යුද්ධයෙන් වෙළී ගිය ශ්‍රී ලංකාවෙන් පළා එද්දී අට අවුරුදු වියේ පසු වූ සුකුමාරන් තමිල්නාඩු වෙරළට පා තැබුවේ මෙයට දශක තුනකට ඉහත දී ය.

එවක් පටන් ශ්‍රී ලාංකිකයන් සදහා වූ මදුරෙයි සරණාගත කඳවුර ඔහුගේ නිවහන විය. " මගේ අම්මා නැති වුනේ මෙහි දී, මගේ අක්කා කසාද බැන්දේ මෙහි දී, මගේ විවාහයත් මෙහිදීම තමා. දැන් මගේ අක්මුල් තියෙන්නේත් මෙහේම තමයි," ඔහු පැවසීය.   යම් කිසි දිනයක රජය විසින් තමන්ට පුරවැසි භාවය ප්‍රදානය කරතැයි ද, එවිට තව ස්වල්පයක් හෝ වැඩි නිදහසකින් යුතුව මේ බිමේ ම ජීවත් වීමට හැකි වෙතැයි බලාපොරොත්තුවෙන්, තමිල්නාඩුව පුරා පැතිරී ඇති සරණාගත කදවුරු වල ජීවත් වන බොහෝ පිරිස් අතරින් සුකුමාරන් ද එක් අයෙකි.

2009 යේදී ලංකාවේ සිවිල් යුද්ධයේ නිමාවත් සමග යුද අනාථයන් 15,000 ක් පමණ මේ වන විට ආපසු දිවයිනට පැමිණ තිබේ. නමුත් සුකුමාරන් වැනි අයට, තමිල්නාඩුව යනු ඔවුන්ගේ නිවහනයි. "අපි හැදුනේ වැඩුනේ මෙහේ. ශ්‍රී ලංකාව කියන්නේ කොයි වගේ තැනක්ද කියල කිසිම අදහසක් නැති සම්පූර්ණ පරපුරක්ම මෙහි අපිත් එක්ක ඉන්නවා. ශ්‍රී ලංකාවට ගිහිං අලුත්ම ජීවිතයක් පටන් ගන්නව කියන එක ගැන හිතන්නත් අපිට බයයි. අපිට සියලු දේ මුල ඉදන්ම පටන් ගන්න වේවි සමහරවිට. අපි කවුරුත්  ඒකට ලැස්ති නෑ," ඔහු සදහන් කළේය.   තිරුචි හි පිහිටි විශේෂ කදවුරද ඇතුලුව, මේ ප්‍රාන්තය තුළ කදවුරු 107 ක් තුළ සරණාගතයන් ලෙස ශ්‍රී ලාංකික දමිළ ජනයා 54,000 ක් පමණ ජීවත් වෙති. මේ කදවුරු වලින් පිටත ජීවත් වන ශ්‍රී ලාංකික දමිළ ජනතාව 32,000 ක් පමණ වේ.

 

දුරින් හිඳීමේ අභියෝගය:

tamilnadu 1

tamilnadu 3

කදවුරුවල එකිනෙකට සමීපව පිහිටා ඇති නිවාස හා තදබද වූ මාවත් වල සිය ජීවිතයෙන් බොහෝ කාලයක් ගත කිරීමට සිදුවී තිබීමෙන් මේ ශ්‍රී ලාංකික දෙමළ සරණගාතයන්ට සියලුම ගැහැට විඳ තිබූ තරම්ය. එහෙත් ඒ කොරෝනා වසංගතය එන තුරු පමණි. "ඒක අපේ යම් තරමකට හෝ තැම්පත්ව තිබ්බ ජීවිත අවුල් කළා" සුකුමාරන් කියයි.

බොහෝ නිවාස වෙන් වී ඇත්තේ එක බිත්තියකින් වන අතර පවතින්නේ පොදු වැසිකිළි ය. මේ හේතු නිසා ශාරීරික දුරස්ථභාවය හා නිරෝධායනය අභියෝගයක් වී තිබේ. කෙසේ නමුත්, විෂබීජ නාශක භාවිතය පිළිබද දැනුවත්භාවය ඇති කිරීම තුළින් ද, ප්‍රජාව වෙනුවෙන් අරමුදල් එක්රැස් කිරීම මගින් සහන සැලසීමේ වෑයම් වලට දායකත්වය ලබා දීමෙනුත් මෙම අගාධයෙන් ගොඩ ඒමට නැතිනම් ගැලවීමට මෙම සරණාගතයෝ විවිධ ක්‍රමෝපායන් සොයාගනිමින් සිටිති.   කදවුරු වල සිටින බොහෝ සරණාගතයන් මෙන්ම සුකුමාරන් ද සිය දිවි පැවැත්ම සදහා පින්තාරු වැඩ  වල නියැලී සිටී. "ඒක තමයි කිසිම ආයෝජනයක් කිරීමට අවශ්‍ය නැති එකම රස්සාව. ඒ නිසා ඕනෑම ලාංකික කදවුරක දී බොහෝ පිංතාරුකරුවන් හමුවේවි,'' යි ඔහු පැහැදිලි කළේ ය.

නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් රට පුරා පනවා ඇති ‘අගුලු දැමීම’ හේතුවෙන් සුකුමාරන් ඇතුළු බොහෝ දෙනෙකුට රැකියා හිඟයකට මුහුණ දීමට සිදුවී ඇති අතර රජයෙන් බෙදා හරින සීමා සහිත ප්‍රතිපාදන මත යැපීමට සිදුවී තිබේ.   එසේ නමුත් මෙය ගැටළුවේ එක පැත්තක් පමණයි.   "වෙල්ලෝරය ආසන්නයේ පිහිටි මින්නූර් කදවුරේ පවුල් 72 ක් විතර ඉන්නවා," මුරුගන් නමැති පදිංචිකරුවෙක් ප්‍රකාශ කළේය. "රස්සා සොයා වෙනත් දිස්ත්‍රික්ක හා ප්‍රාන්ත වලට ගොස් සිටි අය දැන් ආපසු පැමිණ ඇති නමුත් ඔවුන්ව පරීක්ෂණවලට ලක් කර නැහැ". සරණාගත කදවුරු වල තිබෙන, අඩි 10 යි 10 යේ නිවාස මගින්, මෙසේ ආපසු පැමිණි නිවැසියන්ට ශාරීරික දුරස්ථභාවය හෝ නිරෝධායනය වීමේ පහසුකම් සැලසෙන්නේ නැත.

tamilnadu 2

මෙම කඳවුරු වල ලියාපදිංචි සාමාජිකයන් හට රජයෙන් යම් ප්‍රතිපාදන ලැබෙන මුත්, ලියාපදිංචි නොවුන අය පිළිබදව ද සොයා බැලිය යුතු බව කියන මුරුගන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, "ඒ වගේම, වෙනත් දිස්ත්‍රික්ක හා ප්‍රාන්ත වල සිට ආපසු පැමිණි බොහෝ පිරිසක් සිටින බව අවධානයට අරගෙන, අනිවාර්යයෙන්, අපගේ කදවුරු වලට සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු හෝ නිවාරණ වැඩසටහන්  ලබා දිය යුතුයි".   මේ වන තෙක්, සරණාගත කදවුරු වලින් කිසිදු කෝවිඩ් 19 ආසාදනයක් වාර්තා වී නොමැත. කෙසේ වුවත්, "මදුරෙයි කදවුරේ හැම පවුලක්ම එකිනෙකාට කොච්චර ලඟින් වාසය කරනවාද කිව්වොත්, වෛරසය පැතිරෙන්න පටන් ගත්තොත් පාලනය කරන එක අසීරු වේවි," යි සුකුමාරන් පවසා සිටී. "රජයට බොහෝ ප්‍රමුඛතා තිබුණත්, ඒ අතරම සරණාගත කඳවුරු වැනි තැනක කෝවිඩ් 19 පැතිරීමට ඇති අවදානම වටහාගෙන ඒ සම්බන්ධයෙන්ද යම් අවධානයක් යොමු කළ යුතුයි."

 

කොරෝනාට අපි බය නෑ

සිවිල් යුද්ධයක අත්දැකීම් ලත් අයට, කොරෝනා වෛරසයේ ආගමනය සාපේක්ෂ වශයෙන් අඩු අභියෝගයක් විය හැකිය. "ඔව්, අපි මරණයට බයයි. ඒ උනාට සුළුවෙන් උනත් මෙහි දී අපේ වැඩ කරන එක නවත්තන්න ඒකට පුළුවන් වෙලා නෑ," යි තූත්තුකුඩි කදවුරේ නේවාසික සන්තෝෂ් කියා සිටියේ ය.   කදවුරු බොහෝමයක සිටින සරණාගතයන් විසින් තමන්ට පුළුවන් උපරිමයෙන් මෙම ගැටළුවට මුහුණ දීම සදහා ක්‍රියාකාරී කමිටු පිහිටුවාගෙන තිබේ. මදුරෙයි හි දී නිතිපතා මාර්ග හා වැසිකිළි විෂබීජ හරණය කිරීමට අමතරව, කමිටුව විසින් ප්‍රතිශක්තිය වර්ධනයට උපකාරී වන්නේ යැයි සැළකෙන "කබසුරකුඩිනීර්" නම් කසායක් බෙදා හැරීමද සිදු කරයි.

තූත්තුකුඩි කදවුර විසින් කොරෝනා වෛරසය ආශ්‍රිතව දැනුවත් භාවය ඇති කිරීම හා සමාජ හුදකලාභාවයේ අවශ්‍යතාවය අවධාරණය කිරීම ඉලක්ක කර සංගීත වීඩියෝ පට නිපදවා තිබේ. විවිධ කඳවුරු වල ලියාපදිංචි සාමාජිකයෝ, ලියාපදිංචි නොවීම නිසා රජයේ සහන වලට හිමිකම් නොලබන අයට සහාය වීම සදහා මුදල් රැස් කිරීමේ ද යෙදෙති.     මෙම අසීරු තත්වය යටතේ වුවද, නමක්කල් කදවුරේ සරණාගතයන් විසින් රජයේ කොරෝනා වෛරස් සහන අරමුදලට දායක වීම සදහා ඉන්දීය රුපියල් 10,000 ක මුදලක් රැස් කර තිබේ. කදවුරේ එක් නේවාසිකයකු ප්‍රකාශ කර සිටියේ, "ඇත්ත අපි දැන් වැඩියෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දීලා, ඒත් මේ වගේ අර්බූදයක් හමුවේ අපට කිසිවක් නොකර බලා ඉන්න බැහැ. තමිල්නාඩු රජය අපට උදව් කළා. කොච්චර පොඩියට උනත්, කළ හැකි ප්‍රතිඋපකාරය කරන්න මේක තමා අපේ අවස්ථාව."   මෙම කථාවේ වෙනස් පැත්තක් වන්නේ දැනට ශ්‍රී ලාංකික දෙමළ 54ක් හා වෙනත් රට වලින් පැමිණි සරණාගතයන් 20ක් වාසය කරන, 'වරදකරුවන්ගේ' නිවහන ලෙස අර්ථ ගන්වා ඇති, තිරුචි විශේෂ කඳවුරයි. "අපගේ වරද වූයේ එක්කෝ අප විසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කර තිබීම හෝ බෝට්ටුවෙන් ඉන්දියා‍ව හැර යාමට උත්සාහ කිරීම- මේ දෙකම නීති විරෝධියි," 59 හැවිරිදි ලාංකික දෙමළ සරණාගතයෙකු වන සුරේෂ් ප්‍රකාශ කර සිටී. "අපිව අත්අඩංගුවට අරගෙන, හිරේ දාලා, පස්සේ  ඇප මත මුදාහැරලා තිරුචි කදවුරට ගෙන ආවා".

 

නිදහස හා දරු පවුල්:

tamilnadu 2

tamilnadu5

මෙම කදවුරේ නේවාසිකයන් දැන් ඉල්ලා සිටින්නේ තමන් නිදහස් කර වෙනත් තන්හි වෙසෙන තම පවුල් හා එකතු වීමට ඉඩ ලබා දෙන ලෙසයි. අප්‍රේල් 15 වන දා සිට 21 ක් පමණ නේවාසිකයන් පිරිසක් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලපෑම් කිරීම සදහා උපවාස ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. "මේ කදවුරේ තත්වය ඇත්තටම හොද නැහැ. සමහර අය පහසුකම් වැඩි දියුණු කාරගන්න අතින් වියදම් කරලා  තියෙනවා. ඒත් මේ වගේ අර්බූදකාරී තත්වයක් තුළ ජීවත් වීමට සුදුසු තැනක් නෙමෙයි මේක. අපේ ස්ථානය විෂබීජහරණය කර නැතිවාක් වගේම අපිව වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කළේත් නැහැ," යි සුරේෂ් පැවසීය.   ඔවුන් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා මැදිහත් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් මේ නේවාසිකයන් විසින් මහ ඇමතිවරයා හා අනෙකුත් දේශපාලන නායකයන් ගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ. එසේම, ගෝලීය අර්බූදයක් පවත්නා මේ අවස්ථාවකදී තමන්ට සිය පවුල් සමග ජීවත් වීමට ඉඩදීම අත්‍යවශ්‍ය බව නේවාසිකයන් කල්පනා කරයි. උදාහරණයක් වශයෙන් සුරේෂ් ප්‍රකාශ කර සිටින්නේ, චෙන්නායි හි මඩිපාක්කම් හි වෙසෙන සිය පවුල සම්බන්ධයෙන් ඔහු නිරන්තරයෙන් වද වෙමින් පසුවන බවයි.   ශ්‍රී ලාංකික දෙමළ  සරණාගතයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් හඩ නගන තෝල් තිරුමාවලන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් තමිල්නාඩුවේ විඩුදලෙයි චිරුතෙයිගල් (විමුක්ති දිවි)  අම්බේඩ්කාර්වාදී පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, වන්නි අරසු පුකාශ කර සිටියේ මෙම විශේෂ කදවුරේ සිටින පුද්ගලයින් වහාම කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි.

 අරසු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සරණාගත කදවුරු වලට තවත් වැඩියෙන් සහනාධාර දීමට රජය ඉදිරිපත් විය යුතු බවයි. "සරණාගතයන් සියල්ලටම මූල්‍ය ආධාර හා සහනාධාර ලැබෙන්නේ නෑ. මෙවැනි අර්බූද කාලයක දී ආණ්ඩුව කිසිවකුටත් මෙවන් වූ වෙනස්කොට සැළකීමක් නොකළ යුතු යි.''   වර්තමාන අර්බූදයට මුහුණ දී ගැලවී ගැන්මට හැකිවනු ඇතැයි ‍මෙම කදවුරු වාසීහු දිගින් දිගටම අපේක්ෂා කරති. "අපි මහ මුහුද තරණය කරලා යුද්ධයකින් ගැලවුනා. දැං සරණාගත ජීවිතයක් ගත කරනවා," යි සුකුමාරන් පැවසීය. "කෝවිඩ් කියන්නේ අපේ දුක් කම්කටොලු වල තවත් එක් නව මානයක් පමණයි. අපව පරාජය කරන්න අපි එයට ඉඩ දෙන්නේ නෑ."   (අනන්‍යතාවය ආරක්ෂා කිරීම පිණිස මෙහි එන සරණාගතයන්ගේ නම් වෙනස් කර තිබේ.)

(කවිතා මුරලිදරන් ලියු Sri Lankan refugees in Tamil Nadu brace for coronavirus crisis amid challenging circumstances of camp life නම් මේ ලිපිය මුල්වරට පල වූයේ ඉන්දියාවේ සිට පල කෙරෙන Firstpost වෙබ් අඩවියේය.)  

(ඡායාරූප Firstpost)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image