මූලික අවශ්‍යතා බවට පත්ව ඇති කොයි දෙයෙහි මිල වැඩි වුවත් , ඊට ජනතාව දක්වන ප්‍රතිචාරය "හනේ හපොයි" ය.



වසර දෙකක් තුළ පැණනැගුණු දරුණු ආර්ථික අර්බුදය ඉස්මුරුත්තාවට පත්ව ඇති පසුබිමක ජනතා ප්‍රතිචාරය ඊටත් වඩා වැඩිය. පාලකයන් සමග එන කෝපයත් එහෙමය.

ජනතා හැඟීම එසේ වුවත් , ජනතාවගේ  සැබෑ ආර්ථික ජීවිතය එහෙම ඉමෝෂනල් නැත. දෝස කාගේ වුවත් අප තුන් හිතකින් හෝ නොපැතුවත් අපිට අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවන යථාර්ථයක් එහි ඇත. වැදගත් වන්නේ ජනතාව අන්න ඒ කියන යථාර්ථය තේරුම් ගැනීමය.

ඉතිං විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ද ඒ කතාව වෙනස් නැත.

ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම දැනුම්දුන් ආකාරයට මෙරට විදුලි ගාස්තුව 75% කින් ඉහළ දමා ඇත. මිනිසුන්ට තවත් කේන්ති යන්නේ , මිල වැඩිවීම සම්බන්ධ ප්‍රතිශත රුපියල් වලින් එන විටය.



විදුලි ඒකක සහ මිල වැඩිවීම සිදුව ඇති ආකාරය !



ඒකක 0 -30 : 264% - රු.198.00
ඒකක 31-60 : 211% - රු 599.00
ඒකක 61-90 : 125% - රු 1461.00
ඒකක 91- 120 : 89% - රු 2900.00



හංගන්න දෙයක් නැත. මේ පාර විදුලි බිල ඉහළ ගියේ ඔහොමය. දැන් තවත් හංගන්න හොඳ නැති දෙයක් ඇත. ඒ විදුලි ඒකකයකට යන පිරිවැය සහ එයින් ජනතාව වෙත ලැබෙන සහනයයි.


වත්මන් මිල ගැලපුම සමග සංසන්සදනය කළොත් ,


ඒකකයක් සඳහා රුපියල් 32.00ක් වැයවන විට,  

? ඒකක 30 අඩුවෙන් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 8 ක්,
? ඒකක 31ත් 60 ත් අතර ඒකකයකට රුපියල් 12 ක්
? ඒකක 61-90 පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 16 ක්,
? ඒකක 91-120 අතර භාවිතාකරන පාරිභෝගිකයින්ට ඒකකයකට රුපියල් 30ක්,

වශයෙන් සහන පදනමක් මත අය කිරීම් සිදුවෙයි.


විදුලි ගාස්තුව වැඩිකළේ සාමාන්‍ය ජනතාවට බඩට ගහන්නද ?


මේ ප්‍රශ්න ඇසීමත් සාධාරණය. ඒ බැලූ බැල්මට එහෙම කියන්න බාධාවක් නැති නිසාය. එහෙත් ඊට වඩා කතාවක් මෙතැන ඇත.

එනම්,

? වත්මන් මිල ගැලපුම් අනුව විදුලි ඒකකයක් හදන්න රුපියල් 32.00ක් වැයවෙන නමුත් , ගෘහස්ථ අංශයේ බහුතර පාරිභෝගික පිරිසක් වෙත ඒ බර පටවා නැත.
? ඒ අනුව විදුලි ඒකක 30 ට අඩු පාරිභෝගිකයන් කාණ්ඩයෙන් තවමත් අය කරන්නේ , පිරිවැයෙන් ( විදුලි ඒකකයක් සඳහා යන මුදල) 25% ක් පමණි.
?ඒ අනුව තවමත් විදුලි ඒකකයක් වෙනුවෙන් 75%  ක  සහනාධාරයක් ඔවුන්ට හිමිවෙයි.

එසේම ,

? ඒකක 31 - 60  කාණ්ඩයෙන් අය කරන්නේ සමස්ත පිරිවැයෙන් සියයට 40ක ප්‍රමාණයකි.
?  ඒ අනුව තවමත් විදුලි ඒකකයක් වෙනුවෙන් 60%  ක  සහනාධාරයක් ඔවුන්ට හිමිවෙයි.
? ඒකක 61-90 ට අඩු කාණ්ඩයෙන් අය කරන්නේ 50 %ක් පමණි.
? ඒ අනුව ඔවුන්ටත් 50 %ක සහනාධාරයක් හිමිවෙයි.
? ඒ අනුව විදුලි පාරිභෝගිකයන්ගෙන් 75% ක්  වෙනුවෙන් සහනාධාරයක් හිමිවෙයි.


ජනතාවට දෙන සහන වලට ගෙවන්නෙත් ජනතාවමයි !


මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ , විදුලිය වේවා වෙනත් රාජ්‍ය ව්‍යවසායක් වේවා , පාඩු ලබමින් ජනතාවට සහන සලසන අතරේදී, එම ආයතනය වෙත සිදුවන පාඩුව පියවා ගන්නේ කෙසේද යන්නයි . වෙනත් ඕනෑම මූලාශ්‍රයක් තාවකාලිකව අදාළ පාඩුව පියවීමට යොදා ගත්තත්, අවසන් විග්‍රහය තුළ රාජ්‍ය ව්‍යවසාය ලබන  සියලු පාඩු පියවන්නේ ජනතා බදු මුදලින් ය.

එනිසා එක් පසෙකින් විදුලි බල මණ්ඩලය වේවා , වෙනත් ඕනෑම ආයතනයක් බරපතළ පාඩු ලබමින් , ජනතාවට සහන දෙනවා කියන්නේම ලෝක මරාලයක් බව සිහිතබා ගත යුතුව ඇත. එවන් ආයතන වෙතින් ඉල්ලිය යුතු වන්නේ සහන නොව, "ඔය පාඩුව ඉක්මනින් පියවගන්න, ක්‍රමවේදයක් " ය. විදුලි බල මණ්ඩලය ගැන කතාවත් ඊට දෙවනි නැත.


වසර 9ක් විදුලි මිල එකතැන !


මහජන උපයෝගීතා කොමිසම පවස්න ආකාරයට මෙරට අවසන් වරට විදුලි සංශෝධනයක් සිදුකර ඇත්තේ , 2013 දීය. එහිදී සිදුකර ඇත්තේ ද  විදුලි ගාස්තු අඩු කිරීමකි.

වසර 9ක් ස්ථාවරව තිබූ විදුලි ගාස්තු සංශෝධනය කිරීම අසාධාරණද ?

මහජන උපයෝගීතා කොමිසම පවසන ආකාරයට විදුලි ජනනය සදහා ආනයනය කරන ෆොසිල ඉන්ධන වර්ග තුනම සියයට 250කට වැඩි ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇත. පසුගිය කාලය තුළ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 143 සිට ඩොලර් 321 දක්වාත් ඉහල ගොස් තිබේ.

"රුපියල් වටිනාකමට අනුව ගණනය කළ විට එය සියයට 550ක ඉහල යාමකි. ඩීසල් ලීටරයක මිල රුපියල් 121 සිට 430 දක්වා වැඩිවී ඇත . එය සියයට 255ක වැඩිවීමකි. 2013 දී රුපියල් 90ට පැවති දැවිතෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 419කි. ඒ අනුව  සියයට 365ක මිල ඉහල යාමක් පෙන්නුම් කරයි. මෙම කාලය තුල ඩොලරයේ අගය රුපියල් 127 සිට 368 දක්වා සියයට 190කින් ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් විදුලි ඒකකයක් ජනනය කර බෙදාහැරීමේ වියදම රුපියල් 16 සිට රුපියල් 32 දක්වා ඉහළ ගොස් ඇත ,"

මේ අනුව වත්මන් විදුලි මිල සංශෝධනය  වැඩිවූ උද්දමනයේ අගයට වඩා අඩු අගයකින් සිදුකර ඇති බවත් පැහැදිලිය.


මණ්ඩලේ යෝජනා !


මේ ආකාරයට විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනා 2ක් පසුගිය සමයේ ඉදිරිපත් කර ඇත .

ඒ, විදුලි ජනනයට අදාළ පිරිවැය වැඩීවීමත් සමඟ ගාස්තු ඉහළ දැමීම 183%ක හා සියයට 229%ක් වශයෙන් ය.

විදුලි බල  මණ්ඩලයේ යෝජනා එසේ වුවත් , මිල ඉහළ දැමීමට අනුමැතිය ලබාදී ඇත්තේ , 75% කින් පමණය.
 
 
විදුලි ජනනයට අදාළ පිරිවැය වැඩීවීමත් සමඟ ගාස්තු ඉහළ දැමීම 183%ක හා සියයට 229%ක් වශයෙන් ය. විදුලි බල  මණ්ඩලයේ යෝජනා එසේ වුවත් , මිල ඉහළ දැමීමට අනුමැතිය ලබාදී ඇත්තේ , 75% කින් පමණය.

සේවා සහ කර්මාන්ත අංශයට මොකද වෙන්නේ ?


කර්මාන්ත, හෝටල් සහ පොදු කාර්ය අංශවල අඩු විදුලි පරිභෝජනයක් ඇති කාණ්ඩ සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර ඇත්තේ , සියයට 116ක ගාස්තු වැඩීවීමකි.

එහෙත් ඒ වෙනුවට පොදුකාර්ය අංශය සදහා සියයට 39ක වැඩිවීමක් හා කර්මාන්ත අංශය සදහා සියයට 75ක වැඩිවීමක් පමණක් සඳහා මේ මොහොතේ අවසර නිකුත්කර ඇත .

එසේම  සංචාරක ක්ෂේත්‍රය සදහා අනුමත කල ගාස්තු වැඩීවීමෙන් සියයට 50ක් පමණක් අගෝස්තු 10 වැනිදා සිට  බලාත්මක වෙයි. සංචාරක කර්මාන්තය යම් යහපත් තත්ත්වයකට පත්වන තුරු දිරි දීමක් හා සහනයක් වශයෙන් ඉතිරි සියයට 50ක ගාස්තු වැඩීවීම ක්‍රියාවට නැගෙන්නේ තවත් මාස තුනකට පසුවය.

ඊට අමතරව සංචාරක මෙන්ම අපනයන කර්මාන්ත වලට සහනයක් වශයෙන් විදුලි බිල්පත් ඩොලර් මඟින් ගෙවන විට සියයට 1.5ක වට්ටමක් ලබාදීමටද යෝජනා කර ඇත.

මේ අනුව අදාළ විදුලි ගාස්තු සංශෝධනය ආවට ගියාට සිදුකරනු ලැබුවක් නොව, පවතින අර්බුදය හමුවේ , සමස්ථ විදුලි බල සැපයුම් පද්ධතිය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් බව පැහැදිලිය.


මණ්ඩලේටත් සීමාවක් !


අදාළ විදුලි මිල සංශෝධනය සමග විදුලි බල මණ්ඩලය වෙතත් සීමා පණවා තිබීමත් විශේෂ කරුණකි.

ඒ බිලියන ගණනින් පාඩු ලබන විදුලි බල මණ්ඩලය මූල්‍යමය වශයෙන් සාර්ථක තත්ත්වයකට පත්වන තුරු එහි සේවකයින් හට ගෙවන ප්‍රසාද දීමනා ආදිය නැවැත්වීමටය.

සාමාන්‍යයෙන් ඕනෑම සමාගමක් සේවකයන් හට ප්‍රසාද දීමනා ආදිය ලබාදෙන්නේ එකී සමාගම හෝ ආයතනය මූල්‍යමය වශයෙන් ස්ථාවර සහ ලාභ ලබන තත්ත්වයක් ඇතිකර ගතහොත් පමණය. නමුත් ඒ වෙනුවට මෙරට විදුලි බල මණ්ඩලය පමණක් නොව ඛනිජ තෙල් සංස්ථාවේ සිට බිලියන ගණන් පාඩු ලබන ආයතන ප්‍රසාද දීමනා ගෙවන්නේ , ආයතනය මූල්‍යමය වශයෙන් හොම්බෙන් යන පසුබිමකය .

ඉතිං ඒ ආයතන වල සේවක කොටස් ප්‍රසාද දීමනා ලබා, එහෙත් ආයතනය බරපතළ ලෙස පාඩු ලබන විට ඒ පාඩුව ගෙවන්නේ ද  මෙරට සාමාන්‍ය ජනතාවය.


අමාරුම වෙලාවේ බලශක්තියත් පරිස්සම් කරගන්න ඕන නේද ?


පසුගිය සමයේ ජනතාව පීඩාවට පත්වූයේ පැයෙන් පැය දීර්ඝ වූ විදුලි කප්පාදුව නිසාය. අවසානයේදී සාකච්ඡා පැවතියේ දවසකට පැය 12 කට වඩා විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් ය.

එහෙත් මාස 2-3ක් ගතවී දැන් තත්ත්වය වෙනස් වෙමින් ඇත. දැන් උදාවී ඇත්තේ පැයෙන් පැය විදුලි කප්පාදුව අඩුකරන කාලයක් ය.

මහජන උපයෝගීතා කොමිසම පවසන ආකාරයට මේ වන විට පැවති විදුලි ඉල්ලුමේද 25% ක අඩුවක් සිදුව ඇත. ඒ පැවති විදුලි කප්පාදුව හමුවේ 7% ක් සහ උෂ්ණත්වය පහළයාම හමුවේ 15%ක් ලෙසිනි .

එහෙත් මේ දත්ත පහසුවෙන් වෙනස් වෙන සුළුය. ඒ කියන්නේ අඛණ්ඩව විදුලි බලය සපයා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ තිබෙන ප්‍රමාණය අරපිරිමැස්මෙන් භුක්ති විඳීමට සිදුව ඇත.


විදුලි බල ක්ශේත්‍රයේ ව්‍යුහාත්මක වෙනසක් එපාද ?


එහෙත් ඒ අරපිරිමැස්ම යනු හැමදාම කළ හැකි දෙයක් නොවේය. නැත්නම් විදුලි බල මණ්ඩලේ මූල්‍ය තත්ත්වය අවුල් නිසා බලශක්ති සැපයුමට බාලගිරි දෝෂය ලබන්නට දෙන්නත් නොහැකිය.

එසේ නම් කළ යුතුව ඇත්තේ , විදුලි බල ක්ශේත්‍රයේ ආයෝජන තවත් පුළුල් කිරීම නොවේද ? මණ්ඩලේ පාඩු නම් එය ලාභ ලබන ව්‍යවසායක් බවට පත්කර ගැනීම නොවේද ? එසේ නැතිනම්, විදුලි බල මණ්ඩලය නම් රාජ්‍ය ආයතනයක් තිබෙනවා කියමින්, ඉහළ මිලක් ගෙවා කරුවලේ ඉන්න හිත හදාගන්නවාද ?, අපි කරුවලේ සිට මණ්ඩලේ කිහිපදෙනෙකුට ප්‍රසාද දීමනා වෙලාවට ගෙවන්න බදු මුදල් පවා දිගටම අපතේ යන්න ඉඩදෙනවාද ? මේවා ගැන තීන්දුව ගතයුත්තේ ජනතාවය.


වෘත්තීය සමිති කියන කතා !


විදුලිබල මණ්ඩලය පාඩු බව කියා විදුලි බිල සියයට 75%කින් ඉහළ දැමීම අතිශය අසාධාරණ බව විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් පවසා ඇත .

ඔහු කියන්නේ දූෂණ නිසා මණ්ඩලය පාඩු ලැබූ බවය.  එසේම ඔහු මව්බිම පුවත්පතට ප්‍රකාශයක් කරමින්  අපූරු තර්කයක් ඉදිරිපත් කර ඇත .

ඒ " විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා කියා මෙසේ බිල වැඩි කරනවා නම් 225ක් නඩත්තු කරන පාර්ලිමේන්තුව ලාභ ලබනවා ද යන්න ය?  එසේ නම්, පාර්ලිමේන්තුවත් පාඩු ලබන තැනක් කියා වසා දැමිය යුතු බව"ය.

පාර්ලිමේන්තුවේ සහ විදුලි බල මණ්ඩලය අතර වෙනස මේ වෘත්තීය සමිති නායකයා දන්නේ නැද්ද ? මේ ඔහුගේ නොදැනුම නොව, ජනතාව ඇන්දවීමේ කලාවය. ඔහු මේ මණ්ඩලේ කචල් වසා මේ ගේම ගහන්නේ , අර්බුදය හමුවේ  225 ම එපා කියන අසරණ ජනතාවගේ හැඟීම් වලට ය.

එහෙවු වෘත්තීය සමිති නායකයාට දෙන්න පණිවිඩයක් අපට ඇත.

"පාර්ලිමේන්තුවට ලාභ උපයන්න බෑ තමයි . හැබැයි පාර්ලිමේන්තුවට පුළුවන් , විදුලි බල මණ්ඩලය පාඩු ලබන එක නවත්වන්න. අන්න ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ප්‍රතිපත්තිය හදන්න ඕන. ඒ වගේම ඔහොම සුදු අලි ආයතන රැසක් තියෙනවා . අන්න ඒ ආයතන ගැනත් තීන්දුවක් ගන්න ඕන . ඊට පස්සේ පෙනෙයි , පාර්ලිමේන්තුව හරහා කොහොමද ලාභ ලබන්නේ කියලා . ජනතාවත් අහන්න ඕන , මේ රාජ්‍ය රාජ්‍ය ගාණ මහා පරිමාණ පාඩු ලබන ආයතන ඇයි අපේ බදු මුදලින් නඩත්තු කරන්නේ කියලා ?"

- එස්.එල්. ශ්‍යාම්

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්