හොරකම, ණය ගැනීම, විකිණීම අපේ රටේ අර්බුදයේ මූලික ගැටලු බව, කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය වන්නට ජාතික ජනබලවේගයේ

අපේක්ෂකත්වය ලබා දුන් රායි කෙලී බල්තසාර් රූපවාහිනි සංවාදයකදි පවසනවා.

 



ව්‍යාපාරික පසුබිමකින් දේශපාලනයට ප්‍රවේශ වන ඇය මේ කරන්නෙ අනුර දිසානායක, ජ.වි.පෙ. සහ ජා.ජ.බ. නායකයාගේ විග්‍රහය සරලව විස්තර කිරීමක්. මේ විග්‍රහය තුළ පවතින පාලනයේ නායකයන් කළ වැරදි නිසා ඒ නායකයන් වෙනස් කිරීමේ නිගමනයට එන්න පහසුයි. නමුත් අප මුහුණ දී ඇත්තේ පාලක කණ්ඩායමේ ගැටලුවකටද, නැත්නම් සමස්ත පාලන ක්‍රමයේ මූලික අර්බුදයකට නොවේද? ඒ බව අමතක කරමින් දේශපාලනය කරන්න පුළුවන් කාට ද?

 

මුතුරාජවෙල  පරිසර විනාශයක් වලක්වන්න කතා කරපු වනජීවි නිලධාරිනියකගේ රාජකාරි වගකීම අවමානයට ලක් කරමින් 'ඔක්සිජන් මොකටද?' කියන ප්‍රශ්නය අහපු දේශපාලන හෙංචයියෙක් නිසා දේශපාලනය අපගේ හුස්ම ගැනීමටත් බලපාන බව පසුගිය කාලයේ හෙලිදරව් වුණා. මේ ආකාරයේ දේශපාලනය හා ජීවිතය අතර ගැටුම් අප දන්නා කාලයේ සිට විවිධ ස්වරූපයන්ගෙන් සිදු වෙනවා. වචන වලින් පහර දෙන එවැනි සරල අවස්ථා පමණක් නෙවෙයි, වෙඩි උණ්ඩවලින් පිළිතුරු දෙන මහා සංහාරයන් දක්වා දේශපාලන භාෂාව බිහිසුණු වුණා.

 

 110873036 03d9c3f5 9378 425c a6a2 5fba7d5f34d5

ඒ නිසා දේශපාලනය ගැන දැනගන්න එක, දේශපාලනය තේරුම් ගන්න එක ජීවත් වෙන්න අතිශය අනිවාර්ය අවශ්‍යතාවක්. මේ නිසාම ජාතික ජනබලවේගයේ විග්‍රහය කුමක් වුවත්, අප අද ජීවත්වන ලංකාවේ දේශපාලනය වටහා ගන්න උත්සාහ කළ යුතු වෙනවා.

ඇත්තෙන්ම අද මේ රටේ වෙන්නෙ මොකක්ද ? ආර්ථික අර්බුදය නිසා ගැටලු ගොඩකට මුහුණ දුන්න සමාජයක් දැන් යම් කිසි නිශ්චලතාවක ගමන්කරන බවක් නිරීක්ෂණය වෙනවා. නමුත් මේ නිශ්චලතාව සත්‍යයක්ද? බාහිර පෙනුම පමණක් යම් දෙයක සත්‍ය ස්වභාවය වටහාගන්න උපකාර වෙන්නෙ නෑ. එහෙම නම්, ගැඹුරු දිය යටින් බිහිසුණු දියවැල් ගලා යන බවට අපේ අත්දැකීම් බොරු. අද අපේ සමාජයේ නිසලතාව තුළ පවතින සත්‍ය කරුණු මොනවද? ඒ ඇසුරින් අපි දේශපාලනය තේරුම් කරගනිමු.

පසුගිය අවුරුද්දෙ මහා ජනතා විරෝධයක් මැද ඉවත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ වෙනුවට පොදුජන පෙරමුණේ ඡන්ද 134කින් තෝරාගත් 'අනුප්‍රාප්තික' ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටා ඉන්න දේශපාලකයන්, නිලධාරින්, ආර්ථික විශ්ලේෂකයන් මේ වනවිට තමන් විසින් ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බව ප්‍රකාශ කරනවා.

 

172265 rcuquxgjzl 1648576695

 

එහෙත් ආර්ථික තත්වය වටහා ගන්න එතරම් අමාරු නෑ. පසුගිය වසරකට ආසන්න කාලය තුළ අධික ලෙස ඉහළ ගිය පරිභෝජන භාණ්ඩ මිල තවමත් එහෙමමයි. ඉන්ධන මිල, ගෑස් මිල සුලු ප්‍රමාණයෙන් අඩු වෙලා නමුත් ජනතාවට දරා ගන්න බැරි ජීවන බර මේ නිසලතාව තුළ කැකෑරෙමින් තියෙන්නෙ. වැටුප් වැඩි වී නැති තත්වය නිසා ඉහළ යන වියදම්වලට ජනතාව මුහුණ දෙන්නෙ සමහර අත්‍යවශ්‍ය දේ කපා හැරලා. කිරිපිටි ගන්න මුදල් නැති නිසා කහට බොන්න පුරුදු වෙලා. ඇඳුම් ගන්න බැරි නිසා තියෙන ඇඳුම්වලින් සෑහීමකට පත් වෙනවා. නමුත් බස් එකක යන වියදම, හාල් ගන්න වියදම කොහොම හරි දරාගන්න වෙනවා.

 

දැන් ආර්ථිකය ස්ථාවර කරන්න කියලා රනිල් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ගත්ත ණය නිසා ණය බර අඩු වෙලාද? ණය ගෙවන්නෙ නැති නිසා ආදායම් වියදම් ෂේප් කරගෙන ආර්ථික අමාරුකම් ජනතාව මත පමණක් පටවමින් රනිල් පාලනය ගෙන යනවා. නමුත් අවුරුද්දකට බිලියන 6ක් 7ක් ගෙවන්න වුණා නම්, මේ තත්වය හිතාගන්න බෑ. නමුත් ඒ ණය කවදා හරි ගෙවන්න වෙනවා.

 

ලංකාවේ බදු වැඩි කිරීම් ගැන IMF විශේෂ නිවේදනයක්

දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියට සුබසාධන කප්පාදු කරමින්, රාජ්‍ය ආයතන විකුණා දමමින් ගමන ඉදිරියට යන්න රනිල් සූදානම් වෙනවා. නමුත් මේ සිදුවන දේ නිසා ජනතාව වඩාත් පීඩාවට ඇද වැටීමත් ඒ පීඩක පාලනයට එරෙහිව නැගිටීමත් සිදුවන්නට නියමිත තත්වයක්. දේශපාලනයෙ සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට වුවත් ඒක පැහැදිලියි.

 

පසුගිය අවුරුද්දෙදි තමන්ට අභියෝග කළ ජනතා විරෝධය මග හැර යන්න රනිල් ජනාධිපති කළ රාජපක්ෂ පවුල සහ පොදුජන පෙරමුණේ කල්ලිය, නැවත බලය තහවුරු කරගැනීමට කල් යල් බලමින් ඉන්නවා. ජනතා විරෝධය උත්සන්න වනවිට මර්දනය කරන්න, ජනතා නායකයන් බිලිගන්න ඉලක්කයෙදි රනිල්-රාජපක්ෂ කල්ලිය එක පයින්. ඒ නිසා ඉදිරියේ දේශපාලනය අතිශය බියකරුයි. නමුත් කිසි ලෙසකින්වත් දුර්මුඛ වීමට අපට නොහැකියි. විශේෂයෙන්ම පසුගිය මහජන නැගිටීමේ අත්දැකීම ඇති කිසි කෙනකුට අසුභවාදයක් තිබිය නොහැකියි.

 

ජනතාව දේශපාලනිකව බලගැන්වීම වෙනුවෙන් වැඩ කරන තාක් පාලකයන්ට සියල්ල රිසි සේ කරගන්න ලැබෙන්නෙ නෑ. අප සමාජය වඩා යහපත් අරමුණු කරා මෙහෙයවන්න, ජයග්‍රහණ ලබන්න ධෛර්යයෙන් වැඩ කළ යුතුයි. අද දවසේ දේශපාලනය එයයි. එහිදී තමන්ගේ සැබෑ ජීවන කොන්දේසි නිසා සක්‍රිය වන, ජීවිතය ඉදිරියට ගෙන යන්න වෙන පාරක් නැති නිසා දේශපාලන අරගලය තෝරාගන්නා පීඩිත ජනතාව පිළිබඳ දේශපාලන විශ්වාසය අත්‍යවශ්‍යයි.

කුමාරස්වාමි යළි මහ බැංකුවේ අධිපති ධුරයට !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ

මතුවීමට නියමිත දේශපාලන ප්‍රතිවිරෝධය ගැන මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ, 'පසුගිය අරගලය කළේ මධ්‍යම පන්තිය... නමුත් ඉදිරියේදී පාරට එන්නෙ පහළ ආදායම් ඇති ජනතාව, එවැනි අවස්ථාවක ප්‍රචණ්ඩ ස්වභාවය මීට වඩා දරුණු වේවි. එවැනි අවස්ථාවක තත්වය පාලනය කරන එක පහසු වෙන එකක් නෑ' කියමින්.

මේ වනවිට තරුණ ප්‍රජාව රට හැර යන්න පටන් ගෙන ඇතිවා පමණක් නොව, රටේ ශ්‍රම බලකායේ දැවැන්ත ආයෝජනයක් ලෙස පවතින පුහුණු ශ්‍රමිකයන් රටහැර යාමේ වේගවත් නැඹුරුවක් තිබෙනවා. ආර්ථික අර්බුදය විසඳන්නට ණය ගන්නවා හැර විසඳුමක් නොවන පාලකයන්, මේ ශ්‍රමය ඉවත් වීමේ හානිය සමස්ත සමාජයට බව සළකා ඊට පිළියම් යෙදීමක් දක්නට ලැබෙන්නේ නෑ. පාලක කල්ලියේ අවධානය සිය දේශපාලන පැවැත්ම අරභයා ජනතාව මත කුමන හෝ පීඩාවක් පටවා ආරක්ෂක පියවරට යාම මිස දිගුකාලීනව සමාජ අර්බුදයකට විසඳුම් සෙවීම නොවන බව නැවත තහවුරු වී තිබෙනවා.

ඒ නිසා මේ වනවිට දේශපාලන වර්ධනයන් තේරුම් ගැනීමට පන්ති දේශපාලන අරගලය පිළිබඳ කියැවීම් අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් දේශපාලන නිරීක්ෂකයන් කියන්නෙ 'ප්‍රභූ දේශපාලනයට එරෙහිව නිර්ප්‍රභූ දේශපාලනය' ඉදිරියේදී සිදුවන්නට නියමිත බවයි. මේ ප්‍රභූ නිර්ප්‍රභූ කතිකාවෙන් අර නන්දලාල් වීරසිංහ කියූ මධ්‍යම පන්තියට බලපෑම් කරන්න පුලුවන්. පීඩාවට පත්වන පන්තියේ ආරක්ෂාවට, ඔවුන්ගේ අවශ්‍යතා සපුරන්න නම්, ඒ සාතිශය බහුතරයක් ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් දේශපාලන බලය පෙළගැස්විය යුතුයි. ඊට ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වැදගත් වෙනවා.

 

පීඩිතයන්ගෙ බලයකින් පාලක පන්තියේ දේශපාලනය පරාජය කරන්න දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවට හුදු බලය මාරුවක් කරන්න කැමති කණ්ඩායම්වලට අවශ්‍ය වන්නෙ සරල දේශපාලන කියැවීමකට ජනයා හුරු පුරුදු කරවීමයි. දැනට සිදුවන ආකාරයට 'ප්‍රභූ-නිර්ප්‍රභූ' කතිකාවකින් ඒ කියන්නෙ මධ්‍යම පන්තියේ දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලනය කියවා ගැනීමෙන් මේ අය කරන්න යන්නෙ මොකක් ද?

 

ඔවුන්ම කියන ආකාරයට සිදුවනු ඇත්තේ මුලු රටම මැතිවරණ ක්‍රියාදාමයකට ජන සමාජය තල්ලු කරමින්, පාලක පන්තියේ බලය සොලවනු වෙනුවට ව්‍යාජ නිර්ප්‍රභූ පාලනයකට පාර කැපීමයි.

c33cfc230a140ef71c1d7ede63bc2508451f5a0f

දේශපාලනයේ පාලක පන්තිය ගන්නා ක්‍රියාමාර්ග නිසා පීඩාවට පත්වන ජනයා රවටා ඊළඟ ආණ්ඩුවකට පාර කැපුවෙ ව්‍යාජ දේශපාලන කතිකා ඔස්සේ බලය වෙනත් කණ්ඩායමකට මාරු කිරීමෙන්. ඒ වෙනුවට පීඩාවට පත් ජනයාගේ දේශපාලනයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ග ගන්න නම්, ඒ සඳහා වන දේශපාලන කියැවීමක් අත්‍යවශ්‍ය වෙනවා.

 

අපට ඇත්තේ සියවරක් උරගා බලන ලද පන්ති දේශපාලනයේ වැදගත් න්‍යායික හා ප්‍රායෝගික දේශපාලන ප්‍රැක්සිසයයි. ඉන් මෙහා සරලමතික දේශපාලන කියැවීම් හා ඒ ඔස්සේ පනගන්වන ව්‍යාජ දේශපාලන පෙරමුණු ජනතාව නැවත නැවත දේශපාලන බොරුවලවල්වලට ඇද දමනු ඇති බව කිව යුතුයි. ඉතිහාසයේ දීර්ඝකාලීන රැවටීම් පරාජය කරමින් ජනතාව කිසියම් දේශපාලන ක්‍රියාකාරිත්වයක, සාමුහික ජයග්‍රහණ පිළිබඳ විශ්වාසයක එළඹ ඇති අපේ කාලයේ දේශපාලනය නිවැරදි කරමු. නිවැරදි දේශපාලන කියැවීමක් කරමු. නිවැරදි දේශපාලන භාවිතයකට ජනතාව අතර සටන් පාඨ ජනප්‍රිය කරමු. ජනතාව එම සටන් පාඨ කරා ඔසවන උද්ඝෝෂණයට සැරසෙමු!



The Dictator'' චිත්‍රපටය තුළ සාකච්ඡා කරන්නෙ ඒකාධිපතියන් ගැන - චන්දන  සිරිමල්වත්ත(චන්දන සිරිමල්වත්ත)
මාධ්‍යවේදී හා දේශපාලන ක්‍රියාකාරික
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(චන්දන සිරිමල්වත්ත ගේ ෆේස්බුක් පිටුවෙන්....)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්