'ද ෆිනෑන්ස්' අර්බුදය පිළිබඳ අර්බුදය තවමත් විසඳී නැත. වාර්තා වන තොරතුරුවලට අනුව එහි තැන්පතුකරුවන් සහ සේවක මණ්ඩලය තව තවත් අපහසුතාවට පත් කරමින් පසුගිය මැයි 22 වන දා මහ බැංකුව විසින්

සියලු ද ෆිනෑන්ස් ශාඛා සීල් කර වසා තැබීමට නියෝග කර ඇත. 

මැයි 21 වන දා රැස් වූ මහ බැංකු මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවට ද ෆිනෑන්ස් සේවක සංගමයේ සභාපති දුමින්ද තිලකරත්න විසින් පවසන ලදි. මේ පිළිබඳව දැඩි විරෝධය පළ කරමින් මැයි 27 වන දින එහි සේවකයන් සහ තැන්පතුකරුවන් විසින් දිවයිනේ සෑම ද ෆිනෑන්ස් ශාඛාවක් ඉදිරිපිටදීම දැවැන්ත උද්ඝෝෂණයක් ද දියත් කරනු ලැබූහ.

තැන්පතුකරුවන්  කබළෙන් ළිපට !

මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අන් කවරදාටත් වඩා තැන්පතුකරුවන් අසරණ තත්ත්වයක පසුවන මොහොතකය. 

පැවති තත්ත්වය හමුවේ මාර්තු මස අඩකුත්, අප්‍රේල් සහ මැයි මාසවල පොලිය මුළුමනින්මත් ගෙවා නොමැති පසුබිමක සේවාලාභීන් තම තැන්පතු මුදල්වලට හිමි පොලී මුදල ලබා ගැනීමට නොහැකිව ව්‍යාකූලව සිටින පසුබිමක මුදල් මණ්ඩලය මෙවැනි තීරණයක් ගැනීම ඔවුන් කබළෙන් ළිපට ඇද දැමීමක් බඳුය. 

දිළිඳු ජනතාවට රජයෙන් 5000ක දීමනාවක් දුන් අතර, හිඟමං යදින මිනිසුන් ද රැකබලා ගත් වාතාවරණයක් තුළ කිසිදු පාර්ශ්වයක පිහිටක් නොලැබූ ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් අසරණ වී ඇති බව තිලකරත්න පවසයි. 

විෂය බාර ඇමතිවරයාට හෝ නොදන්වා ගත් තීන්දුවක් ද ?


ඔහු අප සමග වැඩිදුරටත් පැවසුවේ මාර්තු 06 වන දින අගමැති කාර්යාලයේදී මුදල් අමාත්‍යාංශ ලේකම් මෙන්ම මහ බැංකු නියෝජ්‍ය අධිපති එස්.ආර්.ආටිගල, අජිත් නිවාඞ් කබ්රාල්, ඕම්බුඞ්ස්මන් සහ ද ෆිනෑන්ස් තැන්පතුකරුවන් ඇතුළු මෙම අර්බුදයට සම්බන්ධ සියලු වගකීම්සහගත පාර්ශ්වයන් එක්රැස්ව කළ සාකච්ඡාවේ දී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ තම ආණ්ඩුවක් තුළ කිසිදු ව්‍යාපාරයක් නොවසන බවත්, මෙය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන ලෙසත් මහ බැංකුව විසින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දුන් බවත් ය. 

එසේ නම් අවසානයේ මුදල් මණ්ඩලය තම සමාගම වසා දැමීමට තීරණය කර ඇත්තේ අදාළ විෂය බාර ඇමතිවරයා හෝ දැනුවත් කිරීමකින් තොරව ද යන්න ඔවුන් නගන තර්කයයි.

“මහ බැංකු නියෝජ්‍ය අධිපති ඊයෙ පෙරේදා ප්‍රකාශයක් කරනවා බිලියන 20ක වත්කම් තියනවා බිලියන 10ක් ඒකෙන් ගන්න පුළුවන්ලු. එතකොට බිලියන 20ක වත්කම් තියනවා කියන්නේ ඇනුවල් රිපෝර්ට් එක බලලා, ගිණුම් පොත් බලලා ද? මේ තනිකර බොරු. හරි අපි හිතමුකෝ එයා කියන්නේ ඇත්ත කියලා, එතකොට එයා කියනවා බිලියන 20ක වත්කම්වලින් බිලියන 10යි ගන්න පුළුවන් කියලා. එතුමා දැන්ම කියනවා මේක වහන්න ඉස්සෙල්ලා බිලියන 10ක් හොරකන් කරනවා කියලා. ද්‍රවශීලතා අරමුදලෙන් බිලියන 11ක් හම්බ වෙනවා, බිලියන 20ක වත්කම් තියනවා. බිලියන 31 තියනවා එතකොට තැන්පතුකරුවන්ට ගෙවන්න. බිලියන 26 යි තැන්පතු දාලා තියෙන්නේ. එතකොට තැන්පතුකරුවන්ට රුපියලකවත් අවාසියක් වෙන්නේ නැහැනේ. මේ බොරු කියන්නේ. මෙයාලා හැමදාම බැලුවා ලක්ෂ 6ක මුදලක් දීලා ඉක්මනට මේක වහලා දාන්න. 2011 තමයි මේ තීරණය ගන්න තිබ්බෙ. මහ බැංකු නිලධාරීන්ගේ අදක්ෂ පාලනය තමයි අද ද ෆිනෑන්ස් එක මේ තත්ත්වයට පත්වෙන්න හේතුව. මේ නිලධාරින් නිදාගෙන හිටියේ. දැන් තමයි ඇහැරලා තියෙන්නේ. හැබැයි දේශපාලනය ඉදිරියේ මොවුන් ආයි නිදා ගන්නවා.”

දේශපාලන අධිකාරිය තීරණය !

කොරෝනා වසංගතයත් සමග රට තුළ පැවති වාතාවරණය සලකා බලා දේශපාලන අධිකාරිය තීරණය කර සිටියේ ව්‍යාපාර අඩපණවීම් සමග මුදල් ගෙවීමට ඇති අපහසුව හමුවේ මාස 6ක කාල සීමාවක් වාරික අයකර නොගැනීමට ය. 

ද ෆිනෑන්ස් ආයතනය ද ආයෝජනයන් ඇසුරෙන් මිලියන 160ක පමණක් මුදලක් ලබාගෙන ඇති අතර රජය ගත් මෙම තීරණය හමුවේ ඔවුන්ට එම මුදල අහිමි වී ගිය අතර ද ෆිනෑන්ස් සමාගමට මුදල් ගලා ඒමේ ගැටලුවක් පැවතීම හේතුවෙන් මැයි 22 වන දින මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත. 

එහෙත් මෙම තත්ත්වය සියලු මුල්‍ය සමාගම්වලට සහ බැංකු පද්ධතියට පොදු වන අතර එයට විසඳුමක් ලෙස රජය මගින් මහ බැංකුව හරහා සහන වැඩපිළිවෙළක් යටතේ මුදල් යොදවන බව කීව ද එවැනි සහන මුදලක් ද ෆිනෑන්ස් ආයතනයට ලැබී නොමැත. 

මාස 3ක කාලයක් ද ෆිනෑන්ස් සේවකයින්ට වැටුප් ගෙවීමක් ද සිදු වී නොමැති නිසා තැන්පතුකරුවන් මෙන්ම සේවකයින් ද ඉමහත් අපහසුතාවට පත් වී ඇත. 

නවතම තත්ත්වය අනුව මැයි 22 වන දින සියලු ද ෆිනෑන්ස් සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර සේවකයින් 80ක් පමණක් ඉතිරි රාජකාරි කටයුතු සඳහා ගෙන්වා ගැනීමට තීරණය කර ඇත. ඔවුන් ලවා පළමුව සේවකයින්ගේ වැටුප් ගෙවීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇතැයි දුමින්ද අප සමග පැවසුවේය. 

මාස දෙක හමාරක ගෙවා නොමැති තැන්පතුකරුවන්ගේ පොලී මුදල ද මහ බැංකුව විසින් තැන්පතුකරුවන්ට ගෙවීමට නියමිත ලක්ෂ 6ට ම එක් කරන බවත් ලක්ෂ 6ක මුදලක් පමණක් ගෙවිය හැකි බවත් මහ බැංකුව පවසන බව හේ වැඩිදුරටත් පැවසුවේය.

“මාස දෙක හමාරක් පොලී ගෙවලා නැහැ''

“මාස දෙක හමාරක් පොලී ගෙවලා නැහැ. ඒ පොලියත් අර ලක්ෂ 6ට ම එකතු කරලා වන්දි ගෙවන්න හදනවා. මහ බැංකුවට ඕනෙ ඕනෙ විදිහට නීති හදලා තැන්පතුකරුවන්ව අසරණ කරලා තියෙන්නේ. මේක මහ බැංකුව කරන මහා විනාශයක්. 

මේ මූල්‍ය සමාගම් පාලනය වෙන්නේ මෙවැනි මහ බැංකුවක් තුළින් නම් තැන්පතුකරුවන්ට කිසිම සුරක්ෂිතභාවයක් ලැබෙන්නේ නැහැ. 

මං අභියෝග කරනවා මහ බැංකු නිලධාරීන්ට, ඉස්සරහට ඇවිල්ලා කියන්න මොකද්ද ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය කියලා. සමාගම් පනතේ අදාළ නීති රාමුව යටතේ ක්‍රියාත්මක වුණා නම් ඇයි තැන්පතුකරුවෝ මෙතරම් දුක් විඳින්නේ? අද සේවකයෝ 670ක් පාරට ඇදලා දාලා. 

මේ වෙන දේවල්වලින් පැහැදිලි වෙන්නේ රටේ කම්කරු නීතියකුත් නැහැ කියලා. රටට ශ්‍රේෂ්ඨාධිකරණයකුත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියන සියලු දේ මහ බැංකුව විසින් යටත් කරගෙන. එක රැයකට සේවකයෝ 670ක් සේවයෙන් ඉවත් කළා කියලා මහ බැංකුව ලියුමක් ගහන්නේ කොහොමද? අද අපේ රැකියාව මොකද්ද කියලා කියාගන්න බැරි තත්ත්වයක් අපිට උදා වෙලා තියෙන්නේ. 

''2009 වසරෙදිත් මේ විදිහටම වුණා. රටේ නීතිය නමා ගත්තා''

2009 වසරෙදිත් මේ දේවල් මේ විදිහටම වුණා. රටේ නීතියක් තිබ්බට නීතිය නමා ගත්තා. මේවා සම්පූර්ණයෙන්ම කරන්නේ දේශපාලනයත් දැනුවත්ව කියන එක තමයි දැන් අපිට හිතෙන්නේ. මොකද මහ බැංකුවේ ඉන්නේ රාජ්‍ය නිලධාරීන්. ඔවුන්ට තියනවා සමාගමක් පවත්වාගෙන යන්න අදාළ නීති රාමුවක්. එතකොට මොවුන්ගෙන් ඒ නීති රාමුව ගැළවුණේ කොහොමද?”

තැන්පතුකරුවන් සහ සේවක සංගමයේ ඉල්ලීම වන්නේ වහාම ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ කමිටුවක් පත් කර විමර්ශනය කළ යුතු බවය. මහ බැංකුව විසින් අධීක්ෂණය කළ ආයතනයක් මෙවැනි තත්ත්වයකට පත්වීමට බලපෑ හේතු විමසා බැලිය යුතු බවත්, 2019 වසරේ ද ෆිනෑන්ස් සමාගමට ආයෝජකයෙකු කැඳවීමට ගත් තීරණය සැබැවින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ කවදා යන්න ඔවුන්ගෙන් විමසා බැලිය යුතු බවත්, එම තීරණය නොගැනීමට හේතු මොනවා ද යන්නත් වහාම අදාළ බලධාරීන්ගෙන් ප්‍රශ්න කර පැහැදිලි කර ගත යුතු බවටත් ඔවුහු යෝජනා කරති. ■


- හිරුණි කුරුප්පුආරච්චි
(ravaya.lk - May 30, 2020 )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්