''මාධ්‍යවේදියකු, පුවත්පත්කලාවේදියෙකු නිරතුරුවම සිතිය යුත්තේ ලිවිය යුත්තේ කුමක්දැයි යන්නට වඩා නොලිවිය යුත්තේ කුමක්දැයි යන්න ගැනය.''
- මතූර් රහ්මාන් (බංගලාදේශ්හී 'ප්‍රොතොම් ඇලෝ' පුවත්පතේ ප්‍රධාන කර්තෘ )
ලිවීමට හැකියාවක් ඇති පමණින් යම් පුද්ගලයෙකුට ලේඛකයෙකු හෝ පුවත්පත් කලාවේදීයෙකු වීමට නොහැකිය. පුවත්පත් කලාව හැදෑරීමට වඩා ඒ පිළිබඳ හරයාත්මක අවබෝධයක් ලබා ගැනීම සහ ඒ පිළිබඳව ඇසූ පිරූ තැන් ඇති බව ලේඛකයකු වීමේ, පුවත්පත් කලාවේදියෙකු වීමේ ප්‍රධානතම සුදුසුකම වන්නේය.
එසේම 'හිතලූ රචනයෙන් බැහැර වීම' පුවත්පත් කලාවේදියෙකු සතු මූලිකම සුදුසුකමකි. ප්‍රබන්ධ සාහිත්‍යයෙහි යෙදෙන ගත් කතුවරයෙකු වන්නේ නම් 'හිතලූ රචනා' කිරිමට හැකියාවන් ඇතත් ඒ හිතලූ මතින් සමාජයට යම් හානිකර තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් ඇත්තේ නම් එයද නොකළ යුත්තේය. ජාතික පුවත්පතක හෝ විකල්ප පුවත්පතක සේවය කරන්නාවු ලේඛකයකුට මාධ්‍ය සදාචාර සම්පන්න බවෙන් වියුක්ත වීමෙන් බැහැර වීමේ කිසිදු අයිතියක් නැත.
පුවත්පත් කලාවේදීන් අතරේ ප්‍රචලිත 'අතේ රෝල්' ගැසීමද පුවත්පතකට අනර්ථයක්ම මිස අර්ථදායි ඵලයක් ලබා නොදෙන්නේය.
මීට දශක කිහිපයකට පෙරතුව මේ රටේ පුවත්පත් කලාව තුළ පැවැති වැදගත් සම්භවනීය බව අද වර්තමානයේ ගිලිහී ගොස් ඇතිබව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුත්තේය.
එසේම වර්තමානයේ පවතින සියළුම ජාතික පුවත්පත් වල එහි හිමිකරුවන්ගේ දේශපාලන දැක්මෙන් ස්වල්පයක් හෝ ඇතුලත් වී ඇත්තේය යන්න බැහැර කළ නොහැකි සත්‍යයකි.
'ස්වාධීන' යැයි කිව හැකි පුවත්පත් කලාවක් මිහිපිට නැත. එසේම අදීන ජනතාවාදී යනුවෙන් හඳුනාගන්නා පුවත්පත් තුළද අදීන ජනතාවාදී චින්තනයක් නැත්තේය. එවැනි ගුණංග තිබුණේ කලකට ඉහතදී ප්‍රකාශයට පත්වු ඇතැම් විකල්ප පුවත්පත් තුළ පමණි.
පුවත්පත් කලාවේදින් බොහොමයක් යම් දේශපාලන කදවුරක් නියෝජන කරණු ලබන්නේය. එය එසේ නොවන්නේයැයි කිසිවෙකු පවසන්නේ නම් එය සාවද්‍යය. ඒ කෙසේ වෙතත් පුවත්පත් කලාවේදියෙකු සතුව යම් ස්වාධීන අනදී බවක් තිබිය යුත්තේය. එය කිසිවකුට පැහැරගත නොහැකි ගුණාංගයකි.
අපේ රටේ පුවත්පත් කලාවේ පරමාදර්ශී චරිත ඇත්තේය. එසේම රැඩිකල් අදහස් දැරූ නිර්භීත පුවතපත් කලාවේදීන්ද වූහ. පරමාදර්ශි බව සහ රැඩිකල් බව අතර දෝලනය වෙමින් ඒ අතර මැද ගන්ධබ්බ අවදියේ පසුවන්නන්ද ඇත්තේය.
ඕනෑම රටක සිව්වැනි ආණ්ඩුව ලෙස සැලකුම් ලබන් පුවත්පත්කලාවේදීන් සතු ජනමාධ්‍ය නිදහස උදෙසා දිවි පිදූවන්සේම දූෂණ, අක්‍රමිකතා වංචා ආදී ජන විරෝධි ක්‍රියාවන්ට එරෙහිව අදීනව පන්හිඳ මෙහෙයවා දිවිපිදූවන්ද පුවත්පත්කලාව තුළ ඇත්තේය.
එවන් මාධ්‍යවේදින් අතර රිචඩ් ද සොයිසා, ලසන්ත වික්‍රමතුංග ප්‍රේමකීර්ති ද අල්විස්, රෝහණ කුමාර, නිමලරාජන් වැන්නන් ද සිටියහ. දූෂිත දේශපාලනයේ අදිසි උණ්ඩයට බිලිවී දිවි පිදූ ඇතැම් මාධ්‍යවේදීන් ඇතැමුන් විසින් ගර්හාවට ලක් කරණු මා අසා ඇත්තෙමි. එහෙත් එය නිවැරදි නොවේ. කවර හේතුවක් මත හෝ අදීනව දූෂිත මැර දේශපාලනයට එරෙහිව ලියමින් පන්හිදෙන් 'සටන' දියත් කළ පුවත්පත්කලාවේදීන්ගේ දිවිපිදුම සිදු වන්නේ ජනතාවට සත්‍යයේ පණිවුඩය ගෙන යාමට හෙයින් ඔවුන්ගේ අභාවයන් කිසිවිටක අවතක්සේරු කළ නොහැක්කේය.
මෙහිදි මාගේ සිහියට නැගෙන්නේ 'ජූලියස් පුවින්ක්' නම්වූ අභීත මාධ්‍යවේදියාය. පුවත්පත්කලාවේදියාය. ඔහු මිලිටරි පාලනයට එරෙහිව සිය පන්හිඳ අසිපතක් කරගත් නිසාම දේශපාලන ගහලයින්ගේ වධ බන්ධන වලට ලක්ව මියැදුනේය.
''ඔබ පුවත්පත්කලාවට ප්‍රවේශ වන්නේ නම් ඔබ තෝරාගත යුතු මග පිළිබඳව නිවැරදිම තීන්දුව ගන්න. ඔබ ඉදිරියේ මාවත් දෙකක් ඇත. ඉන් එක් මගක් සෑදී ඇත්තේ සනීපාරකෂක මෘදු පාෂාණ වලිනි අනිත් මගමත අතුරා ඇත්තේ රළු කටුක ගල්මුල් වලිනි. ඇතැම් වට වළලා දමන ලද බිම් බෝම්බවලින්ද ඒ මග සැදී ඇත්තේය.''
ඉහත වැකිය ලෝ පසිඳු පුවත්පත්කලාවේදී 'ඇල්ඛෙයා කැමූ' ගෙනි. 'කොම්බැට්'(සටන) පුවත්පතේ ආරම්භකයා කැමූය.
මා මෙම මාර්ග දෙකෙන් අයත් වන්නේ කිනම් මගටදැයි ඔබ මගෙන් නොඅසන්න. ඇතැම්විට මා එම මාර්ග දෙකෙහිම යනු ඔබට දැකගත හැකිය. මාගේ පුවත්පත්චර්යාව ගැන මා කිසිවක් නොකියමි. එහෙත් මා ඇතැම් විට නිවැරදිදැයි යන්න පිළිබඳව විමසමින් ඔබ මා දෙස බලනු ඇත.
පුවත්කලාවේදීන් විවිධාකාරය. ඔවුහුද මනුෂ්‍යයන් බැවින් ඒ විවිධත්වය ඔවුන් තුළද ඇත. ඒ ඔවුන්ද මනුෂ්‍යයන් බැවිනි. එහෙත් මනුෂ්‍යයින් අතර ලේඛකයා, පුවත්පත්කලාවේදියා, මාධ්‍යවේදීයා යනු සුවිශේෂී මිනිසෙකි.
සැබැවින්ම ඔහු සුවිශේෂී වන්නේ ද ඔහු ලියන දෑ සුවිශේෂී වන්නේ නම් පමණි.
(මහිම සුජිවගමගේ)
නිදහස් මාධ්‍යවේදී