අදින් 2021 නව වසරේද මාස 05 ක් අවසන් වන්නේය. රාජපක්ෂලා නැවත ආණ්ඩු පාලනයට ගෙනැවිත් දැනට මාස 18 ක් ගෙවී ඇත.
 
 
එක දිගට පැවති අවුරුදු 09 ක පළමු රාජපක්ෂ පාලන යුගය අවසන් කර එහි තිබූ අප්‍රසන්නකම් සෝදා හැර වැදගත් ආණ්ඩු පාලනයක් සඳහා ඊළඟට දේදුනු විප්ලවයකින් ඔසවා ගෙනැවිත් යහපාලනයක් යැයි වාඩි කරවා ගත් පුස්සන් හපුට්ටන් තොගය සොරකම් කෙරුවා මිස මිනීමැරුවේ නැත. 
 
උනුන් අතර කුලල් කා ගත්තා මිස රටක් පාලනය කරන්නට දැන සිටියේද නැත. එනිසා නැවත රාජපක්ෂලා මිස වෙනත් පාලනයක් සිංහල බෞද්ධ සමාජය ඉල්ලුවේද නැත.
 
යාන්තමින් අවුරුදු 05 ක් සම්පූර්ණ කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමුණා ගත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා හැකි වූවත් තව වරක් එවැනි යහපාලනයක් මේ රටේ ජනතාවට අවශ්‍ය නොවුනි. එනිසා මෙවර සිංහල බෞද්ධ නායකයින් ඉල්ලා සිටියේ ඉතා සෘජු, දැඩි රාජපක්ෂ පාලනයකි.
 
මේ දෙවන රාජපක්ෂ යුගය ආරම්භයේ සිටම අසන්නට ඇත්තේ සිල්ලර හොරකම්, කෙළවරක් නැති අනවසර කැලෑ කැපීම්, වැලි ගොඩ දැමීම් වලට අමතරව ඔවුන්ට පාලනය කරගත නොහැකි කොරෝනා වසංගතයේ විපාක සහ ආර්ථිකය බිඳ වැටීම් ගැන පමණි. ඉල්ලන ඕනෑම දේකට ඕනෑ තරම් මුදල් දෙන්නට ආණ්ඩුවට මුදල් ඇතැයි කියුවාට, මෙදා පාර පසුගිය වාරයේ වාගේ යෝධ හොරකම් සඳහා මුදල් ඇති පාටක්ද පෙනෙන්නට නැත.
 
 
“ඉටුකම” අරමුදල:
 
කොරෝනාව සීඝ්‍රයෙන් පැතිරෙන්නට පටන් ගත් පසුගිය අවුරුද්දේ මාර්තු මාසය වනවිට මේ රාජපක්ෂ ආණ්ඩුව ඊට මුහුණ දීමට යැයි “ඉටුකම” අරමුදලක් පිහිටුවා ඊට ජනතාවගෙන් මුදල් එකතු කළේය. 
 
එයට රුපියල් මිලියන 1,752 ක් එකතු වූ බවත් මිලියන 1,360 ක් පසුගිය මැයි මස ආරම්භ වන විට ඉතිරිව තිබූ බවත් විගණන සහතික නොවුනත් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කෙරුවේය. 
 
එසේ නිවේදනය කෙරුණේ කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල් පහසුකම් වැඩි දියුණු කරන්නට දානපතියන්ගෙන් ආධාර ඉල්ලා නාමල් රාජපක්ෂ සහ සුදර්ශනී ප්‍රනාන්දුප්ලලේ ඇමතිවරුන් ආයාචනා කළ විට, ඉටුකමට වූයේ කුමක් දැයි ප්‍රශ්න මතු කෙරුණෙනි. එහි ඉතිරි මුදල් කෝවිඩ් එන්නත් සඳහා වැය කරන්නට තීන්දු කර ඇතැයි ද එම නිවේදනයෙන් කියා තිබුණි.
 
  
 
කීයක් හරි යටි මඩි ගසා ගැනීමට :
 
ඊට අමතරව ඉදිරියේදී මේ අයියලාට අවශ්‍ය නම් කීයක් හරි යටි මඩි ගසා ගැනීමට හැකි ඉදිකිරීම් වෙනුවෙන් පසුගිය අප්‍රේල් මස 25 වන දින ජල කලමනාතරණය සඳහා වාරි මාර්ග හා වේලි නවීකරණයට ඩොලර මිලියන 69.53 ක ණයක්ද මහනුවර දුම්රිය, ත්‍රී රෝද හා පදිකයින්ගේ පහසුව සඳහා ඒකාබද්ධ සේවාවක් වෙනුවෙන් මධ්‍යම බස්නැවතුම් පොළක් සඳහා ඩොලර මිලියන 69.33 ක ණයක්ද ලෝක බැංකුව සමග අත්සන් කළේය.    
 
 rajapaksa hasina pid 1616138677122
Bangladesh Prime Minister Sheikh Hasina welcomes her Sri Lankan counterpart Mahinda Rajapaksa with a bouquet at Hazrat Shahjalal International Airport in Dhaka on Friday, March 19, 2021 PID
 
  
මේ අතර රටේ ආර්ථිකය ගැට ගසා ගැනීමට බටහිර පකිස්තානයේ පිළිකන්න ලෙස අවුරුදු 23 ක් පැවත, ඊට එරෙහිව අවුරුදු කිහිපයක් කැරළි ගසා අවසානයේ මීට අවුරඅදු 40 ට පෙර ඉන්දියානු හමුදා සහායෙන් ස්වාධීන වූ නැගෙනහිර පකිස්තානය, දුප්පත් රටක් ලෙස බංගලාදේශය නමින් අලුත් ජීවිතයක් පටන් ගත්තද පසු ගිය සතියෙ අපි ඔවුන්ගෙන්ද ඩොලර මිලියන 250 ක් ණයට ඉල්ලා ගත්තෙමු. 
 
ඊට පෙර දකුණු කොරියාවෙන් ඩොලර මිලියන 500 ක්ද චීනයෙන් ඩොලර බිලියන 01.5 ක්ද ණයට ඉල්ලා ගත්තෙමු.     
 
කෙසේ නමුත් මෙවර රාජපක්ෂලාගෙන් කාර්යක්ෂම, බලසම්පන්න ආණ්ඩු පාලනයක් බලාපොරොත්තු වූ සිංහල බෞද්ධ ජනතාවට නැවත ඉතිරිව ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලනයටත් නඩා බෙලහීන, අයාලේ යන පාලනයක් යැයි ඔවුහුම කතා වෙති. ඔවුන් අතරම මේ පාලනය දැන් ඇතැයි හැඟීමක් මෝරමින් එන බවක් දකින්නට ඇත.  
 
  
 “ආණ්ඩුව” හා “රජය” අතර වෙනසවත් නොදන්නා යහපාලන ගිරව්:
 
එහි වාසිය ගැනීමට දැන් “ආණ්ඩුව” හා “රජය” අතර වෙනසවත් නොදන්නා යහපාලන ගිරව් මේ ආණ්ඩුව ඉවත් වීමට කාලය පැමිණ ඇතැයි තැනින් තැන කියනු අසන්නට ඇත. 
 
හරියාකාරව රට පාලනය කිරීමට නොහැකි නම් රට විනාස නොකර රාජපක්ෂලා ගෙදර යා යුතු යැයි ඔවුන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත.
 
 එසේ කතා කරන අයගේ කෙරුවාවද අපි අත් වින්දෙමු. ඔවුන් රට විනාස කළ හැටිද අපි දැක්කෙමු. රාජපක්ෂලා 69 ලක්ෂයක් සමග නැවත බලයට ආවේද ඔවුන්ගේ තුච්ඡ “යහපාලනය” නිසා බැව් අපි දනිමු.
  
එනිසා අප හමුවේ අන් කවරදාටත් වඩා බරපතල ගැටළුවක් ඇත. ජාතික ජන බලවේගය “රාජපක්ෂ විරෝධය” වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළද අද රට මුහුණ දී ඇති බරපතල අර්බූද වෙනුවෙන් ඔවුන්ගේ වැඩ සටහනක් ගැන කතා නොකරති. 
 
88 - 90 වසර වල ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් පසු පාර්ලිමේන්තු දේශපාලනයට සේන්දු වූ ඔවුන්ට, සිල්ලර කඩ පාලනය සඳහා යෝජනා තිබුණාට, මේ අති දූෂිත සමාජයට හේතු වූ විවෘත වෙළඳ ආර්ථිකයට විකල්ප ලෙස රටක් සංවර්ධනය කළ හැකි පුළුල් ජාතික සැළසුමක් ඉදිරිපත් කරන්නට තරම් බුද්ධිමය සම්පත් ගොනුකර ගත නොහැකිව ඇත.
 
51641
 
සමගි ජන බලවේගය ඊට නොදෙවෙනි ය. ඔවුන්ගේ නායකයින්ද පාර්ලිමේන්තු ගාල ගෝට්ටි වලට මිස වෙනකකට හැකියාවක් නොපෙන්වති. 
 
ඔවුන්ගේ සාර්ථකම පක්ෂ නායකත්වය වූ ජයවර්ධන ජනාධිපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඔහුගේ විවෘත වෙළඳපල ආර්ථිකය සමග වන යෝධ දූෂණ සමගින් ගමන් යනු මිස වෙනකක් ගැන ඔවුන් දන්නේද නැත.
 
එනිසා උත්තර නැති ප්‍රශ්නය වන්නේ, මේ ආණ්ඩුවට ගෙදර යන්නට කාලය පැමිණ ඇතැයි යහපාලන ගිරව් කියුවාට, ඊළගට ඔවුන් කැන්දන් එන්නට සිතා සිටින්නේ කවුරුන්ද යන්න නොවේ. ඊළගට එන ආණ්ඩුවේ ජාතික සවර්ධන වැඩපිළිවෙල කුමක්ද යන්නයි.
 
පළමු කාරණය, ඔවුන් කියුවාට මේ රාජපක්ෂලා ගෙදර යන්නේ නැත. කට මැත දෙඩෙව්වාට ඔවුන්ට මේ රාජපක්ෂලා ගෙදර යවන්නටද නොහැක. රාජපක්ෂලා මැතිවරණ තීන්දු කරන ආණ්ඩු මාරුවකට තව අවුරුදු දෙක තුනක් හෝ ගත වෙනු ඇත.
 
 
 
රාජ යෝග ඇති පොදු අපේක්ෂකයෙක් !!!
 
එබැවින් 2021 වසරේද පළමු භාගයේ අවසන් මාසය ආරම්භ වන හෙට ජූනි 01 වන දින සිට අප වෙහෙස විය යුත්තේ කිහිප වර පොට වරද්දා ගත් රාජ යෝග ඇති පොදු අපේක්ෂකයෙකු හෝ ශක්තිමත් නායකයෙකු සොයන්නට නොවේ. අප මුහුණ දෙන යෝධ අර්බූද සඳහා පුද්ගල විසඳුම් ඇත්තේ නැත.
 
අප වෙහෙස විය යුත්තේ ග්‍රාමීය ආර්ථිකය නංවාලීමේ සිට කෘෂිකර්මාන්තය, නිවාස, පොදු මගී ප්‍රවාහනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ජන මාධ්‍ය ඇතුළත් ජාතික සංවර්ධන සැළසුමක් සමාජගත කිරීමට සහ ප්‍රජා සහභාගිත්වය සහතික කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමාජ කතිකාවක් ඔස්සේ කෙටුපම්ත් කර ඒවා ක්‍රියාත්මක කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් ගොනුකර ගැනීම වෙනුවෙනි.
 
කෙටියෙන් සරළව කිවහොත් හැමදා ඔසවා ගන්නා රාජපක්ෂ විරෝධයෙන් මේ රටට වැඩක් නැත. එය වැලේ වැල් නැති තවත් දූෂිතයින් රොත්තකට ඉඩ තබන්නක් පමණි.  
  
Kusal Perera(කුසල් පෙරේරා)
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ 
ප්‍රවීන මාධ්‍යවේදී 
 
2021 මැයි 31 වන දින 

 

 


 

 

THE LEADER TV 
 

කුරුණෑගල හොඳටම කළේ ජොනී

 

සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්