හැමෝම ජනාධිපති වෙන්න දඟලන නිසා රට දියුණු කළ නොහැකි වී ඇතැයි අර්ජුන රණතුංග නොබෝදා දේශපාලන වේදිකාවකදී කීවේය.

ඒ කතාව ඇත්තය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවීමත් සමග සැවොම කල්පනා කරනුයේ සිරිසේනටත් ජනාධිපති වන්නට හැකිනම් අපිට නොහැකි මන්ද කියාය.

මේ ජනාධිපති පොරයේ ලොකුම තරගය ඇත්තේ එජාපය තුළය. ඊට හේතුව එජාප නායකයා තරග නොවැදි කාලාන්තරයක සිට ඉත්තන් ඇදීම නිසාද? රනිල් වික්‍රමසිංහ යනු තරග නොවැදිය යුතු පරාජිත චරිතයක් ලෙස පක්ෂය තුළම ස්ථාපිත වී තිබීමත් නිසා සෙස්සෝ කල්පනා කරන්නේ ඒ තැනට සුදුස්සා තමන් කියාය.

එජාප නායකත්වයට සිහින බොහෝ අයට ඇත. ඒ අතර සජිත් පරණම පුද්ගලයාය. අලුත්ම චරිතය චම්පික රණවකය. ඒ එජාපයේ බෞද්ධ ලකුණය. ඔහු තමාගේ ඉණිම වෙනම මානයකින් ගොඩනගමින් සිටී. ඒ එජාපය ප්‍රතිකේෂ්ප කරන පිරිසෙහිද හොඳම කෙනා වන්ට වලිකමිනි. මේ අතර රවි කරුණානායක සහ රාජිත සේනාරත්නද නායකයා වීමේ රෝගයෙන් පෙළෙන්නෝය. නවීන් දිසානායක තුළද මේ ආශාව ඇතත්, ඔහු බලනුයේ වෙනත් කණ්ඩායම් අල්ලාගෙන සිය මාමණ්ඩිය රජකරවන්නටය.

රනිල්ට රිද්දවීමට කරුව තෝරා ගැනීම !

මුහුණ කැතයි කියා නහය කපා ගන්නා සේ සිවිල් සංවිධාන රනිල් තමන්ව නොසලකා හරින නිසා රනිල්ට රිද්දවීම සඳහා කරුව තෝරාගෙන ඇත. මේ සැවොම නායකයාවීමට ඉබාගාතේ දුවති. එහෙත් සැමගේ ගමනාන්තරය තීන්දු කරනුයේ රනිල් වික්‍රමසිංහ මහතාය. එළියේ සිට පුංචි පුංචි කණ්ඩායම්වලට කැටපෝලවලින් විදිය හැකි වුවත් එජාපයේ සහය කාටද යන්න විනිශ්චය වන්නේ රනිල් වික්‍රමසිංහ මතය.

රනිල් හා නොහොඳව කිසිවකුට තරගයට ඉදිරිපත් විය නොහැකිය. එනිසා තවමත් කවුරු කොහොම දැඟලුවද එජාපය කාට සහය වන්නේද යන්න තීරණය කරනුයේ රනිල්ය.

එළියට කෑමොර නොදුන්නද පොහොට්ටුවේ බලධාරියා මහින්ද රාජපක්ෂ වන්නා සේ ම අලියා පිටේ හිඳුවන්නේ කවුද යන්න තීරණය කරනුයේ රනිල්ය. රනිල් තරහ කරගෙන එජාපය තුළ කිසිවකුට ගමනක් නැත. මේ බව හොඳාකාරවම දන්නේ සජිත්ය. එහිදී කරුද පිටස්තර ලණු කන්නේය. ඔහු සිතනුයේ ජනපති සිරිසේනව ගෙනා පොඩි පොඩි කණ්ඩායම් සහ චන්ද්‍රිකා කුමාරතුංග සිටීම නායකත්වයට ඕනෑතරම් බවය. එහෙත් රනිල් නොමැතිව මේ මොහොතේ එජාපයේ ගමනක් කාටවත් නැතිය.

 

මිනිසුන් ඇන්දීමේ රුසියාගේ තුරුම්පු :

එජාපයේ තැනින් තැන මතුවන නායකත්වය සිහින එකවරම විනාශ කිරීමට රනිල් ගැසූ තුරුම්පුව ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාවය. ධම්මික පෙරේරා පොදු අපේක්ෂකයා නොවන බව පැහැදිලිය. එහෙත් රනිල්ට ළැදි මාධ්‍ය එය ව්‍යාප්ත කරනුයේ ධම්මික පෙරේරා පොදු අපේක්ෂකයා කොටය.

මිනිසුන් ඇන්දීමේ රුසියකු වන රනිල් මේ මොහොතේ ධම්මිකවද අන්දා ඇති බව පැහැදිලිය. ඔහු ඒ ලණුව ගිල හමාරය. ඔහුද ඊට උචිත විදිහට රඟපානවාද විය හැකිය. මන්ද ධම්මික පෙරේරා පොදු අපේක්ෂකයා නොව අනාගත එජාප ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ වන්නට ඉඩ ඇති නිසාය. රනිල්, ධම්මික සමග ඇති කරගත් ගිවිසුමද එය විය හැකිය. කෙසේ වෙතත් ධම්මික පෙරේරා සමග එජාප දේශපාලනය නැවත අමුතු හැඩයක් ගත්තේය.

 

රාජපක්ෂලා සමග සිටි ධම්මික වික්‍රමසිංහවාදී වුණේ කෙසේද?

ධම්මික පෙරේරා යනු ලංකාවේ දැනට සිටින අංක එකේ ධනපතියයා. පසුගිය කාලයේදී ඔහු රට දියුණු කළ හැකි ක්‍රම කියමින් මාධ්‍ය සංදර්ශනය දැම්මේය. ඔහුගේ ගමන මුලදී පෙනෙන්නට තිබුණේ ගෝඨාභය රාජපක්ෂ සමගය. කොටින්ම ඔහු ගෝඨාගේ මිනිහෙක් යන්න තහවුරු වූ කරුණය. එයට හේතු හැදුණේ කෙසේද?

එයට විශේෂ හේතුව වූයේ ධම්මික පෙරේරාව මතු කළේ දෙරණ නාලිකාව වීමය. දෙරණ යනු තනිකරම ගෝඨාභය ගෙන ඒමේ ව්‍යාපෘතියෙහි යෙදෙන මාධ්‍ය වේ. ධම්මික පෙරේරා ව්‍යාපාරිකයකුට අමතරව සමාජ දැක්මක් ඇත්තකු බව රටට පෙන්නුවේ දෙරණය. ඒ හරහා ගෝඨාභයගේ කණ්ඩායමේ ප්‍රබලයකු ලෙස ධම්මිකවද ඉස්මතු කළේය.

එහෙව් ධම්මික එජාපයේ පොදු අපේක්ෂකයා යැයි කතා හැදෙන්නේ කෙසේද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ධුරයද දැරූ ධම්මික අයෝජන මණ්ඩලයෙහි සභාපතිද විය. එහෙව් ඔහු එකවර එජාපයට නැමුණේ කෙසේද? රාජපක්ෂලා සමග සිටි ධම්මික වික්‍රමසිංහවාදී වුණේ කෙසේද?

පසුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ සමග ප්‍රසිද්ධ වේදිකාවක හමුවන ධම්මික පසුව නිතර නිතර රහසේ රනිල් මුණගැසී ඇත. ඒ ධම්මිකගේම නිවසේදී බව පැවසේ. රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෙස ආරාධනා ලැබුවද එහි සාකච්ඡා වී ඇත්තේ දේශපාලනය බව උපකල්පනය කළ හැකිය. ඒ වෙන හේතුවක් නිසා නොව රනිල් සැමට හොරා ධම්මික හමුවන්නේ භෝජන ගැනීමටම නොවන නිසාය. රනිල් සමග මේ ගමන ගොස් ඇත්තේ ඔහුගේ ළඟම උපදේශකයකු සමග බවද පැවසේ. එයින්ද එය වඩා තහවුරුය.

 

ධම්මිකගේ නිවසේ කතාබහ :

ධම්මිකගේ නිවසේ කතාබහ සාර්ථක වූ බව පැහැදිලිවන්නේ දෙවැනි කතාබහ අරලියගහ මන්දිරයේදී භෝජන සංග්‍රහයක් සමග පැවැත්වූ නිසාය. මේ කතාබහත් සමග රනිල් – ධම්මික සබඳතාව ශක්තිමත් වන්නේ ඊට පසු දින අරලියගහ මන්දිරයේ පැවති කොළොන්නාවේ ජල ප්‍රශ්නය විසඳීම පිළිබඳ සාකච්ඡාවේ ප්‍රධාන දේශකයා ධම්මික පෙරේරා වීමත් සමගය.

කෙසේ වෙතත් ජල ප්‍රශ්නය ගැන කතා කරන්නට පැමිණි සියලුදෙනා ධම්මික දැක පුදුම වී ඇති බව නම් අමුතුවෙන් කිවයුතු නැත. එදින රනිල් ධම්මිකට ප්‍රශ්නය විසඳන්නට භාර දී පිටව ගොස් ඇත්තේ තමා ධම්මික විශ්වාස කරන බව ඒත්තු ගන්නට විය හැකිය. මේ සියලු කතා සමාජ මාධ්‍ය හරහා ළැව්ගින්නක් සේ ඇවිලුණි.

 

එජාපය සෙලවීම:

මේ කරුණු ඇරුණු කොට ධම්මික පොදු අපේක්ෂකයා වනවා යැයි කීමට කිසිදු කතාබහක් නැතත්, මෙය මෙතරම් ව්‍යාප්තවන්නේ ඇයි? මෙය බලෙන් ව්‍යාප්ත කරනවා යැයි නොසිතේද? මේ වෙන කිසිම හේතුවක් නොව රනිල් එජාපයේ ජනාධිපති අපේක්ෂකයන්ට අනින ටොක්කකි.

අප මුලදී කීවේත් රනිල් අතහැර කාට හෝ එජාපයේ සහය ලබාගත නොහැකිය. ඊට රනිල් මුලින්ම නම්මා ගත යුතුය. එහෙත් කරු රනිල් අමතක කොට සිරිසේන ගෙනා සෙසු කණ්ඩායම් හරහා ගමනක් යන්නට පටන් ගෙනය. එහෙත් එය බොරු ගමනකි.

චම්පික රනිල්ගේ ආශිර්වාද ඇතුව යන්න හැදුවද ඔහු සමාජයට පෙන්වනුයේ තමන් රනිල්ව ප්‍රතික්ෂේප කරන බවය. ඒ රනිල් විරෝධී ඡන්ද ඩැහැ ගන්නටය. සජිත් රනිල්ට ඇලජික්ම චරිතයක්ය. සිරසට එකම වුවමනාව සජිත් නායකත්වයට ගෙන ඒමය. ඒ වෙනුවෙන් ඔවුන් රනිල්ව පතුරු යවමින් සිටී.

සිරස සජිත් ගෙන ඒම බව දන්නා රනිල් සිරස රිද්දන්නේද සජිත් සිල්ලර තැනට දමමිනි. කරුටත් ඉදිරියේදී වන්නේ එයමය. රනිල්ට රිදවන කරු ගේන්න වලිකන අයට රනිල් රිදවනුයේ කරුගෙන් පලිගෙනය.

 

එජාපයේ ජනාධිපති අපේක්ෂකයන් අන්දන්නට:

මේ අනුව බලන කල රනිල් ධම්මික ළංකර ගත්තේ රාජපක්ෂලාට රිද්දනවාට වඩා එජාපයටම රිද්දන්නටය. එජාපයේ ජනාධිපති අපේක්ෂකයන් අන්දන්නටය. ඒ අනුව ධම්මික පොදු අපේක්ෂකයා යන්න රනිල්-ධම්මික එකතු වී කරන ඇන්දවිල්ලකි.

රනිල් ධම්මික පෙරේරා පොදු අපේක්ෂකයා කරන්නට තරම් දේශපාලන ළාමකයකු නොවේ. එහෙත් එජාප ආණ්ඩුවක් ලදහොත් මුදල් අමාත්‍යාංශ ලේකම්කම වැනි දෙයක් පොරොන්දු වෙන්න බැරිකමක්ද නොවේ. රාජපක්ෂලා ළඟ සිටි ධම්මික රනිල් ළඟට එන්නේ නිකම්ම නම් නොවේය. එය තහවුරුය.

දක්ෂ ව්‍යාපාරිකයකු වන ධම්මිකට ගෝඨාට වඩා රනිල් හොඳ බව තේරුම් ගන්නට දැනුමක් නැතිවිය නොහැකිය. එමෙන්ම එජාපයේ බොහෝ අයට වඩා ධම්මික පෙරේරා යහපත් බව තේරුම් ගන්නට රනිල්ද සූක්ෂ්මය. රනිල් එජාපයේ ප්‍රබලයන්ට වඩා ධම්මික කෙරෙහි විශ්වාසය තබා ඇත. ව්‍යාපාරිකයකු ලෙස ඔහු අවංක බව ඔහු දනී.

එහෙත් එජාපයේ අතිබහුතරය බලා සිටිනුයේ රනිල් පන්නා ඒ තැන ගන්නටය. එයට පොරකකා පිරිස් ආවද ඒ සියල්ලට තනිව මුහුණ දෙන්නට රනිල් හපනෙකි. ඒ අතින් ඔහු ඉතාම සූක්ෂ්ම දේශපාලකයෙකි. රනිල් සමග ජොනී සිටියේ අද අකිල සිටින මට්ටමේ ළඟින්ය. එහෙත් ජොනී ගියද රනිල් වගේ වගක් නොවීය. හෙට අකිලලා ගියද රනිල් එසේය. එහෙත් ඔහු ඉන්පසු ඔහුට ගැළපෙන පිරිසක් හදා ගනිති.

ඒ අතර ධම්මික පෙරේරා වැනි අයකු රනිල් ළංකර ගැනීම වෙනම ගමනක ආරම්භයක් බව නම් කිව යුතුමය. සැබැවින්ම එය දිගු ගමනක ආරම්භයක් නම් එය එජාපයේද වෙනස් ගමනක් වනු ඇත. ඒ වෙන දෙයක් නිසා නොව රනිල් වෙනස් වන්නේ නම් ඔහු වටා සිටින අයද වෙනස් විය යුතු බැවිනි.

කෙසේ වෙතත් මේ මොහොතේ රනිල්, ධම්මිකව ළංකර ගත්තේ රාජපක්ෂලාට රිද්දන්නට නොව එජාපයේ ජනාධිපති අපේක්ෂකයින්ට රිද්දන්නටය. එයින් උපරිම රිදී ඇති බව නම් පැහැදිලිය. රනිල් සමග දේශපාලන ගේම් ගහන්නට කරු-චම්පිකලා තවම මෝරා නැති තරම්ය. කරුලා කර තබාගෙන යන අයද ළාමක බව අමුතුවෙන් කිව යුතුද?

(රාවය - ටිරන් කුමාර බංගගමආරච්චි)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්