ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ.
සමහරුන් කියන පරිදි, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත්කොට, ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමේ අදහසක් ඇතැයිද තවත් කතාවක් තිබේ.
කැබිනට් මණ්ඩලයේ වෙනසක් අලුත් අවුරුද්දේ සිදුවිය හැකි වෙතත්, (ඉස්සර, ජනේරුවට අපිත් අලුත් ඇඳුම් ඇන්දා), රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩි කරවා ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ‘ශූර’ ඥානයක් ගෝඨාභයටවත්, මොළේ අමාරුවක් රනිල් වික්‍රමසිංහටවත් තිබේද යන්න සැකසහිත ය.
අලුත් තනතුරු, අලුත් පත්වීම් කීයක් මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දැන් අප දැක තිබේද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ පමණක් ලේකම්වරුන් හතර දෙනෙකු මේ වන විට විටින්විට අලුතෙන් පත්කොට තිබේ. තවත් ඉතා වැදගත් මුල් පුටුවල කරන ලද වෙනස්කම් දැන් අපට මතක නැති වෙන ගානට වැටී ඇත.
විදේශ ඇමති වශයෙන් සිටි දිනේෂ් ගුණවර්ධන අධ්‍යාපන ඇමති පුටුවේ වාඩි වී, අධ්‍යාපන ඇමති වශයෙන් සිටි ජී. ඇල්. පීරිස් විදේශ ඇමති පුටුවට මාරු විය. එවිට අධ්‍යාපනයත් දියුණු වී, විදේශ කටයුතුත් දියුණු වන්නේලු.
මුදල් ඇමති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂගේ අකාර්යක්ෂමතාව නිසා රටේ ආර්ථිකය කඩාවැටී ඇතැයි සිතාගෙන මෙන්, ඒ ආර්ථිකය සහ මූල්‍ය තත්වය බැසිල් රාජපක්ෂගේ බුද්ධියෙන් සහ දැනුමෙන් (මොළ හතෙන්) ගොඩගත හැකි යැයි කියමින්, මහින්ද රාජපක්ෂ ඉවත් කොට බැසිල් රාජපක්ෂ නමැති ඇමරිකානු පුරවැසියාට අපේ මුදල් ආර්ථිකය භාර දුනි.
බැසිල් රාජපක්ෂගේ සම්ප්‍රාප්තියෙන් පසුව, එතෙක් පැවති ආර්ථිකය තවත් අඩියකින් හෝ පස්සට ගියා විනා, අඟලකින්වත් ඉස්සරහට ගිය බවක් නම් පෙනෙන්ට නැත.
ගිය සතියේ අපේ විදේශ සංචිතය ඩොලර් මිලියන 1.2 දක්වා පහළ වැටී තිබුණි.
දෙසැම්බර් 28දා මාධ්‍යයට අදහස් දක්වමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා තිබුණේ අද වන විට එම සංචිතය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ නංවා ගැනීමට තමන්ට හැකි වූ බවයි. ඒ මට්ටම මේ වසර අවසානය දක්වා පවත්වා ගැනීමට තමන්ට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බවත් ඒ සමගම ඔහු කියා තිබුණි.
මහබැංකු අධිපති නොකියන රහස ?
මේ වසරේ අවසානය යනු කවදාද? මේ ලිපිය ඔබ අතට පත්වන දිනය වන විට මේ වසර අවසන්ව දින දෙකකුත් ගතව තිබෙනු ඇත. ඉතිං, මහබැංකු අධිපතිවරයා මේ කියන්නේ, දවස් කිහිපයක් දක්වා පමණක් පවත්වා ගැනීමට සමත්ව තිබෙන ‘ප්‍රාතිහාර්යයක්’ ගැනයි.
ඒ කතාව පැත්තකින් තියන්න: මේ ප්‍රාතිහාර්ය, එනම් මේ කියන ඩොලර් බිලියන 3.1 හදාගත්තේ කෙසේදැයි ප්‍රශ්න කරන විට මහබැංකු අධිපතිවරයා කියන්නේ එය ‘රහසක්’ බවයි.
දිනපතා යම් විදේශ මුදල් ප්‍රමාණයක් අපේ බැංකු පද්ධතිය තුළට කොහොමත් ලැබීම සාමාන්‍ය ක්‍රමයයි. ඒ අනුව, අපේ විදේශ ශ්‍රමිකයන්ගෙන් සහ මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් ආදී වශයෙන් ඩොලර් යම් ප්‍රමාණයක් සතියක් තුළ ලැබිය හැකිය.
එහෙත් ඒ මුදල එම සතිය තුළ ලැබුණු පමණින් එය තමන්ට ස්ථාවර භාවයක් සපයාදෙන ධනයක් වශයෙන් අර්ථගැන්වීම සමාන වන්නේ, උදේ සතයක්වත් අතේ නැතිව සිටි දෛනික කම්කරුවෙකු හැන්දෑවේ පඩි ලැබුණු විට දැන් තමන් රුපියල් දෙදහසක පොහොසතෙකියි කීමට සමාන ය.
රුපියල් දෙදහසක මුදලක් හවස පඩි ගැනීමෙන් පසු මේ කම්කරුවා, තමන් විසින් උදේ ඉල්ලා ගත් ණය ගෙවිය යුතු අතර, රෑ කෑමට සහ පසුවදා කෑමට, තමන්ටත් තම පවුලේ දරුමල්ලන්ටත් අවශ්‍ය ආහාරපානාදිය අරගෙන ගෙදර යා යුතුය. එසේ වූ පසු, හෙට උදේට ඔහු සිටින්නේ, ඊයේ උදේ සිටි හිඟන තත්වයේමයි.
මහබැංකු අධිපතිවරයා පාරම්බෑව රුපියල් බිලියන 3.1 සැබෑවක් වූවත්, එය සමාන වනු ඇත්තේ ඒ කම්කරුවාගේ තත්වයටයි.
එසේ නොවන්නට නම්, දෛනික වියදම් පියවීමෙන් පසුව, අඩුම වශයෙන් ඩොලර් බිලියන හයක පමණ සංචිතයක්වත් නිත්‍ය වශයෙන් ඉදිරි මාස තුන දක්වාවත් නඩත්තු කරගැනීමට, හෙවත් අතේ රඳවා ගැනීමට තරම් ආදායමක් හෝ ආධාරයක් හෝ ණයක් හෝ අපට ලැබිය යුතුව තිබේ.
එය සත්‍යයක් විය හැකිය. එසේ වුවහොත්, ඊළඟ අවුරුද්දේ පළමු කාර්තුව තිස්සේම, එනම් මාර්තු අවසානය දක්වාම රුපියල් බිලියන 3 ක පමණ විදේශ මුදල් සංචිතයක් ආරක්ෂා කරගැනීමට ආණ්ඩුවට හැකි වෙතැයි උපකල්පනය කළ හැකිය.
එහෙත් එය, මේ මොහොතේ ඇති කරගත හැකි උපරිම මට්ටමේ සොඳුරු අපේක්ෂාවක් මිස යථාවක් නොවීමට ඉඩ ඇති බවත් අමතක නොකළ යුතුය. මන්ද යත්, ඉදිරි මාස කිහිපයක කාලය ඒ තරම් හෝ අපේක්ෂා දල්වා ගැනීමට තරම් අපේ හිතසුව පිණිස වේ යැයි හිතාගැනීම දැනට උගහට බැවිනි.
අතමාරුවක්, එදා වේල පිරිමැසීමට හොඳයි
උදාහරණයක් වශයෙන් ගත්තොත්, පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි, ඉරානය සහ ලංකා ආණ්ඩුව අතර එවැනි හුවමාරුවක් ඇති කරගැනීම ගැන සාකච්ඡා පටන්ගෙන තිබේ.
ඒ මෙසේ ය: අද වන විට, පසුගිය වසර කිහිපයක කාලය තිස්සේ අපේ රටට තෙල් ආනයනය කිරීම වෙනුවෙන් ලංකාව විසින් ඉරානයට ගෙවිය යුතුව තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 251 කි.
ඇත්ත වශයෙන්ම, එතරම් ණයක් ප්‍රමාණයක් ගොඩගැසෙන තෙක් සිටින්නට ලැබීමත් අපේ වාසනාවකි. ඒ වාසනාව අපට ලැබුණේ, ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක නිසා ය. එනම්, ඉරානය සමග වෙළෙඳාම තහනම් නිසා ය. ඉරානය සමග මුදල් ගනුදෙනු කිරීම තහනම් නිසා ය.
එනම්, කටුනායක ගුවන්තොටුපොළෙන් හොරෙන් සාක්කුවේ දාගෙන ඩොලර් තොගයක් ගෙන ගොස් ඉරානයේ තෙල් සඳහා අප විසින් ගෙව්වොත් මිස, එසේම, අපේ තේ සඳහා ඉරාන නිලධාරියෙකු ඩොලර් තොගයක් සාක්කුවේ දාගෙන ටෙහෙරාන් නුවරින් ගුවන්ගත වී ලංකාවට ඇවිත්, අපේ තේ මණ්ඩලයට ගෙව්වොත් මිස, ආර්ථික සම්බාධකවලට යටත්ව තිබෙන සහ ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටින ලෝක බැංකු ක්‍රමය හරහා එම මුදල් ගෙවීමේ හෝ ලැබීමේ හැකියාවක් අප දෙරටටම නොලැබෙන බව ය.
ඒ තත්වය, මේ මොහොතේ විදේශ විනිමය හිඟයකට මුහුණදී සිටින අපේ ආණ්ඩුවේ වාසියට සිටියේය. එහෙත්, ඉරානය හැමදාමත් එසේ තමන්ගේ ණය හිමිකම අතහැරීමට කැමති නැත. එසේම, අපටද අලුතෙන් තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් ඇත්තේ නැත.
ඒ නිසා, ඉරානයත් විශාල ඩොලර් හිඟයකට මුහුණදී ඇති තත්වය තුළ, ඔවුන් විසින් වැඩියෙන් පරිභෝජනය කරනු ලබන, අපෙන් ආනයනය කෙරෙන තේ සඳහා ඒ ණය හිලව් කිරීමට උනන්දු වීම පුදුමයක් නොවේ. ඒ අනුව, මුල් වටයේදී ඩොලර් මිලියන 5 ක් වටිනා තේ අපෙන් එරටට අපනයනය කරනු ලැබේ. ඒ ප්‍රමාණයට සරිලන පරිදි අපේ ණය හිලව් කෙරේ. ඒ ආකාරයෙන් දිගටම, අප විසින් ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය පියවෙන තෙක් අප විසින් ඉරානයට තේ සැපයිය යුතුය.
මන්ද යත්, ඉරානයට යවන තේ කිලෝවකට අපේ තේ මණ්ඩලය තේ අපනයනකරුවාට ගෙවන්නේ, ඩොලර්වලින් නොව, රුපියල්වලින් බැවිනි. ඒ, එක ඩොලරයට රුපියල් 210 ගණනේ ය.
එම ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද? ගෝඨාභය රාජපක්ෂගේ සහ පොහොට්ටුවාදීන්ගේ ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්තියද? එසේ නැතහොත්, ඇතැමුන් කියා සිටින්නා සේ, මේ ආණ්ඩුව පෙරලුවොත් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුත් පක්ෂයක නායකත්වය යටතේ අලුත් පාර්ලිමේන්තුවක් සහ අලුත් ආණ්ඩුවක් පත්කරගත්තොත් හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට හැකි වේද?
එසේ පවතින ආණ්ඩුව පෙරළීමෙන්, දේශපාලනික සහ ආර්ථික ගමන් මඟ යම්තාක් වෙනස් කළ හැකි ක්‍රමයක් මීට වසර 44 කට කලින් තිබුණි. ඒ, විධායක ජනාධිපති ක්‍රමයක් නොතිබුණු කාලයයි. අද පවතින විධායක ජනාධිපති ක්‍රමය යටතේ පවතින්නේ, ඇත්ත වශයෙන්ම ආණ්ඩු දෙකක් එක විට ඇති විය හැකි තත්වයකි. එකක්, ජනාධිපතිවරයාගේ ආණ්ඩුවයි. අනික, අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක ආණ්ඩුවයි.
එවැනි ආණ්ඩු දෙකක් මේ මොහොතේ නොපවතින්නේ, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය එකම පක්ෂයක් සහ එකම කඳවුරක් (සහ එකම පවුලක්) නියෝජනය කරන බැවිනි.
මේ නිසා, වර්තමාන ආණ්ඩුව 2024 ට කලින් පෙරලා දමා අලුත් ආණ්ඩුවක් පිහිටුවිය යුතු යැයි කියන කතා, සටන්කාමීත්වයක් ප්‍රදර්ශනය කිරීමට හොඳ වෙතත්, ප්‍රායෝගික දේශපාලනයට සහ රටේ සුභසිද්ධියට වැඩක් නැති නිරර්ථක කාර්යයක් පමණක් නොව, අලුත් සමාජාර්ථික ගමන් මඟක යාමට ඇති අනාගත ශක්‍යතා පවා අද සිටම විනාශ කරගන්නා ගමන් මාර්ගයක්ද වන්නේය.
දැන් මෙසේ සිතන්න: ගෝඨාභය රාජපක්ෂ හැම අතකින්ම අසාර්ථක, අදක්ෂ සහ අදූරදර්ශී නායකයෙකු බවත්, ඔහුගේ (වියත් මඟ සහ රාජපක්ෂ බළඇණිය ඇතුළු) කඳවුර තමන් විසින්ම කපා ගත් ගැඹුරු අගාධයක අද වැටී සිටින බවත් නොරහසකි.
එසේ නම්, (අලුතෙන් පත්වන) ඔහුගේ කඳවුරේ නොවන වෙනත් ඕනෑම අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් සමග ඔහු කටයුතු කරනු ඇත්තේ, ඒ වළෙන් ඔහුට ගොඩඒමට හැකි උපායමාර්ගික අත්වාරුවක් වශයෙන් ඒ ආණ්ඩුව පාවිච්චි කිරීමේ එල්ලය ඇතිව ය. එනම්, සියලු කුණු බේරේ වැවට බැස්සවීමෙනි. උපන් දා සිට කරපු වැරදි කැළණි පන්සලට ගොස් සෝදා හැරීමෙනි.
ඒ නිසා, රාජපක්ෂවාදී ආණ්ඩුව මේ මොහොතේ පෙරළීම යනු, ඉන්තේරුවෙන්ම කුමන්ත්‍රණකාරී ලණුවක් බව කිව යුතුය.
ඇත්ත ලෝකය සමන්විත වන්නේ, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, එක පෙකෙණිවැලකින් සම්බන්ධ වී තිබිය යුතු ධූරාවලියකිනි. එය, දැනට පවතින මූලික ව්‍යවස්ථාමය පූර්ව කොන්දේසියයි.
වර්තමාන ආණ්ඩුව මේ අගාධයට වැටුණේ කෙසේද?
ඊළඟට, වර්තමාන ආණ්ඩුව මේ අගාධයට වැටුණේ කෙසේද යන්න සොයාබැලීමේදී අපට හමුවන ප්‍රධාන කාරණා කිහිපයක් තිබේ. ඉන් තුනක් ප්‍රමුඛයි.
1- පළමුවැන්න වන්නේ, ඔවුන්ගේ ජාතිකවාදී ආර්ථික සහ දේශපාලනික මොඩලයයි. එය, ගොම පොහොර දේවත්වයට පත්කිරීමට තරම් සාහසික ය. ගලගොඩඅත්තේ ඥානසාර, නීතියේ දේවතාවා කිරීමට තරම් මුග්ධ ය.
2- දෙවැන්න වන්නේ, ඒ ජාතිකවාදී මාවත සමග ගැටගැසී කාලයක් තිස්සේ එක දිගට ප්‍රවර්ධනය කෙරුණු (රාජපක්ෂ) පවුල්වාදී ග්‍රාම්‍ය චින්තනයයි. (දැන්, මහින්ද වෙනුවට බැසිල්... එදා නඩුවක විනිශ්චයක් පිළිබඳ අනියමාර්ථයක් පැවති මොහොතක, ගෝඨාභය වෙනුවට චමල්...)
3- තෙවැන්න වන්නේ, එහිම අතුරුඵලයක් වන, අසීමිත දූෂණය, නාස්තිය සහ සොරකම, පොහොසත් රටකට වුව ඔරොත්තු නොදන මට්ටමට ආයතනගත වී තිබීමයි. (සුදු ලූනු, පොල්තෙල්, සීනි, පොහොර, ගෑස්, යුගදනවි, පුද්ගලික ජෙට් යානා...)
මගේ තර්කය මෙයයි: මේ සියල්ල එකට ගත් විට, සංකීර්ණ අවුල් ජාලයකි. එය කැබිනට්ටුවේ ඔළු මාරු කිරීමෙන් හෝ ජනාධිපති එසේම සිටියදී ආණ්ඩුව වෙනස් කිරීමෙන් හෝ කළ හැකි නොවේ. ඒ සඳහා, ප්‍රශ්නයේ මූලය වෙත දිවෙන, නව ආර්ථික දැක්මක් සහ නව සංවර්ධන සැලැස්මක් අවශ්‍ය කෙරේ.
(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)
අලි සබ්‍ර්රිගේ porn කතා! | Gossip
රාජපක්‍ෂලා එළවීම හූවේ සීමාවත් පනියි ! | මොණරවිලගේ ලියමන
සර් රාජපක්ෂලාටත් හූව පටන් ගත්තා