙන් ඉවත්වන බව පැවසුව ද ජනාධිපති ලේකම්කාර්යාලයේ තිබෙන කිසියම් ලියවිලි තොගයක් පිටමං කිරීමේ සැලසුමක් පවතින බව බුද්ධි අංශ හෙළි කළ බවයි.


එම හෙළිදරව්ව සැබෑවක් යැයි අපි උපකල්පනය කරමු. එසේ නම් කළ යුතුව තිබුණේ කුමක් ද... එසේ පැවසු රාජ්‍ය බුද්ධි අංශය ම යොදවා ඒ සම්බන්ධයෙන් අවදිව සිටින්නැයි නියෝග කර සිටීම නොවේ ද...? එසේ අවදියෙන් සිට බඩුත් එක්ක ම හොරු අල්ලා ගැනීම නොවේ ද...? එසේ සිදු කළා නම් අවංක අරගල ප්‍රජාව සහ කඩාකප්පල්කාරින් වෙන් වෙන්ව හඳුනා ගැනීමට ද ඉඩ කඩ ලබගාගත හැකි නොවන්නේ ද...?

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද දෙවන නිවේදනය වන්නේ අරගල ප්‍රජාවට ජනාධිපති කාර්යාලයෙන් පිටවන්නැයි කිහිප වතාවක් පැවසුව ද ඔවුන් එය පිළි නොගෙන කලහකාරි ලෙස හැසිරුණ බැවින් මෙබඳු පියවරක් ගත් බවයි. මෙය ද ගැලවිජ්ජාවට කරන ලද ප්‍රකාශයකි.

එය වඩාත්තිව්‍ර කිරීම සඳහා රජයේ මාධ්‍ය ආයතන කැඳවා ජනාධිපති කාර්යාලයට අලාබ හානි සිදු කර ඇති බව ප්‍රදර්ශනය කළේ ය. සැබැවින් ම එම දර්ශනවලට අනුව නම් යම් අලාබ හානි ප්‍රමාණයක් කර තිබිණ. එසේ කිරීම ද බරපතළ වරදකි.

නමුදු රාජය ආරක්ෂක අංශය ඒ සඳහා ගතයුතුව තිබු පියවර ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කිරීම නොවේ; ඊට සුදුසු නිත්‍යනුකුල ක්‍රියාමාර්ගවලට එළඹිම ය. එසේ තිබිය දි මෙවන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ කාගේ වුවමනාවට ද...? මෙම පැනය සඳහා ඔබ පිළිතුරු සැපයිය යුතු ය. එසේ නොවුණ හොත් දිගින් දිගට ම මර්දනය ක්‍රියාත්මක කිරිමට ඔබට සිදුවන්නේ ය.

මන්ද මේ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් පවා ප්‍රකාශ නිකුත් කර ඇත. ඔබ ඒ වෙනුවෙන් පිළිතුරු බැඳිය යුතු ය. එසේ නොවුණ හොත් ජාත්‍යන්තර ප්‍රජාව ඔබ කෙරෙහි කිසියම් විශ්වාසයක් තැබුවේ නම් එය අලුයම ලු කෙළ පිඬක් සේ බැහැරලනු නියත ය.


220713 sri lanka mb 1339 1b7802
ජුලි නව වන දින සිද්ධියේ දී රටේ ආරක්ෂක අංශ සහ ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ ආකාරය පිළිබද පුවත්පතක පළ වී තිබු වාර්තාව සලකා බැලීමේ දී හැඟෙන්නේ එදින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අත්තනොමතික ලෙස බලය භාවිත කරන්නට ගෝඨාභය රාජපක්ෂගෙන් විමසා ඇති බවයි. නමුදු ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

එසේ නම්: අරගල ප්‍රජාව මේ වන විට යම් පසුබැසීමක් කර තිබිය දී, ඔවුන් 22වන දින සවස දෙකට නිල වශයෙන් ඉවත් වන බව පසා තිබිය දී, ඊට පැය දොළහකට පමණ පෙර මෙබඳු ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කළේ ඇයි...? ඒ සඳහා උපදෙස් ලබා දුන්නේ කවුද...? මේ පැන සඳහා ඔබ පිළිතුරු බැඳිය යුතු ය.

නමුත් එය එසේ සිදුවේ යැයි විශ්වාස කළ නොහැකි ය. මන් ද ඔබ 22වන දින ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළේ ද එදින අලුයම ම්ලේච්ඡ මෙහෙයුමට අණ දුන්නා යැයි විශ්වාස කළ හැකි මර්දකයා ම ය. ඔහු දැඩි රාජපක්ෂවාදියකු බව ඔබ දැන නොසිටින්නට නොහැකි ය. එසේ තිබිය දී ම ඔබ ඔහු ම යළි පත් කළේ කිසිවකුගේ බලපැමට යැයි සැකයක් පවතී. ඔබ දැන හෝ නොදැන එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රාජපක්ෂ සනුහරය යළි මෙරට දේශපාලන භුමිය අත්පත් කරගැනීම ය.

යම් හෙයකින් එසේ සිදුවුවහොත් ලාංකීය ප්‍රජාව ම්ලේච්ඡ පාලක පෙළැන්තියක් වෙත පාවා දුන් ද්‍රෝහියකු ලෙස ඔබ ඉතිහාසයට එකතු වනු නොඅනුමාන ය. ඔබගේ සොහොනට ද ලාංකීය ප්‍රජාව හෙණ නොයිල්ලා සිටියොත් පුදුම සහගත ය. එය එසේ නොවන්නට නම් ඔබට ගතහැකි ක්‍රියාමාර්ග හතරක් පවතී. එය ඉටු කිරීම හෝ නොකිරීම ඔබේ කාර්යයකි.



# පළමු කටයුත්ත නම් 22වන දින සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කළේ ඇයි ද යන්න විමසා බැලීම සදහා කටයුතු කිරිම ය

# දෙවැන්න ඊට වගකිව යුතු පුද්ගලයන් නිතිය ඉදිරියට පමුණුවා දඬුවම් ලබා දීම ය.

# තෙවැන්න කමල් ගුණරත්න නමැති ම්ලේච්ඡ හමුදා නිලධාරියා (ඔහුගේ ම්ලේච්ඡත්වය ඔහු විසින් ම ලේඛනගත කර ඇත) ආරක්ෂක ලේකම් ධුරයෙන් නෙරපා හැර ජනතාවගේ ප්‍රසාදය දිනාගත්, ජනතාවට ආදරය කරන පුද්ගලයෙකු එකී තනතුරට පත්කිරීම ය.

# සිවුවැන්න වන්නේ යට කි කරුණු ක්‍රියාත්මක කර, අවංක අරගල ප්‍රජාවගෙන් මතු නොව සමස්ත ලාංකීය ප්‍රජාවගෙන් ම සමාව ඉල්ලා සිටීම ය.



මේ කිසිවක් ම ක්‍රියාත්මක කිරීමට ඔබ අපොහොසත් වන්නේ නම් ඔබ රටේ ජනාධිපතිධුරය දැරීමට තරම් සුදුසු නොවන්නේ ය. ලියුම්කරු එසේ පවසන්නේ රටේ බහුතර ජනතාවගේ හද ගැස්ම මේ වන විට ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබද හොඳ අවබෝධයකිනි.

මෙතැන් සිට මෙම ලියුම්කරු ද ඔබගේ ගමන් මග කෙසේ ද යන්න අවධානයෙන් සිටින අතර ජනතාවට එරෙහි ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේ නම් ලියුම්කරුගේ පැනෙන් ලියන සියලු දේශපාලන ලිපි ඊට එරෙහි අදහස් ලිවීමට පමණක් භාවිත කරන බව ද පැවසිය යුතු ම ය.

jayasiri 04 e1619629387941.jpg
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්