පසුගිය මාසයක කාලය තුල මා අධික ලෙස කාර්ය බහුල ව සිටියේ යම් නිර්මාණ කටයුත්තක පැටලී සිටි හෙයිනි.
ඒ කාලයේ විවිධ මට්ටමේ දක්ෂ නිර්මාණ ශිල්පීන් සමග සමීප ව ඇසුරු කළේ ඔවුන්ගේ වෘත්තීය දායකත්වය මාගේ පරිශ්රමයට සම්භන්ධ කර ගැන්මට ය. එවන් එක් ශිල්පියෙකු තම නිර්මාණශීලී දායකත්වය කෙරුමට අවැසි මුදල ද මුලින් ම කතා කර ගති. එහි වරදක් නැත්තේ එය ඔහුගේ විනෝදාංශය නොව වෘත්තීය බැවිණි.
යට කී ශිල්පියා වචන හා මෝස්තර එකට කැටි කොට බුහුටි දේශපාලන මීම තනන්න රුසියෙකි. පවුල්කාරයෙකු වුව ද වැඩිපුර ම වසන්නේ සකර්බර්ග් නිවසේ බව පෙනේ. ඒ යට කී පෝස්ටු පිසින්නට හා බෙදන්නට ය. කෙසේ හෝ මේ මෝස්තරකරු එක් සවසක හදිසියේ බිඳුණු හඬකින් මා ඇමතුයේ එකල මා නිවස්න-නිරෝධායනයේ සිටින අතර ය. තම දරුවාට අමුතු ලෙඩක් වැළඳි ඇති බවත් වහා දරුවා චැනල වෙදෙකුට වෙත ගෙන යාමට තරමක මුදලක් අවැසි බවත් එය මට දිය හැකි ද යන්නත් විමසුයේ දුක්බර කවියක් බිඳුණු හඬකින් කියනු විලසිනි. මා අතේ එවන් මුදලක් නොතිබුණු අතර මා හිතවතෙකුට අමතා එය යට කී මෝස්තරකරුවාට දෙන ලෙස මා වහා පියවර ගත්තේ මගේ දරුවා ද කුඩා කල එවන් තත්ත්වයන්ට අප මුහුණ දුන් අයුරු සහකම්පිත ව සිහි කරමිණි.
මොස්තරකරු වහා පැමිණ වදනකදු නොදොඩා මුදල් නෝට්ටු ටික රැගෙන පියඹා ගිය බව මා වෙනුවෙන් මුදල දුන් මිතුරා කීවේ "මූ මොකෙක් ද හැබෑට ම ?" නොකියා ය. ඇබැද්දියක මැද ස්තුති පූර්වක ව මධ්‍යම පාන්තික මැනර දදා ඉන්න නොහැකි බව මම මිතුරාට පැහැදිලි කර දුනිමි.
ඊටින් හොපස් විත් කොම්රස්'
ඒ අතර මා ෆෙස්බුකයේ කල් මරණ අතර, අපගේ මෝස්තරකරුවා දෙස්පලු-රැඩිකල-කලාකරු ගැන්සියක සමග ආප්ප කමින් සිටින පෝස්ටුවක දිටිමි. ඇත්ත මිනිසුන්ගේ පක්ෂයේ නායකයා එතැනට වැඩම කර සිටියේ එම පක්ෂයේ වැඩිකල් නොගොස් රැඩිකල් වූ අපේක්ෂකයෙකුගේ වෙබ්සයිටය ලෝන්ච් කිරීමේ චාම් ආප්ප සාදයට ය. අප මෝස්තරකරු ද යට කී පක්ෂයේ නායක සහෝදරයා සමග ආප්පයක් කන සෙල්පියක් ආප්පය කන එක බාගෙට නවතා දෝ එකිනෙහි ම උඩුගත කළ බව පෙනුණේ ස්ටේටසය 'ඊටින් හොපස් විත් කොම්රස්' කියා පළ කර තිබූ බැවිණි.
අමුතු ලෙඩක වැළඳී දරුවා නවලෝකෙට වහා ගෙන යාම බිරිඳට පවරා සැමියා ඓතිහාසික විප්ලවීය කර්තව්‍යක නිරත වීම වාමාංශික සම්ප්රදායක බැවින් මම ඒ ගැන වඩා කරදර නොවුනෙමි. මට කරදර වන්නට සිදු වුණේ මේ මෝස්තරකරුවා ව මොබයිලයෙන් හෝ වෙනත් මගින් සම්භන්ධ කර ගන්න මා ගත උත්සාහයන් සියයක් පමණ අසාර්ථක වූ බැවිණි. පොරොන්දු වූ වැඩෙත් ඉල්ලා ගත් මුදලත් සමග ස්වයං අතුරුදහනක සිටින මෝස්ත්රකරුවා සුස්තරකාරයෙකු බව මට පැවසූයේ තවත් ඇත්ත මිනිසෙකි. එහෙත් ඔහු තිත්ත දේශපාලනයේ නොමැත.
චින්තනගේ චිත්‍රපටය අදාළ පක්ෂයේ අතීතය ද වර්තමානය ද සංඛේතවත් කරයි.
යට කී ආප්ප සාදයේ රැවුලක් නොමැති ව සිටියේ අපේක්ෂකයාගේ බිරිඳ හා සෙසු සෙසු රැඩිකලුංගේ බිරින්දෑවරු පමණි. සිංහරාජ රැවුල් සිට අක්කරේට පොල් රැවුල් අතර මගේ අවධානයට යොමු වුණේ මා ප්‍රිය කරන ගරු කරන චින්තන ධර්මදාස වෙත ය. රැවුල වැවුව ද මෙතෙක් රැල්ලට ගසා නොගිය චින්තන රැඩිකල් ආප්ප අතර සිටීම මා මඳක් සිතන්නට පෙලඹවී ය.
ඔහු අධ්‍යක්ෂනය කල අනගි නිර්මාණයක වන 'ඇවිළෙනසුලුයි' චිත්‍රපටය මේ දිනවල තිරගත වෙන්නේ කොවිදියාවට හසු වී මාස තුනක් නිරෝධායනයේ තිබීමෙන් අනතුරව ය. රෝඩ් ෂෝ පන්නයට නිර්මාණිත මෙම චිත්‍රපටය මා බැලුවේ මීට වසර දෙකකට තුනකට පෙර දිරණ චිත්‍රපට උළෙලේ පැය එකහමාරක් පමණ පෝලිමේ සිට අනතුරු ය. එවැනි කට්ටක් අනුභව කර බලන්න තරම් වටිනා චිත්‍රපට අත්දැකීමක් බව කිව යුතු ය.
අප මොස්තරකරු හා මිතුරු කැල දිනවන්න කැස කවන දේශපාලන බලවේගය ද ඇවිළෙනසුලු පන්නයේ එකක ලෙස යට ගිය දවස තිබුනා වයසක අපට මතක ය. එකල එම සහෝදරවරුත් සිටියෝ රෝඩ් ෂෝ හෙවත් මහ පාරේ ය. එහෙත් දැන් දැන් ඔවුහු වෝටර්ස්-එජකරණය වෙමින් සිටිති. එහි වරද කීම ? සැප ඔවුනට අකැප ද ? ඒ අර්ථයෙන් බලන කළ චින්තනගේ චිත්‍රපටය අදාළ පක්ෂයේ අතීතය ද වර්තමානය ද සංඛේතවත් කරයි.
රෙට්රෝ යනු පරණ දේ නැවත කරන විලසිතා ශානරයකි.
පරණ මොඩල් එකේ රතු ස්පෝර්ට්ස් කාර් එක පරණ අදහස් හා මතවාදය පරෙස්සමින් හා දක්ෂ ලෙස සංරක්ෂණය හෙවත් රෙස්ටෝ(ර්) කිරීම පිළිබිඹු කරයි. ඇත්තෙන් ම අප අදාළ දේශපාලන ප්රවාහයට 'පරණ' යී කීම වැරදි ය. කිව යුත්තේ 'රෙට්රෝ' කියා ය. රෙට්රෝ යනු පරණ දේ නැවත කරන විලසිතා ශානරයකි.
ඒ අනුව අප ශ්‍යාම් ප්‍රනාන්දු ගේ චරිතයට යට කී ආප්ප සාදයේ සත්කාරක අපේක්ෂක ව ආදේශ කළ හැක. ඇත්තෙන් ම ඉතා කඩවසම් හැඩකරුවෙකු වන ඔහු වරක් සමාජ මාධ්‍ය තුල යමෙකු හැඳින්වූයේ විජය කුමාරණතුන්ගගෙන් පසු ලංකාවේ බිහිවුණු උණුසුම් ම සෙක්ස් සිම්බලය බව ය.
ඔහු ශ්යාම්ටත් වඩා ස්ටයිල් එකට රතු රෙට්රෝ කාරයේ ස්ටියරින් වීලය හසුරවනු ඇත. පොඩි ගැටළුවක් මතු වන්නේ සමනලීගේ චරිතයට ආදේශ කරගන්නේ කවු ද කියා ය. අදාළ පක්ෂයේ ජාතික ලැයිස්තුබේ අග්ගිස්සේ, එක් කලක් වීදි නාට්‍ය හා පසු ව ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණ නිළියක සිටින්නී ය. සිකැරට් එක බිව්වත් සමනලී මෙන් යුහුසුළු ව දෙකකුල් ඩෑෂ්බෝඩයේ තබා ගැන්මේ වයසක එතුමිය සිටී ද යන්න සැක සහිත ය. ඒ ලාංකීය බහුතර මහළු කාන්තාවන්ට ඔස්ටෝපොරෝසිස් තත්ත්වය ඇති බැවිනි.
එහෙත් එක විසඳුමක් ඇත. එනම් රුව පැත්තක තබා සමනලීගේ නමට කිට්ටු නමක් ඇති කොළඹ අපේක්ෂිකාවක ඒ සඳහා 'කාස්ට්'කිරීම් ය. එම සහෝදරියගේ සැමියා පක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයෙකු වන අතර වාර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කලේ ය. කොටන් සාරියෙන් හැර එතුමිය මා දැක නැත. අවංකව ම මහන්සි වී දහදිය පෙරා ගෙන වැඩ කරන ඈ මා විටෙක කරගම්පිටිය-හෙට්ටියාවත්ත 176 බස් රියේ ද යනු දකී.
එවන් කාෂ්ටක අයෙකු සමනලී ගේ චරිතයට කාස්ට් කරන්නේ කෙසේ ද යන්න කෙනෙකු ප්‍රශ්න කළ හැක. එතුමිය ස්ටෝන්-වොෂ්ඩ් ඩෙනිම් ෂර්ට් එකක් පමණක් කොටට කොටේ හැඳ සමනලීගේ චරිතය කරනු පරිකල්පනයට අමු ගල් භාගයක්වත් අවැසි ය.
ජන්ද දායකයින්ගේ බරපතල ව්‍යාධියක්:
චින්තනගේ චිත්‍රපටය කොතරම් අනගි වුව ද ප්‍රේක්ෂක පැමිණීම අඩු ය. ඊට චින්තනට දෙස් දෙවොල් කිරීමන් වැඩක් නැත. අදාළ පක්ෂය ද එසේ ය. ප්‍රතිපත්ති ලොරි ගණනින් පැට වී ඇත. අපේක්ෂකයෝ දුෂණ නොකරති. කන්නේ බොන්නේ මේ ඊයේ පෙරේදා එක් වූ ඩුප්ලිකේට පිරිස පමණි. ඔතෙන්ටික් ඔරිජනලයෝ සුරා සුදුවෙන් ද තොර ය. ඔවුහු කොන්ඩේ කපන්නෝ ද දත් මදින්නෝ ද ජනතා පින්ඩපාතයෙනි.
මේ තරම් ටැරන්ටීනෝමය පක්ෂයකට ජන්ද වැටෙන්නේ සියයට දෙක තුනක් පමණි. ලාංකීය සිනමා ප්රේක්ෂකාගාරයේත් ජන්ද දායකයින්ගේත් බරපතල ව්‍යාධියක් ඇති බව අපට පෙනේ.
චින්තනගේ චිත්‍රපටයේ හා අදාළ පක්ෂයේ එක් වෙනසක් පමණක් ඇත. ඒ මෙය ය. ප්‍රේක්ෂකයා ආව ද නොආව ද ධර්මදාසට කම් නැත. ඔහු තම සතුට පවත්වා ගන්නේ චිත්‍රපටය විවිධාකාරයෙන් දඩිස්කෝසයක ලෙස සමාජගත කරමින් ය. ඔහු නිතර ම සිනා සෙමින් හා අනුන් ට දොස් නොකියමින් චිත්‍රපටය විඳිමින් සිටයි. එවන් දියුණු හා 'කූල්' මනසක් අදාළ පක්යේ කොම්රඩ්වරුන් ට ඇත් ද යන්න මම නොදනිමි.
සමහර විට පැෂන් එක ට නොව ෆැෂන් එකට දේශපාලනය කරන මෝසතරකාර පන්නයේ රැඩිකල් රැවුල්ධාරීන් සමහර විට මෙම තත්ත්වයට ව්යාතිරේඛයක විය හැක. ඔවුන්ගේ ඇවිළෙනසුලු රැඩිකල් රැවුල් ගිණි ගත් කලක ජනතාවට කරදරයක් නැතිව සුරුට්ටුවක් පත්තු කර ගත හැක.
උදන් ප්‍රනාන්දු
(මෙම ලිපිය 2020 ජුලි 26 දා 'අනිද්දා' පුවත්පතේ පලවූවකි)