ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ජාතිය අමතා තම ඉදිරි වැඩ පිළිවෙලේ කුළුණු හතර ලෙස

හැදින්වූයේ මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධනය, සමාජ ආරක්ෂණ ජාලය සහ රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමයි. මට එතන වටිනාකම් පිලිබඳ අඩුවක් පේනවා. ඔහු විසින් බලාපොරත්තු වන ප්‍රතිඵල වලින් එකක් විනිවිදභාවයයි. ඇත්තටම එය ප්‍රතිඵලයක් නොව එක කුළුණක් හැටියට තිබ්බා නම් හුගක් වටිනාකම් ඒකෙන් ආවරණය වෙනවා, නමුත් ඒක කෙරිලා නැහැ. එහෙම වුනානම් ඔහුගේ පණිවිඩය වඩා ආකර්ශනීය වන බව මගේ මතයයි.

ඒ අතින් බලන විට අළුතෙන් එන පක්ෂ විසින් වටිනාකම් වලට තැනක් දෙන බව පේනවා. ඒක වැදගත්.

මගේ දැනුමට අනුව පසු ගිය සති කිහිපය තුල දැනට ලියා පදිංචි පක්ෂ අසූ හයට තවත් පක්ෂ තුනක් එක් වුනා. ඒවා නම් එක්සත් සියවස පක්ෂය, එක්සත් ජනරජ පක්ෂය හා සමාජ සාධාරණ පක්ෂයයි.

මා මිත්‍ර නජා මොහමඩ් ආරම්හ කල සමාජ සාධාරණ පක්ෂයේ ප්‍රකාශනය දැනට ඇත්තේ දෙමළෙන් පමණක් නිසා මට එය මේ අවස්ථාවේ අධ්‍යයනය කරන්න බැරි වුනත් පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් මැයි 22  ජනරජ දිනයේ බිහිවුනු එක්සත් ජනරජ පෙරමුණේ සමාරම්භක උත්සවයට සහභාගි වීමට මට අවස්ථාව ලැබුනා. ප්‍රශාන් ඩි විසර් නායකත්වය දරන සියවස පෙරමුණේ සමාරම්භක උත්සවයට යන්න බැරි වුනත් දීර්ඝ කාලයක් එම පක්ෂයේ විකාශනය උනන්දුවෙන් බලා සිටින කෙනෙක් හැටියට ඔවුන්ගේ ප්‍රකාශිත ලියකියවිලිවලින් මට යම් විශ්ලේෂණයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා.

xdfgsrgtet

ඊයේ පෙරේදා එලි දැක්වුණු එක්සත් සියවස පෙරමුණ හා එක්සත් ජනරජ පෙරමුණ යන පක්ෂ දෙකේම මම දකින සුවිශේෂත්වය ඒවායේ ප්‍රකාශනයන්ගෙන්  වටිනාකම් වලට දී ඇති ප්‍රමුඛත්වයයි. ඇත්තටම මෑතකදී එලි දැක්වුණු වෙනත් පක්ෂ වලත් එවැනි අවධානයක් දී ඇති වෙන්න පුළුවන්. නමුත් දැනට මට කතා කරන්න පුළුවන් ඒ පක්ෂ දෙක ගැන පමණයි.

දේශපාලන පක්ෂ යනු සම මතවාදයන්, වටිනාකම් හා අරමුණු ඇති අයට එක්ව දේශපාලන බලය ලබාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදය තුල ලබා දෙන වැදගත් යාන්ත්‍රණයක්. ප්‍රකාශිත වටිනාකම් හා අරමුණු වලින් එක්සත් සියවස පෙරමුණ හා එක්සත් ජනරජ පෙරමුණ බොහෝ සමානකම් තියෙනවා. නමුත් පාඨලීගේ එක්සත් ජනරජ පෙරමුණ විසින් වටිනාකමක් හැටියට ප්‍රයෝගික වාදය සඳහන් කිරීම සුවිශේෂයක් ලෙස මම දකිනවා. මම ප්‍රයෝගිකවාදය දකින්නේ මතවාදයක හැටියටයි. ඒ නිසා ඉස්සෙල්ල පක්ෂ වල මතවාද සසඳා බලමු.



ප්‍රයෝගිකවාදය වටිනාකමක් නොව මතවාදයක්?

Lee Kuan Yewසිංගප්පූරුවේ ලී කුවාන් යූ


ප්‍රයෝගික වාදයට නමක් දී මතවාදයක් ලෙස දේශපාලනයට මුලින්ම හඳුන්වාදෙන්නේ සිංගප්පූරුවේ ලී කුවාන් යූ ජනාධිපතිවරයා විය හැක. මෑතකදී ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් ප්‍රයෝගික වාදය පැහැදිලි කරන්නේ පහත සඳහන් ලෙසයි.

“රට ඉදිරියට ගෙන යාමට දැන් අනුගමනය කරන යල්පැන ගිය සමාජවාදී හෝ ධනේශ්වර මතවාදය නොව අපට නව දේශපාලන ප්‍රායෝගිකවාදයක් අවශ්‍යයි.”  

ප්‍රශාන් ඩි විසර් නායකත්වය දරන සියවස පෙරමුණ හෝ මෑතකදී බිහිවූ මෛත්‍රී ගුණරත්න නායකත්වය දරන එක්සත් ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ විසින් මතවාදයට වඩා තැන දෙන බව පෙනෙන්නේ ඔවුන් විසින් බලාපොරොත්තු වන රට පිලිබඳ දැක්මයි. ඒ නිසා යම් විධියකින් ඔවුන්ගේ මතවාදයත් ප්‍රයෝගිකවාදය ලෙස හඳුන්වන්න පුළුවන්. ඇත්තටම අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් මැතිවරණ කොමිසමට ලබා දී ඇති ව්‍යවස්ථා ලේඛන බැලුවාම මේ ප්‍රයෝගිකවාදය අළුත් දෙයක් බව පේනවා.



මගේ අදහස අනුව දේශපාලන පක්ෂ වල ව්‍යවස්ථාවන්ගෙන් පැහැදිලි මතවාදයක් පෙන්නුම් කරන පක්ෂ දෙක ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.  



ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන්ගේ ව්‍යවස්ථාවෙන් “පවතින ධනපති සමාජ ක්‍රමය නව සමාජවාදී සමාජ ක්‍රමයක්  මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීම” ඔවුන්ගේ අරමුණ බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණු ලෙස “ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම, පන්ති විරහිත සමාජයක් බිහිකරවීමේ සමාජවාදී මූල ධර්ම හා තුන්වෙනුව ආගමික හා සංස්කෘතික පුනර්ජීවනය හා සංවර්ධනය”  ඔවුන්ගේ මූලධර්ම ලෙස ආරම්භක පරිච්ඡේදයෙන් දක්වනවා.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ සාමාජිකත්වය සඳහා පක්ෂයේ මූල ධර්ම, ප්‍රතිපත්ති හා චර්යා ධර්ම පිළිගැනීම අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතත් ඒවා පිලිබඳ නිශ්චිත සඳහනක් නැහැ. පක්ෂය ජාතිවාදී හා නිකාය වාදී නොවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අප කැප වන පක්ෂයක් වන බවට එම ව්‍යවස්ථාවේ ප්‍රකාශ කර ඇති අතර පක්ෂයේ අරමුණු සර්වජන චන්ද බලය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළි ගනිමින් සමාන අයිතිවාසිකම් හා අවස්ථාවන් සැම දෙනාටම ලබා දීම බවත් සඳහන් වෙනවා.

පසුගිය අවුරුද පහ ඇතුලත කරලියට ආ ප්‍රධාන පක්ෂ දෙකක් වෙන සමගි ජන බලවේගයේ හා පොදු ජන පෙරමුණේ වටිනාකම් පිළිබඳව ඔවුන්ගේ අරමුණු තුලින් අපට අදහසක් දෙනවා.

සමගි ජන බලවේගයේ අරමුණ  “සැමට සම අවස්ථා සලසන, දැනුම මත පදනම්වූ නවෝත්පාදනයට හා නිපුණත්වයට මුලතැන දෙමින්, තරඟකාරී ආර්ථික ගමන් මගක පැවැත්ම හා පසුබාන සමාජ කොටස් රැක බලාගනිමින් එක්ව ඉදිරියට යන ගමනක්” ලෙසයි.

පොදු ජන පෙරමුණ පක්ෂ ව්‍යවස්ථාවේ අරමුණු, පරමාර්ථ හා ප්‍රතිපත්ති යටතේ  ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය පිලිබඳ නොයෙකුත් අදහස් දක්වා තිබුනත් එම පක්ෂයේ සුවිශේෂත්වය ලෙස මම දකින්නේ “දේශීය සංස්කෘතිය හා සාර ධර්ම අනුගමනය කරමින් දේශීය සම්පත් හඳුනාගෙන ඒවා සංවර්ධනය කොට ප්‍රජාවගේ ආර්ථිකය නැංවීමට ක්‍රියා කිරීම” යන අනිකුත් පක්ෂ වලට වඩා වෙනස් ලෙස ඉදිරිපත් කර ඇති ආර්ථක ප්‍රතිපත්තියයි. ඇත්තටම 2019/2022 වකවානුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වී ඇත්තේ පක්ෂයේ ප්‍රතිපත්ති අනුවයි.


අළුත්ම පක්ෂ දෙකේ වටිනාකම්


ජනරජ පෙරමුණේ වටිනාකම් ලෙස දැක්වෙන්නේ අවංක බව, විවෘත බව, ප්‍රයෝගිකත්වය, සහකම්පනය හා කුසලතාවයයි. ප්‍රයෝගිකවාදය යන්න මතවාදයක් ලෙස මම කලින් තර්ක කරා.

සියවස පෙරමුණේ වටිනාකම් ලෙස දක්වෙන්නේ  -අවංකභාවය, විනිවිදභාවය, විවිධත්වයට ඉඩ දීම  (Inclusiveness), නිපුණතාවය, ප්‍රජාතන්ත්‍රවාදය, විශ්වාසනීයත්වය, අනුකම්පාව, නිහතමානීකම, වගවීම හා ප්‍රගතිශීලී බවයි  


එක්සත් සියවස පෙරමුණ යනු තරුණ මෙන්ම හා දේශපාලනයේ ආධුනිකයන්ගෙන් සමන්විත හා සංයුතියෙන් ඉතාමත් බහුවිධ පක්ෂයක්. එක්සත් ජනරජ පෙරමුණ යනු පරිණත දේශපාලඥයෙක් ප්‍රධානියා වන පක්ෂයක්. නමුත් පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර සැහෙන සමාන කම් පෙනෙන්න තියෙනවා .

මට හිතෙන හැටියට ලී ක්වාන් යූ විසින් සිංගප්පූරුවට හඳුන්වාදී දැනට සිංගප්පූරුවේ වටිනාකම් ලෙස සංක්ෂිප්තව දැක්වෙන  INTEGRITY | MERITOCRACY | INCLUSIVENESS වටිනාකම් ඕනෑම රටකට හොඳ පදනමක් සපයනවා. ඇත්තටම  ජනරජ  පෙරමුණ වටිනාකම් වලින්  ප්‍රායෝගිකතාවය හැරුණු විට අවංක බව, විවෘත බව |  කුසලතාවය | හා සහකම්පනය යන වටිනාකම් සිංගප්පූරුවේ වටිනාකම් සමග සම්පාත වෙනවා .

සියවස පෙරමුණේ වටිනාකම් දහයෙන් හතරක් එනම් - අවංකභාවය, විනිවිදභාවය | නිපුණතාවය | විවිධත්වයට ඉඩ දීම  (Inclusiveness) සිංගප්පූරුවේ වටිනාකම් සමග සම්පාත වෙනවා. සියවස පෙරමුණ විසින් අමතරව ඉදිරිපත්  කර ඇති අමතර වටිනාකම් හය, එනම් ප්‍රජාතන්ත්‍රවාදය, විශ්වාසනීයත්වය, අනුකම්පාව, නිහතමානීකම, වගවීම හා ප්‍රගතිශීලී බව, තරුණ පරම්පරාවෙන් එන අමතර  මූලික වටිනාකම් ලෙස ඇතුලත් විය යුතුද යන්න අපි කල්පනා කරන්න ඕනී.

අවසාන වශයෙන් අප විසින් පක්ෂ වලින් කියන දේ ගැන අවධානය යොමු කිරීම වගේම ඒ අනුව ඔවුන්ගේ හැසිරීමටත් අවධානය දෙන්න ඕනී.

Sujataha123(ආචාර්ය සුජාතා ගමගේ)
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

 

Anida

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්