ඔරානි ජෑන්ස් මිය ගිහින්. ඈ ගැන බොහෝ දෙනකු දන්නේ නැහැ. ඇය ලෝක ප්‍රසිද්ධ සාහිත්‍යකාරිනියක, ලේඛිකාවක, කලාකාරියක, විද්‍යාඥවරියක, දාර්ශනික අදහස් පළ කළ තැනැත්තියක, දේශපාලනඥවරියක

නොවෙයි.

 ලෝකයේ තබා ලංකාවේවත් ඇය ගැන දැන සිටි අය අල්පයි. 

ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි උපදේශිකාවක ලෙස සේවය කර කලකට පෙර මා හිතන විධියට 2012 දී පමණ විශ්‍රාම ගත්තා. 

ඇගේ සැමියා ජෑන්ස් රසායන විද්‍යා මහාචාර්යවරයකු ව සිට විශ්‍රාම ගත්තා. 

ඔහු පාසලේත් විශ්වවිද්‍යාලයේත් මට වඩා වසරකින් ඉහළයි. 

ඔරානිත් හැදෑරුවේ රසායන විද්‍යාව. 

ඇය අපට වඩා වසර දෙකකින් පමණ පහළය කියන එකයි මගේ විශ්වාසය. 

ඇගේ අභාවය ගැන මට ඇත්තේ කණගාටුවක්. 

මගේ ශෝකය පවුලේ සැමට.

ඔරානිට ට්‍රොට්ස්කිවාදී සම්බන්ධකම් තිබුණා. 

ඇගේ සොහොයුරා වූ රංජිත් ගුණවර්ධන එකල ඉංගිරිසි පුවත්පත්වලට ලිපි සැපයුවා. 

ඇය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉතා උද්‍යොගිමත් ක්‍රියාකාරිනියක වූවා. 

අසූවේ දශකයේ මුල වන විට එකල පැවති ආචාර්ය සමිති සම්මේලනය අක්‍රීය වුණා. 

පසුව අප කිහිප දෙනකුගේ මැදිහත් වීමෙන් වත්මන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය අද ප්‍රසිද්ධ ෆුටා (FUTA - Federation of University Teachers Associations) නමින් පිහිටුවනු ලැබුවා. 

එහි දී ඔරානි වැදගත් කාර්යභාරයක් ඉටු කළා. 

අසූවේ දශකයේ අග පිහිටවනු ලැබූ ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රථම සභාපති වූයේ මහාචාර්ය ඩබ් එස් කරුණාරත්න. මා ලේකම් වුණා. 

සම්මේලනයේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීම මට භාර වුණා. 

සම්මේලනයේ සාමාජික පුද්ගලයන් නැහැ. 

ඒ ඒ ආචාර්ය සමිති තමයි සාමාජිකයන් වන්නේ.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය ආචාර්ය සමිතිවලට හිමි වුණා. 

ඉංගිරිසි උපදේශකවරුන්ගේ වෙන ම සංගමයක් තිබුණා. 

එහි දිවයිනේ සියළු විශ්වවිද්‍යාලවල ඉංගිරිසි උපදේශකයන්ට සාමාජිකත්වය හිමි වුණා. 

එක්තරා ආකාරයකින් ගත්තොත් එයත් සම්මේලනයක්. 

අනෙක් ආචාර්ය සමිති විශ්වවිද්‍යාලයකට හරි පීඨයකට හරි සීමා වුණා. 

ඒ මදිවාට ඉංගිරිසි උපදේශකයන් කථිකාචාර්යවරුන් ද යන ප්‍රශ්නය ඇති වුණා. 

එය බමුණු මතයකින් ඇති වූවක්. කෙසේ නමුත් ඉංගිරිසි උපදේශකවරුන්ගේ සමිතියටත් ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය හිමි වුණා.

සභාපතිවරුන් කිහිප දෙනකු හිටියත් මා දිගට ම ලේකම් වශයෙන් කටයුතු කළා. 

ටික කලෙකින් මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න සභාපති වුණා. 

කවුරුත් දන්නා පරිදි ඔහු ට්‍රොට්ස්කිවාදියෙක්. 

මා එකල ජාතිකවාදියෙක්. 

එහෙත් අපට එකට වැඩ කරන්න පුළුවන් වුණා. 

ඔස්මන්ඩ් ජාතිකවාදයට විරුද්ධයි. 

ඔහුත් එකල කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කෙළේ. 

ඔහුගේ දේශන ඉතා රසවත් බව ශිෂ්‍යයන් කියනවා. 

ඔහු නාට්‍යකරුවෙක් ද වුණා. 

දේශන නාට්‍යයක ස්වරූපය ගත් අවස්ථාත් තිබුණු බව ශිෂ්‍යයන් මා සමග කියා තියෙනවා. 

ඔහු දේශපාලන වශයෙන් මට විරුද්ධ වුවත් වෛර කෙළේ නැහැ. 

අබමල් රේණුවක පමණ ද්වේෂයක් ඔහු ළඟ තිබුණේ නැහැ. 

ඔහුගේ පුතා රොහාන් කලක් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය සංගමයේ මා සභාපති ව සිටි කාලයේ ලේකම් ව සිටියා. 

ඔවුන් තවත් ට්‍රොට්ස්කිවාදියකු යැයි කියන කාලෝ ෆොන්සේකාට වෙනස්. 

කුමාර් ඩේවිඩ්, සුමනසිරි ලියනගේ වැන්නන් මතවාදී වශයෙන් වෙනස් වුවත් වෛර කරන්නේ නැහැ. 

පියසීලි විජේගුණසිංහත් එසේ ම වුවා. 

ඔවුන් අර තවත් ට්‍රොට්ස්කිවාදියකු වූ තුල්සිරි අන්ද්‍රාදිට වඩා වෙනස්.

අසූවේ දශකයේ අග ඔස්මන්ඩ් විශ්‍රාම ගත්තා. 

ඉන් පසු ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති වූයේ මා. 

අනුවේ දශකයේ වැටුප් අරගලය එකල ඇති වුණා. 

ආචාර්ය සමීති සම්මේලනයේ ඔරානි අරගලය සම්බන්ධයෙන් ඉතා සක්‍රීය ව මැදිහත් වණා. 

එකල එහි නිලධාරීන් වූ ඇතැමකු පසුව උපකුලපතිවරුන් වුණා. 

එහෙත් මට අමතක නොවන පුද්ගලයන් හතරදෙනකු හිටියා. 

ඒ ඔරානි, විවෘත විශ්වවිද්‍යාලයේ විද්‍යාවේ දර්ශනය ඉගැන්වූ අර්ජුන සොයිසා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මුත්තු නමින් හැඳින්වුණු මුතුකුමාරස්වාමි, පේරාදෙණි දන්ත වෛද්‍ය පීඨයේ රංජිත්. 

ඔවුන් තමයි අරගලයේ බර ඇද්දේ. 

ඔවුන් නිසා තමයි අවසානයේ අරගලය ජය ගත්තේ.

අරගලයේ අවසාන කාලයේ 1992 දෙසැම්බර වෙන විට කොළඹ විශ්වවිද්‍යාලය මගේ වැඩ තහනම් කර මට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. 

ආචාර්ය සමිති සම්මේලනයේ එකල ලියා පදිංචි කාර්යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ සන්ථාගාරය. 

එහෙත් මට එය තහනම්. 

අප රැස්වීම් තිබ්බේ කුමාරතුංග මුනිදාස මාවතේ මාර ගහක් යට. 

පසුව විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරේ අපට කොමිසමේ පාලක සභා රැස්වීම් ශාලාවේ රැස්වීම් පැවැත්වීමට ඉඩ ලබා දුන්නා. 

අප එය ගෞරවයෙන් සිහිපත් කරන්නේ ජී එල්ලාගේ තහනමත් මතක් කරමින්.

1993 අරගලයේ තියුණු අවස්ථාවක මා විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරිනු ලැබුවා. 

එයට මුල් වූ ජී එල්, ඩබ්ලිව් ඩී ලක්‍ෂමන්, විමලසේන ඇපාසිංහ අද මේ ආණ්ඩුවේ බලගතු පුද්ගලයන්. 

තවත් පුද්ගලයකු සිටියා වී කේ සමරනායක කියා. 

ඔහු ජීවත් ව සිටියා නම් ආණ්ඩුවේ බලවත් ම පුද්ගලයෙක් වෙනවා. 

විශ්වවිද්‍යාලයෙන් නෙරපුණු ලැබූ මට විශ්වවිද්‍යාලයක ආචාර්ය සමිතියක සාමාජිකත්වයක් තිබුණේ නැහැ. 

එවිට ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ධුරය අහිමි වෙන්න තිබුණා.

මේ අවස්ථාවේ තමයි ඔරානි වැදගත් ම මෙහෙයක් ඉටු කෙළේ.

වෘත්තීය සමිති පනත අනුව ඕනෑම වෘත්තීය සමිතියකට බාහිර පුද්ගලයන් දෙදෙනකුට සාමාජිකත්වය දෙන්න පුළුවන්. 

ඉංගිරිසි උපදේශකවරුන්ගේ සමිතිය මා එහි සාමාජිකයකු ලෙස බඳවා ගත්තා පමණක් නොව මා එහි නියෝජිතයකු බව ආචාර්ය සමිති සම්මේලනයට දැන් වූවා. 

ඒ අනුව මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස අරගලය දිගට ම මෙහෙයවුවා. 

අප අරගලය ජයගත්තා.

අද තිබෙන වැටුප් ව්‍යුහ එදා තීරණය කළ ඒවා. 

ආචාර්යවරුන්ගේ වැටුප ඉහළ ම වැටුප් තලවල තිබිය යුතු බවට ද එකඟත්වයක් ඇති වුණා. 

ඒ එකඟත්වය මත විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන විට ආචාර්යවරුන්ගේ ද වැටුප් වැඩි විය යුතුයි.

මෙයට දැන් අවුරුදු විසිහතකට වැඩියි. 

අද අවුරුදු හතළිහට අඩු ආචාර්යවරුන් මේ කිසිවක් නොදන්නවා වෙන්න පුළුවන්. 

එහෙත් ඔවුන් ඔරානිට හා මා සඳහන් කළ අනෙක් තිදෙනාට ස්තුතිවන්ත විය යුතුයි. 

මෙහි තවත් කිවයුතු කරුණු කිහිපයක් තියෙනවා. 

රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනයේ හා සෞන්දර්ය (එකල විශ්වවිද්‍යාලයක් නොවේ) ආයතනයේ ආචාර්ය සංගම්වලට ආචාර්ය සමීති සම්මේලනයේ සාමාජිකත්වය දීමට ඇතැමුන් විරුද්ධ වුණා. 

ඒ බමුණු මත නිසා. 

එහෙත් අපට හැකි වුණා ඒ සංගම්වලට ද සාමාජිකත්වය ලබා දීමට. 

එහෙත් මෙහි විශාල ම සරදම මෙයයි. වැටුප් අරගලය ජය ගැනීමෙන් ටික කලකට පසු මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉවත් වුණා. 

වැඩි කල් නොගොස් ආචාර්ය සමිති සම්මේලනය ඉංගිරිසි උපදේශකවරුන්ගේ සංගමයට එහි තිබූ සාමාජිකත්වය අහිමි කළා.

 උපදේශකවරුන් කථිකාචාර්යවරුන් නොවේ යැයි කියමින්.

කොළඹ විශ්වවිද්‍යාලය 1992 නොවැම්බරයේ මගේ වැඩ තහනම් කිරීමෙන් පසු ගෘහස්ථ පරික්‍ෂණයක් පැවැත්වුවා. 

මට විශ්වවිද්‍යාල භූමිය තහනම් කර තිබූ බැවින් පරීක්‍ෂණය පැවැත්වූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. 

එයට කොපමණ මුදලක් ගෙවුවා ද කියා මහා බැංකු අධිපති ලක්‍ෂමන් දන්නවා ඇති. 

මේ පරීක්‍ෂණයේ දී මා වෙනුවන් පෙනී සිටියේ අර්ජුන සොයිසා.

 අද ඔහු ඔත්පළ ව ඉන්නවා. 

එයත් කණගාටුවට කරුණක්.

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මා වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ගත්තේ නැහැ.

 තම සම්මේලනයේ සභාපති අස් කිරීමෙන් පසු වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් නොගත් සම්මේලනය හැටියට එය ඉතිහාස ගත වෙන්න පුළුවන්. 

ඔවුන්ගේ තර්කය වුණෙ මට විරුද්ධ ව පැමිණිළි කර ඇත්තේ ද ආචාර්යවරුන් වීම නිසා මා වෙනුවෙන් ක්‍රියා මාර්ගයක් ගැනීම නුසුදුසු බවයි.

 ඒහෙත් ඔවුන් අවසාන වශයෙන් කෙළේ ඒ පැමිණිළිකාර ආචාර්යවරුන් වෙනුවෙන් වැඩ කිරීම බව ඔවුන්ගේ ඊනියා සුපිරි මොළවලට තේරිලා නැහැ.

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් ඉතා විශාල පිරිසක් එදත් අදත් මට විරුද්ධයි. 

එහෙත් මගේ සභාපතිකමට විරුද්ධ වුණේ නැහැ. 

සමහරුන් ජාතිකවාදයට විරුද්ධයි. 

තවත් සමහරුන් දැනුම ගැන මා කියන දේට විරුද්ධයි. 

නාථ දෙවියන්ට විරුද්ධ අයත් ඉන්නවා. 

බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන එක බොහෝ දෙනාට තවමත් තෙරෙන්නේ නැහැ. 

මා ඉන්නවා කියන එකත් බොරුවක් බව බෞද්ධ යැයි කියන අයට නොතේරෙන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නැහැ. 

ඇතැම් රෙගුලාසි මා අර්ථකථනය කරන අන්දමට විරුද්ධ අයත් ඉන්නවා. 

කැලණියේ දී ආචාර්යවරුන් මට විරුද්ධව ශිෂ්‍යයන්ට අත්පත්‍රිකා බෙදුවා. 

මා හොඳ මිනිහෙක් කියා මා කියන්නේ නැහැ. 

එහෙත් ආචාර්යවරුන් අතර ඉන්න/හිටි එක ම නරක මිනිහා මා වන්න නම් බැහැ.

එහෙත් මට කැමති වූ කිහිප දෙනකුත් හිටියා/ඉන්නවා. 

කොළඹ පරීක්‍ෂණයෙහි දී ඇතැමුන් මා වෙනුවෙන් සාක්‍ෂි දීමටත් පැමිණියා. 

දේශපාලන වශයෙන් හා මතවාදී වශයෙන් විරුද්ධ වුණත් පියසීලි විජේගුණසිංහ, අර්ජුන පරාක්‍රම වැන්නන් මට වෛර කෙළේ/කරන්නේ නැහැ. 

එහෙත් විශ්වවිද්‍යාලයේ සමහරු හා පිට සිටින ඇතැමුන් මට ගෞරව කරන බව කියමින් මට වෛර කරනවා. 

ඔවුන් ගැන මා නොදන්නවා නොවෙයි. 

ඔවුන් අතර ජාතිකවාදීන් බවක් ඇඟවෙන අයුරින් වැඩ කරන අය ද ඉන්නවා.

ඔරානි මතවාදී වශයෙන් මට විරුද්ධයි. 

දේශපාලන වශයෙනුත් විරුද්ධයි. 

එහෙත් මට විරුද්ධ නැහැ. 

ඇය බොරුවට මට ගෞරව කරන බවක් කීවේත් නැහැ. 

මට වෛර කෙළේත් නැහැ. 

ඇයට හීනමානයක් තිබුණෙ නැහැ. 

ඇය කුහකත් නැහැ. 

විශ්වවිද්‍යාලවල එවැන්නන් අඩුයි.


- මහාචාර්ය නලින් ද සිල්වා-

(kalaya.org  FB පිටුවෙන් උපුටාගන්නා ලදී. 22 September 2020)

subscribeYT

නවතම පුවත්