අද රාජපක්ෂලා 2015ට වඩා අනතුරුදායක බැවින් මෙවර ජනාධිපතිවරණයේදී වමේ පුළුල් පක්ෂයකට පළමු මනාපය ලබාදී ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම වැළැක්වීමට දෙවැනි මනාපය
ලබා දෙන්නැයි දේශපාලන ක්‍රියාකාරිකයකු මෙන්ම දේශපාලන හා සමාජ විචාරකයකු වන විදර්ශන කන්නංගර වාමාංශික හිතවාදීන් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
ඒ 'අනිද්දා' පුවත්පත සමග පැවති සාකච්ජාවකදීය. ඊට අදාල සංවාදය පහත පළවේ.
 
 අනිද්දා:
ඉදිරි ජනාධිපතිවරණය ගැන ඔබට තියෙන අදහස මොකක්ද?
 
විදර්ශන:
අපි පහුගිය කාලයක් තිස්සේ වමේ විකල්ප අවකාශයක් හදන්න ඕනෑ බව කීවා. 2015 ඉඳන්ම මැතිවරණවලදීත් අපි කීවේ ඒක. 2015 දී හැමෝම හංසයා වටා එකතුවෙද්දී අපි වමේ එකමුතුවක හිටියේ ඒ නිසායි.
 
ඒත් අද සිද්දවෙන්නේ එදා පරාජය වුණාය කියන රාජපක්ෂලා ඊටත් වඩා හුස්ම අරගෙන පැමිණීමයි. කෙසේවෙතත් මෙදා තත්වය අප දකින්නේ 2015 දී තිබුණු තත්වයට වඩා බරපතළ ලෙසයි. 
 
මේ වෙද්දී ගෝලීය වශයෙන් දක්ෂිණාංශික ජනප්‍රියවාදයක් නැගී ඇවිත්. ඇමෙරිකාවේ ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි, බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් වැනි නායකයන් නියෝජනය කරන්නේ ඒ ජනප්‍රියවාදය. 
 
දැන් ලෝක ධනවාදයට ඕනෑ යම්කිසි ආකාරයක අධිකාරීත්වයක්. සරලව කීවොත් ධනවාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අතර තිබුණු දීගය අද ඉවරයි. කාලයක් තිස්සේම නැගෙනහිර ආසියාතික රටවල ධනවාදය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් එක්ක. දැන් ලෝකයේ බටහිර රටවල් පවා ඒ අධිකාරීවාදය පසුපස යනවා.
 
මේ සියලූ තත්වයන් ගැන සැලකුවාම ගෝඨාභය රාජපක්ෂගේ වර්ගයේ පාලනයකට ලෝක මට්ටමෙන් සහයෝගයක් ලැබෙන්න ඉඩ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බිහිකරන්නට යන පාලනයෙහි සංයුතිය දෙස බලන්න ඕනෑ. එතැන සිංහල ජාතිකවාදීන් ඉන්නවා. රණකාමී, යුදකාමී, ජාතිවාදී පිරිස ඉන්නවා. විශ්‍රාමික හමුදා නිලධාරි තන්ත්‍රයක් තියෙනවා. විවිධාකාර වෘත්තිකයන් ඇතුළු තාක්ෂණ කළමනාකරණ පන්තියක් ඉන්නවා. මේ කණ්ඩායම අලූත් බලාධිකාරියක් ස්ථාපිත කරන්න නියමිතයි. සරලව කීවොත් අද රාජපක්ෂලා 2015ට වඩා අනතුරුදායකයි.
 
 අනිද්දා:
ඒ අනුව ප්‍රායෝගිකව කල්පනා කරලා එජාපය බලයට පත්කිරීම තෝරාගන්න සිද්ධවෙනවාද?
 
විදර්ශන:
අපට එජාපය එක්ක සම්මුතියක් නැහැ. එජාප ආණ්ඩුවක් ආවත් අපි අරගලයේ ඉන්නවා. ඒත් දැනට තියෙන ප්‍රායෝගික තෝරාගැනීම ඒක. කෙසේවෙතත් අපි කාලයක් තිස්සේ වාමාංශික සහයෝගිතාවයක් ගැන යෝජනා ඉදිරිපත් කළා. දැන් ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වාමාංශික අපේක්ෂකයන් ඉදිරිපත් කරලා තියෙනවා. 
 
එහෙත් අපට ඒ කණ්ඩායම් දෙකෙන් එකක් තෝරාගන්නත් බැහැ. ඔය සියලූ තත්වයන් සලකා බලලා අපි යෝජනා කරන්නේ වමේ පුළුල් පක්ෂයකට පළමු මනාපය දෙන්න, දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ බලයට ඒම වැළැක්වීමට දෙන්න කියලයි.
 
 අනිද්දා:
ඔබ දකින විදියට මේ මොහොතේ 2015ටත් වඩා රාජපක්ෂලාව පැරදවීමේ අවශ්‍යතාවක් තියෙනවාද?
 
විදර්ශන;
දැන් කූටප්‍රාප්තිය එමින් තියෙනවා. ඒක නිල වශයෙන් පරද්දවනවා කියන්නේ එක්තරා ආකාරයක සංකේතයක්. එවැනි පාලන තන්ත්‍රයක අවසානය එවැන්නකින් සංකේතවත් වෙනවා. මේ මැතිවරණය පරාජය වුණොත් රාජපක්ෂ පවුලට තිබුණු තාර්කිකත්වය අහෝසි වෙනවා. 
 
අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂයකට නැවත නැගී සිටීමේ අවස්ථාව ලැබෙනවා. නිදහස් පක්ෂයේ කොටසක් තමයි අධිකාරීවාදයකට ගිහින් තියෙන්නේ. ඒ අනුව දැන් ශ්‍රී ලනිපයට නැවත ප්‍රජාතන්ත්‍රවාදී  ප්‍රතිසංස්කරණ ටිකකට පත් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් හොඳයි.
 
අනිද්දා:
එහෙත් දැන් ජවිපෙ සමඟ සිටින අය දෙවැනි මනාපයක් දෙනවාට කැමති නැහැ. එයාලා කියන්නේ ගෝඨාභය ගැන බිල්ලෙක් මවනවා කියලයි..
 
විදර්ශන:
බිල්ලෙක් කියන්නේ සුදුවෑන් වගේ දෙයක්. ඒත් දැන් තියෙන භයානකකම ඒ තරම් සරල නැහැ. අපි කරන්නේ බිල්ලන් මැවීමක් නෙවෙයි. දැන් තියෙන තත්වය ගැන විශ්ලේෂණයක්. විකල්ප අපේක්ෂකයන්ව නියෝජනය කරන අය තමන් සහාය දෙන ජනාධිපති අපේක්ෂකයාට අවශ්‍ය විදියට තර්කයන් ගොඩනඟන බව ඇත්ත. අපට ජාතික ජන බලවේගය ඇවිත් තියෙන ගමන ආපහු හරවන විදියට කතාකරන්න බැරි බව ඇත්ත. ඒත් දැන් තියෙන අනතුර අපි නිවැරදිව හඳුනාගන්න ඕනෑ.test 67
 
අනිද්දා:
වාමාංශික ජනප්‍රියවාදය ගැන මෙතරම් කතාකරන්නේ ඇයි?
 
විදර්ශන:
ලෝකයේ මෙතෙක් තිබුණු සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලනයෙන් නොලැබුණු දේවල් ගැන ජනතාව අතර අතෘප්තියක් තියෙනවා. අලූත් හඬක අවශ්‍යතාවක් මතුවෙලා තියෙනවා. මේ අවශ්‍යතාව ඉටු කරන්නට ලෝකයේ අලූත් ප්‍රවණතා දෙකක් ඇතිවෙලා තියෙනවා. 
 
එකක් තමයි ට්‍රම්ප්ලා නියෝජනය කරන දක්ෂිණාංශික ජනප්‍රියවාදය. ඔවුන් කියන්නේ ලෝකයේ දැන් තියෙන ප්‍රශ්නවලට හේතුව සංක්‍රමණිකයන්, වෙනත් ජාතීන් කියලා. 
 
ඔවුන් ජාතිවාදය වපුරනවා. අනෙක් ප්‍රවණතාව තමයි බර්නි සැන්ඩර්ස් වැනි නායකයන් නියෝජනය කරන්නේ. ඔවුන් මේ වෙද්දී සුබසාධනවාදය මුල් කොටගත් බහුජන ව්‍යාපාරවල ඉන්නවා. ඔවුන් සමාජ සාධාරණත්වය ගැන කතාකරනවා. මේක එකම සංසිද්ධියක් ගැන ඇතිව තිබෙන ප්‍රතිවිරුද්ධ ප්‍රවණතා දෙකක්.
 
අද සජිත් ප්‍රේමදාස මහතාගේ භාෂාවෙන් පවා පෙනෙන්නේ ඔහු ඒක අඳුනගෙන තිබෙන බවයි. අපි සජිත්ව විශ්වාස කරන්නේ නැහැ. ඔහුට කැමතිත් නැහැ. අවසානයේදී ඔහු පවා නව ලිබරල්වාදී ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව අපි දන්නවා. ඒත් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ යටතේ ආමන්ත්‍රණය නොකළ කාරණා ගණනාවකට ආමන්ත්‍රණය කරනවා. 
 
ඔහු ආමන්ත්‍රණය කරන භාෂාව වෙනස්. ඒක හොඳ තත්වයක්. යහපාලන ආණ්ඩුවට ඒක කරන්න බැරිවුණා. ආණ්ඩුවට පමණක් නොවෙයි, ඒ සමඟ සිටි සිවිල් සමාජයට පවා ඒක බැරිවුණා. නැවත රාජපක්ෂලා ශක්තිමත් වෙන්නත් හේතුවුණේ ඒකයි. කෙසේවෙතත් දැන් අනිවාර්යයෙන්ම රාජපක්ෂලාව පරාද කරන්න ඕනෑ.''
 
(උපුටා ගැනීම - අනිද්දා පුවත්පත) 
 
 සබැඳි පුවත්:
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්