''එජාපයේ ඒකාධිපති ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ පක්ෂ ව්‍යවස්ථාව නවීන ලෝකයට සුදුසු නැහැ.

Eran Wiප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුළුල් සංකල්පයක්. පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේත් අවශ්‍ය කාරණයක්. එජාපයේ ව්‍යවස්ථාව ප්‍රජාතාන්ත්‍රීකරණය කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ නායකතුමා ඉවත් වෙලා යද්දී එතුමා මේ ව්‍යවස්ථාව ඊළඟ නායකත්වයට නොදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් හදලා යන්න ඕනෑ. '' යයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසයි.

'අනිද්දා' පුවත්පත සමග පැවති සාකච්ජාවකදී ඔහු එබව සඳහන් කර තිබේ.

එම සංවාද සටහන සම්පුර්ණයෙන් පහත පළවේ.

# ඔබේ ආණ්ඩුව අවුරුදු හතරක් බලයේ හිටියත්, බොහෝ කළකිරීමෙන්, සමහරු කියන්නේ අප තවම ඉන්නේ 2014 සිටි තැනම බවයි. ඒ ගැන අදහස මොකක්ද?

2014 සමග සන්සන්දනය කළොත් දේශපාලනය පැත්තෙන් ප්‍රගතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් වෙලා තියෙනවා. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තුලනය ශක්තිමත් වෙලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට විශ්වාසයෙන් යන්න පුළුවන්, දේශපාලන බලය වෙනුවට අධිකරණය මූලධර්ම අනුව තීන්දුවක් ගනී කියන විශ්වාසයෙන්.

විධායකයේ බලය අඩුකරලා පාර්ලිමේන්තුවට සෑහෙන දුරකට විධායකය වගවෙන්න ඕනෑ තත්වයක් ඇති වෙලා. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක නැතත්, කොමිෂන් සභාවලින් ඒ වගවීම ඇතිවෙලා තියෙනවා. විධායකය දෙන පත්වීම් සුදුසුද නැද්ද කියලාත් කොමිෂන්වලට තීන්දු කරන්න බෑ. විධායක ජනාධිපතිවරුන් අසීමිත බලතල භුක්ති වින්දා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත්, එතුමා යට හිටපු බලධාරීනුත් ඒ බලතල පාවිච්චි කළා. ඒවා අද නතර වෙලා.

Text 48 

අපේ ආණ්ඩුවේ බලවතෙක් හෝ සාමාජිකයෙන් මිනිස්සුන්ගේ ජීවිතවලට හානි කළා කියලා කිසිම චෝදනාවක් නැහැ. මාධ්‍යවේදීන්ව අතුරුදන් කරවීම්, පහරදීම් ගැන චෝදනා නැහැ. දැන් පුරවැසියන්ට තොරතරු දැනගැනීමේ අයිතිය පවා තියෙනවා. මේ කාරණා මම නැවත සිහිපත් කළේ මේවා දැන් සාකච්ඡාවලදී මතුවෙන්නේ නැති හින්දායි. ලෝකයේ ඕනෑම තැනක නිදහස හැම විටම ආරක්ෂා විය යුතුයි. එහෙත් අප ගොඩනගාගත යුතු දුර්වල තැන් තියෙනවා.

 

# ඒ මොනවාද?

අපි ඉතිහාසයේ පස්සට ගිහින්, නිදහස ලැබූ තැන ඉඳන් බැලුවොත් දැන් අවුරුදු 70 ක් ගෙවී ගිහින්. ඕනෑම රටකට උපතේ ඉඳන්ම අභියෝග තියෙනවා. ඒවා මොනවාද? ඒවාට දැක්විය යුතු ප්‍රතිචාරය මොනවාද කියන ප්‍රශ්නය තියෙනවා.

1948 දී මේ රටට තිබුණු එක් ප්‍රධාන අභියෝගයක් තමයි ජාතිය ගොඩනැගීම. මේ රට බහුජාතීන්, බහු සංස්කෘතීන්, බහු ආගම්, භාෂාවන් තියෙන රටක්. අපේ ඉතිහාසය දිහා බැලුවොත් මේ රටේ රාජධානි ගණනාවක් තිබිලා තියෙනවා. ප්‍රදේශ අනුවත් ජාතීන් අනුවත් ඒවා බෙදිලා තිබුණා.

Text 49

සුද්දා ලංකාවට ඇවිත් මේ රාජධානි එකතු කළා. ඒත් සුද්දාටත් ඒක හරි හැටි කරන්න බැරිවුණා. අපට තිබුණු අභියෝගය තමයි මේක එක රටක් හැටියට ඉදිරියට ගෙනයෑම. එක අනන්‍යතාවයක් ඇති කරගැනීමේ අභියෝගය. මේක ලංකාවට විතරක් තිබුණු ප්‍රශ්නයක් නෙවෙයි. මේ අභියෝගය අසියානු, අප්‍රිකානු ආදී කලාපවල නොයෙකුත් රටවල තිබුණා. එක්වෙන්න නම් ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවයක් ගොඩනගන්න ඕනෑ.

පුද්ගලයෙක් හැටියට මම පළවැනියට ශ්‍රී ලාංකිකයෙන් විදිහට හිතන්න ඕනෑ. දෙවෙනිය තමයි මගේ භාෂාව මොකක්ද, ආගම මොකක්ද, කරන්නේ මොනවාද, වගේ දේවල් හිතන්න ඕනෑ. එතකොට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් තුළට ඇතුළු වෙන්න ඕනෑ මොනවාද? ක්‍රිකට් ගහන එකට ඇතුළු වෙන්න ඕනෑ. ඒත් තවත් ගොඩක් කාරණා ශ්‍රී ලාංකික අනන්‍යතාවකට ඇතුළු වෙන්න ඕනෑ.

එකක් තමයි ශ්‍රී ලාංකිකයන් හැමෝම පිළිගන්න, ගරුකරන එක නීතියක් හෙවත් එක ව්‍යව්‍යස්ථාවක් තිබීම. ව්‍යවස්ථාවේ තමයි අපි එකට ගැටගැහෙන්නේ. අවුරුදු 70කට පස්සේ අපට මම මේ කියපු ප්‍රශ්න විසඳා ගන්න බැරිවෙලා. තවමත් අපට ව්‍යස්ථාවක්වත් හදාගන්න බැරිවෙලා. අදටත් නොවිසඳුණු අංක එකේ අභියෝගය ඒක.

Text 50

දෙවැනි අභියෝගය දරිද්‍රතාවය, ආර්ථිකය, දුප්පත්කම නැතිකරගන්න මොනවගේ ආර්ථික ක්‍රමයක්ද ඇති කරන්න ඕනෑ කියලා අපි තවම කල්පනා කරනවා. අපි ගත්ත මාර්ගය හා එහි අප ගිය ගමන මොහොතකට සංසන්ධනය කරන්න ඕනෑ.

කොරියාව, තායිලන්තය, හා සිංගප්පූරුව සමග මා සංසන්දනය කරන්නම්. මේ රටවල් තුනම ආසියාවේ. ඒ තුනම බෞද්ධයන් විශාල පිරිසක් ඉන්න රටවල්. එදා කොරියාවට වඩා ඉහළින් අපේ ආර්ථිකය තිබුණා. ඒත් අද අපේ මහජන දිනයක් තියෙනකොට මිනිස්සු පස්සෙන් එනවා කොරියාවේ රැකියා ඉල්ලගෙන. තායිලන්තයත් බෞද්ධ රාජධානියක්. රජ කෙනෙක් ඉන්නවා. ඒත් තායිලන්තය වැඩි වශයෙන් හමුදාව පාලනය කරනවා. ක්‍රමය අපට වඩා වෙනස්. ඒත් ආර්ථිකය වශයෙන් අපට වඩා දියුණුයි.

අනෙක් රට තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවට තිබුණු අභියෝගයත් අපිට තිබුණු අභියෝගයත් අතර සමානකම් තිබුණා. සිංගප්පූරුවට තිබුණු ලොකුම අභියෝගය තමයි බහුජාතික වීම. චීන, මැලේ ඉන්දිය ජනවර්ග ඒ රටේ තිබුණා. ජාතීන් අතර බෙදීම මැද දියුණුවීම අභියෝගයක්.


ලී ක්වාන් යූ අගමැතිතුමාගේ පොතේ වැදගත් පාඩම !

Lee Kuan Yew 

ඒ ගැන ලී ක්වාන් යූ අගමැතිතුමාගේ පොතේ වැදගත් පාඩම් තියෙනවා. එක් කාරණාවක් කිව්වොත් එතුමා ලංකාවට ඇවිල්ලා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා සමග සාකච්ඡා කරලා තිබුණා. බණ්ඩාරනායක අගමැතිතුමා බොහොම ආඩම්බරයෙන් කතා කරාලු ලංකාව සිංහල බෞද්ධ රටක් විදිහට ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන. එතකොට ලී ක්වාන් යූ අගමැතිතුමාට එක්වරම හිතට එක ප්‍රශ්නයක් නැඟුණාලු. ඒ ප්‍රශ්නය තමයි ලංකාවේ දෙමළ හා මුස්ලිම් මිනිස්සුන්ට මොනවා වේවිද කියන එක.

ඔහු එයින් යමක් ඉගෙනගත් බව කියනවා. ඔහු අලුත් රටක් ගොඩනගනවා. ඔහු කරන්නේ තිබුණු රාජධානි නැවත හදන එක නෙවෙයි. අලුතෙන් රටක් හදන එක. ඔහු හිතුවා සිංගප්පූරුව හදනවා නම් හැම ජාතියකටම එක හා සමාන සලකන ප්‍රතිපත්තියක් වැදගත් බවත් ඊට අමතරව ඔහු රටේ විවිධ භාෂාවලට වටිනාකම දුන්නා. ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපනයෙහි කේන්ද්‍රීය භාෂාව බවට පත්කළා.

 

# මේ වෙලාවේ එජාපය කළ යුත්තේ මොනවාද කියන ප්‍රශ්නය හැමෝටම තිබෙනවා. ඔබ හිතන්නේ මොනවාද?

කරන්න ඕනෑ රට හදන එක. ඒකට එක් පැත්තකින් හරි ප්‍රතිපත්ති තියෙන්න ඕනෑ. අනෙක් පැත්තෙන් ඒ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනල්ලා හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්වයක් තියෙන්න ඕනෑ. මම හිතන්නේ අවුරුදු දහයකින් ලොකු වෙනසක් කරන්න පුළුවන් බව. අවුරුදු හතරක් යද්දී මිනිස්සුන්ට ඒ වෙනස දැනෙන්නට සලස්වන්න පුළුවන්. අපි ඒකට සැලසුම් හදන්න ඕනෑ.

ගෙවුණු අවුරුදු 70 ගැන සමහරු සෑහීමකට පත්වෙනවා. මම නම් සෑහීමකට පත්වන්නේ නැහැ. එදා සිංගප්පූරුව, තායිලන්තය, කොරියාව වගේ රටවලට වඩා ආර්ථික වශයෙන් ඉදිරියෙන් හිටියා නම්, දැන් පසුපසට පැමිණීම ගැන මට සෑහීමකට පත්වෙන්න බැහැ. අපේ දේශපාලඥයන් රටට එක කතාවක් කියන අතරේ ඔවුන් වෙන දේවල් කරනවා. අපි ඒක නවත්වන්න ඕනෑ.

Text 51

මම උදාහරණයකට භාෂාව ගැන කතාව කියන්නම්. දේශපාලඥයන් සිංහල කම ගැන කතාකරනවා. ඒත් මම කැමතියි පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් 224 ගෙන්ම අහන්න එක්කෙනෙක් හරි තමන්ගෙ දරුවන්ට ඉංග්‍රීසි නැතුව සිංහල විතරක් ඉගැන්නුවාද කියලා. ඔය හැමෝම දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා. ඔවුන් කරලා තියෙන්නේ රටට එක ප්‍රතිපත්තියක් හදලා පවුලට තව ප්‍රතිපත්තියක් හදා ගන්නා එකයි.

භාෂාව විතරක් නෙවෙයි ආර්ථිකය ගැනත්, සංස්කෘතිය ගැනත් එහෙමම තමයි. දේශප්‍රේමය ගැන කතා කරමින් පවුලටම ඇමරිකන් පුරවැසිභාවය ලබාගත් අයත් ඒ ගොඩට අයිතියි. ඉතින්, එහෙම නොවී අවංකත්වය තියෙන නායකත්වයක් ඕනෑ.

 

# අවංක නායකයෙක් අඳුන ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය පුරවැසියන්ට තියෙනවා නේද?

ඒකට මිනුම් ගොඩක් තියෙනවා. මම එක උදාහරණයක් කියන්නම්. කවුරුහරි මහජන සේවයට ඉදිරිපත් වෙනවා නම්, ඒ කෙනා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරන්න ඕනෑ. අද පාර්ලිමේන්තුවේ 10 දෙනෙක්වත් වත්කම් බැරකම් ප්‍රකාශ දීලා නැහැ. ඇත්ත ප්‍රශ්නය මම කියන්නම්. රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියන තුන්දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න ඕනෑනේ. ඔවුන් රටේ නායකයන් විදිහට ඒවා ප්‍රසිද්ධ කරලා අනෙක් මන්ත්‍රීලාට පුළුවන් ආදර්ශයක් දෙන්න.

Text 52 

අපි ලංකාවේ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගන්න ඕනෑ. ඒ වෙනුවෙන් පෙරළියක් ඇති වෙන්න ඕනෑ. අලුත් අය ඉදිරිපත් වෙන්න ඕනෑ. අලුත් අයට බාධක තියෙනවා. වෙනත් පක්ෂවල පවා බාධක තියෙනවා. පවුල් දෙකතුනක් යම්කිසි ආකාරයකින් රට පාලනය කරන්න වෑයම් කරනවා. ලංකාවේ දේශපාලන සංස්කෘතියත් ඒකට ගැළපෙන්නට හැදිලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ ඉන්නවා නම් ඔහුගේ ගුණ කථනයම කරන්න ඕනෑ. මහින්ද නායකයා නම් මහින්දගේ ගුණ කථනයම කරන්න ඕනෑ. ඒකයි දැනට තියෙන සංස්කෘතිය.

ඒත් ස්වාධීනව හා විද්‍යාත්මකව තමන්‌ගේ පෞද්ගලික අදහස් කියන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනෑ. නැත්නම් එහෙයියෝ තමයි හැදෙන්නේ. එහෙම දේශපාලන නායකයන් ඉන්නවා නම් රට හදන්න ඕනෑ නැහැ. අනෙක පරම්පරාවෙන් පරම්පරාවට රට වෙනස් වෙනවා. දේශපාලනයත් අලුත් පරම්පරාවට යන්න ඕනෑ. එහෙම වෙනස් වෙන්නට නම් අලුත් නායකයෙක් එන්න ඕනෑ.

 

# ඔබ යෝජනා කරන අලුත් පුද්ගලයා කවුද?

මම නිශ්චිත පුද්ගලයෙක්ව ඉදිරියට දාන්න ඕනෑ කියන තැන නැහැ. ඒත් මම හිතන්නේ ක්‍රමවේදයක් හරියට හදන්න ඕනෑ කියන එකයි. මූණ බලාගෙන දේශපාලනය කරන්න ඕනෑ නැහැනේ.

ඒත් මම නිශ්චිත වෙනසක් යෝජනා කරනවා. එජාපයේ ඒකාධිපති ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ පක්ෂ ව්‍යවස්ථාව නවීන ලෝකයට සුදුසු නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පුළුල් සංකල්පයක්. පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේත් අවශ්‍ය කාරණයක්. එජාපයේ ව්‍යවස්ථාව ප්‍රජාතාන්ත්‍රීකරණය කළ යුතුයි.

රනිල් වික්‍රමසිංහ නායකතුමා ඉවත් වෙලා යද්දී එතුමා මේ ව්‍යවස්ථාව ඊළඟ නායකත්වයට නොදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් හදලා යන්න ඕනෑ.

Text 53 

මේ සංවාදය අපි එජාපය ඇතුලේ කරද්දී පොදුජන පෙරමුණ ගැනත් වචනයක් කියන්න ඕනෑ. අද යූඑන්පී කාරයෝ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා කෑගහනවා. ඒත් අර පක්ෂයෙන් අපට ඇහෙන්නේ මහින්ද මහත්තයා 11 වැනිදා වෙද්දී එක්කෙනෙක්ව නම් කරයි කියලා.

 

# අප විවෘතව කතා කළොත්, ඔබ ඇතුළු කණ්ඩායමක් මේ වෙද්දී සජිත් ප්‍රේමදාස මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කළ යුතු බව පක්ෂය ඇතුලේ සංවාදයක් ගෙන යන බව අපට දැනගන්නට තියෙන කාරණයක්. ඔබ වඩා ලිබරල් අදහස් ඇති නායකයෙක් විදිහට ප්‍රකටයි. එහෙත් සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ කන්සර්වේටිව් නායකයෙක්. සජිත්ට සහය දෙන්නේ කොහොමද?

මම ලේබල් එකකට කොටු වෙන්න කැමති නැති බව කියන්න ඕනෑ. මම ලිබරල් අදහස් වගේම සමාජවාදී අදහස් දරන කෙනෙක්. කොහොම වුණත් ඔබේ මූලික ප්‍රශ්නයට යොමුවෙලා මගේ පෞද්ගලික මතය කියන්නම්. මම කියන්නේ වෙනසක් වෙන්න ඕනෑ කියලයි. ඒ සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්. වෙනත් කෙනෙකු වෙන්නත් පුළුවන්. ඒ සංවාදය කරන්න පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් හැදෙන්න ඕනෑ.

Text 54

සජිත් සහ මා අතර අදහස්වල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම යෝජනා කරන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනෑ කියලා. සජිත් නායකයා වීමෙන් පසුව ඔහුගේ අදහස් ගැන ගැටළු තිබුණොත් ඒ වෙනස්කම් මත අපට වාද විවාද කරන්න පුළුවන්. ඉන්පස්සේ ඒවාට එකඟ වෙන්න බැරිනම් පාක්ෂිකයන්ට ඔහුව නායකත්වයෙන් ඉවත් කරන්නත් පුළුවන්.

අනික දැන් තියෙන නායකත්වයට වඩා අපට ඔහු සමග ගනුදෙනු කරන්න පුළුවන් විදිහ වෙනස්නේ. මම උදාහරණයක් ගන්නම්. ගෙදරදී අපට අම්මා තාත්තාව වෙනස් කරන්න අමාරුයිනේ. මොකද ඒ දෙන්නා හදන්නේ අපව වෙනස් කරන්නයි. ඒත් අයියාට වෙනස් කරන්න පුළුවන්නේ.

සජිත් ප්‍රේමදාසගේ ඇතැම් අදහස් ගැන විවේචන තිබුණත් ඔහු සමග සාකච්ඡා කරලා අදහස්වල වෙනස්කම් ඇති කරගන්න පුළුවන් බවත් මම හිතනවා.

(අනිද්දා: සංවාද සටහන -තරිඳු උඩුවරගෙදර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image