ප්‍රසන්න ජයකොඩිගේ භාවනාත්මක ඇවතුම් පැවතුම් විලාශය ඔහුගේ නිර්මාණකරණයේ ද කේන්ද්‍රීය ලක්ෂණයක් යී මට සිතුණේ, ඔහු සමග අද දහවල කළ කෙටි කතා බහක දී ය.

 

ජයකොඩිගේ භාවනාව හුදෙක් මතුපිට ස්පර්ශ කරන්නක් නොව ගැඹුරු දර්ශනාත්මක පදනමක ස්ථාවර ව පිහිටි එකක් බව ද මට පසක් විය. වෙනත් ලෙසකින් කියතොත් ප්‍රසන්න පර්සෙප්ටිව් (perceptive) අයෙකි. අපගේ කතාබහේ නිමිත්ත වූයේ 2020 දී ඔහු විසින් කරනට සිටි කොරෝනා ආශ්‍රිත චිත්‍රපටයට වුණේ කුමක් ද යන්න මා ලියමින් සිටින ලියවිල්ලකට සඳහනක් කෙරුමට මට තිබුණු අවශ්‍යතාවය ය.

 

තරමක කාලයක් ගෙන, චිත්‍රපටය නොකිරීමට සාමාන්‍ය හේතු කිහිපයක් ගෙන හැර පෑ ප්‍රසන්න (ඒවා මගේ ලියවිල්ලට ඕනෑවටත් වඩා ප්‍රයෝජනවත් විය) මොහොතක් නිහඬ ව සිටියේ ය. ඉන් පසු ව ඔහු කීවේ "මචං ඇත්ත මේකයි. මට ඕක කරන්න පුළුවන් ද බැරි ද කළ යුතු ද කියන ගැඹුරු අර්බුදයක මං හිර වුණා".... "මම ෆිල්ම් එක කරන්න ස්ක්‍රිප්ට් එක ලියන්නේ කෝවිඩ් ආපු ම කාලේ. මිනිස්ස්සු පට්ට බයේ පාරේ කා එක්කවත් කතා කරන්නේවත් නැති  කාලේ. මේක එතකොට සිරා දෙයක්. ඒත් මාස කීපයක් යනකොට, වැඩේ තනි කර ම ජෝක් එකක් වුණා..."... අපි ඉන්න කාලේ අපිත් එක්ක ම වෙනස් වේ වී දිග ඇරෙන දේවල් ගැන ෆිල්ම් කරන එක ලේසි නැහැ. අපි ගැන ම අපි ම ලියන දේ අන්තිම අසාර්ථක වෙන්නේ ඒකනේ මචං, නැද්ද ? අපිට අපි ව පේන්නේ නැහැ නේ .."

prasanna jayakodi

"ඔය ප්‍රශ්නේ මට සුනාමි කාලෙත් ආවා....අහ්, සුනාමි කියද්දී, .පරණ කතාවක් මතක් වුනා, කියන්න ද ? සුනාමි කාලේ ජේපීපී එක තමා මහින්දගේ ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යාංශෙ කළේ. සුනාමි ගැන ඒගොල්ලෝ චිත්‍රපට තරඟයක් තිබ්බා - හොඳ ම පිටපතට නිෂ්පාදන වියදම තෑග්ග හැටියට දෙන විදිහට. මගේ පිටපත තමා පළමු තැන දිනුවේ. දැන් හෙට නම් චෙක් එක මට දෙන්න උත්සවේ තිබුණේ, අද ජේවීපී එක ආණ්ඩුවෙන් අයින් වුණා ! සුනාමි චිත්‍රපට ප්‍රොජෙක්ට් එකත් එහෙම්ම ම නැති වෙලා ගියා !!"    

ජේවීපී එක පැත්තක තියමු; ඒ පක්ෂයේ හැටි කොහොමත් එහෙම - මගදී යනවා.-- බැවින්.

 

ප්‍රසන්න මුලින් මතු කරන්නේ ගැඹුරු කාරණයක්. එනම් සමකාලීනත්වය (contemporaneity) කලාවට නගන්නේ කෙසේ ද සහ එසේ කරන විට මතුවන මග හැරිය නොහැකි අභියෝගයක් වන සමකාලීනත්වය නිර්මාණය කරනාතුර ම (real-time) පරිවර්ථනය හා පරිනාමය වීම. මෙය ගැඹුරින් නිර්මාණයක් කරන කලා කරුවෙකු අර්බුදයට යවන තත්තත්වයක්.

la rj

 

සමකාලිනත්වය තම නිර්මාණ කේන්ද්‍රය ලෙස ගත් (හා ගන්නා) සාහිත්‍යවේදියෙක් හා නාට්‍යකරුවෙක් වන්නේ, පිළිවෙලින්, ලියනගේ අමරකීර්ති හා රාජිත දිසානායක. අමරකීර්ති කුරුළු හදවත පළ කළ කාලේ ම මා විචාරයක් රාවය පත්තරේට ලියුවා මතකයි සමකාලීන ඉතිහාසය ගැන, ඒ දෙදෙනාගේ ම කෘති ගැන සාකච්චා කරමින්.  ඔවුන් දෙදෙනා ම මගේ සමකාලීනයන් වන අතර එක මට්ටමකින් මා ඔවුන්ගේ නිර්මාණවල සම-අයිතිකරුවෙකු  ලෙස ද පෙනී සිටිනවා. ඒ සමග ම ඔවුන් දෙදෙනා සමකාලීනතත්වය කලාවට ගෙන ඒමේ දී මා දකින දේ ප්‍රොබ්ලමැතික බව ගැන ද මා මතු කරනවා. sr kjචිත්‍ර ශිල්පී සුජිත් රත්නායක විසින් මෑතක පවත්වන ලද ප්‍රදර්ශනය ගැන ද මා කල්පනා කරන්නේ සමකාලීනත්වය හා කලාව යන සංකල්පීය කෝණයෙන්. අරගලය කරන සුජිත් කරපු ප්‍රදර්ශනය විඳීම මා තුල ම අරගලයක් සිදු කළ බව මා පාපොච්චාරණය කළ යුතු ය. ඒකනෙ මා කිසිවක් නොකීවේ නොලීවේ ඒ නිසා ය. එය තාමත් මනසේ කැළතෙමින් පවතින දෙයකි.

 

ජයකොඩි මේ අභියෝගය හමුවේ, තම කෝවිඩ් චිත්‍රපටය පත්තු නොවන නිර්මාණයක් නොකර, තමාට අවංක වී,  පාඩුව ද පසෙක ලා නිර්මාණය අත හරිනවා. ඔහු ඒ ගැන තාම කට කරන්නේ දාර්ශනික ව. ජයකොඩි ගත් තීරණය වැරදි ද නිවැරදි ද කියා ඔහුට  සැකයක් නැහැ. පසු තැවීමකුත් නැහැ, ප්‍රසන්න ජයකොඩිගේ නිර්මාණ විල නිරන්තරයෙන් ම නිසල වන්නේ ඒ නිසා විය හැකියි. 




Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

28 අප්‍රේල් 2023


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්