දැන් IMF විස්තීරණ ණය පහසුකම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිද්ධ වුනාට පස්සේ රනිල් මොකක් කරයිද? කවුරුත් කතාවෙන ප්‍රශ්නයක් ඒක. IMF එකෙන් එන තොරතුරුවලට අනුව මාර්තු 20 වෙනිදා ගොඩක්
දුරට වැඩේ ගොඩයයිලු. ආණ්ඩුව විශ්වාස කරන විදිහට අප්‍රියෙල් මුල් සතිය සුභදායී වෙයි වගේලු.

කොහොම හරි IMF සහනය ලැබෙනවා කිව්වට පස්සේ අලුතෙන් ෆෝම් වෙච්චි කට්ටියක් ඉන්නවා. එයාලා ගොඩ දෙනෙක් පහුගිය කාලේ සද්දේ වහලා හිටපු අය. දැන් මෙන්න ඒ අයටත් රට හදන්න දායක වෙන්න ඕනිලු. ඒ ගැන තැන් තැන්වල එක එක වර්ගයේ කතා යන්න පටන් අරන්.

පහුගිය 08 වෙනිදා පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද කිව්වේ ඒ ජාතියේ කතාවක්. මහින්දානන්ද කියන්නේ දැන් මේ අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යාංශ ටික කරගන්න බෑ වගේ කතාවක්. බන්දුල ගුණවර්ධනට තියෙන අමාත්‍යාංශ තුනෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය ගිය කාලයක් මතක නෑ කියලා බන්දුල මහින්දානන්දට කියලා. රමේෂ් පතිරණගේ අමාත්‍යාංශයට ආයතන පනස් ගානක් තියනවලු. කොහොමද ඒවා බලන්නේ කියලයි මහින්දානන්ද අහන්නේ.
මහින්දානන්ද කියන විදිහට වරප්‍රසාද ලැබෙනවා කිව්වට ඇමතිලාට ලැබෙන වරප්‍රසාදයකුත් නෑලු. ඒ අයගෙත් පඩියෙන් බඳූ කැපෙනවාලු. අනේ පව් අප්පා.  ඊළගට Man කියන්නේ අනවශ්‍ය විදිහට ඇමතිකම් වැඩි කරන්න එපා කියලා. හැබැයි විද්‍යාත්මක ක්‍රමයකට අමාත්‍ය මණ්ඩල සකස් වෙන්න ඕනිලු.

ඔයාලට මතක ඇති පහුගිය දවසක එස්බී කිව්වා කියලා News එකක් ගියා ජනාධිපති එස්බීට කතා කරලා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය බාරගන්න කිව්වා කියලා. එතනදී උසස් අධ්‍යාපන දෙනවා නම් යට එකත් එක්ක දෙන්න කියලා එස්බී කිව්වලු. යට එක කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ කියන්නේ එස්බී ඉල්ලන්නේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.

ඔය දවස්වලම රාජිතත් කිව්වේ සෞඛ්‍ය වගේ අමාත්‍යාංශයක් දෙනවා නං මේ රටේ අසරණ රෝගීන් පත්වෙලා තියන දුක්ඛිත තත්වයෙන් මුදාගන්න එයාට පුළුවන් කියලා.

 ඊළඟට ඊයේ පාඨළී IMF ණය ගැන කරපු පාර්ලිමේන්තු කතාව ඇතුලේ ඒ වගේ ඉඟියක් තිබුණද කියන සැකය රටේ රාළට තියනවා. පාඨළී කිව්වේ IMF ණය සහන ලැබිලා අපි ආයෙත් ණය ගත්තට පස්සේ තමයි අමාරුම කාලේ එන්නේ කියලා .පාඨළී ඒ කාලෙට කිව්වේ හරියට මහගිරි ඳබේ නගිනවා වගේ කියලා. එතනදී පාඨළී කිව්වේ ඒ අභියෝගය බාරගන්න සාමුහික උත්සාහයක් දරන්න ඕනි කියලයි. පාඨළී කියපු ඒ සාමුහික කියන වචනය ඇතුලේ මොකද්දෝ ව්‍යංගාර්ථයක් සැගවිලා තියනවදෝ කියලා සැකයක් රටේ රාළට ආවා.

                         

 

තවත් ඉතින් එන ආරංචිවල හැටියට වෙල්ගම සූට් මහගෙන ඉන්නවා කියනවා. ඊට. අමතරව ජොනී, රෝහිත, එස්එම්, දුමින්ද විතරක් නෙවෙයි ඇමතිකමක් අරගෙන රට හදන්න ගාමිණී ලොකුගේත් බලා ඉන්නවලු.

 ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? මොකක්ද ඔයාලට හිතෙන්නේ? IMF Loan එකෙන් පස්සේ රනිල් Full රීෂපල් එකකට යනවා කියලා ආරංචියක් යනවා. රටේ රාළත් හිතනවා රනිල් සමස්ථ කැබිනට් සංශෝධනයකට යයි කියලා. අනික රනිල්ගේ පැත්තෙන් හිතුවොත් මේක තමයි රනිල්ට වාසිදායකම වෙලාව. රනිල් බලවත්ව ඉන්න වෙලාවේ කැබිනට් සංශෝධනයක් කිරීම හැම අතින්ම රනිල් වාසිදායකයි. මොකද එතන වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ රනිල්ගේ අභිමතය. රනිල්ගේ තියන ඒ දේශපාලන උවමනාව දැන් කට්ටියට කනින්කොනින් ඉව වැටිලා වගේ. ඒක නිසා IMF ආවට පස්සේ කැබිනට් සංශෝධනයක් කරලා ඇමතිකම් වැඩි කරනවා කියන තැනට ජනමනස හදන එක කට්ටිය දැන්මම පටන් අරන්.

ඒ ගමන් තමන්ගේ කොටහත් වෙන් කරගන්නට ට්‍රයි කරනවා. ඔතනදී රටේ රාළත් පිලිගන්නවා අලුත් කැබිනට් එකක් ඕනි කියලා. අලුත් උනත් ඒක හදන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන්. අපි කැමති උනත් නැතත් එක තමයි යථාර්ථය. ඒක නිසා මේ තියන කුට්ටමම තමයි රනිල්ට අනින්න වෙන්නේ. හැබැයි අනලා හදන්නෙත් අර රාජපක්ෂලා හැදුවා වගේ දූෂිත කැබිනට් මණ්ඩලයක් නං රනිල්ගෙනුත් වැඩක් නෑ. රනිල් කරන්න ඕනි මේ ඉන්න නර පනුවෝ 225 අතරින් යමක් කරන්න පුළුවන් පිරිසක් තෝර ගන්න එක මිසක් පොහොට්ටුවේ  කට්ටිය තෝරගෙන කැබිනට් හදන  එක නෙවෙයි.
 
pg9 1
 
හැබැයි ඒකත් ලේසි නෑ. දැන් ඉන්න කැබිනට් මණ්ඩලයෙත් වැඩක් කරන හාදයෙක් අපට නං පේන්නේ නෑ. හොඳට හරි, නරකට හරි ටිකක් හරි දඟලන්නේ කාංචන විජේසේකර විතරයි. මිනිහට පොඩි ගායක් තියනවා වගේ. ඒකෙන් කියන්නේ මිනිහා හොඳයි කියලා නෙවෙයි. මොනවද ඉතින් රටේ ජනමාධ්‍ය ඇමති අමාත්‍යාංශයට ගිය කාලයක් මතක නෑ කියනවනං තවත් මොකද්ද? ඇත්තටම මොකටද එහෙම ඇමතිලා?

 
 ඊළඟට ඇමති මණ්ඩලය විද්‍යාත්මකව බෙදෙන්න ඕනි කියලත් රටේ රාළ පිලිගන්නවා. හැබැයි මේ තාක් ඉතිහාසයේ නං එහෙම උනේ නෑ. විද්‍යාත්මකව බෙදනවා කියන්නේ යහපාලන කාලේ කලා වගේ මහා මාර්ග අමාත්‍යාංශයයි, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි එකට දාන එක වගේ ගොං වැඩ නං නෙවෙයි. සමහරවිට දැන් ඒක වැරදියි කියලා තේරිලා මහා මාර්ග අමාත්‍යාංශයයි වනිතා කටයුතු අමාත්‍යාංශයයි එකට දායිද දන්නේ නෑ. ඒ වගේ ලැජ්ජා නැති වැඩ නං තවත් කරන්න එපා.
 
 

ඊළඟට ඇමති මණ්ඩලය වැඩි කරන්න ඕනි කියන යෝජනාවට රටේ රාළ කීයටවත් එකඟ නෑ. මහින්දානන්දලා මේ හිතන විදිහට ඉන්දියාවේ ආණ්ඩුව හිතුවා නං දැන් ඉන්දියාවේ ඇමතිවරු තුන් හාරසීයත් පැනලා. චීනය ඊටත් එහා. ඇත්තටම ඒවා නම් බයිලා. ඒවාට ක්‍රම වේද හදාගෙන වැඩ කරන්න ඕනි. මේ ව්‍යුහාත්මක රටාව වෙනස් කරලා නව පාලන ක්‍රම වේද එකතු කරලා ඒවාට ගැලපෙන සහ හැකියාව තියන මිනිස්සු දාගත්තොත් වැඩේ කරන්න පුළුවන්.
අමාත්‍යාංශයක වැඩ කියන්නේ ඇමති තනියෙන් ඔක්කොම අතපත ගාන එක නෙවෙයි. ඒක මහා මිනිස් ක්‍රියා කාරීත්වයක්, සාමුහික උත්සාහයක්. මේ හාදයෝ එක්ක ඒවා කරන්න බෑ තමයි.

5 2
 හැබැයි ඔය හාදයන්ටත් ආදර්ශය ගන්න කෙනෙක් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි රනිල්. රනිල් මේ රටේ ජනාධිපති. ඇත්තටම රනිල් කාර්ය බහුල නායකයෙක්. ඒ අස්සේ පාර්ලිමේන්තුවටත් එනවා. තානාපතිලා හම්බ වෙනවා. IMF එකට කතා කරනවා. ගොවි බිම්වලට යනවා. බලනකොට රනිල් නොකරන දේකුත් නෑ. ඇත්තටම පුදුම හිතෙන වැඩ කොලයක් රනිල්ට තියනවා. ක්‍රියාකාරීත්වය අනුව හිතුවොත් නං රනිල් වගේ තව 15 ක් හිටියා නං මේ ගේම ලේසියෙන් ගහන්න පුළුවන්.
 

දැන් ඔයාලට පැහැදියි ඇති කට්ටිය හදන්නේ IMF ණය ආවට පස්සේ කැබිනට් මණ්ඩලය වැඩි කරන්න ඕනි කියන මතය හෙමින් හෙමින් ජන මනසට පොම්ප කරන්න කියලා. රටේ රාළ ඒකට එකඟයි කියන එක නෙවෙයි මේ කියන්නේ.

මේ යන කතා එක්ක එහෙම එකක් වෙන්න නියමිතයි කියලයි රටේ රාළ කියන්නේ. මොකද දන්නවාද රටේ රාළ එහෙම කියන්නේ. මේකේ ඉන්නවා කොහොම කිව්වත් වැරදි විදිහටම තේරුම් ගන්න දේශපාලන ළඳරුවෝ ටිකක්. කලින් ඔහොම එකක් හරි එයාලට කියලා තියන්න ඕනි.
 
 
 ඇත්තටම ඊළගට වෙන කැබිනට් මණ්ඩල සංශෝධනය රනිල්ගේ දේශපාලන ඉලක්කයත් එක්ක ගැට ගැහෙන එක නවත්තන්න බෑ. ඒ රනිල්ගේ ජනාධිපති හීනය එක්ක සහ රනිල්ගේ රට ආර්ථික වශයෙන් ගොඩදාන හීනයත් එක්ක. ඒ ගැන රටේ රාළට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ හීන දෙකටම උපරිම සාධාරණය ඉෂ්ඨ කරන පුළුවන් විදිහේ කැබිනට් එකක් රනිල් පත් කරගන්න ඕනි. මොකද මේ හීන දෙකම එකිනෙකට සමපාත වෙනවා. එකකට වැඩිය බර තිබ්බොත් අනික අවුල් වෙනවා. ජනාධිපතිකම ගන්න කියලා ඉන්න කොල්ලටයි බල්ලටයි ඇමතිකම් දීලා හරියන්නේ නෑ. රනිල්ට එහෙම කරන්න ඕනි නම් යන්න තියන හොඳම ආකෘතිය ජාතික ආණ්ඩුවකට යන එක.
107091259 1658301922067 gettyimages 1240907474 SRI LANKA WICKREMESINGHE 
 
ඔය මොකක් හරි පක්ෂයක් එක්ක ගිවිසුම් ගත වෙලා ඒක කරන්න පුළුවන්. ජාතික ආණ්ඩුව ඇතුලේ ඔය හැම කෙනාටම ඇමතිකම් දෙන්න පුළුවන්. මදිනං පාර්ලිමේන්තුව හරහා තවත් වැඩි කරගන්නත් පුලුවන්. හැබැයි රනිල් එහෙම කරනවා නං රනිල්ට ඒක කරන්න වෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයෙන් ගෙදර යන්න බලාගෙන.
 
මොකද එහෙම උනොත් රට යථාවත් කරන වැඩේ වෙන්නේ නෑ. ඒක නිසා රටේ රාළ කියන්නේ රනිල්ට තවමත් ගැලපෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු ආකෘතිය කියලයි. ඒකට විපක්ෂය එන එකක් නෑ හැබැයි රනිල්ට පුළුවන් ඒ ආකෘතිය නොනිල වශයෙන් භාවිතා කරන්න. ඇත්තටම විපක්ෂයේ ඉන්න හැකියාව තියන මන්ත්‍රීවරු එයාලගේ කැමැත්ත මත රනිල්ගේ කැබිනට් එකට එකතු කරගැනීම වරදක් නෙවෙයි. IMF ආවොත් එයාලට ස්වයං උත්තේජනයක් එනවා කැබිනට් එකට එන්න. රනිල් ඒ අවස්ථාව පාවිච්චි කරගත්තට කමක් නෑ.

උදාහරණයක් කිව්වොත් මේ වගේ අර්බුදයක් අවස්ථාවක පාඨළී වගේ කෙනෙක්ගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඒ වගේ චරිත තවත් විපක්ෂයේ ඉන්නවා.
නම් කියන්න හොඳ නෑ. එතකොට ඔයාලා අහයි ඇයි පාඨළීගේ නම කිව්වේ කියලා. ඒකට හේතුව පාඨළීට විපක්ෂයේ කාගෙන්වත් බලපෑමක් නැති හින්දයි. සජබේ කෙනෙක්ගේ නම කිව්වොත් දන්නවනේ වෙන වැඩේ. ඒක නිසා රනිල්ට පුළුවන් මේ මාස දහ අටේ ඉළක්කයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන් සර්ව පාක්ෂික හැඩයේ ඇමති මණ්ඩලයක් හදන්න.
 
ඒක 225 ඇතුලෙන් පෙරළා ගන්න ඕනි. ඒ වගේම රනිල්ගේ ජනාධිපති සිහිනයෙන් විතැන් වෙච්චි කැබිනට් එකක් එයි කියලා රටේ රාළ හිතන්නේ නෑ.

 
 කොහොම හරි මේ දෙක අතර අතරමැදි තැනක් රනිල්ට හොයා ගන්න වෙනවා. මොකද රනිල්ට ගමනක් තියනවා නම් ඒ ගමන තවමත් වැටිලා තියෙන්නේ රටේ රාළ රනිල් ජනාධිපති වෙච්චි දවසේ කියපු පාර ඔස්සේ විතරයි. ඒ නිර්පාක්ෂික ජනාධිපති භූමිකාව සහ සර්වපාක්ෂික ආණ්ඩුකරණයක් කියන ක්‍රියාවලිය ඇතුලේ විතරයි.
 
 
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා,
 
Priyanjith Vitharana
 
 
 
 

මීට
රටේ රාළ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්