මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය එක්ක එක්වුණොත් පොදුජන පෙරමුණට දැනට තියෙන ඡන්ද ටිකත් නැතිවෙන බව පොහොට්ටු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රීක් නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.


සති අන්ත 'අනිද්දා' පුවත්පත සමග පැවති සාකච්ජාවක දී ඔහු එම කාරණය අවධාරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි විශ්වාසයක් නැති නායකයෙක්ට නැවත රටේ මිනිස්සු ඡන්දය නොදෙන බවත් ඔහු පවසයි.
'අනිද්දා' පුවත්පතේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සමග පැවති එම සාකච්ජාව පහත පළවේ.

අනිද්දා :
මහින්ද අමරවීර මන්ත්‍රීවරයා කියා තියෙනවා 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ කියන සන්ධාන නාමයට ශ්‍රීලනිප-ශ්‍රීලපොපෙ දෙපාර්ශවය එකඟ වෙලා තියෙන බව. ඒ ගැන අදහස මොකක්ද?
ප්‍රසන්න :
ගැටලුව තියෙන්නේ සන්ධානයට දාන නමේ නෙවෙයිනේ. සන්ධානගත වෙන්නේ කුමක් අරමුණු කරගෙනද කියන එකයි ගැටලුව. ඔවුන්ගේ කොන්දේසි දාන ක්‍රමවේදයට අපි එකඟ නැහැ. උදාහරණයකට පළාත්පාළන මැතිවරණය වෙනුවෙන් අපිත් එක්ක සන්ධානගත වූ පක්ෂවලට ලොකු ගැටලු තිබුණේ නැහැ. ඔවුන් ලොකු කොන්දේසි දැම්මේ නැහැ. ශ්‍රීලනිපයත් සන්ධානගත වෙනවා නම්, කොන්දේසි විරහිතව එන්න ඕනෑ. ජනාධිපති අපේක්ෂකයා කාගෙද අගමැති කාගෙද කියලා කියන්නේ නැතිව ආණ්ඩුව පෙරළීම සඳහා එන්න ඕනෑ. එහෙම නැතිව කොන්දේසි දාලා එනවා නම් එකඟ වෙන්න බැහැ.

අනිද්දා :
ශ්‍රීලනිපය කියන්නේ පොහොට්ටුවට සමාන වටිනාකමක් ඔවුන්ටත් ලැබෙන්න ඕනෑ බව. ශ්‍රීලනිපය යටකරගැනීමට‌ පොහොට්ටුව උත්සාහ කරනවාද?

ප්‍රසන්න :
අද ශ්‍රීලනිපය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලයි තියෙන්නේ. ඒ බව පළාත් පාලන ප්‍රතිඵලවලින් පේනවා. ඔවුන්ගේ මන්ත්‍රීවරුන් ආසන දින්නේ නැහැ. ඔවුන් ආවේ සමානුපාතික ක්‍රමය හින්දා.

අනිද්දා :
පළාත්පාළන මැතිවරණයෙන් ශ්‍රීලනිප ශක්තිය හරි හැටි මනින්න බැරි බව ඔවුන් කියනවා නේද?

ප්‍රසන්න :
එහෙම එකක් නැහැ. 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයේ තියෙන්නේ දත්ත. ඒකෙන් පෙන්නුවේ රටේ ජනතාවගේ අවශ්‍යතාව. ඔවුන් වෙනම තරඟ කළා. දින්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා.  ඔවුන් 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ ජාතික ආණ්ඩු හදන්න ගියා. ඉන් පස්සේ රටේ ආර්ථිකය, කෘෂිකර්මය හා ජාතික ආරක්ෂාව බිඳවැටුණා. මේ තත්වය හින්දා මිනිස්සු අතර ජාතික ආණ්ඩුව ගැන අවිශ්වාසයක් ඇති වුණා.  ඒ අවිශ්වාසය ශ්‍රීලනිපය කෙරෙහිත් තියෙනවා. ආණ්ඩුව විශ්වාස කරන මිනිස්සු මේ වෙද්දී පොදුජන පෙරමුණ වටා ගොනුවෙමින් ඉන්නවා.

අනිද්දා :
ශ්‍රීලනිපය නැතිව තනිව පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන් බව විශ්වාස කරනවාද?

ප්‍රසන්න :
නැහැ. ශ්‍රීලනිපය නැතිව පුළුවන් බව කියන්නේ නැහැ. ඒත් ශ්‍රීලනිපය කියන්නේ මොකක්ද කියලා අපි බලන්න ඕනෑ. ශ්‍රීලනිපය කියන්නේ දැන් ඔය පක්ෂයේ නායකයෝ විදිහට ඉන්න කිහිප දෙනා නෙවෙයි. ඩාර්ලි පාරේ කාර්යාලයත් නෙවෙයි. ශ්‍රීලනිපය කියන්නේ පාක්ෂිකයෝ. අපිත් ශ්‍රීලනිප පාක්ෂිකයෝ විදිහටයි කටයුතු කළේ. පාක්ෂිකයෝ එකිනෙකා ශ්‍රීලනිපයෙන් අයින් වෙලා දැන් පොදුජන පෙරමුණ එක්ක එකතුවෙනවා. ශ්‍රීලනිප නායකයෝ තනතුරු බලාගෙන තනතුරු ඉල්ලමින් එන්න හදනවා. ඒත් ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ඕනෑ මේ ආණ්ඩුව ගෙදර යන්න. ගමේ මිනිස්සු දන්නවා ඒක කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමට කියලා. ඒ නිසා ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයෝ තව තවත් අපිත් එක්ක එකතුවෙමින් ඉන්නවා.

අනිද්දා :
එහෙත් ඔවුන් කියන්නේ මේ වෙද්දී කුඩු විරෝධී සටන වගේ ව්‍යාපෘති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යම් ජනප්‍රියත්වයක් ලැබිලා තියෙන බව නේද?

ප්‍රසන්න :
ඔය කියන විදිහේ ජනප්‍රියත්වයක් තිබුණා නම් ජනාධිපතිවරයාට පළාත්පාළන මැතිවරණයේදී ජයගන්න තිබුණානේ. දැන් කුඩු ගැන කතාකරනවා. කුඩු ව්‍යාපාරය මේ තරම් ව්‍යාප්ත වුණේ වෙන මොනවත් නිසා නෙවෙයි, මේ ආණ්ඩුව ආවාට පස්සේ පාතාලයෝ එළියට ආවා. කු‌ඩු ආවේ ඉන් පස්සේ. මේ ආණ්ඩුව කුඩු සම්බන්ධයෙන් හරි හැටි ක්‍රියාත්මක වුණේ නැහැ. එහෙම පසුබිමක කු‌ඩු නැතිකරන  වැඩපිළිවෙලක් ගෙනියන බව කීවාට ඒක සාර්ථක වුණාද කියන ගැටළුව තියෙනවා. 

ආසියාවේ කුඩු මධ්‍යස්ථානයක් විදියට අද ලංකාව හඳුන්වනවා. ඔය සන්දර්ශනය කළ පලියට ජනාධිපතිවරයාට එක්වරම ජනප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. ජනතාවට මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගැන ප්‍රසාදයක් නැහැ. අනෙක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන ඔහුට චෝදනා තියෙනවා. රටේ මිනිස්සු කියන්නේ ජනාධිපතිවරයා වගකීමක් නැතිව කටයුතු කළා කියලයි. එවැනි විශ්වාසයක් නැති නායකයෙක්ට නැවත රටේ මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ.

අනිද්දා :prasana 1

ඒත් ජනාධිපතිවරයා කියන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිලධාරීන්ගේ වැරැද්දක් කියලා නේද?

ප්‍රසන්න :
ඕක අපූරු තර්කයක්නේ. වැලිවේරියේදී, කටුනායකදී මහින්ද වෙඩි තැබුවා කියලානේ කිව්වේ. ඒ කාලේ සිද්ධ වෙච්ච අපරාධ රාජපක්ෂලා කළ බව කිව්වානේ. එහෙම කියලා තමයි  ජනාධිපතිවරයා බලයට පත්වුණෙත්. දැන් ඔහු ජනාධිපතිවරයා විදිහට වගකීමෙන් ගැලවෙන්නේ කොහොමද? ඉන්දියාවෙන් සම්පූර්ණ තොරතුරු ලැබිලා තිබුණා. පුද්ගලයෝ කවුද, හැඳුනුම්පත්, පදිංචිය, දුකතන අංකය, පාවිච්චි කරන වාහන පිළිබඳ දැනුවත් කරලා තිබුණා. ඒත් ආණ්ඩුව ඒ පිළිබඳව කටයුතු කරලා තිබුණේ නැහැ. 

මේ පිළිබඳ වගකීම තියෙන්නේ වෙන කාටවත් නොවෙයි. ජනාධිපතිවරයාටමයි. රාජ්‍ය නායකයාටමයි. රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාටමයි. ආණ්ඩුවේ ප්‍රධානියාටමයි. ඔහු මේවා සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න තිබුණා. එක එක්කෙනාගේ පිට දාලා මේ වගකීමෙන් ගැලවෙන්න ජනාධිපතිවරයාට බැහැ.

අනිද්දා :
ජනාධිපතිවරයා ආණ්ඩුව විවේචනය කිරීම ගැන ඔබ හිතන්නේ කුමක්ද?

ප්‍රසන්න :
ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිවරයා. ඊලඟට ඉන්නේ අගමැතිවරයා. ඔවුන් ඔක්කෝම අත්වැල් බැඳගෙනයි ආණ්ඩුව හැදුවේ. ජවිපෙ, දෙමළ සන්ධානය වගේ පාර්ශව බොහොමයක් ජාතික ආණ්ඩුවේ කොටස්කරුවෝ. වැඩේ වැරදුනාම එකිනෙකා බෝල පාස් කරගෙන හරියන්නේ නැහැ. සියලු දෙනාම වගකියන්න ඕනෑ.

අනිද්දා :
මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රීලනිපය එක්ක එක්වුණොත් පොදුජන පෙරමුණට දැනට තියෙන ඡන්ද ටිකත් නැති වේවි කියලා ඔබ පෞද්ගලිකව විශ්වාස කරනවාද?

ප්‍රසන්න :
පෞද්ගලිකව විතරක් නොවෙයි, රටේ මිනිස්සුත් මාත් එක්ක ඒ බව කියලා තියෙනවා. ඒ මිනිස්සු මෛත්‍රී ජනාධිපතිතුමා කෙරෙහි දැඩි විරෝධයකින් ඉන්නේ. සමහර රැස්වීම්වලදී කියනවා ජනාධිපතිතුමා එක්ක අපි එකතු වුණොත් අපට ඡන්දය දෙන්නේ නැති බව. අපි ජනාධිපතිතුමා එක්ක එකතු  වුණොත් අපට ඡන්දය දෙන්නේ නැහැ.

අනිද්දා :
මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයකදී ඔබේ කණ්ඩායමේ සහයෝගය ලැබීමේ ඉඩක් තියෙනවාද?

ප්‍රසන්න :
මම නම් හිතන්නේ නැහැ කාට වුවමනාව තිබුණත්, මේ රටේ ජනතාවට මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කරන්න උවමනාවක් ඇති කියලා. ඒ වගේම මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහව අගමැති කරන්න නැවත බලාපොරොත්තු වෙන බවත් විශ්වාස කරන්නේ නැහැ. ජාතික ආණ්ඩුවේ හිටපු කිසිම කෙනෙක්ට මේ ආණ්ඩුව බාර දෙන්න ජනතාව ලෑස්තිවෙලා ඉන්නවා  යැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒ තරමට මේ ආණඩුව රට විනාශ කළා.

අනිද්දා :
මහින්ද රාජපක්ෂ මහතා කීවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නම් මැතිවරණයකදී සහයෝගය දෙන්නේ නැති බව ඔබ කියා තිබුණා නේද?

ප්‍රසන්න :
පැහැදිළිවම මම ඒක කියනවා. අපේ ගම්වල රැස්වීම් තියත්දී මිනිස්සු කියන කතාවක් ඒක. ඔවුන් කියනවා මහින්ද මහත්තයා කියන ඕනෑ දෙයක් කරන්න ලැහැස්තියි, ඒත් මේක නම් බැහැ කියලා. අපේ පාක්ෂිකයන් මහින්ද රාජපක්ෂ මහතා ගැන ලොකු භක්තියක් තියෙන උදවිය. ඒත් මහින්ද මහත්තයා කිව්වත් මෛත්‍රීට උදවු කරන්නේ නැති බව ඔවුන් කියනවා.

අනිද්දා :
එහෙම පසුබිමක ශ්‍රීලනිපය හා ශ්‍රීලපොපෙ සාකච්ඡා ඉදිරියට යෑම ගැන ඔබ හිතන්නේ කුමක්ද?

ප්‍රසන්න :
සාකච්ඡා වුණ කරුණු පිළිබඳව අපි දැනුවත් වෙලා නැහැ. පොදුවේ රට ගැන හිතලා එකඟතාවන්වලට එනවා නම් අපට සම්බන්ධවෙන්න පුළුවන්. ඒත් අපේක්ෂකයන්, නම, ලකුණු පිළිබඳව කතාකරමින් ඔවුන් පොහොට්ටුව දුර්වල කරන්න හදනවා නම් එකතුවෙන්න පුළුවන් කමක් නැහැ. අපි දකින්නේ නැහැ ඔවුන් අවංකව සාකච්ඡාවලට සහභාගි වෙලා තියෙන බව. ගමේ ඉන්න ශ්‍රීලනිප පාක්ෂිකයාට අපිත් එක්ක එක්කහු වෙන්න කිසිම බාදාවක් නැහැ.

අනිද්දා :
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තනිවම ජනාධිපතිවරණයට ආවොත්, ඒකෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණනට ලැබෙන්න ඉඩ තියෙන ඡන්ද දෙකඩ වේවි නේද? Prasanna 2

ප්‍රසන්න :
නැහැ. රටේ ප්‍රධාන මැතිවරණයකදී දෙපැත්තකට විතරයි බෙදෙන්නේ. තුන් හතර පැත්තකට බෙදෙන්නේ නැහැ. ශ්‍රීලනිප පාක්ෂිකයොන්ගෙන් බහුතරයක් අපේ පැත්තට එකතු වෙනවා. දෙමළ සන්ධානය වගේ කණ්ඩායම් යූඇන්පියත් එක්ක එකතු වේවි. ත්‍රස්තවාදයට විරුද්ධ රටේ සියලු ජනතාව අපේ කඳවුර එක්ක එකතුවේවි. ඒ බෙදීම ඇතුලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඡන්දයට ආවොත් දෙපැත්තෙන්ම ඔහුව ප්‍රතික්ෂේප කරනවා.

අනිද්දා :
දැන් තත්වය මෙබඳු වුණත් මාස හතඅටකට කලින් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම බාරගත්තා. ඒ ගැන හිතෙන්නේ මොකක්ද?

ප්‍රසන්න :
පැහැදීළිවම ඒ වෙලාවෙදී මහින්ද මහත්තයා මේක බාරගත්තේ 113ක් තිබුණේ නැති පසුබිමක. ශ්‍රීලනිපයේ ලේකම්වරයාත් ලොකු එකඟතාවක් දුන්නේ නැහැ. අපිත් එක්ක එක්කාසු වෙන්නට.  හිටපු කණ්ඩායම් නවත්වන්නට ශ්‍රීලනිප ලේකම්වරයා කටයුතු කළා. ඒ නිසා අපට මේ සන්ධානය ගැන විශ්වාසයක් නැති වුණා. ඒත් එක දෙයක් කියන්න ඕණෑ. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයේ සිටියානම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නවත්වාගන්න ඉඩකඩ තිබුණා. ඔහු මෙවැනි තත්වයක් ගැන අත්දැකීම් තිබුණු නායකයෙක්. ඒවා පවා නැවැත්වුවේ දැන් විශ්වාසභංග ගෙනෙන ජේවීපෙ වගේ කණ්ඩායම් මැදිහත් වෙලා තමයි. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යළි බලයට ගේන්න කටයුතු කළා.

අනිද්දා :
එදා ජනාධිපතිවරයාගේ කණ්ඩායම සහ ඔබ නියෝජනය කරන කණ්ඩායම අතර විශ්වාසයක් තිබුණාද?

ප්‍රසන්න :
මම නම් පෞද්ගලිකව දින 52 ආණ්ඩුවට කැමතිවුණේ නැහැ. මහින්ද මහත්තයා අගමැතිකමේ දිවුරුම් දෙනවාට මම එදත් විරුද්ධ වුණා. ඒ ආණ්ඩුවේ අගමැතිකම් ගන්නේ නැහැ කියලා පැහැදිළි ස්ථාවරයක හිටියා. ඒත් ආණ්ඩුවක් ගත්තාම ඒක සාමුහිකව කටයුතු කරන්න ඕනෑකම තිබුණා. එතැනදී නම් ජනාධිපතිවරයාගේ පැත්තෙන් සහයෝගයක් ලැබුණා. ඒත් මට නම් තියෙන සැකය මේක මහින්ද රාජපක්ෂ මහත්තයාව අමාරුවේ දාන්න කරපු වැඩක් කියලයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image