අපේ රටේ පවතින නීතියට අනුව වසර මැද රාජ්‍ය මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. 
 
 
මෙය පදනම් වෙන්නේ 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතේ 10 වැනි වගන්තියට අනුවය. සෑම වසරකම ජූනි මස 30 දිනට පෙර ඉදිරිපත් කළ යුතු මේ වාර්තාව පසුගිය මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබිණි.
 
මගේ තේරුම්ගැනීම වන්නේ මේ වසරේ මේ වාර්තාව ඉතාමත් වැදගත් එකක් වන බවය. එසේ සිතන්නේ කාරණා කීපයක්ම නිසාය. 
 
එක් පැත්තකින් අපේ රට 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා ගොදුරු වී තිබෙන කොරෝනා වසංගත රෝගී තත්ත්වයෙන් යම් ආකාරයක ගැලවීමක් මේ වසර තුළ අපේක්ෂා කරන නිසාය. 
 
එන්නත්කරණය හරහා මීළඟ මාස තුන  ඇතුළත මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට අපට හැකි වන බව ඉතාමත් පැහැදිලිය. ඒ අර්ථයෙන් රටේ ආර්ථික තත්ත්වය අලුත් වටයකින් අරඹන්නට ඇති හැකියාව පෙන්නුම් කරන්නේ මේ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන්ය. 
 
dfdfsax
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ 
 
 
අනෙක් අතට අලුත් මුදල් ඇමැතිවරයා ලෙසින් බැසිල් රාජපක්ෂ මහතාගේ පත්වීමෙන් පසුව ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පළමු වාර්තාව මේකය. රටේ ආර්ථිකය සම්බන්ධව ඉදිරියේ ගනු ලබන සමහර ප්‍රතිපත්ති සම්බන්ධයෙන් යම් දිසාවක් මේ වාර්තාවෙන් පෙන්විය හැකි නිසා මෙවර වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාව වැදගත්ය. 
 
මේ කරුණු නිසාම මගේ මෙවර කිවිදා දැක්ම වෙන් වන්නේ රටේ ආර්ථිකය පිළිබඳව කතා කරන්නටය. වසර මැද මූල්‍ය තත්ත්වය විමසීමටය. 
 
රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රධාන ධාරා 04ක් මේ වාර්තාවේදී අවධානයට ලක් කර තිබේ. 
 
ඒවා නම්, 
 
(1) ගෝලීය සහ දේශීය ආර්ථික සන්දර්භය,
(2) රාජ්‍ය මූල්‍ය ප්‍රවණතා, 
(3) රජය සතු ව්‍යාපාරවල කාර්ය සාධනය සහ 
(4) විදේශ මූල්‍යයනය පිළිබඳව තත්ත්වය යන කාරණාය. 
 
 
 
ආර්ථික සන්දර්භය:
 
මේ වසරේ මුල් මාස 04 කාලයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ පදනම් වන්නේ කොරෝනා වසංගතය සමග ගැටගැසී ඇති ගෝලීය ආර්ථික තත්ත්වය සමගින් බව මෙහිදී මුලින්ම සටහන් කළ යුතුය. ඒ නිසාම ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය විවිධ ආකාරයෙන් බලපෑමට ලක්වූ බව පැහැදිලි කාරණයකි. 
 
ජනගහනයෙන් සියයට 60වත් එන්නත්කරණය කළ යුතුය යන පදනමින් ආරම්භ කළ වැඩසටහන ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පවතින අතර මේ වනවිට බස්නාහිර පළාතේ සියයට 80 ජනතාවට පළමු එන්නත ලබාදී ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුය.
 
2021 වසරේ පළමු මාස 04 තුළ රජයේ ආදායම රුපියල් බිලියන 482 දක්වා ඉහළ ගොස් ඇති අතර එය මේ වසර සඳහා පසුගිය අයවැයෙන් ඇස්තමේන්තු කළ මුදල වන බිලියන 1961න් සියයට විසි පහක (25%) වර්ධනයක් බව පෙන්වා දිය හැකිය. 
 
 
අපනයන ආර්ථිකයේ වර්ධනයක් :
 
මීට අමතරව මෙහිදී අවධානයට ගත යුතු කාරණයක් වන්නේ වසංගතය හමුවේ මොන තරම් අභියෝග පැවතුනද අපනයන ආර්ථිකයේ වර්ධනයක් මේ වසරේ පළමු මාස 04 තුළ පෙන්නුම් කරන බවයි. 
 
2021 වසරේ පළමු මාස 04 තුළ රෙදිපිළි, ඇඟලුම්, තේ, රබර්, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු අපනයන ආදායම ඩොලර් මිලියන 3800ක් දක්වා සියයට 30ක පමණ වර්ධනයක් ලබා ඇති බවය. 
 
මෙම ක්ෂේත්‍රවල අපනයන ආදායම 2020 මුල් මාස 04 තුළ පැවති තත්ත්වයට වඩා ශක්තිමත් බවට පත්වීම පමණක් නොව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ (මුදල්) 2020 වර්ෂයට සාපේක්ෂව ඉතාමත් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව සඳහන් කළ යුතුය. 
 
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් 2020 මුල් මාස 04 තුළ ලැබුණු ඩොලර් මිලියන 1,975ට සාපේක්ෂව බැලුවහොත් 2021 මුල් මාස 04 තුළ එය ඩොලර් මිලියන 2386ක් දක්වා වර්ධනය වී තිබුණි. මෙය ප්‍රතිශතයක් ලෙසින් ගතහොත් සියයට 20 වර්ධනයකි. මේ ආර්ථික වර්ධනය අත්පත් කරගෙන ඇත්තේ මෙරට සංචාරක ව්‍යාපාරය කොරෝනා වසංගතය හමුවේ බරපතළ ආකාරයෙන් කඩා වැටී ඇති තත්ත්වයක් තුළය. 
  
2021 ජූනි මාසය වනවිට ලෝක පරිමාණව මේ වසංගතය ඇති  කර ඇති බලපෑම ඉතාමත් විශාලය. මේ වනවිට මෙයින් මරණයට පත්වී ඇති ගණන ලක්ෂ  40කට ආසන්නය. මෙරටට මෙයින් ඇති කළ බලපෑමද විශාල තත්ත්වයක පැවතියද ආර්ථිකයේ වර්ධනය ධනාත්මකව සමහර ක්ෂේත්‍ර තුළ සිදුවන බව මෙහිදී සඳහන් කළ යුතු කාරණාය.
 
විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ මේ වසරේ ඉදිරි කාර්තු 02 හෙවත් ඉදිරි මාස 08 කාලය තුළ අපනයනය සහ විදේශ ශ්‍රමික මූල්‍ය ලැබීමේ ඉදිරි වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව පෙනී යන කාරණයයි. 
 
ආනයනය අපේක්ෂා කළ හැකි බව පෙනී යන කාරණයයි. ආනයන ක්ෂේත්‍රයේ යම් කිසි නියාමනයක් සහිතව ගත කරන මේ කොරෝනා සමයේ ආර්ථිකය මේ මට්ටමේ පැවතීම සාපේක්ෂව ගත් කල ඉතාමත් වැදගත් කාරණයක් බව පැවසීම නිවැරදිය.
 
ඉදිරි කාර්තු 02 තුළ මූලික වටයෙන් සාර්ව ආර්ථිකයේ ස්ථායිතාව, ණය යම් ආකාරයක ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යාම වැනි උපාය මාර්ග හරහා ස්ථාවර වන ප්‍රබල වර්ධනයක් අපේක්ෂා කරන බව මෙම වාර්තාවෙන් පෙනී යන කරුණුය. 
  
ආර්ථික කටයුතුවල පුනර්ජීවනය, කාර්යක්ෂම ආදායම් මාර්ග පරිපාලනය, ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති හා නීති ප්‍රතිසංස්කරණ වෙතට ගමන් කිරීම වැනි නව ක්‍රියාමාර්ග හරහා ඉහත සඳහන් ආර්ථික වර්ධනයේ අපේක්ෂාව ඉටු කරගත හැකි බව පෙනී යන කාරණාය. 
 
 
 
රාජ්‍ය මූල්‍ය ප්‍රවණතා 
 
රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ ස්වභාවය පෙන්නුම් කිරීමේදී වැදගත්ම කාරණයක් වන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය සහ සරළ සහ විනිවිද පෙනෙනසුළු බදු ක්‍රමයක් හඳුන්වා දීමය. මහ බැංකු වාර්තාව මගින්ද පෙන්වා දී ඇති පරිදි ආර්ථිකයේ වඩාත් ඵලදායි අංශවල වර්ධනයට දිරි දෙන ආර්ථිකයේ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වත්මන් රජයේ වැදගත් ඉදිරිගාමී පියවරකි. 
 
රජයේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඉදිරිපත් වෙන සමහර විවේචන මගින් කියවෙන්නේ මේ වසංගත සමයේ රාජ්‍ය ආදායම පමණක් සිතීම වැදගත් වන බවත්ය. එහෙත් එවැනි බදු ක්‍රමයේ ලිහිල් බවක් නොමැති ආකෘතියකින් වසංගත කාලයක ආර්ථිකය කළමනාකරණය කිරීම ඉතාමත් බරපතළ තත්ත්වයක් බව පිළිගැනීම සාධාරණය. 
 
බදු සම්බන්ධව ලිහින් ප්‍රතිපත්තියක් අනුගමනය කළද සමහර ක්ෂේත්‍රවල බදු ආදායම මේ කාලයට සාපේක්ෂව වැඩි වී ඇති ආකාරය මෙම වාර්තාවෙන් පැහැදිලි කොට ඇත.
  
2021 පළමු කාර්තුව (මාස 04) තුළ VAT බද්ද වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද (PAL), සෙස් (CESS) බද්ද වැනි බදු වලින් ලැබුණු ආදායම සියයට 4.6කින් පමණ ඉහළ ගොස් ඇත. මේ බදු මගින් මේ මාස 04 තුළ රුපියල් බිලියන 427 මුදලක්  උපයාගෙන ඇත. 
 
kldfj
වසංගත තත්ත්වය තුල පවා විදුලි සන්දේශ ක්ෂේත්‍රයේ අදායම ඉහලගොස් ඇත.
 
 
සමහර ආනයන සීමා කිරීම හේතුවෙන් මෝටර් රථ ආනයනයෙන් ලැබෙන ආදායම පහත වැටී ඇති බව සත්‍යයක්ය. 
 
එහෙත්,  දේශීය ආදායම් බදු  දෙපාර්තමේන්තුව, සහ විදුලි සන්දේශ නියාමන අධිකාරීය සහ මූලික  කේන්ද්‍රස්ථා මගින් 2021 වසර සඳහා අපේක්ෂා කරන ලද මුළු බදු  ආදායමෙන් (එනම් රු. බිලියන 1700කින්) සියයට 25 ප්‍රමාණයක් (එනම් රු බිලියන 427ක්) පමණ මේ වසරේ පළමු කාර්තුවේදී ලබා ඇති බව මෙහිදී පෙන්නුම් කරන වැදගත්ම කාරණයයි. 
 
 
රජ්‍ය මූල්‍ය ප්‍රවණතා දෙස බලන විට රජයේ ආදායම මෙන් ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ රජයේ වියදම පිළිබඳව තත්ත්වය. 2021 මුල් කාර්තුවේ රජයේ ආදායම රුපියල් බිලියන 482ක් වන අතර එය වාර්ෂිකව සිදු කර ඇති ආදායම් ඇස්තමේන්තුව වන රුපියල් බිලියන 1957ක පමණ මුදලින් සියයට 25කට ආසන්න අගයක්ය. 
  
රජයේ වියදම මේ කාර්තුවේ මූලික වශයෙන් වෙන්වී ඇත්තේ කොරෝනා වසංගතයට සම්බන්ධ තත්ත්වය පාලනය කිරීම සම්බන්ධවය. මේ වසංගතයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම, එන්නත්කරණය සඳහා මුදල් යෙදවීම වැනි ක්ෂේත්‍ර මෙහිදී ඉතාමත් තීරණාත්මක වියදමක් ලෙසින් මතුවූ බව පැහැදිලි කළ යුතුය.
 
අපේ රටේ රාජ්‍ය සේවයට අනුයුක්ත පිරිස සහ විශ්‍රාම වැටුප් ලබන කණ්ඩායම එකතු වූ විට එය මිලියන දෙකක (ලක්ෂ විස්සක) පමණ කණ්ඩායමක් බවද මෙහිදී අවධානයට ගැනීම වැදගත්ය. 
 
වැටුප් සහ විශ්‍රාම වැටුප් යන මූලික රාජ්‍ය වියදම රජයේ වියදම් අතර එක් ප්‍රධාන අංශයක්ය. අපේ වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන ආකාරයේ රාජ්‍ය සේවයක් නඩත්තු කිරීමට සිදුවී තිබෙන්නේ ඒ ඒ කාලවල  ඒ ඒ ආණ්ඩු විසින් ගත් සමහර තීරණ හේතුවෙන්ය. 
 
2021 පළමු මාස 04 තුළ වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා සිදු කළ වැය කිරීම රුපියල් බිලියන 274+87 ක් පමණ වන බව සඳහන් කරන්නේ චෝදනාවක් ලෙසින් නොව රාජ්‍යයේ වපසරියේ ප්‍රමාණය ගැන අදහසක් ලබාදීමටය. 
 
 
සුබසාධක යාන්ත්‍රණය වෙනුවෙන්...
 
රජයේ සුබසාධක යාන්ත්‍රණය වෙනුවෙන් සිදු කරන වියදමද ඉතාමත් ඉහළ අගයක් ගන්නා බව තේරුම් ගැනීම අනෙක් වැදගත් කාරණයය. 
 
2021 පළමු කාර්තුව සඳහා සමෘද්ධි සහනාධාරය වෙනුවෙන් වැය කර ඇති ගණන රුපියල් මිලියන දාහත් දහසක් පමණ වන අතර රුපියල් 5000 දහසේ දීමනාව සඳහා රුපියල් මිලියන හත්සිය හැත්තෑ පහක් (775 මිලියන) වියදම් කර තිබේ. 
 
මෙතැන සඳහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ සමහර වාමාංශික  බුද්ධිමතුන් යෝජනා කරන සුබසාධන රාජ්‍යයේ ස්වභාවය රටේ ආර්ථිකයට සිදු කරන බලපෑම විශාල බවය.
 
Dhamma Sumanasiriමගේ මිත්‍ර ධම්ම දිසානායක, සුමනසිරි ලියනගේ වැනි අය යෝජනා කරන ශක්තිමක්  වූ සුබසාධන රාජ්‍යය මෙවැනි බරපතළ රාජ්‍ය සේවයක් සහිත මෙවැනි බරපතළ සහනාධාර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන එකක්දැයි මා දන්නේ නැත. එහෙත් මෙරට රාජ්‍යය පිළිබඳව ආරක්ෂණවාදයේ සිටින සමහරුන් රාජ්‍යයේ  මූල්‍ය ශක්තිය පිළිබඳව අවධානය යොමු නොකරමින් එහි සුබසාධන පැත්ත ගැන සහ රාජ්‍ය සේවයේ පැත්ත ගැන පමණක් සොයා බලන්නට වැඩි කැමැත්තක් දක්වන බව නම් සැබෑවක්ය.
 
රටේ පෞද්ගලික අංශය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති තත්ත්වයකට මේ රට පත්වී ඇත්තේ වාමාංශිකවාදයේ න්‍යායික පදනමක් අපේ රටේ දේශපාලනයේ එක් පාර්ශ්වයක් තදින් නියෝජනය කිරීම නිසා පමණක් නොවේ. 1977 පසු මෙරට ඇතිවූ වෙළඳපොළ යාන්ත්‍රණයත්, හුදු ශක්තිමත් පෞද්ගලික අංශයක් ගොඩ නැගුවේ නැත. 
 
එපමණක්ම ද නොවේ. 77 පසු බිහි වූ වෙළඳපොළ විසින් පෙන්නුම් කළේ හුදු ඩීල් වෙළඳපොළවාදයක් වීමත් මේ ප්‍රශ්නය සංකීර්ණ කිරීමට හේතුවී ඇත. 
 
රජය සතු ව්‍යාපාරවල කාර්යසාධනය මේ වාර්තාවේ තිබෙන මේ කොටස ගැන වෙනමම ලිපියක් ලිවිය යුතු තරම් කලාපයක් තිබේ. 1948 සිට මේ දක්වා රජයේ ව්‍යාපාර පිළිබඳව ශක්තිමත් විමසා බැලීමක් සිදු කිරීමට කාලය පැමිණ ඇති බව මගේ අදහසය. 
 
 
මේ රටේ සමහර රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ එක්කෝ එහි සිටින සේවකයන් ටික නඩත්තු කළ යුතු නිසාය. නැත්නම් ඒ ආයතනය මගින් ලබාදෙන සුබසාධනය පවත්වාගෙන යා යුතු නිසාය. සෑම රජයක්ම රජයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමට මැතිවරණවලදී ගිවිස ගත්තත් ඒ තත්ත්වය දිගටම පවත්වාගෙන යන්නට හැකියාවක් නැති වෙන්නේ සමාජය තුළට කාවද්දා ඇති සමහර මිථ්‍යා මතවාද පාරේ දේශපාලනයේ සටන් පාඨ වෙන නිසාය. 
 
 
sRI LANKAN
2021 වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ ප්‍රධාන ව්‍යාපාර 52 අලාභය රුපියල් මිලියන 14 දහසකට ආසන්නය.
 
  
2021 වර්ෂයේ මුල් මාස 04 තුළ රජයේ ප්‍රධාන ව්‍යාපාර 52 අලාභය රුපියල් මිලියන 14 දහසකට ආසන්න බව මේ වාර්තාවේ පෙන්නුම් කරන කාරණයකි. මේ අතරින් රජයේ ව්‍යාපාර 19 විසින් රටේ ජාතික ධනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විනාශ කරමින් තිබෙන බව මෙහි අදහසය. 
 
මේ ආයතන  පිළිබඳව නම් කිරීමට මා මෙහිදී නොයන්නේ මේ විෂය සම්බන්ධව පුළුල් විමර්ශනයක් ඉදිරි කිවිදා දැක්මකින් මතු  කරන්නට බලාපොරොත්තු වන නිසාය. 
 
රටේ ආර්ථිකයේ ඉදිරි පියවර සඳහා එක පැත්තකින් රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය වන අතර තවත් පැත්තකින් රජයේ ව්‍යාපාර මගින් සිදු  කරන මුදල් නාස්තිය නැවැත්වීම අත්‍යවශ්‍ය තත්ත්වයක් උදා කර ඇත.
 
 මෙවර වසරේ මුල් කාර්තුවේ ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවේ මගේ නිරීක්ෂණයට ලක් වෙන ප්‍රධානතම අංශය මේ කාරණා දෙකය. 
 
මේ ප්‍රතිසංස්කරණ සිදු කරන්නට ශක්තිමත් මුදල් ඇමතිවරයකු ලෙසින් බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳව ප්‍රාර්ථනාසහගතව මේ කිවිදා දැක්ම නිමා කරන්නෙමි.
 
 
CH(මහාචාර්ය චරිත හේරත්) -පා.ම.
පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපති 
 
(ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මහාචාර්ය චරිත හේරත්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු ලෙසද කටයුතු කළේය.) 
 
(කිවිදා දැක්ම - ලංකාදීප)
 
 
 
 
 
 
 
සබැඳි ලිපි:
 
 
 
 

 

 


 

THE LEADER TV 
 
 
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය?
 
 
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්