‘‘ආයුබෝවන්...! අද ජනවාරි විසිවෙනිදා... බ්‍රහස්පතින්දා... සංදේශයත් රැගෙන ඔබ හමුවන මම සරෝජ් පතිරණ... අද සංදේශය...
# මම ජනාධිපති වුනොත් මිලිටරිකරණය නිමා කරනවා - පාඨලී චම්පික රණවක කියයි
# පාර්ලිමේන්තුවේ අපරාධ ගැන පරීක්ෂණය නැවැත්තුවේ රනිල්? - හිටපු කතානායක කරු ජයසූරියගෙන් හෙළිදරවුවක්
මේ වදන් කියවන ඔබගේ මනසේ කිසියම් කටහඩක් දෝංකාර දෙන බවට කිසිදු සැකයක් නැත. මන්ද මෙබඳු වදන් පෙළගස්වන පුද්ගලයාගේ කටහඬ මතු නොව රුව ද බොහෝ ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂක ජනතාවගේ මනසේ ද හදවතේ ද නොමැකෙන සටහන් තබා ඇත.
ඒ, B.B.C. සිංහල සේවය තුළිනි; විශේෂයෙන් ම B.B.C. සිංහල සේවයේ සංදේශය වැඩසටහන තුළිනි.
ගාල්ලේ ජන්ම ලාබය ලැබු ඔහු පළමුව අකුරු කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ඡන්ද කොට්ඨාසයේ දුෂ්කර ම පෙදෙසක් වූ හල්ලල විද්‍යාලයෙනි. ඒ, ඔහුගේ පියා එම විද්‍යාලයේ මුල් ගුරුතුමා වීම සහ මව බාලාංශ පංතියක ගුරුවරියක වූ බැවිනි.
අනතුරුව සීයාගේ (මවගේ පියා) අභාවය හේතුවෙන් පවුගේ සියලු දෙනා ම බද්දේගම පදිංචියට පැමිණියහ. එබැවින් ඔහුට දෙවනුව අකුරු කරන්නට ලැබෙන්නේ බද්දේගම ක්‍රිස්තුදේව මහා විද්‍යාලයේ ය. එම විද්‍යාලයේ සිට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට පැමිණිමට හැකිවන්නේ ඔහු ශිෂ්‍යත්ව විභාගය ඉහළින් ම සමත්වීම හේතුවෙනි.
මෙහිදී තවත් විශේෂ සිදුවිමක් ද සිදුවුණි. එනම් අපේ කතා නායකයා බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලයේ ඉගෙනුම ලබන අවධියේ එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එස්. ඉලේපෙරුම මහතා පසුකලෙක දී අපේ කතා නායකයා ඉගෙනුම ලබන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වී ඒම ය.
පාසල් පද්ධතිය පිළිබඳව සරෝජ් විශේෂ අදහසක් දැක්වූයේ ය. ඔහුට අනුව පාසල් යනු අපේ සමාජය ඉතා තිරශ්චීන බෙදීමකට ලක් කරන පද්ධතියකි. මෙරට බොහෝ දේශපාලන නායකකාරාදීහු ඔවුනොවුන් ජනපති, අගමැති පදවි හොබවන අවධිවල ඔවුනොවුන් අධ්‍යාපනය ලැබු පාසල්වල පිරිස් වෙත විශේෂ සැලකිල්ලක් දක්වන බව හෙතෙම පැවසී ය. රටක් ලෙස සහ රටක සිටින ජනතාවක් ලෙස එබඳු තත්ත්වයකට පත් නොවිය යුතු බව සරෝජ් පවසයි.
ගම් මට්ටමෙන්, ප්‍රාදේශීය මට්ටමෙන්, පාසල් මට්ටමෙන් හෝ විශ්වවිද්‍යාල මට්ටමෙන් පවත්නා සබඳතාවට හෝ ගරුත්වයට වඩා මනුෂ්‍යත්වය මත පවත්නා සබඳතා සහ ගෞරවාන්විතභාවය ඉතා අගනා බව සරෝජ් වැඩි දුරටත් පැවසී ය. ඔහු ඒ සඳහා සෝවියට් දේශයෙන් උදාහරණයක් සැපයී ය.
‘‘සෝවියට් දේශයේ කිසිදු ආකාරයකින්: ප්‍රාදේශිය මට්ටමෙන්, පාසල් හෝ විශ්වවිද්‍යාල මට්ටමෙන් පුද්ගලයන් හඳුනා නොගන්නා අතර ඔවුන් පාසල් හඳුන්වන්නේ: පළමු පාසල, දෙවන පාසල තෙවන පාසල යනාදි වශයෙන්. එසේ පළමු, දෙවන සහ තෙවන වශයෙන් ද නම් කර තිබෙන්නෙ කිසිදු උස් පහත් භේදයකින් නොවෙයි. සර්ව සාධාරණ කිසිවක් ම ලොව නොපැවතිය ද අපේ රටේ තිබෙන විවිධ වර්ගීකරණයට වඩා එහි පවත්නා ක්‍රමය ඉතා සාධාරණ යි.’’
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වු සරෝජ් අනතුරුව රත්මලාන තාක්ෂණ විද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරී ය. එකල රට තුළ පැවතියේ ඉතා බිහිසුණු වාතාවරණයකි. එනම් ඒ 87 – 89 භීෂණ අවධිය යි.
මෙම කාල සීමාවේ දී සරෝජ් ශ්‍රී ලංකා ආණ්ඩුව මාර්ගයෙන් සෝවියට් දේශයෙන් පිරිනමන ශිෂ්‍යත්වයක් ඉල්ලුම් කළේ ය. එය ඔහුගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් විය.
ශිෂ්‍යත්වයක් ලබා වෙනත් ඕනෑම රටකින් සෝවියට් දේශයට පැමිණෙන සෑම සිසු සිසුවියක් ම පළමු වසර තුළ සිදු කළ යුත්තේ රුසියන් භාෂාව හැදෑරිම ය. ඒ අනුව සරෝජ් ද සෝවියට් දේශයට පැමිණ පළමු වසර සපුරා ම මිඩංගු කළේ රුසියානු භාෂාව අධ්‍යයනය වෙනුවෙනි. එම වසර ගෙවා දැමීමෙන් ඉක්බිති සරෝජ් යුක්රේනයේ කිව් අගනුවර බලා පිටත්ව යන්නේ විදුලි ඉංජිනේරු පාඨමාලාවක් සඳහා ය.
මෙහි දී ඔහුට දෛවයේ එක් සරදමකට මුහුණ පාන්නට සිදුවිය. එනම් ඔහු ශිෂ්‍යත්වලාභියෙකු ලෙස ඇතුළු වූයේ ‘‘සෝවියට් දේශය’’ නමැති නොබෙදුණු රාජ්‍යයට වුව ද උපාධිධාරියෙකු ලෙස පිටවන්නේ ‘‘යුක්රේනය’’ නමැති ස්වාධීන රාජ්‍යයෙනි. මන් ද ඒ වන විට සෝවියට් සමූහ ආණ්ඩුව නැවත රාජ්‍ය දහසයකට බෙදී තිබූ බැවිනි.
# සෝවියට් දේශය බෙදී ගිය ද තම ඉදිරි ගමන සඳහා එය බාධාවක් කර නොගත් සරෝජ් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත් විය. ඒ සදහා බලපෑ තවත් හේතුවක් ද සරෝජ් සඳහන් කළේ ය.
සෝවියට් දේශයේ දී කෙතරම් උසස් අධ්‍යාපනයක් ලැබුව ද එරටේ ම රැකියාවක් ලබාගැනීම ඉතා දුෂ්කර ය. එම අවධියේ රුසියාව බලා පිටත් වූ ශ්‍රී ලාංකිකයන් අතුරෙන් කිසිවකු තවමත් එහි රැඳී සිටින්නේ නම් ඔහු හෝ ඇය ඉතා දක්ෂ ව්‍යාපාරයක නියැළි අයෙකු විය යුතු ය. ඒ හැරුණු විට රුසියාවේ ම නතරවී එහි රැකියාවල නිරතව සිටින්නේ ඉතා කුඩා පිරිසකි.
තවත් සරලව ම පවසන්නේ නම් බ්‍රිතාන්‍ය, ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව බඳු රටක පවතින තත්ත්වයක් රුසියාවේ නොමැත. අධ්‍යාපනය ලබන සමයේ ඕනැම රටක සිට පැමිණි සිසුවෙකුට හෝ සිසුවියකට ශිෂ්‍යත්වය වෙනුවෙන් සෝවියට් රාජ්‍ය මුදලක් ගෙවුව ද එම ශිෂ්‍යත්වයට අදාළ අධ්‍යයන කටයුතු අවසන් වූ පසු එරටින් පිටව යා යුතු ය. සරෝජ් පතිරණ නම් වූ තරුණයා ද එංගලන්තය බලා පිටත්ව යන්නේ මේ අනුව ය.

# මෙම කාලීමාව තුළ සිදුවු වැදගත් සිදුවීමක් සිහිපත් කළ සරෝජ්.
ඒ අවුරුද්දෙ ම යුක්රේනය කිසියම් කපටි වැඩක් කළා. මම හිතනව ඒක අවංකව ම කරන්න හිතපු දෙයක් නෙවෙයි. ඒ වැඩේ තමයි... ඒ තාක් කල් ශිෂ්‍යත්ව හිමි වෙලා තිබුණ හැම විදේශිකයකුගෙ ම ශිෂ්‍යත්ව නවතා දමන බව කීම. ඒ රටේ බලධාරින් කිව්වෙ ‘දැන් අපි සෝවියට් දේශයත් එක්ක සම්බන්ධයක් නෑ. ඒ නිසා ඔයාලගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම ඔයාලට දරාගන්න වේවි’ කියල.
නමුත් ඇත්තට ම එයාලට එහෙම කරන්න වුවමනාවක් තිබුණෙ නෑ. යුක්රේනය එහෙම කරේ රටවල් බෙදුණට පස්සෙ ඒ ඒ රටවලට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හදාගන්න වුවමනා නිසා. ඒ හැරුණම එයාල අපිට කවදාවත් බල කරේ නෑ මුදල් ගෙවන්න කියල.
ඒ වෙලාවෙ මම ලංකාවෙ තානාපති කාර්යාලෙට කිව්ව අපි මුහුණ දිල ඉන්න තත්ත්වෙ. ඒ වෙලාවෙ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති විදියට වැඩ කරේ නිශ්ශංක විජේරත්න. ඊට අමතරව ඒ වෙද්දි ලංකාවෙ ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත් මම ලිපියක් යැව්ව. ඒ ලිපියෙ ම කොපියක් රාවය පුවත්පතටත් යොමු කරා. ඒ ලිපියත් පළ කරාට පස්සෙ තමයි මම ලන්ඩන් ගියේ.’’
1996 අගෝස්තු මාසයේ දී සරෝජ් ලන්ඩන් පැමිණෙන අවධිය වන විට ලංකාවේ රාවය පුවත්පතේ ලේඛකයෙකු ලෙස සේවය කළ නන්දන වීරරත්න B.B.C. සිංහල සේවයේ සංදේශයේ නිෂ්පාදකවරයෙකි. එවකට මාධ්‍යවේදී සුනිල් ජයසේකර සේවය කළේ රාවය පුවත්පතේ ය. ඔහු සරෝජ්ගේ සමීපතමයෙකි; නන්දනගේ ද සමීපතමයෙකි. සරෝජ් පිළිබඳ නන්දන වීරරත්න හට දැනුම් දෙන්නේ සුනිල් ජයසේකර ය. ඒ, 1996 වසරේදී ය.
අද වන විට සරෝජ් පතිරණ නමැති මාධ්‍යවේදියා පැමිණ සිටින දුර ගමන ආරම්භ කළේ එතැනිනි. නමුදු මේ ගමන සුව පහසු මගක් ඔස්සේ පැමිණි ගමනක් නොවේ. සරෝජ් පළමුව වසර කිහිපයක් B.B.C. සිංහල සේවයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේ ය. මුල් මාස කිහිපයේ ඔහු කිසිදු දිමනාවකට හිමිකම් නොකිව්වේ ය. කිසියම් ගෙවීමකට හිමිකම් ලබන්නට නම් සංදේශය ගුවන් විදුලි සේවයේ නිවේදකයෙකු ලෙස කටයුතු කළ යුතු ය.
නමුත් පළමු අදියරේ දි සරෝජ්ට එම අවස්ථාව නොලැබිණි. ඔහු ජීවත්වීම සඳහා ඉන්ධන පිරවුම්හල්වල, අවන්හල්වල මෙන් ම වෙනත් සුළු සුළු රැකියාවල ද නිරත විය.
සරෝජ් එම ආයතනයට සම්බන්ධවන සමයේ එහි සේවයේ නියුතුව සිටියේ: ප්‍රියත් ලියනගේ (සංස්කාරක), නන්දන වීරරත්න, චන්දන කිර්ති බණ්ඩාර, රෙඩ්ලි සිල්වා, උපාලි ගජනායක සහ ඉන්ද්‍රා රාමනායක යන පිරිස ය. කනකා අබේගුණවර්ධන ද විටින් විට පැමිණියා ය. සති අන්තයේ පැවති වැඩසටහන් සඳහා දයාපාල තිරාණගම ද සහභාගි විය.
සරෝජ් නමැති නවක, එසේත් නොමැති නම් පුහුණු වෙමින් සිටින මාධ්‍යවේදියෙක් ආරම්භයේ දී එවැනි කටුක අත්දැකීම් ලැබුව ද සෘජුව ම අදාළ ආයතනයේ මාධ්‍යවේදියෙකු ලෙස සම්බන්ධ වන පුද්ගලයෙකුගේ තත්ත්වයට සපුරා ම වෙනස් විය. සරෝජ් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළේ ය.
‘‘ඒක මං මේ විදියට පැහැදිලි කරන්නම්. නන්දන වීරරත්න, චන්දන කීර්ති බණ්ඩාර, විමලසේන හේවගේ සහ එම්. ජේ. ආර්. ඩේවිඩ් යන හතරදෙනා ම ලංකාවෙදි සම්මුඛ සාකච්ඡා කැඳවල තෝරාගත් අය. ඒ අය එක්කරගෙන ගියේ එයාලගෙ දක්ෂතා හඳුනාගත්තට පස්සෙ ඊට අදාළ පත්වීම් ලිපි දීල. ඉතිං එයාලට අපි මුහුණ දිපු දුෂ්කරතාවට මුහුණ දෙන්න වුණේ නෑ.
හැබැයි ප්‍රියත් ලියනගේ සහ උපාලි ගජනායක සම්බන්ධ වෙලා තියෙන්නෙත් මං වගේම නිදහස් මාධ්‍යවේදියෙක් විදියට. ප්‍රියත් ආරම්භයේ විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ඔහු තමයි සංදේශයේ පළමු ශ්‍රී ලාංකික සංස්කාරකවරයා වුණේ. මෙතනදි ප්‍රශ්නයක් එන්න පුළුවන් එහෙම නම් වසන්ත රාජ කවුද කියල. ඇත්තට ම වසන්ත රාජා සංස්කාරක නෙවෙයි. ඔහු ජ්‍යේෂ්ඨ නිෂ්පාදක තනතුරකට හිමිකම් කියපු කෙනෙක්.
මං යන කාලෙ සංස්කාරක විදියට හිටියෙ පීටර් මැංගෝල්ඩ් කියන මහත්මයා. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ වගේ ම ඔහු සිංහල සේවයෙ පමණක් නෙවෙයි දෙමළ සේවයෙත් ප්‍රධාන සංස්කාරක විදියට වැඩ කරා. ඇත්තට ම මෙතෙනදි විශේෂයෙන් නන්දන වීරරත්නයි ප්‍රියත් ලියනගේවයි මතක් කළ යුතුයි. මොකද ඒ දෙන්න තමයි මාව සංදේශයට හඳුන්වල දුන්නෙ.’’
# එකල සංදේශය මගින් ප්‍රචාරය වූ වැඩසටහන් අතර ‘‘ගී මිණි ආර’’ ඉමහත් ජනප්‍රියත්වට පත් වැඩසටහනකි. ඒ පිළිබඳ පැහැදිලි කළ සරෝජ්.
බදාදා විශේෂාංගයට වරින්වර විමලසේන හේවගේ සහ එම් ජේ ආර් ඩේවිඩ් වැඩසටහන් කළා. බ්‍රහස්පතින්ද ‘අලෝකය’ වැඩසටහන. එහි තේමාව වුණේ මිථ්‍යාමතවලට එරෙහි විද්‍යාත්මක තොරතුරු ගෙන ඒම. ඒක මෙහෙයෙව්වෙ උපාලි ගජනායක. සිකුරාද ‘තැපැල් මල්ල’ වැඩසටහන කළේ උපාලි ගජනායකයි ඉන්ද්‍රා රාමනායකයි.
සෙනසුරාද තමයි ඔයා කියපු ‘ගි මිණි ආර’ කලා විශේෂාගය තිබුණෙ. ඒක හුඟාක් ජනප්‍රිය වුණා. ඒක ඉදිරිපත් කළේ චන්දන කීර්ති බණ්ඩාරයි ඉන්ද්‍රා රාමනායකයි. ඒකෙ පිටපත මහාචාර්ය සුචරිත ගම්ලත් මහත්මයගෙ. නමුත් චන්දන නිරන්තරයෙන් ම ගම්ලත් මහත්මය සමග කතාබහ කරල තමයි වැඩසටහන සකසා ගත්තෙ. ඉරිද තිබුණෙ ‘දිගන්තය’ කියල වැඩසටහනක්. ඒක සතියේ දේශපාලන විග්‍රහයක්. මම ඉන්න කාලෙ ඒක කළේ ප්‍රියත් ලියනගේ.
# B.B.C. බඳු මාධ්‍ය ආයතනයක ස්ථිර සේවකයෙකු ලෙස පත්වීමක් ලැබීම භාග්‍යයක් ලෙස සැලකිය යුතු ම ය. එකී භාග්‍ය උදාවූ මොහොත පිළිබඳ මම සරෝජ්ගෙන් විමසුවෙමි.
‘‘මම ඒක මේ විදියට පැහැදිලි කරන්නම්. ඇත්තට ම මම අර කලින් කියපු විදියට ඒ ඒ අවස්ථාවල සුළු සුළු රැකියා කරාට මම වෙන කිසිම ස්ථිර රස්සාවක් කරල නෑ. මට ඉංජිනේරු උපාධියක් තිබුණ කියල ඔළුව උදුම්මව ගත්තෙත් නෑ. ඒ වගේ ම විදුලි ඉංජිනේරු පාර්ශ්වයෙන් මට කිසිම දක්ෂතාවක් තිබුණෙත් නෑ.
නමුත් ඒ වෙද්දි ලෝකය ආක්‍රමණය කරල තිබුණු තොරතුරු තාක්ෂණය පිළිබඳ අවම දැනුමක් තිබුණ. විශේෂයෙන් ම පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන්. මෑත අවධියේ විවිධාකාරයේ හිත් රිදීම් සහ වෙන්විම් වුණත් සංදේශය කණ්ඩායම පිළිබඳ තියෙන්නෙ සුන්දර මතක සටහන් පෙළක්.
සංදේශය තුළ මගේ මාධ්‍ය සේවාව වසර විසි පහක්. සුළු, සුළු මතගැටුම් වගේම හිත රිදීම් ඇතිවුණත් සමස්තයක් විදියට ගත්තම මෙතෙක් ආපු ගමන ගැන මට දැනෙන්නේ සතුටක්. මම අහල තියෙනව ලංකාවෙ ආධුනික මාධ්‍යකරුවො නිරන්තරයෙන් ම බැණුම් අහනව කියල. ඒ වගේ තත්වයකට මම කවදාවත් මුහුණ දුන්නේ නෑ. මගේ ජ්‍යේෂ්ඨයින් මාව ආදරෙන් පිළිගත්තා. ගුරු හරුකම් දුන්න. ඇතැම් ජ්‍යේෂ්ඨයො ඇතැම් අවස්ථාවල දි දොස් පවරල තියෙනව තමයි. හැබැයි ඒ අපිට තිබුණු ආදරය සහ අපේ දක්ෂතා ඔප්නංවන්න ම මිසක අපිව කපල දාන්න නෙවෙයි.
ඒ වගේ ම මට යම් දොසක් පවරපු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් හිටිය නම් ඒ දොස් පැවරීමත් අදාළ අවස්ථාවට විතරක් සීමා කරගත්ත මිසක ඒව කල් තබාගන්න කෝන්තර බවට පත්වුණේ නෑ.

ඩයනා කුමරිය මිය ගියපු අවස්ථාව වෙද්දි මං B.B.C. ආයතනයට සම්බන්ධ වෙලා උපරිම වසරක් ඇති. සමහර වෙලාවකට ප්‍රියත් මට සහෝදරයෙක් වගේ ම තාත්ත කෙනෙක් වගේ වුණා. ඒ අවස්ථාවෙ ප්‍රියත් අපි තුන්දෙනෙකුට වැඩක් බාර දුන්න. ඒ, නන්දනටයි, මටයි, බණ්ඩාරටයි. අපි තුන්දෙනා ම මොබයිල් ෆෝන් අරගෙන එළියට ගියා. අපි තුන්දෙනා ම කළේ SLBC එකට සජීවි විස්තර කතනයක් ලබා දීම. ඒ අවස්ථාව මගේ මාධ්‍ය ජීවිතයේ සුවිශේෂිත ම අවස්ථාවක්. ඇත්තට ම ඒ වෙද්දි ආයතනයෙ හිටපු ළා බාලම පුද්ගලය වෙච්ච මට ඒ වගේ පිළිගැනීමක් ලැබීම මට ආඩම්බරයක්.’’
# එංගලන්තය යනු ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි රටකි. එම රට සහ රටේ පුරවැසියන් පිළිබඳව ලාංකීය ජනතාව තුළ පැවතියේ වෛරී සහගත තත්ත්වකි. අනෙක් පසින් එංගලන්තය එය සලකන්නේ අප ඔවුන්ගේ වහල්භාවයට යටත් රටක්, ජනතාවක් ලෙසිනි. මෙබඳු වාතාවරණයක් තිබිය දී පවා B.B.C. ආයතනය සිංහල සේවයක් ආරම්භ කිරීම පිළිබඳව ඔවුන් කුමක් අදහස් කරන්නට ඇති ද යන්න විමසා බැලිය යුතු ය. මේ එය සරෝජ් දුටු ආකාරය යි.
‘‘මගේ අවංක හැඟීම නම් ඒක නව යටත් විජිතවාදය ම යි; තවත් ආකාරයකින් කියනවා නම් යටත් විජිතවාදයේ ම දිගුවක්. යුද සමයේ බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ අවශ්‍යතාව වෙලා තිබුණෙ එයාලගෙ යුද මානසිකත්වය, බලාධිකාරිය සහ ජයග්‍රහණය ලොව පුරා ප්‍රචලිත කිරීම. එදා තිබුණෙ අවි ආයධ මගින් බලය පැතිරවීම. මේ වෙද්දි තියෙන්නෙ මාධ්‍ය මගින් බ්‍රිතාන්‍යයේ ආධිපත්‍ය ලොව පුරා පැතිරවීම. නමුත් මෙබඳු තත්ත්වයකුත් පවතිනවා. මේ වනතුරු B.B.C. ආයතනය පවත්වාගෙන යන්නෙ ඒ රටේ මහ ජනතාව ගෙවන ගුවන් විදුලි බලපත්‍ර ගාස්තුවෙන්. ඒ නිසා ආයතනය කැමති පරිදි ම පමණක් ඔවුන්ගේ ආධිපත්‍ය පතුරවන්න බෑ.
මම එහි සේවයට බැඳුණු අවධියේ සිට ම ආයතනයේ සමස්ත කර්තෘ මණ්ඩල තීරණ මෙසේ විය යුතුයි කියල රටේ පාලනාධිකාරිය තීරණය කරන තත්ත්වයක් තිබුණෙ නෑ. අපේ සංස්කරණ ක්‍රමවේදය හැමදාම සකස් කළේ අපි ම යි. B.B.C. ලෝක පුවත් හැමෝට ම සමපාතයි. ඒ කියන්නෙ ලෝක පුවත් එකම රටාවකට සකස් විය යුතුයි කියල මුලින් උපදෙසක් තිබුණ.
මොකද ඒක සමස්ත ලෝකයට ම බලපාන නිසා. නමුත් ටික කාලෙකට පස්සෙ ඒකත් වෙනස් වෙලා අපිට වුවමනා දේ පමණක් තෝරාගන්න කියන තත්ත්වයට පත්වුණා.
හැබැයි එහෙමයි කියල යටත් විජිතවාදය නමැති සංකල්පය අද ප්‍රායෝගික තලයේ නොපැවතුණත් ලෝකයේ එක ප්‍රධාන ම බලවතෙක් විදියට එයාල තමන්ගේ ආධිපත්‍ය පවත්වාගෙන යාමේ උපරණයක් විදියට B.B.C. මාධ්‍ය ආයතනයත් භාවිත කරනවා.’’

# බ්‍රිතාන්‍ය අපිව යටත් කරගෙන සිටි අවධිය පිළිබඳ වර්තමානයේ ඔවුන් සිතන ආකාරය සරෝජ්ට දැනුණු ආකාරය ද ඔහු පැහැදිලි කළා.
‘‘සමස්ත සමාජය පිළිබඳව ම අදහසක් දෙන්න මට අපහසුයි. නමුත් මට දැනුණු ආකාරය අනුව නම් බ්‍රිතාන්‍ය පාලකයො කවදාවත් ඒ පිළිබඳව කනගාටු වෙනව ඇති කියල මං විශ්වාස කරන්නෙ නෑ. මොකද මට කවදාවත් එහෙම ඉඟියක් හරි අහන්න දකින්න ලැබිල නෑ. ඒක තවදුරටත් මෙන්න මේ විදියට පැහැදිලි කරන්න පුළුවන්.
ලේබර් පක්ෂය කියන්නෙ සංක්‍රමණිකයන්ට පක්ෂ, සාමාන්‍ය ජනතාවට වඩාත් පක්ෂග්‍රාහී, අසල්වාසි රටවල පමණක් නෙවෙයි වෙනත් ඕනැම රටක පවතින කම්කරු අරගලවලට සහයෝගය දක්වන බොහෝම ප්‍රගතිශීලි ආකල්ප සහිත පක්ෂයක්. නමුත් කන්සර්වෙටිවු පක්ෂය ඊට සපුරා ම වෙනස්.
උදාහරණයක් විදියට ගත්තොත් ඩේවිඩ් කැමරන් අගමැති ලංකාවෙ දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව දැඩි ලෙස පෙනී සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දැඩි පීඩනයක් පවා එල්ල කළා. නමුත් ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් ඊටත් වඩා බලපැමක් කළා. ඔහු වඩ වඩාත් වාමාංශික නැඹුරුවක් සහිත පුද්ගලයෙක්. එතනදි එයාලගෙ ක්‍රියාකලාප සාපේක්ෂයි.
කන්සර්වෙටිව් ආණ්ඩුවක් නම් කිසිම අවස්ථාවක එයාල අපේ රටට කරපු බලහත්කාරී තත්ත්වය පිළිබඳව කිසි සේත් ම කනගාටු වෙන එකක් නෑ. නමුත් ලේබර් පක්ෂ ආණ්ඩුවක් වුණා නම් මම විශ්වාස කරනවා ඒ අය සානුකම්පිත මතයක් දරාවි.
ඒ වගේ ම B.B.C. කියන ආයතනය ගත්තොත්... ලෝකය පුරා විසිරිලා ඉන්න B.B.C. සේවක ප්‍රමාණය ගත්තොත් මං හිතන්නෙ විසිපන්දහසක් පමණ ඇති. ඒ අය බහුතරයක්... ඉතාමත් ප්‍රගතිශීලියි. කිසිවකු අතින් නොදැනුවත්ව හෝ යම් වැරැද්දක් සිදුවුනොත් සමස්තය ම ඒ වැරැද්ද නිවැරැදි කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අධිරාජ්‍යවාදි සමය තුළ සිදු කරපු දේවල් අනුමත කරන මාධ්‍යවේදින් ඇතැයි මම විශ්වාස කරන්නෙ නෑ.
ඔයාටත් මතක ඇති ලංකාවට සුනාමි ව්‍යසනය ආපු වෙලාවෙ ඒ පිළිබඳ වඩාත් අනුකම්පාසහගත ලෙස කටයුතු කළේ බ්‍රිතාන්‍ය. ජර්මනියත් බොහෝ උපකාර කළා. ඒකෙන් මම අදහස් කරන්නෙ... යම් කෙනෙකුගෙ හෝ කණ්ඩායමකගෙ දුකක දි වඩ වඩාත් කම්පා වෙන, ඔවුන්ට පිහිට වෙන සමාජයක් තමයි එංගලන්තයේ තිබෙන්නෙ.
ඔවුන් ලංකාව වෙනුවෙන් කරන ආධාර විදියට තමන්ගෙ පුද්ගලික ධනය පවා පවුම් ලක්ෂ ගණනක් සපයන්න ඇති. එහෙම ජන කොටසක් බ්‍රිතාන්‍යයේ ඉන්නව.
මම ඒකට තව උදාහරණයක් කියන්නම්. ටෝනි බ්ලෙයා ජෝර්ජ් බුෂ් සමග එකතු වෙලා ඉරාකය ආක්‍රමණය කරන්න තීරණය කරපු වෙලාවෙ මිලියන දෙකකට වඩා වැඩි ජනතාවක් ඊට විරුද්ධව පාරට බැස්ස. ඒක කිසිම දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක බලපෑමකින් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. ඒ හැම දෙනාම ඊට සහයෝගය දැවූයේ හදවතින් ම යි. ඒ හඬට ටෝනි බ්ලෙයා ඇහුම්කන් නුදුන්න බව ඇත්ත. නමුත් එදා මිලියන දෙකකට අධික ජනතාවක් එදා පාරට බැස්ස.’’
# බොහෝ විට B.B.C. සංදේශයෙන් පමණක් නොව පිලිපීනයේ සිට විකාශනය කළ වෙරිටාස් ගුවන් විදුලි සේවයේ සිංහල විකාශනයෙන් පවා ප්‍රචාරය කළ පුවත් ලංකාවේ සිංහල සේවාවලින් ප්‍රචාරය කළ පුවත්වලට වඩා ලාංකීය ජනතාව තුළ විශ්වාසයක් පැවතුණි. එම විශ්වාසය සත්‍යයක් ද යන්න විමසා බැලිය යුතු ය. ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ සරෝජ්...
ඔබේ පැනයට තනි වචනයෙන් පිළිතුරු දෙනවා නම් ඔවු... ලාංකීය ජනතාව ලංකාවේ ගුවන් විදුලි නාලිකාවලින් හෝ රූපවහිනි නාලිකා තුළින් විකාශනය කරන පුවත්වලට වඩා සංදේශය තුළින් විකාශනය කළ පුවත් විශ්වාස කළා. මම මෙතනදි තවත් විශේෂ යමක් සදහන් කළ යුතුයි. මම: එදත්, අදත්, හෙටත් . B.B.C. මාධ්‍යවේදියෙක්. මොකද මම මාධ්‍යවේදියෙක් විදියට ඉපදුණේ B.B.C. ආයතනයෙ. මම ඉගෙනගත්තෙ B.B.C. ආයතනයෙන්.
මම B.B.C. ආයතනයේ දකින විශේෂත්වය වෙන්නෙ මහජන සේවා ගුවන් විදුලි නාලිකාවක් (Public Service Broadcasting) කියන දේ. දැන් ඔයා විශ්වාසවන්තභාවය ගැන විමසුවා නෙ... ඒකට මට පිළිතුරු දෙකක් තිබෙනවා. ඒ, ඔවු සහ නැහැ යනුවෙන්. ඒක මේ විදියට විග්‍රහ කරන්න පුළුවන්.
එක්තරා දුරකට මට B.B.C. යට විවේචනයක් තියෙනවා. මං ඒකට එක උදාහරණයක් දෙන්නම්. බහුතර සිංහල ජනතාවට ත්‍රස්තවාදයක් වුණ එල්ටීටීඊ හෙවත් ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය බොහෝ දෙමළ ජනතාව අතර පිළිගන්නෙ විමුක්ති සංවිධානයක් විදියට.
තවත් සරලව කියනව නම් අපි හිතමු රුසියන් ජාතිකයෙකුට සිංහල ලියන්න කියවන්න සවන් දෙන්න පුළුවන් කියල. B.B.C. සිංහල සේවය එයා වෙනුවෙනුත් තමන්ගෙ සේවය ඉටු කරන ආයතනයක්.
එහෙම නැතුව B.B.C. සිංහල සේවය කියන්නෙ සිංහල බෞද්ධ ගුවන් විදුලි සේවයක් නෙවෙයි. පළමුවෙන් ම අපි මේ මුඛ්‍ය පරමාර්ථය වටහා ගතයුතුයි. අන්න එතනදි B.B.C. සංදේශය... එහෙමත් නැතිනම් B.B.C. සිංහල සේවය එල්ටීටීඊ සංවිධානයට ත්‍රස්තවාදී සංවිධානයක් කිව්ව නම් එතෙන්දි ගැටලුවක් මතුවෙනවා. මොකද අපි නියෝජනය කළේ සිංහල බෞද්ධ ජාතිකවාදියො හෝ ජාතිවාදියො නෙවෙයි. අපි නියෝජනය කළේ සිංහල කතාකරන, ලියන, අසන සමස්ත ජනතාව.
නමුත් මට විවේචනයක් තියෙන තැනකුත් තියෙනවා. මොකද බ්‍රිතාන්‍යයේ B.B.C. සේවාව IRA සංවිධානය හඳුන්වන්නෙ ත්‍රස්තවාදී සංවිධානයක් විදියට. එතෙන්දි එකම ආයතනයේ ප්‍රතිපත්ති දෙකක්. ඒක වැරදියි.
මේ සියල්ල කියන අතර ම ඔයා අහපු ස්වාධිනත්වය පිළිබඳ පසුබිමේ දි අපි හැම වෙලාවෙම උත්සාහ කළේ සහ කරන්නෙ පුළුවන් තරම් දුරට සත්‍ය පුවත ම සොයා බලා වාර්තා කරන්න. නමුත් ලංකාවෙ කිසිම මාධ්‍යයක් යුද්ධයෙදි විතරක් නෙවෙයි වෙනත් අවස්ථාවක දි වුනත් එහෙම කරයි කියන විශ්වාසයක් කිසිම කෙනෙක් තුළ නෑ.
අනෙක් පසින් මේකත් තේරුම් ගන්න ඕන. අපි හිතමු යුද්ධය පැවති අවස්ථාවක රාජ්‍ය හමුදාවට විනාඩි දහයක් දුන්න කියල. එහෙම වුණා කියල එල්ටීටීඊ සංවිධානයටත් විනාඩි දහයක් ම වෙන් කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න අවස්තාව දිය යුතුයි.
ඔයා අහපු ප්‍රශ්නයට හේතුව ඔන්න ඕකයි. අනික තමයි රටේ ජනතාවගේ කැමැත්ත. මම අර කලින් කියපු විදියට B.B.C. යැපෙන්නෙ මහජනයාගෙන් අය කරගන්න ගුවන් විදුලි බලපත්‍ර ගාස්තුවෙන්. එතනදි ජනතාව අකමැති යමක් විකාශනය කරනවා නම් එය එපා කියල බල කරන්න ජනතාවට අයිතියක් තියෙනවා.
ඒකට හොඳම උදාහරණය පිලිප් කුමාරයගෙ මරණය සිද්ධ වුණ මොහොතේ සිට B.B.C. ආයතනයේ වැඩ පිළිවෙළ දින තුනක් ඇතුළත එරට ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වීම. ජනතාව කියා සිටියා ‘දැන් පිලිප් ගැන කතා කෙරුව සහ පෙන්නුව ඇති අපිට අපේ සුපුරුදු වැඩසටහන් දෙන්න’ කියල.
# අපි මෙතෙක් වේලා සාකච්ඡා කළේ B.B.C. සේවයේ සමබරතාව පිළිබඳව ය. නමුදු දැනට වසර කිහිපයකට ඉහත දී (2017 වසරේ සිට) B.B.C. සේවයේ සිංහල (සංදේශය) අංශය වසා දැමුවා ය යන ආරංචියක් ලැබිණ. එය එසේ වුවා ද, එසේ වුවා නම් ඊට බලපෑ කරුණු මොනවා ද යන්න පිළිබඳව ද මම සරෝජ්ගෙන් විමසා සිටියෙමි.
‘‘ඇත්තම තත්ත්වය නම් B.B.C. සිංහල සේවය වසා දැම්මෙ නෑ. B.B.C. සිංහල සේවය තවමත් පවතිනවා. හැබැයි මවු ආයතනය තීරණය කළා B.B.C. සිංහල සේවය දිල්ලියට රැගෙන යන්න. මගේ පුද්ගලික මතය නම් ඒක මෝඩ තීරණයක්. අපි බොහෝ පිරිසක් මේ සම්බන්ධයෙන් විරුද්ධත්වය දැක්වූවා. නමුත් ඒ තීරණය ආපස්සට හරවන්න අපිට පුළුවන්කමක් ලැබුණෙ නෑ.
නමුත් මම විශ්වාස කරනවා ඒක වියදම පදනම් කරගෙන ගත් තීන්දුවක් බව. මොකද දිල්ලිවලට ගෙනාවට පස්සෙ වියදම හුඟක් අඩු වෙනවා. දිල්ලිවලදි ගෙවන්නෙ ලංන්ඩන්වල දි ගෙවපු ලැබෙන වැටුපට වඩා අඩු වැටුපක්. අනෙක් අමතර දිමනා සියල්ල ම සාපේක්ෂ වශයෙන් අඩු වෙනවා.
අනෙක් පසින් ගත්ත ම B.B.C. සිංහල සේවය විතරක් නෙවෙයි වෙනත් ඕනැම සේවාවක් බ්‍රිතාන්‍යයේ පවත්වාගෙන යනවා නම් අනිවාර්යයෙන් ම වසරක් පාසා ඉතා කුඩා ප්‍රමාණයකින් හරි වැටුප් වැඩි කිරීමක් කළ යුතුයි. ඒක බ්‍රිතාන්‍යයේ ක්‍රමයක්. නමුත් දිල්ලිවලට ගෙනිච්චට පස්සෙ ක්‍රියාත්මක වෙන්නෙ ඒ රටේ බලපවත්නා කම්කරු නීති රීති නෙ. ඒවත් මවු ආයතනයට ලාබදායකයි.
නමුත් කළමනාකරණය මේ සම්බන්ධයෙන් පවසපු දේත් පාඨකයො දැනගත යුතුයි නෙ. එයාල කිව්වෙ අපි ශ්‍රාවකයාට වඩාත් සමිප වීම සඳහා එබඳු තිරණයක් ගත්ත කියල. ඒ වගේ ම කාලය පිළිබඳ පවතින ගැටලුවට විසඳුමක් සොයාගැනීම. වඩාත් පැහැදිලිව කියනවා නම් එන්ගලන්තය සහ ලංකාව අතර පැය හතරහමාරක කාල පරතරයක් පවතිනව නෙ. ඉන්දියාවෙදි ඒ කාල පරතරය අවම කරගන්න පුළුවන් කියන තර්කයත් එයාල ඉදිරිපත් කරා.
ඒ අදහස නම් තාර්කිකයි. ඒකට විකල්පයක් විදියට අපි යෝජනා කරා අපි රෑ වැඩ මුරයක් කරන්නම් කියල. නමුත් කළමනාකාරිත්වය ඒකට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.’’
# මේ වන විට සරෝජ් පතිරණ නමැති මාධ්‍ය වේදියා B.B.C. සිංහල සේවයෙන් ඉවත්ව සිටින බව නොරහසක්. විසිපස් වසරක සේවයෙන් අනතුරුව ඔහු ඉවත් වන්නත් විශේෂ හේතුවක් පවතින්න ඇති. ඒ මොනව ද යන්නත් මම සරෝජ්ගෙන් විමසුවෙමි.
‘‘ඇත්තට ම ඒක B.B.C. ආයතනයේ තීන්දුවක්. මම ඒකට මෙහෙම උදාහරණයක් දෙන්නම්. ගොර්බචෝෆ් සෝවියට් දේශයේ ජනාධිපති. නමුත් 1991 දි සෝවියට් රාජ්‍ය බිඳ වැටෙන අවස්ථාවේ මනුස්සයට රටක් තිබුණෙ නෑ. අන්න ඒ වගේ දෙයක් ම තමයි අපිටත් සිද්ධ වුණේ.
මොකද B.B.C. සිංහල සේවයක් තිබුණට එහෙම එකක් දැන් ලංන්ඩන්වල නෑ. එහෙම නම් මම දිල්ලිවලට එන්න ඕන. එහෙම එන එක මට හැම පැත්තකින් ම අවාසිදායකයි. මොකද දිල්ලිවල තිබෙන්නෙ B.B.C.යේ ලන්ඩන්වල ශාඛාවක් නොවෙයි. ඒක වෙනම ම ආයතනයක්. මෙන්න මේ කාරණා හේතුවෙන් මම තිරණය කළා, B.B.C සිංහල සේවයෙන් ඉවත් වෙන්න.
# සරෝජ් B. B. C. සිංහල සේවයෙන් ඉවත් වුව ද You Tube නාලිකාවක් හරහා තවදුරටත් ජනතාවට තොරතුරු සැපයීමේ නිරතව සිටියි. ඔහු ඒ පිළිබඳව ද පැහැදිලි කිරීමක් කළා.
‘‘ඔවු... මම වසරක පමණ සිට Sandeshaya by Saroj (https://www.youtube.com/channel/UCAENKyyvteyNElIWj2hU8ig) නමින් ඉතාමත් ප්‍රාථමික මට්ටමෙන් ඒ නාලිකාව පවත්වාගෙන ආවා. එය නිල වශයෙන් ම ආරම්භ කරේ පසුගිය 19වන දිනයි. ඒ, හිටපු කතා නායක කරූ ජයසුරිය මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකින්.
පසුගිය 22 වෙනිදා පාඨලී චම්පික රණවක මහතා සමග. සමග කළ සාකච්ඡාව ප්‍රකාශයට පත්කළා. දේශපාලන ක්ෂේත්‍රයේ තවත් ප්‍රබලයින් කිහිපදෙනෙක් හමුවෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.
ඉතිං මගේ ප්‍රේක්ෂක සහ රසික පිරිසට පුළුවන් ඒ නාලිකාව තුළින් දිගටම මා සමග සම්බන්ධ වෙන්න.
මම ඉල්ලා සිටිනවා හරවත්, වැදගත් යමක් නරඹන්න, දැන කියාගන්න Sandeshaya by Saroj (සරෝජ් සමග සංදේශය) නමැති You Tube නාලිකාව සමග සම්බන්ධ වෙන්න කියල.
සටහන :

නිදහස් ලේඛක
2022/01/23