‘‘ජාතක කතා තුළින් පිළිබිඹු කෙරෙන කාන්තා ලිංගික චර්යා’’ යන මැයෙන් වූ ලිපියක් පාඨක ඔබ පසු ගිය දිනෙක කියවන්නට ඇතැයි මම විශ්වාස කරමි. 

 
එම ලිපිය කියවූ මගේ ඇතැම් මිතුරු මිතුරියෝ (විශේෂයෙන් ම මිතුරියෝ) මගෙන් පුද්ගලිකව විමසා සිටියේ ‘‘ඇයි... ජාතක කතාවල පිරිමි ලිංගික චර්යා ගැන නොලියන්නෙ...?’’  යනුවෙනි. ඊට මම පිළිවදන් සැපවූයේ ‘‘ලියන්න පුළුවන්. ඒ විෂය ගැනත් ඉදිරියට ලියන්නම්,’’ යනුවෙනි. 
 
ඊට පෙර මා ඔවුන්ට සඳහන් කළේ ‘‘ජාතක කතා තුළින් පිළිබිඹු කෙරෙන කාන්තා ලිංගික චර්යා’’ නමැති ලිපියේ සිරස නිවැරැදිව ලියන්නේ නම් එය ‘‘ජාතක කතා තුළින් පිළිබිඹු කෙරෙන කාන්තා ලිංගික අපගාමිත්වය’’ ලෙස වෙනස් විය යුතු බවයි. 
 
ඒ අනුව අද ලිපියට මුඛ්‍ය වන්නේ ජාතක කතාවක එන පුරුෂ ලිංගික අපගාමිත්වය යි. නමුදු මෙම ලිපිය හුදෙක් ජාතක කතාව පමණක් ම පදනම් කරගෙන ලියන ලිපියක් නොව අදාළ ජාතක කතාව ඇසුරෙන් නිර්මිත සිනමා සිත්තමක් ද පාදක කරගනිමින් ලියන ලිපියකි.
 
sfdfdf
 
අදාළ ජාතකය නම් ‘‘කුස ජාතකය’’ යි. සිනමා සිත්තම නම් ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘කුස පබා’’ සිනමා සිත්තම යි. 
 
මෙම ලිපියට ‘‘කුස ජාතකය’’ සහ ‘‘කුස පබා’’ සිනමා සිත්තම යන නිර්මාණ ද්වය ම උපස්තම්භක කරගත්තේ ඇයි ද යන්න දැන් කිසිවකු විමසන්නට පිළිවන; එසේ විමසීම ද සාධාරණය. මා මේ ආකාරයට අදාළ නිර්මාණ ද්වය ම උපස්තම්භක කරගනිමින් මෙම ලිපිය ලියන්නේ සිනමා සිත්තම තුළින් ජාතක කතාකරුවාට හෝ ජාතක කතාවට අසාධාරණයක් සිදුව ඇති බව ද ප්‍රත්‍යක්ෂ කරනු පිණිස ය.
 
 
 
කුසගේ වයසට නොගැළපෙන නළුවා:
 
ජාතක කතාකරුවා කුස කුමාරයා (අනාගත කුස රජු) ගේ තත් කාලින වයස මෙලෙස සඳහන් කරයි.
 
‘‘ඉක්බිති මහා බෝධිසත්වයන් සොළොස් හැවිරිදි වයසට පැමිණිකල්හි...’’
 
මෙහි එන ‘‘සොළොස් හැවිරිදි’’ යනු භාවිත වචනයෙන් සඳහන් කරන්නේ නම් අවුරුදු දහසයකි. ජාතක කතාවේ ප්‍රමුඛ සිද්ධි සියල්ල සිදුවන්නේ මෙතැන් සිට උපරිම වසරක් පමණ වූ කාල සිමාවක් තුළ ය. එනම් උපරිම කුස කුමාරයාගේ (පසුව කුස රජු) වයස අවුරුදු දාහතක් පමණ වන තෙක් ය. 
 
 
නමුදු අධ්‍යක්ෂකවරයා විසින් වයස අවුරුදු දහසයක කුමාරයකු වෙනුවෙන් තෝරා ගන්නා ලද රංගන ශිල්පියා වෙතින් දිස්වන්නේ අවම සාළිස් වසරක් ද ඉක්ම ගිය පෙනුමකි. මෙහි දී, කුස කුමරාගේ වයස අවුරුදු දහසයක් වුව ද ඊට වඩා පුෂ්ටිමත් සිරුරක් ඇති හෙයින් ද, ඔහු නිසර්ගයෙන් ම විවිධ කුසලතා සහිත පුද්ගලයෙක් බැවින් ද, වයස ඉක්මවා ගිය පෙනුමකින් යුක්ත පුද්ගලයෙකු බව ජාතක කතාකරුවා සඳහන් කර තිබුණේ නම් අධ්‍යක්ෂකවරයාට සමාව දිය හැකි ය. 
  
නමුදු ජාතක කතාවේ කිසිදු ස්ථානයක එබඳු සඳහනක් නොමැත. එසේ නම් එම නිමිත්ත ම සිනමා සිත්තම අසමත්වීමට හේතු පාදක වන්නේ ය.
 
 
 
ජාතක කතාවෛන් අත්හල කොටස්
 
සමස්ත කුස ජාතකය තුළ ම පිළිබිඹු වන්නේ: බලය අයුතු ලෙස භාවිත කිරීම, හුදු ආත්මාර්ථකාමි අදහස් සපුරාගනු වස් එතෙක් නොපැවති නීතියක් (බිසවගේ අත්තනෝමතික තීරණයක් අනුව) රජුගේ අණ ද ඉක්මවා ස්ථාපිත කිරීම, එමගින් කාන්තාවකගේ මානව අයිතිවාසිකම් අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලෑම, එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම උදෙසා කාන්තාවක් ම මුලිකත්වය ගැනීම, බෝධිසත්වයා තුළ වුව ද පවත්නා ලිංගික ඊර්ෂ්‍යාව සහ ඔහු විසින් සිදු කරනු ලබන ස්ත්‍රී ලිංගික අපයෝජන ක්‍රියා යනාදිය යි. 
 
නමුදු සිනමා අධ්‍යක්ෂකවරයා මේ ඇතැම් ස්ථාන වුවමනාවෙන් ම මගහැර ගොස් ඇත. ඊට කදිම උදාහරණයක් නම් කුස කුමරු පබාවතියගේ රුව දිවා කාලයේ දැකීමට ඇති රුචිකත්වය හේතුවෙන් ඔහු ඇත්ගෝව්වෙකු සහ අස් ගොව්වෙකු ලෙස පෙනී සිටි අවස්ථාවල දී හෙතෙම හැසිරුණු ආකාරය යි. ජාතක කතාකරුවා එකී අවස්ථා මෙලෙස සඳහන් කරයි.
 
‘‘බෝධිසත්වයෝත් යහපතැයි පිළිගෙන ඇත්හලට ගියාහු ය. එකල්හි සීලවති දේවි ප්‍රභාවතීන් ඇත්හලට කැඳවාගෙන ගොස් මේ අසවල් ඇතා ය. මේ අසවල් ඇතා ය යි නම් කිය නියා දක්ව දක්වා යන සඳ කුස රජ්ජුරුවෝ ප්‍රභාවතින්ගේ පිට ඇත් ඉලත්තියක් ගැසුහ.’’
 
මෙහි එන ‘‘ඇත් ඉලත්තියක්’’ යනු ‘‘ඇත් අසූචි’’ හෙවත් ‘‘ඇත් බෙටි’’ ය. ගනඳුරු රාත්‍රී කාලයේ දී පමණක් පබාවතී සමග යහන් ගතවන කුස කුමාරයාට ඇගේ රැව දැකීම සඳහා දොළක් ඉපදීම සාධාරණ ය. නමුදු තමාගේ ම බිරිඳට ඒ ආකාරයෙන් ඇත් අසූචිවලින් දමා ගැසීම යනු එක් පසෙකින් කාන්තාවකට කෙරෙන ලිංගික අපයෝජනයකි. අනෙක් පසින් පබාවතිය කෙරෙහි කුස කුමරා තුළ පවත්නා ලිංගික ඊර්ෂ්‍යාව ය. තවත් ආකාරයකින් පවසන්නේ නම් අනාගතයේ දී රටේ පාලනය බාරගන්නට සිටිනා පුද්ගලයෙකු විසින් නොකළ යුත්තකි.
 
ඒ පබාවතිය ප්‍රසිද්ධියේ ම ලිංගික අපයෝජනයට ලක්වන පළමු අවස්ථාව ය. දෙවන අවස්ථාව පිළිබඳ ජාතක කතාකරුවා මෙලෙස සඳහන් කරයි.
 
‘‘තව ද කාලෙකින් බෝධිසත්වයෝ ප්‍රභාවතීන් දක්නා කැමතිව පෙර පරිද්දෙන් ම මැණියන්ට කියා අස්හලට ගොස් අස්සලයක්හු පරිද්දෙන් සිට ප්‍රභාවතීන් දැක එතන දී ද අස්බෙට්ටක් ගැසූය.’’
 
එවර කුස කුමරා පබාවතීට අස්ව බෙටි ප්‍රහාරයක් එල්ල කරන්නේ ය. මෙකී අවස්ථා දෙකෙහි දී ම කුස කුමරුගේ මව වන සිලවතී බිසව හෙවත් භාරතයේ ප්‍රධාන රජ බිසව සිය ලේලිය හෙවත් අනාගත රජ බිසව අපයෝජනයට ලක් කෙරෙන ආකාරය දැක දැක ම නිහඩ වත රකින්නී ය; ඇත් සහ අශ්ව අසූචි ප්‍රහාරය එල්ල කළේ කුස කුමරු යැයි නොපවසනා අතර ම රජ බිසවක්, තම ලේලිය වෙත ඇත් ගොව්වකු සහ අස් ගොව්වකු: ඇත්, අස් අසූචි ප්‍රහාර එල්ල කිරීමෙන් ඉක්බිතිව ද එකී ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට කිසිදු දඬුවමක් නොපනවන්නී ය. 
 
ජාතක කතාකරුවාට අනුව නම් අදාළ අපයෝජකයා යනු සිලවතී බිසවගේ දෙටු පුත්‍රයා ය. දෙටු පුතු හෙවත් අනාගත රජතුමාට දඬුවම් පැමිණවිය නොහැකි ය.
 
 නමුදු පබාවතිය මේ කිසිවක් දැන නොසිටියා ය. එසේ නම් ඇයට කිසියම සාධාරණයක් ඉටු කරන්නට තරම් සිලවතී බිසව උත්සුක නොවන්නී ඇයි? තම ලේලිය ඇය කෙරෙහි නොමනාපයක් ඇති කරගනිවි යැයි නොසිතෙන්නට තරම් සිලවතී බිසව අඥාන ද...? නැත... 
 
 
මෙහි දී සිදුව ඇත්තේ ද වර්තමානයේ දී මෙන් ම බලය ඇත්තෝ සිය බලය අවභාවිත කිරීමකි; බලය ඇත්තෝ ඔවුන්ගේ බලය ඕනෑ ම පුද්ගලයෙක් වෙනුවෙන් මුදා හැරීමට සලසා ඇති ඉඩකඩ එලෙස ම පැවතීමට ඉඩ හැරීමකි. මේ සඳහා අවැසි පමණටත් වඩා උදාහරණ මේ භූමිය තුළ අපි අත් දැක ඇත්තෙමු.
zdsfsadf 
 
දැන් සිනමාකරුවා වෙත යොමු වෙමු. ජාතක කතාකරුවාට අනුව ඇත් ගාලේ දී කුස කුමරු පබාවතියට ප්‍රහාර එල්ල කරන්නේ ඇත් අසූචිවලිනි. නමුදු සිනමා අධ්‍යක්ෂකවරයා සිය සිනමා නිර්මාණයේ දී සිදු කරන්නේ කුමක් ද...? 
 
එහි දී කුස කුමරු පබාවතියට ප්‍රහාර එල්ල කරන්නේ මල්වලිනි. මෙය කෙතරම් හාස්‍ය ජනක ද? ඇත් ගොව්වකු මල්වලින් අනාගත රජ බිසවට ප්‍රහාරයක් එල්ල කිරීම! එක වරක් නොව කිහිප වරක් ම!! 
 
 
සිනමා අධ්‍යක්ෂකවරයා කුමන අරමුණක් පෙරදැරිව ඇත් අසූචි මල් බවට පෙරළුවා ද යන්න විනිශ්චය කළ නොහැකි වුව ද එය මෙසේ අනුමාන හෙවත් උපකල්පනය කළ හැකි ය. එනම් බෝධිසත්වයෝ යනු එතරම් ම පහත්, නින්දිත, තිරශ්චීන පුද්ගලයෙකු නොවේ ය යන්න ප්‍රේක්ෂක ප්‍රජාවට ඒත්තු ගැන්වීම උදෙසා එසේ කළා ය යන්න ය. 
 
එමතු නොව ජාතක කතාවේ එන පරිදි අශ්ව ගාලේ දී කුස කුමරු පබාවතියට අශ්ව අසූචි ප්‍රහාරය එල්ල කරන අවස්ථාව ද සිනමා අධ්‍යක්ෂවරයා වුමනාවෙන් ම ඇතුළත් කර නොමැත. 
 
එය සිනමා නිර්මාණය කෙටි කරගැනීම උදෙසා ගත් තීරණයකත් ද එසේත් නොමැති නම් යට සඳහන් කළ පරිදි බෝධිසත්වයන්ගේ ‘‘නුහු ගුණය’’ වුවමනාවට වඩා ප්‍රදර්ශන කිරීම අකැප යැයි අදහස් කළ බැවින් ද යන්න අවිනිශ්චිත ය. 
 
කෙසේ වුව ද එමගින් සිදුවන්නේ ජාතක කතාව සහ ජාතක කතාකරුවා අසාධාරණයට ලක් කිරීම නොවන්නේ ද?
 
 
 
 
බෝධිසත්වයෝ ද පළිගනිති
 
fsfdsd
 
ජාතක කතාවට අනුව බෝධිසත්වයෝ ද ඉතා සියුම් ආකාරයෙන් පබවතියගෙන් පළිගන්නා පුද්ගලයෙකි. 
 
එය මැනවින් පිළිබිඹු කෙරෙන්නේ පබාවතිය සත්කඩකට පළා ඇගේ අත පතා ආ රජවරු සත්දෙනා වෙත දෙන්නැයි ඔක්කාක රජු විසින් අණ කරනු ලැබීමෙන් ඉක්බිති පබාවති සිය ජීවිත දානය ලබා දෙන ලෙස කුස රජු සොයා එන මොහොතේ ඇගෙන් පළිගැනීම උදෙසා ඇයට මඩ ගොඩක් මතින් කුස කුමරු වෙත පැමිණිමට සැලැස්වීම සහ ඇය මඩ වළෙහි ඇද වැටිමට සැලැස්වීම ය.   
 
එකී අවස්ථාව ජාතක කතාකරුවා මෙලෙස සඳහන් කරයි.
 
‘‘එසඳ ප්‍රභාවතී පිය රජ්ජුරුවන් ගේ බස් අසා නඟුන් හා පරිවාර ස්ත්‍රීන් විසින් පිරිවරා බෝධිසත්වයන් සිටි තෙනට ගියා ය. කුස රජ්ජුරුවෝ ද මෙහෙ කරමින් සිටි ප්‍රභාවතීන් තමන් කරා එන නියාව දැන ‘දැන් මම මෑගේ මන්බිඳ මාගේ පාපිට මඩෙහිම වැද හොවමි’ සිතා වළන්වල තිබූ පැන් බිම නමා කල විටක් පමණ තැන් පාගා බොරකොට බොර මඩෙයෙහි සිටියාහු ය.’’
 
සිනමා අධ්‍යක්ෂවරයා බෝධිසත්වයන්ගේ මෙකී දුර්ගුණය ද මගහැර ඇත. එනම් බෝධිසත්වයන් යනු කිසිදු ආකාරයකින්, කිසිදු පුද්ගලයෙකුගෙන් පළිගන්නා පුද්ගලයෙකු නොවන බව ප්‍රේක්ෂක ප්‍රජාව වෙත දනවන්නට යත්න දරා ඇත.
 
 
 
බෝධිසත්වයන්ගේ ගැලවුම්කරු
 
අප කියවා ඇති ජාතක කතා බොහොමයක බෝධිසත්වයෝ වුව ද තථ්‍ය ලෝකයේ දී පරාජයට පත්වන අවස්ථා බහුල ය. නමුත් එසේ සිදු නොවන්නේ ය. ඒ, ඔහු වෙනුවෙන් කුමන හෝ අදිසි බලවේගයක් (ශක්‍ර දෙවියෝ හෝ වෙනත් දෙවි කෙනෙකු) පිහිට වීම හේතුවෙනි. 
 
ඊට කදිම උදාහරණය සපයන්නේ ගුත්තිල ජාතකය යි. එම කතකාවට අනුව තථ්‍ය ලෝකයේ දී නම් ගුත්තිල යනු, ඔහුගෙන් ම ශිල්ප ප්‍රගුණ කළ මූසිල සමග වීණා වයා ජයග්‍රහණය කළ නොහැකි පුද්ගලයෙකි. ඔහු වනාන්තරයට වැද ශක්‍ර දෙවිඳුගෙන් පිහිට යදින්නේ එබැවිනි. 
 
කුස ජාතකයේ ද අවසන් අවස්ථාවේ දී ශක්‍ර දේවේන්ද්‍රයා කුස රජුගේ පිහිටට පැමිණෙන්නේ ඔහු පරාජය බාරගෙන නැවත කුසාවතී පුරයට යාම සඳහා සිත එකඟ කරගැනීමෙන් ඉක්බිති ය. ජාතක කතාකරුවා එම අවස්ථාව මෙලෙස සඳහන් කරයි.
 
‘‘මහා බෝධිසත්වයෝ ද ප්‍රභාවතීගේ දැකමුත් නොලබදු බොහාජන දුක්ඛ සෙය්‍යාදීන් සත්මසක් මුළුල්ලෙහි දුක්විඳත් මෑගේ දැකුම් විවරත් නොලබම් ඉතා තද පරුෂ ගත් හැඟිවූ මෑගෙන් මට ප්‍රයෝජන කිම් ද මාගේ රටට ගොස් මව් පිය දෙදෙනා දැක වාසය කරම් යි සිතුහ.
 
එසඳ මනුෂ්‍යලෝකය බැලු ශක්‍ර දේවේන්ද්‍රයෝ කුස රජ්ජුරුවන් සත් මසක් මුළුල්ලෙහි දුක්විඳත් ප්‍රභාවතීන් දැක්ක නොහි උකටලීවු නියාව දැක ඈ ලැබෙන්ට කිසි කාරණයක් කෙරෙමි සිතා මදු රජ්ජුරුවන්ගෙන් ගිය දුතයන් බඳූ කොට ප්‍රභාවතී තොම කුස රජ්ජුරුවන් හැරගොස් පියා පලා අවුය වහා අවුත් උන් කැඳවාගෙන යවයි සත් රජ්ජුරුකෙනෙකුන්ට වෙන වෙන ම පත් අසුන් ඇතිව දුතයන් යවුහ.’’
 
කුස රජු තෙමේ විටින් විට දෙවියන් සමග අදහස් හුවමාරු කරගන්නා ආකාරයක් සිනමා සිත්තම තුළ ප්‍රකට කළ ද සිනමා අධ්‍යක්ෂකවරයා යට කී අවස්ථාව ද මග හැර ඇත. එනම්, අවසන බෝධිසත්වයෝ ජයග්‍රහණය කරන්නේ ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් යොදන ලද උපායකින් ය යන්න සඟවා ඇත.
xfcvxcb
 
මිනිස්සු වයෝවෘද්ධ වන විට ආගමට දහමට ළැදි වූවාට අපට කම් නැත. නමුදු ඒ සදහා තම නිර්මාණ දක්ෂතා අවභාවිත කිරීම පාඨක, ප්‍රේක්ෂක හෝ රසික ප්‍රජාව වෙත කෙරෙන ඉමහත් අසාධාරණයකි. 
 
ඒ අනුව බලන විට ‘‘කුස පබා’’ යනු ද ‘‘ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න’’ අධ්‍යක්ෂකවරයාට තරම් නොවන සිනමා නිර්මාණයකි. එහෙත් දැන් ප්‍රෙක්ෂක ප්‍රජාවෝ රැවටී හමාර ය; එක් වතාවක් නොව කිහිප වතාවක් ම රැවටී හමාර ය; අනාගතයේ දී ද රැවටෙනු නොඅනුමාන ය.
 
මෙම ලිපිය තුළින් සාකච්ඡාවට බඳුන් කළේ ‘‘කුස ජාතකය’’ මගහැර ‘‘කුස පබා’’ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් පමණි. සමස්ත කුස ජාතකය පිළිබඳ කෙරෙන විවරණයක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
 
 
 
 
 
Jayasiri Alawaththaජයසිරි අලවත්ත 
(නිදහස් ලේඛක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2021/07/23   
 
 
සබැඳි ලිපිය :

 

 


 

THE LEADER TV 
 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය?
 
 
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ?
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්