මහා ගං වතුර.. The Great Flood 1826

 

"මුළු ලෝකෙම වසාගෙන ගංවතුරක් එනව. මගේ අණට කීකරු නොවුනු හැමෝම මේ ගංවතුරෙන් විනාශ වෙනව. නෝවා නුඹත් .. නුඹේ පවුලත් එකතුවෙලා ලොකු නැවක් හදාපන්.. ඒ නැවට සත්තු ජෝඩු දෙක බැගින් එකතු කරගනින්. නුඹත් නුඹේ පවුලත්.. නැවත් විතරයි ගං වතුරෙන් බේරෙන්නෙ."

දෙවියන් මෙහෙම කියනව නෝවාට.

ඒකට අපි කියන්නෙ මහා ගංවතුර කියල. The Great Flood. මෙන්න මේ සිද්ධිය තමයි ගං වතුර චිත්‍රයට මුල් වෙන්නෙ. කවුරු හරි අහනව නම් කොයි කාලෙද මේ ගංවතුර ආවෙ කියල අපි සරලව උත්තර දෙමු රාවණා දඬු මොනරයක් හදාගෙන රටින් රට සංචාරය කරන්න කලින්.. සිංහයෙක් කාන්තාවක් එක්ක සංසර්ගයේ යෙදිල දරුවො දෙන්නෙක් හදන්න කලින් කියල…. තේරුම් ගැනීමේ පහසුවට.

75f0979a98a92d8c51ce15744f76b48c.500x500x1

The Great Flood (1826)

 

බැලූ බැල්මට මේ තරුණ පුරුශයා මහළු මිනිසෙක් බේරා ගන්න උත්සාහ කරනව ගංවතුරෙන්.

කුඩා දරුවෙක් හා ඒ දරුවාගේ මව යැයි සිතිය හැකි තරුණ කාන්තාවක් මේ ගංවතුරෙන් බේරෙන්න දඟලනව අපිට දකින්න පුළුවන්.

ඒ තරුණ අම්ම බැගෑපත් වෙනව අඩුම තරමෙ තමන්ගෙ දරුවව බේරල දෙන්න කියල, තමන්ව ගිලුනත්.

තරුණ මිනිසාගේ මුහුන අඳුරුයි. අපිට අපහසුයි ඔහුගේ හැඟීම් හරියාකාරව තේරුම් ගන්න.

මහළු මිනිසා පෙන්නුම් කරන්නෙ මනුශ්‍යයින් වශයෙන් අපි කොයිතරම් අසරණද... ආත්මාර්ථකාමීද...අතරමංවෙලාද කියනව වගේ හැඟීමක්.

කාන්තවගේ මුහුනෙ තියෙන්නෙ අපේක්ශාභංගත්වය වෙන්න පුළුවන්.

Dt scs5WsAA iEmබැලූ බැල්මට මහළු මිනිසා ගිලී යාමට ඉතාම ආසන්නයි. කාන්තාව එක අතකින් වියලි අත්තක් අල්ලගෙන ඉන්නව. “ඒ නිසා ප්‍රමුඛතාවය ලැබෙන්න ඕනෙ මහල්ලටයි” කෙනෙක්ට කියන්න පුළුවන්.

“මුලින්ම ඔහු බේරාගත යුත්තේ කුඩා දරුවා.. ඉන්පසු කාන්තාව... මහළු මිනිසාට ලැබිය යුත්තේ ප්‍රමුඛතා ලයිස්තුවේ අවසානය” තවත් කෙනෙක්ට කියන්න පුළුවන්.

සමහර විට මේ තරුණ පුරුශයා කාන්තාවගේ සැමියා විය හැකියි. ඔහු කුඩා දරුවාගේ පියා වෙන්න පුලුවන්.

ඒ එක්කම මහළු මිනිසා මේ තරුණයාගේ පියා වෙන්න පුළුවන්. මේක උභතෝකෝටික අවස්ථාවක්..

ඒ වගේ උද්වේගය.. කලබලය.. විනිශ්චය.. බෙදීම මේ චිත්‍රය නරඹන කෙනා තුල ඇති කරනව.

ප්‍රේක්ශකයන් වැඩි දෙනා චෝදනා කරනව තරුණ පුරුශයාට. මේ ප්‍රශ්ණකාරී බව ඇති කරන්නෙ දක්ශ වගේම නාහෙට අහන්නෙ නැති ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක්.

Joseph Desire CourtJoseph-Désiré Court.එයාගෙ නම ජෝශප් දෙසිරේ කෝර්ට්. Joseph-Désiré Court. ඒ 1826 අවුරුද්දෙ. 1827 අවුරුද්දෙ පැරිස් සැලොන් නම් ප්‍රසිද්ධ චිත්‍ර ප්‍රදර්ශනයට මේ චිත්‍රය ඉදිරිපත් කෙරෙනව.

ෆ්‍රෑන්ක් 3000 ක මිළකට ප්‍රංශ රජය විසින් මිළට ගන්න මේ අපූරු චිත්‍රය බලාගන්න පුළුවන් ප්‍රංශයේ ලියොන් නගරයේ චිත්‍ර කෞතුකාගාරයේදී. පිංතූරයකින් දකිනවට වඩා මේ චිත්‍රයේ සැබෑ ස්වරූපය ගැඹුරුයි.. අඳුරුයි. ( ලියොන් නගරය තියෙන්නෙ ජිනීවා නගරයේ ඉඳල පැය තුනක දුරින් ).

මේ චිත්‍රය නරඹද්දි ඔබට හිතුනා නම් තරුණ පුද්ගලයා අවස්ථාවාදියෙක් කියල හෝ කලගුණ දත් පුද්ගලයෙක් කියල ඒ චිත්‍ර ශිල්පියාගේ හැකියාව හා ඔබ තුල වෙසෙන සැබෑ පුද්ගලයා විදිහට විචාරකයන් කියනව.

තරුණ පුද්ගලයා තමයි ඔබ. තරුණ කාන්තාව ඔබගේ වර්ථමානය .. කුඩා දරුවා ඔබේ අනාගතය.. වයෝවෘද්ද මිනිසා ඔබේ අතීතය.

" අපේ පරම්පරාවෙ දැලි ගාන්නද හදන්නෙ..?" උන්ට කවුද හිර දෙන්නෙ..? අපේ පවුලෙ කවුරුත් ඔහොම රස්සාවක් කරල තියෙනවද... අපි බොහොම වංශවත් පරම්පරාවකින් එන මිනිස්සු... "

මේ තමයි අතීතය කර තියා ගත්ත මනුශ්‍ය ස්වභාවය.

"කෑලි කෑලි කපල ගඟේ මුහුදෙ දැම්මත් උන්ට දෙන්නෙ නෑ අපේ එකෙක්".... මේ වාක්‍යයෙන් කියවෙන්නෙ අතීතය එක්ක.. කොයි තරම් බැඳිල ඉන්නවද කියනව වගේම ..අනාගතය විනාශ කරල දාන්න සූදානම් අතීතය වෙනුවෙන් කියල අපිට හිතන්න ඉඩ තියනව.

 

අවුරුදු 2500ක උරුමය.. ලෝකෙ දිගම ඉතිහාසය... සිංහයෙකුගෙන් එන පරම්පරාව විදිහට හිතමින් අපි කොයි තරම් දුරට අතීතයේ එල්බගෙන ඉන්නවද..? ඒ හරහා කොයි තරම් නම් අනාගත අවස්ථා මග හරිනවද.? වර්ථමානය කොයි තරම් දුරට කැප කරනවද මේ මතයන් හරහා..

 

ඒ එක්කම තමන් කරපු හා තමන් ජීවත් වූ සිද්ධීන් තුල කල් ගත කරන්න මිනිසා පුදුමාකාර කැමැත්තක් දක්වනව.

සතුටුදායක සිද්ධීන්ටත් වඩා දුක උපදවන සිද්ධීන් තුල ජීවත් වෙන්න මිනිසා කැමතියි.

තමන් කරපු යම් යම් දේවල් වලට පසුතැවිලි වීම.. අන් කෙනෙක් නිසා තමන්ට සිදුවූ අසාධාරනය ගැන සිතීම.. ලැජ්ජාවට හෝ දුකට පත්වූ සිද්ධීන් තුල ජීවත් වෙමින් තමා ගැන අනුකම්පා කිරීම වගේ විශාල පරාසයකට මේ සිතිවිලි අයිති වෙනව.

ඉංග්‍රීසි භාශාවෙන් අපි මේකට කියනව ඉන්ට්‍රෝස්පෙක්ටිව් කියල. (introspective).

සමහර අතීත සිද්ධීන් තුල ගැඹුරට කිමිදෙන බොහෝ දෙනෙක් මානසික ආතතියට ගොදුරු වෙනව.

අතීතයට සමාව දීල ඒ හරහා වර්ථමානය හා අනාගතය ගොඩ නගන මිනිසුන් ඉතාම අඩුයි.

ඒ අය තමා බොහෝ වෙලාවට සමාජයේ සාර්ථක පුද්ගලයින් විදිහට සැලකෙන්නෙ.

දැනට අවුරුදු දහයකට පහලවකට කලින් මියගිය තමන්ගේ තාත්තා ගැන සිහි කරල අදත් දුක්වෙන්නෙ "අනේ තාත්ත හිටිය නම්" කියන අදහසත් එක්ක.

ඒ අතීතයේ ජීවත් වෙමින් තමන්ට අනුකම්පා කරගැනීම තුල ..එහෙමත් නැත්තං ස්වයං අනුකම්පාව තුල සහනයක් ලබන්න බොහෝ දෙනා කැමතියි.

 

සිහින දකිනව කියමින් අපි කල්පනා කරන්නෙ අතීත සිද්ධීන්. මට මගෙ මතකයත් එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්න කියමින් අපි ගැලිල ඉන්නෙ අතීතයේ. ඒ වෙනුවෙන් වර්ථමානය හෝ අනාගතය කැප කරන්න අපි සූදානම් නෑ.

 

තවත් කොටසක් ඉන්නව දරුවව විතරක් ගංවතුරෙන් බේරගන්න හිතන අය. ඒ කියන්නෙ අනාගතය තුල ජීවත් වෙමින් තමන්ගෙ වර්ථමානය කැප කරන පිරිස විය හැකියි.

නෝවා..දෙවියන් හා මහා ගංවතුර විදිහට මාතෘකාවක් තෝරාගෙන ඒ සිද්ධීන් හා අදහස් ගංවතුරෙන්ම යටවෙන්න ඉඩ දීල මේ චිත්‍ර ශිල්පියා මිනිස් හැඟීම් ගැන කතා කරන ආකාරය ඉතාම විශිෂ්ඨයි.

මේ හැම සිතිවිලි ඛාන්ඩයක් අතරම තියෙන්නෙ සටනක්.. තරඟයක්.

මෙන්න මේ හැඟීම් තමයි ජෝශප් දෙසිරේ මේ චිත්‍රය හරහා ප්‍රකාශ කරන්නෙ.

(සිතුවමක කතාවක් - හතරවෙනි කොටස)  Picture . Musee d’Art - Leon.

malcom sang

 

 

 

(Malcolm Sang ගේ ෆේස්බුක් පිටුවෙන්...)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58