මහජන ඡන්දයෙන් මෙරට නව වන පාර්ලිමේන්තුව තෝරාගැනීමට තව ඉතිරිව තිබෙන්නෙ මසකටත් අඩු කාලයකි.

මැතිවරණ වේදිකාවල ඉදිරි වසර පහ තුළ ලංකාවේ දේශපාලනය හා ආණ්ඩුක්‍රම කෙසේ සකස් විය යුතුද යන්න පිළිබදව ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ දේශපාලකයන් විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටී. මේ එවැනි අදහස් කිහිපයක් අළෙලා සකස් කළ සංවාදයකි. අප හා සංවාදයට එක්වූ කළණ සේනාරත්න පේරාදෙණි විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යනාංශයේ ව්‍යවස්ථා හා අන්තර්ජාතික නීතිය පිළිබද ආචාර්යවරයා වේ.


ප්‍රශ්නය :

ආණ්ඩුව 2/3 ක බලයක් ඉල්ලමින් සිටිනවා. ආණ්ඩුකරණයට 2/3 ක බලයක් අත්‍යාවශ්‍ය ද?

කලණ :

ඕනෑම ආණ්ඩුවකට 2/3 ක බලයක් ලබා ගැනීමට හා එය පවත්වාගැනීම ස්වභාවික ආශාවක් තිබෙනවා. එය යම් රටකට දෘඪ හා දේශපාලනික ආශාවක් ලෙස හැඳින්වීම වඩාත් නිවැරදියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ වෙනත් නීති ඉතා ලෙහෙසියෙන් තමන්ට අවශ්‍ය ආකාරයට ගෙන ඒම තමයි ඒ ආශාවෙන් පිටුපස තිබෙන ප්‍රධාන අරමුණ. ඒ හැර ආණ්ඩුකරණයට 2/3 ක බහුතර බලයක් අවශ්‍ය වන්නේ නෑ.


ප්‍රශ්නය :

යුද්ධය අවසන් වන්නේ 2/3 ක බලයක් නොමැති ආණ්ඩුවක් යටතේ. එවැනි අසීරු අවධියක නොතිබූ සුවිශේෂී බලයක් ආණ්ඩුවකට ලැබිය යුතුද?

කලණ :

ආණ්ඩුකරණය වෙතට 2/3 ක බලයක් අවශ්‍ය විය යුතුව තිබුණා පැවති තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමට. 2/3 ක බලයක් තිබුණා නම් යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය ශක්තිමත් තීන්දු තීරණ ඉතා ඉක්මණින් ගැනීමට එය උපකාරී වීමට ඉඩ තිබුණා. අනෙක් අතට ඒ වන විට යුද්ධය අවසන් කිරීමේ අවශ්‍යතාවය පොදුවේ රටේ සියලු දෙනාටම දැනෙමින් තිබුණා. යුද්ධය කළ යුතුයි කියන මතයේ සිංහල සමාජය සිටි අතර විවිධාකාර හේතූන් මත දෙමළ හා මුස්ලිම් ජනතාවක් ඊට විරුද්ධව කටයුතු කළේ නැහැ.

එමනිසා යුද්ධයට අදාළව ඒ ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට හෝ පොදු ජනතාවට ඒත්තු ගැන්වීමට අවශ්‍යව තිබුණේ නැහැ. ඒ සදහා බහුතර 2/3 ක බලයක් අවශ්‍ය වූයේ ද නැහැ. යම් හෙයකින් විපක්ෂය ආණ්ඩුවට එවැනි තීරණ ගැනීමට ආණ්ඩුවට බලයක් නැතැයි චෝදනා කළේ නම් විපක්ෂය ජනතාව ඉදිරියේ දැඩි අප්‍රසාදයට ලක්වීමට තිබුණා.

එහෙත් මේ මොහොතේ ආණ්ඩුකරණයට 2/3ක බලයක් එකතුවීම සාධාරණීකරණය කළ නොහැකියි. දැන් ආණ්ඩුව 2/3 ක බලයක් අයදිමින් සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනක් හෝ පූර්ණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් බව අනුමාන කළ හැකියි.

''මේ මොහොතේ ආණ්ඩුකරණයට 2/3ක බලයක් එකතුවීම සාධාරණීකරණය කළ නොහැකියි. ආණ්ඩුවට 2/3ක බලයක් ලැබීම තුළින් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථායකයේ හා මහජනතාව අතර අවධානයට ලක් විය යුතු කාරණා සංවාදයකින් තොරව ම ඉතා පහසුවෙන් සම්මත කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. නිර්මාණයන් වන නව ව්‍යවස්ථා යෝජනාවලිය රටේ සියල්ලන්ගේ අවධානයට ලක් කළ යුතුයි.''

එසේනම් නිර්මාණයන් වන නව ව්‍යවස්ථා යෝජනාවලිය රටේ සියල්ලන්ගේ අවධානයට ලක් කළ යුතුයි. යුද්ධයක් මෙන් නොව ව්‍යවස්ථාවක් නිර්මාණය විය යුත්තේ ව්‍යවස්ථාදායකය හා ජනතාව අතර ඇතිවන පුළුල් සංවාදයකින් අනතුරුව.

ආණ්ඩුවට 2/3ක බලයක් ලැබීම තුළින් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථායකයේ හා මහජනතාව අතර අවධානයට ලක් විය යුතු කාරණා සංවාදයකින් තොරව ම ඉතා පහසුවෙන් සම්මත කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේ මොහොතේ ආණ්ඩුව 2/3ක බලයක් අයැදීම පොදු සමාජයේ අවධානයට ලක් විය යුතු කාරණයක්.

 

ප්‍රශ්නය :

මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් මගින් 2/3 ක බලයක් නිර්මාණය කරගත හැකි බවට ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් තර්කයක් ඉදිරිපත් කරනවා. මේ පිළිබඳව ඔබේ මතය?

කලණ :

ඇත්තෙන්ම දැන් තිබෙන මැතිවරණ ක්‍රමය සංශෝධනයට ලක් කළ යුතුයි. ඒ වෙනත් හේතූන් නිසා මිස 2/3 ක බලයක් ලබා ගැනීමේ පටු උවමනාවෙන් නොවේ. දැන් තිබෙන සමානුපාතික ක්‍රමය අඩුපාඩු සහිතයි. දැන් රටේ සිටින විවිධ ජන කොට්ඨාස හා ඔවුන්ගේ දේශපාලනික ආර්ථික හා සමාජීය අවශ්‍යතාවන් උපරිම විවිධත්වය නිරූපනය කළ හැකි නියෝජන ක්‍රමයක් නිර්මාණය විය යුතුයි. එවැනි කරුණු නිසා තමයි නියෝජන ක්‍රමය වෙනස් වනවා නම් වෙනස් කළ යුතුව තිබෙන්නේ.

ඇත්තවශයෙන්ම, සමානුපාත ක්‍රමය යටතේ ඡන්දයකින් 2/3ක බලයක් ලබා ගැනීම ඉඳිකටු තුඩකින් අශ්වයකු පැන්වීම වැනි අපහසු කාර්යයක්. එහෙත් වෙනත් ආකාරයකින් 2/3ක බලයක් ලබා ගැනීමට ආණ්ඩුක්‍රමයේ සැකැස්ම මගින් ඉඩ දී තිබෙනවා.

ඇත්තවශයෙන්ම, සමානුපාත ක්‍රමය යටතේ ඡන්දයකින් 2/3ක බලයක් ලබා ගැනීම ඉඳිකටු තුඩකින් අශ්වයකු පැන්වීම වැනි අපහසු කාර්යයක්. එහෙත් වෙනත් ආකාරයකින් 2/3ක බලයක් ලබා ගැනීමට ආණ්ඩුක්‍රමයේ සැකැස්ම මගින් ඉඩ දී තිබෙනවා.''

2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නිර්මාණය කළ ආණ්ඩුව එවැන්නක්. එහිදී සිදුවූයේ විපක්ෂයේ විශාල කොටසක් රජයට සහාය පළ කරන තැනකට එකඟ කරවා ගැනීම ගැනීම. එවැනි දෙයක් මෙවරත් සිදුවිය හැකියි. ඒ නිසා ප්‍රායෝගිකව බැලුවොත් ආසන 150කට ආසන්න ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම සමහරවිට 2/3ක සීමාව ඉක්මවා යෑමට ප්‍රයෝජනවත් වේවි. ඒ අනුව දැන් තිබෙන සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ 2/3ක බලයක් නිර්මාණය කර ගැනීම ලෙහෙසි නැති අතර සිතන තරම් අපහසුත් නැහැ.

 

ප්‍රශ්නය :

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ගැන නව කතිකාවක් ආරම්භ වී තිබෙනවා.

කලණ :

එම කතිකාව ආරම්භ වූයේ යහපාලන රජය ආණ්ඩු කිරීම ආරම්භ කිරීමත් සමඟය. මේ මැතිවරණයේදීත් 19 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි යන මතය ආණ්ඩුපක්ෂ නායකයින් ප්‍රචලිත කරමින් සිටිනවා. මෙහි තිබෙන සැලකිය යුතු හා ආණ්ඩුපක්ෂයට අමතක වී ඇති කාරණය නම් 19 වැනි සංශෝධනය නීතියක් බවට පත්වන්නේ 2010-15 මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ව්‍යවස්ථාදායකයේ බහුතරයකගේ අනුමැතියෙන් ඔවුන් ඊට පක්ෂව ඡන්දය භාවිතා කිරීම නිසයි.

පැවැති මහින්ද රාජපක්ෂ පාලනයේ ව්‍යවස්ථාදායකයේ බහුතර බලය නැතිවූයේ නම් හෝ ඔවුන් ඊට සහයෝගය නොදැක්වූයේ නම් 19 වැනි සංශෝධනය ගැන සිතන්නටවත් නොහැකි තත්ත්වයකයි යහපාලන පරිවාස රජය සිටියේ.

එම නිසා 19 වැනි සංශෝධනයේ අඩුපාඩු පෙන්වා දෙමින් හෝ විවේචනය කරමින් එය අහෝසි කිරීමට යාම තුළ ඉතිහාසයේ තමන්ගේ දායකත්වය යටතේ සිදුවූවක් නිවැරදි කර ගැනීමට වර්තමානයෙන් අවස්ථාවක් ඉල්ලා සිටීම වැනි තේරුමක් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම වටා විශේෂයෙන්ම පොදුජන පෙරමුණ ඇතිකර තිබෙන කතිකාව තුළ අන්තර්ගත වෙනවා.

 

ප්‍රශ්නය :

ඔබගේ නිරීක්ෂණයට හසු වන මෙරට සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා මොනවා ද?

කලණ :

මේ සම්බන්ධයෙන් නිරීක්ෂණයන් කිහිපයක් තිබෙනවා. පළමුවෙන්ම දැන් රටේ තිබෙන ප්‍රධාන ධාරාවේ පක්ෂ සියල්ල රටේ සියලුම ජන කොටස් වලට පොදුවේ හා වෙන්වෙන්ව ආමන්ත්‍රණය කරන තැනකට යා යුතුව තිබෙන අතර ඒ පක්ෂ ඒ වෙනුවෙන් සෑහෙන උත්සාහයක් ගනිමින් සිටිනවා.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නය, මුස්ලිම් ජනතාවට ඇති ප්‍රශ්න, මානව හිමිකම් හෝ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් සෑම පක්ෂයකටම අදහසක් ප්‍රකාශ කිරීමට සිදුව තිබෙනවා. එම නිසා ප්‍රධාන පක්ෂ දෘෂ්ටි විද්‍යාත්මකව පුළුල් ප්‍රවේශයකින්හි ජනතාව නියෝජනය කරන ආයතන බවට පත්වෙමින් තිබෙනවා.

එහි අනිත් පැත්ත තමයි ඕනෑම දේශපාලන ක්‍රියාකරුවෙකුට ඕනෑම පක්ෂයක් තුළ ලෙහෙසියෙන් කටයුතු කළ හැකි වීම. එම නිසා ඕනෑම දේශපාලනඥයකුට සාමාන්‍ය කොන්දේසි යටතේ පක්ෂ අතර මාරු වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා තමයි මංගල සමරවීර වැනි අයෙකුට විටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින්නත් තවත් වරෙක එක්සත් ජාතික පක්ෂයේ හා පසුව සමගි පෙරමුණ අතර ලෙහෙසියෙන් එහා මෙහා හුවමාරු වීමට හැකියාව ලැබෙන්නේ. ඉහත කියූ ලෙස පක්ෂ දෘෂ්ටිවාදාත්මකව පුළුල් පරාසයක වැඩ කිරීමට ඒ කාර්ය තවදුරටත් ලෙහෙසි කර තිබෙනවා.

දෙවැනි කාරණය දේශපාලන පක්ෂ ප්‍රාග්ධන හිමිකාරීත්වයක් හා ප්‍රාග්ධනය වැය කළ හැකි ඉතා සුළු පිරිසක් විසින් මෙහෙයවනු ලබන ආයතන බවට පත්වී තිබෙනවා. එවැනි සල්ලිකාරයන් කිහිපදෙනකුගේ හැකියාව අනුව තමයි පක්ෂ වල ක්‍රියාකාරීත්වය සැකසෙන්නේ. එම නිසා දේශපාලන පක්ෂ යනු තවදුරටත් ජනතාවගේ අභිලාෂයන් ඒ ආකාරයෙන්ම නියෝජනය කරන දේශපාලන විභවයක් ලෙස හඳුනගැනීම වැරදියි.

''පක්ෂ දේශපාලනය සම්බන්ධ සාමාන්‍ය පොදු සමාජයට ඇති කැමැත්ත තාමත් තිබෙනවා. දැඩි එපාවීමක් වර්ධනය වී නැහැ. සරල උදාහරණයක් ගත ගතහොත් තවමත් මිනිස්සු තමන්ගේ නියෝජිතයා, පක්ෂය මාරු කරනවාට අකමැතියි.''

තුන්වැනි කාරණය තමයි පක්ෂ දේශපාලනය සම්බන්ධ සාමාන්‍ය පොදු සමාජයට ඇති කැමැත්ත තාමත් තිබෙනවා. දැඩි එපාවීමක් වර්ධනය වී නැහැ. සරල උදාහරණයක් ගත ගතහොත් තවමත් මිනිස්සු තමන්ගේ නියෝජිතයා, පක්ෂය මාරු කරනවාට අකමැතියි. ඇයි එසේ අකමැති? ඔවුන්ට පක්ෂ දේශපාලනය ගැන පාරම්පරිකව එන කැක්කුමක් තිබෙන නිසා. එම නිසාම තමයි තමන්ට කැක්කුමක් ඇති පක්ෂය හැර යන දේශපාලනඥයින් ගැන ජනතාවට අප්‍රසාදයක් ඇති වෙන්නේ.

 

ප්‍රශ්නය :

යම් හෙයකින් 19 වැනි සංශෝධනය අහෝසි කළහොත් ව්‍යවස්ථාදායක-විධායක බල සමීකරණය කෙසේ වෙනස් විය හැකිද?

කලණ :

19 වැනි සංශෝධනය අහෝසි කරනවා නම් එය සිදුවන්නේ පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ. ඔවුන් මුල සිටම පෙන්වා දෙමින් සිටියේ එම සංශෝධනය යටතේ ජනාධිපතිවරයාගේ බලතල සීමා වී ඇති නිසා ප්‍රායෝගිකව ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ අපහසු බවයි. ජනාධිපතිවරයා පවා දේශපාලන රැළි කීපයක දී මේ අපහසුකම ගැන අවධාරණය කර තිබෙනවා.

අනාගතයේ පැමිණෙන ආණ්ඩුවක් නම් ඔවුන් යටතේ විධායක ජනාධිපති ධූරය තවදුරටත් ශක්තිමත් වේවි. අනෙක් අතට අග්‍රාමාත්‍යවරයා හා හා පාර්ලිමේන්තුවට දැන් තිබෙන බලතල සැලකිය යුතු ආකාරයට තනුක වේවි. එහිදී එජාප හෝ සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දැන් තිබෙන ආකාරයටම පවත්වා ගැනීමට උත්සහයක් ගනීවී.

කෙසේවෙතත් ඉදිරි අවුරුදු කිහිපය ඇතුළත ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බල සම්බන්ධය තීරණය කරන පැරාමීටරය ලෙස 19 වැනි සංශෝධනය ක්‍රියා කරනු ඇත.

 

ප්‍රශ්නය :

ඉදිරියේදී පත්වන ආණ්ඩුව හමුවේ ඇති ව්‍යවස්ථානුකූල අභියෝග මොනවාද?

කලණ :

එය තීරණය වන්නේ ඉදිරියට පත්වන ආණ්ඩුව මත. පොදුජන පෙරමුණු ආණ්ඩුවක් පත් වුවහොත් ඔවුන් බොහෝ දුරට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සහයක් දරයි. සිංහල බෞද්ධ ජාතිකවාදය, යුතුකම හා දේශීයත්වය ඉස්මතු වන දෘෂ්ටිමය පදනම එම ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව වීමට වැඩි ඉඩක් තිබෙනවා. අලුත් ව්‍යවස්ථාව නිර්මාණයේ දී ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස අපිට මේ දක්වා පෙනුන බලය බෙදා හැරීම හා සුළු ජාතීන්ගේ ප්‍රශ්න මේ දක්වා ආමන්ත්‍රණය නොවූ වෙනත් ප්‍රවේශයකින් ආමන්ත්‍රණය කිරීමට ඉඩක් තිබෙනවා.

ජනාධිපතිවරයා මීට ඉහත අවස්ථාවකදී ප්‍රකාශ කලා උතුරු-නැගෙනහිරට යහපත් ආර්ථිකයක් සංවර්ධනයක් උදා කරන වග. එම නිසා උතුරු නැගෙනහිර ජනයාගේ ප්‍රශ්න ව්‍යවස්ථාමය ස්වරූපයකට වඩා ආර්ථිකමය ප්‍රවේශයකින් විසඳීමට පොදුජන පෙරමුණු ආණ්ඩුවක් උත්සාහ කරාවි.

ඇතැම් විට මෙයට සමගාමීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට නව සමාජ ආර්ථික අයිතිවාසිකම් මාලාවක් මතුවීමටත් බැරි නැහැ.

යම් හෙයකින් ඉදිරියේදී නිර්මාණය වන ආණ්ඩුව සමගි පෙරමුණු ආණ්ඩුවක් වුවහොත් ඔවුන් ඉදිරියට ඇති ප්‍රධාන ව්‍යවස්ථානුකූල අභියෝගය වන්නේ දැන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තව අවුරුදු පහක් මේ තිබෙන ආකාරයෙන් ම කල්පවත්වා ගැනීමයි.

 

ප්‍රශ්නය :

ප්‍රධාන විපක්ෂය ප්‍රධාන කොටස් දෙකකට බෙදී තිබෙනවා. ආණ්ඩුවට එරෙහිව මේ මොහොතේ ඔවුන්ගේ බලපෑම කෙසේද?

කලණ :

විපක්ෂයේ සැලකිය යුතු බලපෑමක් නැහැ. විපක්ෂයේ ක්‍රියාකාරීත්වය පොදුජන පෙරමුණට ඉතාම වාසි සහගතයි. ක්‍රිකට් භාෂාවෙන් කිවහොත් ඇත්තටම දැන් තරගය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර අවසන්. අපි නොදන්නෙ එකම දෙය එම ජයග්‍රණය ලකුණු කීයකින්ද? කියන එක පමණයි. මැතිවරණය පැවැත්වෙන්නේ එම ජයග්‍රහණය ප්‍රතිඵලය වශයෙන් ස්ථීරවම ප්‍රකාශ කර ගැනීමට පමණයි.ඒ නිසා මේ කාලය තුළ විපක්ෂයේ බලපෑම සාධනීය බලපෑමක් කරනු ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ.

 

ප්‍රශ්නය :

රාජ්‍ය පාලනය වේගයෙන් මිලිටරීකරණය වන බවට චෝදනා එල්ල වනවා. එහි අනාගත ප්‍රවණතාවන් මොනවා ද?

කලණ :

රාජ්‍ය බලය මිලිටරිකරණය වීම ඉතා සංකීර්ණ ප්‍රශ්නයක්. එහි පැතිමාන විශාල ප්‍රමාණයක් තිබෙනවා. අද ලංකාවේ සිදුවෙමින් පවතින මිලිටරිකරණය පුදුම වෙන්නට දෙයක් නෙවෙයි. එයට ප්‍රධානතම හේතුව තමයි මිලිටරිය සම්බන්ධයෙන් බහුතර සිංහල ජන සමාජය තුළ ඉතා සුබවාදී චිත්‍රයක් ඇඳී තිබීම. 

යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ බහුතර සිංහල බෞද්ධ ජන සමාජය තුළ මිලිටරිය ගැන යහපත් ආකල්පයක් සූත්‍ර ගත වෙනවා. එය වැළඳගන්නා තැනකට සිංහල බහුතරය ගිහින් තිබෙනවා.

අනෙක් අතින් මිලිටරිය කරා ජනතාව සිය විශ්වාසය රඳවා ගැනීමට දශක ගණනාවක් පුරා සාම්ප්‍රදායික දේශපාලනඥයාගේ නොහැකියාව හුඟක් දුරට බලපා තිබෙනවා. එහි සාමාන්‍ය අදහස තමයි දේශපාලඥයන්ට රට සංවර්ධනය කළ නොහැකියි කියන මතය.

ඒ නිසා ප්‍රායෝගිකව වැඩක් කළ හැකි පුද්ගලයන් තෝරා ගැනීමට යෑමේ දී මේ මිලිටරිය ගැන දැඩි විශ්වාසයක් ජනතාව තුළ ඇති වී තිබෙනවා.

ඒවගේම පසුගිය අවුරුදු පහ තුළ යහපාලන රජයේ කැපී පෙනෙන නොහැකියාව හා අවිනිශ්චිත තත්ත්වය දැන් තිබෙන මිලිටරිය රාජ්‍ය පාලනය තුළ ස්ථානගත වීම කෙරෙහි ප්‍රබල ලෙස බලපා තිබෙනවා. මේ සියලුම කාරණා අද තිබෙන මිලිටරියේ ක්‍රියාකාරීත්වයට වගකිව යුතුයි. හුඟක් මිනිසුන් මේ මිලිටරිය හුඟාක් දුරට අනුමත කරනවා.

එහෙත් රාජ්‍ය මිලිටරිකරණය අවශ්‍ය යැයි විශ්වාස කරන පිරිස අවබෝධ කරගෙන නැති දෙය තමයි කොතරම් දුරට ජනතාව ගොඩනැගෙමින් තිබෙන මිලිටරිය අනුමත කරයිද? කියන කාරණය.

''ඇත්තටම මෙරට බහුතරය මිලිටරියට ඔය කියන තරමට කැමතිනම් 2010දී සරත් ෆොන්සේකා තෝරාගන්න තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ. එයින් පෙනෙන්නේ මිනිසුන් තුළ මිලිටරීකරණය ගැන වසඟයක් තිබුණ ද පැරණි පන්නයේ මිලිටරි පාලනයක් ජනතාව අනුමත කරන තත්ත්වයට යන්නේ නැහැ. ''

වෙනත් වචනවලින් කිව්වොත් ලංකා සමාජය මිලිටරියට කොතරම් ආශා කරත් මම තවම හිතනවා එක්තරා මොහොතක් එනවා ජනතාව විසින්ම ඔය මිලිටරිය ප්‍රතික්ෂේප කරන. ඇත්තටම මෙරට බහුතරය මිලිටරියට ඔය කියන තරමට කැමතිනම් 2010දී සරත් ෆොන්සේකා තෝරාගන්න තිබුණා. එහෙත් එසේ වුණේ නැහැ. එයින් පෙනෙන්නේ මිනිසුන් තුළ මිලිටරීකරණය ගැන වසඟයක් තිබුණ ද පැරණි පන්නයේ මිලිටරි පාලනයක් ජනතාව අනුමත කරන තත්ත්වයට යන්නේ නැහැ.

එය ලංකා සමාජයේ සුවිශේෂී ලක්ෂණයක්. අනාගතයේ දී මිලිටරීකරණය ජනතාව විසින්ම වර්ජනය කරන තැනකට යා හැකියි. ඒ වර්ජනය දැනෙන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මුල් වන්නේ විපක්ෂය නොවෙයි. මිලිටරියට විරෝධ එන්නේ රාජ්‍ය ඇතුලින්මයි. සමහරවිට එය රාජපක්ෂ පවුල ඇතුළින්ම එන්නත් පුළුවන්. ඒ නිසා රාජ්‍යය මිලිටරිකරණයත් මර්දනයත් ඉදිරියේදී දැකගන්න ලැබුණත් එය සාර්ථකව පවත්වා ගැනීම අපහසු කාර්යයක්.

සංවාද සටහන : ධනුෂ්ක සිල්වා | Dhanushka SilvaDanushka Silva

(මෙම සංවාදය 2020-07-19 දින මුල්වරට අනිද්දා පත්‍රයේ පළ විය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්