2019 අප්‍රේල් 21 දා පාස්කුදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණ බෝම්බ පිපිරුම් ක්‍රියාන්විතයේ මහමොළකරුවකු බව පොලිසිය බාර ඇමතිවරයා වූ දේශ හිතෛෂී සරත් වීරසේකර පැවසූ ජමාතේ ඉස්ලාමික, උස්තාද් රෂීද් හජ්ජුල් අක්බර් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කෙරුණ ද දකුණේ සිංහල මාධ්‍ය ඊට දැක්වූයේ ඈලියාවට ගිය ප්‍රතිපදාවකි.

 



sawwqහජ්ජුල් අක්බර් නොම්මර එකේ ත්‍රස්තවාදියකු මතු නොව පාස්කු බෝම්බ ක්‍රියාන්විතයේ මහමොළකරුවකු බැව් කියමින් ඔහු පරසක්වළ ගැසූ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සයිබරාවකාශ වෙබ් අඩවි මෙම නිදොස් වීම හා නිදහස් වීම ගැන හාංකාවිසියක දෙයක් නොදන්නා ගාණට හැසිරෙයි.

 

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ මත ත්‍රස්ත පනත යටතේ අත් අඩංගුවට ගත් ඔහුට එරෙහි නඩුව ඉදිරියට ගෙනයාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව නීතිපති දෙපාර්තුමේන්තුව පැවසීමෙන් පසු  මහේස්ත්‍රාත් අධිකරණයේ වූ සකල කාර්ය පාටිපාටීන් අවසන් කෙරෙමින් ඔහු මුදාහැරුණි.

ඉකුත් පෙබරවාරි 8වැනිදා ලැබුණු මෙම තීන්දුවෙන් පසු අධිකරණයෙන් එළියට පැමිණි හජ්ජුල් අක්බර් සහ ඔහුගේ නීතිඥ කණ්ඩායම අතර සිටි නීතිඥ එම්.ජේ.එෆ්. සුමයියා තීන්දුව පිළිබඳ කතා කළා ය.  2021 මාර්තු 12දා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ ද මෙම සුමයියා නීතිඥවරිය යි.

‘’අද දින දී ජමාතේ ඉස්ලාමී සංවිධානයේ හිටපු සභාපති උස්තාද් හජ්ජුල් අක්බාර් මහතාගේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව පැවතුණා. ඒ නඩුව පැවතුණේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, පාස්කු ප්‍රහාරයෙන් පසුව කෙරුණු අත් අඩංගුවට ගැනීමක් විදිහට. ඒ අනුව ත්‍රස්ත විමර්ශන පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කොට ඔහුව ත්‍රස්ත විමර්ශන කෙට්ඨාශයේ මාස 10කට අධික කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීමක් කළා. ඊට එරෙහිව අප විසින් හජ්ජුල් අක්බාර් මහතාගේ මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම සිද්ධ කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ. ඒ අනුව උස්තාද් හජ්ජුල් අක්බර් මහාතාව ඇප මත මුදා හැරීම සිද්ධ වුණා. ගරු මහේස්ත්‍රාත් අධිකරණයේදී, අද දින, ඔහුව සියලු චෝදනා වලින් නිදහස් කෙරුණා’’

 

Easter Attack


මෙම සමස්ථ අධිකරණ ක්‍රියාවලිය සඳහා සුමයියා නීතිඥවරිය සමඟ එම්.එම්.සුහයිර්, එම්.සී.එම්.මුනීර්, ෆාරිස් සලේ, සල්මන් රෙයාල්, රිස්වාන් උවයිස්, ශනේෂ් දිසානායක, ගයනි රත්නායක සහ මේධා දිසානායක හජ්ජුල් අක්බර් වෙනුවෙන් පෙනී සිටියහ. සියලු චෝදනා වලින් නිදහස් කරනු ලැබීම නිසා සියලු ඇප කොන්දේසි ඉවත් කිරීම සිද්ධ කෙරිණ. විදේශ ගමන් තහනම ඉවත් කෙරිණ. සියලුම ඇපකරුවන් නිදහස් කෙරිණ. එ පමණක්ද නොව; නඩු භාණ්ඩයක් ලෙස නම් කොට රඳවා තබා ගත් ඔහුගේ ජංගම දුරකථනය පවා යළි ලබා දීමට අධිකරණය කටයුතු කර තිබිණ.

 

මෙවන් නිර්දෝශී මිනිසකු ගැන පොලිස් ඇමති සරත් වීරසේකර කීවේ කුමක්ද? මාධ්‍ය හමුවකදී ‘අද දෙරණ’ මාධ්‍යවේදී විදර්ශන ප්‍රනාන්දු ඇසූ ප්‍රශ්නයකට සරත් වීරසේකර පිළිතුරු දෙන්නෙ ඉතාම සැහැල්ලුවෙනි. එකී පිළිතුර සඳහා ඔහු භාවිත කරන්නේ අමාත්‍යවරයකු වෙත රාජ්‍ය විසින් ලබා දී ඇති ව්‍යාජ ආඛ්‍යන ගොඩනැංවීමේ වරප්‍රසාදයයි. ඔහු පැකිලෙන්නේ නැත; ඇඹරෙන්නේ නැත. කෙලින්ම මහමොළකරුවන් නම් කරයි. ඔහු නම් කරන දෙදෙනාගෙන් එක් අයකු වන්නේ නිදොස් කොට නිදහස් කරන ලද හජ්ජුල් අක්බර් ය. මා දිගින් දිගටම තහවුරු කරන්නට උත්සාහ කරන්නේ රාජ්‍ය බලධාරීන් සහ නිලධාරීන් රාජ්‍ය බලය මුළුමනින්ම අවභාවිත කරමින් අනීතිකව සහ අත්තනෝමතිකව මනුෂ්‍යභාවයට එරෙහි අපරාද සිදුකරන බව ය.

 

හජ්ජුල් අක්බර්ගේ වින්දිතභාවයද පවතින්නේ ද, රාජ්‍ය ප්‍රබන්ධකරණය රාජ්‍ය අපරාධකාරීත්වයේ විශාල පංගුවක් උසුලන බවට මා දිගින් දිගටම මතු කළ මෙකී ප්‍රවාදය තුළ ම ය. රාජපක්ෂ මස්කටු ලෝලී පුබ්බඩ මාධ්‍යකාරයන් මෙම අපරාධකාරීත්වයේ පංගුකාරයන් වෙමින් ඔහු පරසක්වල ගැසූයේ අවම ආචාරධාර්මිකබව හෝ අවම මාධ්‍ය සදාචාරය හෝ නොතකමිනි.

 

ව්‍යුක්ත හේතුන් මත අත් අඩංගුවට ගන්නා මිනිසුන්ට අදාල සංයුක්ත ආඛ්‍යන ගොඩනැංවීමට අපරාධ රාජ්‍යය දිගින් දිගටම අසාර්ථක උත්සාහයන් ගන්නා බව තහවුරු වී ඇති බැවින් ත්‍රස්ත පනතේ තවත් ටෙස්ට් කරන්නට දෙයක් නැත. එය තොරොම්බල් කරමින් වටේ යන්නට දෙයක් නැත. සියලු ජාතිකත්ව සීමාවන් අතරින් රිංගමින් අපරාධකාරීත්වයේ ඒකාධිකාරය නිල බලයෙන් පවත්වා ගන්නට පමණක්ම පේ වී සිටින ඊනියා ත්‍රස්ත විමර්ශකයන්ගේ ප්‍රබන්ධකරණයට තිත තබන්නටත්, ත්‍රස්ත විමර්ශන නාටක පිටපත් ලිවීම මුළුමනින්ම අතුගා දමන්නටත් සමාජයක් වශයෙන් අප ඒකාබද්ධ විය යුතු ය.

 

රාජ්‍ය දෘෂ්ටිවාදයේ පිළිබිඹුවක් වන් තක්කඩි මාධ්‍ය භාවිතාවන් විසින් ගොඩ නඟනු ලබන සමාජ හිංසනය අතිශය බරපතල ය. පත්තර මහගෙදර යැයි කියැවෙන ලේක්හවුස් ආයතනයේ කීර්තිමත් ඉතිහාසයක් ඇති සිළුමිණ පුවත්පත පවා රාජ්‍ය හිංසනයේ හවුල්කාරීත්වයට පත්ව ඇත්තේ රාජපක්ෂලා ගොඩදැමීමේ උවමනාවෙන්ම විය යුතු ය. සිළුමිණ මාධ්‍යවේදී අමිල මලවිසූරිය 2021 පෙබරවාරි 27වැනිදා ‘සහරාන්ගේ කල්ලියේ මරාගෙන මැරෙන කන්තාවන් 15ක්’ මැයෙන් ලියන ‘’ගවේශනාත්මක’’ ලියවිල්ලේ එකම මුසාවාද මූලාශ්‍රය කුප්‍රකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ය. මෙම මරාගෙන මැරෙන බෝම්බකාරියන් 15 දෙනා ගැන තොරතුරු හෙළිදරව් කරගෙන ඇත්තේ මාවනැල්ල හිඟුළ දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලබමින් සිටි මොහොමඩ ඊබ්‍රහිම් ෂහිඩා නම් තරුණිය හරහා ය. මලවිසූරිය මෙසේ ලියයි.

 

jahyw

‘’ඉකුත් 19දා ෂහීඩා අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඇයගෙන් බොහෝ ආන්දෝලනාත්මක තොරුතුරු රැසක්ම හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවසීය.’’

කුප්‍රකට පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මොන තරම් සැහැල්ලුවෙන් වචන විදීම සිද්ධ කළත් සිළුමිණ වැනි ජාතික පත්තරයක පිටුමත මෙතරම් සැහැල්ලුවෙන් වචන හළා දැමිය හැකි ද? හජ්ජුල් අක්බර් ද සිළුමිණේ මලවිසූරයගේ අතිශය ආන්දෝලනාත්මක තොරතුරු අතර සිටියි. මෙලෙස ය.

‘’ඇයගේ (ෂහීඩාගේ) සහෝදරයන් දෙදෙනා මේ වන විටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ. එම සහෝදරයන් දෙදෙනාගෙන් සාහිඩ් අබ්දුල් හක් උපාධිධාරියකු ලෙස ගම්පොල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ස්වේච්ඡාවෙන් ගුරු වෘත්තියේ යෙදෙමින් අන්තවාදය සහ ත්‍රස්තවාදය වපුරමින් සිටි අයෙකි. ඔහු 2014 වසරේ සිරියාවට සහ තුර්කියට ගොස් මාස දෙකකට ආසන්න කාලයක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී පුහුණුව ලබා පැමිණි අයෙකු බව ඔහු අත් අඩංගුවට පත් මොහොතේ හමුවූ වීඩියෝ පටවලින් සනාථ වී තිබිණි. ඔහුට එලෙස අයි.එස්.අයි.එස්. පුහුණුවට යාමට මඟ පාදා ඇත්තේ ඔවුන්ගේ පියාගේ වැඩිමහල් සහෝදරයා වන හජ්ජුල් අක්බර් නැමැත්තාය. දැඩි සේ අන්තවාදය වැපිරූ පුද්ගලයකු වන 61 හැවිරිදි හජ්ජුල් අක්බාර් 2019 ඔක්තෝබර් මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගැනිණි.’’

2023 පෙබරවාරී 08වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මුළුමනින්ම නිදොස් සහ නිදහස් කොට ඇත්තේ සිය සහෝදරයාගේ පුත්‍රයන් අයි.එස්.අයි.එස්. පුහුණුවට යවන්නට ඍජුවම ක්‍රියා කර ඇති ත්‍රස්තවාදයෙකි. දැඩි සේ අන්තවාදය වැපිරූ පුද්ගලයෙකි.

 

සිළුමිණ පමණක් නොව ඉස්ලාමික භීතියේ ගැළුණු දිවයින, අරුණ ආදී පත්තර, ටීවී - රේඩියෝ චැනල් සහ කුප්‍රකට වෙබ් අඩවිවල විෂ උතුරන, විරසකභාවය වපුරන, වෛරී බසක් සහිත ව්‍යාජ තොරතුරු-මතවාද වලට, හජ්ජුල් අක්බර් නඩු තීන්දුව අභිමුඛ වීම වලක්වන්නට බැරි ය. නමුත් පශ්චත්තාපයේ පස්පාගා නැති ජනමාධ්‍ය මෙකී තීන්දුව අභියස සුපුරුදු මුනිවතිනි.

 

මුනිවත ජනමාධ්‍යයේ පමණ ද? ඇයි සමාජ මාධ්‍යය? සිවිල් සමාජය? 

 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසන්ත මුදලිගේ නිදොස් නොකොට නිදහස් කෙරුණු මොහොතේ දකුණේ පොදු හෘදය ස්පන්ධනයෙන් ‘’දැක්ක නේද? වසන්තව ත්‍රස්තවාදියෙක් කරන්න හදපු ආණ්ඩුවට අධිකරණයෙන් ලැබුණු උත්තරය’’ යනුවෙන් කියැවුණි. හජජුල් අක්බර් නිදොස් කොටම නිදහස් කෙරුණේ ද එකී මහේස්ත්‍රාත් අධිකරණය විසින් ම ය. ඒත් දකුණේ පොදු හෘදය ස්පන්ධනයේ පොදු රිද්මයෙන් මතුවන්නේ වෙනස්ම අර්ථයකි. මෙබඳු ය. ’’ හජ්ජුල් අක්බර්, ඔව්, නිදහස් වුණා තමයි, ඒත් මිනිහා ෂුවර් නෑ’’

 

D PTA

එළඹෙන පෙබරවාරි 21වැනිදා කොළඹ පදනම් ආයතනයේ ‘ත්‍රස්ත පනතට’ එරෙහි ප්‍රසිද්ධ සංවාද සභාවක් පැවැත්වෙයි. එහි මුඛ්‍ය අදහස්දැක්වීම් වසන්ත මුදලිගේ සහ නීතිඥවරුන් වන නුවන් බෝපගේ, අර්මිසා ටීගල්, ස්වස්තිකා අරුලිංගම් ගෙනි. දෘෂ්ටිවාදී අගතීන්ගෙන් මිදෙන්නට හැකි නම් එය, දකුණේ පොදු හෘදය සාක්ෂියේ දිශානතිය යළි සොයා ගත හැකි, වේදිකාවක් කර ගන්නට බැරිකමක් නැත. පදනම් ආයතනයේ පැවැත්වෙන මෙම සංවාද සභාවට පදනම සපයන සටන් පාඨ මෙබඳු ය.

ත්‍රස්ත පනත අහෝසි කරනු!

සංශෝධන එපා!

ආදේශක එපා!


Manjula wediwardhana(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත - 2023 පෙබරවාරි 19 )



සබැඳි පුවතක් :
පාස්කු ප්‍රහාරය: සැකපිට ඇල්ලූ ජමාතේ ඉස්ලාම් සභාපති නිදහස්

Anida



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්