නිදහස් ජනතා සන්ධානය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හෙලිකොප්ටරය කියලා බව කවුරුත් දන්නවා.

එයාලගේ ඡන්ද ලකුණ හෙලිකොප්ටරය. හෙලිකොප්ටර් සන්ධානය හැදෙන්නේ මේ පලාත් පාලන මැතිවරණය ඉළක්ක කරගෙන. ඩලස්ගේ නිදහස ජනතා සභාවයි, විමල්,ගම්මන්පිල, වාසුලාගේ උත්තර ලංකා සභාගයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි තමයි හෙලිකොප්ටරයේ මුල්ම අයිතිකාරයෝ. හැඛැයි ගොඩවෙලා පොඩ්ඩ වෙලාවකින් ශ්‍රීලනිපය හෙලිකොප්ටරයෙන් බැස්සා. දැන් එයාලා හෙලිකොප්ටරය වෙනුවට අත දාලා අත වන වනා ඉන්නවා.

 

EFP 7874

ඇත්තටම ශ්‍රීලනිපය හෙලිකොප්ටරයෙන් බැස්සා නෙවෙයි බස්ස ගත්තා. ඒක කළේ ශ්‍රීලනිප පහල බලවේගය කිව්වොත් තමයි හරි. ඒ කියන්නේ ශ්‍රීලනිප දිස්ත්‍රික් නායකයොයි, ආසන සංවිධායකයොයි කිව්වොත් තමයි හරියටම හරි. කොහොම උනත් හෙලිකොප්ටරය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් විතරයි ඉන්න සන්ධානයක්. ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් ඉන්නවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. හැබැයි දැන් හෙලිකොප්ටරය කියන්නේ මේ දේශපාලන පොරපිටියේ තියන අබල දුබලම සන්ධානය.

 

ඇත්තටම හෙලිකොප්ටරයට මොකද්ද උනේ? මෙතනින් එහාට හෙලිකොප්ටරයට මොකද්ද වෙන්නේ? කාටත් තියන ප්‍රශ්නයක් ඒක. රටේ රාළගේ විග්‍රහයට අනුව හෙලිකොප්ටරය අභාවයට පත්වෙන්නේ දර්ශනවාදයේ තියන අභාවයාගේ අභාවය සම්බන්ධ නියාමයට අනුව නෙවෙයි. අභාවයාගේ අභාවය සම්බන්ධ නියාමයේදී පැරණි යල්පැන ගියදේ අභාවයට යන්නේ අලුත් හොද දේට උපත දීලයි. හෙලිකොප්ටරය අභාවයට යන්නේ තිබුණ හොඳ දේත් විනාශ කරලයි.

හෙලිකොප්ටරයේ විනාශයට පළවෙනි හේතුව විදිහට රටේ රාළ දකින්නේ හෙලිකොප්ටරයට අනන්‍ය මතවාදයක් නැතිවීමයි. නිකං හිතුවොත් එජාපයට මතයක් තියනවා. ඒ ලිබරල් මතවාදය. ඊළඟ පොහොට්ටුවට උනත් මතයක් තියනවා. ඒක රාජපක්ෂලාගේ වැඩවසම්වාදය වෙන්න පුළුවන්. හැඛැයි තවමත් ඒ පක්ෂය ඒ මතවාදය නියොජනය කරනවා. සජබයට තියෙන්නේ සජිත්ගේ වැඩවසම් ප්‍රේමදාස තියරිය තමයි. හැබැයි සජබ සාමාජිකයා ඒක මෝඩ විදිහට හරි භක්තියෙන් පිලිගන්නවා. ඊළගට ජවිපෙ මතය වාමාංශික මතය කියලා තමන්ගේම බලවේගයට තහවුරු කරන්න ජවිපෙට පුළුවන් වෙලා තියනවා. ශ්‍රීලනිප පාක්ෂිකයා තමන්ගේම මතය විදිහට පිලිගන්නේ බණ්ඩාරනායක හදුන්වලා දුන්න මැද මාවතේ මතවාදය. මේ මතවාදවල අඩුපාඩු තියෙනවා බව ඇත්ත. ඒත් ඒ පක්ෂ ඒ මතවාද නියොජනය කරනවා කියලා Brand වෙලා තියනවා. ඇත්තටම නිදහස ජනතා සන්ධානයට එහෙම මතවාදයක් නෑ.

 

ඒක මතවාදී අච්චාරුවක්. විමල්ලා, ගම්මන්පිලලා තවමත් ඉන්නේ සුපුරුදු ජාතිවාදී මතයේ. වාසුලා. ඩිව්ලා, තිස්ස විතාරණලා සුපුරුදු දියාරු වාමාංශික මතයේ ඉන්නවා. ඩිලාන්ලා පෙඩරල් මතය නියෝජනය කරන අය, ඩලස් තවම තමන් නියෝජනය කරන මතය මොකද්ද කියලා දන්නේ නෑ. ඇත්තටම ඉතින් ඒක අච්චාරුවක් නෙවෙයිද? හෙලිකොප්ටර් සන්ධානයේම එක කණ්ඩායමක් දරන මතයට විරුද්ධ මතයක් තමයි අනිත් කණ්ඩායම දරන්නේ. ඊළඟ එක තමයි අනිත් සියලුම පක්ෂවලට බලවේගයක් ඉන්නවා. ඒක ලොකු හරි පොඩි හරි වෙන්න පුළුවන්. එයාලට කියලා බලවේගයක් තියනවා. හැබැයි හෙලිකොප්ටයට එහෙම බලවේගයක් නෑ. ඇත්තටම හෙලිකොප්ටර්කාරයෝ හරියට මුහුදු මංකොල්ලකාරයෝ වගේ ජාතියක්. කොහෙන් හරි මනාප ටිකක් මංකොල්ල කන්න තමයි හදන්නේ. ඔය හෙලිකොප්ටරයේ ඉන්න සියලු දෙනාම රාජපක්ෂලාගේ හොරි කහලා, රෙදි හෝදලා, කකුස්සි හෝදලා රාජපක්ෂලාගේ අනුකම්පාව දිනාගෙන පොහොට්ටුවෙන් මනාප ටිකක් මංකොල්ල කාපු අය.

 

mangala

එහෙම නැති බලවේගයක් ඩලස්ට මාතර ඉන්නවද? නිකං උදාහරණයක් විදිහට ඩලසුයි, මංගලයි සන්සන්දනය කළොත් මංගල නමින් බලවේගයක් මාතර හිටියා. සමහරවිට තවමත් ඇති. මංගල ශ්‍රී ලංකාද යූඑන්පීද කියලා ඒ බලවේගයට අදාල වුනේ නෑ. මංගලගේ ජයේදී වගේම පරාජයේදී මංගලත් එක්ක ඒ බලවේගය හිටියා. ඩලස්ට කෝ එහෙම බලවේගයක්. ඩලස්ට මහින්දලා ළඟ ඉන්නකොට බලවේගයක් පෙන්නන්න පුළුවන් වුනාට දැන් ඩලස්ට ඒක කරන්න බෑ. දැන් මහින්දලාටවත් ඒක කරන්න බෑ. මහින්දලා දාලා ගිය බලවේගය ඩලස් ලගට ඇවිත් නෑ. එයාලා බහුතරය ගිහින් තියෙන්නේ ජාජබයට. ඩලස්ටත් එහෙම නං චන්න ජයසුමනලා ගැන කවර කතාද? ඇත්තටම රටේ රාළ වගකීමෙන් කියනවා ඩලස් එක්ක එලියට බැහැපු කණ්ඩායමේ බහුතරයක් දැන් ඩලස් එක්ක නෑ කියලා. ඒ කණ්ඩායමෙන් ඩලස් එක්ක ඉන්නේ තුනක් නැත්තං හතරක් විතරයි. අනිත් අය ඩලස් එක්ක එකඟතාවයක නෑ.

 

ඒක නිසා අද හොලිකොප්ටරය ඇතුලේ කට්ය ඉන්නේ දෙතුන්දෙනාගේ කුඩා කණ්ඩායම් විදිහට කල්ලි ගැහිලා. අනිත් පක්ෂවලට අපි කැමති උනත් අකමැති උනත් එලියට පෙන්නන්න නායකත්වයක් තියනවා. කවුද හෙලිකොප්ටරයේ නායකයා. ඩලස්ද, ජීඑල්ද, විමල්ද, වාසුද? රට පිලිගන්න තියා ඔය කිසිම කෙනෙක් නායකයා වෙනවට ඔය සන්ධානයේ අනිත් අයටවත් කැමති නෑ. පොදු අරමුණක්, ප්‍රතිපත්තියක්, ඉළක්කයක්, මතවාදයක්, බලවේගයක් සහ නායකත්වයක් හෙලිකොප්ටරයට නෑ. සන්ධානයක් විදිහට අරමුණක් නැතිවුනාට හැබැයි ඔය මන්ත්‍රීවරු ඔක්කොටෝම එක පැහැදිලි අරමුණක් තියනවා. ඒ තමයි කොහොමද ඊළඟ පාරත් පාර්ලිමේන්තුවට රිංගා ගන්නේ කියන ඒකායන අරමුණ. ඇත්තටම එහෙම හීනයක් තියන එකේ කිසිම ප්‍රශ්නයක් නෑ .හැබැයි ඒක සැබෑ කරගන්න ඕනි ජනතාව අතරට ගිහිල්ලා, ජනතාවත් එක්ක වැඩ කරලා, ජනතාවගේ ආදරය දිනාගෙන. හැබැයි එහෙම සැලැස්මක් හෙලිකොප්ටර්කාරයින්ගේ නෑ.

 

එයාලා කරන්නේ යමක් තියන තැනක් දැක්කොත් එතනින් ගොඩිය පිටින් මංකොල්ල කන්න හදන එක. මල නොතලා රොන් ගන්න සිස්ටම් එක එයාලා දන්නෙම නෑ. එයාලා හදන්නේ රොන් අරන් යන්න නෙවෙයි මල් ගහ පිටින් අරන් යන්න.

ශ්‍රීලනිපය සහ හෙලිකොප්ටරය අතර ඇති වුණ සන්ධානයටත් උනේ එහෙම දෙයක්. එයාලා සැලසුම් කළේ ශ්‍රිලනිප බලවේගය හොලිකොප්ටරය විදිහට භෞතීස්ම කරලා ගෙඩිය පිටින් තමන්ගේ සාක්කුවේ දාගන්න. ඇත්තටම විමල්ලටත් වැඩිය නරක විදිහට ඒ වැඩේ කරන්න හැදුවේ ඩලස්ගේ කණ්ඩායම. ශ්‍රීලනිපය පලාත් පාලන මැතිවරණයේදී කොට්ඨාශ ප්‍රමාණයක් දිනලා මන්ත්‍රීවරු ප්‍රමාණයක් පත්කරගන්න පුළුවන් තැන් තිබුණා. එයාලා ඒ තැන් බ්ලොක් කරලා හෙලිකොප්ටරයට ගන්න හැදුවා. අන්තිමට බලනකොට එයාලා ශ්‍රීලනිපයට ඒ අවස්ථාව නොදී හෙලිකොප්ටරයෙන් දාන්නෙත් ශ්‍රිලනිප අපේක්ෂකයාමයි. ඊට අමතරව එයාලා ගන්න ජන්ද ප්‍රමාණයට අනුව අනුපාතයට මන්ත්‍රීධුර ප්‍රමාණයක් එනවා. ඒ මන්ත්‍රිවරු පත් කිරීමේ බලය තිබුණේ තනිකරම ඩලස්ලා අතේ. ඩලස්ලා හැදුවේ අනුපාතයට එන මන්ත්‍රීධූර ටිකට තමන්ගේ අය දාගන්න.ශ්‍රීලනිප ජන්දවලින් හෙලිකොප්ටර් මන්ත්‍රීලා හදාගන්න.

 

jhfd

එතකොට වෙන්නේ ශ්‍රීලනිපයට බිමක් නැති වෙනවා. ඊට පස්සේ ඒ මන්ත්‍රීවරු ටිකම පාවිචිචි කරගෙන මහ මැතිවරණයත් හෙලිකොප්ටරයෙන් ඉල්ලනවා. අඩුම ගානේ දිස්ත්‍රික්කයකින් එක මන්ත්‍රීධූරයක් ආවත් ඒක දිනන්නේ ශ්‍රී ලංකාකාරයෙක් නෙවෙයි දැන් දිස්ත්‍රික්කයේ ඉන්න හෙලිකොප්ටර් මන්ත්‍රී. ඇත්තටම ඒක මහ හිරිකිත කුමන්ත්‍රණයක්. ශ්‍රීලනිපයේ බලය අල්ලන කරපු Third class කුමන්ත්‍රණයක්. ඒ වෙනුවෙන් ශ්‍රිලනිප මහ ලේකම් දයාසිරිට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාලට ලොකු දොල පිදේනියක් දුන්නා. දොල පිදේනියක් කියලා රටේ රාළ කියන්නේ පඩුරු පාක්කුඩම් ගැන නෙවෙයි. ශ්‍රීලනිප බලය දයාසිරිට සහ තිලංගට අරන්දීම තමයි දොල පිදේනිය. ඇත්තටම ඒ කුමන්ත්‍රණය හෙලිවෙලා තියෙද්දිත් තවමත් දයාසිරිලා, තිලංගලා ලැජ්ඡා නැතිව හෙලිකොප්ටරයේ ලැඟගෙන ඉන්නවා. ඒක නිසා රටේ රාළ කියන්නේ දේශපාලනයේ කිසිම සදාචාරයකට අහු නොවෙන අශුද්ධ සන්ධානයක් තමයි නිදහස ජනතා සන්ධානය කියලා කියන්නේ.

 

කොහොම උනත් රටේ රාළ කියන්නේ දැන් හෙලිකොප්ටර්කාරයින්ට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒ ලබන පාර තරඟ කරන්න මහ පක්ෂයකට හේත්තු වෙන එක. කට්ටිය දැන් පුද්ගලිකව ඒකට උත්සහ දරමින් ඉන්නේ. ඒක නිසා හොලිකොප්ටරය ඇතුලේ දැන් තියෙන්නේ My Self විතරයි. හෙලිකොප්ටරය හදනකොටම කතාවක් ගියා හෙලිකොප්ටරය කවදාහරි දවසක මැදමුලනට කඩාගෙන වැටෙනවා කියලා. රටේ රාළ අද ඒ කතාවට සංශෝධනයයක් එකතු කරනවා. හෙලිකොප්ටරය කඩා වැටෙනවා.ඒක ස්ථිරයි. ඒත් එක වෙන්නේ මෙහෙම. හෙලිකොප්ටය උඩු ගුවනේදී පුපුරලා යනවා. ඒ පුපුරා ගිය සුන්බුන් මැදමුලනටයි, සිරිකොතටයි, සජබ මූලස්ථානයටයි කඩාගෙන වැටෙනවා. පොඩි පොඩි කෑලි දෙකතුනක් ජාතික ජන බලවේගය පැත්තටත් විසිවෙයි. ඒ ගැන සැකයක් තියනවා නම් අද දිනය දාලා රටේ රාළ කිව්වා කියලා ලියලා තියාගන්න.

 

හරි එහෙනම් ගිහින් එන්නම්.


ජයවේවා.


Priyanjith Vitharanaමීට
රටේ රාළ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)



 

JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්