මා විසින් 'සෘජු පුරවැසි සහභාගිත්ව ආණ්ඩුවක්'  පිළිබඳව ඉදිරිපත්කළ අදහසට ප්‍රතිචාර වශයෙන් මහාචාර්ය රොහාන් සමරජීව 'සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ද වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය' මැයෙන් පිළිතුරක් ලියා තිබිණි. 
 
මහාචාර්ය සමරජීවගේ අදහස වී තිබුනේ විශේෂඥයන් විසින් පැහැදිලි ප්‍රතිපත්ති මත ආණ්ඩුකරණ ක්‍රියාවලිය  මෙහෙයවීම තුළින් පවතින අර්බුදයට විසඳුම් සොයා ගත හැකි බවයි. 
 
නිදහසෙන් පසු රට ගොඩනැගීමේ ක්‍රියාවලියට සෘජුව මැදිහත් වූයේ කොළඹ කේන්ද්‍රීය ව්‍යාපාරික පන්තිය, විශේෂඥයින්, වෘත්තිකයින්, නිලධාරීන් සහ මහජන නියෝජිතයන්ය. 
 
ඔවුන් ධනපති සහ ඉහළ මධ්‍යම පන්තියට අයත් සුළුතරයකි. 
 
රට ගොඩ නැගීමට ඔවුන් විසින් කළ මැදිහත්වීම අසාර්ථක බව දැන් අපේ රට තිබෙන තත්වයෙන් පැහැදිලි වේ. ඔවුන් මේ වෙනුවෙන් දශක හතකට වැඩි කාලයක් සහ දේශීය, විදේශීය සම්පත් සම්භාරයක් අපට අහිමි කර තිබේ.
 
 
මෙරට නිර්ප්‍රභූන් ආණ්ඩුකරණ ක්‍රියාවලියට සෘජුව සහ සක්‍රියව සහභාගිව වන විට ප්‍රභූ සහ  ඉහළ මධ්‍යම පංතිය   විසින් මෙතෙක් භුක්ති විදිනු ලැබූ බලය අභ්‍යාස කිරීමේ වරප්‍රසාදය අහිමි වි ඔවුන් විසින් මෙතෙක් නඩත්තු කරනු ලැබූ බල ධූරාවලිය අභියෝගයට ලක් වන බැවින් මෙවැනි පුරවැසි සහභාගිත්ව ආණ්ඩුකරණ ක්‍රියාවලියකට ඔවුන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂා කිරීම යථාර්ථවාදී අදහසක් නොවේ.
 
 
කොරෝනා විසින් පුළුල් කළ ඇති නැති පරතරය:
 
 
COVID 19 හේතුවෙන් ගෝලීය සමාජයේ ඉහළ යමින් පවතින ඇති නැති පරතරය මෙයට කදිම නිදසුනකි. කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමේ අවස්ථාව හිමිව තිබෙන්නේ ලෝකයේ ධනවත් රටවල පුරවැසියන්ටය. 
 
මිල අධික ඉහළ  ප්‍රමිතියෙන් යුතු එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබෙන්නේ ඔවුන්ට ය. වාර්තා වන පරිදි එම රටවල් අතිරික්ත එන්නත් තොග ද රැස්කර තබා ගැනීමට සමත්ව තිබේ. 
 
කොරෝනා විසින් ජනිත කළ  ආර්ථික අර්බුදයට සහ සමාජ ආරක්ෂණ ගැටලුවලට සාර්ථකව මුහුණද දීමට හැකිව තිබෙන්නේ ද ලෝකයේ සංවර්ධිත රටවල ජනතාවට පමණි. 
 
ශ්‍රී ලංකාවේ තත්ත්වය ද මීට සමානය. වඩාත් සාර්ථක එන්නත් ලබාගැනීමේ වරප්‍රසාදය හිමිව තිබෙන්නේ ධනවත්, ඉහළ පන්තික කණ්ඩායම්ලට, රජයේ ඉහළ නිලධාරීන්ට, වෛද්‍යවරු වැනි වෘත්තිකයන්ට සහ මහජන නියෝජිතයන්ටය. එනම් රටේ බලය භුක්ති විඳින සමාජ කණ්ඩායම්වලටය. 
 
එය කෝවිඩ් වසංගතය හමුවේ ඔවුන්ට ලැබුණු වරප්‍රසාදයකි. ඔවුන්ට එන්නත් ලබා ගන්නට රටේ සාමාන්‍ය ජනයාට මෙන්  දින ගණනාවක් අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් පෝලීම්වල රැඳී සිටීමට සිදු නොවීය.  
 
107190 LKA210601SinopharmvaccineSriLankaAFP 1623001276094
 
සාමාන්‍ය ජනයා එන්නත් ගැනීමට අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් පෝලීම්වල..
 
 
 
වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා රට සති ගණනාවක් වසා තිබෙන අවස්ථාවලදී මහජන නියෝජිතයන්ට, රජයේ  නිලධාරීන්ට, වෘත්තිකයන්ට, විධායක නිලධාරීන්ට, ව්‍යාපාරිකයන්ට රටේ සාමාන්‍ය ආදායම් උපයන බහුතරයට මෙන් ජීවිතය ගැට ගසා ගැනීමේ ප්‍රශ්නයක් මතු වූයේ ද නැත.
 
 ඔවුන්ට කෝවිඩ් ආසාදනය වුවද සාමාන්‍ය ජනතාවට මෙන් ජීවිතේ අවදානමට ගනිමින් අඩු පහසුකම් සහිත මධ්‍යස්ථානවල රැඳී සිටීමට සිදු වූයේ ද නැත.
 
රට වසා දමන විට පොදු  ප්‍රවාහන සේවා නවතා දමන බැවින් රට වසා දැමීම නිසා තමන්ගේ එදිනෙදා ගමන් බිමන් යෑම අහිමි වූයේ තමන්ගේම කියා වාහනයක් නැති නිර්ප්‍රභූ  කණ්ඩායම්වලටය. තමන්ගේම වාහනයක්   තිබෙන සෙස්සෝ රට වැසුන ද එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි  කර ගෙන යනු දක්නට ලැබේ.
 
  
ඒ අනුව COVID -19 වසංගතය විසින් මෙරට බලය ඇති සහ බලය නැති, ආර්ථික ශක්තිය ඇති සහ ආර්ථික හැකියාව නැති කණ්ඩායම් අතර තිබෙන පරතරය මනාව පිළිබිඹු කර ඇත. එම පරතරය දීර්ඝකාලීනව තව තවත් පුළුල් වනු ඇත.
 
 
මෙයට තවත් කදිම උදාහරණයක් COVID -19  ආශ්‍රිත ගැටලු සහ ප්‍රවණතා පිළිබඳව ZOOM වේදිකාව ඔස්සේ සිදුවන  සාකච්ඡා සභා ඇසුරින් පෙන්වා දිය හැකිය. 
 
මෙම සාකච්ඡා සභාවන්ට මාතෘකාව වන්නේ රටේ පොදු ජනයාට බලපාන කරුණුය. එහෙත් එම සාකච්ඡා සභා තුළ රටේ හඬක් නැති සාමාන්‍ය ජනතාවගේ  නියෝජනයක් නොමැත. 
 
ඒවට සහභාගි වන්නේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යවල හඬ නගන, තමන්ගේම බ්ලොග් අඩවි සහ සමාජ මාධ්‍ය පිටු තිබෙන කොළඹ කේන්ද්‍රීය ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, නිලධාරීන්, සහ  රාජ්‍ය නොවන සංවිධානවල සේවකයන්ය.  
 
ඔවුන් මෙම වේදිකාවලදී ගොවියාගේ, කම්කරුවාගේ, කාන්තාවගේ, තරුණ තරුණියන්ගේ, පාසල් ළමුන්ගේ ප්‍රශ්නය මෙය යැයි ඔවුන්ගේ නිර්වචනයන්ට අනුව විග්‍රහ කර ගනිමින් කථා පවත්වති. ඒවා මෙම ප්‍රජා කණ්ඩායම් පිළිබඳ  අවංක, ගැඹුරු, යථාර්ථවාදී විග්‍රහයක් නොවේ. 
 
 
මෙම සාකච්ඡා සභා හුදෙක් ඒවාට කථිකයින් වශයෙන් ගජමිතුරු සබඳතා මත සහභාගිව වන පුද්ගලයන්ට සමාජීය ප්‍රාග්ධනයක් ගොඩනගා ගැනීමට භාවිතා කරන උපක්‍රමයන්ය. මෙය සමාන අවස්ථා සහ සමාජ සාධාරණත්වය පිළිබඳ බරපතළ ගැටලුවකි.  
 
 
මෙරට පවතින ආණ්ඩු ක්‍රමය, රාජ්‍ය පාලන ව්‍යුහයන්, ආයතන, සමාජ ධූරාවලිය, බලය අභ්‍යාස කරන ආකාරය මෙන්ම ‍ප්‍රජාතන්ත්‍රවාදී  භාවිතයන් ද රටේ බහුතර සාමාන්‍ය ජනයාගේ පොදු යහපත සහ අපේක්ෂාවන් ඉටු කරන්නක් නොවන බව පැහැදිලිය. 
 
එම ව්‍යූහයන් මෙරට තිරසාර සංවර්ධනයට සහ පොදුවේ මානව සංහතියේ යහපතට පහසුකම් සලසනවා වෙනුවට සමස්ත සමාජයම බරපතළ ඛේදවාචකයන් කරා රැගෙන යමින් සිටි.
 
පවතින අර්බුදයට ස්ථිරසාර විකල්පයක් සොයා ගැනීම සඳහා තැන් තැන්හි විවිධ මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම පසුගිය සතියේ මෙවැනි සාකච්ඡාවක දී  ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ කේන්දීය නොවන සියල්ල සහභාගි කරගන්නා නව දේශපාලන සිතියමක් සහ චින්තනයක් මේ සඳහා අවශ්‍ය බවයි.   
 
 
බල කුළුණු වලට අභියෝග කිරීම  :
 
 
නව දේශපාලන සිතියම සහ නව දේශපාලන චින්තනය බලය සහිත මරමස්ථාන සියල්ල උඩුයටිකුරු කරන සමාජ  පරිවර්තනයක් විය යුතුය යන්න මගේ අදහසයි.  
 
 
සමාජ පරිවර්තනය සිදුවන්නේ මිනිසුන්ගේ පවතින චින්තන රටාව, හැසිරීම් රටාව, තීරණ ගැනීමේ ස්වරූපය, සහ ක්‍රියාකාරීත්වය පුළුල්  වෙනසකට භාජනය වීමෙනි. එවැනි සමස්ත සමාජ පරිවර්තනයකට මග පාදා ගත් හැක්කේ සමස්ත පුරවැසි සහභාගිත්ව ක්‍රියාවලියක් මගිනි. 
 
 
එය ආරම්භ කළ යුත්තේ විචාරාත්මක පුරවැසි සමාජයක් නිර්මාණය වන ක්‍රියාකාරකම් ඔස්සේය. එවැනි ක්‍රියාවලියකට  බාධාවක්වන බල කේන්ද්‍රීය කුළුණු කිහිපයක් සමාජයේ පැලපදියම් ව තිබේ. 
 
 
එනම්:
 
 
1-  දේශපාලන පක්ෂ ක්‍රමය මත තෝරාගනු ලබන මහජන නියෝජිතයන් විසින් (සුළුතරය විසින් බහුතරය පාලනය කරන) ආණ්ඩුකරණ ආකෘතිය.
 
 
2-  දැනට රටේ තිබෙන බලවත්ම සමාජීය බලපෑම් ආයතනය වන ව්‍යාපාරික පන්තිය සහ රාජ්‍ය හිමිකාරත්වය සහිත  ජනමාධ්‍ය වපසරිය.
 
 
3- ආගම් සහ ආගමික නායකයින්ට නිල සහ නිල නොවන ආකාරයට ආණ්ඩුකරණ ක්‍රියාවලියට මැදිහත්වීමට තිබෙන අවස්ථාව.
 
 
4- රජයේ නිලධාරීන්, වෘත්තිකයින් සහ විශේෂඥයින් විසින් රාජකාරි කාමරවල සිට රටේ ප්‍රතිපත්ති සහ දිශානතිය තීරණය කිරීමේ ව්‍යුහයන් සහ ඔවුන්ට ඒ සඳහා හිමි වී තිබෙන බලය.
 
 
5- මිලිටරි කණ්ඩායම් වලට මිලිටරිමය නොවන කාර්යයන් සඳහා මැදිහත් වීමට තිබෙන අවස්ථාව සහ බලය 
 
 
6- අධ්‍යාපන ප්‍රතිපත්ති සහ ඒ හා සම්බන්ධ ව්‍යුහයන්
 
 og talcott parsons 8517
 
ඇමරිකානු සමාජ විද්යාඥ ටැල්කොට් පාර්සන්ස්
 
  
ටැල්කොට් පාර්සන්ස් ට අනුව බලය යනු කෙනකුගේ ආශාව අන් අය මත පැටවීමකි. මෙම බල කුළුණුවල හිමිකරුවන් වන සුළුතරය තම අරමුණු මිනිස් සමාජය මත පටවා තම අරමුණු සහ අවශ්‍යතා සපුරා ගැනීමට සමත්ය. මේ ආකාරයට, හඬක් නැති පුරවැසි බහුතරයට දේශපාලන බලය දරන අයගේ අදහස්, අවශ්‍යතා හෝ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට බල කෙරේ.
 
 
ප්‍රතිඵලය වන්නේ ඉහත බල කුළුණුවල හිමිකරුවන් වරප්‍රසාදිත තත්ත්වයකට පත්වී බහුතරය වන නිර්ප්‍රභූ ජනයා බල ධුරාවලියේ පහලට තල්ලු වී සම්පත් අහිමිවීම, අසමානතාව, අසාධාරණය, අයුක්තිය සහ මූලික අවශ්‍යතා ඉටුනොවීම  වැනි ප්‍රපංචයන්ගේ පීඩිතයන් බවට පත්වීමයි.  
 
සෘජු සක්‍රීය සහ අඛණ්ඩ මහජන සහභාගිත්වය, සමානාත්මතාවය, විවෘතභාවය, වගවීම, සමාජ සාධාරණත්වය සහ අදාළත්වය යන මූලිකාංග මත පදනම්ව මෙම බලසම්පන්න කුළුණු හයේ ක්‍රියාකාරීත්වය පුළුල් නීතිගත සහ  ස්ථීරසාර වෙනසකට භාජනය කිරීම ඉහතින් සාකච්ඡා කළ සමාජ පරිවර්තන ක්‍රියාවලියේ දෙවැනි ක්‍රියාකාරකම වේ. 
 
 
 
ඒ අනුව පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගීම සහ සමාජ පරිවර්තනයක් සඳහා වන ක්‍රියාවලිය මෙම බල කුළුණු හය ප්‍රශ්න කිරිම වෙත කේන්ද්‍ර විය යුතුය. විචාරශීලී පුරවැසි සමාජයක් විසින් සහ ඉහත බල කුළුණු හය ප්‍රශ්න  කිරීමේ ‍ක්‍රියාවලිය ඔස්සේ නව දේශපාලන චින්තනයක් සහ විකල්ප ආණ්ඩුකරණ ආකෘතියක් ගොඩනැගෙනු ඇත. 
 
 
(මතු සම්බන්ධයි )
 
 
dr pradeep n weerasinghe 259x300 1(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ විශ්වවිද්‍යාලය.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
 
 
 
 
 
සබැඳි ලිපි කියවන්න :
 
 
 
 
 
 

THE LEADER TV 
 
රටවිරුවන් හූරංකන අලුත් විදිහ! ගුවන්තොටේ මගඩි එළියට! 
 
 
 
රූප සුන්දරිය සමග හිරේට පැන්න ඇමති ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්