2023 අයවැය කාරක සභා අවස්ථා විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.



ජල ප්‍රහාර, පොත් ප්‍රහාර, මිරිස් කුඩු ප්‍රහාර මෙන්ම අශ්ලීල වාග් ප්‍රහාරවලින් ද උණුසුම් වූ අමිහිරි අතීතයකින් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙවර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දී දම්සභාවක් බඳු තත්ත්වයකට පත්ව තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂ කථිකයින් පසුගිය දින කිහිපයේම බුද්ධ දේශනා හා සූත්‍රයන් ගෙනහැර දක්වමින් විවාදයට එක්වීම ඊට හේතුව යි.


ජීවන වියදම, දරිද්‍රතාව, මන්දපෝෂණය වැනි සමාජීය ප්‍රශ්න උග්‍රවෙමින් තිබිය දී සභාවේ ප්‍රධාන මාතෘකාබවට දහම් කරුණු පත්ව ඇති බවත්, අවධානය යොමු කළ යුතු බොහෝ කරුණු තිබිය දී වෙනත් සංවාද සඳහා දිනයේ වැඩි කාලයක් වැයවන බවත් ජනතාව පෙන්වා දෙති.


“තුන්වේල කන්න නැහැ. ඇඳුමක් පැළදුමක් ගන්න විදිහක් නැහැ. ළමයි පාසල් අරින්න විදිහක් නැහැ. පොත්වල ගණන් ඇහුවම ළමයි ඉස්කෝලේ යවන්නේ කොහොම ද කියලා හිතෙනවා. දවසකට පැය දෙකහමාරක් විදුලිය කපනවා. අපි කොහොමද වැඩක්පලක් කරගන්නේ? පාර්ලිමේන්තුවේ අද මේවට විසඳුම් දෙන්න නෙමේ කතා කරන්නේ, අංගුලිමාල ද, දෙව්දත්ත ද වගේ ඒවා,” වත්තල පදිංචි උදයසිරි ජයමාන්න ප්‍රකාශ කළේ ය.


z slajs


ජනපති දෙව්දත්, අංගුලිමාල වරද්දගෙන ද?


සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරන විට ප්‍රශ්න ගණනාවක් ඇතිවන බව, ආගමික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.


“ඒක බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක්. අංගුලිමාල සිවුරු ඇඳගෙන තමයි බුදුන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ,” ජනාධිපතිවරයා පැවසීය.


ඊට ප්‍රතිචාර දක්වමින් නොවැම්බර් 30 වැනිදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ විමසා සිටියේ ය: “අංගුලිමාල රහත්භාවයට පත්වෙලා තමා පැවිදිභාවය ලබාගත්තේ. ඒ නිසා මම අහන්න කැමතියි බුදු සසුනේ පැවිදිවෙච්ච මොන අංගුලිමාල ද බුදුන්ට එරෙහිව කටයුතු කළේ කියලා?"


“ගරු ජනාධිපතිතුමා හොඳට පොතපත කියවන පුද්ගලයෙක්. හැබැයි ජනාධිපතිතුමා කියනවා සිවුරු ඇඳගෙන අංගුලිමාල බුදුරජාණන්වහන්සේට විරුද්ධව කටයුතු කළයි කියලා. මම හිතන්නේ ඒක හැන්සාඩ් ගතවෙලත් තියෙනවා එතුමාටත් ගෞරවයක් හැටියට. එතුමා කරපු ඒ ප්‍රකාශයේ බරපතල වරදක් තියෙනවා. මං හිතන්නේ ඒ වරද මුල්කරගෙන එක් එක් අය එක එක ප්‍රකාශ කරන්න පුළුවන් ජනාධිපතිතුමා බුදුදහම ගැන දන්නේ නැහැ, ඒ තොරතුරු දන්නේ නැහැ කියලා අපහාස කරන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා එතුමා කරපු ඒ වැරදි කතාව නිවැරදි කරන්න කියලා,” විපක්ෂනායකවරයා සියා සිටියේ ය.


අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණයේ පිහිටා සිටිය යුතු බව ද ඔහු පැවසීය.





අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත යෝජනාකර සිටියේ පාර්ලිමේන්තු සභාව උදෑසන ආරම්භයේ දී ධම්ම පදයේ, වසල සූත්‍රයේ, පරාභව සූත්‍රයේ වාක්‍යයකින් ආරම්භ කිරීම සුදුසු බව ය.


එමගින් සිත් නිවෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.


මෙහිදී විපක්ෂනායකවරයා නැවතත් සඳහන් කර සිටියේ මෙවැන්නකි:

 

“අපිට දැන් ක්‍රියාවෙන් ඔප්පු වෙවී යන්නේ කව්ද බ්‍රාහ්මණයා, කවුද වසලයා කියන එක.”

 

“පරාභව සූත්‍රයේ තියෙනවා 'බුද්ධ ආදී මහා සඟරුවන සහ සත්පුරුෂයින් ප්‍රිය නොකරන්නේ ද, මිත්‍යා දෘෂ්ටියේ ඇති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කරන්නේ ද එය පිරිහීමේ දොරටුව යි' යනුවෙන්. ඒ නිසා පිරිහීම පිළිබඳ පරාභව සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනවා,” විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ ය.


“අනේ දැන් බණ ඇහුවා ඇති, ඔබතුමාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න,” මෙහිදී කතානායකවරයා මැදිහත් විය.

ksjla

මේ අතර ජාතික ජනබලවේගය ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ අතර, මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී මෙසේ කියා සිටියේ ය:


“අපි දන්න බුදුදහමට අනුව අංගුලිමාල බුදුදහමට හෝ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට පටහැනිව, එරෙහිව මුකුත් කළේ නැහැ. දේවදත්ත තමා එහෙම කළේ. ඒකත් මතක්කර ගත්තොත් හොඳ යි.”


“ජනාධිපතිතුමා නිතර ධර්මය දේශනා කරනවා දැක්කා. පාර්ලිමේන්තුවේ එතුමා මීට පෙර කිව්වා බුදුහාමුදුරුවෝ සමානාත්මතාව ගැන කතාකරලා නැහැ කියලා. එතුමා දන්නවා නම් මතක්කර ගත්තොත් හොඳ යි රාජ්‍ය පාලනය පිළිබඳ දසරාජ ධර්මයත්, ඒ වගේම සතර සංග්‍රහ වස්තුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා. සතර සංග්‍රහ වස්තුවල දී දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව උන්වහන්සේ පැහැදිලිව රාජ්‍ය පාලනයේ අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු විදිහට දැක්වුවා. ඒ නිසා එතුමා එය පිළිපදිනවා නම් බොහොම හොඳයි,” විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

 


මෙහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, “ජනාධිපතිතුමාට මේවා ලියලා දෙන දේවදත්තලාට කරුණාකරලා අවවාදයක් දුන්නොත් හොඳයි ධර්මය මේ වගේ විකෘති කරන්න එපා කියලා. හෙට අනිද්දා බණ සංග්‍රහයක දී කියයි ද දන්නේ නැහැ දේවානම්පියතිස්ස පිටුපස මුවා එළෙව්වා කියලා. දේවානම්පියතිස්ස දුවනවා, මුවා එළවනවා. නොදන්නා බණ එක්කො නොකියා ඉන්න,” යනුවෙනි.

 


ජනපතිගේ ප්‍රකාශය වැරදි බව ජාතික භික්ෂු පෙරමුණ ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේ ය.


“විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන” – ජනපති


පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ය.


ජනාධිපතිවරයා මේ බව පැවසුවේ (නොවැම්බර් 29 වැනිදා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.


සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇතිවන බවත්, එය බුදුන්වහන්සේගේ සමයේ සිට සිදුවන දෙයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලය ලබාදෙන කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට පළමුවතාවට අනුමැතිය ලබා දුන්නේ ඒ වෙනුවෙන් බව ද විවාදයට එක්විමෙන් පැවසීය.


“ආගමික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අදාළ විෂයය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේ පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමා පරාභව සූත්‍රය ගැන මට කළ දැනුම්දීම පිළිබඳව.


"ඇත්ත වශයෙන්ම මම දන්න විදියට පරාභව සූත්‍රයේ මහා සංඝරත්නය ගැන කතා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ,


සුවිජානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ


(දියුණුවන පුද්ගලයා එම කරුණු අනුව දැනගත හැකි ය. පිරිහෙන පුද්ගලයා ද එසේම දැනගත හැකි ය. දස කුසලයේ යෙදෙන තැනැත්තා දියුණුවන අතර ඊට ද්වේශ කරන කෙනා පිරිහෙයි)


“බුදු දහමේ සඳහන් වෙනවා බුද්ධ, ධම්ම, සංඝ පිළිබඳව. පරාභ‍ව සූත්‍රයේ සඳහන් වෙන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවෙයි. මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා ධර්මය යි, සංඝරත්නය යි දෙක මිශ්‍ර කරලා තිබෙන්නේ. අපි එය වෙන්කරගත යුතු යි. මොකද ගිහි පැවිදි සියලුදෙනා ධර්මය පිළිපැදිය යුතු යි. ඇතැම්විට ගිහි අයට ධර්මය පිළිපදින්නේ නැතිව ඉන්න පුළුවන්. එහෙත් අපි ජීවත්විය යුත්තේ ධර්මයට අනුව යි,” ජනාධිපතිවරයා පැවසීය.


"මම තව කරුණක් එතුමාට මතක් කරන්න කැමතියි.


අසන්තස්ස පියා හොන්ති
සන්තේ න කු‍රුතේ පියං
අසතං ධම්මං රෝචේති
තං පරාභවතෝ මුඛං

(මොහුට අන්‍ය ශ්‍රාස්තෘන් ප්‍රියවෙත් ද, බුද්ධාදී සත්පුරුෂයන් ප්‍රිය නොවෙත් ද, දෙසැටක මිත්‍යාදෘෂ්ටීන් ඇති අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නේ ද, මේ කරුණු තුන පිරිහීමේ දෙවන දොරටුව යි)


“මම එම අවවාදය අපේ විපක්ෂ නායකතුමාට දෙන්න කැමතියි. ඇත්ත වශයෙන්ම අපේ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි පළමුව බලාපොරොත්තු වෙන්නේ ගිහි පැවිදි සියලුදෙනා ධර්මය අනුව ක්‍රියා කරනු ඇති බව යි.


“අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරන විට ප්‍රශ්න ගණනාවක් ඇතිවෙනවා. ඒක බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක්. අංගුලිමාල සිවුරු දරාගෙන තමයි බුදුන්වහන්සේට විරුද්ධව ක්‍රියා කළේ,” ජනාධිපතිවරයා පැවසීය.

angulimala

“අපේ ශාසනික කටයුතුවල දී අවධානය යොමුකළ යුතු ප්‍රශ්න ගණනාවක් අද තිබෙනවා. ඒක යි අපි පළමුවතාවට සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලතල ලබාදීමේ කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදී තිබෙන්නේ. මේ සඳහා නීති සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබීමෙන් පසු අපි එය මේ සභාවට ඉදිරිපත් කරනවා. මොකද යම් කිසි පාලනයක් තිබිය යුතු යි. අතීතයේ මේ රට පාලනය කළේ රජවරු. ඒ රජවරු මඟින් තමයි ශාසනයේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුණේ,” ඔහු පෙන්වා දුන්නේ ය.


“පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඇතැම් සංඝයාවහන්සේලාට මරණ දඬුවම නියම කළා. අපිට ඒවා කරන්න බැහැ. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් අපට බලයකුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය යටතේ භික්ෂූන්වහන්සේ‍ලාගේ විනය පිළිබඳ සඳහන් වෙනවා. සියම් නිකාය, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය නමින් අපිට කතිකාවත් තුනක් තිබෙනවා. ශාසනික කටයුතුවල දී අවධානය යොමුකළ යුතු ප්‍රශ්න ගණනාවක් අද අපට තිබෙන නිසා මෙම කෙටුම්පත අවශ්‍ය වෙනවා.”


“මම දැක්කා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක් භික්ෂූන්වහන්සේ නමක් අපේ මල්වතු, අස්ගිරි මහා නායකහිමිවරුන්ට බනිනවා, දොෂාරෝපණය කරනවා. කවුද මේ අය? භික්ෂූන්වහන්සේලා ද, වෛතුල්‍යවාදීන් ද කියලා අපිට අහන්න වෙනවා.”


“සිවුරු දැරුවා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍ය යි. ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු යි.”


"භික්ෂූන්වහන්සේ‍ලා ලෙස විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත්, භික්ෂූන්වහන්සේ ලෙසම උපාධිය ලබාගෙන ඉන් පිටවිය යුතු යි."


“අද භික්ෂූන්වහන්සේලා ලෙස විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වුණත්, අවසන් වෙනකොට ඉන්නේ ගිහියන් විදියට. අපි පළමුවෙන්ම තීරණය කළ යුතු යි භික්ෂූන්වහන්සේ‍ලා විදියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත්, භික්ෂූන්වහන්සේ ලෙසම උපාධිය ලබාගෙන ඉන් පිටවිය යුතු බව. ඒ ගැන මහානායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළ යුතු යි,” ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

yoo

එසේම, භික්ෂූන් විශ්වවිද්‍යාල තුළ හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළයුතුබවත්, මෙම ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පැවතියහොත් ශාසනය නැතිවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.


ඉන්දියාව හා සසඳන විට ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂී ස්වභාවය අප ආරක්ෂා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද රජය සොයා බැලිය යුතු වග ඔහු පැවසීය.


"හින්දු භක්තිකයන් පමණක් නොවෙයි, බෞද්ධ විහාරස්ථානවලත් විවිධ හින්දු දෙවිවරුන් කීදෙනෙක් අදහනවා ද? නිදසුනක් වශයෙන්, ශිව වන්දනාව යාපනයේ බහුලව දක්නට ලැබෙනවා. විෂ්ණු වන්දනාව හෙවත් විෂ්ණු දෙවියන් මූලික වශයෙන් දකුණු පළාතේ අදහනු ලබනවා. විෂ්ණු, කතරගම, පත්තිනි, විභීෂණ දෙවියන්ට අපි නමස්කාර කරනවා.


"ඉන්දියාවේ හින්දු නමස්කාරයට වඩා ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ සුවිශේෂීභාවය පිළිබඳ වාර්තාවක් සම්පාදනය කරන ලෙස මම අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. සමහර විට අනෙක් පාර්ශ්වයන්ට ද මෙයට උදව් කළ හැකි යි. එහිදී නැවතත් ඔබට උතුරු ඉන්දියාව සහ දකුණු ඉන්දියාව අතර වෙනසක් දක්නට ලැබෙනවා. එය අප විසින් කළ යුතු දෙයක්.


"ඒ වගේම අපි තීරණය කරලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක් ඇති කරන්න. අද ඉතිහාසය අමතක වෙලා තිබෙන්නෙ, විශේෂයෙන්ම මේ ආයතනය ඇති කරන්න යන්නේ අපේ රටේ ඉතිහාසය පිළිබඳ දැනුම ලබාදෙන්න. ඒ වගේම පර්යේෂණ ඇති කරන්න. මහා වංශයට වඩා අද ඉතිහාසය වෙනස් වෙලා තිබෙනවා.


"මහාවංසයේ තිබෙන්නේ එක කණ්ඩායමක අදහස්. නමුත් තවත් අදහස් තිබෙනවා. අපි මේ ගැන සොයාබලා ලංකාවේ ඉතිහාසය පිළිබඳව මේ ආයතනය ඇති කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා,” ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

 


මේ අතර, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා දින දහතුනක (13) කාලයක් පුරා පැවැත්වෙන අතර තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම 2022 දෙසැම්බර් මස 8 වැනිදා පස්වරු 5.00ට පැවැත්වෙනු ඇත.


(BBC සිංහල සේවය )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image