භූ පිහිටීමට අනුව ඉස්සර කාලෙ හෙල්මළු කුඹුරු කාණ්ඩයක් විදිහට පිහිටල තිබුණයි කියන, අද කවුරුත් වළ කියල කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

Ediriweera Sarachchandra 20140227එදිරිවීර සරච්චන්ද්‍රඑළිමහන් රංගපීඨය බිහිවෙන්නෙ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙ මූලිකත්වයෙන් එතුමාගෙම සංකල්පයකට අනුව කියල තමයි අතීත තොරතුරු වල කියවෙන්නෙ.මනමේ නාට්‍යය හදල මුල්ම දර්ශනයෙන් පස්සෙ ඔහුට හිතුනලු මනමේ ප්‍රොසීනියම් වේදිකාවෙන් වෙනස් ඉහළ දැක්මකට යොමුවෙනවා නම් හොඳයි කියල. ඉන් පස්සෙ හැදෙන වළේ මුල්ම දර්ශනයත් මනමේ ම වුණා.

 

maname drama Ediriweera Sarachchandra

 

එදා මනමේ කුමාරයා මනමේ කුමරියව වැනූ " දුලා නෙතු පුලා " ගීතය එදා ඉඳන් අද වෙනකම් මොන තරම් ප්‍රේක්ෂක ගොන්නක් අමන්දානන්දයට පත් කරන්න ඇද්ද? අදත් වළේ නාට්‍ය බලලා ආපහු පිය මනින ප්‍රේක්ෂක රොත්ත තම තමන්ගෙ නවාතැන්පොළවල ඉන්න නාට්‍ය නොබැලූ සද්ධිවිහාරිකයින්ට ඒක වර්ණනා කර කර විස්තර කරන හැටිත් වෙනමම නාට්‍යයක් වගේ. බහු වාර ගණනක් බලලත් අදටත් මම කැමතිම දර්ශනයක් තමයි, වැදි කාණ්ඩයේ දෙටු වැද්දා මනමේ කුමරියගේ රූපශ්‍රීය වැදි රජුට විස්තර කරන හැටි. ඒ තමයි නාට්‍යය ඇතුළෙ ගොඩනැගෙන දෙවැනි නාට්‍යය.


" මෑ වේ මා දුටු කොමළ ලියා - දෙස බලනුය රජතුම චිත්ත නොමවේද තුටු - මෑ වේ මා දුටු කොමළ ලියා "

 

තමන් දකින රූපය තවත් අයෙක් වෙත ඉදිරිපත් කරන ක්‍රමවේදය තුන්වැනි රූපයක් බිහි කරනව. මේ කතන්දරේ සිනමා රූපයට ඇතුල් වෙන්නෙ මේ න්‍යායට අනුව. අපි බලන ගොඩක් නාට්‍ය පිටපත් වල තියෙන පාත්‍ර - ප්‍රේක්ෂක ගැටුම පල දරන්නෙ ඇත්තටම තුන්වෙනි මානයක් විදිහට. අන්තිමට ප්‍රේක්ෂකයා ගෙදර හරි තමන්ගෙ නවාතැනට අරන් යන්නෙ  ඒක. ඉතිං මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත ක්‍රමවේදය වගේම, සුගතපාල ද සිල්වා වගේ නිෂ්පාදකයන්ගේ ස්වභාවික රංග ක්‍රමවේදයනුත් එදා ඉඳන් අද වෙනකම්ම මේ ප්‍රේක්ෂක පරම්පරාවන්ට තුන්වෙනි රූප හරි හම්බකරල දුන්නා.

 

0 3 5ධර්මසිරි බණ්ඩාරනායකඊයේ පෙරේදා දවසක මේ වළේ අන්තිමටම වේදිකාගත වුණේ ධර්මසිරි බණ්ඩාරනායකගේ " ධවල භීෂණ " නාට්‍යය. තනි සිංහලෙන් කියනවා නං ඒක පට්ටම  සීරියස් වැඩක්. හොර බොරු නැති, වංචාව නැති වැඩක්. ප්‍රංශය පැත්තෙන් අපේ හදවතට අරන් ආපු පරිවර්තනයකට පණ දීමක්. ඇත්තෙන්ම කෙනෙකුට එකවතාවක් විතරක්ම හිමිවෙන්න පුළුවන් මනුෂ්‍යාත්මභාවය වෙනුවෙන් සටන් වැදුන හින්දා ඒ මනුෂ්‍යාත්මභාවයෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වුණු ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ කතාවක්. ( මට මතක විදිහට මේකෙ මුල්ම නිෂ්පාදනය කෙරුණේ 1989 දි වගේ. මම එදා ඒක නැවත බැලුවෙත් කාලෙකට පස්සෙ ඒ දොළොස් වෙනි වතාවට වගෙයි මතක )

 

dhawala bhishana 22.10.2


මනමේ නාට්‍යයේ පටන් ගැන්මේ ඉඳන් අවසානය දක්වා මනමේ කුමරු, වැදි රජ, රාජගුරු, වැදි සෙනග එක්ක ගැහැණු චරිතයක් විදිහට තනිවම වන් මෑන් ෂෝ එකක් කරන්න සිද්ධවෙන්නේ මනමේ කුමරියට. චරිතය ඉදිරියට අරගෙන යනකොට ඒ චරිත ස්වභාවයේ උච්ඡාවචනයන් මනා සංයමයකින් යුක්තව පවත්වාගෙන යන එක මනමේ කුමාරි චරිතය රඟපාන නිළියගේ වගකීමක්. එතෙන්දි රිද්මයානුකූල දෙබස් පරිහරණයට සමගාමීව මද්දල නාදයට අනුව පියවර තබමින් චරිතයට ආවේශ වෙන එකත් මනමේ කුමරියගේ මුඛ්‍යතම රංග ප්‍රවිෂ්ටයට ආධාරකයක් වෙනවා.

මීට හාත්පසින්ම වෙනස් මුහුණුවරක රංග ආකෘතියක ප්‍රවේශයක් පැත්තට  ' ධවල භීෂණ ' ප්‍රේක්ෂක අපව අරගෙන යන්නෙ කොහොමද? ෂෝන්, ප්‍රංශුවා, හෙන්රි, සෝබියර් සහ කැනෝරි කියන සගයන් රොත්තත් එක්ක එකම කේවල ස්ත්‍රී චරිතය වන ලුසියා ඔවුන් එක්ක එකම හිර කූඩුවක් ඇතුළෙ හැසිරෙනවද, එහෙම නැත්තං ක්‍රියාත්මක වෙනවද? ඒ මොකක් වෙනුවෙන්ද? මොවුන්ගෙ ජීවිතවල මොනතරම් වටිනාකමක් තියෙනවද, ඒවා රැකගන්නත් ඕනද, නැත්නම් පාවාදෙන්න ඕනද, ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ වෙනුවෙන් තමන්ගෙ කණ්ඩායමේ ජීවිතයක් නැති කරන්න සිද්ධවෙන්නෙ හැමෝගෙම අනුමැතියෙන්ද? මේ පීඩනකාරී සමාජ සන්දර්භය මේ තරුණයන් වෙනුවෙන් වෙන් කරන බෝනස් එක මොකක්ද?

309041660 2120710621442905 6612916118601452443 n

 

මේ සිර කූඩුව ඇතුළෙ ගාල් කරපු එකෙකුට එකෙක් වෙනස්, ඒත් එකම අරමුණක් කරා මෙහෙයවෙන කණ්ඩායමේ සිටින එකම ගැහැණු චරිතය මනමේ සන්දර්භයෙන් පිට පනින්නෙ මෙතන හැදෙන තුන්වන රූපයටත් මුලු කණ්ඩායමම වග කියන්න ඕන නිසා. සමස්ත නාට්‍යය පුරාමත් ලුසී ජීවත්වෙන්නෙ කණ්ඩායම් හැඟීමෙන්, ඒත් නිරන්තරයෙන්ම හමුදා නිලධාරීන්ගේ තාඩන පීඩන, වධ බන්ධන සහ සමූහ දූෂණයටත් නතුවෙමින්. ඉතාමත් අඩු වචන සංඛ්‍යාවක් භාවිතා කරමින්, නිසල රංග ඉරියව්වක් ප්‍රකට කරන ඇය තම චරිතයේ දර්ශනය ප්‍රේක්ෂක මනසේ මාත්තු කරන්නට  දැක්වූ  ශක්‍යතාවය නම් ඇත්තෙන්ම පැසසුම් කටයුත්තක්. වේදිකා පරිශ්‍රය පුරා ක්‍රියාකාරී වන දක්ෂ නළුවන් අට දෙනෙක් එක්ක ඇය ඇගේ වන් මෑන් ගේම් එක ක්‍රීඩා කරන්නේ නාට්‍යයේ අනෙක් සහෝදර පාත්‍ර වර්ගයා සහ මුළු මහත් ප්‍රේක්ෂකාගාරයත් විධිමත් ආකාරයට තුන්වන රූපය කරා මෙහෙයවන ගමන්.  

 

307962538 2120710821442885 4134762207920017798 n

 

විශේෂයෙන්ම තම කණ්ඩායමේ කෙනෙකු විසින් තම බාල සොහොයුරා මරණයට පත් කරන මොහොතේ ඇය සුරකින නිහඬ නිසල බවත්, ඉන් අනතුරුව ඔහුගේ මළ සිරුර ඔසවාගෙන පැමිණ තම තුරුළට ගැනීම නම් පරස්පර සිද්ධි ද්වයට ඇගේ රංගන දායකත්වය සැපයෙන්නේ ඉතාම කුඩා දෙබස් කීපයක් සමගින්.

309646819 2120710938109540 3822315256611331804 n

 

රිද්මයානුකුලව පියවර නොතැබුවත්, සිරුරේ ලාලිත්‍යය ඉස්මතු වන ආකාරයෙන් නර්තනයේ නොයෙදුනත්, මිහිරි නදින් නාටකයේ ගීත නොගැයුවත්, පාවාදීමෙන් වියුක්ත අරගලකාරියකගේ බුද්ධි ප්‍රභාවය නිරූපණය කිරීමත් සමග ඕෂදී ගුණසේකර නම් වූ ඇය නිමවු තුන්වන රූපය පේරාදෙණිය වළේ එදා සිටි ප්‍රේක්ෂක ගොන්නට නැවුම් ප්‍රහර්ෂයක් අත්  කර දුන් බව නම් ඇත්තක්. ඇගේ මේ ප්‍රකාශනාත්මක රංග වින්‍යාසය දැක්කම ඒ වෙලාවෙ නං මටත් කෑගහල කියන්න හිතුණා.


" මෑ වේ මාදුටු කොමළ ලියා .........................!" 


( නාට්‍යයේ අනෙකුත් සියලු ශිල්පීන්ගේ දායකත්වයත් ඉතා ඉහළ තලයක පැවති බව සඳහන් කරන අතර මේ ලියවිල්ලෙන් කිසිසේත්ම ඔවුන්ගේ රඟපෑම් සහ කාර්යභාරයන් අව තක්සේරු කිරීමක් සිදු නොකරන අතර  ඉදිරියේදී ඒ පිළිබඳව සවිස්තරාත්මක සටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.)

 

hemantha arunasiriසටහන සහ ධවල භීෂණ නාට්‍යයේ ඡායා :හේමන්ත අරුණසිරි ගේ ෆේස්බුක් පිටුවෙන්...

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58