(අනිද්දා ජාතික පුවත්පතේ පළවූ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න ගේ ලිපියකි)
# ගලගොඩත්තේ ඥානසාර් කමිටුවේ සංයුතිය ජාතින් සමීප කළ සමගියේ දාන් ලෑල්ලට පයින් ගැසීමකි.
# මේ නිර්මානය වන්නේ පාස්කු වර්ගයේ තවත් මැතිවරණ ව්‍යාපෘතියක ආරම්භයයි. තැනින් තැන හමුවන බෝම්බ කෑලි හමුවීම ආරම්භය වේ.
# රටේ ප්‍රධානින් තිදෙනා වන ජනාධිපති අගමැති මුදල් ඇමති තිදෙනාම මැදමුලන අයියා මලෝ වීරවංශලාගේ විවේචන දකින්නේ ද්‍රෝහිකමක් ලෙසය.
# ජ්‍යෙෂ්ඨ ඇමතියෙකුගේ කන අත ගාන බවට, තිස්ස කුට්ටි ආරච්චිගේ පාරම්බෑම කැබිනට් ක්‍රමයක් නොපවත්නා බවට සාක්‍ෂියකි.
'අනිද්දා' පාඨකයෙකු පසුගියදා ගෙදර යන්නාගේ මෙහෙවර කුමක්දැයි විමසීය. එය විස්තර කිරීමට, ජෝන් එෆ්. කෙනඩිගේ ප්‍රකාශයක් උපුටා දක්වනු කැමැත්තෙමි.

අප කැපවිය යුත්තේ සුරක්‍ෂිත අනාගතයක් කෙරෙහි පවත්නා වගකීම මිස පුද්ගලික උවමනා ඉටු කිරීම නොවේ. ජීවිතය බේරාගත හැකි එකම ක්‍රමය කකුලක් කපා ඉවත් කිරීම නම් කකුල හිමියා ධාවකයෙකුද යන්න වැදගත් නොවේ.
කෙනඩි චින්තනයෙන් වැර ගැන්වූ කෙනෙකු අපට අපට හමු වෙනවාමය. නීතිය මමයි කියන පිස්සෙකු වෙනුවට ගොපල්ලව පන්නයේ නාමික භාරකාරයෙක් යනු දුර්ලභ ඖෂධයකට සමානය. අතීතයේ සර්ප දෂ්ටණයකදී හෝ අසාධ්‍ය රෝගියෙකු වෙනුවෙන් ඖෂධ සොයා ගියේ ටයි පටි කාරයන් නොවේ. කැලේ ගහකොල ගැන සතා සරුපයා ගැන දන්නා මිනිසුන්ය.
එක රටක් එක නිතීයක් ඇති කිරීමට, පත් කළ කාර්ය සාධක කමිටුවේ සංයුතිය අනවශ්‍ය ආරවුලකි. කෙනඩි න්‍යායයෙන් අනාගතයට වග කී විශිෂ්ඨ මිනිස්සු, 1911දී පමණ ඈතක සිට ජාතික සමගිය වෙනුවෙන් කැප වි සිටියාහ. එය විනාස කළෝ කවුදැයි රටම දනිති.
උක්ත කමිටුවට ඤාණසාර වැනි අන්තගාමියෙකු පත් කිරිම ගැන, ප්‍රශ්න කළ විට, බැසිල් ප්‍රශ්න කළේ හැට නව ලක්‍ෂයක් එක්ව පත් කළ මිනිසා කමිටු පත් කිරීමට කාගෙන්වත් අවසර ගත යුතුද කියාය. ඒ හැට නව ලක්‍ෂයක් එක්ව පත් කළ මිනිසා, නීතිය මමයි කී ගෝඨාභය බව දන්නා කෙනෙකුට, එකී තනි මිනිසා හූනියමක් මිස ආශීර්වාදයක් නම් නොවේ.
ගෙදර යන මිනිසෙකු අවශ්‍ය වන්නේ ඒ නිසාය.
ගලගොඩඅත්තේ කමිටුවේ සංයුතිය ජාතින් සමීප කළ සමගියේ දාන් ලෑල්ලට පයින් ගැසීමකි. මේ නිර්මානය වන්නේ පාස්කු වර්ගයේ තවත් මැතිවරණ ව්‍යාපෘතියක ආරම්භයයි. තැනින් තැන හමුවන බෝම්බ කෑලි හමුවීම ආරම්භය වේ.
රටේ ප්‍රධානින් තිදෙනා වන ජනාධිපති අගමැති මුදල් ඇමති තිදෙනාම මැදමුලන අයියා මලෝ වීරවංශලාගේ විවේචන දකින්නේ ද්‍රෝහිකමක් ලෙසය. ජ්‍යෙෂ්ඨ ඇමතියෙකුගේ කන අත ගාන බවට, තිස්ස කුට්ටි ආරච්චිගේ පාරම්බෑම කැබිනට් ක්‍රමයක් නොපවත්නා බවට සාක්‍ෂියකි.
ජනාධිපති මහින්ද කෝප් සභාපතිව සිටි විජේදාස රාජපක්‍ෂගේ කන අත ගෑ බව රහසත් නොවේ.
සිදුවී ඇති කැබිනට් සාමුහික වගකීම කඩවීම ගැන හාංකවිසියක් නැත්තේ විධායක ක්‍රමයේ කැබිනට් පාලනයක් පාර්ලිමේන්තුවක් අගමැතියෙක් නැති නිසාය. ජේ.ආර්.ම කී පරිදි මෙය කිසිවෙකු වෙනස් නොකරනු ඇත.
අගමැති සර් ජෝන් කැබිනට් රැස්විම ගෝල්පේස් පිට්ටනියේ පවත්වන බවට තර්ජනය කළේ සාමුහික වගකීම කඩවීමෙන් ඇතිවූ අසරණ කම නිසාය. කැබිනට් හෙට්ටු කිරීම බෙහෙවින් බරපතලය. කැබිනට් වර්ජන බණ්ඩාරනායකට එරෙහිවද පැවතිණ.
ජනරජයක් නොවූ ලංකාවේ කැබිනට් ඇමති යනු කෙනඩි විග්‍රහයට අනුගත රටේ අනාගතයට වග කී අධිකාරියකි.
පවත්වා ක්‍රමය තුළ කැබිනට් මණ්ඩලය යනු රාජපක්‍ෂලා කැමති කිහිප දෙනෙකි. කාර් පර්මිට් බාර් ලයිසන් බලා සිටින්නන් මිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් නැත. ජනතා ස්වාධිපත්‍ය යනු ජනාධිපති මැතිවරණ දිනයේ කතිරය ගසන නිමේෂයට සීමාවූවකි. තම ඡන්දය නිවැරදිව ගණන් කළාද සොයා බැලීමටවත් ඡන්දදායකයාට හයියක් නැත. මේ වහල් භාවයෙන් මිදීමක් නැතිද?
ඍජු විධායක ක්‍රමයට පමණක් එරෙහි ගෙදර යන්නා පක්‍ෂ දේශපාලනය සුරක්‍ෂිත කරන රට ගොඩනගන අරගලයකි. එය තනි මිනිහෙකුගෙන් රටේ අනාගතය බේරා ගැනීමකි. උදාවි ඇත්තේ 43 වසරක අතීතයට ගිනි තබා බිංදුවෙන් පටන් ගත යුතු අවස්ථාවකි.
පාඨලී චම්පිකලාගේ 43 රට විනාස කළ නිදහස් අධ්‍යාපනයේ ටයි කෝට් කාරයන් සමග පෙළ ගැසිමකි. හැම කළු වලාවකම රිදී රේඛා පැවතිය හැකිය. ඒ රිදි රේඛාවල දෝංකාරය ප්‍රශ්න සහගතය. මේ ජය අංක විශ්වාසප කරන පැනි බොන නිමේෂයක් නම් නොවේ.
සෝල්බර් ව්‍යවස්ථාව සක්‍රිය යුගයේ සකල ජන වර්ග නියෝජනය කැබිනට්ටුවේ නියෝජනය ගැන විමසා සංශෝධන පවා සිදුවී ඇත. දැන් සිද්ධ වන්නේ විධායක ජනාධිපති නම් ටික ලියා අත්සන් කිරීමකි.

වර්තමාන කැබිනට් මණ්ඩලයේත් ගලගොඩඅත්තේ සභාපති කළ පිස්සු කමිටුවෙක් වෙනසක් නැත. එහි ඇමතින් වන්නේ එක බඩවැළ කඩාගෙන ආ සහෝදරයන් සිව් දෙදෙනකු සහ ඔවුන්ගේ සහජාත දරුවන් දෙදෙනෙකු පමණකි.
මේ තත්වය තුළ රිෂාඩ් බදුර්දීන්ගේ ගෙදරදී ඝාතනය වූ 16 හැවිරිදි ඉෂාලිනිත් කැබිනට් ඇමතිවරුන් හා රටේ පුරවැසියන් අතර වෙනසක් නැත.
රට ගැන වේදනාවෙන් කතා කරන මා මිත්‍ර ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න බණඩාට අනුව, නව මත වාදයක් දිනවීමට තියුණු ඊතලයක් (නායකයෙක්?) අවශ්‍යමය. ඊතලයේ වේගය සුළි සුළඟකට සාපේක්‍ෂ වේ. ඓතිහාසික බැස්ටීල සිද්ධිය සුළි සුළඟකි. පවත්නා ක්‍රමය යනු බලයේ විෂ පොවා මිනිසෙකු ශක්තිමත් කිරීමකි.
යහ පාලනය අපේක්‍ෂා කළ ලක්‍ෂ ගණනක් තෝරා ගත් සිරිසේන රනිල් පහකොට, මහින්ද අගමැති ලෙස පත් කිරීම, ආරක්‍ෂක කවුන්සිය නොකැඳවා මිනිස් ඝාතනයකට ඉඩ සැලසීම කිසිවකුට ප්‍රශ්න කළ නො කෙළෙහිද? ඒ ක්‍රමය 20 හරහා වෙනස් කළේ විමල් වීරවංශලා දයාසිරි ජයසේකරලා විසින් නොවේද? ගෙදර යන්නෙකු අවශ්‍ය මෙතැනදීය.
ප්‍රේමදාසගේ ඇවෑමෙන් විධායක ජනාධිපතිවූ ඩී.බී.විජේතුංග, ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා විය යුතු බවට පැවති සාකච්ඡා කළ අවස්ථාවේදී එතුමා කීවේ කුමක්ද?

ඩඩ්ලි සේනානායක - ඩී.බී. විජේතුංග
“රට තියෙන්නේ අවුලක. දැන් අවශ්‍ය ජනාධිපතියෙක් නොවේ. රටටත් පක්‍ෂයටත් භාර කාරයෙක්. මේ සංක්‍රාන්තියක්. 77න් පස්සේ අපේ රටට ජනතාවට නැති වෙච්ච දේ බොහෝමයි. සාධාරණ මැතිවරණයක් අවශ්‍යයි. අපේ පක්‍ෂයෙන් බිඳී ගිය ඔක්කෝම කැඳවලා එජාපය ශක්තිමත් කරමු. එජාපයට නායකයෙක් නෑ. විශේෂයෙන් ගාමිණී බුද්ධිමත්. මට වඩා තරුණයි. මම දැනටම ගාමිණි එක්ක කතා කරමින් ඉන්නේ. චන්ද්‍රිකාට මුහුණ දෙන්න චරිතයක් අපට ඕනැ.” ඒ ප්‍රකාශය අදටත් හරිය.
ඩී.බී.විජේතුංග යනු මම පිළිමතලාවේ ගමට ගිහින් මැරෙන්න ඕනැ කී චරිතයකි.
අන්තිම ඡන්ද ප්‍රතිපලය නිකුත් වීමට පෙර තම පරාජය රටේ ජයග්‍රහණයක්ය සිතා අගමැති ධුරයෙන් අස්වීමේ ලිපිය යැවූ ඩඩ්ලි කිහිප වරක් අනාගතයට රට භාර දී ගෙදර ගිය විශිෂ්ඨයෙකි. ගොජ දමන දේශපාලනෙන් කිළිටි නොවූ ගෙදර යාමට සැදී පැහැදී සිටින ඩඩ්ලිලා විජේතුංගලා දස දහස් ගණන් අදටත් රටේ සිටිනවාය.
එකම මැතිවරණයකින් සියලු ආයතන සඳහා නියෝජිතයන් තොරා ගැනීම නීතිගත කළ යුතුය යන්නත් විජේතුංගගේ අභිප්‍රායකි. ක්‍රමය වෙනස්කර ගෙදර යන්නා වීමට ගෝඨාභයත් පිළිවන. එහෙත් තමන් වදා හැදූ දෙමාපිය සොහොන රජයේ බදු මුදල් වංචා කොට ඉදි කළ හෙතෙම තමන්ම රවටා ගත් “චුදිතයෙකි.”
බැරක් ඔබාමාට පැරදුණ රිපබ්ලික් අපේක්‍ෂක ජෝන් මැකේන් ප්‍රතිපල නිකුත් වූ පසුව කීවේ පැරදුණේ මා මිස අමෙරිකාව නොවන බවය. ජෝන් මැකේන් යනු වහලෙකු අමෙරිකාවේ ජනාධිපති වනු දැකීමේ ලින්කන්ගේ ප්‍රකාශය යාවත් කාලීන කළ විශිෂ්ඨ අමෙරිකානුවෙකි. ලින්කන්ලා ඩී.එස්.ලා දුන් නායකත්වය එපරිදි වේ.
ගායන ශීල්පිනී නීලා වික්‍රමසිංහ 2015දී පැරදුණ මහින්දගෙන් ඇසුවේ ඇයි සර් අරූ මරලා හරි දිනුවේ නැත්තේ කියාය. මිනිස්කම ප්‍රජාතන්ත්‍රවාදය සිංදුකාර නීලා වික්‍රමසිංහලාට උගන්වනවා බොරුය. විජේතුංග පන්නයේ ගෙදර යන්නෙකු අවශ්‍ය ඒ නිසාය. එහෙම මිනිසුන් නැහැ කියා සිතීමත් පාපයකි.
විධායක ක්‍රමය යටතේ අධිකරණයෙන් වරදකරුවී ජනාධිපති සමාව ලැබූ ගලගොඩඅත්තේ සභාපති කිරීම ගැන පසුගිය 2වෙනි අඟහරුවාදා 'ලංකාදීප' තම කතු වැකියෙන් ප්‍රශ්න කළේය. වර්තමාන ජනාධිපති අගමැති මුදල් ඇමති තිදෙනාම නඩු අස් කරවාගෙන බේරුණ අය වෙති.
ලංකාදීප කර්තෘ ජනාධිපති සමාව ලැබ ගෙදර ආ දුමින්ද සිල්වා ජාතික නිවාස අධිකාරියේ සභාපති ලෙස පත් කිරීම ගැනවත් කතා කළේ නැත. මාධ්‍ය යනු මතවාද වාහකයෙකු මිස අශ්වයන් තෝරා දෙන රේස් කොලයක් නොවේ.
1970-77 හබරාදුව මන්ත්‍රීවරයාව සිටි අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකරත් විශිෂ්ඨ ජනමාධ්‍යවේදියෙකි. 1973 වන විටත් ෆීලික්ස් ඩයස් සිය දඹරැඟිල්ලෙන් රාජ්‍යය හසුරුවමින් සිටීම ගැන නො සතුටින් සිටි ප්‍රින්ස් ගුණසේකර වාමාංශික සභාගය විවේචනය කළා පමණක් නොවේ. එජාප සත්‍යග්‍රහ ව්‍යාපාරවලදී ගාන්ධි තොප්පිය පැළඳී ජේ.ආර්. ළඟින්ම සිට ගත්තේය.
ප්‍රින්ස් ගුණසේකරට එජාපයෙන් හෝ ස්වාධීනව හබරාදුවට තරග කරන ලෙස ගාමිණි දිසානායක ආරාධනා කළ විට “ මට රටේ මතවාදය සමග මිස එජාපය සමග කිසිදු ගණුදෙනුවක් නැත” යනුවෙන් පිළිතුරු සැපයීය. ප්‍රින්ස් ලංකාදීපයේ සේවය කළ මාධ්‍ය වේදියෙකි.

වීරවංශලාගේ මහජන සභාව රනිල් අගමැති කොට, නාමල් විපක්‍ෂ නායකයා කොට, රාජපක්‍ෂ ආධිපත්‍යය අනාගතයට සුරක්‍ෂිත කිරිමේ මැදමුලන ව්‍යාපෘතියක් විය හැකිය. ගම්මන්පිලලා 20 වෙනි සංශෝධනයේදී සංවේදී නොවුණා නම්... බැසිල් කෙනෙකු නැත.
වීරවංශලාගේ මේ කෝනංගි සෙල්ලම් රටම දනිති. සිරිසේන, මහින්ද රටේ අගමැති කළ අවස්ථාවේ සජිත්ලා මංගලලා නිහඬව නො සිටියේද? කාගේ කාගේත් මලුවල හුණු කුත්ත කුත්ත තිබේය යන හාස්‍ය පිරි ජනශ්‍රැතිය මෙතැනට අපූරුවට ගැලපෙයි.
ආගම් ප්‍රවර්ධනයට රජයේ බදු මුදල් වැය නො කළ ඩී.එස්.සේනානායක තම මැතිවරණයට සහාය දුන්, රාමඤ්ඤ නිකායේ හේන්පිටගෙදර හාමුදුරුවන් හමුවේ රටේ අගමැති හැටියට මිස, නිකායේ ගිහි භාර කාරයා ලෙස පෙනී නොසිටියේය.
ඩී.එස්. අත ඉතිරි මුදල යළි භාණ්ඩාගාරයට භර දුන්නේ ලකුණු ගැනිමට නොවේ. හිතට එකඟවය. ඩී.එස්.ගේ ආකල්ප අනු ප්‍රාප්තික පාලකයන් අනුගමන කළා නම් තිරුබදු රහිත වාහන වාසි හෝ දේශපාලනඥයන්ට විශ්‍රාම වැටුප් රජයට බරක් වන්නේ නැත.
එංගලන්තයට ණය දුන් අපට අද ඇත්තේ පාලකයන් හිස් කළ භාණ්ඩාගාරයකි. ඒ 26 පාර විවෘත නො කිරීමෙන් සිරිසේනද, බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරා දැමීමෙන් බණ්ඩාරයකද කළේ සහාසික අපරාධයකි.
අසාධ්‍ය රෝගියෙකු රැගත් ගිලන් රියකට යා හැකි කෙටිම මාර්ගය මහනුවර නගරයේදී අවහිර කළේ සිරිසේන මිස, ශ්‍රී දළදා හාමුදුරුවන් නොවේ.
අනාගතයට උචිත උත්තර සොයා යාමේ කෙනෙඩිගේ නිර්බාධිත ප්‍රවේශය තේරුම් ගැනීමට මේ අත්දැකීම් උපකාර වනු නියතය. කොරසෝන් අකිනෝත් නෙල්සන් මැන්ඩේලාත්, රුවන්ඩාවේ පෝල් කගාමේත් කෙනඩි ක්‍රමයට උත්තර සොයා ගත්හ. මේ ලංකාවත් ලෝකයේ තවත් රටකි.
පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් පාලනයක් රටට අවශ්‍ය වේ. ඒ කැබිනට් මණ්ඩලය තවදුරටත් ජනාධිපති කාර්ය සාධක බලකායක් නොවිය යුතුවේ. කැබිනට් මණ්ඩලයේ අප්පලා පුතාලා සහෝදරයන් හත් අට දෙනා වාඩි නොකළ යුතුවේ. රාජ්‍ය සේවයට බඳවා ගැනීම්, පත් කිරීම් ඉවත් කිරීම් පාරදෘෂ්‍යභාවයකින් සිදුවිය යුතුවේ.
කාර්යාල සහායකයෙකු එහා මෙහා කිරීමට ඇමතිටත් බලයක් නැති විය යුතුවා මෙන්ම, කැබිනට් ඇමති සතු බලය ගෞරවය සුරක්‍ෂිත ආණ්ඩු ක්‍රමයක් රටට අවශ්‍ය වේ.
ගෙදර යන්නාගේ මෙහෙවර පුළුල් කතිකාවක් මිස, පුද්ගල වන්දනාවක් නොවිය යුතුවේ.
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික('අනිද්දා' ජාතික පුවත්පතේ 2021.11.07 දින පළවූ ලිපියකි)
THE LEADER TV
රාජපක්ෂ දේශපාලන ඉරණමේ තීන්දුව ! | Gossip
සාටකේ නාටකේ ! | මොණරවිලගේ ලියමන