ළගදි දවසක අවුරුදු 24ක විතර කෙල්ලෙක් මට කතා කළා. එයා හිටියෙ ගොඩක් අවුලෙන්. කොයිතරම් අවුලෙන්ද කිව්වොත් ඒ අවුල මාවත් අවුල් කළා.



එයා කසාද බැඳලා දවස් කීපයයි. බැඳපු දවසට පහුවෙනිදා එයාව සැමියා විසින් නැවත ගෙදර ගිහින් බස්සනවා. එයා එක්ක ඉන්න බෑ කියනවා. මට කතා කරද්දිත් මේ තරුණිය විශ්වාස කලේ තමන්ගේ යම් වරදක් තියෙනවා කියල. ගෙදර අයට සිද්ද වුනු අවනම්බුවත්, තමන් ගැන දැනෙන වටිනාකමක් නැති හැගීමත් නිසා එයා කීප විදිහකින්ම දිවි නසාගන්න උත්සාහ කරනවා. මට කතා කලේ උදව් ගන්න පුළුවන් තැනක් දැනගන්න.

මෙතන වරද තමන්ට ඉන්න බැරි කෙනෙකුගෙන් පිරිමියා වෙන්වීම නෙමෙයි. ඒ වෙන්වීම සඳහා සමාජයේ පවතින කාන්තාවට එරෙහි නොදියුණු සංස්කෘතික බලයක් පාවිච්චි කිරීම. ඇයව අපවාදයට, අපහාසයට ලක්වෙන ආකාරයෙන් ක්‍රියා කිරීම. ඕනම ප්‍රශ්නයක් විසඳගන්න මනුස්ස විදිහක් තියෙනවා.

Untitled 3 Recovered

මේක සමාජ සංස්කෘතියක් ඇතුලෙන් කාන්තාවකට කරන හිංසනයක්. අන්තිමට තමන් සියල්ලට වරදකාරිය කියල තමන්ම පිලිගෙන ජීවිතය නැති කරගන්න තැන දක්වා මේ හිංසනය ගමන් කරනවා.

ලංකාවෙ කාන්තාවන් සහ ගැහැණු ළමයින් මුහුණ දෙන හිංසනය ගැන කරපු සමීක්ෂණයක් මට කියවන්න ලැබුනා. මේක තමයි පළවෙනි වතාවට අපේ රටේ දිස්ත්‍රික්ක 25 ආවරණය වෙන විදිහට කෙරෙන සමීක්ෂණය. මේක සිද්ද වෙන්නෙ 2019දි.


අපේ රටේ සංස්කෘතියෙම තියෙනවා කාන්තා හිංසනයට නැඹුරුවක්. නැත්තං සහාය දැක්වීමක්. සමාජයක් විදිහට අපි සහකරුවා අතින් සිදුවන හිංසනය වරදක් විදිහට දකින්නෙවත් නෑ. කසාද මනුස්සයා අතින් බිරිඳ දූෂණය වීම කියන එක අපිට සාමාන්‍යයක්.



ඒ වගේම ඔය රන්ඩු බත්හැලිය ඉදෙන කල් විතරයි වගේ වහර පවා මේ ප්‍රචන්ඩත්වය සාධාරනීකරණය කරන්න නිර්මාණය වෙලා තියෙනවා. බනින්නෙ හදාගන්නනෙ මැට්ටියෙ වගේ පිලිගැනීමක් තියෙනවා.

මේක කොයිතරම් බරපතලද කිව්වොත් සමහර පෙම්වතියො තමන්ට බනින්නෙ සැර කරන්නෙ නැති පෙම්වතෙක් තමන්ට ආදරේ නෑ කියල හිතන තත්වයක් තියෙනවා. කොටට අඳිනවට බනින්නෙ, වෙන කවුරු හරි දිහා බැලුවොත් ගහන්නෙ තමන්ට ඇති දැඩි ප්‍රේමය කියලයි අපේ රටේ ගොඩක් කාන්තාවො හිතන්නෙ. ඉතිං ජීවිත කාලයක් පුරා ගුටි කන ආදරේ මිහිර ඒ අය විඳිනවා. අවාසනාවට මේ මිහිර ඒ අයගෙ දරුවන්ගෙ ජීවිත පවා අඳුරු කරනවා.

cfhfgh

පියුමි හංසමාලි නැවත පරණ පෙම්වතා සමග එක්වීමේ ගොසිප් එකක් දකින්න ලැබුනා. මේ පරණ පෙම්වතා කවුද කියලා මං හරියටම දන්නෙ නැති වුනත් පියුමිගෙ කලින් පෙම්වතෙක් ඉතාම දරුණු විදිහට එයාට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල තිබුන. ඒක මාරාන්තික පහර දීමක්.

අනිවාර්යෙන්ම ඒ වීඩියෝවෙ තියෙන්නෙ පළවෙනි වතාවට සිද්ද වෙන යමක් නෙමෙයි. ඊට කලින් ඉඳන් ඒ පුද්ගලයා පියුමිට විතරක් නෙමෙයි තමන්ට මුනගැහෙන ඕනම සහකාරියක් වෙත ඔය ප්‍රචන්ඩත්වය මුදාහරින වග පැහැදිලියි. ඒත් ඒක ඉවසාගෙන ඉන්න ගැහැනු පුරුදු වෙනවා. පියුමි නැවත හාද වුනේ ඒ ප්‍රචන්ඩ පෙම්වතා සමග නෙමෙයි කියල හිතනවා.

ඒත් මේ ගුටිකෑම සහ ආදරය අතර සම්බන්ධකමක් දැකීම ලංකාවෙ කාන්තාවන්ගෙ හැටියක්. ඒක සංස්කෘතික උරුමයක්.

කොරොනා කාලෙදි නිවෙස්වල කාන්තාවන්ට අත්විඳින්න වෙන ප්‍රචන්ඩත්වයේ ඉහළ යාමක් වාර්තා වුනා. ඒ වගේම අර්බුද තත්වයන් මැද මේ හිංසනයන් තවත් ඉහළ යන්න පුළුවන්. පිරිමින්ගෙ හැම අමාරුවක්ම නිදහස් කරන ලේසි විදිහක් විදිහට කාන්තා හිංසනය අපේ සංස්කෘතිය ඇතුලෙ වැඩකරනවා.


සදාචාරය ගැන බණ කියන හාමුදුරුවරු ටියුෂන් ගුරුවරු මේ හිංසනය පවත්වාගෙන යන්න අනුබල දෙනවා. කාන්තාව කවුරුන් විසින් පාලනය කළ යුතු කෙනෙක් විදිහට පවතින මතය පවත්වාගෙන යනවා. දෙමව්පියන්ගෙන්, සහෝදරයන්ගෙන්, පෙම්වතාගෙන්, සැමියාගෙන්, අවසානයේ දරුවන්ගෙන් පාලනය වෙනවා මිස නිදහස් ජීවිතයක අයිතියක් බොහෝ කාන්තාවන්ට ලැබෙන්නෙ නෑ.


මේ කාන්තා හිංසනය කියන දේ දුප්පත් හෝ පහළ පාංතික හෝ පිරිස් අතර පමණක් තියෙන දෙයක් නෙමෙයි. මේ හිංසනයට පංතියක්, ජාතියක්, ආගමක් නෑ. ඉහළ, පහළ සියලු පංතිවල, සියලු ජාතීන් අතර කාන්තා හිංසනය පවතිනවා. වැදගත්ම දේ ර‍හසේ නෙමෙයි එලිපිට පවතිනවා.

මේ කියන්නෙ BDSM වර්ගයේ ලිංගික ෆැන්‍ටසි ගැන නෙමෙයි. BDSM ආස්වාදයක් ලබන්න නම් දෙන්නාගේම කැමැත්ත ඒකට අවශ්‍යම වෙනවා. කැමැත්ත හෙවත් කන්සෙන්ට් එකක් නැති BDSM කියන්නෙ හිංසනයක්.

අපේ රටේ සෑම කාන්තාවො සෑම පස්දෙනෙකුගෙන්ම එක්කෙනෙක් තමන්ගේ සහකරුවා අතින් ශාරීරික සහ ලිංගික හිංසනයට ලක්වෙනවා කියල මේ සමීක්ෂණ වාර්තාව පෙන්වනවා. ශාරීරික වධ හිංසනයට ලක්වෙන බහුතරයක් කාන්තාවො ලිංගික හිංසනයටත් ලක්වෙනවා. මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා.

සෑම කාන්තාවන්‍ 5 දෙනෙකුගෙන් දෙන්නෙක් ජීවිතේ මුනගැසෙන කවුරු හෝ සහකරුවෙකු අතින් ශෘරීරික, ලිංගික, ආර්තික‍ හෝ වෙනත් ආකාරයෙන් තමන්ව පාලනය කරන ප්‍රචන්ඩත්වයකට ගොදුරු වෙනවා. කවුරු හෝ පිරිමියෙක් විසින් කාන්තාවක් පාලනය කිරීමේ චර්යාව සාමාන්‍යයක් වෙලයි තියෙන්නෙ. සදාචාරය පැත්තෙන් සමාජයත් උත්සාහ කරන්නෙ කාන්තාව පාලනය කරන්න.



මේක ඒ අයට එරෙහි ප්‍රචන්ඩත්වයක් කියන කියවීම අපිට නෑ. ඒ වෙනුවට මේක ආදරය විදිහටත් කියවාගන්නවා. අපේ රටේ කාන්තාවන් වැඩියෙන්ම මුහුණ දෙන ප්‍රචන්ඩත්වය විදිහට වාර්තා වෙන්නෙ සහකරුවා අතින් දැඩි පාලනයට ලක්වීම.



දෙවෙනියට වඩාත් සුලබ වෙන්නෙ ශාරීරික හිංසනය. අපේ රටේ වතු ප්‍රදේශ ගත්තොත් සෑම කාන්තාවන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙක් ශාරීරික හිංසනයට ලක්වෙනවා.

සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් 1 කෙනෙක් ආර්ථික හිංසනයට ලක්වෙනවා. ආර්ථික හිංසනය කියන්නෙ තමන්ගේ මුදල් පැහැර ගැනීම, මුදල් තිබියදීත් නිවසේ වියදම් ආදියට නොදී සිටීම, ඇයට රැකියාවක යෙදීමට අවස්ථාව නොදීම ආදී කාරණා.

කාන්තාවන් බොහොමයක් මේ විදිහට ආර්ථික ස්වාධීනත්වය නැතිවීම හරහා සහකරුවන්ගේ පීඩාවට හිංසනයට ලක්වෙනවා. ඒ මගින් ඔවුන්ව යටත් කරගෙන ඉන්නවා.



මේ සමීක්ෂණය අනුව පේන තවත් වැදගත්ම දෙයක් තමයි කාන්තාවක් පිටස්තරයෙකුට වඩා තමන්ගේම සහකරුවා අතින් ශාරීරික හිංසනයට ලක්වීමේ අවස්ථාව දෙගුනයකින් වැඩියි කියන එක. මේ හිංසනය එන්නෙ සම්බන්ධතාව ඇතුලෙන්මයි. ආදරය කියල විශ්වාස කරන තැනින්මයි.



ලංකාවෙ සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් 1 කෙනෙක් අවුරුදු 15 වගේ වයසක සිට ශාරීරික සහ හෝ ලිංගික හිංසනයට ලක්වෙන කාන්තාවන්. මේක සරල තත්වයක් නෙමෙයි. මේ හිංසනයන් ඒ අයගෙ මානසිකත්වයට බලපානවා. එතැනින් ඒ අයගෙ දරුවන්ට, ඒ අය කරන වැඩවලට බලපානවා.

හිංසනයේ සංස්කෘතිය සමාජයේ විවිධ හැඩ ඇතුලෙ උඩුදුවමින් තියෙනවා. ඒත් අපි කාටවත් ඒක දරුණු ප්‍රශ්නයක් විදිහට දැනෙන්නෙ නෑ. මොකද අර්බුදය තියෙන්නෙ පවුල ඇතුලෙ. පවුල ඇතුලෙ දේවල් අපි දකින්නෙ පුද්ගලික විදිහට. ඒත් ඇත්තටම මේක සමාජ ප්‍රශ්නයක්. ඒක ඒ විදිහට බාරගන්න අපි ලෑස්ති නෑ.

මේ විදිහට සහකරුවාගෙන් හිංසනයට ලක්වෙන කාන්තාවන් 3 දෙනෙකුගෙන් 1 කෙනෙක් සියදිවි නසාගැනීමට පෙළඹෙනවා. අපි ඒවා පත්තරවල කියවනවා. කාන්තා හිංසනය කියන සැබෑ හේතුව වෙනුවට දාහක් කුණුරස හේතු ගොතනවා.

60%ක් හිංසනයට ලක්වෙන කාන්තාවො කියනවා ඒ අයගෙ දරුවන් මේ දේවල් දකිනවා කියල. ඒ කියන්නෙ හිංසනයේ සංස්කෘතිය දරුවන්ට ගමන් කරනවා. ඊට පස්සෙ ඒ දරුවො හිංසනයේ විෂම චක්‍රයටම ගොදුරු වෙනවා.

xjlsd

4න් 1ට වඩා හිංසනයට ලක්වෙන කාන්තාවන්ට ඒ වගේම හිංසනයට ලක්වූ මවක් ඉඳලා තියෙනවා. ඒ මව විඳපු දුක් බලාගෙන සිටීම නිසා ඒ අයටත් හිංසනය සාමාන්‍ය දෙයක්, දරාගත යුතු දෙයක් හැටියෙන් අප්‍රකාශිත පුහුණුවක් ඇවිත් තියෙනවා. ඊට විරුද්ධව ක්‍රියා කරන්න, තමන්ගේ ජීවිතය බේරාගෙන එතැනින් අයින් වෙන්නවත් පෞර්ෂයක් මේ අයට අහිමි වෙනවා.

මේ ආකාරයෙන් පහර දෙන සැමියන්ගෙන් වැඩිදෙනෙකුගේ අම්මලත් එහෙම හිංසනයට ලක්වූ කාන්තාවන් බව මෙතනදි හෙලිවෙනවා. එහෙම නැත්නම් දරුවෙක් විදිහට මේ පිරිමි හිංසන අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා. මේක පරම්පරාවෙන් පරම්පරාවට යන සමාජ රෝගයක් වග පැහැදිලියි.



අපි මේ සංස්කෘතිය හුරතල් කරනවද නැත්තං මේක කඩාබිඳ දමනවාද කියන එක අපි සමාජයක් විදිහටත් තනි තනිවත් තීරණය කරන්න ඕන. මේ විදිහට හිංසනයත් ආතතියත් පවතින පවුල් පසුබිම්වලින් සමාජයට දායක කරන ප්‍රචන්ඩකාරී, ආතතිකර පෞර්ෂයන් තමයි අපිට ඊලගට ජාතිවාදය, ආගම්වාදය, අපරාධ, නවකවධය වගේ තැන්වලත් මුනගැහෙන්නෙ.


සමාජයක සංස්කෘතියේ දියුණු බව හෝ නොදියුණු බව මනින්නෙ ඒ සමාජය කාන්තාවන්ට සලකන ආකාරය අනුවයි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
truepatriotlk

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -facultyofsex.com)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58