මැතිවරණ කොමිසමේ මෙහෙයුම් කටයුතු සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 10.9 ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 86ක් පාර්ලිමේන්තුවේ අනුමත කළ 2023 විසර්ජන පනත මගින් වෙන් කොට ඇත. 2023 දී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට මුදල් තිබේ ද? යන ප්‍රශ්නයට සරල පිළිතුරක් මෙමගින් ලැබිය යුතුව තිබිණි.



පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මෙය ප්‍රමාණවත්ය. පිළිගත නොහැකි ලෙස ප්‍රමාද කොට ඇති පළාත් සභා මැතිවරණ ද පැවැත්වීමට මෙම මුදල ප්‍රමාණවත් විය හැක. මේ සතියෙන් පසුව පැවැත්විය හැකි මහ මැතිවරණය හෝ 2023 නොවැම්බරයෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට හෝ බොහෝ විට මෙම මුදල ප්‍රමාණවත් නොවනු ඇත. පරිපුරක ඇස්තමේන්තු අනුමත කිරීම මගින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ මැදිහත්වීම අවශ්‍ය වනු ඇත.

කෙසේ වෙතත්, මේ සියල්ල රඳා පවතින්නේ පාර්ලිමේන්තුවෙන් මුදල් වෙන් කළ විට මුදල් ඇතැයි යන උපකල්පනය මත ය. මෙම උපකල්පනය ප්‍රශ්න කළ යුතු වෙයි.


මුදල් තිබෙන්නේ කොහේ ද?


ආණ්ඩුවට ආදායම් ලබාගැනීමේ මාර්ග හතරක් ඇත. එනම්, බදු, බදු නොවන ආදායම් (විදේශ ගමන් බලපත්‍ර, වනජීවී අභයභූමි නැරඹීම වැනි විවිධ සේවා සඳහා අය කරන ගාස්තු), ප්‍රදාන, සහ ණයයි.

දැන් අප බංකොළොත් නිසා ණය ගැන කතා නොකර සිටිමු. ප්‍රදාන ඇත්තේ සුළු වශයෙන් සහ කලින් කලට ය. 2022 දී ප්‍රදාන වශයෙන් ලැබුණු මුදල රුපියල් බිලියන 10 කි (එම වසරේ සමස්ත වියදමෙන් සියයට 0.48 කි ). 2022 වසර මැද ගාස්තු බොහොමයක් ඉහළ දැමීමෙන් වර්ධනය කර ගත් බදු නොවන ආදායම රුපියල් බිලියන 232කි. එය එම වර්ෂයේ සමස්ත ආදායමෙන් සියයට 12.5 කි.

එබැවින් වැදගත් වන සංඛ්‍යාව බදු ආදායම යි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිකර ගැනීමට පියවර ගැනීම වැනි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සැපිරීම සම්බන්ධයෙන්ද වැදගත් වන්නේ මෙම සංඛ්‍යාවයි.

වියදම් පැත්තෙන් ගත් විට බොහෝ දේ සඳහා රජය මුදල් වැය කරන බව අපි දනිමු. නමුත්, නොගෙවා සිටියහොත් සංකීර්ණතා ඇතිකළ හැකි විශාලතම වියදමක් වන වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැන අවධානය යොමු කළහොත්, මැතිවරණ පැවැත්වීම වැනි අනෙක් කටයුතු සඳහා කොතරම් මුදලක් ඉතිරි වන්නේ ද යන්න ගැන පැහැදිලි අදහසක් අපට ලබා ගත හැකි ය.

 

RS 1

වගුව 1 : 2014 -2021 සමස්ත බදු ආදායමට සාපේක්ෂව වැටුප් (S) සහ විශ්‍රාම වැටුප් (P)

මුලාශ්‍ර : මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය
 
 
2020 සහ 2021 වර්ෂවල වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා සමස්ත බදු ආදායමෙන් සියයට 86 ක් වැය වී ඇත. මෙම වසර දෙකේ දී, රජයේ අනෙක් වියදම් සියල්ල පියවා ගැනීමට සිදුවුයේ බදුවලින් ඉතිරිව තිබු රුපියල් බිලියන 200 කට අඩු මුදලින් සහ බදු නොවන  ආදායම් සහ ප්‍රදාන මගින් ලැබුණු ඒ හා සමාන මුදලකිනි.

සංසන්දනාත්මකව බලන විට 2017 දී වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවූ විට බදු ආදායමෙන් රුපියල් බිලියන 900 ක් ඉතිරිව තිබිණි. මෑත වසරවල ඇති වූ හිඟය පියවා ගැනීමට, ප්‍රධාන වශයෙන් මහ බැංකුවෙන්, ආණ්ඩුව විශාල ලෙස ණය ලබාගත් අතර එයින් උද්ධමනය වේගවත් වී ය. හොඳින් පැවති වර්ෂවල පවා, ණය සේවා කිරීම සඳහාත්, රජයට අයත් ආයතනවල පාඩු පියවීමට සහ වෙනත් වියදම් සඳහාත්, ආණ්ඩුව විවිධ මුලාශ්‍රවලින් ණය ලබා ගත්තේය.

2015 දී සියයට 26 ක පිම්මත්, 2020 දී සියයට 15 ක් සහ 2019 දී සියයට 11 ත් හැරුණු විට වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමේ සමස්ත වියදම් දිගටම වැඩි වී ඇත්තේ තනි ඉලක්කමේ සංඛ්‍යාවලිනි. වැඩිම වර්ධනය සිදු වී ඇත්තේ ජනාධිපතිවරණයක් සහ ඉන් මාස කිහිපයකින් පසු මහ මැතිවරණයක් පැවති වර්ෂවලය. එබඳු වර්ෂවල දී ජනාධිපති ධුරය දිනාගත් පක්ෂ මහ මැතිවරණයේ දී මහජනයාගේ ඡන්ද දිනා ගැනීම සඳහා මහජන මුදල් බෙදා දෙයි. උදාහරණයක් ලෙස 2015 දී, සියලු රජයේ සේවකයින්ගේ වැටුප මසකට රුපියල් 10,000 කින් වැඩිකිරීම, මහපොළ දීමනා වැඩිකිරීම ආදිය සිදු වී ය.


වැටුප් සහ විශ්‍රාම වැටුප් වැඩිකිරීමේ විශාලතම පාපකර්මය කළේ 2015 දී බිහි කළ එක්සත් ජාතික පෙරමුණු කැබිනට් මණ්ඩලය යි. එසේ වුව ද, 2019 නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් පසු 2020 දී සිදු වූ දේ සමග සැසඳීමේ දී එහි ආනිශංස නරකම නැත. බදු ආදායම 2019 දී රුපියල් බිලියන1,735 ක සිට 2020 දී රුපියල් බිලියන 1,217 දක්වා පෙර නොවූ විරු ලෙස අඩු කිරීම අප අද එරී සිටින පෙර නොවූ විරූ අර්බුදයට හේතු වී ය.


අර්බුදය
 
 
වියදම් වැඩි කර  ගන්නා අතර ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඒ වන විටත් අඩු වී තිබු බදු ආදායම සියයට 30 කින් අඩුකිරීමට රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියා කිරීම නිසා, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහත හෙළීය. එම අනතුරු ඇඟවීමට සවන් නොදීම නිසා ශ්‍රේණිය තවත් පහත වැටුණි. ශ්‍රී ලංකාවට වාණිජ ණය වෙළෙඳපොළේ දොර වැසුණු අතර අර්බුදය ආරම්භ වීය. එක්සත් රාජධානියේ ලිස් ට්‍රස් සහ ක්වාසි ක්වාර්ටෙං විශාල බදු කැපීම් ප්‍රකාශයට පත් කළ විට ලැබුණු අනතුරු ඇඟවීම් වලට සවන් දුන්නේ ය. ස්වාධීන මහ බැංකුව සහ වෙනත් ආයතන ඒ රටේ ස්ථාවර බව රැක ගත්තේ ය. ශ්‍රී ලංකාවේ ස්වාධීන නොවූ මහ බැංකුව ගින්නට ඉන්ධන දැම්මේය.
 
 
 
වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් රටක සමස්ත බදු ආදායමෙන් සියයට 86 ක් අවශ්‍ය වේ ය යන්න සිතාගත නොහැකි තත්ත්වයකි. එසේ වුව ද, රාජපක්ෂලා එතනින් නතර වුයේ නැත. 2022 දී, අයවැය විවාද කොට සම්මත කළ පසුව, මුදල් ඇමති ලෙස බැසිල් රාජපක්ෂ මහතා 2022 ජනවාරියේ වැටුප් සහ විශ්‍රාම වැටුප් තවත් වැඩි කළේය. එනිසා වැටුප් සඳහා රුපියල් බිලියන 80 ක් සහ විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 40 ක්  අමතරව වැය කිරීමට සිදු විය.

2022 මැද දී බදු වැඩි නොකළේ නම්, වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වියදම සමස්ත බදු ආදායමෙන් සියයට 93 ක් පමණ වන්නට ඉඩ තිබිණි.

මෑතක දී සිදු කළ පුද්ගල ආදායම් බදු වැඩිකිරීමද නොමැතිව, 2022 පළමු මාස නවයේ බදු ආදායම රුපියල් බිලියන 1,449ක් වූ අතර එය ඊට පෙර මුළු අවුරුද්දේම ආදායමට වඩා සියයට 12 ක වැඩි වීමකි. මෙමගින් වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා වියදමේ ප්‍රතිශතය සියයට 66 දක්වා අඩු කරගනු ලැබීය. මෙය සිදුවුයේ බදු වැඩිකිරීම් බොහොමයක් 2022 සම්පුර්ණ මාස 12ට ම ක්‍රියාත්මක නොවූ තත්ත්වයක දී ය.
 
thumb

තවත් ව්‍යතිරේක ලබා නොදී, සියයට 15 ක වැට් බද්ද දිගටම පවත්වාගෙන ගියහොත්, සහ පුද්ගල ආදායම් බදු වැඩිකිරීම පැරණි ක්‍රමයේ ප්‍රතිලාභීන්ගේ ප්‍රතිප්‍රහාරයෙන් සාර්ථකව ආරක්ෂා කරගත හැකි වුවහොත්, වත්මන් සහ හිටපු රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම හැරුණු කොට, වෙනත් කරුණු සඳහා වියදම් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය ආදායම්වල සැලකිය යුතු ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි වනු ඇත.


මුදල් ගලන (cash flow) ප්‍රශ්නය  


උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමේ තම උත්සාහයේ දී, එදිනෙදා වියදම් සඳහා මහ බැංකුවෙන් ණය ගැනීමේ ක්‍රියාවලියේ නොයෙදීමට මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ වත්මන් නායකයින් අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනෙන්නට තිබේ. මේ හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීම, අවස්ථාවක දෙකක දී දින කිහිපයක් ප්‍රමාද වීම, සහ එබඳු සිදුවීම් දක්වා, භාණ්ඩාගාරයේ මුදල් ගලන ප්‍රශ්නය උග්‍ර වී ඇති බව යි.

මගේ මතකයට නැගෙන්නේ 2019 දී, වැටුප් ගෙවීමට ඔවුන්ගේ ප්‍රමුඛතාව දිය යුතු නිසා, තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ ආයතනයට අයවැයෙන් වෙන් කළ මුදල් ලබා ගැනීමට මාසයේ මුල පැමිණෙන ලෙස මට උපදෙස් ලැබුණු ආකාරය යි. දැන් තත්ත්වය කෙතරම් නරක දැයි මට සිතා ගත හැකි ය.

මෙම සන්දර්භය තුළ වැදගත් වන්නේ අවුරුද්දක් තුළ ලබාගත හැකි වෙතැයි පුරෝකථනය කරන ආදායම නොව, වැට් බදු මගින්, රේගුවෙන් සහ සුරා බදු මගින් ලැබීම් වලින් නිශ්චිත දිනෙක දී භාණ්ඩාගාරයේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය යි.


මුල්‍ය අරමුදලේ කොන්දේසි  
 
 
nWkmyVRUYRvhMjPYuVwMGwy60sncRq0ATcsa7ZdottI     


අද කවදාටත් වඩා මහජන මුදල් පිළිබඳ අවබෝධය ඉතාම වැදගත්ය. එසේ වුව ද, මෙය, ඇතැම් විට හිතා මතා ම එසේ කර ඇති, විනිවිද නොපෙනෙන සුළු විෂයයකි.
 
 
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහතිකය ලබා ගැනීමටත්, එමගින් අප වැටී සිටින වළෙන් ගොඩ ඒම ආරම්භ කිරීමටත්, ආසන්න වී ඇති බව දැනගන්නට ලැබී තිබේ. අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ලැබුණු විට අපට 2025 සඳහා ඉලක්කයක් ලැබෙනු ඇති අතර අන්තර කාලීන ඉලක්ක ද (මේ සියලු තොරතුරු මේ වන විට ප්‍රකාශ වී නැති නමුත් ණය මුදල අනුමත වීමත් සමග දැනගන්නට හැකි වෙයි) ලැබෙනු ඇත. මෙහි පහත දක්වා ඇති පළමු ඉලක්කයේ දී, රජයේ ආදායම් මෙන් ම, වියදම් සම්බන්ධයෙන් ද, තියුණු අවධානයක් යොමු වෙයි.
 
 
රාජ්‍ය මුල්‍ය ශක්තිමත්භාවයට ආධාර වන ලෙස රාජ්‍ය මුල්‍ය ආදායම් වර්ධනය කර ගැනීම. ලෝකයේ අඩුම ආදායම් මට්ටමකින් ආරම්භ කොට ප්‍රධාන බදු ප්‍රතිසංස්කරණ සඳහා වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ඇත. පුද්ගල ආදායම් බදු වඩා ප්‍රගතිශීලී කිරීම, සහ සමාගම් ආදායම් බදු සහ වැට් බදු පදනම් පුළුල් කිරීම ද, මෙම ප්‍රතිසංස්කරණවලට ඇතුළත් ය. සැලසුමේ අරමුණ වන්නේ 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3 ක් වන ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීම යි.  
 
නිදහසින් පසු බොහෝ වසර වල ශ්‍රී ලංකාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණේ නැත. 2017, 2018 වසර වල අප එම තත්ත්වය ලබා ගත්ත ද, එය සියයට 2.3 ට වඩා බොහෝ අඩු වී ය. ප්‍රාථමික ගිණුමේ අත්රික්තයක් ඇති වන්නේ නිශ්චිත වර්ෂයක් සඳහා රජයේ ආදායම, පොලී ගෙවීම් නොසලකා හැරි විට, එම වසරේ සමස්ත වියදම ඉක්මවා ගිය විට ය. සරලව කිවහොත් වර්තමානයේ සිටින සෟණ තත්වයේ සිට 2025 දී ප්‍රාථමික ගිණුමේ සැලකිය යුතු අතිරික්තයක් කරා යාමට නම් ආණ්ඩුව සෑම වසරකම ආදායම් වැඩි කර ගනිමින් වියදම් කපා හැරිය යුතු ය.

කුඩා මට්ටමේ විශ්වාසනීය දත්ත සමග කටයුතු කිරීම, මෙම ඉලක්ක සපුරා ගැනීමට වගකීම ඇති නිලධාරීන්ට සහ ඔවුන්ගේ කාර්යය නිසි ලෙස කරවා ගැනීම සහතික කරගැනීමට අවශ්‍ය අප වැන්නන්ට, යන දෙපාර්ශවයට ම වැදගත් වෙයි. අයවැය කතාවල සහ විසර්ජන පනත්වල දක්නට ලැබෙන සුරංගනා කතා වෙනුවට, අප වැඩි බර දිය යුතු වන්නේ විවිධ මුලාශ්‍ර වලින් මාසිකව / කාර්තුමය වශයෙන් ලැබෙන ආදායම් මත, සහ හැකි නම්, මාසිකව / කාර්තුමය වශයෙන් කුමක් සඳහා කොපමණ මුදලක් වියදම් කළේ ද යන්න පිළිබඳ දත්ත මත ය.                              



Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)

දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

Anida


JW

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්