සමාජ මාධ්‍ය ජාල හරහා ඉඳහිට එල්ලවන මුෂ්ඨි ප්‍රහාර හැරුණ විට,  බහුතරයක් දෙනාගේ සාධනීය සංවාද බෙහෙවින් තෘප්තිමත් ය.  



ඉතාලියේ කමල් නිරතුරුව රට පැත්තෙන් හිතන යමක් ගැඹුරෙන් දනින්නෙකි. ඔහු අමෙරිකාවේ හොප්ස්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටිව් හැන්කේගේ අලුත්ම සමීක්ෂණ වාර්තා යොමු කොට, අදහස් විමසීය. ඒ වනවිටද, මා කියවා තිබුණ එකී සමීක්ෂණ වාර්තාවේ රටේ උද්ධමනය අඩු වීම මෙන්ම, රුපියලේ  අගය ඉහළ යාමද නිරීක්ෂණය කර තිබිණ. මා කැලුම්ට යොමු කළ සටහන මෙසේය.

“ මම මේ වාර්තාව දැක්කා. ඒ ධනාත්මක වෙනසට හේතුව රටේ අති බහුතරයක් ජනතාව අරපිරිමැස්මෙන් අවබෝධයෙන් ජීවත්වීම. ජයවේවා කියමින් හැමදාම එක එකා පසුපස ගිය හුඟක් මිනිස්සු රටේ අර්බුදය නිවැරදිව තේරුම් අරන් තියෙනවා. එය විශාල ජයග්‍රහණයක්. අපට තවමත් අයිඑම්එෆ් අධාර ලැබී නැත. කිව්ආර් කේතය නිසා, ඉන්ධන බෙදා හැරීම මෙන්ම, පරිභෝජනය අඩුවුණා. කවුරුත් මදි කියලා අරගල කළේ නැහැ. ඒ නිසා ඉතිරි වූ විදේශ විනිමය වාසිය ගැන ජනාධිපති වික්‍රමසිංහවත් කතා කරන්නේ නැත. ලංකාවට මෙහෙම වුණේ මහා භාණ්ඩාගරය දන්සැලක් කිරීමෙන්. ඒ නිසා රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි. මේ අසීරු කාලයේත් දකින, පෙනෙන, විනෝද ගමන්, සංගීත සංදර්ශණ කියන්නේ වෙනම මෝස්තරයක්. නැති බැරි මිනිස්සු අකමැත්තෙන් වුණත් අරපිරිමැස්මට හුරුවී ස්වයං විනයකට අනුගතවීම අගය කළ යුතුයි. ජනාධිපති වික්‍රමසිංහ, එදා පාර්ලිමේන්තුවේදී ප්‍රහාරාත්මක නොවී ආවේනික ව්‍යක්ත ශෛලියෙන් කතා කළා නම් වඩා යහපත්ය.”

 



මා සමග එකඟ බවට කැලුම් දන්වා තිබිණ.

වරුණ නම් මිතුරා, අයිඑම්එෆ් සහාය අපේක්ෂා කරන ජනාධිපති වික්‍රමසිංහ, මෙතෙක් කල් නිෂ්පාදන ආර්ථිකය වැඩි කිරීමට සහ අපනයන ආදායම දිරිමත් කිරීමට කළේ කුමක්දැයි විමසා තිබිණ. මා “බංකොලොත් පවුලක් උවද යළි ශක්ත්මත් වීමට නම් ණයතුරුස්වීම බවත්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයට, මෙවැනි අවස්ථාවක රටේ ශක්තිය මිස පාලකයාගේ හැඩරුව අනවශ්‍ය බව කී විට, වරුණ හොටු කඳුළු පෙරෙන හිස් කබලක් පෙන්වා සිටියෙන් යළි මෙසේ ලියා යැවීමි.  

“අදට සාපෙක්ෂව යහ පාලන කාලයේ රටේ ජන ජීවිතය පීඩාකාරි නො වීය. යහ පාලකයන් ප්‍රතික්ෂේප කර, තෝරා ගත් පාලකයා ජනතාව විසින්ම එළවා දැමූ පසුබිමක, ඔබ ඇසිය යුත්තේ රනිල් කළේ මොනවාද යන්න නොවේ. රාජපක්ෂලා රටට, ජනතාවට නො කළ දේය.”

දෑත් ඔසවා ආචාර කරන ඉරියව්වක් දක්වා වරුණ මගහැර ගියේ ය. කමල් සහ වරුණ දෙදෙනාම මට කතා කළේ, පසුගිය 24 වෙනි සිකුරාදා මගේ ලිපිය කියවීමෙන් පසුව විය හැකිය.

එදිනම දළදා වීදියේදී ඉංජිනේරු වෘත්තිකයෙකු වූ සුන්දර මා දුටු සැනින් ජනාධිපති කතා කළ හැටි දැක්කාදැයි ආවේගයෙන් විමසීය. රට මෙවැනි අසීරු  තත්වයක තියෙද්දී රටේ පාලකයා මෙහෙම හැසිරෙනවාද? හෙතෙම තම ආවේගයට හේතු දැක්වීය. මොරටුව සරසවියේ ආදි විද්‍යාර්ථීයෙකු වන හෙතෙම  දිගු කලක සිට, කුඩා විදුලි බල ව්‍යාපෘතින් ඉදි කිරීමෙහි නියැළි ව්‍යාපාරික කණ්ඩායමක සාමාජිකයෙකි.  

“රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියල ඔයාට දැනෙනවද ? මගේ විමසීමෙන් සුන්දර තරමක් පසුබා ගියේය.  

“ඔය කියන විදියේ කඩා වැටීමක් රටේ තියෙනවා නම් හැම සතියේම විනෝද ගමන් යන හත් අට දෙනෙක් ගඟේ මුහුදේ ගිලිලා පෙට්ටියෙන් ගෙදර එන්නේ නෑ නේද?  එය ඇසූ සුන්දර ලාවට සිනාසී මෙසේ කීය.  

“ ඉලක්කම් පහේ හයේ ආදායම් සහ වැටුප් ලබන අය රුපියල බාල්දු වෙයි කියලා ඉතුරු නො කර ලෝබ නැතිව විනෝද වෙමින් ජීවිතය විඳීනවා. මං දන්න ඒ සමහරුන්ට හොඳ පොලියකුත් ලැබෙනවා. ඒක මතු පිටට පේන්නේ නෑ.” තමන් හොඳීන් දන්නා සමාජ ස්ථරයක පැතිකඩක් එසේ සාරාංශ කළ සුන්දර මාලිමාවෙන් මෙපිට වෙනත් විසඳුමක් නම් රටට නැත යයි කීය. විශ්වාසයෙන් මාලිමාව ශක්තිමත් කරන සුන්දරලාගේ පන්තිය රටේ හෙට දවස ගැන නිර්දේශපාලනිකව කල්පනා කළ යුතු වේ. ට්‍රිප් යන මුදලින් පර්චස් හත අටක ඕකිඩ් වගාවක් ආරම්භ කර රටට ඩොලර් මෙන්ම රැකියා අවස්ථා කිහිපයක් නිර්මානය කිරීමට උත්සාහ කරන්නැයි මම සුන්දරගෙන් ඉල්ලා සිටියෙමි.

කිසිදු විසඳුමක් නැතිව ගෙවී ගිය හය මාසය තුළ රටේ වෙනස්වන ජනතා ආකල්ප ගැන මාලිමාව මෙන්ම සජබයද අධ්‍යයනය කළ යුතුවා මෙන්ම, සිය අනුගාමිකයන් සමග කතා කළ යුතුවේ. රටේ අර්බුදය ජයගත හැක්කේ එසේය.

 



රට හැදීමට වසර දෙක තුනක් අවශ්‍ය බව පිළි ගන්නා අනුර කුමාර ඉරිදා කොළඹදී කෙක්කෙන් හෝ කොක්කෙන් රටේ බලය ගන්නා බවට සහතික විය. මේ ආකාරයෙන් රටේ බලය ඇල්ලීමට ජවිපෙ කළ උත්සාහයන් කිහිපයක් අවසන් වුණේ හොටු කඳුළු නොව රුධිරයද, හලමිනි. හේතුව කිසිදු පාලකයෙක් කැමැත්තෙන් බලය අත් නො හැරීමය. අනුරගේ කෙක්ක සහ කොක්ක පාවිච්චි කරන්නේ රනිල්ට පමණක් එරෙහිව නොවීම තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළී යනු ඇත. 88-89 කාලයේ සක්‍රිය බොහෝ කල්ලි තම ආරක්ෂාවට වාමාංශික පිරිස් විසින් මෙහෙයවූ ඒවා විය. රට මුහුණ පා ඇති තත්වය ජවිපෙට ආවේනික මේ ප්‍රවේශය යහපත් නැත. ගෝඨා ගෙනා චන්න ජයසුමන, චරිත හේරත් වැනි මහාචාර්ය පැලැන්තිය මෙන් රටට කෙළවුණ පසුව හේතු දැක්වීම හැර යමක් මා මිත්‍ර සුන්දරලාට ඉතිරි නොවේ.

කොකු කෙකි පාවිච්චි නොවූ ගෝල්පේස් අරගලයේදී මෙන් ආරක්ෂක අංශ තමන්ට පාවඩ එලතී යයි අනුර කුමාර කල්පනා කරයි. ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ නිර්දේශ දැක්වූ  කරන්නාගොඩ ත්‍රි පුද්ගල කමිටුවේ හිටපු හමුදාපති දයා රත්නායක 2015දී ජනාධිපති මැතිවරණ ප්‍රතිපලය හමුදා ශක්තියෙන් යටපත් කිරීමට මහින්ද රාජපක්ෂ ගත් උත්සාහයට එරෙහි වූ හමුදා සොල්දාදුවෙකි. ශවේන්ද්‍ර සිල්වාට තනතුරු බදු වැටුප් දුන්නේ රට ආරක්ෂා කිරීම සඳහා ය. ආරක්ෂාව යන්නට මිනිමරුවාගේ රැකවරණයත් ඇතුළත්ය. ෂාප්ටර් මරණ පරීක්ෂණය ගැන පාර්ලිමේන්තුවේදී  මන්ත්‍රී එරාන් වික්‍රමරත්න කීවේ රටේ නීතියක් විනයක් නැත කියා ය.  ගිය සතියේ මගේ පළමුව බාටා ... ලිපියේ ප්‍රස්තුතයද එයම විය.

 



අනුරලාගේ කෙකි කොකු ඡන්ද නැත්තම් තුවක්කුව වැනි රටේ නීතිය හා සාමයට අවනත මිනිසුන්ට ඍජුව කළ තර්ජනයකි. ඡන්ද පොලට වෙඩි තැබූ සගයන් වෙඩි කෑවේ නඩු අහලාවත් නොවේ. අනුරලා මේ උත්සාහය කැලෑ නීතිය කැඳවා ගැනීමටද? 1967දී ධර්මසේකර සමග කැළනි සරසවි කැන්ටිමේදී හමු වූ දොස්තර තිස්ස නමින් පෙනී සිටි පුද්ගලයාට තව අවුරුදු සීයකින්වත් ලාංකේය සමාජය  විප්ලවයකට කැමති නොවන බවට එවකට විසි එක් හැවිරිදිව සිටි මා කී බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.

ලිපිය ආරම්භයේ කියන රටේ සාධනීය වෙනසට පාදක වූ ජනතාවගේ ශුද්ධවූ කැපවීමට මේ ගර්ජන තර්ජන  හිරිහැරයකි. අනුර කොකු කෙකි දික් කරන්නේ හාල් පොල් කිරි පිටි කඩාදීමට නොවේ. බලය සඳහා ය. ගිය සතියේ  ලිපියෙහි සඳහන් පරිදි මා සිරිමා ශාස්ත්‍රි ගිවිසුමේදී ඩඩ්ලි දැක්වූ ආදර්ශයට අනුගත වීම නායකත්ව ලක්ෂණයක් මිස, පසුබෑමක් නොවේ. ඩඩ්ලිලා 71දීත් ආණ්ඩුව තනි කළේ නැත.

 



ඊයේ පෙරේදා මාලිමා රැළියකදී මා මිත්‍ර බුද්ධදාස විතානාච්චි වලව් කාරයන්ගේ දේශපාලන භාවිතයට දුන් වටිනාකම මගේ ඉහත නිරීක්ෂණ තහවුරු කිරීමකි. අනුර සජිත් දෙදෙනාට මැදිවූ කඩා වැටුණ රටත් රටේ ජනතාවත් හුනුවටය මැදට කැඳවූ දරුවාගේ ඉරණමට ගොදුරු වී නැද්ද? අර්බුදය රනිල් නම් ඔහුට එරෙහිව ඒකරාශි වෙනවා මිස බෙදී උනුන් කා කොටා ගත යුතු නොවේ. හෙට කවුරු බලයට පත් වුණත් විපක්ෂය අනිද්දා පටන් පුරුදු සෙල්ලම පටන් ගන්නවා සිකුරුය. ගෝඨාභය ඉවත් කළ බදු ප්‍රතිපත්තිය රනිල් යළි ක්‍රියාත්මක  කිරීමට එරෙහිව  කරන අරගලය කා සඳහා ද?

 

ගෝඨාභය පළවා හැරියේ අනුර සජිත් හෝ කුමාර ගුණරත්නම් නොව රටේ ඉස්මතුවූ නිර්දේශපාලනික පීඩනය විසිනි. 53 හර්තාලයේදී  කොර ගනිල්ලා කියා ඩඩ්ගි යන්ට ගියේ කැමැත්තෙනි. රනිල් මෙන්ම ඩඩ්ලිද නැවත නැවත කැඳවනු ලැබීය. කිව්ආර් කේතය වැනි කෙටි විසඳුමකට ගියා නම් ගෝඨා තවමත් රටේ ජනාධිපතිය. 2019දී ජනතාව ආවේගයෙන් ආවේස වී ජනතාව ගත් තීන්දුව සියල්ල කනපිට හැරවීය.

 

මා මිත්‍ර සුන්දරට අනුව, ඇති හැකි අය විනෝද ගමන් යන්නේ උපයන මුදල් රුපියල අවප්‍රමාණ වීමට එරෙහිවය. නැත්තෝ වේල පිරිමසා ගන්නේ අර්බුදයට හුරු වීමටය. මාලිමා ශක්තිමත් කරන්නේ නියෝජනය ට්‍රිප් යන සුන්දරලාගේ පන්ති සගයන්ය. විපක්ෂය දේශපාලනයත් රත් වූ තැටියට දමන්නේ රොටී නොවේ. ජනතාවය. සාමාන්‍ය මිනිසාට දැනෙන පීඩාව හෝ එයින් මිදිමේ උවමනාවක් ට්‍රිප් යමින් අතල් ගන්නා සමාජයට හෝ බලයට කෑදර විපක්ෂයට නැත. අද අනුර කුමාරලා කියන කෙක්කයි කොක්කයි යනු 2019දී  වඳපෙති පාස්කු ප්‍රහාර හරහා නිර්මානය කළ ඔබයි අපේ මිනිහා වාගේ සිංදු කෑල්ලකි. 2005දී ප්‍රභාකරන්ගේත්, 2019දී සහරාන්ගේත් සහාය ගත්තේ රනිල් එළවීමටය. 2020දී ප්‍රතික්ෂේප කළ රනිල් යළිත් අභියෝගයක් වී ඇත්තේ 2019 තේරීම වැරදුණ නිසා නොවේද?

 

මේ උදාහරණය බලන්න. 2015දී රුපියල් දස දහසකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කළ රනිල්ට 2022දී  රාජ්‍ය සේවයට බදු ගහන්න සිදුවුණේ රාජ්‍ය සේවයත් මුල් වී  2019දී ගෝඨා තෝරා ගත් නිසා නොවේද? දේශපාලනිකව 2019දී කළ වරද දේශපානිකව හෙවත් ජනප්‍රිය මතයට අනුගතව නිවැරුදි කළ නො හැකිය. 1994 තෙක් ලාභ ලැබු ලංවිම, ගෙවුණ විසි නව වසරක් පාඩු ලැබීමත් ජනප්‍රිය තීරණවල අනිටු ප්‍රතිපල වේ. 1963 තෙක් ලංකාවේ ඛනිජ සැපයූවේ විදේශ සමාගම් විසිනි. එයින් හැට වසරකට පසුව, උදා වුණේ ඉන්ධන පෝලිම්වල මිනිසුන් මියගිය යුගයකි. නැවත විදේශ සමාගම් කැඳවීමේ වරද කළේ රනිල් හෝ 1963 ජනසතු කළ මැතිනිය නොවේ. වෘත්තිය සමිති මාෆීයා විසිනි.

 

ගිය සතියේ මගේ ලිපිය අවසන් කළේ පැරිස් සමාජය සහ ජි රටවල් එක්ව ලංකාව, ණය උගුලෙන් මුදවා, චීනය ලෝකයෙහි හුදෙකලා කරතී කියා ය. වීදි බසින මාලිමාව ලවා රට අවුල් කොට චීනයට අවශ්‍ය ජාත්‍යන්තර අරමුදලෙන් ලංකාව ඈත් කිරීමටය. චීනය ඈත් කර ලංකාව ශක්තිමත් කිරීමේ ජාත්‍යන්තර මැදිහත්වීම ඉන්දියාව ප්‍රමුඛ කලාපීය භූ දේශපාලන අවශ්‍යතාවයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඩොලර් කෝටි 40ක් දෙන්නේ ජනාධිපති වික්‍රමසිංහ ඡන්ද නැතැයි පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ පසුබිමක ය.  

මාලිමාව ශක්තිමත් වන තරමට අපට ලැබෙන ජාත්‍යන්තර සහාය කඩිනම් වනු ඇත. ජනාධිපති වික්‍රමසිංහ එදා පාර්ලිමේන්තුවේ එසේ හැසිරුණේ චීන හයියෙන් දඟලන මාලිමාව වියරු වැට්ටවීමට විය හැකිය. රනිල්ගේ ඒ ලණුව අතත් සමග සපා කෑ මාලිමාව කොළඹට ආවේ යක්ෂාවේශයෙනි. යම් මොහොතක් සැඟවී සිටී අනුර කුමාර ජනතාව අමතමින් කීවේ පොලිසිය සහ හමුදාව තමන් සමග බවය. ටිල්වින් සිල්වා නිවිතිගල නිමල් අමරසිංහගේ මරණයේ වගකීම පැවරුවේ  පොලිසියටය. රෝහල් ආරංචි මාර්ග අනුව, මරණයට හේතුව තෙරපීම ය. තෙරපීම ඇති කළේ ඉන්දියාව හෝ  චීනය මිස රනිල් වික්‍රමසිංහ නම් නොවේ.

භූ දේශපාලනයේ ලංකාවේ පිහිටීම ජවිපෙට වෙනස් කළ නො හැකිය. 1959දී ක්‍රැස්තෝ නිර්මානය කළ කියුබාව ගෙවුන වසර 64ක්ම තිබුණේ අමෙරිකාව දොරකඩමය. අද ක්‍රස්තෝගේ ක්‍රැස්තෝ එහි නැතද අමෙරිකාව නො වෙනස්ව පවතී.

 

රටට ජනතාවට කෙළ වුණත් රාජ්‍ය සේවයට අත තැබීම සෙල්ලම් නැත. ලාබ නැතත් බෝනස්, වැඩ නැතත් අතිකාල උවමනාය. තෙල් සංස්ථාව 2023 වසරට අතිකාල සඳහා කෝටි 360ක් ද, වැටුප් සඳහා කෝටි 1500ක් ඉපයිය යුතු වේ. සුන්දරලාගෙන් මිලට ගත් විදුලියට කෝටි ගණන් තවම ගෙවා නැති ලංවිම තෙල් සංස්ථාවටත් පොලු තබා ඇත. බදු ගහනවාටත් විරුද්ධ මාලිමාවත මේ වෘත්තීය සමිති මාෆියාවට මුහුණ දෙන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය ආයතන රටේ ආදායම හා වියදම ගලපා ගන්නා තෙක් බලා සිටිති. ආදායම හා වියදම් පරතරය සුරුට්ටු කඩයකටත් වලංගුවේ.

 

බදු ගහනවාට, බෝනස් නතර කළාට, අතිකාල කපනවාට විරුද්ධ මාලිමාවට බලය ලැබුණොත් සිදුවන්නේ චීනයට ණය වීම පමණකි. මේ වටපිටාව තුළ මාසික වැටුප් නො ලබන එදිනෙදා උපයා ගනිමින් කන බොන බහුතර  ජනතාව කරන කැප කිරීමට අගයක් ලබා දීමට රනිල් වික්‍රමසිංහ වග බලාගත යුතුවේ.




chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

Anida



 JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්