(“අනිද්දා” පුවත්පතේ “මහජන ව්‍යවස්ථා මිත්‍යාව සහ ඇත්ත” යන ශීර්ෂය යටතේ පළ කර තිබු ලිපිය පාදක කර ගනිමින්, මහජන ව්‍යවස්ථාවක් කතිකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින්  මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින්

සමාජ මාධ්‍ය හරහා පළකර තිබු ලිපියකි. )



“අනිද්දා” පුවත්පතේ “මහජන ව්‍යවස්ථා මිත්‍යාව සහ ඇත්ත”  ලිපියෙන් මහජන ව්‍යවස්ථා සම්පාදනක් පිළිබඳ අදහසට එරෙහිව ප්‍රධාන ප්‍රශ්න 8 ක් ඉදිරිපත් කර තිබෙන අතර ඒවා මෙසේය.



1. මේ මහජනතාව යනු කවුද? ඒ මහජනතාවට ගෝඨාභය රාජපක්ෂට ජන්දය දුන් ලක්ෂ 69 ත් අයත්ද?


2. එකී මහජනතාව ව්‍යවස්ථා සම්පාදනය පටන් ගන්නේ කොතැනින්ද? ඊට මුල් වන්නේ කවුද? ඒ සඳහා ඒ අයට බලය ලැබෙන්නේ කොතැනින්ද?


3. ගමෙන් ගමට නගරයෙන් නගරයට හැම සියලු ජනතාවක්ම වාඩි වී ඍජුව ව්‍යවස්ථාවක අඩංගු විය යුතු කරුණු කතා කරනවාද?


4. එසේ ව්‍යවස්ථා සැදීමේ පියවර එකින් එක මොනවාද?


5. ඒ විදියට මහජනතාවගෙන් හැදෙන කෙටුම්පතට නීතිමය බල ලැබෙන්නේ කොහොමද? මහජනයා හැදූ නිසා එනයින්ම ව්‍යවස්ථාව නීති ගත වේද?


6. එම ව්‍යවස්ථාව නීතිගත වන්නේ 1978 ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්වද?


7. පවතින ව්‍යවස්ථාවට පිටතින් නම්, එවැන්නක් නීති ගතවීමට බලයක් ලබා දෙන අලුත් විප්ලවයක් මේ මෑත කාලයේ සිදුවුනාද? (නිදහසින් පසු ඉන්දියාවේ මෙන්, කලු ජාතිකයින්ට බලය හිමි වුනාට පසු දකුණු අප්‍රිකාවේ මෙන්, අඩු ගණනේ ඩොමීනියන් තත්ත්වයෙන් මිදී ජනරජයක් සඳහා ජනවරමක් ලැබුන ලංකාවේ 1970 මෙන් වත්?)


8. මහජන ව්‍යවස්ථා කෙටුම්පතට කිසිවෙක් සංශෝධන යෝජනා කරන්නේ නම් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග කුමක්ද? අභියෝග කළ යුතු නම් කළ යුත්තේ කෙසේද?


පළමු ප්‍රශ්නයට දිය හැකි පිළිතුර වනුයේ ගෝඨාභයට ජන්දය දුන් 69 ලක්ෂයද අයත් වන්නේ ජනතාව යන ගණයට වන බවය. 2016 දී ඔවුන් ගෙන් කිසියම් ලොකු පිරිසක් ඡන්දය දී තිබෙන බව පෙනෙන්නේ මහින්ද රාජපක්ෂට එරෙහිව යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටි අපේක්ෂකයාටය.


දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු:


එකී මහජනතාව ව්‍යවස්ථා සම්පාදනය පටන් ගන්නේ කොතැනින්ද? ඊට මුල්වන්නේ කවුරුන්ද? ඒ සඳහා ඒ අයට බලය ලැබෙන්නේ කොතනින්ද ? යන දෙවැනි ප්‍රශ්නයට දිය හැකි පිළිතුරු මෙසේය.


# ජාතීන්ට අලුත් ව්‍යවසථාවක් අවශ්‍ය වන අවස්ථා විවිධ ආකාරයෙන් පහළ විය හැකිය. විදේශ ආධිපත්‍යයක තිබී නිදහස හිමිකරගත් ජාතියකටද, ඒකාධිපති හෝ පීඩාකාරි පාලනයක් තිබී එම තත්ත්වයෙන් නිදහස්වූ ජාතියකටද, අභ්‍යන්තර ගැටුම් තිබී සාමය උදාකරගත් ජාතියකටද අලුත් ව්‍යවස්ථා අවශ්‍ය විය හැකිය. ඊට වඩා සරල වෙනස් හේතු නිසාද ජාතින් අලුත් ව්‍යවස්ථා හදා ගන්නා තැනකට යා හැකිය.


# අලුත් ව්‍යවස්ථාවක් සඳහා මහජනයා ගෙන් එල්ලවන දැඩි බලකිරීම් නිසා අලුත් ව්‍යවස්ථාවක් හදා ගන්නා තැනකට ගිය ජාතීන්ද සිටිති.


# ඒ සියලු හේතුන්ට වෙනස්ව කිසියම් ජාතික රාජ්‍යයක් සිය කටයුතු කරගෙන යාමට බැරි තරමට අර්බුදයකට ගිය විට, හොඳටම ජරාජීර්ණ තත්ත්වයකට පත්  වූ විට හෝ අසමත් තත්වයකට පත්වූ විට එම තත්ත්වයෙන් අත්මිදීම සඳහාද නව ව්‍යවස්ථාවක් ඇති කර ගන්නා තැනකට යා හැකිය.

1990 වසර වන විට දකුණු අප්‍රිකාව තිබුණේ ඒ හා සමාන තත්ත්වයකය. මේ වන විට කිසියම් විශාල ප්‍රමාණයකට ලංකාව තිබෙන්නේද එදා දකුණු අප්‍රිකාව තිබූ තත්ත්වයට සමාන තත්ත්වයකය. දකුණු අප්‍රිකානු අත්දැකීමෙන් ලොකු අර්බුදයක සිටින ලංකාවේ අපට ද ඉගෙන ගත හැකි වැදගත් පාඩමක් තිබෙන්නා සේම ප්‍රශ්නකරු මතු කර තිබෙන දෙවැනි ප්‍රශ්නයටද ඒ මගින් පිළිතුරු දිය හැකිය.


දකුණු අප්‍රිකාව හා ලංකාව

both mandela

දකුණු අප්‍රිකානු අත්දැකීම සැකෙවින් සලකා බලතොත් හිරගෙදර සිටි මැන්ඩෙලා හා අගමැති බෝතා අතර පළමු හමුව සිදුවන්නේ 1989 දීය. 1990 පෙබරවාරි 02 වනදා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට හා කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව පනවා තිබු පක්ෂ තහනම ආණ්ඩුව ඉවත් කළේය. ඉන් දින දහයකට පසුව මැන්ඩෙලාට නිදහස ලබා දෙන ලදී.

1990 අගෝස්තු 06 වනදා රජයට එරෙහිව පවත්වාගෙන යමින් තිබූ සන්නද්ධ අරගලය අවසන් කිරීමට  අප්‍රිකානු කොන්ග්‍රසය තීන්දු කොට ඒ බව ප්‍රකාශයට පත් කළේය. ඉන් පසු එතෙක් පැවති රහසිගත කතා බහ වෙනුවට 1990වේදී නිල සාකච්ඡා ආරම්භ විය.

වර්ණ බේදවාදයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදි දකුණු අප්‍රිකාවක් ගොඩනගා ගැනීම සදහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා යොදාගත යුතු ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා ආරම්භ කෙරුනේ 1991 දීය.


අගමැති බෝතාගේ ආණ්ඩුව ගෙනයමින් තිබුන සාම වැඩපිළිවෙළ සුදු ජනයා අතර ක්‍රියාත්මක වූ දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වූ කොන්සවේටිව් පක්ෂයේ බලවත් විරෝධයට හේතු වී තිබුනි. අගමැති බෝතාගේ අණ්ඩුවට අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් පක්ෂය සමග සාකච්ඡා කරන වැඩසටහනක සුදු ජනයාගේ අනුමැතිය ලැබී නැති බවට එම  පක්ෂයේ නායකයා දිගින් දිගට චෝදනා කරන්නට වීම නිසා සුදු ජනයාට පමණක් සීමාවූ ජනමත විචාරණයක් පවත්වන්නට අගමැති බෝතාට සිදු විය.

1992 මාර්තු වලදී පැවති එම ජනමත විචාරණයෙන් වර්ණ බේදවාදි ක්‍රමය අවසන් කරනවාට පක්ෂව සුදු ඡන්දදායකයින් සියයට 68.73 ක අනුමැතිය ලැබුනි.

ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මත බල පවත්නා මූලධර්ම 34ක් හා කර්ය පටිපාටින්ද ඇතුළත් හා අන්තර් වාර පාලනයකට බලය ලබා දෙන අතුරු ව්‍යවස්ථාවක් පිළිබඳව දෙපක්ෂය අතර 1993 අප්‍රේල් වලදී පොදු එකඟතාවක් ඇතිකර ගන්නා ලදී.

ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් පිටස්තරව කෙටුම්පත් කෙරුණු අතුරු ව්‍යවස්ථාව 1993 අංක 200 දරන පනත වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරි පත්කරන ලදුව 1994 අප්‍රේල් 24 වනදා තුනෙන් දෙකකටත් වැඩි ඡන්දයකින් සම්මත විය.


මැතිවරණයක් පවත්වා අලුත් ව්‍යවස්ථා සම්පාදනය කොට එය නීති ගත කරගන්නා තෙක් වසර 5 ක කාලයක් සඳහා සර්ව පක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගත යුතු ආකාරයත්, ව්‍යවස්ථාව සම්පාදනය විය යුතු ආකාරයත්, අනෙකුත් ප්‍රතිසංස්කරණ සිදු විය යුතු ආකාරයත් එම අතුරු ව්‍යවස්ථාවෙන් පැහැදිලි කර තිබුනි. අලුත් ව්‍යවස්ථා කෙටුම්පත් කොට එය සම්මත කරගන්නා තෙක් මැතිවරණයෙන් පසු බිහිවන සර්ව පාක්ෂික ආණ්ඩුව සියලු කටයුතු කළ යුතුව තිබුනේ එම අන්තර් කාලීන ව්‍යවස්ථාව එන කොන්දේසි හා මග පෙන්වීම් වලට අනුකූලවය.


දකුණු අප්‍රිකාවේ එම අත්හදා බැලීම ආශ්‍රයෙන් මෙම ඓතිහාසික මොහොතේදී ලංකාවේ අපටද උගත් හැකි වැදගත් පාඩමක් තිබේ. ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයකදී මුහුණ දෙන්නට සිදුවන සමහර ව්‍යවස්ථාමය කඩුලු සම්මත හුරු පුරුදු ක්‍රමයට ජය ගත නොහැකි අවස්ථා තිබිය හැකිය. එවැනි අවස්ථාවල නෛතික අඛණ්ඩතාවයේ බිඳිමක් ඇති නොවන ලෙස එම කඩුලු තරණය කළ හැකි ක්‍රම තිබිය හැකිය.


නීතියට අනුකූල වුවද අසම්ප්‍රදායිකයි !

South African President Nelson Mandela (R) signs the country's new constitution while ANC's chief negociator during the drafting process Cyril Ramaphosa looks on, at Sharpville stadium near Vereeniging 10 December 1996. The venue has a double significance : in the same town, in 1902 the Treaty of Vereeniging which ended the Anglo-Boer War was signed and in 1960 police shot dead 69 people during an anti-apartheid demonstration in the township of Sharpville.     AFP PHOTO ADIL BRADLOW / AFP PHOTO / ADIL BRADLOW

අලුත් ව්‍යවස්ථාව හදන්න දායක වූ මැන්ඩෙලා හෝ ඔහු ගේ කණ්ඩායමේ කිසිවකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවීය.


දකුණු අප්‍රිකාව සඳහා සකස් කළ පරිවර්තන වැඩ සටහනෙදී මැන්ඩෙලා හා අගමැති බෝතා හා පසුව අගමැති කලර්ක් තෝරා ගත් ක්‍රමය නීතියට අනුකූල වුවද අසම්ප්‍රදායිකය. අලුත් ව්‍යවස්ථාව හදා ගෙන එය සම්මත කරගන්නා තෙක් බලපවත්වන අන්තර් කාලීන ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරුනේ ව්‍යවස්ථාදායකය තුළ නොව ඉන් පිටතය. එය හදන්න දායක වූ මැන්ඩෙලා හෝ ඔහු ගේ කණ්ඩායමේ කිසිවකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවීය.

ඉන් පෙන්නුම් කෙරෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බලවත් හා ක්‍රියාකාරි මහජන කණ්ඩායමකට වුවද සැබෑ පරිවර්තනක් සදහා සුදුසු තත්ත්වයක් මෝරා තිබෙන අවස්ථාවකදී එම අවකාශය ඉතා සියුම් හා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනට ගැනීම මගින් සමහර විට කිසියම් විශල ප්‍රමාණයකට සාම්ප්‍රදායික රාමුවෙන් පරි බාහිරව පවා පරිවර්තන අරමුණ සඳහා මාර්ගයක්  පාදා ගත හැකි බවය.

 

ලංකාව ද දැන් තිබෙන්නේ ද කිසියම් විශාල ප්‍රමාණයකට එදා දකුණු අප්‍රිකාව තිබූ තත්ත්වයට සමාන තත්ත්වයකය. ආණ්ඩුව බලයට පත්වූයේ විශාල ජනවරමකින් වුවද දැන් ආණ්ඩුව තිබෙන්නේ මජනයාගේ බලවත් විරෝධයට හා කෝපයට හේතුවී තිබෙන තත්ත්වයකය. රටේ අර්බුදය තිබෙන්නේද ආණ්ඩුවට පාලනය කළ නොහැකි තත්ත්වයකය.

 

මහජනයා අතර ආණ්ඩු විරෝධය තිබෙන්නේ ඉහ වහා ගිය තත්ත්වයක වුවද විරුද්ද පක්ෂ ඊට ගැලපෙන ප්‍රමාණයකින් ශක්තිමත් කිරීමට හේතුවී නැත. ආණ්ඩුව තිබෙන්නේද වර්ධනය වන අර්බුදය ඉදිරියේ නිල කාලය අවසන් වන තෙක් වත් අල්ලාගෙන සිටිය නොහැකි දුර්වල තත්ත්වයකය. රටට විය හැකිව තිබෙන විනාශය අවම කරගනිමින් ආත්ම විශ්වාසයකින් නැගී සිටින තත්ත්වයක් ඇති කර ගැනීමට හැකි වනු ඇත්තේ නව ව්‍යවස්ථා සම්පාදනයක්ද ඇතුළත් සැබෑ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු කිරීමෙනි.

 

මේ රටේ මහජන සංවිධාන එම අරමුණ වෙනුවෙන් එකට එකතු වී බලවත් ලෙස හඬ නගන තත්ත්වයක් ඇතිකළ හැකි නම් දකුණු අප්‍රිකාවේ මෙන් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා මාර්ගයක් පාදා ගැනීමට හැකි විය හැකිය. එවැනි වැඩසටහනකට දොරටු විවෘත කිරීම මගින් ජනාධිපතිවරයාට නැවත මහජනයාගේ පිළිගැනීමට හේතුවන තත්ත්වයක් ඇති කරගත හැකිය.

 

ආණ්ඩුවට හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර වලටද රටේ ගමන් මග වෙනස් කිරීමට හේතුවන එවැනි වැඩසටහනකට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වීමට පුලුවන් කම ලැබීම තුළ ඒවාට කිසියම් ප්‍රමාණයකට පිළිගැනීමක් ලැබෙන තත්ත්වයක් දිනා ගත හැකිය. එවැනි තැනකට යාමට ලංකාව සමත් වේ නම් බලාපොරොත්තු අහිමි කරගෙන සිටින ජනතාව තුළ අලුත් බලාපොරොත්තු ඇති කිරීමට හේතුවී ලංකාව මහා අගාධයක් කරා යන ගමන ආපසු හැරවීමට හැකි වනු ඇත.

එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා දොරටු විවර කරගැනීමට හැකි වෙතොත් එම ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ද දකුණු අප්‍රිකාවේ මෙන් අතුරු ව්‍යවස්ථාවක් අවශ්‍ය වනු ඇත. ඒ සියල්ල කර ගත හැකිවනු ඇත්තේ පවතින  සමාජ අර්බුදය විසින්ම ගෝඨා, බෝතා කෙනෙකු බවට පත් කිරීමට සමත් වේ නම් පමණය.


ජාත්‍යන්තර නිදර්ශන:


මේ අර්බුදය තුළ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සඳහා මාර්ගයක් පාදා ගැනීමට දරන බලවත් මහජන උත්සාහය අසාර්ථක වුවද එය අපතේ ගිය දෙයක් බවට පත්වන්නේ නැත. ඒ සඳහා දරන මහජන  උත්සහාය බලවත් වන තරමට එම ප්‍රතිසංස්කරණ මහජනයාගේ හදවත් වලට බද්ධ වනු ඇති අතර එය ඊළඟ ආණ්ඩු පෙරළිය හා ඒ ආශ්‍රයෙන් සිදුවන ප්‍රතිසංස්කරණ කෙරෙහි බලපාන මහා සාධකය ලෙසද ක්‍රියා කරනු ඇත.


3 වැනි හා 4 වැනි ප්‍රශ්නය මෙසේය.


3. ගමෙන් ගමට නගරයෙන් නගරයට හැම සියලු ජනතාවක්ම වාඩිවී ඍජුව ව්‍යවස්ථාවක අඩංගු විය යුතු කරුණු ගැන කතා කරනවාද? 4. එසේ ව්‍යවස්ථාව සෑදීමේ පියවර එකින් එක මොනවාද? එම ප්‍රශ්න දෙකෙන් පෙනෙන්නේ මහජන ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක් හෙවත් “සහභාගි ව්‍යවස්ථා සම්පාදන ක්‍රමයක් ” ගැන ප්‍රශ්න කරන්නා අසාවත් නැති බවය.

මෙය ලංකාවේ පළමු වරට අත් හදා බලන්නට උත්සාහ කරන ක්‍රමයක් නොව පසුගිය වසර 40 තුළ ව්‍යවස්ථා සම්පාදනයන්ට යොමු වූ රටවල් අතරින් වැඩිම රටවල් ගණනක්  අත් හදා බලා ඇති ක්‍රමයකි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ද අනුමැතිය ලැබී තිබෙන ක්‍රමයකි. එම ක්‍රමය හැඳින්වෙන්නේ 21 වන සියවසේ ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වශයෙනි.

එම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය ක්‍රියාත්මක වී තිබෙන රටවල් සමහරක් මෙසේය. නේපාලය (2015), කෙන්යාව ( 2010), රුවන්ඩාව (2002), තායිලන්තය ( 1997), එරිත්‍රියාව හා වෙනිසියුලාව (1999), දකුණු අප්‍රිකාව ( 1994), උගන්ඩාව හා බ්‍රසීලය(1988 ), නිකරගුවාව(1986) හා නැම්බියාව(1985) මහජන ව්‍යවස්ථා සම්පාදනයට අදාළව මේ මොහොතේ චිලී රටේ වැදගත් අත් හදා බැලීමක් සිදුවෙමින් පවතී.

එම ක්‍රියාදාමය අනිද්දා කතෘ මතු කරන තර්ක ගණනාවකට ද අනියම් ලෙස පිළිතුරු  දීමක්ද සිදු කරයි. එයින් ලංකාවේ අපටද උගත හැකි වැදගත් පාඩම් ගණනාවක්ම තිබේ.

 

ජනාධිපති අලන්දේ හා ෆැබ්ලෝ නෙරූඩා නිසා චිලිය ලංකාවේ ජනතාවගේ ද උනන්දුවට හේතු වූ රටක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ජේ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව මෙන් එහි තිබෙන්නේද ෆිනෝචේගේ කාලයේ දී 1980 දී හදාගත් 15 වතාවක් සංශෝධනය කරනු ලැබූ ව්‍යවස්ථාවකි.

 

ලංකාව චිලියක් කරමු

 

“මහජන” හෙවත්” සහභාගි” ව්‍යවස්ථා සම්පාදන මාදිලිය වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයේ යෙදෙන රටවල් යොදාගන්නා ජනප්‍රියම ව්‍යවස්ථා සම්පාදන මාදිලිය  වුවද එය තවමත් තිබෙන්නේ නව සහභාගිත්ව ව්‍යුහයන් හා ආකෘතීන් ගැන තවදුරටත් අත් හදා බැලීම් වල යෙදෙන තත්ත්වයකය.

මහාචාර්ය විවියන් හාට් කියා තිබෙන ආකාරයට “සහභාගිත්ව ආකෘතීන් අත් හදා බලමින් පුරවැසියන් හට මෙම  ක්‍රියාවලියේ මූලාරම්භය ලබා ගැනීමේ අවකාශය සලසමින් මහජනයාගේ දායකත්වයෙන් න්‍යාය පත්‍රය සැකසීම, අන්තර්ගතය හා අපරානුමැතිය යන ක්ෂේත්‍රයන්හී විහිදී යන ආකාරයේ විවෘත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවාදයක් නිර්මාණය කිරීමේ උත්සාහයක නිරත වී සිටී.”

ජාතියක් ව්‍යවස්ථා සම්පාදනයක යෙදෙන විට එම ජාතියේ මහජනයාට එම ව්‍යස්ථා සම්පාදනයට  සහභාගී වීමට තිබෙන හිමිකම නීතියෙන්ද පිළිගන්නා හිමිකමකි. ව්‍යස්ථා සම්පාදනයක දී මහජනයාට එම හිමිකම ප්‍රශස්ත ලෙස පරිහරණය කිරීමට ඇති කර තිබෙන විධි විධාන වර්තමානයේ එම ව්‍යවස්ථා සම්පාදනයේ සුජාතබාවයේ තරම තීරණය කරන දර්ශකයක් ලෙස ක්‍රියා කරයි.

අවසාන වශයෙන් මේ ක්‍රමයෙන් අපේක්ෂා කරන්නේ අඛණ්ඩ, විවෘත හා අදාළ සියලු පාර්ශ්වයන් සහභාගි කර ගන්නා සංවාදයක් තුළ සියලු දෙනාට පිළිගත හැකි සියලු දෙනාගේ ගෞරවයට හේතුවන ව්‍යවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදී අකාරයට හදාගැනීමය.


 
4830332(වික්ටර් අයිවන් )
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 

 

THE  LEADER  TV

 


Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්