මෙම ‘කිවි දා දැක්ම’ ලිවීමට මා වාඩි වුණේ සුපුරුදු ලියන මේසයට අදාළ පුටුවේ නොව ඊට මඳක් එහායින් එළිපත්තේ ඇති යකඩ ඇලුමිනියම් මේසයට අදාළ යකඩ පුටුවක ය. 
 
ඊට හේතුව නැගෙනහිරින් එන උදැසන දඟකාර ලා කහ පැහැති හිරු එලිය සුපුරුදු මේසය මත දගලමින් පරිඝනක තිරය නො පෙනෙනා තැනට වැඩ සලස්සන එක ය. එළිපත්තේ මේසයට නිතර පෙනෙන යාබද ඉඩමේ ඇති කොස් ගසේ මුදුන මවන අඳුරු සහ ගුප්ත පෙනුම ට වඩා ඒ අසලම ඇති පොල් ගසේ මුදුන ආලෝකමත්ය. වර්ණවත් ය. 
 
පරිඝනකයේ ලිවීම් කරන බොහෝ විට ඇස් දෙකේ වෙහෙස නිවාගැනීමට සහ මනසට නිදහසක් සොයාගැනීමට හිස් අහස සහ අවකාශය දෙස තිරස්ව බලන විට මුලින්ම ඇහැ ගැටෙන්නේ මේ ගස් මුදුන් දෙකය. හරියට ම හැමදා ම නො දුරක සිටින දෙවිදිහක මිතුරන් දෙදෙනෙකු සේ ය. 
 
එවැනි බොහෝ වෙලාවල්වලට මා දකින දසුන් විවිධ ය, විචිත්‍ර ය. හොඳ හැටි ඉහළට හරහට සහ පහලට අත් විහිදා සිටින පෝල් ගසේ අතු මත විටෙක ගිරවුන් ය. විටෙක පිලිහුඩුවෙක් ය. විටෙක කවුඩන් දෙතුන් දෙනෙක් ය. විටෙක මයිනන් දෙදෙනෙකු ය. විටෙක අළු කොබෙයි යුවළක ගේ උකුළු මුකුළු ය. විටෙක ඕනෑවටත් වඩා සිලි සිලි හඬින් කෑ ගසන සිලිබිල්ලන් රංචුවක් ය (සිලිබිල්ලන් කොළඹ අයට නම් දෙමලිච්චන් ය). 
 
විටෙක හොට නොව තටු පිරි මඳින රතු වර්ණය කැපී පෙනෙන කොට්ටෝරුවෙක්ය. විටෙක ඇටිකුකුල් යුවලක් ය. විටෙක කොන්ඩ කුරුළු දෙපළක් ය. විටෙක පොල්ගසට යාබද ඉඩමේ මානා පඳුරුවල ඇට කෑමට පැමිණ ටික වෙලාවක් ගිමන් හරින වී කුරුළු රංචුවක් ය. 
 
තවත් විටෙක පපුව පෙරට දමා හති දමමින් මා දෙස ත් වටපිටත් මාරුවෙන් මාරුවට බලන කඩවසම් කාලවර්ණ කපුටෙක් ය. පොල් අතු දිගේ එකිනෙකා පසුපස ලුහු බැඳ යන ලෙහෙනුන් ගේ දසුන් ද ඒ අතර ය. ඇතැම් විට මේ වර්ග කීපයක් හෝ බොහෝ පිරිසක් ය. 
 
මේ දෙස බලා සිටීමේ මගේ පුරුද්දට දැන් නම් අවුරුදු හයකටත් වඩා වයස ය. පුදුමයකි. ඒ කිසිවෙකුත් එනම් කිසිදු පක්ෂියෙක් මේ ගස හෝ යාබද කොස්ගස අවභාවිතා කළේ හෝ අවකලමනාකරණය කළේ හෝ ඒ මත විනයක් නැතිව හැසිරුණේ හෝ ගසට වංචා කළේ හෝ අතු කඩා බිඳ ගස නාස්ති කළේ හෝ අතුමත සිට එකිනෙකා ගහමරා ගත්තේ හෝ නැත. පාඩුවේ ලියනකියන මට කරදරයක් වුණේද කළේද නැත. ගස් දෙක ද දිනෙන් දින වැඩුනා මිස පලදාව දුන්නා මිස වඳ පීදුණේ ද නැත.  
 
 
 
''දැන් වටින්නේ ලෝකය විග්‍රහ කිරීමට වඩා එය වෙනස් කිරීමය''
 
මේ ලඟක දී මගේ පෙම්වතිය අප දරුවන් නැති තැනෙක මට අවවාදයක් කළේය. ඉන් කියවුණේ මා සතු හිතුවක්කාර පුරුද්දක් දරුවන්ට ද බෝවී ඇති නිසා දැන්වත් ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න කියා ය. ඇයට අනුව ඒ නරක පුරුද්ද වන්නේ මා බොහෝ දේ විවේචනය කරනවා ය සහ ප්‍රශ්න කරනවාය යන්න ය. දරුවන් ද ඒ ආකාරම නිසා ඔවුන් නිවා ගැනීමට නම් තරමක් හෝ මැද තැනකට ආවොත් හොඳයි කියා ඇය දුන් අවවාදය මටත් තදින් ම දැනුණි, හිතට කා වැදුණි. 
 
ෆොයබාග් තීසිසය සිහියට නැගුණි. දැන් වටින්නේ ලෝකය විග්‍රහ කිරීමට වඩා එය වෙනස් කිරීමය. 
 
dewGගියවර  මා ලියු ‘කිවි දා දැක්ම’ වූ ‘අගමැතිට විවෘත සන්දේශයක්’ නම් ලද ලිපිය කියවා මා හට ඇමතුමක් දුන් ඩිව් ගුණසේකර සහෝදරයා කී දෑ ද සිහියට නැගේ. “ධම්ම, ඔයා ඒ ලිපිය ඉතාම සංයමයකින් ලියල තියෙනවා, මං එකඟයි ඒ කරුණුවලට” ඒ ඩිව් සහෝදරයාගේ ප්‍රතිචාරය ය. පෙම්වතියගේ අවවාදය වැඩ කර ඇති සෙයකි. 
 
කලකින් මා ඇමතූ (කලකට පෙර නිතර ඇමතූ) මා මිතුරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගේ අදහස් ද ඒ හා සමාන විය. ඒ ‘කිවි දා දැක්ම’ අගමැති තුමාට යොමුකළ බව ද ඔහු කීය. 
 
මේ සියල්ල ගැන සිතමින් ලියමින් සිටිය දී හුන් පුටුවේ ම මට කුකුල් නින්දක් ගොස් හදිසියේ ඇහැරුණේ මහා නපුරු හීනයක් දුටු නිසා ය. 
 
 
හීනය කෙටිය. නමුත් දුටු විනාශය බරපතල ය. කොහේදෝ සිට මා මිතුරු ගස් දෙකට ආ රිළා වඳුරු රංචු දෙකක් එකඑක අයිතීන් සහ වහසිබස් දොඩමින්, සහ එකිනෙකාට නින්දා අපහාස කරමින් ගහමරා ගන්නට විණි. ඉනික්බිති ඉහත කී කුරුල්ලන් සියල්ල පලවා හැර, ගස් දෙකේ අයිතිය කියාගෙන ලියාගෙන, පැසුණු නො පැසුණු සියලු ගෙඩි ද පීදුණු නො පීදුණු මල් ද පානා ගැට ද අතු අග්ගිසි සහ දළු ද කුරුම්බා ඇට්ටි ද කා නො කා අතු ඉති බිඳ දමා ගස් දෙකම අසරණකොට, අහසට අත් දිගු කරන ඉපල් බවට පත් කළේය.  ඔවුන් එළවා දැමීමට මා ඇතුළු අසල්වැසියන් කෑ ගැසූවද අපගෙන් හඬක් පිට වුන බවක් දැනුණේ නැත. ඇසුනේත් නැත. අප ගත් වෑයම නිෂ්පල විය. ක්ෂණයකින් අවදි වූ මා දුටු කෙටි එහෙත් බියකරු හීනය එය ය. 
 
 
 එබැවින් මේ ලිපියේ ඉදිරි කොටස ලියන්නේ ඒ සිහිනයෙන් ඇති වූ කම්පනය ද සහිතව බව හිතවත් පාඨකයින්ට දන්වනු කැමැත්තෙමි. 
       
වසර දශක ගණනාවක සිට දෛනිකව ප්‍රධාන දහරාවේ පුවත්පත් විසින් වාර්තා කරන දේශපාලන, සමාජ, ආර්ථික සහ ව්‍යාපාරික අව-භාවිතා, අව-කලමනාකරණය, අවිනය, වංචා, නීති රෙගුලාසි පිරිසක් රකිද්දී බලවතුන් සහ අඥානවතුන් ඒවා කඩකිරීම, නාස්තිය, පොදු සම්පත් අව පරිහරණය සහ අලෙවිකිරීම, සහ ප්‍රචණ්ඩක්‍රියා දකින, එසේම සමාජ දේශපාලන ආර්ථික දර්ශනයක් නැති අධ්‍යාපන, පරිපාලන, වාණිජ, සහ විධිමත් බවක් නැති සුබසාධන අවක්‍රියා නිසා විදවන, ආරාධිත මහා ව්‍යසනවලින් එනම් ව්‍යසනවලට ආරාධනාකොට ඒවායින් ලැබේ යැයි සිතන වන්දිවලින් රට ගොඩනැගීමට හෝ අගහිකම් පිරිමහ ගැනීමට මාන බලන ඇමැතීන්ගේ අඥාන මුඛරි කතා අහන, රට වට මහමුහුද විසවෙන අයුරු දකින, මහා බලවතුන් රට කොටුකර වැට බඳින හැටි පෙනෙන, බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ මේ රට නම් හැදිය හැකි හෝ ගොඩනැගිය හැකි හෝ රටක් නොවේ ය යන්න ය. 
 
 
 
''මේක නම් හරියන රටක් නොවේ''
 
 42422
''සමහරු තම දරුවන්ට උපදෙස් දෙන්නේ මේ රටින් පැනීමට උපකාරී වන දෙයක් උගෙන කතරින් එතෙර වන ලෙස ය''
 
 
බොහෝ දෙනා කෙටියෙන් සිතන්නේ සහ කියන්නේ මේක නම් හරියන රටක් නොවේ ය යන්නය.
 
 සමහරු තම දරුවන්ට උපදෙස් දෙන්නේ මේ රටින් පැනීමට උපකාරී වන දෙයක් උගෙන කතරින් එතෙර වන ලෙස ය. මාල දිවයිනට තබා අන්දමන් දුපත්වලට වත් තම දරුවන් යැවීමට හයිහත්තියක් නැති දෙමව්පියන් ගේ ප්‍රාර්ථනය මතු වෙන්නේ දුක් අදෝනාවක් ලෙසිනි. 
 
එබැවින් වෙළඳපොළ ආර්ථිකයෙන් සුඛිත මුදිත වන සහ ඊට සියලු ආකාරයේ දොරගුළු විවෘත කරන, තවද ලංකාවේත් ලෝකයේත් බලවත් වී ඇත්තේ වෙළඳපොළක් නොව වෙළඳ ජාවාරමක් ය යන්න නොදන්නා මා මිතුරන් දිනෙක අපවැනි යන එන මං නැති අසරණයින්ගේ දුක් අදෝනාවල කරදරයෙන් සහ සද්දබද්දවලින් මිදී, නිවී සැනසිල්ලේ ජීවත් විය හැකි උත්තරාර්ධ ගෝලයේ රටවල් බලා පවුල් සහ පරම්පරා පිටින් ඉගිලෙනු ඇත. 
 
එහෙත්, අර අසරණ කොටසට ම වැටෙන මා ඇතුළු අනෙක් අයට කෙසේ හෝ අවශ්‍ය මේ රට හදා ගැනීමට සහ රැක ගැනීමට ය. 
 
එම නිසා දිනෙක අප වැනි පිරිසකට රටේ බලය ලැබුනොත් නියෝජන දේශපාලනය අරබයා සිදුකරන ප්‍රතිසංස්කරණවලින් කීපයක් පමණක් සඳහන් කිරීමට මැලි නොවන්නේ ඒවා මෙරට අනෙකුත් දේශපාලකයින් දැනගත්තාට කිසි දිනෙක කිසිවෙකු ඒවා ක්‍රියාවට නො නගන නිසා ය.
 
 
 
01- පාර්ලිමේන්තු නියෝජිතයින්:
 
පළමු ප්‍රතිසංස්කරණය වන්නේ පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් තේරීමේ ප්‍රාදේශීය නියෝජනය මත පදනම් වූ නියෝජිතවරණ ක්‍රමය අහෝසි කොට ජනජීවිතයේ ආර්ථික, සමාජ, සංස්කෘතික, සමාජ ලිංගිකත්වය, වයස් ප්‍රවර්ග, වෘත්තීය සහ වෙනත් විවිධතා මත පදනම් වූ නියෝජන ක්‍රමයක්  ක්‍රියාත්මක කිරීමය. 
 
ඒ සඳහා ජනයාගේ විවිධතා මත සමුහගතවීම් විධිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සිදු කරනු ඇත. එවිට පාර්ලිමේන්තුව ට තේරීපත් වන්නේ රටේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ අනෙකුත් විශේෂ අනන්‍යතා අභිලාෂ නියෝජනය කළ හැකි සුදුස්සන් ය. 
 
tbඑවිට ජන ජීවිතයට අදාළ ගැටළු සහ අවශ්‍යතා පාර්ලිමේන්තුවට යොමුවන්නේ ඓන්ද්රීය කාරණා ලෙස ය. 
 
නීතිඥයින්ට සමුද්‍රය රකින්නට බැරුවා සේ ම මුහුද අයිනේ සිටි පලියට හැමෝටම ධීවර රස්සාව හෝ වරාය පාලනය කළ නොහැකි ය. අපේ ප්‍රතිසංස්කරණ අනුව අදාළ නියෝජිතයින්ට අදාළ අමාත්‍යංශ ලැබෙනු ඇත. 
 
එය හරියට 1947 මහ වැඩ වර්ජනයේ කැඳවුම්කරු වූ ටී බී ඉලංගරත්න ට 56 ආණ්ඩුවේ කම්කරු ඇමතිකම ලැබුනා සේ ය. එසේ ම විවිධ රැකියා සහ ජීවනෝපාය ක්ෂේත්‍රවල වැඩකරන පිරිස්වලට තම නියෝජිතයින් පාර්ලිමේන්තුවට යැවිය හැකිය. 
 
එහෙත් පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්ඩු සඳහා සියයට පනහක අනුපාතයකින් ප්‍රාදේශීය නියෝජනය ක්‍රියාත්මක කරනු ඇත.    
 
 
 
02- ජාතික ලැයිස්තුව :
 
දෙවැනි ප්‍රතිසංස්කරණය වන්නේ දැනට ඇති ජාතික ලැයිස්තුව අහෝසි කොට ඒ වෙනුවට නිල ලත් සාමාජිකයින් පිරිසක් පාර්ලිමේන්තුවේ සභිකයින් ලෙස පත් කිරීමය. ගණනින් එය පණහක් විය හැකිය. 
 
ජන ජීවිතයට අතිශයින් ම අදාළ සහ සමීප අමාත්‍යංශවල ලේකම් ලා සහ සංස්ථා මණ්ඩල ප්‍රධානින් ඇතුළු වගකීම් සහගත ඉහළ නිලධාරීන් සහිත නිලධාරී පිරිසකගෙන් මේ නිල ලත් පිරිස සමන්විත විය යුතු ය. 
 
එම නිලධාරීන් පත්කිරීම ආණ්ඩුවක කොමිසමක් මගින් නොව රාජ්‍ය සේවා කොමිසමක් එනම් ආණ්ඩුවෙන් ස්වාධීන වුවත් රාජ්‍යයෙන් ස්වාධීන නැති කොමිසමක් මගින් නම්කොට පත්කළ යුතු ය. 
 
එසේම පළාත් ආණ්ඩුකාරයින්  සහ පළාත් ප්‍රධාන  ඇමතීන් පාර්ලිමේන්තුවේ නිල ලත් සභික ලැයිස්තුවට ඇතුළත් විය යුතු ය.  
 
 
 
 
03- ධූර කාල වාර දෙකකට පමණක් සීමා කිරීම :
 
තෙවැනි ප්‍රතිසංස්කරණය වන්නේ ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා සභික, ප්‍රාදේශීය ආණ්ඩු සභික යන අයගේ ධූර කාල වාර දෙකකට පමණක් සීමා කිරීම හෝ යටත් කිරීම ය. 
 
ධූර අවසන් වී පැවැත්වෙන පළමු නියෝජිතවරණවලට කිසිදු ඥාතියෙකුට ඉදිරිපත්වීමට අවසර නැත. දෙවැනි නියෝජිතවරණ සඳහා එය බල පැවැත්වෙන්නේ නැත. 
 
නමුත් එකවර එකම පවුලේ අය සහ ළඟම ඥාතීන් නියෝජිත ආයතනවල නියෝජිතයින් ලෙස ක්‍රියා කිරීම වලක්වන නෛතික විධිවිධාන සලසනු ඇත. මේ සඳහා දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අනුගමනය කරන ක්‍රියා  පිළිවෙත ආදර්ශයක් කරගත හැකිය.
 
දැනට එම මනඃකල්පිත ප්‍රතිසංස්කරණ කීපය පමණක් ඉදිරිපත් කරමි. මෙම ‘කිවි දා දැක්ම’ මුලින් දුටු හීනය නිසා සිදුවූ මානසික අලකලංචියක ප්‍රතිපලයක් ය කියා ඔබට සිතෙනු ඇත. සමහරවිට එය එවැන්නක් ද විය හැකිය. එහෙත් ‘කිවි දා දැක්ම’ අනිත් ලියුම්කරු වන මා මිතුරු චරිත හේරත් නම් එසේ නො සිතනු ඇත යන්න මගේ විශ්වාසය ය.  
 
 
Dhammaජ්‍යේෂ්ඨ කථිකාචාර්ය,  ධම්ම දිසානායක
Department of political science & public policy,
University of Colombo.
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
(කිවිදා දැක්ම : ලංකාදීප- 03.06.2021) 
 
 
 
 

THE LEADER TV 
 
 
 
අගමැතිට විෂ් කරන්න ගිය තිස්ස මදිනොකියන්න අහගනි !
 
 
 
 
අයියලා මල්ලිලා පුත්තු ඇමතිකම් බෙදා ගනී !
 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්