අලුත් අවුරුද්දෙත් වැඩ අල්ලන්න යන්නෙ. ඒ කියන්නෙ සුපිරියටම ගුටි කන එකක් ලියන්නයි යන්නෙ. (දිග වැඩියි ඈ) වැඩේ නැගල ගියොත් ෂුවර් එක රැයින්  දේශද්‍රෝහියෙක් වුණත් වෙන්න පුලුවන්.  
 
 
අද කතාව “Port City" ගැන. මං මේ ලඟදි කෝච්චියෙ එන ගමන් දෙන්නෙක් ලොකු කතාවක මේ Port City එක ගැන. කතාවෙන් තේරුනූ විදියට දෙන්නම රජයේ ආයතයක තමයි සේවය කරන්නේ.
 
“අපේ ඇමතිතුමා කිව්වා Port City එක හැදුවම අපේ මුලු ඔෆිස් එකම ඒකට අරං යනව කියල. එතන වැඩ කරන්න එහෙම පහසුයිලු". 
 
එතකොට අනිත් කෙනා කියනවා 
 
“ඔව් අනේ! මේක ඉක්මනට ඉවර කරල ආණ්ඩුවෙ ඉසුරුපායෙ තියෙන ඔක්කොම ඔෆ්ස් ටික ඕකට ගත්තනං වැඩ ඔක්කොම එකම තැනකින් කරගන්න පුලුවන්. දැන් අපේ ඔෆිස් වල හැරෙන්නවත් ඉඩ නැහැ. ඕකෙ එක කොටසක් රජයට වැඩ කරගන්න දුන්නනම් ලේසියි නේද අනේ!” කියල කිව්ව. 
 
ඒක අහලා මට පොඩ්ඩක් හීන් දාඩිය දැම්මා.
 
ලංකාවෙ ගොඩක් අය Port City එක  ගැන හිතන් ඉන්නෙ ඔෆිස් හදන්න සහ කාර්යාල සහ සාප්පු සංකීර්ණ පහසුකම් සපයන්න බිල්ඩිං හදන්න හදපු ඉඩමක් කියල. ඒත් ඇත්ත ඊට වඩා ගොඩක් වෙනස්. 
 
Building සහ ඔෆිස් හදන්න ඉඩම් ඕන නං ලංකාවෙ ඕන තරං ඉඩම් තියනවා. මුහුද ගොඩ කරල ඩොලර් බිලියන ගානක් වියදම් කරල අලුතෙන් Port City එක හදන්න ඕන නෑනෙ. 
 
ඉඩම් ව්‍යාපෘති වලට කියන්නෙ Real Estate Projects කියල. මේක අර “කොළඹට ලගපාත - පිළියන්දල මඩපාත” වගේ ඉඩම් විකුණන ව්‍යාපෘතියක් නෙවෙයි. 
 
මේක මූල්‍ය නගර ව්‍යාපෘතියක්. 
 
 
මූල්‍ය නගරයක් (Financial City project) සහ Real Estate Project කියන්නෙ අහසට පොලව වගේ  සංකල්ප දෙකක් . 
 
 
the port city project where things stand now
 
ලංකාවෙ බොහෝ අය හිතන් ඉන්නෙ Port City කියන්නෙ Real Estate Project එකක් කියලා. 
 
පක්ෂ විපක්ෂ මන්ත්‍රීල වුණත් ගොඩක් හිතන් ඉන්නෙ මේකට ආයොජන එන්නෙ “මේක මුහුද ගොඩ කරල හදපු ඉඩමක් නිසා ආයොජකයො මුහුද බලාගෙන වැඩ කරන්න කැමති නිසා Port City  එකෙන් ඉඩම් සල්ලි දීල අරගනියි” කියල තමයි.
 
නෑ. මේක එහෙම එකක් නෙවෙයි. ආයොජකයන් මුහුද බලං සාප්පු සංකීර්ණ දාන්න ඉඩම් මිලදී ගන්න Project එකක් නෙවෙයි මේක. 
 
 
මේකට ආයොජකොයො එන්නෙ මේකෙ තියෙන්නෙ වෙනම නීති පද්ධතියක් නිසා. සරළව කිව්වොත් මේක වෙනම නීති තියෙන වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් නිසා. අන්න ඔය කියන වෙනම නීති පද්ධතිය තමයි සරළව කියනවනං පාර්ලිමේන්තුවට Port City  කොමිෂන් සභා පනත (Port City Commission Bill) කියල ඉදිරිපත් කරල දැන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙන්නෙ. 
 
 
 
වෙනම නීති පද්ධතිය ???
 
 
දැන් එන ප්‍රශ්ණය තමයි ඇයි දැන් ලංකාවෙ තියන නීති පද්ධතියට ආයොජකයො එන්නෙ නැද්ද කියල. සරළම උත්තරය “කොහෙත්ම නෑ" කියන එකයි. ලංකාවෙ නීති තියෙන්නෙ බිස්නස් හදන්න නෙවෙයි බිස්නස් වහල ගෙදර ඉන්න. අන්න ඒක නිසා ලංකාවට හොද ආයොජකයන් එන්නෙ නෑ. ඒකයි Port City වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් විදියට ඉස්සරහට ගන්න ඕන. 
 
 
(ඇත්තටම නම් වෙන්න ඕනේ මුළු ලංකාවේම තියෙන ව්‍යාපාර පහසු කරන නීතිය වැඩි වැඩියෙන් ඉදිරිපත් කරන එක. ඒක Port City  එකට පමණක් සීමා කරන්න හොඳ නෑ. ලංකාවේ එහෙම නීති වෙනස් කරන්න අමාරු නිසා තමයි තෝරගත්තු කෑල්ලක විතරක් ඕක කරන්න හදන්නේ) 
 
ඊට පස්සෙ එන ප්‍රශ්ණය තමයි මොනවද ඕකෙ තියෙන වෙනම නීති කියල. 
 
ඒකටත් සරළම උත්තරය “සෑහෙන ප්‍රමාණයක්" කියන එක. 
 
මුලින්ම ගත්තොත් ලංකාවෙ උසාවි ක්‍රමය. ලංකාවෙ උසාවි ක්‍රමයට හසු වෙනවනං ආයොජකයන් එන්නෙ නෑ මෙහේ ව්‍යාපාර කරන්න. 
 
 
z p01 Baseless
  
 
ලඟදි අධිකරණ ඇමතිතුමාම කියල තිබ්බා ලංකාවෙ නඩුවක් විසදන්න (Contract enforcement) දින 1318ක් යනව කියල. අපරාධ නඩුවක් විසඳන්න අවුරුදු 9.5 ක් යනව කියල. මම නෙමෙයි, අධිකරණ ඇමති ඇමතිතුමා  කියන්නෙ.  ඔය ඉලක්කං ටික දැක්කම ආයෝජක එනව නෙමෙයි දුවනවා. 
 
 
ලංකාව උඩින් ගුවන් යානයක් යානයක්වටත් අරං යන්නෙ නෑ. සරලව කියනවා නම් කාටහරි මිනී මැරීමක් වුනොත් අගතියට පත් පාර්ශ්වයට විසඳුමක් ලබාගන්න පුළුවන් වෙන්නෙ මියගිය කෙනාගෙ දස වර්ෂ පූර්ණ පිංකමට තමයි.  ඒත් වාසනාවක් තිබුණාත් තමයි ඉතිං.  
 
ඉඩම් නඩුවක් විසඳන්නම්  නම් මං හිතන්නේ අවුරුදු විස්සක්වත් යනවා.   
 
 
 
ඒක නිසා මේ Port City  එක සාර්ථක වෙන්නනං ඕකට වෙනම  අධිකරණ පද්ධතියක් ඕන. ඒකට ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුවන් සහ අධිකරණ ක්‍රමයක් ඕන. දැනට ලෝකයේම ව්‍යාපාර පහසුවෙන් කරන්න පුලුවන් දර්ශකයේ (Ease of doing Business Index) අපි ඉන්නෙ 99 වැනි තැන. ඉතිං කවුද එන්නෙ බිස්නස් කරන්න. (ඒකෙ මනින්නෙ කොළඹ නගරයේ ව්‍යාපාර කරන්න පුලුවන් පහසුව විතරයි.). 
 
 
එම දර්ශකයේ හැටියට,
 
#  ඉදිකිරීමක් කරන්න පර්මිට් (Constructiion Permit)  එකක් ගන්න දවස් 86ක් යනව. (මාස තුනක් විතර) 
 
#  විදුලිය ගන්න(Getting electricity) දවස් 100ක් යනවා. 
 
 
 
ඉතිං මොන ව්‍යාපාරද? 
ඊට පස්සෙ දැනට ලංකාවෙ නොවන පුරවැසියන්ට ලංකාවෙ රැකියාවක් කරන්න බෑ. ආයොජකයො එන්නෙ නෑ ලංකාවෙ මිනිස්සු එක්ක විතරක් වැඩ කරන්න. 
 
 
මූල්‍ය නගරයක් කියන සංකල්පයේම තියෙන්නෙ ලෝකෙ පුරා ඉන්න රට රටවල් වල මිනිස්සු ඇවිල්ල මේ නගරයේ වැඩ කරනවා කියන එකයි. ඉතිං ඒ වෙන වෙන රටවල් වල මිනිස්සුන්ට මෙහේ රැකියා කරන්න නීති තියෙන්නෙ ඕන. වෙන වෙන රටවල් වල මිනිස්සු ලංකාවෙ රුපියල් වලින් පඩි ගන්නෙ නෑ. [අපේ මේ රුපියල අවප්‍රාමාණය වෙන විදියට ලංකාවෙ මිනිස්සුවත් රුපියල් වලින් පඩි ගන්න කැමති නෑ.] 
 
ඔවුන්ට ගෙවන්න ඕන ඩොලර් වලින්. ඒකට නීති ඕන. 
 
ඔය මුල්‍ය නගරයේ වැඩ කරන්න එන්නෙ හොදට සල්ලි හම්බකරන මිනිස්සු. 
 
සරලව කියනවනං දවසපුරා වැඩ කරල හොදට සල්ලි හම්බ කරල සුපිරි ජීවිත ගතකරන ලංකාවේ සහ පිටරට මිනිස්සු. 
 
ඒ අයට සුපිරි නිවාස ඕන. ඉතින් ලංකාවෙ අපේ ගෙයක් හදන්න ගියාම TO (Technical officer) මහතයට පගාවක් දීල plan  එක approve  කරගන්නව වගේ ලයිට් ගන්න, වතුර ගන්න ටෙලිෆෝන් ගන්න මාස ගනං කල් ගන්නවා වගේ සහ හැම එකකටම පගා ගෙවන්න ඕන වගේ වෙලාව නාස්ති කරන වැඩ වලට ආයොජකයන් එන්නෙ නෑ. ඉතිං ගොඩනැගිලි හදන්න වෙනම නීති ඕන. 
 
 
Doo Doo the Clown 1024x978
වැඩ කරන්න එන වෘත්තිකයින්ගේ පවුල් වල අයට විනෝද වෙන්න ස්ථාන ඕන
 
 
 
ඊට පස්සෙ ඔය මූල්‍ය නගරයේ වැඩ කරන්න එන වෘත්තිකයින්ගේ පවුල් වල අයට විනෝද වෙන්න ස්ථාන ඕන. 
 
ලංකාවෙ කැසිනෝ (Casino) කියන්නෙ පවක් වුනාට ඒ මිනිස්සු විස්වාස කරන විදියට ඒක පවක් නෙවෙයි. ඉතිං ඒ මිනිස්සුන්ට කැසිනෝ, චිත්‍රපටි ශාල, නලගනන් වගේ විවිධ විනෝදත්මක දේවල් අවශ්‍යයි. 
 
එහෙම නැත්තං ඔය අයෝජකයන් සේවය මිනිස්සු බඳවා ගනිද්දි කවුරුත් මෙහේ එන්න කැමති  වෙන්නෙ නෑ. 
 
වෙන රටවල් වලට සැපට ඉන්න පුලුවන් කම තියෙද්දි මෙහේ ඇවිත් පරිප්පු කන්න කවුද කැමති වෙන්නෙ. 
 
 
ජාත්‍යන්තර පාසල් ඕන. :
 
 
ඊට පස්සෙ ඔය වැඩ කරන්න එන මිනිස්සුන්ගෙ ළමයින්ට ඉගෙන ගන්න ඒ රටවල්වල ප්‍රමිතියේ ජාත්‍යන්තර පාසල් ඕන. ඒවට ඒ ප්‍රමිතියේ ගුරුවරු, විද්‍යාගාර, ක්‍රීඩා අවශ්‍යයි. 
 
ඒවට ලංකාවෙන් වගේම වෙන රටවල් වලින් මිනිස්සු එන්න ඕන. 
 
ඒ අය තමන්ගෙ ලමයින්ව කොළඹ රාජකීය විද්‍යාලයට දාන්නෙ නෑ. දැනටමත් සමහර අන්තර්ජාතික පාසල් තියනවා ඔය තානපතිවරුන්ගෙ සහ විදේශික රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙ දරුවන් ඉගෙන ගන්න. 
 
මාත් එකපාරක් ගිහිල්ල ඇත්තටම පුදුම වුණා මෙච්චර හොද ඉස්කෝල ලංකාවෙ තියෙනවද කියල. ඉස්කෝලෙ ඇතුලෙ වෙන රටක් වගේ. විවිධ රටවල් වල ලමයි එකට ඉගෙන ගන්නෙ.
 
 
 
ජාත්‍යන්තර මට්ටමේ රෝහල් :
 
 
ඊට පස්සෙ ඔය එන සේවකයන්ට හදිස්සියෙ ලෙඩක් දුකක් හැදුනොත් කොළඹ ජාතික රෝහලේ පෝලිමෙ ඉන්න බෑ. ඒවගේම ලංකාවෙ පෞද්ගලික රෝහල් හරියන්නෙත් නෑ. Mount Elizabeth හරි John Hopkins මට්ටමේ රොහලක් වෙන්න එපැයි. 
 
අපේ මැති ඇමතිලත් පොඩ්ඩක් කලන්තයක් හැදුනත් සිංගප්පූරුවෙ Mount Elizabeth  යන එකේ මහන්සි වෙලා සල්ලි හම්බ කරන මිනිස්සුන්ට යන්න හොඳ ඉස්පිරිතාලයක් තියෙන්නෙ එපැයි. 
 
ඒවයේ වැඩ කරන්න එන දොස්තර මහත්වරුන්ට ඉන්න හිටින්න, ඔවුන්ට විනෝද වෙන්න, ඔවුන්ගෙ පවුල්වල අයට විනෝද වෙන්නෙ වගේ ගොඩක් දේවල් ඔය නගරය ඇතුලෙ තියෙන්නෙ ඕන. හරියට ඩුබායි සහ සිංගප්පූරු වගේ. 
 
 
 
'ලංකාවේ අධිකරණ ක්‍රමය හරියන්නෙ නෑ'
 
 
 
ඊට පස්සෙ ලංකාවේ අධිකරණ ක්‍රමය හරියන්නෙ නෑ. ඒවට වෙනම  අධිකරණයක් තිබ්බම ඒවට නඩු කතා කරන්න වෙනම අන්තර්ජාතික මට්ටමේ නීතිවේදීන් ඕන. 
 
මේක නිකං සුරංගනා කතාවක් වගේ වුණාට ඇත්තටම ඔය Port City වැඩේ හරියට කරොත් වෙන්නෙ ඒ වගේ වැඩක්. 
 
ඕවයෙ සේවය කරන restaurant වල Chef ලගෙ ඉදල පිටරටින් ගෙන්න ගන්න වෙනවමයි. ඕකෙ දාන Japaneese Resturant  එකක් උදාහරණයකට ගන්න. Japaneese කෑම හොදට උයන්න පුලුවන් ඒ රටවල් වල මිනිස්සුන්ටනෙ. 
 
 
 
 
නිවාඩු දින වුණත් වෙනස් කරන්න වෙයි. ලංකාවෙ නිවාඩු තියන විදියට ලෝකෙ එක්ක වැඩ කරන්න බැහැනෙ. එතොකට ඔය පෝය දිනයට බාර් වහනව වගේ ඒව ඒකට අදාල නැති වෙයි. 
 
ලංකාවේ මිනිස්සුන්ට හොදක් නැද්ද ?
 
 
 
දැන් ඊලගට එන ප්‍රශ්ණෙ මේකෙන් ලංකාවට, ලංකාවේ මිනිස්සුන්ට හොදක් නැද්ද කියන එකයි. 
 
තියෙනවා. සමහර රැකියාවලට පිටරටවල් වලින් සේවකයන් ගේන එක වියදම වැඩියි. එතකොට ලංකාවේ අදාල රැකියා කරන්න පුලුවන් අයට රැකියා  අවස්ථා ඇති වෙනවා. 
 
 
 
 
ඔය Port City එකේ වැඩ කරන්න එන පිටරට මිනිස්සු මෙහේ තව ව්‍යාපාර පටන් ගන්නවා. සංචාරය කරනව. අලුත් දැනුම හුවමාරු වෙනවා. ගුවන් ගමන් අතින් අපිට වාසියි.  බැංකු අතින් අපිට වාසියි.  Port City එකේ වැඩ කරන්න එන සමහර අයට ඒකෙ ඇතුලෙ apartment වල ඉන්න බැරිවෙයි. එතකොට පුලුවන් අය කොළඹ අවට තියන apartment වලට එයි. අනිත් අය එතැනින් පොඩ්ඩක් ඈත පදිංචියට යයි. ඉඩම් වල මිල වැඩි වෙයි. ඔයවගේ විශාල පරිවර්තනයක් කරන්න පුලුවන් මේක හරියට කර ගත්තොත්.
 
 
 
 
 ඔය Yacht Marine එක එහෙම හදල තියෙන්නෙ මං හිතන්නෙ Port City එක ඇතුලෙම ඉන්න සුපිරි  ධනවතුන්ට සහ ඔවුන්ගේ පාවිච්චියට. ධනවත් මිනිස්සුන්ගෙ ජීවන රටාවන් එහෙම තමයි. ඔවුන්ට ඔවුන්ගේම පුද්ගලික ගුවන් යාන තියෙනවා. Yacht  තියෙනවා. ලෝකෙ සොභාවය. 
 
 
b5
 
හැබයි ආයෙත් මතක තියා ගන්න ඕන, මේකට ආයොජකයන් ගෙන්න ගන්න පුලුවන් මුහුද ගොඩකරපු නිසා නෙවෙයි. මේකෙ නීති පද්ධතිය වෙනස් වුනොත් විතරයි.
 
 
 
 දැනට ලංකාවෙ තියෙනෙ  අධිකරණ පද්ධතියත් එක්ක, ව්‍යාපාර ලියාපදිංචි කරන ක්‍රියාවලියත් එක්ක, නිවාඩු ක්‍රමයත් එක්ක, කම්කරු නීති එක්ක හරිහමං ආයොජකයන් මෙහෙට ගෙන්න ගන්න අමාරුයි. 
 
පසුගිය අවුරුදු 20 ලංකාවට කොච්ච්ර ආයෝජන ඇවිල්ල තියනවද කියල බැලුවොත් ඒක බලාගන්න පුලුවන්. 
 
අපිට අවුරුද්දකට රජයට විතරක් ණය සහ පොලිය ගෙවන්න තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන හතරකට වැඩිය.  ඒත් අපේ විදේශ ආයෝජන තියෙන්නේ හැම ඇමරිකන් ඩොලර් බිලියනයකට අඩුවෙන්. 
 
අනිත් එක මේ අයෝජකයන්ට ලෝකෙ පුරා ඕනතරම්  අවස්ථා තියනවා. 
 
 
 
 
ඔබ නිකමට හිතන්න ඔබේ අතේ ඇමරිකානු ඩොලර් බිලියනයක් තියනවනං ඔබ ඒක ලංකාවෙ ආයෝජනය කරනවද, සිංගප්පුරුවෙ ආයෝජනය කරනවද, ඩුබායි වල ආයෝජනය කරනවද කියල. අන්න ඒ වගේම තමයි අනිත් ආයෝජකයනුත්. ඔවුන්ට ඉතා පහසු  අවස්ථා ලෝකෙ වටේම තියනවා. 
 
 
 
10X ideas තුනයි අපිට තියෙන්නෙ....
 
ඉදිරි අවුරුදු කීපය ලංකාවට ඉතාම අමාරු අවුරුදු කිහිපයක්. අපේ අතේ ඉස්සරහට යන්න පුලුවන් ව්‍යාපෘති තුනයි තියෙන්නෙ. 
 
අපිට රටක් විදියට ඉස්සරහට යන්න විශාල අදහස් තුනක් විතරක් තියාගෙන හැරෙන්නවත් බෑ. (Google සමාගමේ Concept එකක්  තියෙනවා 10X කියලා.  ඒ කියන්නේ  ඕනම දෙයක් විශාල පරිවර්තනයක් කරන්න ඕන නං  10% ගානෙ වැඩි දියුණු කරල හරියන්නෑ. 10 ගුණය ගානෙ වැඩි කරන්න ඕන කියල. අන්න ඒ වගේ 10X ideas  තුනයි අපිට  තියෙන්නෙ.)
 
 
 
1. එක ව්‍යාපෘතියක් තමයි ලංකාවෙ ඉඩම් ප්‍රතිසංස්කරණය සහ ජනතාවට ඉඩම් අයිතිය පැවරීම. ඒක කරන්න දෙන පාටක් නෑ. 
 
 
2. දෙවනි එක තමයි අපේ  අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම. ඒක කරගෙන යන බව  අධිකරණ ඇමතිතුමා කියල තිබ්බ. ඒත් ඒ ගැන විශ්වාසය අඩු ඕක අපේ නීතිවේදීන් ටිකම කඩා කප්පල් කරයි කියල හිතෙනව. මොකද ඒකෙන් ඔවුන්ගෙ ආදායමට විශාල බලපෑමක් එල්ල වෙන නිසා. දැනට නඩු කල් යන එක නීතිඥයන්ට වාසි බව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. 
 
 
3. තුන් වැනි සහ අවසාන එක තමයි Port City ව්‍යාපෘතිය. අලුත් අවුරුද්දේ අපේ එකම සහ අවසාන බලාපොරොත්තුව. 
 
 
 
දැනට කියවෙන විදියට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් විතර ඉඩම් ටික විකුණල හොයාගන්න පුලුවන් කියල තමයි කියන්නෙ. ඒත් ඉතින් හරි හමං නීති තිබුනොත් තමයි හොද ආයොජකයන් එන්නෙ. 
 
 
 
Silk Road 2021.04.17
පෝට්සිටි පලමු අදියරේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂගේ සහ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් 2014 සැප්තැම්බර් 17 වන දිනදී ආරම්භ කෙරුණි
 
ඊලගට ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගනිද්දිම ප්‍රශ්ණ තිබ්බ නේද? පරිසර අධ්‍යයන වාර්තා තිබ්බෙ නෑ. මේකට චීනය මැදිහත් නේද?. සමාරම්භක උත්සවයෙදි චීන කොඩි දාල ලංකාවේ කොඩිය ගැලෙව්ව නේද කියල. 
 
ප්‍රශ්න තියනවා. නැත්තෙ නෑ.
 
 ඉංග්‍රීසි භාෂාවේ තියනව කියමනක් “Beggars can't be choosers” කියල.
 
 දැන් අපි මේකට සල්ලි වියදම් කරල ඉස්සරහට ගිහිල්ල ඉවරයිනෙ. 
 
මේක ගොඩ දාගන්න ක්‍රමයක් හිතනව මිසක් දැන් ඉතින් අපිට ගොඩ කරපු ඉඩමේ ක්‍රිකට් ගහන්න බැහැනෙ. 
 
ඒක නිසා ප්‍රශ්න තියනවා.  ඒත් ඉස්සරහට යන්න ඕන.
 
 
 
 කලු සල්ලි සුදු කරන තිප්පොලක් වේවිද?
 
 
ඊළඟට අහන මූලිකම ප්‍රශ්ණය තමයි මේකෙන් දීල තියන බදු සහන නිසා කලු සල්ලි සුදු කරන තිප්පොලක් වේවිද කියන එක. 
 
මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්ණයක්. පොඩි පොඩි කරුණු වලට යන්න කලින් මූලික සංකල්පය තමයි, රටක බදු ප්‍රමාණය සහ බදු ප්‍රතිශත අඩු වෙලා අය කරන බදු ප්‍රතිශත අතර වෙනස අඩු වෙන්න ඕන. 
 
 
සරළවම කියනවනං බදු ක්‍රමය සරළ වෙන්න ඕන. දැනට ලංකාවෙ තියෙන බදු ක්‍රමය ආදායම් බදු දෙපාර්තුමේන්තුවටත් හොයාගන්න අමාරුයි. 
 
මගේ මිත්‍ර ව්‍යාපරිකයන්ගෙ Payroll එකේ ඔය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඕන තරං මාසෙ ගානෙ පඩි අරගෙන ඉන්නවා. 
 
බදු ක්‍රමය සංකීර්ණ නිසා ව්‍යාපාර කරන මනුස්සයට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ බයිල අහනවට වඩා ලෙසියි ඒකෙ මනුස්සයෙක්ට මාසෙකට ගාණක් දීල වැඩේ කර ගන්න එක. ඒක නිවැරදි නෑ. ඒත් සංකීර්න බදු ක්‍රමයක් තිබ්බම වෙන්නෙ ඒකයි. 
 
(දැන් මගේ ව්‍යාපරික යාලුවො “ඔව් ඒකනං ඇත්ත අපිත් එහෙම තමයි කියල මේකෙ කොටන්න එපා. ඊට පස්සෙ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ තව අය එයි ඕගොලොන්ගෙ Payroll එකට රිංගන්න. විහුලුවක් ඈ. මට ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එක්ක කිසි අවුලක් නෑ. කිව්වෙ මහ පොලවෙ යතාර්තය).
 
 
 
 
ආනයන බදුත් එහෙමයි. දැන් ලංකාවෙ තියෙන ආදායම් බදු සමීකරණය දැක්කොත් ඇල්බට් අයින්ස්ටයිනුත් කොර වෙනවා. මම එක පාරක් හිටපු සැසියක හාවඩ් (Harvard) විශ්වවිද්‍යාලෙ මහාචාර්යවරයෙක් කිව්ව ලෝකෙ වටේ ගියත් එයත් අපේ බදු වල තියන සමහර ඉංග්‍රීසි වචන පලවෙනි වතාවට ඇහුවෙ කියල. 
 
 
 
Port and Airpot Levy (PAL), VAT, CESS, SCL, Para Tarrif කියල ඕව එක උඩ එක බදු වැදිල හරියට නිකං සරල ගුණ කිරීමක් කරන්න බැරුව කල්පනා කරන  මනුස්සයයෙක්ට අනුකලනයෙන් පිහියෙන් අනිනවා වගේ වැඩක් තමයි දැන් තියෙන්නෙ. 
 
ආනයන අපනයන කරන්නෙ සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ට ගණිතයෙන් ආචාර්ය උපාධියක් නැහැ. ඉතිං සාමාන්‍යෙන් ආනයනය කරන මනුස්සයක්ට රේගුවට පගාවක් දීල බදු වලින් පැනල එන එක ලේසියි ඕක තේරුම් ගන්න උත්සහ කරනවට වඩා. අන්න එක්කයි ලංකාවට බදු ආදායම අඩු වෙන්නෙ. 
 
ඕක 5%, 10%, 15% කියල කොටස් තුනකට සරලව තිබ්බනං ආනයනය කරන මනුස්සයට ඔය බද්ද ගෙවල නීත්‍යානුකූල විදියට බඩු ගේනෙ එක ලේසියි පගා දෙනවට වඩා.
 
 
 
 ඉතිං Portcity බදු තර්කයත් ඒ වගේමයි. තෝරගත්තු අයට බදු සහන දෙනවට වඩා ගැලපෙන්නෙ මුලු ලංකවටම සරළ බදු ක්‍රමයක් හදුන්වල දීම. එතකොට බදු ආදායම වැඩිවෙයි නිකංම. 
 
 
අනිත් එක තමයි හොද ව්‍යාපර සහ ආයෝජකයන් බදු වලින් පැනල යන්න බලාගෙන අපේ වගේ රටවල් වල ආයෝජනය කරන්න එන්නෙ නෑ. 
 
පිටරට ඉන්න අය දන්නවා ඇමරිකාවෙ, ඩෙන්මාකයේ, ඔස්ට්‍රේලියවෙ වගේ රටවල් වල අපිට වඩා බදු සෑහෙන වැඩියි. ඒත් ආයෝජකයන් ඒ රටවල් වලට පොර කකා යන්නෙ.
 
 ආයෝජකයන් විතරක් නෙවෙයි, ලංකාවේ කොල්ලො කෙල්ලො බෝටුවෙනුත් යනවා, කියන තරං බදු ගෙවන්නං PR එක දෙන්න කියල. වැදගත් වෙන්නෙ බදු සහන වලට වඩා ආර්ථික සහ දේශපානික සහ ප්‍රතිපත්තිවල  ස්ථාවර බව වගේම ලාභ  උපයන්න පුලුවන් හැකියාව. 
 
 
 
 
ඒක නිසා මේක අපි ලෝකෙට විකුණන්න ඕන බදු අය කරන්නෙ නැති මධ්‍යස්ථානයක් විදියට වඩා පහසුවෙන් ව්‍යාපාර කරන්න පුළුවන් නගරයක් විදියට. අපි ඕගොල්ලොන්ට ඉඩම් දෙනව, බදු ගෙවන්න එපා වගේ කතා හොද ආයොජකයන්ට වැඩක් නෑ. ඔවුන්ට තියන ලොකුම ප්‍රශ්නේ බදු ගෙවන එක නෙවෙයි. ලාභ උපයන එක. ලාභයක් ඉපැයුවාමනේ බද්දක් ගෙවන්නෙ. ඒකත් අපි හිතේ තියා ගන්න ඕන. 
 
 
අනික ඔය බදු මුදල් ගොඩක් එකතු කරා කියල අපේ රජයන් වැඩක් ඇති දේවල් කරන්නෙ නෑනෙ ඔය බදු මුදල් වලින්. කරන්නෙ ඔය කුට්ටියක් හම්බවෙන ව්‍යාපෘති විතරයි. වැඩි හරියක් ව්‍යාපෘති අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. 
 
 
 
 භූ දේශපාලනය (Geo politics) :
 
 z p04 Geopolitics 03
අපේ මුලු ලෝකයම අපිට චීනය වුණාට චීනයට ඔවුන්ගේ ලෝකයම අපි නෙවෙයි.
 
 
 
ඊළඟට මේකෙ බලන්න ඕන භූ දේශපාලනය (Geo politics). මගේ ටිකිරි මොලේ හැටියට අපි චීනය මත විතරක් යැපුනොත් අපිට යන එනමක් නැති වෙනවා. 
 
සාමාන්‍යයෙන් ආයෝජන වල මූලිකම නීතිය තමයි “Don’t put all your eggs in one basket”  කියන්නෙ. අපේ මුලු ලෝකයම අපිට චීනය වුණාට චීනයට ඔවුන්ගේ ලෝකයම අපි නෙවෙයි. 
 
ඒ නිසා මේ Port City එකට ඉන්දියාවෙන්, ඇමරිකාවෙන් සහ මැද පෙරදිගින් ආයෝජන ගෙනාවොත් විතරයි මේක ස්ථාවර වෙන්නෙ.
 
 චීනය ආයොජනය කල පමණිනින් මේක සාර්ථක ව්‍යාපෘතියක් වෙන්නෙ නෑ. 
 
චීනයේ අවශ්‍යතාවය මට පේන හැටියට ඔවුන්ගේ මුහුදු සැපයුම් මාර්ගය තහවුරු කර ගැනීම පමනයි. ඒ සදහා හම්බන්තොට වරාය, කොළඹ වරායේ CICT පර්යන්තය සහ දැන් Port City ව්‍යාපෘතිය ඔවුන් තහවුරු කරගෙන අවසානයි. 
 
වෙන රටවල් ආයෝජනයට ආවෙ නැත්තං ප්‍රශ්ණය වෙන්නෙ අපිට මිසක් ඔවුන්ට නොවෙයි. 
 
 
භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීත්වය !
අවසානයට හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි මේක ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීත්වයට බලපානෙ කොහොමද කියල. 
 
වෙනම උසාවි, වෙනම ඉස්කෝල, වෙනම රෝහල්, වෙනම නීති වුණාම වෙනම රටක් වෙනව නේද කියල.  
 
ඒ ප්‍රශ්නයටනං මිත්‍රවරුනි මං උත්තර දෙන්න යන්නෙ නෑ. ඒ ප්‍රශ්නයට මුලින්ම උත්තර දෙන්න ඕන 13 කියපු ගමං  ස්වෛරිත්වය ගැන කථාකරපු අය තමයි. භෞමික අකණ්ඩතාවය ගැන මං විශාරදයෙක් නෙවෙයි. 
 
 
 
 
Port City ව්‍යාපෘතිය හරහා ඇත්තටම වෙන්නෙ ලංකාවේ ඒකාධිකාරයක් තියන් ඉන්න සමහර වෘත්තිකයන් අන්තර්ජාතික වශයෙන් තරගකාරීත්වයට මුහුණ දෙනවා. ඒ තරඟකාරීත්වයට අකමැති පිරිස් බොහෝ වෙලාවට මේකට විරුද්ධ වෙනවා.  නීතිඥයන්, වෛද්‍යවරුන් වගේම බොහෝ වෘත්තීන් අන්තර්ජාතික තරඟකාරීත්වයට මුහුණදීම නිසා අභියෝගයට ලක්වෙනවා. ලංකාවට ඉස්සරහට යන්න අවශ්‍ය නම් අපි හැමෝටම ඒ අපි අභියෝගයට මුහුණ දෙන්න වෙනවාමයි. 
 
 
 
 සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට අකැමැති බොහෝ දෙනෙක් කියපු දෙයක් තමා සිංගප්පූරුවෙන් මිනිස්සු මෙහෙ වැඩ කරන්න ආවොත් අපිට කරන්න රස්සා කොහෙද කියල.  එකේ වක්‍රාකාර අර්තය තමයි කොම්පැනියක අපේ රටේ කෙනෙකුයි සිංගප්පූරුවේ කෙනෙකුයි සම්මුඛ පරීක්ෂණයට භාජනය කළොත් සිංගප්පූරුවේ කෙනාව රස්සාවට ගන්නව,  මොකද අපිට තරග කරන්න අමාරු නිසා. 
 
මේකෙ අර්ථය ලංකාවෙ අපිට බෑ කියන එක නෙවෙයි. ලංකාවෙ අපිට පුළුවන්. නමුත් අපිට පුළුවන් වෙන්නේ අපි තරඟයට මුහුණ දුන්නොත් විතරයි.   
 
ජයග්‍රහණයට සහ පරාජයට දෙකටම මුණ දෙන්න වෙනවා. ලෝක කුසලානයක් දිනන්නනං පුළුවන් තරම් තරඟ කරන්න ඕන. හැංගි හැංගි ඉඳලා ලෝක  කුසලානයක් දිනන්න බැහැ. අපි ඉංග්‍රීසියෙන් කියන්නෙ Exposure එක / Competitiveness කියල ඔන්න ඕකට.
 
 
 
බුදු දහමේ එන සංකල්ප එක්ක ගලප ගන්නෙ කොහොමද?
 
 
 
Blog Photo 1024x612
අවසාන වශයෙන් බොහෝ ලාංකිකයන්ට ඇති ප්‍රශ්ණය තමයි සූදු පොලවල්, විනෝද උද්‍යාන, පිටරැටියන් අපේ රටේ වැඩ කිරීම වගේ දේවල්  බුදු දහමේ එන සංකල්ප එක්ක ගලප ගන්නෙ කොහොමද කියල. 
 
ඇත්ත. පිටරට අය අපේ රටේ වැඩ කිරීම බුදු දහමට පටහැනි වෙන්නෙ නැහනෙ. බුදුදහම ආවෙත් ඉන්දියාවෙන් නිසා කොහොමත් ප්‍රශ්ණයක් නැහැනෙ. අනික බුදු දහම කියන්නෙ ලෝක සත්වයා ගැනම තියෙන දහමක් මිසක් ලාංකිකයන් ගැන තියෙන දහමක් නෙවෙයිනෙ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. 
 
හැබැයි Port City  කියන්නෙ වෙළද සහ මූල්‍ය නගරයක්. ඒක ආරාමයක් හෝ පන්සලක් නෙවෙයි. බුදු දහම කියන්නෙ අපි තනි තනිවම ප්‍රගුණ කරන අභ්‍යන්තර ගමනක් මිසක් ලෝකය හදන්න යන ගමණක් නෙවෙයි. ඒකනේ කියන්නෙ  බුදුරජාණන් වහන්සේ සත්‍ය වූ අවබෝධ කරගත්තේ තනියම කියල. 
 
 
 
 
 
බුදුරජාණන් වහන්සේ කරන්න සුදුසු නැහැ කියල දේශනා කරපු අවිආයුධ වෙළඳාම, මත්පැන් වෙළඳාම, වස විස වෙළඳාම  දැනටමත් වැඩිපුරම කරන්නෙ ශ්‍රී ලංකාවේ රජය. ඒකට අමුතුවෙන් Port City එකක් ඕනෙ නෑ. අවි ආයුධ තියාගන්න සම්පූර්ණයෙන් ලයිසන් දෙන්නේ රජය.  බාර් දාන්න, මත්පැන් පෙරන්න, රසායනික ද්‍රව්‍ය වගේ ඔක්කොම කරන්නෙ ආණ්ඩුව. 
 
අපි තුවක්කුවක් තියා ගත්තොත් නීති විරෝධියි. ඒත් ආණ්ඩුවට ඕන තරං තුවක්කු තියා ගන්න පුලුවන්. ඉතිං ඒක කරන අය බලාගන්න ඕන වැඩක් මිසක් ඒක අපේ පුද්ගලික වැඩක් නෙවෙයි. අපි ඒකට අකමැතිනං අපි ඒකෙන් ඈත් වෙලා ඉන්න ඕන. අපේ ගමන යන්න ඕන. 
 
ඒකයි බුදුදහමේ ලෝකයයෙන් අයපත අයින් කරනවා වෙනුවට තමං තමන්ගේ සිත කය වචනය පාලනය කර ගනිමින් සත්‍ය අවබෝධ කරගන්න කියල තියෙන්නෙ.  
 
දේවදත්ත හාමුදුරුවො බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියම භික්ෂූන් වෘක්ෂ මූලික වෙන්න ඕන, මස් මාංශ අනුභවයෙන් තොර වෙන්න ඕන වගේ නීති පනවන්න කියල බුදු හාමුදුරුවො කිව්වෙ කැමති කෙනෙක්ට ඒව කරන්න පුලුවන්, කැමති කෙනෙක්ට  නොකර ඉන්න පුළුවන් කියල. මොකද අපිට ලෝකය හදන්න බෑ. බුදු දහම රකින්න ඕනනම් අපි ධර්මය අනුගමනය කරනවා විනා ලෝකය අධාර්මික දේවල්  නතර කරන්න අපේ ධර්මාවබෝධය  කැපකරන්න යාමෙන් ධර්මයයි, සංවර්ධනයයි දෙකම නැති වෙනවා. 
 
අද වෙලා තියෙන්නෙ පන්සල් කුඩා මූල්‍ය නගර වෙලා අපි විශාල මූල්‍ය නගරයක් පන්සලක් කරන්න හදනවා කියලයි මට හිතෙන්නෙ. 
 
අලුත් අවුරුද්දෙ අපිට තියෙන එකම බලාපොරොත්තුව Port City එක. යන විදියට පේන්නේ මේකත් ඉතාම දේශපාලණීකරන වේගෙන යනව කියලයි. ඒකට වෙන්නෙ මොකක්ද කියල කියන්න පුලුවන් කාලයට විතරයි. එතකං මං යනව අවුරුදු සමරන්න. 
 
 
+නාත්
Dhananath Fernando ධනා
 
(මේක මගේ පුද්ගලික මතය පමණක් බව කාරුණිකව දැනුම් දෙනවා. මම  සම්බන්ධ කිසිම ආයතයක හෝ  සංවිධානයක මතය නොවන බව, සුභ අලුත් අවුරුද්දක් වේවා කියමින් මතක් කරනවා)
 
 
 
Dhananath 2021ධනනාත් ප්‍රනාන්දු 
(සමාජ හා ආර්ථික විශ්ලේෂක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
(Dhananath Fernando ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
##################
 
THE LEADER TV 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්