1200 x 80 DMirror

 
 

මෙම ලිපිය මාගේ “විකල්පය කොතනද?” පසුගිය ලිපිය හා සම්බන්ධය.
 
මා එම ලිපියෙන් අවධාරණය කරනු ලැබුවේ සමකාලීන ශ්‍රී ලංකාවේ පුරවැසියා සහ පාරිභෝගිකයා වශයෙන් පුද්ගල කණ්ඩායම් දෙකක් දැකිය හැකි බවය.
 
පාරිභෝගිකයා ජීවත්වන්නේ පාරිභෝගික සමාජය තුළයි. ඔහු යම් භාණ්ඩයක් මිලදී ගෙන පරිභෝජනය කර හෝ යම් මතවාදයක් අවශෝෂණය කරගෙන ජීවත් වෙයි.
 
 
පාරිභෝගිකයා නිෂ්ක්‍රිය සහ සැහැල්ලු තැනැත්තෙකි. ඔහු නිතරම ප්‍රචාරණ ක්‍රියාවලියේ ගොදුරක් බවට පත් වෙයි. 
 
 
ඔහු තම නිවසේ ආලින්දයේ දී, වෙළෙඳ පොළේ දී හෝ ඡන්ද පොළේදී තීරණ ගනු ලබන්නේ හැඟීම්බර ප්‍රවේශයකිණි.
එම තීරණ තුළ දැනුම, දැනුවත් බව, තාර්කිකත්වය, හෝ විද්‍යාත්මක බව දක්නට නොලැබේ.
 
හැඟීම් ආමන්ත්‍රණය කරන මැරතන් ප්‍රචාරණ ක්‍රියාවලියක් මගින් ඔවුන් ආලින්දයේ දී, වෙළෙඳ පොළේ දී, හෝ ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ ක්ෂණිකව වෙනස් කළ හැකිය.
 
  
පුරවැසියා එසේ නොවේ. ඔහු සියලු අයිතිවාසිකම් සහිත ඒ වෙනුවෙන් පෙනී සිටින විචාරශීලි සක්‍රිය තැනැත්තෙකි.
 
 
දැනුවත් බව, තාර්කිකත්වය, විචක්ෂණශීලිත්වය, විද්‍යාත්මක බව, මානව සමාජයේ දීර්ඝකාලීන පොදු යහපත ගැන උනන්දු වීම සහ සක්‍රීය වීම, සියලුම මතවාද සහ විකල්ප සඳහා විවෘත වීම, සහ විසම්මුතියට ඉඩ දීම හෙට දවසේ පුරවැසියාගේ ගති ලක්ෂණ විය යුතුය.
 
එවැනි ගති ලක්ෂණ සහිත පුරවැසියන් සහිත සමාජයක් විචාරශීලි පුරවැසි සමාජයක් වශයෙන් හැඳින්විය හැකිය. 
 
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සමස්ත අර්බුදයට විසඳුම් සොයා ගත හැක්කේ එවැනි විචාරශීලි පුරවැසි සමාජයක් ගොඩනගා ගැනීමෙනි. 
 
  
වර්තමානයේ අප මුහුණ දී සිටින බරපතලම ගැටලුව වන්නේ ශ්‍රී ලාංකීය සමාජයේ බහුතරය නිෂ්ක්‍රිය පාරිභෝගිකයන් බවට පත්කර තිබීමයි. ඔවුන් සක්‍රීය විචාරශීලී පුරවැසියන් බවට පත් කිරීම අප හමුවේ ඇති බරපතලම අභියෝගය වේ.
 
 
නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත් බව:
 
 
f349fc8cb6b3401d9bbf92b515c67b6a 18 
 
වසර පහෙන් පහට තෝරා පත් කරනු ලබන මහජන නියෝජිතයින්ට රටේ ඉරණම තීරණය කිරීමේ වගකීම් පැවරීමේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය අසාර්ථක බව මෙරට ජනයා සර්වජන ඡන්ද බලය භාවිතාකර පාලකයින් පත්කරගැනීමේ දශක නවයක අත්දැකීම් විසින් ඇස් පනාපිට ඔප්පු කර ඇත.
 
නියෝජන ක්‍රමය මෙන්ම මාරුවෙන් මාරුවට ප්‍රධාන දේශපාලන බලවේග දෙකට බලය ලබාදීම අප මුහුණ දී සිටින අර්බුදයට විසඳුමක් ලෙස තවදුරටත් කල්පනා කිරීම නිෂ්ඵල ව්‍යායාමකි.
 
 ප්‍රභූ සහ මධ්‍යම පාන්තික හෙජමොනියට සමස්ත පුරවැසි ප්‍රජාවන්ගේ ඉරණම තීරණය කිරීමට තවදුරටත් ඉඩ නොදිය යුතුය.
 
 
සෘජු සමස්ත පුරවැසි සහභාගිත්වයත්ව ප්‍රති- හෙජමොනියක්  :
 
 
රටේ පවතින සමස්ත ආණ්ඩුකරණ ක්‍රියාවලිය සහ සම්ප්‍රදායන් මුළුමනින්ම වෙනසකට භාජනය කරන ආකෘතියක් මේ මොහොතේ අප විසින් සොයා නොගත්හොත් අද රටේ පාලනය ගැන අප තුළ පවතින විවේචනය සහ අපේක්ෂාභංගත්වය තවත් දශක ගණනාවකට හා පරම්පරා ගණනාවක්ට ඉතිරි වනු ඇත.
 
 
මේ සඳහා විකල්ප විසඳුමක් වශයෙන් ඍජු පුරවැසි සහභාගිත්ව ආණ්ඩුවක් සඳහා වන මොඩලයක් ගැන සලකා බැලිය හැකිය.
 
සෘජු පුරවැසි සහභාගිත්වයත්වය යන්නෙන් අදහස් කරන්නේ රටේ සමස්ත- විවිධ ජන ප්‍රජාවන් මුහුණ දෙන සමාජ, දේශපාලන, ආර්ථික සහ පාරිසරික ගැටලු හඳුනා ගැනීමට, එම ගැටලු විග්‍රහකර ගැනීමට, එම ගැටලුවලට විකල්ප විසඳුම් සෙවීමට, වඩාත් ප්‍රශස්ත විසඳුම තෝරා ගැනීමට, එම තෝරා ගත් විසඳුම ක්‍රියාත්මක කිරීමට, එම විසඳුම ක්‍රියාත්මකවීම සුපරීක්ෂණයට, එම ක්‍රියාත්මක කළ විසඳුම් ප්‍රතිඵල තක්සේරු කිරීමට මෙන්ම නැවත සැකසීමටද සෘජුව සහභාගිවීමට රටේ සමස්ත පුරවැසියාට අවස්ථාව ලබාදීමයි.
 
  
වෙනත් වචනවලින් කියන්නේ නම් සෘජු පුරවැසි සහභාගීත්වය යනු රටේ සමස්ත ප්‍රතිපත්ති තීරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම මහජන නියෝජිතයින්, නිලධාරීන්, සහ වෘත්තිකයන් තත්වයෙන් බැහැර ප්‍රජාව විසින් සිදු කිරීමයි. මෙහිදී රාජ්‍ය බල ව්‍යුහය සඳහා සෘජුව සක්‍රියව සහභාගිවෙමින් බලය අභ්‍යාස කිරීමට  සමස්ත පුරවැසියන්ට අවස්ථාව ලබා දෙනු ලැබේ.
 
 
එමගින් ප්‍රභූ, මධ්‍යම පංතිකයන්, වෘත්තිකයන්, නිලධාරීන්, සහ මහජන නියෝජිතයන් සතු බලය අභ්‍යාස කිරීමේ වරප්‍රසාදය සමස්ත පුරවැසියා අතට පත් කෙරේ. එහිදී වැටුප්, පහසුකම්, වරප්‍රසාද හිමි අත්ළොස්සක් වන මහජන නියෝජිත නිල තනතුර වෙනුවට ස්වෙච්ඡාවෙන් සේවය කරන සමස්ත පුරවැසියා ආදේශ වේ.
 
මෙය ස්වයං-පාලන, සෘජු ‍ප්‍රජාතන්ත්‍රවාදී මහජන සහභාගීත්ව පාර්ලිමේන්තු මොඩලයකි. පුරවැසි සහභාගිත්ව පාර්ලිමේන්තු මොඩලයක් තුළදී ප්‍රභූ - ‍ මධ්‍යම පන්තික හෙජමොනිය, සමස්ත පුරවැසි ප්‍රති- හෙජමොනියක් බවට පත්වෙයි.
 
සමකාලීන ලෝකයේ සංකීර්ණ සමාජ රටාව සහ විශාල ජනගහනය නිසා සමස්ත පුරවැසි සහභාගිත්වයත්ව ආණ්ඩු ක්‍රමයක් යනු යථාර්ථවාදී අදහසක් නොවන බවට තර්ක ඉදිරිපත් වෙයි.
 
වෘත්තිකයන්ට, විශේෂඥයන්ට, නිලධාරීන්ට සහ මහජන නියෝජිතයන්ට මෙන් ප්‍රතිපත්ති සම්පාදනයට සහ තීරණ ගැනීමට අවශ්‍ය දැනුම,  කුසලතා, උනන්දුව සහ කාලය රටේ සමස්ත පුරවැසියාට, නොමැත යන්න මීට් විරුද්ධව ඉදිරිපත් වන තවත් තර්කයකි. 
 
  
එහෙත් මාගේ කල්පනාව වන්නේ ඍජු පුරවැසි සහභාගිත්වය යනු හුදෙක් උතෝපියානු අදහසක් නොවන බවයි. ශ්‍රී  ලංකාව වැනි කුඩා  ජනගහනයක් සිටින රටක දී නූතන සන්නිවේදන තාක්ෂණය, සමාජීය  මාධ්‍ය මෘදුකාංගවලට, නිර්මාණශීලී නවොත්පාදන ප්‍රවේශයකින් සෘජු පුරවැසි සහභාගිත්වය සඳහා පහසුකම් සැලසිය හැකිය යන්න මාගේ කල්පනාවයි.  
 
 
එමෙන්ම විශේෂඥ දැනුම, සහ වෘත්තිය කුසලතා හා සමානවම පුද්ගල අත්දැකීම්, ප්‍රාදේශීයත්වය, ප්‍රජා අනන්‍යතා, සංස්කෘතික විවිධත්වය වැනි කාරණා මෙන්ම කතිකා සහ  අන්තර්ක්‍රියාකාරීත්වය ද ගැටළු වටහා ගැනීමට,  වඩාත් ඵලදායී සහ කාර්යක්ෂම  ප්‍රසස්ථ  විසඳුම් සඳහා බලපෑම් සහගතය යන්න මාගේ  නිරීක්ෂණයයි. 
 
අනිත් අතට නිදහසෙන් පසු දශක හතකට වැඩි කාලයක් මෙරට සමස්ත අර්බුදයන්ට විශේෂඥයින්, වෘත්තිකයින්, නිලධාරීන් සහ මහජන නියෝජිතයින් දැනුමෙන් සහ කුසලතාවලින් ලබාදුන් විසඳුම් අසාර්ථක වී ඇත.   
 
දැනුම හා කුසලතා පදනම් වූ විසඳුම් වෙනුවට අත්දැකීම්, සහභාගිත්වය, සංවාදශීලීත්වය සහ අන්තර්ක්‍රියාකාරිත්වය ඔස්සේ විසඳුම් සෙවීමේ මොඩලයක් සලකා බැලිය හැකිය. එය එක්තරා අන්දමක සමාජ පරීක්ෂණයකි.
 
 
ඓතිහාසික අත්දැකීම් :
 
 
Ancient Greece 58e267583df78c5162b0e50f 
 
ආණ්ඩුකරණ ක්‍රියාවලියට සෘජු පුරවැසි සහභාගිත්වය පිළිබඳ මුල්ම අත්දැකීම් හමුවන්නේ පැරණි ග්‍රීසියේ පැවති නාගරික පාලන ක්‍රමය තුළයි. 
 
එකල ග්‍රීසියෙ වයස අවුරුදු 18ට වැඩි සියලුම පිරිමින්ට නිදහසේ මත පළකරමින් සෘජුව ප්‍රතිපත්ති තීරණය කිරීමට අවස්ථාව තිබිණි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය වශයෙන් හඳුන්වනු ලැබේ. 
 
පසුකාලයේදී ඒ ආකාරයටම නොවූවත් සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ භාවිතාවන් ඉතාලියේ, 1215 බ්‍රිතාන්‍යයේ  මැග්නකාටා ලේඛනයෙ සහ ස්විස්ටලන්තයේ කැන්ටන් ප්‍රජා යාන්ත්‍රණ තුළද දක්නට ලැබිණි.
 
  
මෑත කාලයේ බොලීවියාව සහ වෙනිසියුලාව වැනි ලතින් ඇමරිකානු රටවල පුරවැසි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සඳහා උත්සාහයන් දක්නට ලැබේ. එහිදී පුරවැසි බලය නැවත ගොඩනැගීමක් සිදුවෙමින් තිබේ. එමගින් විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදයට පිළිගැනීමක් ලබා ගැනීමට උත්සාහ කෙරේ. 
 
 
ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ නිර්ප්‍රභූ සහභාගිත්වය සහිත ප්‍රති- හෙජමොනියකි.  
 
එම රටවල බිම් මට්ටමේ ජන සහභාගිත්වය සහිත දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සංවිධානවල ක්‍රියාකාරීත්වය හරහා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩු ගොඩනැඟීමට දරන උත්සාහයන් දැකිය හැකිය.
 
 
සක්‍රීය සෘජු පුරවැසි සහභාගිත්ව භූමිකාව :
 
 
ග්‍රීක දාර්ශනිකයින් ට අනුව පුරවැසිභාවය යනු ජීවිතයේ ප්‍රධාන අරමුණ වේ. පුරවැසිභාවයේ තිබෙන වටිනාකම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ වගකීම වේ. පුරවැසි වටිනාකම් මොනවාද? ඇයි ඒවා විශ්වාස කළ යුත්තේ? එම වටිනාකම් අත්පත් කර ගැනීම සඳහා කුමක් කළ යුතුද? යනාදිය පුරවැසියා දැන සිටිය යුතුය. 
 
සෑම පුරවැසියෙකුටම සියලු අයිතීන් සමානාත්මතාවයෙන් භුක්ති විඳීමේ අයිතියක් තිබෙන අතර එම අයිතීන් රැක ගැනීමට තනිව සාමූහිකව ක්‍රියා කිරීම පුරවැසියාගේ වගකීම වේ. 
 
  
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පුරවැසියන් පාලනය සඳහා විධිවිධාන තිබුනණද පුරවැසියාගේ භූමිකාව කුමක්ද යන්න පිළිබඳව නිශ්ශබ්දය. 
 
 
මෙරට පවතින ආණ්ඩු ක්‍රමය, ඡන්ද ක්‍රමය සහ කොළඹ කේන්ද්‍රීය ජනමාධ්‍ය විසින් සියලු අයිතිවාසිකම් සහිත සක්‍රිය පුරවැසියා නිෂ්ක්‍රිය පාරිභෝගිකයෙක් බවට පත්කර තිබේ.  
 
ඔවුන් සක්‍රිය පුරවැසියෙක් බවට පත්කර රටේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය සඳහා සහභාගිවීමට අවස්ථාව ලබාදීම පුරවැසි සහභාගිත්වය සහිත ආණ්ඩුවකින් සිදුවේ. 
 
සෘජු මහජන සහභාගිත්වය තුළින් මහජන යථාර්ථයන් හඳුනාගැනීමටත්, ගැටළුවලට තිරසාර විකල්ප විසඳුම් පුළුල් පරාසයක් තුළ හඳුනා ගැනීමටත් අවස්ථාව ලැබේ. 
 
 
වර්තමාන මහජන නියෝජන ආණ්ඩු ක්‍රමයේ ගැටලු:
 
 
පොදු මහජන යහපත,  විවිධ ප්‍රජා කණ්ඩායම් නියෝජනය, සහ ඔවුන්ගේ ගැටලු, උවමනාවන්, සහ  ප්‍රමුඛතා වර්තමානයේ පාර්ලිමේන්තුව තුළ මෙන්ම කැබිනට් මණ්ඩලය තුළ ද  ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙන්ම ක්‍රියාත්මක වීමේදීද  ප්‍රකාශයට නොවීම  රට  මුහුණ දී සිටින සමස්ත අර්බුදයන් හි කේන්ද්‍රීය සාධකය බව පෙනෙන්නට තිබේ.
 
  
ආණ්ඩුව මෙන්ම විපක්ෂයද වගවීම් සහ විවෘතභාවය වෙනුවට ගුප්ත බව සහ රහසිගත බව ආදේශ කරගෙන තිබෙන්නේ මෙරට ආණ්ඩුකරණ ක්‍රියාවලියට සෘජු මහජන සහභාගිත්වයක් නොමැති නිසාය. 
 
 
ආණ්ඩුවේ වංචා, දුෂණ, අක්‍රමිකතා, ඥාති- මිත්‍ර සංග්‍රහ, මෙන්ම අසමානාත්මතාවයෙන් සැලකීම සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙන්නේ ද ආණ්ඩුකරණ ක්‍රියාවලියට  සෘජු  මහජන සහභාගීත්වය නොමැති නිසාය.
 
වසර පහකට වරක් පැවැත්වෙන මැතිවරණයේදී ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට තම නියෝජිතයන් තෝරා පත්කර ගැනීම හැරෙන්නට මැතිවරණයක් නොමැති කාලය තුළ  සමස්ත පුරවැසියාට රටේ ප්‍රතිපත්ති තීරණය කිරීමටත්, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් සහභාගිවීමේ අවස්ථාව අහිමි කර තිබීම මෙරට  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් අහිමි වීමට හේතු වී තිබේ.
 
 මැතිවරණයක් නොමැති කාලය තුළ මහජන නියෝජිතයින්, ආණ්ඩුව සහ සමස්ත පුරවැසියන් අතර සෘජු සන්නිවේදනයක් හෝ සංවාදයක් නොමැත.
 
මැතිවරණ ජනවරම සහ ආණ්ඩුව පිහිටිවීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා මහජන නියෝජිතයින් එමගින් ලැබෙන බලය සමස්ත, දේශපාලන, ආර්ථික, සමාජ දිසානතිය තම පුද්ගලික අභිමතාර්ථ හා වරප්‍රසාද දෙසට යොමු කිරීමට යොදා ගැනේ.
 
 එහිදී සමස්ත පුරවැසියාගේ, විවිධ ප්‍රජා කණ්ඩායම්වල උවමනාවන්, ප්‍රමුඛතා සහ ගැටලු නොසලකා හැරේ. එහි ප්‍රතිඵලය වන්නේ ආණ්ඩු බලය, ප්‍රභූ සහ මධ්‍යම  පාන්තික අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඉටුකිරීම සඳහා වන ප්‍රතිපත්ති  තීරණයට යෙදවීම්යි.  
 
ඒ අනුව පවතින පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ සැබෑ සමස්ත මහජන නියෝජනයක් දක්නට නොලැබේ. එහි මහජනතාවට සක්‍රිය ලෙස නීති  සම්පාදනය කිරීමට අවස්ථාවක් නොමැත.  
 
  
ඊට මෑතකාලීන කදිම උදාහරණයක් තිබේ. ආණ්ඩුව ත්‍රිපිටකය සම්බන්ධ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා කෙටුම්පත්කර ඊට මහජනතාවට  අදහස් දැක්වීමට පුවත්පත් මගින් ආරාධනා කරනු ලැබීය. ඒ සදහා දී තිබූ කාලය පැය හයකි.  බහුතර ජනයාගේ  විශ්වාසයන්ට බලපාන  නීතියක් හදිසියේ  ගෙන ඒමේ  අවශ්‍යතාවක් නොතිබුනා සේම ඊට ප්‍රතිචාර දැක්වීමට මහජනතාවට පැය හයක කාලයක් පමණක් ලබාදී තිබීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ගේ තිබෙන ව්‍යාජත්වය පිළිබිඹු කරයි.
 
 
 
ඍජු පුරවැසි සහභාගිත්වය ලබා ගත හැකි මෙවලම්  :
 
 
 
තවත් වසර පහක් ගතවන විට මෙරට ඡන්දදායකයන්ගෙන් සියයට හැත්තෑපහක් අවම  මට්ටමේ හෝ  ඩිජිටල් (digital) සාක්ෂරතාවය සහිත පුද්ගලයන් වනු ඇත.  කොවිඩ්  වසංගතය හේතුවෙන් මෙරට සෙසු වැඩිහිටි පුරවැසියෝ ද සැලකිය යුතු ප්‍රමාණයකින් ජංගම දුරකථන මගින් සමාජීය මාධ්‍ය පරිහරණය කිරීමේ සාක්ෂරතාවය ලබා ගනිමින් සිටිති. ඒ අනුව මෙරට ඡන්දදායකයන්ගෙන් අති බහුතරයට තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඔස්සේ  ආණ්ඩුකරණ  ක්‍රියාවලියට සෘජුව සහභාගිවීමේ ශක්‍යතාව ලැබී තිබේ.
 
 
මේ වන විට නොමිලේ බාගත හැකි ඇප් විශාල ප්‍රමාණයක් මහජන අවකාශයේ විවෘත කතිකා සහ අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා පහසුකම් සලසමින් සිටී. වට්ස්ඇප්, වයිබර්, ක්ලබ් හවුස් (Club House),  Zoom, ට්විටර් සහ මුහුණ පොත වැනි වේදිකා පුළුල් මහජන කතිකාවක් සඳහා උපරිම මහජන සහභාගිත්වය ලබා ගැනීමට මෙන්ම ජනමත විමසුම් පැවැත්වීමට ද පහසුකම් සලසනු ලැබේ. 
 
මෙම වේදිකා මහජනතාව අතර අතිශයින් ජනප්‍රිය වෙමින් පවතී. 
 
 
ක්ලබ් හවුස් වේදිකාව :
 
 
BRAZIL - 2021/02/08: In this photo illustration the Clubhouse logo seen displayed on a smartphone screen. (Photo Illustration by Rafael Henrique/SOPA Images/LightRocket via Getty Images) 
 
 
පසුගිය වසරේ හඳුන්වාදුන් නොමිලේ බාගත හැකි ඇප් එකක් වන “ක්ලබ් හවුස්”  සතුව සෘජු සක්‍රීය මහජන සහභාගිත්වය සහිත ආණ්ඩුකරන ක්‍රියාවලියක් සඳහා පහසුකම් සැලසීමේ විභවයන් පවතී.  
 
“ක්ලබ් හවුස්”  විසින් ගුවන් විදුලි මාධ්‍යය හා සමාන කටහඬ පමණක් භාවිතා කර විවෘත සංවාද සඳහා වේදිකාවක් ගොඩනගා දෙනු ලබයි. 
 
දැනටමත් විවිධ මාතෘකා ඔස්සේ ලෝකය පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනයා ක්ලබ් හවුස් වේදිකාව තුළ විවෘත සංවාද, කතිකා පවත්වමින් සිටිති.
 
ක්ලබ් හවුස් වැනි ඇප් එකක් පාර්ලිමේන්තු ක්‍රියාවලියට සෘජුව පුරවැසි සහභාගිත්වය ලබා ගැනීමේ මෙවලමක් වශයෙන් සංවර්ධනය කළ හැකිය. ට්විටර් ජනමත විමසුම් සඳහා භාවිතයට ගත හැකිය. 
 
මීට අමතරව “e පාර්ලිමේන්තුව” “ඩිජිටල්  රාජ්‍ය පාලනය”  “Block Chain” වැනි ආකෘති මෙම ක්‍රියාවලිය සමග අන්තර්ග්‍රහණය කළ හැකිය. 
 
ඒ ඔස්සේ රටේ සමස්ත පුරවැසියාට රටේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ ක්‍රියාවලියට මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියටද  සක්‍රීයව සහභාගිවීමේ ආකෘතියක් ගොඩනගා ගැනීමේ අවස්ථාව තිබේ.  
 
 
 
(මතු සම්බන්ධයි).
 
 
 
 
dr pradeep n weerasinghe 259x300 1(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.
 
 
 
 
 
සබැඳි ලිපිය : කියවන්න 
 

 

 

THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58