මහාචාර්ය ශ්‍යාම් බන්නහැකට අනුව අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමට යෝජනා කරන්නේ සිය බදු විරෝධි සටන මර්ධනය කිරීම සඳහා ය.

යහපතක් නො පිටට දැකීමත් කාලකන්නිකමකි.  

ආණ්ඩුවේ යටි අරමුණ අරගල වර්ජන මර්ධනය කිරීම වුවද, පාතාලයන් ලවා ගස්සවනවාට වඩා වැදගත්ය. රනිල් මේ කරන්නේ අරගල වර්ජන මර්ධනය නොවේ. රට විනාස කළ ජනප්‍රිය මත පරාජය කිරීමය. රනිල් වික්‍රමසිංහගේ රටේ බහුතරයකට හිතකර පිළිවෙත සුළුතරයකට අයහපත්ය.

යහ පාලන කාලයේ ගෝඨාභය රජයේ මුදල් සොරාගෙන මව්පියන්ගේ සොහොන් තැනීමට එරෙහි පරීක්ෂණ ගැන එක් ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් මේ මිනිහාට මෙහෙම කරන්න වටිනවාද කියා විස්සෝපයෙන් විමසීය. ගෝඨා වෙනුවෙන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කිරීමට විශේෂඥ සහාය දුන් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ද ඊට දෙවෙනි නැත.

 

102287855 460138918

වෘත්තිකයන් රට ගැන හිතන්නේ මෙහෙම නම් අරක්කු කාලට බත් මුලට රාජපක්ෂලාට කතිර ගැසීමත් සාධාරණය. ඒ ජනප්‍රිය මතය රටේ විනාසයට හේතු විය. 2005දී රනිල් වෙනුවට රාජපක්ෂලා තෝරා ගැනීමට ජනතාව මෙහෙය වූ ජවිපෙය දැන් රාජපක්ෂලාගේ වංචා දූෂණ සෙවීමට බලය ඉල්ලති. නිදහස් ලංකාවේ ජාතික දේශපාලනය කළේ ජනතාව බලය ලබා ගැනීමට ජනතාව රැවටුවා මිස, රටට කළ දෙයක් නැත. රනිල් සිය දේශපාලනය පුරාම තුළ තෝරා ගත්තේ ජනතාව අකමැති එහෙත්  රටට වාසිදායක දේය.

 

චරිතවලට වසීවූ රටේ බහුතරය, හැමදාම එක එකාට රැවටිණ, 56දී බණ්ඩාරනායක වික්කේ ආගම සහ භාෂාවය. 1966 ද්‍රවිඪ භාෂා විධිවිධාන පනතට එරෙහිව රටේ ජාතිවාදය පතුරවා 70දී රට ඇල්ලීමට ශ්‍රීලනිපයට වඩා ඇන්.ඇම්ලා කොල්වින්ලා කුමන්ත්‍රණ කළේය.

කැකිරි පිපිඤ්ඤා ගුරු සංහතියෙන් රටේ අධ්‍යාපනය මුදා ගත් රනිල්ගෙන් අහන්නේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කෝ කියාය. රුපියල් දස දහසක වැටුප් වැඩි කිරීමත්, ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථීර තැම්පතු පොලිය ගෙවීමත් යටපත් කිරීමට, වඳ කොත්තු කතා හරහා ජනාධිපති කළ ඔබයි අපේ මිනිසා නිදහස ලබා උදා වූ 75 වෙනි වසරට ලංකාව මිහිපිට අපායක් කළේය. රනිල් ඒ අපාය එක් වසරක් තුළ සාඩම්බර රටක් ලෙස  යළි ගොඩ නගමින්  සිටියි.

අයිඑම්එෆ් විවාදයේදී රනිල් ඉල්ලා සිටියේ එක්ව වැඩ කරමු කියාය. සජිත් කියන්නේ අපි අයිඑම්එෆ් ගියාට කැමතියි පොහොට්ටුව ඊට සහාය දෙන නිසා විරුද්ධයි කියාය. අනුරට අනුව රනිල් එක් වසරක් තුළ රට වෙනස් කිරීම මනෝ විකාරයකි.

2023 අප්‍රේල් වලින් අවසන්වූ එක් වසරක කාලය නිදහසින් පසු ගෙවුණ 75ස් වසරක ඉතිහාසය සමග විමසීම හොඳම කියවීම නොවේද?  ඒ 75 වසරක ඉතිහාසයට ජවිපෙය කැරළි දෙකද ඇතුළත්ය. ඉන්ධන හිඟ වුණේ ඩොලර් නැතිවය. ලැබුණ ඉන්ධන ප්‍රමාණය බෙදා ගැනීමටවත් දැනුමක් ගෝඨාට  හෝ වියත්මගට නො තිබිණ.

 

pp


අද පණ්ඩිකම් කියන ගොඩහේවාලා, චරිත හේරත්ලා, ඩලස් අලහප්පෙරුමලා, ජී.එල්. පීරිස්ලා එදා මීක් කීවේ නැත්තේ ජනාදරයෙන් ඔටුණු පැළඳි රාජපක්ෂ පවුලට බියෙනි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී පැය හතලිස් අටක් තුළ රටේ ඉන්ධන බෙදා හැරීම විධිමක් කළේය. වසර තුනක් වැසී පැවති පාසල් ආරම්භ කළේය. ඒ රනිල්ට විපක්ෂය කියන ආකාරයට ජන වරමක් නැත. ජන වරම යනු අරගල වෘත්තිය සටන් නම් පාසල් වසා දැමුණේත් මිනිසුන් ඉන්ධන පෝලිම්වල මැරුණේත් ඒ ජන වරම විසිනි. ජන වරම කුමක්දැයි හැදෑරිය යුතුව තිබේ.

එක් වසරක් තුළ ආර්ථිකය කෙළින් කළ රනිල්ට එරෙහිව මේ පෙළ ගස්වන්නේ 74 වසරක් පුරා නිදහස් ලංකාවට විනාසය කැඳවූ ඊනියා ජන වරමය. ඇත්තම කියයි නම් රනිල්ට රාජ්‍ය පාලනය මිස දේශපාලනය තේරෙන්නේම නැත. නිදහස් ලංකාවේ 75 වෙනි වසරේ ආරම්භය සමග  විධායක ජනාධිපති පස්සා දොරෙන් පළා යාම ඛේදවාචකයකි. රනිල් ආපසු 2018ට රට ගෙන ගිය රට විපක්ෂය සහ වර්ජකයන් 1953 හර්තාලයට ගොදුරු කිරීමට වළි කති.

 

338495739 589987836431537 7007446116516375282 n

පසුගිය 26 වෙනි බදාදා ලංකාදීපයට අනුව, ලෝක ආහාර උද්ධමන ලැයිස්තුවෙන් ලංකාව ඉවත් කළේත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරහා ස්වාධීන කොමිෂන් සභා නැවත ගෙනාවේත් විපක්ෂය කියන ජන වරමක් නැති රාජ්‍ය පාලකයා විසිනි.  

ඉල්ලීම් කල් දමා උත්තර පත්‍ර බලන්නැයි මානව හිමිකම් කොමිෂම කියයි. බන්නහැක කියන මර්ධනය දස ලක්ෂයක් දරුවන් වෙනුවෙන් පෙනී සිටීම නම් සැබෑ ජන වරම සතු රනිල් වෙතය. අරගලය අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක යනු රටේ යහපතට ඔබින පාලන ක්‍රමයක් නම්  තරුණ රනිල් කියවිය යුතුවේ.

අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් කිරීම හරහා උසස් පෙළ විභාග ප්‍රතිපල කඩිනම් වීමත් ඊළඟ විභාගයට දින නියම වීමත් යනු හෙට දවස පිළිබඳ කතාවකි. එය සුළු පටු ජයග්‍රහණයක් නොවේ. මේ ප්‍රවේශයට වින කටිමින් ආණ්ඩුව මට්ටු කිරීමට පාලකයෙක් ඉඩ දෙන්නේ නැත. වෘත්තිකයන්ගේ වැටුපෙන් බදු ගැසීම විය යුත්තකි, සාමාන්‍ය ජනතාවගේ බත් පතේ බනිස් ගෙඩියේ හාල් කිලෝවේ මිල ඉහළ යාම නො විය යුත්තකි.

 

පාලනයට එරෙහි  වර්ජන තර්ජන මෙන්ම අනාචාරයත් තවත් මිනිස් හැසිරීමකි. මිනිස් හැසිරීම් පිළිබඳ හොඳ නරක තීන්දු කරන්නේ මිනිස් සමාජය විසිනි.

 

අනාචාරය අපරාධ වරදක් නොවේ. එහෙත් සමාජ සම්මතය විසින් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන්නකි. ස්ත්‍රියක හා පුරුෂයෙකු එක්ව රමනය කිරීම නම් ක්‍රියාව මිනිස් අයිතියකි. ඩැනී එ. සිල්වා සහ තවත් අය නම් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව, පොලිස් වැටලීමකදී ලැගුම් හලක සිට අත් අඩංගුවට පත් ජෝඩුවක් තමන් මෙසේ හමු වී කොහේ හෝ තනිවී සතුටෙන් ගත කරන බව පිළි ගත්හ. එහෙත් එකී පුරුෂයා පොලිස්  අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට මහේස්ත්‍රාත් නියෝගයකින් රිමාන්ඩ් කෙරිණ. අත් අඩංගුවට පත් තැනැත්තා තම මූලික අයිතිවාසිකමක් කඩ වී යයි ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය. නඩුවේ වගඋත්තරකාර පොලිසිය කියා සිටියේ එල්ටීටීඊ බවට සැක කළ පෙත්සම්කරුගේ අනන්‍යතාව තහවුරු නොවූ නිසා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ  බව ය. එහෙත්  අධිකරණ වාර්තා අනුව ඔහුට චෝදනා කර තිබුණේ ගණිකා නිවාසයක් පවත්වා ගෙන යාමය. ශ්‍රේෂ්ඨාධිකරණය ගණිකා නිවාස ආඥා පනතේ චෝදනාව තහවුරු නො කළ නිසා පෙත්සම්කරුගේ වාසියට තීන්දුව ප්‍රකාශ කළේය. නඩු තීන්දුවේ දෙවන නිරීක්ෂණය අනුව, ගැහැනියක හා මිනිසෙකු ලැගුම් හලක සිටීම මත අත් අඩංගුවට ගත නො හැකිය. මේ අනුව අනාචරය අපරාධ  වරදක් නොවුවද, වෛවාහක නීතිය අනුව, තම බිරිය හෝ සැමියා සමග අනාචාරයේ හැසිරුණ බවට ඔප්පු කිරීමෙන් දික්කසාදය පමණක් නොව, අනාචාරයට සම්බන්ධ තුන්වෙනි පාර්ශවය දික්කසාද නඩුවේ සම විත්තිකරුවෙකු කර වන්දි ලබා ගත හැකි තරමට අනාචාරය බරපතල වේ.

තම අත ඇති යෂ්ටිය නිදහසේ ලෙලවමින් පාරේ ගමන් කිරීමට ඇති අයිතිය පවතින්නේ ඒ යෂ්ටියේ කෙලවර තවකෙකුගේ නාසයේ නො ගැටෙන තාක් පමණකි. ඒ අර්ථයෙන් අධ්‍යාපන සේවය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමට කා කරන්නේ සිදුවුණේ බන්නහැකලාගේ වර්ජනය අරගලය අයිතිය රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියට අනියමින් හෝ අභියෝගක්ව ඇති නිසාය. බන්නහැකලා එක්කෝ විභාග වැඩ කළ යුතුවේ. එක්කෝ අධිකරණයේ පිහිට පැතිය යුතුවේ.

 



අධ්‍යාපන සේවය අත්‍යාවශ්‍ය සේවයක් කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය අතුළත් හඬ පටය ගැන වඩාත් උනන්දු වන්නේ වර්ජන හේතුවෙන් දින රහිතව කල් යමින් පවත්නා උසස් පෙළ විභාගයට පාඩම් කරන සහ උසස් පෙළ ප්‍රතිපල අපේක්ෂාවෙන් බලා සිටින දස ලක්ෂයකට ආසන්න දුවා දරුවන්ය.

විභාග ක්‍රියාවලිය යථාවත් නොවීම හේතුවෙන් තම ළමා කාලය මෙන්ම හෙට දවස පිළිබඳ අපේක්ෂාවන්ද අහිමිව සිටින 18 හැවිරිදි දරුවෙකු ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශය ඇසූ සැනින් මහ හඩින් හොඳ වැඩේ කිය. ඒ දරුවාගේ කෑ ගැසිල්ල ඇසූ පියා ඊට හේතු විමසා ලාවට සිනාසිණ. හතළිස් පස් හැවිරිදි දරුවාගේ පියා යනු 1988-89 කාලයේ පන්ති කාමර වලින් පිටතට ගෙන මහ පාරට බස්සවා පලා බබා අපට එපා කියන්නට බල කිරීමට ලක්වූ එකොළොස් හැවිරිදිව සිටි පාසල් ශිෂ්‍යයෙකි. එදා තමන් වෙඩි නොකා බේරීම ගැන අදටත් ඔහුට ඇත්තේ ඇඟ සලිත වන තැති ගැන්මකි.

බන්නහැකට අනුව රටේ අධ්‍යාපනය එදා අත්‍යාවශ්‍ය සේවයක් කළා නම් මේ රට කොපමණ වෙනස්ද? අධ්‍යාපනය නිර්බාධිතව ලබා ගැනීමට ඇති අයිතිය සදාචාරාත්මක නොව නෛතික විය යුතු බව පාසල් වියේදී ජවිපේ පීඩනයට ලක්වූ ඒ පියා දැඩි සේ විශ්වාස කරයි. වර්ජකයන්ට අනුව ඒ පියාත් හොඳ වැඩේ කී දරුවාත් රනිල්ට කඩේ යන අපතයන් වි හැකිය.

මේ සංසිද්ධියේදී රනිල් රටේ භාර කාරයා බවටත් වර්ජකයන් රටේ විනාසයේ පුරෝගාමින් බවටත් සමාජය තීන්දු කරනු නො කරත්ද? අනාචාරය සහ වර්ජනය අතර ඇති වෙනස තීන්දු කිරීමේ පරම අයිතිය වඩාත් පැවරී ඇත්තේ ජන සමාජයට මිස අධිකරණයට නොවන බව ඩැනී එ. සිල්වා සහ තවත් අය නඩු තීන්දුවෙන් පැහැදිලි වේ. පවත්නා වෘත්තික අරගලයට නව යොවුන් දරුවන් කිසිසේත් සුබ පතන්නේ නම් නැත. රටට යහපත් ජන මතය කුමක්ද? එය තීරණය කරන්නේ ඒ දරුවන් විසිනි.

රටේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නීතිගත කර තිබුණා නම් පාරේ කෑ මොර දෙන ජෝෂප් ස්ටාර්ලින්ලා ජයසිංහලා ගුරු සංහතියට මග පෙන්වන නායකයන් වන්නේ නැත. 1988-89 කාලයේ සරසවිවල පැවති තත්වය කුමක්ද? මතවාදිව  බෙදී දයා පතිරණගේ මරා දැමූයේ වනාතමුල්ලේ පාතාලයන් නොවේ. ඒ ඝාතකයන් ගෙන් සමහරුන් අද මහාචාර්ය වරුන්වී මේ සටන් ශක්තිමත් කරති. තවත් සමහරු රටේ පාලනය අල්ලා ගැනීමට කෙළ හලති.

ඊට සමගාමිව ගෙවුන තිස් වසරකට පෙර රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති භූමිකාව හරහා ඔහු අධ්‍යාපන සේවයට ලබා දුන් මහඟු දායකත්වය යටපත් කළ අධ්‍යාපන සිතියමෙන් මකා දැමිය නො හැකිය. ඒ ඉතිහාසය නියෝජනය කළ විද්‍යා පීඨ හරහා ගුරු සේවයට පිවිසි මුල්ම වෘත්තිකයන් වර්තමානයේ විශ්‍රාම සුවයෙන් පසුවෙති.

විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යයන කටයුතු ගැන සිසුන් පැමිණිලි කරන්නේම නැත. හේතුව ඒවා නිවැරදිව සිදුවන නිසා නොවේ. පැමිණිලි කරන්නට යාමෙන් තම විභාග ප්‍රතිපලයට කෙළවෙන නිසාය. එක් විශ්වවිද්‍යාලයක සිසුවෙකු ලියා පදිංචි නොවූ විෂයකට ඉහළ සාමාර්ථයක් ලැබී තිබිණ. ඒ ගැන කලබලවූ සිසුවා තමා එකී විෂයට ඉදිරිපත් නොවූ  බව දැන්වීය. කොවිඩ් කාලයේ ඔන්ලයින් ක්‍රමයට විභාග පැවැත්වීම පිළිතුරු පත්‍ර ස්ථානගත වීමෙන් සිදුවු මේ ආරවුල ගැන අදාල කථිකාචාර්ය වරයා වැරදිකරු කෙරිණ. අර සිසුවාගේ විභාග අංකය අපරික්ෂාකාරිව ලැයිස්තු ගත කළ සහ පිළිතුරු පත්‍ර නැතිව ලකුණු පමණක් සලකා විභාල ප්‍රතිපල නිකුත් කළ කිසිවෙකු වරදක් කරලාම නැත. මේ වරද හෙටත් සිදුවිය හැකිය. එහෙත් වරද නිවැරදි කර ගැනීමේ හැදිච්චකමක් නැති තැන පැවැත්මක් නැත. තම වාසියට කසය අතට ගෙන තම හයිය පෙන්වන මේ අයියලා රටට ජනතාවට 75 වසරක කාලය තුළ සිදු කළ හානිය නතර කිරීමේ කාලය මෙය නොවේද? මෙහිදී ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නන් සටන් කරන්නෙක් නැත.

 

බිත්තර නිෂ්පාදකයන්ට අධිකරණය පිහිට පැතීම හේතුවෙන් පොෂණයෙන් අධික බිත්තර පරිභෝජනයට සිද්ධ වුණේ කුමක්ද? එයින් පීඩාවත් පත් වුණේ ජනතාව සහ පාලකයන්ය. වෘත්තිය අයිතීන් නාමයෙන් සංවිධානය වූ කුඩා කණ්ඩායම් එල්ල කරන පීඩනය පසුපස සිටින්නේ දේශපාලන කණ්ඩායම් ය. එහෙත් 2022 අප්‍රේල් නැගිටීම යනු ජන මතය පෙළ ගැසීමකි. කිසිදු දේශපාලන පක්ෂයක සහාය අප්‍රේල් අරගලයට ලැබුණේ නැත. ගෝඨා නික්ම යන තෙක් මේ අයියලා බලා සිටියා පමණකි. හේතුව කුමක්ද? වියත්ය උගත්ය වෘත්තිකය ආදි ලෙස ධජ පතාක ඔසවා ගත් මේ කල්ලි වියත් මග නමින් වඳපෙති පාස්කු ප්‍රහාර හරහා ඇතිවූ දේශපාලන රැල්ල ශක්තිමත් කළ නිසාය. හැම ක්‍රියාවකම ප්‍රතික්‍රියාවක් වේ. හරියටම අනාචාරය අරගලය අතර සීමාව වාගේය. සැබෑ ජන මතය සද්භාවය කිසි විටෙක කිසි තැනක ප්‍රතික්ෂේප වන්නේ නැත.



chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

Anida


JW

worky sin

Follow Us

Image
Image
Image
Image
Image
Image