දේශපාලන හේතු මත හත්අවුරුද්දක් සිරගතව සිටි ප්‍රියන්ත ලියනගේ, බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ, ස්වකීය අදහස් නිදහස් කළේ පුවත්පත් සඟරා පිටු මතට ය. සිතිජය සඟරාව, ලංකා ඉරිදා සංග්‍රහය, ජනරළ හා සත්හඬ පුවත්පත් මෙන් ම කැරැල්ල සඟරාව ද ඔහුගේ පිය සටහන් රැඳුණු අකුරු නිම්නයන් වූයේ ය.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන දේශපාලන කලාපයන් පසුකර ආ ප්‍රියන්ත ලියනගේ, අදත්, වඩාත් නවීකාරක දේශපාලන වැඩබිම් සොයා ඇවිදයමින් සිටියි. ඒ අතරවාරයේ ඔහු අප වෙතට 'කොට තුවක්කු' එල්ල කරයි. ජූලි පහළොස් වෙනිදා සවස 3.30ට මහවැලි කේන්ද්‍රයේදී 'කොට තුවක්කු ' පත්තු වීමට නියමිතය.
එම කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් lankatarget.com වෙබ් අඩවියේ සංස්කාරක තුසිත පතිරණ, කතුවරයා සමග කළ සාකච්ජාවක් පහත පළවේ.
''සකල දේශවාසී නිර්ධනයිනි එක්වව් කියාපු පක්ෂයක් ජාතිය ආමන්ත්‍රණය කරන්න ගත්තා. ඒ නිසාම අපේ අර තිබුනු දිගු දැක්ම පටු වුනා'' යයි එහිදී කතුවරයා අවධාරණය කරයි.
පොතේ නම 'කොට තුවක්කු' මේකත් එක්ක ඔබේ ජීවිතේ යම් දේශපාලනික හැඩයක් ගැන කියවෙනවා නේද ?
ඔව්, විශේෂයෙන් කියන්න ඕනේ මේ පොත මම අතින් නිර්මාණය වෙන පළමු පොත. කතාව වසර දෙකක් තිස්සේ සකසමින් තිබුනා. මම නමකුත් දැම්මා. ඒත් කොට තුවක්කු කියන නම යෝජනා වෙන්නේ මොලා සෙනෙවිරත්නගෙන් ඔහු තමයි පිටකවරය සමග පොතේ නම නිර්මාණය කරන්නේ.
ඔබ ඇසුවා වගේම නිරත දේශපාලනයේ බොහෝ තැන් මෙහි කියවෙනවා. එහි ඉතිහාසයේදී යම් තැනකදී අපිට නිවැරදි ඉලක්ක ගන්න බැරි වෙනවා. ඉලක්ක මඟ හැරෙනවා. ඉලක්කයන් දමායනවා . මේ කියන කරුණු සමග පොත් නම ගැලපෙනවා. වගේම අන්තර්ගතයට සාධාරණයක් ඉටු කරනවා.
නිරත දේශපාලන ක්‍රියාවලියේදී ඇත්තටම දිග තුවක්කු කොට වුනාද ? නැතිනම් කොට තුවක්කු හංගාගත්තාද ?
මම වමේ ව්‍යාපාරයේ නිරත වුනු කෙනෙක් විදියට සහ සක්‍රීය දායකත්වයක් දක්වමු කෙනෙක් විදියට අපට දිගු දැක්මක් සහිතව කටයුතු කිරීම නිසාම අද දකින දෙයක් තියෙනවා. මෙය අවාධරණය කළ යුතුයි, එදා නොවෙයි අද දකින දේ ලෙස, එහිදී උපාය මාර්ගික වැරදි නිසා විප්ලවය වෙන පාරක ගියා. ඒ නිසාම තමයි එල්ලය වරදින්නේ, සකල දේශවාසී නිර්ධනයිනි එක්වව් කියාපු පක්ෂයක් ජාතිය ආමන්ත්‍රණය කරන්න ගත්තා. ඒ නිසාම අපේ අර තිබුනු දිගු දැක්ම පටු වුනා. මේ පටුවීම නිසා තමයි බොහෝ දේවල් රටට හා ව්‍යාපාරයට අහිමි වෙන්නේ.
කොහොම නමුත් කිව යුතු දෙයක් තියෙනවා මේ ප්‍රශ්නය සමගම මෙහි කාල පරාසයක් හෝ සංසිද්ධි සම්බන්ධයෙන් වන නිශ්චිත කිරීම් සදහා මේ නිර්මාණය භාවිතා කරන්න එපා කියන එක මොකද වාමාංෂික ව්‍යාපාරයේ අඩංගුවක් සහිත වුවත් ස්ථානීය හෝ කාල පරාසයන්ගේ වන සිද්ධි මූලිකව මෙම කෘතිය ගොඩ නොනැගෙන නිසා මෙය ප්‍රබන්ධයක් අනෙක් අතර සත්‍ය සිදුවීම් පදනම් කරගත් ප්‍රබන්ධයක් .
ඔබ මෙමගින් කාට හෝ එසේ නැතිනම් සංවිධානයකට වෙඩි තබනවාද ?
කිසිසෙත්ම නෑ.. මෙහිලා අදාළ දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ කිසිවෙකු වැරදිකරුවෙකු කිරීමට හෝ නිවැරදි කරුවෙකු කීරීමට මම මෙය යොදාගත්තේ නෑ. මෙය සාහිත්‍ය කෘතියක් ලෙස මිස ඇරියස් කවර් කිරීම සදහා මා නිර්මාණය කරන ලද්දක් නොවෙයි. ඇත්තටම දේශපාලන ඇරියස් පොතකින් කවර් කරන්න බෑ. මෙය මිනිහෙක් අමතන මාධ්‍යයක් ඒ නිසා කිව යුතුයි වෙන ඕනෑම දෙයකින් එය කල හැකි වුනත් සාහිත්‍ය කෘතියකින් එය කළ නොහැකියි. සාහිත්‍යය කියන්නේ සහිත බව හිස්ව තිබෙන දෙයක් සාහිත්‍යකරුවා ජරාවෙන් පුරවන්නේ නෑ ..යහපත් සමාජ ආකල්ප හා දේවල්වලින් පිරවීමයි සාහිත්‍ය කරුවාගේ වගකීම .
මේ නිසාම මට මම දකින විදිය සහ මගේ පැවැත්ම අදාළ කරගෙන නෑ මෙම කෘතියකට දිග අරින්න. මට ඕන වෙන්නේ ප්‍රබද්ධ මිනිසුන් අතරේ වන නිර්මාණයක් ලෙස මෙය පැවතීම විනා කිසිවෙකුට වෙඩි තැබීම සදහා නොවෙයි.
මම කියන්නේ තමන්ගේ පැත්තට මෙය එල්ල කර බලන්න. කොට තුවක්කු කාටවත් එල්ල කරන්නේ නැතිව තමන්ගේ පැත්තට එල්ල කර බලන්න කියලයි මම මෙය හරව ගෙන තියෙන්නේ මගේ පැත්තට ඒ නිසා වෙන අය වෙඩි කනවා නම් වෙඩි කන්නේ ඒ අය සමග මාද ඇතුලුවයි. ඒ නිසා මම ආදරෙන් ඉල්ලන්නේ මෙය වෙනත් අයට චෝදනාවක් සදහා නොව තමන් නිවැරදිවීම සදහා කියවා ගන්නා ලෙසයි.
අනෙක් පැත්තෙන් ආදරයේ දේශපාලනය සමාජගත කිරීම මගේ අරමුණයි. ආදරේ දේශපාලන පන්ති වෛරයෙන් හෝ දෙයකින් හෝ සමාජ යහපත් වෙන්නේ නෑ. ආදරේට තමයි ලෝකය දිනන්න පුළුවන් ආදරේට තමයි ලෝකය හදන්න පුළුවන්. තනි යායක් කරන එක කරන්න පුළුවන් . වෛරී දේශපාලනයට පුළුවන් ලෝකය බෙදන්න ලෝකය නසන්න ඒ නිසා ආදරය පරිසරයට හොදයි . ආදරේ විදින්න හොදයි. ඒ නිසා දේශපාලනයේ ඉලක්කය විය යුත්තේ ආදරේ දේශපාලනයයි. ඒ නිසා ආදරේ දේශපාලනය සමාජ ගත කරන්න දරපු උත්සායහක් මේ පොත ඒක සාර්ථක වුනාද නැද්ද කියන එක පාඨකයාට භාරයි.
ඔබ කියන ආදරේ දේශපාලනය වර්තමාන දේශපාලනයේ දක්නට ලැබෙනවාද ? ඔබ නියෝජනය කළ වාමාංෂික දේශපාලනය තුළ විශේෂයෙන් ?
භාවිතාව එකක් වචන කියන්නේ එකක්. ඒ නිසා භාවිතාව තුළ වර්තමානයේ මෙය දක්නට ලැබෙන්නේ නෑ ඒක අපි දන්න සරල කාරණාවක්. අනෙක මට අවශ්‍ය නෑ මේ මගින් කිසියම් දේශපාලනයට පහර ගැසීමට හෝ එයට නිග්‍රහ කිරීමට අපි දේශපාලනයේ නිරත වන විට කිසියම් සංවිධානයක හෝ පක්ෂයක විනයට නතු විය යුතුයි. විනයට යටත් විය යුතුයි. සංවිධාන ක්‍රමය තුළ යම් ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් සංවිධානයෙන් පිටයනවා නම් ඉන් ඔහු ද්‍රෝහියෙක් විය හැකිය. ඒ සංවිධානය අතුලත සිටින විට සාධාරණ වන දෙයක්.
වමේ දේශපාලනයක හෝ පෙඩරල් වාදය කතා කළාට ඇත්ත පෙඩරල් වාදය එහි නෑ සමහර විට එය තුළින්ම එයට වලංගුතාවයක්නැති කරල තියෙනවා ඒ නිසා මේවා තුළ මේ කතා කරන විනය නෑ. මේ තත්වයන් දෙකම කල්පනා කරමින් තමයි මේවාට විවේචන ගෙන ආ යුත්තේ. නැත්නම් අපි අපේ තියෙන හුදු වෛරය පිරිමසා ගැනීම සදහා පොත් ලියනවා නම් ඒක තරම් නරක වැඩක් තවත් නෑ. මම මේ තුළ වුවත් විවේචනයක් ගේනවා නම් ගේන්නේ දේශපාලන දෘෂ්ටියට, දැක්මට. එහෙම නැතිව සංවිධානයට ගරහන්න හොද නෑ.
මම විවේචනය ගේන්නේ එයට එය ඒ අයට විතරක් තියෙන දෙයක් නෙවෙයි මටත් තියෙන දෙයක් මම මේ කවර් කරන්නේ මටත් තියෙන ඇරියස් එකක්. මට මං ගැන විවේචනයක් තියෙනවා ජාතිවාදී දේශපාලනයකට සම්බන්ධවීම පිළිබදව.
පත්තර කාරයෙක් විදියට සමාජයට සමාජය දකින්නේ කොහොමද ?
අපේ තිබුනානේ මතයක් දේශපාලන පක්ෂවලට යහපත් දෙයක් කරන්න පුළුවන්, පුවත්පත්වලට සමාජයට යහපත් දෙයක් කරන්න පුළුවන් කියල. නමුත් එහෙම දේවල් නෑ. මේ බිස්නස් එකක් යන්නේ. ඒවා ඇතුලේ කැරලිකාරයෝ හෝ විමුක්තිකාමීන් සොයන්න බෑ. මේ යන්නේ වෙන දෙයක්. ඒ නිසා සර්ව සුබවාදී සිහිනවල ඉදල පත්තරකාරයෙක් විදියට වැඩ කරන්නේ නෑ.
මේ ඔබේ පළමු කෘතිය මින් ඉදිරියටත් ඔබ සාහිත්‍යමය පැත්තෙන්ද සටන් කිරීමට සූදානම් වන්නේ ?
මින් ඉදිරියට කෘතියක් ලියයිද දන්නේ නෑ . නමුත් මට මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වෙලා තියෙන බව කිව යුතුයි. නමුත් මම මේ තරඟයට හෝ කෘතියක් විකුණා ගැනීමේ පදනමේ නෑ කවදාවත්. මට යමක් සමාජයට කිව යුතුව තිබෙනවා නම් මම එය මේ කෘති හරහා ඉදිරියේදිත් එළි දක්වාවි. එය නමුත් දේශපාලන ඉලක්කයකට පහර ගැසීමේ පදනමින් කරන්නේ නෑ .
තරුණ කාලේදී කරපු කියපු දේවල් සම්බන්ධයෙන් ඕනෑම අයෙක් මැදිවියේ හෝ වයෝවෘද්ධව කලකිරීමක හෝ පසු තැවීමක පසුවෙනවා.. එවැනි කෙනෙකුට ඒ සම්බන්ධයෙන් පශ්චත්තාපය පිටකරන ආරණ්‍යක් වගේ තැනක්ද සාහිත්‍යය කියන්නේ .
මම මෙහිදී එක් දෙයක් කිව යුතුයි. මම ජීවිතේ කරපු දේවල් සම්බන්ධයෙන් පසු තැවෙන්නේ නෑ විශේෂයෙන් වාමවාදී දේශපාලනයේ නිරත වීම සම්බන්ධයෙන් මොකද මම බබෙක් නෙවෙයි . මාව රවට්ටල අරන් ගියේ නෑ කවුරුවත් ඒ මගේ කැමැත්තෙන් කරපු දේවල් ඒ නිසා කාලය අපරාදේ කරපු දේවල් නිරර්තකයි කියල මම කවදාවත් පසු තැවෙන්නේ නෑ. එය මම අනාගතයේදී කියන්නෙත් නෑ අද කියන්නෙත් නෑ. මේ මම ගිය අඩිපාරේ ගිය ගමනක්. බොහෝ විට වාමාංෂික ව්‍යාපාරවල ඉදල එළියට ගියපු අය මෙවැනි චෝදනාවන් එල්ල කරනවා.
නමුත් මම මෙහිදී දෘෂ්ටිවාදී ප්‍රශ්නයක් දකිමින් ඉන්නවා එය මට දැනෙන දෙය. දෘෂ්ටිමය ගැටළුවකට යන්නේ ආත්මීය කරුණු නිසා හැබැයි ප්‍රශ්නයක් තිබෙනවා, ආත්මීය කාරණාව දෘෂ්ටිවාදී දේශපාලනයට යාවන විට ආත්මීය කාරණාවට ඉඩ ලැබෙනවද කියන එක? මේ දයලෙක්තිකය හරියට තේරුම් ගත යුතුයි. ඉන් පසුව වෙන දේ තමයි. ආත්මීය කාරණාවලදී දෘෂ්ටිවාදයට කොටු වන අපට, ආත්මීය කාරණාවලට ඉඩක් නොලැබෙන විට නැවත දෘෂ්ටිවාදී කරුණුවලින් පිට පනින්න සිද්ධ වෙනවා. බොහෝ විට වෙනව ඇත්තේ මෙය කියල තමයි මට හිතෙන්නේ.
ඕනෑම කෙනෙකුට ආත්මීය කාරණා තියෙනවා මම මේ කියන්නේ මරණෙන් මතු ආත්මයක් පිළිබදව වන විඥානවාදී කෑල්ල නෙවෙයි. ඕනෑම මිනිහෙකු තුළ තියෙන ආත්මීය හැගීම් තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒ ව්‍යාපාරයේ මිනිස්සු රදව ගන්න පහසුයි.
සමහර වෙලාවට මිනිස්සු ව්‍යාපාර හැර යන්නේ මහ ලොකු කාරණා නිසා නෙවෙයි. ඉතා කුඩා ආත්මීය කාරණා නිසයි. එතැනදී මිනිස්සුන්ගේ ආත්මීය කාරණා සම්බන්ධයෙන් සානුකම්පිතව බැලිය යුතුයි. එහෙම වුනාම ව්‍යාපාර තුළ මිනිස්සු රදව ගන්න පහසුයි. එසේ නැතිව මිනිස්සු ෆ්‍රේම් කරල ඒ ෆ්‍රේම් එක ඇතුලේ මිනිස්සු රදව ගන්න ගියාම ඒ ෆ්‍රේම් එක පුපුරණවා . ව්‍යාපාරවලට පැවැත්මක් නැති වෙනවා.
අපි බැලුවොත් මායාකෞස්කි වගේ අය විප්ලවයේ කවියා නමුත් එම ව්‍යාපාරවලින්ම මායාකෞස්කි ද්‍රෝහියෙක් කරනවා . මොකද දෘෂ්ටිවාදය ඇතුලේ ඔහුව කොටු කරන්න යනවා. සාහිත්‍යකාරයා කියන්නේ දෘෂ්ටිවාදී ප්‍රේම් එකට කොටු කරන්න බැරි මිනිහෙක්.
පවුලෝ කොයියෝ ආරම්භයේ වාමාංෂිකයෙක් ඉසබෙල් අයියන්දේ ආරම්භයේ වාමාංෂිකයෙක්, ගාෂියර් මාකේස් ආරම්භයේදී වාමාංෂිකයෙක්, හැබැයි ඔවුන් ඉන් පස්සේ කළේ මොනවද දැන් කරන්නේ මොනවද ? නිසා තමයි සාහිත්‍යකාරයා දෘෂ්ටිවාදයක් ඇතුලේ කොටු කරන්න ගියාම ඔවුන්ගේ හෘදය සාක්ෂිය සමග ගැටළුවකට මුහුණ දෙනවා.
වාමාංෂිකයාට වාමාංෂිකයා කියවා ගන්න නොහැකි වුනාම ආත්මිය සංදර්ශයක් තුළ එතැනින් පස්සේ ඒ සාහිත්‍යකාරයා තමන්ගේ නිදහස සොයා යනවා මේකයි ඔබ ඇසූ ප්‍රශ්නයට සරල පිළිතුර.
(උපුටා ගැනීම - lankatarget.com)