රාවය :
වර්තමාන ආණ්ඩුව අවුරුදු පහකට ප්‍රථම ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවක්. නමුත් බහුතර කැමැත්ත මත නැවත වාරයක් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුව තම බලය පිහිටවනවා. ඔබ මෙය දකින්නේ කොහොමද?


ටියුඩර් :
යහපාලන ආණ්ඩුවක් බිහිවීම සමග ප්‍රාරම්භක වශයෙන් නිර්මාණය වූ ජාතික ආණ්ඩුව තුළ තිබුණේ එකින් එකට ප්‍රතිවිරුද්ධ බලවේග දෙකක්. එකක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නව ලිබරල්වාදී සමාජ ආර්ථික ප්‍රතිපත්තියක්. අනික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ කොටස් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියක්. මේ දෙගොල්ලොම මේකෙ හිටියා සහ ඊට අමතරව ජාතිකවාදී කොටසකුත් හිටියා සහ ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් ගෝලීය උපරි ව්‍යුහයට සම්බන්ධ සිය දහස් ගණනක් රාජ්‍ය නොවන සංවිධානවල විවිධ මට්ටමේ බලපෑම් සමග එම ව්‍යුහය සකස් වුණා. 

එහෙම සකස් වෙලා එම ආණ්ඩුව බිහිවුණත් එම ආණ්ඩුව ආරම්භයේ යම්කිසි ආකාරයක පූර්ව මැතිවරණ සමයේ ගෙන ගිය මැතිවරණ ප්‍රචාරණය දිගටම ගෙන ගියා. හොරු අල්ලන්න ඕනේ. දඬුවම් දෙන්න ඕනේ. උසාවියට ගෙනියන්න ඕනේ වගේ ඒවා. නමුත් එසේ ප්‍රචාරණ ගෙන ගියාට කිසිදු සාධනීය දෙයක් සිදුවුණේ නැහැ. 

මිනිස්සු තුළ මේ මතවාදය ගොඩනැගුවම මිනිස්සු බලන් හිටියා හොරු අල්ලනකන්. නමුත් කිසිම දෙයක් සිදුවුණේ නැහැ. සිදුවෙමින් තිබූ සංවර්ධන ක්‍රියාවලියත් නැවතුණු වග හැමෝටම පෙනුණා. එම සංවර්ධන ක්‍රියාවලීන්ට සම්බන්ධ අයගේ ගෙවීම් පවා පැහැර හැරි වගක් පෙනුණා. මිනිස්සු අතර ගැවසෙන මුදල් ප්‍රමාණයත් අඩු බව මිනිස්සුන්ට දැනුණා. 

නමුත් ආණ්ඩුව හැමවෙලේම ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් වගේ දේවල්වලට පොහොර දමමින් පෝෂණය කළා. යහපාලන ආණ්ඩුවේ එකින් එකට තිබූ ප්‍රතිවිරුද්ධ බලවේග උත්සන්න වෙන්න පටන් ගත්තා. ඒක එළියට ආවේ අගමැති හා ජනාධිපතිවරයා අතර වූ ගැටුම විදියටයි. එය ද්විත්ව පාලනයක අර්බුදයක් කීවත් නිවැරදියි. 

Tuder Text 1 අනාගතයේදී ලංකාවේ නිදහසෙන් පස්සෙ ද්විත්ව පාලන දේශපාලන අර්බුදයකට බොහොම සම්භාව්‍ය උදාහරණයක් ලෙස යහපාලන ආණ්ඩුව පෙන්නන්න පුළුවන් වෙනවා. අගමැති සහ ජනාධිපතිවරයා අධ්‍යාපනය, සංවර්ධනය සහ දේශපාලනිකව එකිනෙකට වෙනස් ප්‍රත්පත්තියි දැරුවේ. එකට ඒකාබද්ධ ප්‍රතිපත්ති ඉදිරිපත් වුණේ නැහැ. එහිදී ගැටුමක් නිර්මාණය වනවා විනා වැඩක් වෙන්නේ නැහැ. 

බිම් මට්ටමේ ජීවත් වූ ජනතාවට ජීවත්වීමේ අර්බුදයට මුහුණ දෙන්න සිදුවුණා. පාලක පන්තියට බැරිවුණා රට පාලනය කරගන්න. යුද්දෙන් පස්සෙ ඒකීය වූ රාජ්‍යය, ලාංකීයත්වය සමග වර්ධනය කරගෙන ආ ප්‍රවණතාව තීරණාත්මකව අංශක තුන්සිය හැටකින් වෙනස් වෙන්න පටන් ගත්තා. ඉතින් මේ සියලූ කාරණා නිසා යහපාලන ආණ්ඩුව බිඳ වැටුණා. නැවත වරක් රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටෙව්වා.

රාවය :
මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ පදනම සිංහල බෞද්ධ ජාතිකවාදයයි. යළි බහුතරය සහ සුළුතරය ලෙස බෙදීමක් වෙලා නේද?

ටියුඩර් :
ද්‍රවිඩ ඉස්ලාම් මතවාදය සිංහල බෞද්ධ මතයට ප්‍රතිවිරුද්ධව ගොඩනැගුණ, කියන එක ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලිව පේනවා. නමුත් රාජ්‍යයේ ඉතිහාසයේ සහ සමාජ පරිණාමයේ දෘෂ්ටි කෝණයට අනුව බැලූවාම මේ මතය ස්වරූපයෙන් තමයි සිංහල බෞද්ධ වෙන්නේ. 

මේක අන්තර්ගතමය වශයෙන් ගත්තාම මේ මතයේ සන්දර්භය ස්වරූපය අනුව බැලූවාම ඒක බහුතරයේ මත ප්‍රකාශ කිරීමක් නොවේ. සුළුතරේ මතයත් නෙවේ. පිටින් පෙනුණට බහුතරේ මතය කියලා. නමුත් ඇත්තටම බහුතර මතය එතන නැහැ. ඒ නිරූපණය වුණේ සමස්තයේ මතය කියලයි මම කියන්නේ.

රාවය :
මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ජාව යට ගියේ ඇයි?

ටියුඩර් :
මේ මොහොත වන විට ප්‍රජාතන්ත්‍රවාදය මුළු ලෝකයටම ගැළපෙන්නේ නැහැ. ග්‍රීක පෞර රාජ්‍යවලින් තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය බිහිවන්නේ. සෘජු ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නෙ ජනතාවගෙ කටයුතු ජනතාව විසින් කළමනාකරණය කර ගැනීමයි. 

තව විදියකට බහුතරයේ කැමැත්ත ඒ අදාළ ආර්ථික, සමාජ සහ දේශපාලන කටයුතු හසුරවා ගැනීමයි. එතන විවිධ මත තිබෙන්න පුළුවන්. නිදහසෙන් පසු අපෙත් යම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබුණා. නමුත් වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් පැවති ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයත් ජාතික වශයෙන් පැවති ප්‍රජාතන්ත්‍රවාදී  ගති ලක්ෂණත් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා. අපට සම්භාව්‍යය ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අත්විඳින්න නැහැ.

 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය යුගය 90 දශකයේ නිමාවට පත්වුණා. පසුව ලෝකය ගමන් කළා පශ්චාත් ප්‍රජාතාන්ත්‍රීක අවදියකට. එහිදී එක පක්ෂ ක්‍රමයයි තිබෙන්නේ. මේ නිසා ගෝලීය වශයෙන් මිලිටරි බලය, සංස්කෘතිය, දේශපාලන බලය, නව ලිබරල්වාදීන් විසින් අල්ලගෙන තිබෙනවා. වර්තමානය වන විට වෙන සමාජ, ආර්ථික ක්‍රමයක් තිබෙන්නේ. 

මේ අනුව 21 වන සියවසට ප්‍රජාතන්ත්‍රවාදය ගැළපෙන්නේ නැහැ. මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බුලට් එකක්. ඒකෙන් වෙඩි තියන්නෙ කොහාටද ඒ රට ඉවරයි. මේ නිසයි අප ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ යුත්තේ.

Tuder Text 2රාවය :
නිදහස ලබාගැනීමෙන් පසු පැමිණි කිසිදු ආණ්ඩුවකට අපට ගැළපෙන සමාජ ආර්ථික පසුබිමක් සකසා ගන්න හැකියාවක් ලැබුණෙ නැහැ. ඔබ හිතනවාද වත්මන් ආණ්ඩුව එවැනි පසුබිමක් සකස් කරයි කියා?

ටියුඩර් :
නිදහසෙන් පසු පැමිණි ආණ්ඩු විවිධ දේ අත්හදා බැලූවා. නමුත් ලංකාව කියන්නෙ විවිධ ආර්ථික ව්‍යුහයන් සහ උප කුලකයන් තිබෙන රාජ්‍යයක්. සුළු පරිමාණ, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සිල්ලර කර්මාන්තයන්ගෙන් පෝෂණය වෙන රටක් සහ වැඩවසම් සම්බන්ධතා තිබෙනවා. ප්‍රාථමික ආර්ථික සම්බන්ධතා තිබෙනවා. වාණිජ ආර්ථිකය, සාම්ප්‍රදායික ආර්ථිකය, නිෂ්පාදන ආර්ථිකය, ගෝලීය ආර්ථිකය හා ජාතික ආර්ථිකය අතර ප්‍රශ්න තිබෙනවා. මූල්‍ය ආර්ථිකය සහ සැබෑ ආර්ථිකය අතර ඇති සම්බන්ධතාව තියෙනවා. 

මේ ආර්ථිකයේ ඇති සකලවිධ විවිධත්වය එකට එකතුව ලාංකිය ආර්ථිකයට ශක්තිය ගන්න පුළුවන් විදියේ ප්‍රතිපත්තියක් නිදහසෙන් පසු කිසිවෙකුටවත් නිර්මාණය කරගන්න බැරිවුණා. මුලින්ම සමාජවාදයේ ධනේශ්වර මාවත සංවර්ධන ආර්ථික මොඩලයක් හඳුන්වා දුන්නා. පසුව නව ලිබරල්වාදී ආර්ථිකයක්. මිශ්‍ර ආර්ථිකය, විවෘත ආර්ථිකය යන විවිධ දේවල් අත්හදා බැලූවා. නමුත් එකක්වත් විවිධත්වයට සහ මානව ද්‍රව්‍යයට ගැළපෙන ආකාරයට නිර්මාණය වුණේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. 

උදාහරණයක් විදියට පසුගිය අවුරුදු හතර ඇතුළත ක්‍රියාත්මක වූ නව ලිබරල්වාදී ආර්ථිකය තුළින් අපට ලැබුණේ මොනවද කියල හිතුවොත් අපිට දුන්න දේවල්වලට වඩා අපෙන් ගත්ත දේවල් වැඩියි. ඒකෙන් අපේ ආර්ථික ප්‍රශ්නය විසඳුණේ නැහැ. සිද්ධ වුණේ රටේ ප්‍රධාන නගර කිහිපයක ආර්ථික කටයුතු සිදු කරනකොට රටේ අති දැවැන්ත තදාසන්න ග්‍රාමීය ගම් කිහිපයක දරිද්‍රතාව සහ ආර්ථික අංශය ප්‍රාථමික තත්ත්වයටම ඇද වැටීමයි. 

පසුගිය අවුරුදු 40 පුරාවටම පැවති ආර්ථික ප්‍රතිපත්ති මේ වන තෙක් ස්ථාවර ආර්ථික සංවර්ධනයක් ලබා දුන්නෙ නැහැ. මෙම කාරණය වත්මන් ආණ්ඩුවට තිබෙන ලොකු අභියෝගයක් විදියට මම දකිනවා.

රාවය :
බොහොමයක් රටවල ජනතාව විසින් පත්කර ගන්නා පාලකයාගේ පාලනය තීරණය වන්නේ සමාජ වපසරිය අනුවයි. එවැනි තත්ත්වයක ලාංකීය පාලකයාගේ පාලනය තීරණය වන්නේ කෙසේද?

ටියුඩර් :
සමාජය පාලනය විය යුතු ව්‍යුහයක්. අපාලිත සමාජ ලෝකයේ කොහේවත් නැහැ. ඒ වගේම ලෝකෙ තියෙන හැම පාලන ක්‍රමයකින්ම සමාජය පාලනය කිරීමට හැකියාවක් නැහැ. මූලික වශයෙන් ලෝකයේ පාලන ක්‍රම දෙකක් තියෙනවා. එකක් පාලනයට අනුව සමාජය සකස් වීම. දෙවෙනි එක සමාජය පවතින ආකාරයට පාලනය සකස් වීම. ලංකාවෙ ක්‍රියාත්මක වෙන්නේ පාලනය අනුව තමයි සමාජය ගොඩ නැගෙන්නේ. 

උදාහරණයක් විදියට පැවති යහපාලන ආණ්ඩුව එකල ගත්ත ක්‍රියාමාර්ගවලට සමාජය හැදුණු විදියයි වත්මන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගවලට සමාජය සකස්වෙන විදියයි වෙනස්. යුරෝපයේ සමාජයට අනුවයි පාලනය තීරණය වන්නේ. ඒ නිසා යුරෝපයේ මිනිස්සුන්ට පාලනයක් නැතත් ප්‍රශ්නයක් නැහැ. මොකද මිනිස්සු තමන්ගේ කටයුතු කළමනාකරණය කරගන්න දන්නවා. 

ලංකාව වගේ රටක මිනිස්සුන්ට ස්වයං සංවිධාන ශක්තිය අවමයි. ඒක අපි නරකයි කියල කියන් නැහැ. මේක ක්‍රම  දෙකක්. අවමය නිසා තමයි අපට නායකත්වයක් අවශ්‍ය වන්නේ. වර්තමාන ගෝලීයකරණය වන ලෝක සන්දර්භය තුළ ජාතික රාජ්‍යයක් විදියට ලාංකීය සමාජය ඉදිරියට යනව නම් කළයුත්ත වන්නේ ජාතික රාජ්‍යය ශක්තිමත් කළ යුතුයි. විධායකය ශක්තිමත් කළ යුතුයි. විධායකය ලිහිල් කළොත් අර්බුදය වැඩි වෙනවා.

රාවය :
MCC ගිවිසුම තුළින් ලංකාවට ඇති බලපෑම කුමනාකාරද?

ටියුඩර් :
මේ අවස්ථාවේ අපට ඉන්න ප්‍රධානම හතුරා ඇමරිකා එක්සත් ජනපදයයි. ගෝලීය උපරි රාජ්‍යය හසුරවන්නෙත් එයා තමයි. ඇමරිකා එක්සත් ජනපදයේ නව ලිබරල්වාදය නියෝජනය කරන ඔබාමාලා නැවත පාලනයට එන්න පුළුවන්. ඔවුන්ගේ දේශපාලනය තුළ කිසිම සදාචාරයක් නැහැ. ඉතින් එවැනි අවස්ථාවල ඕනම කෙනෙක්ට විරුද්ධව චෝදනා එල්ල කරන්න පුළුවන්. 

දේශීය වශයෙන් මෙතන බල අරගලයක් දියත් වෙනවා. එහි අන්තය පෘථිවි බලය අල්ලා ගැනීමයි. ඒක දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු පෙනෙන්නට තිබූ අරගලයක්. ඔවුන්ගේ ඉදිරි සැලැස්ම චීනය අල්ලා ගැනීමයි. ඉදිරි අවුරුදු 20 තුළ චීනයට විශාල අරගලයක් තිබෙනවා. MCC , සෝෆා ගිවිසුම හරහා සිදුවන්නේ ඒකයි. 

මේ ඇවිත් ගෝලීය ව්‍යාපෘතියක්. අපට තෝරා ගැනීමක් නැහැ. ජාතික රාජ්‍යයට පැවැත්මක් නැහැ නව ලිබරල්වාදය ඇතුලේ. මේ නිසා අපේ හතුරා කවුද කියලා අපි පැහැදිලි කරගන්න වුවමනා වනවා.

Tuder Text 3රාවය :
වත්මන් ජනාධිපති ඇතුළු ඔහු වටා සිටින බොහොමයකට අධිචෝදනා එල්ල වුණා. එය රටට සහ ජාත්‍යන්තරයට බලපාන්නේ කෙසේද?

ටියුඩර් :
ඔය අධිචෝදනා කියන කාරණාත් ගෝලීය උපරි රාජ්‍යයට සම්බන්ධයි. ඒ මත පදනම් කරගෙන මේ පවතින පාලනය තක්සේරු කරන්න බැහැ. එතකොට චෝදනා කරන්නෙ එක ව්‍යුහයකින්. ඔවුන් යහපාලනයත් සමග සම්බන්ධ වූ ගෝලීය උපරි රාජ්‍යයේ කොටස්. ඔවුන්ගේ ඒකායන අරමුණ ජාතික රාජ්‍යය දියකර හැරීමටයි. ඔවුන්ට නොයෙක් චෝදනා එල්ල කරන්න පුළුවන් සහ ඒවා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. 

මට ඒක අදාළ වෙන්නෙ නැහැ. මට අදාළ පුද්ගලයා සමාජයට බලය මුදාහරින ආකාරයයි. ඒකයි මෙතනදි වැදගත්. දෙගොල්ලොම දෙගොල්ලන්ට චෝදනා කරගන්නවනේ. ඒ නිසා ඒ මත අපට තීරණවලට එළඹෙන්න බැහැ.

 හේතුව ජාතික නායකයින්ට විවිධ අපරාධ චෝදනා එල්ල කරනවා. ඒවට හේතු තියෙන්නත් පුළුවන්. හේතු නිර්මාණය කරන්නත් පුළුවන්. මේ අවස්ථාවෙ ඔය කියන අධි චෝදනා රුසියාවට සහ චීනයටත් එල්ල වෙනවා.

රාවය :

වත්මන් ආණ්ඩුවට ණය අර්බුදය විසඳීමේ අභියෝගයක් තිබෙනවා?


ටියුඩර් :
අපි රුපියලක් අච්චු ගැහුවොත් උද්ධමනය ඉහළ යනවා. නමුත් ඇමරිකාව මුදල් අච්චු ගැහුවට උද්ධමනය ඉහළ නගින්නේ නැහැ. ඒ රටේ ණය ඩොලර් එකත් එක්ක සම්බන්ධ වෙනකොට අපට රුපියල්වලින් ගෙවන්න බැහැ. ගෙවන්න වෙන්නෙ අපේ සම්පත්වලින්. ඒ මගින් තමයි ඔවුන් රටවල් නතු කරගන්නෙ. විශේෂයෙන්ම එය ඔවුන්ගේ අවියක් කීවොත් නිවැරදියි. 

එහිදී අපට මේ ණය කිසි දිනෙක ගෙවල ඉවරයක් කරන්න බැහැ. එක්කො බොල් ණය ලෙස කපා හැරිය යුතුයි. නැතිනම් අපේ සම්පත් සමග රට බිලි විය යුතුයි. ණය අර්බුදය විසඳනවා කියන එක දේශපාලනය ඉදිරියට ගෙන යෑම සඳහා භාවිත කරන සටන් පාඨයක් පමණයි.

hqdefault

 

 

 

 

 

 

(රාවය:  ආචාර්ය ටියුඩර් වීරසිංහ - සටහන දිනී ජයසේකර)

 




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්