2012 දිනක හිමිදිරියේ මාහට ප්‍රථම වරට පාසිකුඩා වෙරළ තිරයේ ඇවිද යාමට ඉඩ ලැබුණි. නිල් පැහැති සමුදුරේ, ශ්වේත වර්ණ රැලි

දරාවෝ ආදරයෙන් බැඳෙනු අතර, සිහින් වැලි තුඩු මාගේ දෙපා ආදරයෙන් පිළිගනු ලැබුණි. එදින සවස, කල් අඩි පාලම වෙත යන විට එය නැවත ගොඩනගමින් තිබුණු අතර, ගී කියන මාළුවන් තව දුරටත් එහි නොපැමිණෙන බව මාගේ මඩකලපු යෙහෙළියගෙන් දැන ගන්නට ලැබුණි.

මෙම ලිපිය ලියන්නේ මඩකලපුව ගැන අතීතාවර්ජනයක් කිරීමට නොවේ. එම ගමන මා හට නැවත සිහි වුයේ, විනයාගමුර්ති මුරලිදරන් විසින් මැතිවරණ ප්‍රචාරණයේ දී සිදු කරන ලද ප්‍රකාශනයක් හේතුවෙනි .

“ඔව්, මම covid 19ට වඩා භයානකයි. එක රැයකදී අලිමංකඩ සිටි ශ්‍රී ලංකික හමුදා ශ්‍රමිකයන් 2000-3000ක ප්‍රමාණයක් මරාදැමීම, covid 19මඟින් අහිමි කල ජිවිත සංඛ්‍යාවට වඩා වැඩිය” (මෙය ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ පුවතක  සිංහල අනුවාදනයකි. )

කරුණා අම්මාන් මෙම ප්‍රකාශනය සිදු කරනුයේ, කාරතිවූ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, කරුණා අම්මාන් ගේ දේශපාලන හැසිරීම කියවූ ආකාරයට ප්‍රතිචාර දක්වමිනි.

 

කවුද මේ කරුණා අම්මාන් ?

කවුද මේ කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් ? කරුණා අම්මාන් සමඟ ජෙරමි ලියනගේ (Jeremy Liyanage ) විසින් සිදුකළ සාකච්ජාවක් Thuppai’s Blog  හි  (2017)  පළ විය. එහිදී ජෙරමි පහත සඳහන් ප්‍රශ්න අසයි ; කරුණා  එයට පිළිතුරු දෙයි.

ජෙරමි - ඔබ LTTE සංවිධානයට සම්බන්ද වුයේ ඇයි සහ ඒ වනවිට ඔබගේ වයස කීයද ?

කරුණා -  මම මඩකලපු මාධ්‍ය මහා විද්‍යාලයේ උගනිමින් සිටින විට එහි විශාල ප්‍රමාණයක සරණාගතයන් ද විය. මම ඔවුන්ට කතා කලෙමි. ඔවුන්ගේ අරගල කතාවන් අසා සිටියෙමි. එය තමයි බලපෑම.

ඔහු වයස අවුරුදු 19 දී සංවිධානය වෙත සම්බන්ද වී තිබේ.

හමුදා නිලධාරියෙකු ද මෙම සාකච්ජාව සිදු වන විට එහි සිටි අතර එම නිලධාරියා විසින් කරුණා ගෙන් ඇසුවේ, ඔබට විශ්වාසද එය ඔබගේ අවුරුදු 16දී සිදුවූවක් නොවන බව කරුණා කිවූ ලෙස වයස අවුරුදු 19දී හෝ හමුදා නිලධාරියාට අනුව වයස අවුරුදු 16දී හෝ ඔහුව විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට පෙලබෙන සාධකය නම් බලය අහිමිව සරණාගතව, මාධ්‍ය මහා විද්‍යාලභුමියේ සිටි දෙමල ජනයාගේ කතාවය.

 

නීච ප්‍රභූ (Dirty Elite ) දේශපාලනයේ එක් නිදසුනක් !

''ද්‍රෝහීන් ලෙස නම් කරන පාර්ශවයන්ගේ ජිවත් වීමේ අයිතිය තීරණ කිරීමේ බලය මෙම නිච – ප්‍රභූ කණ්ඩායම් වෙත හිමි වේ.''

නව යොවුන් වියේදී, අනාගත බලාපොරොත්තු සියල්ල ප්‍රචණ්ඩ අරගලයක් තුල දිය කිරීමෙන් පසුව, එහි ද්‍රෝහියකු ලෙස නම් කිරීමේ දී ජිවිතය බේරා ගැනීමට, තමා ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගැසූ ආණ්ඩුවකින්ම රැකවරණය ඉල්ලා සිටීමට සිදුවිම, නීච ප්‍රභූ (Dirty Elite ) දේශපාලනයේ එක් නිදසුනකි. මෙම නීච ප්‍රභූ දේශපාලනයේ බලපෑමෙන් මිදීමට විමුක්ති කොටි ව්‍යාපාරට ද නොහැකිවිය.

ප්‍රශ්නය නම්, මෙවැනි තත්වයක් යටතේ,  මෙම ව්‍යපාර වින්දිතයන් ගේ විඥානය නියෝජනය කරන්නේ කෙසේද ? දකුණේ සහ උතුරේ විමුක්ති ව්‍යාපාරයන් හි පොදු ලක්ෂණය නම් ‘ද්‍රෝහීන්ට මරණය හිමි වීමය ‘.

රාජපක්ෂ රෙජිම තුලට ද එය අදාලය. ද්‍රෝහීන් ලෙස නම් කරන පාර්ශවයන් ගේ ජිවත් වීමේ අයිතිය තීරණ කිරීමේ බලය මෙම නිච – ප්‍රභූ කණ්ඩායම් වෙත හිමි වේ.

 

මනුෂ්‍ය ඝාතකයන් හට  ජනතාවගේ නියෝජිතයන් විය හැකිද?

කරුණා අම්මාන් ගේ ප්‍රකාශනය යුධ ජයග්‍රහණයකින් වසා දමා තිබෙන මෙරට ජාතික ප්‍රශ්නය නැවත සාකච්ජාවට  කැඳවයි.

ජාතික ප්‍රශ්නයෙහි නව ප්‍රවණතාවය හඳුනා ගත හැකිවන්නේ covid 19 නීති රීති මගින් වාර්ගික අනෙකා පිඩාවට පත්ව තිබෙන ආකාරයෙනි.

පහත දැක්වෙන ජායාරුපය උපුටා ගනු ලැබුවේ orrukaai නමැති සමාජ ජලා පිටුවෙනි. එම ජයාරුපයට අනුව, දෙමළ ජනයා හට ආගමික විධික්‍රම සහ උත්සව හමුදාව සහ පොලිසිය මඟින් නිරෝධායන නීති යටතේ තහනම් කරන  විට, ඔවුන්ගේ ද රාජ්‍ය නායකයා සහභාගී වූ උත්සවය වෙත එම නීති බලනොපාන ලද්දේ කුමන පදනමකින්ද?

මෙම වාර්ගික පක්ෂපාති නීතිය සහිත රාජ්‍ය ප්‍රතිපත්ති හි නිෂ්පාදනයක් වන්නේ කරුණා අම්මාන් ද අයත් වන විමුක්ති කොටි සංවිධානය වේ.

එම පසුබිමේ කරුණා විසින් තමන් ගේ දේශපාලන ව්‍යපාරය හරහා එකී රාජ්‍යයේ හමුදා මර්ධනයට එරෙහි වූ ආකාරය දෙමළ ජනයාට සිහි කැඳවීම හැර වෙනත් කුමන ආකාරයකින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදිය හැකිද ?

මෙහි දේශපාලනික වැදගත් කම නම්, කරුණා හට පැනගිය කෙනෙකු ලෙස දෙමළ සමාජය වෙත නැවත සේන්දු වීමට හැකිවීම සහ එය දෙමළ සමාජය කෙසේ භාර ගනීවි ද යන ගැටලුව වේ.

මන්දයත් අදටත් දෙමළ සමාජය තුළ හිටපු විමුක්ති කොටි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පවතින්නේ පරාජයේ කොටස් කරුවන් යන සමාජීය කියවීමය. එසේම  තව දුරටත් ‘our boys ‘ (අපේ කොල්ලෝ) සංකල්පය හරහා මෙම ව්‍යපාරය සමඟ රෝමාන්තිකව බැදෙමින්, මැතිවරණ හි නියෝජනයන් ලෙස වෙනුවෙන් තෝරා ගනීවිද කියන ගැටලුව ද අමතක නොකළ යුතුය.

මේ ගෙවෙන මොහොත වන විට දෙමළ සමාජය විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් සෑහෙන මිලක් ගෙවා ඇත. දකුණේ චේ ගුවේරා කැරලි කරුවන් (JVP ය) මුදාහළ ප්‍රචණ්ඩත්වයේ සලකුණු අදටද එම ව්‍යාපාරය වෙත බලපෑම් කරමින් තිබේ. එය උතුරේ දී කෙසේ වේද යන්න ද විමර්ශනය කිරීම වැදගත් වේ.

 

කරුණා, විමුක්ති ව්‍යාපාරය හැර දමා පැන යන හේතුව ?

කරුණා, විමුක්ති ව්‍යාපාරය හැර දමා පැන යන්නේ, ඔහුගේ විස්තර කිරීමට අනුව, මහාචාර්ය G.L .පිරිස් (පොදු ජන පෙරමුණේ වර්තමාන පෙරමුණේ සභාපතිවය දරණ ) මහතා විසින් එදා (2002) බලයේ සිටි ආණ්ඩුව යෝජනා කළ  සන්ධිය ආණ්ඩුක්‍රමය වෙත එකඟ විය යුතු බවට කරන යෝජනාව ප්‍රභාකරන් විසින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපලයක් ලෙසය.  මෙම පලායාමමගින් මතුවන කරුණ නම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවි අත්හැරීමය.

බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන් පිඩාවට පත් වූ ජනයා ගේ අඛ්‍යනයන් අසා සිට, පසුව එම ජනයා වෙත විමුක්තිය උදාකිරීම වෙනුවෙන් අවි අතට ගනු ලැබූ කරුණා පසුව, එම ප්‍රශ්නය විසදීම උදෙසා බහුතර ප්‍රජාතන්ත්‍රවාදී ආණුඩුව යෝජිත, සන්ධිය ක්‍රමය වෙනුවෙන්, අවි අත්හැර දමයි.

එකම ගැටළුව නම්, එදා කරුණා අපේක්ෂා කල සන්ධිය ක්‍රමය අද කොහෙද ? එසේම, බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ වින්ධිතයන් වූ දෙමළ ජනයාගේ ගැටලුව විසදීමේ නියමුවකු ලෙස කටයුතු කල මහාචාර්ය G.L .පිරිස් සහ ඔහුගේ නියෝජනය සහිත පක්ෂය, තව දුරටත්  නිරෝධායන නීති වාර්ගික බලයට යටත් කරමින් සිටින තත්වය යටතේ, තමාට දෙමළ ජනයාගේ හඬ වීමට හැකි ද යන්න, කරුණා කියවාගන්නේ කෙසේද ?

 

ළමා සොල්දාදුවන් බදවා ගැනීම :

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සහ Human Rights Watch ආයතන මගින් කරුණා නැගෙනහිර නායකත්වය තුල සිදු කළ ළමා සොල්දාදුවන් බදවා ගැනීම පෙන්වා දී තිබේ.

The Guardian වාර්තා කල පරිදි මහා බ්‍රිතාන්‍ය වෙත සංක්‍රමණික නීති උල්ලංඝනය කරමින් පැමිණි කරුණා වෙත මාස නවයක සිර දඩුවමක් හිමි විය. එම අවස්තාවේ දී, Brad Adams පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍ය රාජ්‍යයට, නීතිමය ගමන් බල පත්‍රයක් නොමැතිව පැමිණ, නීතියේ රැහැනට කොටු වූ, මෙම පුද්ගලයා වෙත වූ  බරපතල ලෙස මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් කදිම පර්යේෂණයක් සිදු කළ හැකිව තිබු අවස්ථාව එම රාජ්‍ය විසින් මඟහරින ලද බවය.

බ්‍රිතාන්‍යයෙන් මෙරටට පිටත් කළ  කරුණා, ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙක් විය. එසේම The Guardian පෙන්වා දෙන පරිදි,  2004දී , LTTE සංවිධානයේන්  පලා ගොස්, කරුණා විසින් පිහිටුවා ගත් 'දෙමළ ජනතා විමුක්ති කොටි' ( Tamil Peoples Liberation Tigers; TMVP) එවකට පැවති රාජපක්ෂ රෙජීමය වෙත සහයෝගය ලබා දී තිබේ.

ආණ්ඩුව එසේ සහයෝගය ලබා ගත් කණ්ඩායම වෙත වන සභිරු චෝදනාවක් නම්, වසර33ක් (පසුගිය ජුනි 02සිහි කැදවන ලද ) සපුරා තවමත් යුක්තිය ඉටු නොවුණු අරන්තලා භික්ෂු ඝාතනය වේ.

 

මහින්දට අනුව ඉතිහාසයේ සිදු වූ ඛේදනියම සංහාරය !

Karuna Mahinda

Ceylon Today පුවත් පත වාර්තාකර තිබු ආකාරයට මෙම භික්ෂු ඝාතනය පිලිබඳ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පවසා තිබුනේ එය ඉතිහාසයේ සිදු වූ ඛේදනියම සංහාරයක් බවය . එසේ ප්‍රකාශ කළ අගමැතිවරයා විසින්, එම ඝාතනය සිදු කිරීමේට වගකිවයුතු බවට චෝදනා එල්ලවූ කරුණා වෙත ජාතික ලැයිස්තු නියෝජනය ලබා දිමට ද යෝජනා කර තිබේ.

අවසාන වශයෙන් කිව හැක්කේ කරුණා නැගෙනහිර සිදු කිරීමට උත්සාහ කලේ දකුණේ දේශපාලනයම වේ . එනම් මනුෂ්‍ය ඝාතන උත්කර්ෂණයට නංවමින්, එය වීරත්වයේ කොටසක් බව පෙන්වා දෙමින් ජනප්‍රිය දේශපාලනය සිදු කිරීමය.

''මනුෂ්‍ය ඝාතන මගින් දේශපාලන බලය ලබා ගැනීමට කටයුතු කරන කරුණා මෙන්ම දකුණේ සරත් වීරසේකර වැනි අය වෙනුවෙන් ද බුද්ධිමය තීරණයක් ගැනීමට මෙරට ජනයා සුදානම් විය යුතුය.''

එම දේශපාලනාය අද වන විට තද බල ලෙස විවේචනය කරනුයේ දකුණේ විපක්ෂ කණ්ඩයාම් විසිනි. එහෙත් තවමත් පවතින ගැටලුව නම්නැ ගෙනහිර ජනයා, තම දරුවන් බලහත්කාරයෙන් විමුක්ති කොටි ව්‍යපාරයට බඳවා ගන්නා ලද කරුණා ව විවේචනය නොකරන්නේ මන්ද යන්න ය.

 එසේම වටහා ගත යුතු කරුණ නම්, මනුෂ්‍ය ඝාතන මගින් දේශපාලන බලය ලබා ගැනීමට කටයුතු කරන කරුණා මෙන්ම දකුණේ සරත් වීරසේකර වැනි අය වෙනුවෙන් ද බුද්ධිමය තීරණයක් ගැනීමට මෙරට ජනයා සුදානම් විය යුතුය.

මන්දයත්, නැගෙනහිර මියගිය අතුරුදහන් කරන ලද දරුවන් සිංහල හෝ දෙමළ හෝ විය හැකිය.  ඔවුන්ගේ මළ මිනි මතින් ආණ්ඩුකරන බලය ලබා ගැනීමට අප ඉඩ දිය යුතුද ? එය කරුණාගේ කතාවෙන් පසුව අප නිරන්තරයෙන්ම සිතිය යුතු කාරණයකි.

(vikalpa.org -අරුණි සමරකොන්

Aruni Samarakoon

| Aruni samarakoon)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්