කුමාර වෙල්ගම, ලාල් කාන්ත සහ අර්ජුන රණතුංග යන සක්‍රිය දේශපාලනඥයන් තිදෙනා ගෙවුණ සති කිහිපය තුළ සිදු කළ හුදෙකලා ප්‍රකාශ බෙහෙවින් ආන්දෝලනාත්මක මෙන්ම ධනාත්මකද වේ.  


වෙල්ගම සහ ලාල්කාන්ත දිගු කලක සිට, ආවේනික, දේශපාලන සක්මනින් ඈත්ව හැසිරෙනු නිරීක්‍ෂණය කළ හැකිය.  වෙල්ගම නිකුත් කළ පණිවිඩයේ තවත් පිස්සෙකුට රට භාර නොදිය යුතුය යන්න ඍජුව ප්‍රකාශ කිරීමකි.  



ලාල් කාන්තගේ සාකච්ඡාවන් විවාදිතවේ. ඔහු තම කඳවුරේ රැඳෙමින්ම පවත්නා තත්වය  පිළිබඳව කරන ගැඹුරු කියවීම නිර්ව්‍යාජ ය.  

පක්‍ෂ කුටුම්බ තුළ සිරවී කවුළුවෙන්  අත වැනීම, රනිල් සිරිසේන දෙදෙනා මෙන් සිවිල් සමාජය රැවටීමකි. සාධාරණ සමාජ ව්‍යාපාරයේ මුල් සාකච්ඡාවට සහභාගිවූ, කරු, වාසු, පොන්සේකා ආදිහූ ඍජුව කීවේ තමන් පැමිණියේ පුද්ගලයන් හැටියට මිස, පක්‍ෂ වෙනුවෙන් නොවන බවය. කරු ජයසුරිය, එජාපයේ සිටිමින් ඒ මතවාදය වෙනුවෙන් පෙනී සිටියේය.



සිවිල් සමාජ මතයට අනුගතවීම පක්‍ෂ දේශපාලනය පාවාදීමක් නොවේ. විධායක ක්‍රමය වෙනස් කිරිමට කතා කිරීම පක්‍ෂයකට එරෙහිව යාමක් නොවේ.
දේශපාලන නොවන මාධ්‍ය සහ සිවිල් ක්‍රියාකාරිකයන් මූලික යම් ගමණක් වැඩ පිළිවෙලක් පිළිබඳ ලාල් දැඩි බලාපොරොත්තුවකින් පසුවේ.



අර්ජුනගේ ලිපියේ විෂය පරාසය බෙහෙවින් පටුය :


වෙල්ගම හා ලාල්ගේ ප්‍රකාශ සමග සැසඳීමේදී අර්ජුනගේ ලිපියේ විෂය පරාසය බෙහෙවින් පටුය.  ඒ ප්‍රකාශය, එජාපය පිළිබඳ ඍජු මෙන්ම දැඩි කියැවීමකි. අර්ජුනගේ ලිපිය රට කෙරෙහි අවංකව සිතන එජාප හිතවතුන්ට යහපත් ආමන්ත්‍රණයකි. අදටත් රනිල් අදහන එකී ලිපිය කියැවූ එජාප හිතවතෙකු කළ ප්‍රකාශයක්  මෙසේය.

“ඒක අභ්‍යන්තර ගැටුමක්. ඒත් අර්ජුන චරිතයක් ලෙස 2020දි එජාපය සමග කළ කැප කිරීම අමතක කළ යුතු නැත. අද සජබයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දෙනා අවසාන මොහොත තෙක් සජිත්ට එකතුවීමට දැඩි නොකමැත්තක පසුවිය. එහෙත් අපේක්‍ෂා කළ නායකත්ව වෙනස එජාපය තුළ සිදු නොවුණ තැන යන්ට ගියහ. අන්න ඒ සංසිද්ධින් අතර, අර්ජුන කැප කිරීම කැපි පෙනෙයි. ඔහු ශක්තිමත් එමෙන්ම විශ්වසනීය චරිතයක්” එහෙත් අර්ජුනගේ මේ භූමිකාව පොදු අපේක්‍ෂකයන් ගණනින් වැඩි කීරීමට උගුල් අදින රනිල්ගේ උගුලක් නොහැකිද? සමහරු සැක කරන ආකාරයට 43කණ්ඩායමත් එවැනි ආශීර්වාදාත්මක මොකක්දෝ එකකි.

අර්ජුන රණතුංග යනු දේශපාලනයට නොපැමිණීයද රටේ චරිතයකි. ඔහු ජාත්‍යන්තරයෙහි තම දේශය ඔසවා තැබීමට සාර්ථක නායකත්වයක් දුන් විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයෙකි. (විමතිය එවැන්නෙකුට රනිල් තේරුම් ගැනීමට මෙතෙක් කල් ගතවීමය.)

දේශපාලන පවුලකට අයත් අර්ජුනට බලය සඳහාම නම් එජාපය රැඳී සිටිය යුතු නැත. ඒ සියල්ල පසෙක ලා රටේ හෙට දවස ගැන ඔහු සිතන ආකාරය  විමසා සිටීම වැදගත් වේ.



මේ තිදෙනාම අපේ උන්නදුව අවදි කරවමින් සිටින්නාහ. ඔවුන් තිදෙනාම තව කලක් දේශපාලනයෙහි රැඳිය සිටිය යුතු බවට විවාදයක් නැත. එහෙත් විනාසයේ අගාධය ගමන් කරන රටේ ජනතාවගේ උකටලීභාවය හරහා නැවත පල් හොරෙකු ඉස්මතුවීමක ඉඩ ඇහිරීමට මෙවැනි චරිත එක වේදිකාවක පෙළ නොගැසෙන්නේ ඇයි? එනිසා මේ තිදෙනාට ක්‍රමය වෙනස් කිරීමේ මතවාදය පිණීස යම් කතිකාවකට එක්විය නොහැකිද?


මට මෙහිදී ශේක්ශ්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යයේ  “මම සිසර්ට ආදරය නොකළා නොවේ. ඊටත් වඩා රටට ආදර කළා’‘ යනුවෙන් බෲටස් කළ ප්‍රකාශය සිහිපත් වේ. ඒ ප්‍රකාශයේ දෝංකාරය වෙල්ගම, ලාල් සහ අර්ජුන තිදෙනාගේ ප්‍රකාශයන්හී ගැබ්වේද? උදාව ඇත්තේ පුද්ගල වන්දනයෙන් බැහැරව රට ගැන කල්පනා කළ යුතු මොහොතකි.



ඊයේ පෙරේදා ආණමඩුවේදී රාජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව පොල් ගසනු රටම බලා සිටියහ. හැමදාම රාජපක්‍ෂලා සෝවාන් පිරිසක් ලෙස සැලකූ මා මිත්‍ර නීතිඥයෙකු නිධන් වස්තු කොල්ලකෑම් එක පවුලක වැඩක් නේදැයි විමසා සිටියේ ය. තවත් රාජපක්‍ෂ ගැති අසල්වාසියෙකු රාජපක්‍ෂලා හොරුන් නේදැයි තම දරුවන් පවා ප්‍රශ්න කරන බව කියයි.  

මේ සිද්ධ වෙන්නේ මොකා හෝ කමක් නැත යන ජනමතය තනි සුළියකට කේන්ද්‍රගත වීමකි. මෙවැනි පරිසරයක් 1977දී පෙළ ගැසිණ. 1977 දී තුනෙන් පහක් ජේ.ආර්.ජයවර්ධන හෝ අපේක්‍ෂා කළේ නැත. ප්‍රතිපලය යහපත් නොවීය. සියලු විනාසයේ මුල එය විය. ජේ.ආර්.ට පසුව ප්‍රේමදාස චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන ගෝඨාභය හරහා වසර 43ක් මේ රටට සිදුවූ යහපතක් නැත. රාජපක්‍ෂලා ඒ විනාසය කඩිනම් කරමින් සිටිති.


විශ්‍රාමික විගණකාධිපති ගාමිණි විජේසිංහට අනුව, නාස්තිය පාලනය කළ හැකි නම් රට ගොඩය. නාස්ති කරන්නේ ජනතාවද? නැත.  රාජ්‍ය සේවකයාද? නැත. පනස් හැට ලක්‍ෂයක් එක්ව පත් කර ගත්  ගෝඨාභය පන්නයේ පාලකයන් වෙති. නැවත තීරුබදු බලපත්‍ර දීමටත් ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වීමටත් කැස කවන බව ගිය සතියේ වාර්තා විය.

මේ කරන්නේ පවත්නා විදේශ සංචිත රැක ගැනීමට, රටේ මර්මස්ථාන  විකිණීමට අමතරව ජාතිය සතු එකම තෙල් පිරිපහදුව වසා දමන අතරය.  ඒ අර්ථයෙන් රට ගැන නොසිතන යකුන්  නිර්මානය කරන ජනාධිපති ක්‍රමය වහා අවසන් කළ යුතුවේ.  

lal ka 768x436 1ලාල් කාන්තගේ විග්‍රහය අනුව, එදවස සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ එකම අරමුණ ජනාධිපති ක්‍රමය අවසන් කිරීමය. ඒ විශිෂ්ඨ අරමුණ විනාස කළ  රනිල් සහ සිරිසේන අදටත් දේශපාලන පැරණීම පක්‍ෂ දෙක මෙහෙයවමින් සිටිති. අර්ජුන තට්ටු කළේ ඉන් එක් දොරකටය.



පසුගිය සති අන්තයක මහනුවරදී නීතිඥයන් පිරිසකට බිමල් රත්නායක හමුවිය. එහිදී දැනුණ දේ සහභාගි කෙනෙකු මෙසේ සාරාංශ කළේය.

මන්ත්‍රීන්ට පැන්ෂන් දීම ලොකු ප්‍රශ්නයක් නොවේලු. එක් කෙනෙකුට හම්බවෙන්නේ රුපියල් පනස් දහක්ලු. කිසි විටෙක ජනතා විමුක්ති පෙරමුණ සජබය හෝ පොහොට්ටුව සමග එකතු නොවේලු. ඒ අවබෝධය හරිද වැරදිද කීම ජවිපෙ සතු වගකීමකි.

සල්ලි යහමින් ගැවසෙන කෙනෙකුට මිස, රටේ දේශපාලනයට පිවිසිය නොහැකිය. සල්ලි තිබුණත් ලජ්ජා බය ඇත්තෙකු පවත්නා දේශපාලන ධාරාවට එක් වන්නේ නැත. වර්තමානයේ  තේරී පත් වන්නන්ට නැවත නොතේරීමෙන්  හෝ මරණයෙන් තේරී පත්වීම අහිමි වේ. එහෙව් කෙනෙකු ජීවිතාන්තය තෙක් බදු මුදලකට හිමිකම් කීම සාධාරණ කළ හැකිද?

තෝරා ගත් එකා නඩත්තු කිරීම  වෙනම කතාවකි.  ප්‍රේමදාසගේ මරණය අසා, රතිඤ්ඤා පත්තු කර කිරිබත් කෑ මිනිසුන්ගේ බදු මුදලින් හේමා ප්‍රේමදාස නඩත්තු කිරීම කවර නම් පාපයක්ද?

ඊයේ පෙරේදා උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත් සහ බිරිය උසාවි දැක්කුවේ ජනතා මුදල් තම පරිහරණයට ගත් වරදටය. සමහර ජනාධිපතිවරු වාහන දහස් ගණන් භාවිතා කළ බව තහවුරු වී ඇත. ඔවුන් රට සවාරි ගියේ ගුවන් යානා පුරවාගෙනය. අදටත් රාජ්‍ය මුදල් වැය කිරිමේ බලය ඇත්තේ නිලධාරින්ට පමණකි.

සුදු රෙදි මිලදී ගැනීම අනුමත කළ දෙදෙනා වැරදි කරුවන් කොට දඬුවම් පැමිණවූයේ ඒ අනුවය. ඔවුන් නිදහස් කළා පමණක් නොවේ. රාජ්‍ය සේවයේ තනතුරුද දරති. නීතියේ ආධිපත්‍ය මෙසේ අවභාවිතා වේ නම්.....? විධායක ජනාධීපති ක්‍රමයට මොකා පත් කළත් සිද්ධ වන්නේ එකම දෙයයි.

මෙය රටකට දැරිය හැකිද?  ග්‍රාම නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන්  බිය ගන්වා හෙංචයියන්ට සමෘධිය වැනි රජයේ මුදල් බෙදා දෙන්නේ ගමේ ප්‍රාදේශීය සභාවට පත්වීමටය. තේරී පත්වීමත් සොරකමකි.  ඒ තක්කඩින්  ක්‍රමයෙන් ඉහළ දේශපාලනයේ ඇමති තනතුරු ලබති. ඉන්පසුව ඒ අය සමග වැඩ කළ නොහැකි හෙයින් සමහර නිලධාරින් තනතුරු අතහැර යති.  



විභාග සමත්ව විවිධ ක්‍රියාකාරකම් හරහා රාජ්‍ය සේවයට බැඳුණ පිරිස් විශ්‍රාම වැටුප ලැබීමට වසර විස්සක් කැඹිරිය යුතුවේ.  ඒ රාජ්‍ය සේවය බිය ගන්නා බදු මුදල් ගසා කා ඊළඟ ඡන්දයෙන් ගෙදර යාමට නියමිත එකාට විශ්‍රාම වැටුපක් ලබාදීමට ජනතාව විමුක්ති පෙරමුණත් එකඟ නම් අර තියුණු දේශපාලන මුවහත ගැන කුමන කතාද?




අනවශ්‍ය වියදම් කපා ගොඩ නගන හෙටක් යනු මේ රටට හීනයකි. පසුගිය යුගයේ සමහර දුර්වල ආණ්ඩු පාර්ලිමේන්තුව තුළ රැකුණේ පත්වූ නවකයන්ට පස් අවුරුදු කාලය ගෙවා ගැනීමට ඇති පෙරේතකම නිසාය. සර්විස් එක රැක ගැනීමට හුරු කිරීම, තේරිමේ අයිතිය කෙලසීමකි. එය දොළ පිදේනි දී මහජන මතය කොල්ල කෑමකි.

විශ්‍රාම වැටුප් ගැන ජවිපේ මතය බිමල් රත්නායකගේ ප්‍රකාශය නම්, තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම, මහජන නියෝජිත ආයතනවල සංයුතිය අඩු කිරීම ගැන ගැන ජවිපේ මතය විමසා පලක් නැත.  

විධායක ජනාධිපති ක්‍රමය ගැන ජවිපේ මතය කුමක්ද? ජවිපේ ඉතිහාසය පුරා සිදුකළ සංධානගතවීම් කිසිවක් රට පෙරටු කොට සිදු නොවීය. එකී තීරණ සියල්ල අද ජිවත්ව සිටියා නම් 78 හැවිරිදි මහල්ලෙකු වසර 51කට ඉහත දැරූ  ආකල්ප අනුව වෙනුමෙන් පෙනී සිටීමකි. එක් තරුණයෙකු හෝ එකම කාන්තාවක ජවිපෙ දේශපාලන මණ්ඩලයට වැද්ද ගෙන තිබේද?  


කිසිදු පක්‍ෂයක් සමග සාධානගත වීම හෝ නොවීම පක්‍ෂයක අයිතියකි. ජවිපෙය යනු ඉතිහාසය පුරා දිගින් දිගටම සංධානගතව සිය දේශපාලනයේ නියැළි පක්‍ෂයකි. විශේෂයෙන් ලංකාවේ වාමවාදි සියලු දේශපාලන පක්‍ෂ ලබාගත් හැම ජයග්‍රහණයක්ම සංධානවීමේ ප්‍රතිපල වේ. ජනතා විමුක්ති පෙරමුණ වෙනත් සංධානගතවූ අවස්ථා ගණනාවකි. ඒ හැම විටෙකම එජාප විරෝධය හෝ සිය වාම වාදි අපේක්‍ෂාවන්ට අනුගත වුණා පමණකි. එකී සංධානගතවීම් රට වෙනුවෙන් කළ කැප කීරීම් නොවේ. මේ නිරීක්‍ෂණ විවාතව විවාද කළ හැකි ය.




1994 ජනාධිපති මැතිවරණය අතර, චන්ද්‍රකා කුමාරතුංග සමග ගිවිසුම් ගැසීය. 2000 මහ මැතිවරණයේදී  චන්ද්‍රිකාගේ පාර්ලිමේන්තු ශක්තිය හීනවූ විට, ප්‍රධාන විපක්‍ෂය සමග බොහෝ එකඟතාවන්ට එළඹිණ. ඇය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් සඳහා 2000 අගෝස්තු 21 දින ජනමත විචාරණයකට දින නියම කරගත් පසුබිමක, 2000 සැප්. 05 දින ජවිපෙය සමග පරිවාස ආණ්ඩු ගිවිසුමකින් බැඳුණාය. ඒ සමග ඇතිවූ අර්බුද හේතුවෙන් ඔක්තෝබරයේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව  බිඳ වැටිණ.

2001දී රනිල් රටේ අගමැති  විය. නැවත ජවිපෙය, 2005 ජනාධිපති සටනේදී ජවිපෙය මහින්ද රාජපක්‍ෂ ශක්තිමත් කළේ ඔහු සුනාමි ආධාර සොරා කෑ බවට නඩුවක්ද විමසුණ පසුබිමකය. ජවිපෙය එසේ කළේ රනිල් ප්‍රභා ගිවිසුමෙන් රට දෙකඩවීම නතර කිරීමට බව කියති.

මඩ සෝදා ගත් කළ ලංකාවේ ගොවියාත් රජකමටත් සුදුසුය බව කී රොබට් නොක්ස්ට සිනාසෙමින්, ජාති මාමක නම් පල් හොරෙක් වුණත් ලංකාවේ රජ කමට නිර්දේශ කළේ  උනුත් එකයි මුනුත් එකයි කියන ජවිපෙද යන්න කිසිවෙකු විමසා නැත. මෙම හරහා දැකිය හැක්කේ රටේ ප්‍රශ්න පක්‍ෂ දේශපාලනයට පටු කළ ඕලාරික හැසිරිමකි.  

2010 ජනාධිපති මැතිවරණය කරට ගත් ජනතා විමුක්ති පෙරමුණ 2015 ජනාධිපති මැතිවරණයේදී හැසිරුණේ ආඳ මාළු ඉරටුවෙන් කෑමේ ක්‍රමයටය. වෙල්ගමට අර්ජුනට ලාල්කාන්තට කතා කරන ලිපියේ මෙසේ ජවිපේ ප්‍රශ්න කරන්නේ ඇයිදැයි කෙනෙකුට ඇසිය හැකිය.



මෙතෙක් ආණ්ඩු බලය හුවමාරු කර ගත් එජාප, ශ්‍රීලනිප දෙපක්‍ෂයම නායකයන් අහිමි පිළිකණු බවට පත්ව ඇත. එහි තේරුම ඉතිරිව ඇති එකම ආම්පන්නය ජවිපෙය පමණක් යන්නය. එසේ නම් ජවිපේ දේශපාලන  මුවහත ලෙල දුන් ආකාරය ප්‍රශ්න කළ යුතුව තිබේ. එහි අතීතය ගැන සතුටු විය  නොහැකිය. සිවිල් සමාජ ධාරාවන් ජවිපෙ ගැන මෙසේ ප්‍රශ්න කරන්නේ කිසිවිටකත් ඔවුන් විවෘත සමාජයේ ප්‍රශ්නවලට පිළිතුරු නොදෙන නිසාමය. වෙල්ගම ලාල්කාන්ත අර්ජුන ප්‍රවේශයන් හුදෙකලා වුවද යම් ධනාත්මක සමපාත ඉසව්වකට යොමු වෙමින් පවතී.  



මැදමුලන රාජපක්‍ෂලාගේ  බිඳ වැටීම උන්ගේම වරදක් මිස, විපක්‍ෂයේ ප්‍රාතිහාර්යයක් නොවේ. අද ජවිපෙය යැපෙන්නේ අනුර කුමාර චතුර භාෂාවෙන් උදේ හවා  ආණ්ඩුවේ සොරකම් ජනතාවට හෙළි කරන ආකර්ශනයෙනි. රාජපක්‍ෂලා හොරකම් නොකළා නම් ජවිපේ රාජපක්‍ෂලා සමග ලගිනවාය. මේ ජවිපෙයේ ධරමාන විලාසය වේ.  

වෙල්ගම අර්ජුන ලාල්කාන්ත ත්‍රිත්වයට රටේ ප්‍රශ්නයට ප්‍රවේශ වෙද්දී ධනාත්මක ආරම්භයක් සනිටුහන් කළ සාධාරණ සමාජයක් ව්‍යාපාරය වර්තමාන ස්ථාවරය කුමක්ද? ඒ ගැන සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ වර්තමාන සභාපති කරු ජයසුරිය කතා කළ යුතුවේ.

Chandrasiri Senevirathne 21


(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)

 
THE  LEADER  TV
 
 
 

බඩුමිල වැඩි කළාම සියය 10 ක් ඇමතිට !| මොණරවිලගේ ලියමන

 
PB පස්සේ ගිය BOI ලොක්කට වෙච්ච දෙයක් !
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්